ශී‍්‍ර ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ආරක්ෂා කරනු!

Defend Sri Lankan university teachers

By the International Students for Social Equality (Sri Lanka), 16 June 2011

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට සාධාරන වැටුප් වැඩිවීමක් හා වැඩි දියුනු සේවා තත්වයන් සඳහා සටන් කිරීමට ඇති අයිතිය ආරක්ෂා කරන ලෙස ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටී.

මැයි 9 දා විශ්ව විද්‍යාල ආචාර්යවරු වැඩි වැටුප් සඳහා තමන් ගෙනයන විරෝධතා උද්ඝෝෂනයේ කොටසක් ලෙස අධ්‍යයන අංශ ප‍්‍රධානීන්, පීඨ සම්බන්ධීකාරකයන්, නේවාසිකාගාර පාලකයන් හා ශිෂ්‍ය උපදේශකයන් ලෙස තමන් දැරූ පරිපාලනයට සම්බන්ධ තනතුරුවලින් ඉල්ලා අස්වූහ.

මැයි 30දා අභියාචනාධිකරනය රුහුන, ශී‍්‍ර ජයවර්ධනපුර හා වයඹ යන විශ්ව විද්‍යාලවල ආන්ඩු පාක්ෂික සිසුන් තිදෙනෙක් ගොනුකල පෙත්සම් සලකා බලා ආචාර්යවරුන්ගේ ඉල්ලා අස්වීම් වලක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කලේ ය. අනෙක් විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන්ට එරෙහිව ද එවැනි ම නඩු පැවරීමට කටයුතු කෙරෙමින් තිබේ.

ජුනි 9දා අභියාචනාධිකරනය එම අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (එෆ්යූටීඒ) කල ඉල්ලීමක් ඉවත දැමීය. ඒ වෙනුවට අධිකරනය එම නියෝගය ජූනි 30 දින දක්වා දීර්ග කලේය. ආචාර්යවරු එම නියෝගය නො තකා පරිපාලන කටයුතු වලට සම්බන්ධ වීම ප‍්‍රතික්ෂේප කලහොත් ඔවුන්ට අධිකරනයට අපහාස කිරීමේ බරපතල චෝදනාවන්ට මුහුන දීමට සිදුවේ.

වෘත්තීය කි‍්‍රයාමාර්ග වලට එලඹෙන කම්කරුවන්ට එරෙහිව අධිකරන නියෝග භාවිතා කිරීම පිලිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව කුප‍්‍රකට ය. 2007 දී පාසල් ගුරුවරු තම වැටුප් අරගලයක කොටසක් ලෙස අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙල විභාගයේ පිලිතුරු පත් පරීක්ෂා කිරීම වර්ජනය කලහ. විභාග පිලිතුරු පරීක්ෂා කිරීම අවහිර නො කල යුතු යයි ශ්‍රේෂ්ඨාධිකරන නියෝගයක් ලබාගැනීමට ආන්ඩුව කි‍්‍රයා කලේ ය. ඒ පදනම මත පිලිතුරු පරීක්ෂා කිරීමට සහභාගි වීම ප‍්‍රතික්ෂේප කල ගුරුවරුන් ගනනාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඊට ගොදුරුවූ ගුරුවරුන් ආරක්ෂා කිරීම වෘත්තීය සමිති විසින් ප‍්‍රතික්ෂේප කලවිට සමස්ත උද්ඝෝෂනය ම දියාරු වී ගියේ ය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධතාව නිසා ඉහල උද්ධමනයට සරිලන පරිදි වැටුප් වැඩිවීම් ඉල්ලීමට අනෙකුත් කම්කරු කොටස් ද පෙලඹෙනු ඇතැයි බියපත්ව සිටින ආන්ඩුව එය මර්දනය කිරීමට අදිටන් කරගෙන සිටී.

කනිෂ්ඨ කථිකාචාර්යවරයෙකු මසකට රුපියල් 20,750ක් (එජ ඩොලර් 190ක්) හා මහාචාර්යවරයෙකු රුපියල් 57,500ක් වසයෙන් වැටුප් ලබන ඔවුන් ආසියාවේ අඩුම වැටුප් ලබන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අතරට ගැනෙයි. 1996 පටන් ඔවුන්ට වැටුප් වැඩිවීමක් සිදුවී නැත. මාසික වැටුප් සියයට 200 දක්වා වන වැඩිවන පරිදි "ගෞරවාන්විත වැටුප් වැඩිවීමක්” හා අධ්‍යයන වියදම් වැඩිකරන ලෙස එෆ්යූටීඒ ඉල්ලා ඇත.

පසුගිය සති තුන පුරා එෆ්යූටීඒ සභාපති රන්ජිත් දේවසිරි ඇතුලු එෆ්යූටීඒ නායකයෝ සුදුසු වැටුප් වැඩිවීමක් ප‍්‍රදානය කිරීම සඳහා නම්මා ගත හැකිය යන නිෂ්ඵල අපේක්ෂාව පෙරදැරි කරගෙන ජනාධිපති රාජපක්ෂ හා ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන නිලධාරීන් හමු වී ඇත. එය කිසිසේත් දැරිය නො හැකි යයි කියමින් ආන්ඩුව වැටුප් ඉල්ලීම එකහෙලා ප‍්‍රතික්ෂේප කර තිබේ.

ශිෂ්‍ය විරෝධතා පැවති පසුගිය ජූලි මාසයේ ආන්ඩුව වෙනස් තනුවක් වයමින් සිටියේ ය. මාසික වැටුප් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්ට රුපියල් 57,755 සිට 200,000 දක්වා ද කනිෂ්ඨ කථිකාචාර්යවරුන්ට රුපියල් 20,750 සිට 72,000 දක්වා ද වැඩි කරන බව උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක පාර්ලිමේන්තුවට ප‍්‍රකාශ කලේ ය.

ආන්ඩුවට එම පොරොන්දුව ඉටුකිරීමේ කිසිදු බලාපොරොත්තුවක් තිබුනේ නැත. ඒ වෙනුවට එහි අභිප‍්‍රාය වූයේ උසස් අධ්‍යාපනය පුද්ගලීකරනයට හා රාජ්‍ය විශ්ව විද්‍යාලවල පිරිහෙන කොන්දේසිවලට එරෙහිව විරෝධතාවේ යෙදී සිටි සිසුන් හා ආචර්යවරුන් බෙදීම යි.

ආන්ඩුවේ පිටුබලය සහිතව විශ්ව විද්‍යාල බලධාරීහු ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී නීති භාවිතා කරමින් විරෝධතාවල නිරතව සිටි සිසුන් දුසිම් ගනනකගේ පන්ති තහනම් කොට අත්අඩංගුවට ගන්නා ලදී. එතැන් සිට රාජපක්ෂ ආන්ඩුව දේශපාලන විරෝධය තවදුරටත් මැඩීම පිනිස අලුතින් විශ්ව විද්‍යාලවලට ඇතුල් වන අය මත මිලිටරිය විසින් ලබාදෙන අනිවාර්ය "නායකත්ව පුහුනුවක්” පටවා තිබේ.

ශිෂ්‍ය විරෝධතා මැඩලීමෙන් පසුව ආන්ඩුව වැටුප් වැඩිකරන බවට දුන් පොරොන්දුව කඩකරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෙත හැරී සිටී. ආචාර්යවරුන්ට එල්ල කරන නෛතික ප‍්‍රහාරයට සිසුන් එරෙහි විය යුතු අතර නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ පුලුල් උද්ඝෝෂනයක කොටසක් ලෙස ආචාර්යවරුනට සාධාරන වැටුප් හා සේවා තත්වයන් ලබාදෙන ලෙස බලකල යුතු ය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ පහල වැටුප්, අධ්‍යාපනය ද ඇතුලු රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියම වෙලාගත් අර්බුදයේ රෝග ලක්ෂනයකි. සිසුන්, ආචාර්යවරුන් හා අනධ්‍යයන සේවකයින් යන සියලු දෙනා ම විශ්ව විද්‍යාලවල පවතින ඉතිරී ගිය පන්ති කාමර, ප‍්‍රමානවත් නො වන පහසුකම් හා කාර්ය මන්ඩල හිඟය යන පහත් තත්වයන්ට මුහුන දේ.

තව ද විශ්ව විද්‍යාල හා පාසල්වල පිරිහීම සමස්ත වැඩකරන ජනතාවගේම ජීවන තත්වයන්ට එල්ල කෙරෙන පුලුල් ප‍්‍රහාරයක කොටසකි. රාජපක්ෂ ආන්ඩුව රාජ්‍ය සේවය කප්පාදු කිරීම හා වෙලඳපොල ගැති ප‍්‍රතිව්‍යුහකරන සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කොන්දේසි කි‍්‍රයාවට දමමින් සිටී.

කම්කරු පන්තියේ අනෙක් කොටස් ද ප‍්‍රහාරයට මුහුන දී සිටිති. පසුගිය මාසයේ අග ආන්ඩුව ආයෝජකයන්ට හා සමපේක්ෂකයන්ට උපකාරී වන පරිදි සැලසුම් කල නව විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහි වූ කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන්ගේ විරෝධතා මැඩීමට දහස් ගනනින් පොලීසිය හා හමුදාව යෙදවීය.

ලෝක ධනවාදී අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීම සඳහා ලෝකය පුරා ආන්ඩු මූල්‍ය ප‍්‍රාග්ධනයේ නියෝග කි‍්‍රයාවට දමමින් සිටිති. මෙම ප‍්‍රහාරවලට විරුද්ධව යුරෝපය, එක්සත් ජනපදය හා මැද පෙරදිග තුල අරගල පුපුරා ගොස් ඇත. මහජන අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය ආයෝජකයන්ට ලාභ උපයන ව්‍යවසායන් බවට හැරවීම සඳහා දංගෙඩියට තබා ඇත.

ආන්ඩුව දැනට මත් විදේශීය පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා අනුමැතිය දීම පිලිබඳව සාකච්ඡා කොට ඇත. ආචාර්යවරුන්ගේ උද්ඝෝෂනය පරාජය කිරීම හා ශිෂ්‍යයන් මර්දනය කිරීම තුලින් ඒ සඳහා ඉක්මනින්ම පොටක් පාදාගැනීමට ආන්ඩුව වලිකමින් සිටී. මෙය පරාජය කල යුතු ය.

වැටුප් අරගලයට සහයෝගය දක්වන අතර ම මහජන අධ්‍යාපනය හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාරවලට එරෙහිව සටන් වැදීම සඳහා ආචාර්යවරුන්ට හා ශිෂ්‍යයන්ට දේශපාලන කි‍්‍රයාමාර්ගයක් අවශ්‍ය යයි සසජාශි අවධාරනය කරන්නේ මේ නිසා ය.

ආන්ඩුවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡා "සතුටුදායක විසඳුමකින්” තොරව අවසන් වූ බව එෆ්යූටීඒ සභාපති දේවසිරි ජූනි 12 පිලිගත්තේ ය. එහෙත් ඊට ඔහු ප‍්‍රතිචාර දැක්වූයේ සම්මුතියක් සඳහා ආන්ඩුවට තව තවත් බලපෑම් යෙදීමේ උත්සාහයක් ලෙස තවත් විරෝධතාවක්, එනම් උසස් පෙල විභාග ඇගයීම් වර්ජනය කිරීමක්, යෝජනා කිරීම යි.

විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) එෆ්යූටීඒ උදඝෝෂනයට සහයෝගය දීමේ ප‍්‍රකාශයක් නිකුත් කොට ඇත. එහෙත් එෆ්යූටීඒට මෙන් ම අවිශිබමට ද වෘත්තීය සමිතිවල විරෝධතා උපාමාරුවලට සහයෝගය දීම හැරෙන්නට ආන්ඩුවට දේශපාලනිකව අභියෝග කිරීමේ ඉදිරි දර්ශනයක් නැත.

එහෙත් මෙය ආන්ඩුවට පීඩනය යෙදීමට උත්සාහ දැරීම පිලිබඳ ප‍්‍රශ්නයක් නො වේ. ජාමූඅ නියෝග කි‍්‍රයාවට දැමීම හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැති රාජපක්ෂ කම්කරුවන්ට හා තරුනයන්ට එරෙහිව පොලිස් රාජ්‍ය මර්දනය යෙදවීමට නො පැකිලෙනු ඇත. සමාජවාදී විකල්පයක් සඳහා වන පුලුල් දේශපාලන අරගලයක් වැලැක්වීමට ඔහුගේ ආන්ඩුව වෘත්තීය සමිති හා විරුද්ධ පක්ෂ මත පදනම් වේ.

අවශ්‍ය කරන්නේ සමාජවාදී වැඩපිලිවෙලක් ක‍්‍රියාවට නැඟීම පිනිස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ශිෂ්‍යයන් හා ආචාර්යවරුන් කම්කරු පන්තියේ අවශේෂ කොටස් වෙත හැරීම යි. සියල්ලන්ට නිදහස් හා ඉහල ගුනාත්මක අධ්‍යාපනයක් ද ගුරුවරුන්ට හා ආචාර්යවරුන්ට සුදුසු වැටුප් හා කොන්දේසි ද සම්පාදනය කිරීමට රුපියල් බිලියන ගනන් අවශ්‍ය කෙරේ.

සමාජවාදී සමානතා පක්ෂය ද සමගින් සසජාශි සටන් වදින ඉදිරි දර්ශනය මෙය යි. අපගේ කි‍්‍රයාමාර්ගය අධ්‍යයනය කරන ලෙසත් සෑම විශ්ව විද්‍යාලයක ම සසජාශි ශාඛා ගොඩනගන ලෙසත් අපි ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටිමු.