අයවැය කප්පාදුවට එරෙහි අරගලය තුල මතුවන දේශපාලන ප‍්‍රශ්න

The political issues in the fight against budget cuts

28 February 2011

ස්කොට් වෝකර් පාලනය විසින් දියත්කල දැවැන්ත ප‍්‍රහාරයන්ට එරෙහි විස්කොන්සින් කම්කරුවන්ගේ අරගලය දැන් එහි තෙවැනි සතියට එලඹ තිබේ. සමාජ වියදම් මහා පරිමානයෙන් කපාහැරීම හා කම්කරු අයිතීන් ඒකපාර්ශවික ලෙස අහෝසි කිරීම වෙත යොමු වූ ආන්ඩුකාරයාගේ යෝජනා කෙරෙහි විරුද්ධත්වය ඉහවහා යන තරම් ය. කටුක ශීත කාලගුනය මධ්‍යයේ ලක්ෂයකට වඩා කම්කරුවෝ ප‍්‍රාන්ත අගනුවර වන මැඩිසන්හි දී 16දා පෙලපාලි දැක්වූහ. ඒවා මෙතෙක් පැවති විශාලතම පෙලපාලි විය. ප‍්‍රාන්තය පුරා සියලු රජයේ හා පෞද්ගලික අංශයේ කම්කරුවන් මෙහෙයවාගත් වැඩ වර්ජනයක් සඳහා උනන්දුව දැල්වෙමින් තිබේ.

මෙම ගැටුමේ වැදගත්කම හා ඇඟවුම් විස්කොන්සින් වලට වඩා බොහෝ දුරට දිව යයි. යම් ආඥාදායක දුර්ගන්ධයක් ද මුසුව ඇති වෝකර් පාලයේ කටයුතු කම්කරු පන්තියට එරෙහි ජාතික පරිමානයේ රුදුරු ප‍්‍රහාරයකට මුලපිරීමකි. එක්සත් ජනපදය පාලනය කරන ධනේශ්වර කතිපයාධිකාරයේ මූල්‍ය සමපේක්ෂනය මඟින් කුලුගැන්වූ, 1930 ගනන් වල මහා අවපාතයෙන් මෙපිට හටගත් නරකම ආර්ථික අර්බුදයෙන් තෙවසරකට පසුව, වැඩ කරන ජනතාවගේ ජීවන තත්වයන් හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාර වඩාත් පැතිරී ගොස් තිබේ. 2008-09 වසරවල ඩොලර් බිලියන ගනනින් සැදුම්ලත් ඇපදීම් වලින් වාසි සලසාගත් ව්‍යාපාරික හා මූල්‍ය අවශ්‍යතා, දැන් ඉල්ලා සිටින්නේ එම ක‍්‍රියාවලිය නිසා ජනිත කල, ප‍්‍රාන්තවල හා සමස්තයක් වශයෙන් මුලු රටෙහිම බංකොලොත්කම සඳහා වන්දිය ගෙවිය යුත්තේ කම්කරු පන්තිය බවයි.

වැටුප් කැටිකිරීම හා කප්පාදු ද අමාරුවෙන් දිනාගත් වැදගත් සමාජ සහන කැපීම ද නොගිනිය හැකි තරම් රැකියා විනාශ කිරීම මෙන්ම සමාජීය වශයෙන් ඉතා වැදගත් සේවා අහෝසි කිරීම වෙනුවෙන් කෙරෙන හඬගෑමෙහි දේශපාලන හා සමාජ අර්ථය මෙයයි. සැලසුම් කර, ඉල්ලා සිටින හා ක‍්‍රියාවට නඟා තිබෙන කප්පාදු, කම්කරු පන්තිය දශක නොව පරම්පරා ගනනාවක් පසුපසට ඇද දමනු ඇත.

මෙම ඓතිහාසික සන්දර්භය තුල වෝකර්, එක්සත් ජනපදයේ සමාජ පරිවර්තනය දියත් කිරීමට තුඩුදුන් 1930 ගනන්වල මහා කම්කරු පන්ති නැඟිටීම් වලට පෙර 1920 ගනන් දක්වා ඔරලෝසුව ආපසු කැරකවීම පිලිබඳව අතිශයින්ම බැරැරුම් ව්‍යාපාරික හා මූල්‍ය කතිපයාධිකාරයේ නිර්දය දේශපාලන නියෝජිතයින්ගෙන් කෙනෙක් පමනි.

වෝකර්ට, ගුරුවරුන්ගේ හා අනෙකුත් රාජ්‍ය සේවකයින්ගේ සහන කැපීම හා සෞඛ්‍ය සේවය මෙන්ම සමාජ වැඩසටහන්වල බොක්ක එලියට ඇද දැමීම පමනක් සෑහෙන්නේ නැත. ඔහු, පවත්නා වෘත්තීය සමිති විසින් ඉතාම දියාරු ලෙස මෙන්ම බියගුලු ලෙස භාවිතයට ගන්නා සාමුහික කේවෙල් කිරීම පිලිබඳ හාංකවිසියක් හෝ ඇත්නම් එය ද අහෝසි කල යුතු බව කියා සිටියි. වෝකර්ට මෙන්ම ඔහු කථිකයෙක්ව සිටින ධනපති පන්තියේ අධම කොටස් වෙනුවෙන් ඉතිරිව ඇති ප‍්‍රධාන ඉලක්කය වන්නේ හුදෙක් පවත්නා වෘත්තීය සමිති නො වේ. ඔහුගේ සැබෑ ඉලක්කය වන්නේ, මූල්‍ය-ව්‍යාපාරික කතිපයාධිකාරයේ හා ධනේශ්වර රාජ්‍යයේ නිර්දේශ වලට එරෙහිව පැනනැඟී ඇති කම්කරු පන්තියේ කුමන හෝ සංවිධිත විරෝධයක් අතුගා දැමීමයි.

විස්කොන්සින්හි හා ජාතිකව ද ක‍්‍රියාත්මක වන සියලු වෘත්තීය සමිති මෙම ප‍්‍රහාරයට දක්වන ප‍්‍රතිචාරය, දෙපිටකාට්ටු මෙන්ම දේශපාලනිකව බංකොලොත් ය. ආරම්භයේ පටන් ම ඔවුන් වැඩ කලේ, සාමුහික කේවෙල් කිරීම හා නිරායාසයෙන්ම ලැබෙන දායක මුදල් අහෝසි කිරීම වැනි වෘත්තීය සමිතිවල සංවිධානාත්මක ආසක්තයන්ට එරෙහි වෝකර්ගේ ප‍්‍රහාර හා වැටුප්, සහන හා රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ රැකියාවන්ට එල්ල කරන ප‍්‍රහාර අතර කිසිදු සම්බන්ධයක් නැතැයි සලකා ගෙන ය. ඔවුන් යලි යලිත් පෙන්නුම් කලේ ආන්ඩුකාරයා දිගු කලක් තිස්සේ ස්ථාපිතව තිබෙන සමිතිවල පරමාධිකාරයට අභියෝග නො කරන තාක් දුරට තමන් මේ ප‍්‍රහාරයන් සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි.

වෝකර්ගේ ප‍්‍රහාරයන්ට සමිති දක්වන කොන්ද පනනැති ප‍්‍රතිචාරය පිටුපස නිශ්චිත දේශපාලන ගනන් බැලීම් පවතියි. දැවැන්ත අයවැය කප්පාදු වෙනුවෙන් වෝකර් පාලනය ඉදිරිපත් කරන ඉල්ලීම් කෙරෙහි දක්වන ප‍්‍රතිරෝධය සමහර විට වඩා විශාල ප‍්‍රාන්ත ද ඇතුලු වෙනත් බොහෝ තැන්වලදී ඩිමොක‍්‍රටික් ආන්ඩුකාරයින් සමඟ ඇති කර ගෙන තිබෙන ගිවිසුම් ද කපාගෙන යන පූර්වාදර්ශයක් වනු ඇති බව සමිති නායකයෝ හොඳාකාරව ම දැන සිටිති. එන්බීසීහි 27දා උදෑසන පැවති "මාධ්‍ය හමුවන්න” වැඩසටහනේ දී ඒඑෆ්එල්-සීඅයි ඕ සභාපති රිචඩ් ට්රුම්කා, වෘත්තීය සමිති ආර්ථික අර්බුදයේ වගකීම ගැනීමට මනාප බව අවධාරනයෙන් කියා සිටියේ ය. ඔහු මෙසේ ද පැවසීය. "සිය සේවකයින් සමඟ එකට වාඩිවී කටයුතු කිරීමට කැමති එම ආන්ඩුකාරයින්ට ගැටලු නිරාකරනය කරගත හැකිය. අපට ඒවා විසඳිය හැකිය.”

එසේනම් ඒඑෆ්එල්-සීඅයි ඕහි මූලික තර්කය කුමක් ද? ඔවුන් කියන්නේ, සමිති මත පදනම්වූ නීතිමය පරමාධිකාරයන්ට හා ගාස්තු වලට පහර ගැසීමේ අවශ්‍යතාවක් නැති බවයි. ඩිමොක‍්‍රටික් වේවා රිපබ්ලිකානු වේවා ප‍්‍රාන්ත ආන්ඩු සමඟ ඔවුන්ගේ මූල්‍ය හා අයවැය ඉලක්ක ජයගැනීමේ දී එක්ව වැඩ කිරීමට ඒඑෆ්එල්-සීඅයි ඕ මනාපව හා සූදානම්ව සිටිති.

එහෙත් මෙහි දී කම්කරු පන්තිය නතර වන්නේ කොතැනක ද? පිලිතුර වන්නේ, රැකියා නොමැතිව, ප‍්‍රමානවත් වැටුප් හා වේතන නොමැතිව, අත්‍යවශ්‍ය සහන හා සමාජ සේවාවන් නොමැතිව, ප‍්‍රමානවත් පාසැල් හා රෝහල් නොමැතිව, මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ගෙන් තොරව හා අනාගතයක් නොමැතිව යන්නයි.

මෙම තීරනාත්මක තත්වයේ දී කම්කරු පන්තියට සිය සටන තවත් පැතිරවීම හැරෙන්නට වෙනත් විකල්පයක් ඇත්තේ නැත. එහෙත් ඔවුන් තමන් කරන්නේ කුමන සටනක් ද කුමක් සඳහා සටන් කරන්නේ ද යන්න හඳුනා ගත යුතු ය. වැඩ කරන ජනතාව මුහුන දෙන්නේ හුදෙක් විවිධාකාර ප‍්‍රතිගාමී ආන්ඩුකාරයින්ට පමනක් නො වේ. තමන් යෙදී සිටින්නේ ධනේශ්වර පද්ධතියට ම එරෙහි දැවැන්ත පන්ති අරගලයක බව කම්කරු පන්තිය වටහා ගනු ඇත. මෙම ගැටුමෙහි දුරදිග යන දේශපාලන හා අවසාන වශයෙන් විප්ලවවාදී ඇඟවුම් පවතියි.

ආන්ඩුකාර වෝකර් හා රටපුරා තිබෙන ඩිමොක‍්‍රටික් මෙන්ම රිපබ්ලිකානු යන දෙවර්ගයේ ම ප‍්‍රාන්ත පරිපාලනයන් හා, ඔබාමා පාලනාධිකාරයම විසින් යයි ද අවධාරනය කල යුතු, ඉල්ලා සිටින දේ ධනවාදී ලාභ පද්ධතියේ ම අසාර්ථකත්වයට දෙස් දෙයි. නවීන හා අතිශයින් ම සංකීර්න සමාජයක් තුල කම්කරුවන්ගේ ජීවන තත්වයන් හා අත්‍යවශ්‍ය සමාජ අවශ්‍යතා, ධනපතියන්ගේ ලාභය සඳහා වන බඩජාරී තල්ලුවේ හා පුද්ගලික ධන රාශිකරනයේ අවශ්‍යතා සඳහා කැප කිරීම තව දුරටත් ඉවසිය නො හැකිය.

වැඩ කරන ජනතාවන් එක්සත් ජනපදය හා ලෝකය තුල පවත්නා තත්වයන් වටහා ගන්නා කල පහත සඳහන් නිගමනය කරා එලඹිය යුතු ය. එනම්, සමාජයේ ආර්ථික හා දේශපාලන සංවිධානය තුල අති මූලික වෙනසකට, එනම් ධනවාදයෙන් සමාජවාදයට, නොඅඩු කිසිවක් නොසෑහෙන්නේය යන නිගමනයට එලඹිය යුතුය.

විස්කොන්සින් කම්කරු අරගලයේ වර්ධනය ද රට පුරා හා ලෝකය පුරා එහි ව්‍යාප්තිය ද තීරනාත්මක ලෙස රඳාපවත්නේ, සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් හා ඉදිරිදර්ශනයක් සඳහා සටන මතය. සමාජවාදී සමානතා පක්ෂය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ, කම්කරු පන්ති අරගලයේ මෙම නව කාලපරිච්ඡේදය සඳහා අවශ්‍ය කෙරෙන සංවිධානාත්මක රූපාකාරයන් හා දේශපාලන ක‍්‍රියාමාර්ගය සාකච්ඡාවට ගන්නා සමුලු මාලාවක් අපේ‍්‍රල් මාසය තුල රටපුරාම පැවැත්වීමට කටයුතු යොදා ඇත. අපගේ පාඨකයින්ගෙන් ද පාලක පන්තියේ ප‍්‍රතිපත්ති වලට එරෙහිව බැරෑරුම් අරගලයක් ගෙනයෑමට අවශ්‍ය සියලුදෙනාගෙන් ද අප ඉල්ලා සිටින්නේ ඊට සහභාගී වීම සඳහා අද සිට ම සූදානම් වන ලෙසයි .

ජෝසෆ් කිෂෝර් හා ඩේවිඩ් නෝර්ත්