ගඩාෆි හෙලනු! එක්සත් ජනපද-නැටෝ මැදිහත්වීම එපා!

Down with Gaddafi! No to US-NATO intervention!

10 March 2011

අධිරාජ්‍යවාදී බලයන් සමග දීර්ඝ කාලයක් පුරා සහයෝගීව සිට ඇති දක්ෂිනාංශික ධනේශ්වර ආඥාදායකත්වයක් වන මුවම්මර් ගඩාෆිගේ තන්ත‍්‍රය නෙරපා හැර ඒ වෙනුවට ප‍්‍රජාතාන්ති‍්‍රක හා අව්‍යාජ මහජන ආන්ඩුවකින් එම තන්ත‍්‍රය විස්ථාපනය කිරීමට ලිබියානු මහජනයා ගෙනයන අරගලයට ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහයෝගය දෙයි. එහෙත් ගඩාෆිව නෙරපාහැරීම කල යුත්තේ හෝ කලහැක්කේ එක්සත් ජනපද හා නැටෝ මැදිහත්වීමකින් පමනක් ය යන කියාපෑම අපි මුලුමනින් ම ප‍්‍රතික්ෂේප කරමු.

ලිබියානු ජනතාවගේ විමුක්තියේ වාහකය වන්නේ සමස්ත උතුරු අපි‍්‍රකාවේ හා මැද පෙරදිග පුරා මහජනයා සමග සන්ධාන ගතවන ලිබියානු කම්කරු පන්තිය යි.

අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට විරුද්ධ වීම සමාජවාදී ව්‍යාපාරයේ චිරකාලීනව ස්ථාපිත ප‍්‍රතිපත්තියකි. විසිවන ශතවර්ෂයේ සමස්ත පූර්ව ඉතිහාසය සඳහන් නො කලත් පසුගිය දශකයේ ඉරාකය හා ඇෆ්ගනිස්ථානය තුල අත්දැකීම් මෙම ප‍්‍රතිපත්තියේ නිරවද්‍ය භාවය සනාථ කර ඇත.

පීඩිත ජනතාවගේ නායකත්වය ගන්නා කම්කරු පන්තිය වෙනුවට එක්සත් ජනපද-නැටෝ මැදිහත්වීමකින් ගඩාෆිව නෙරපාහැරීමේ අර්ථය වනු ඇත්තේ විප්ලවය ගබ්සා කිරීම පමනක් නොව තවත් විජිතවාදී තන්ත‍්‍රයක් ස්ථාපනය කිරීම යි. එමගින් මහජන නැගිටීම් හරහා දීර්ඝකාලීන ආඥාදායකයන් නෙරපා හැර ඇති වුවත් තවමත් රාජ්‍ය යන්ත‍්‍රනයට හා ධනේශ්වර ව්‍යුහයට අත නො තබා පවතින ටියුනීසියාවේ හා ඊජිප්තුවේ දේශසීමා මත අධිරාජ්‍යවාදී මිලිටරි හමුදා ස්ථානගත කරනු ඇත. එය ලෝක ධනවාදයේ බිඳවැටීම මගින් ජනනය කරනු ලැබ ඇති විප්ලවවාදී අරගලයන්ට එරෙහි වැඩිදුර ප‍්‍රහාර සඳහා වේදිකාව සකසනු ඇත.

ඇත්ත වසයෙන් ම ගඩාෆිට එරෙහිව ඍජුව මිලිටරිය මැදිහත් කිරීමේ සැලසුම් පිටුපසින් ඇති ප‍්‍රධාන ධාවකය මෙය මිස ලිබියානු ජනතාව සඳහා වන අනුග‍්‍රහශීලීත්වය නො වේ.

අද දින නැටෝ ආරක්ෂක ඇමතිවරුන්ගේ සම්මේලනයක් විවෘත වෙද්දී එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදීහු මැදිහත්වීමක් පිලිබඳව විවාද කරමින් සිටිති. පියාසර තහනම් කලාපයක් පැටවීම, ලිබියානු කැරලිකාරි හමුදාවලට මිලිටරි සැපයුම් ගොඩබැස්සවීම හා ගඩාෆි ආන්ඩුවට එරෙහිව ඍජු නාවික හා ගුවන් ප‍්‍රහාර දියත් කිරීම වැනි පියවරයන්ට ඇමරිකානු, බි‍්‍රතාන්‍ය, ප‍්‍රන්ස, ඉතාලි හා ජර්මානු මිලිටරි හමුදා සූදානම් වෙමින් සිටිති.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප‍්‍රධාන කතුවැකි හඬ වන නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ බදාදා පලකල කතුවැකියක් මගින් ලිබියාව තුල මිලිටරි මැදිහත්වීමක් සඳහා වන උද්ඝෝෂනය තර කරන ලදී. එවන් මිලිටරි කි‍්‍රයාන්විතයක් විවෘතව නිර්දේශ කිරීම නිර්ලජ්ජිත, ප‍්‍රතිගාමී හා වංක වේ.

පසුගිය සති තුන පුරා තෙල්වලින් පොහොසත් රටතුල දිගහැරී ඇති සිවිල් යුද්ධයේ දී ඇමරිකානු මිලිටරියේ භූමිකාවක් සංවිධානය කිරීමට හා සාධාරනීකරනය කිරීමට ඇති තරම් වේගයෙන් කි‍්‍රයා නො කිරීම ගැන ඔබාමා පරිපාලනය විවේචනය කරමින් කතුවැකිය ආරම්භ වේ. පියාසර තහනම් කලාපයක් පැටවීමෙන් ඇතිවියහැකි සමහර ප‍්‍රායෝගික අන්තරායන්වලට අවධානය යොමු කොට ඇති නිලධාරීන්ගේ "ගැටුම්කාරී නිවේදන” හා "ප‍්‍රසිද්ධ අත්ඇඹරවීම්” ගැන ඔබාමාට එය බැනවදී.

ඊ ලඟට එක්සත් ජනපදය ලිබියාවට "මානවවාදී” පදනමකින් මැදිහත් විය යුතු යයි කියමින් ටයිම්ස් පුවත්පත වැඩට බසී. ගොඩබිම් හමුදා භාවිතා කිරීම ප‍්‍රතික්ෂේප කරන කතුවැකිය - දැනට ඇෆ්ගනිස්ථානය හා ඉරාකය තුල කෙරීගෙන යන යුද්ධවල ඉල්ලුම මධ්‍යයේ එක්සත් ජනපදය සතුව පවතින භූමි භටකායන් ප‍්‍රමානය අඩු ය - "ලිබියාවේ නැගීසිටීමට සහයෝගය දීමට හා කර්නල් මුවම්මර් අල්-ගඩාෆි සිය ජනයා සංහාරයට ලක්කිරීමෙන් වැලැක්වීමට යම් ක‍්‍රමයක් සොයා ගත යුතු ය” යයි ප‍්‍රකාශ කරයි.

ලිබියාව තුල සිවිල් තුවාලකරුවන් පිලිබඳ මෙම සංකාමය ඉරියව්වට කිසිදු විශ්වාසනීයත්වයක් නැත. ටියුනීසියාවේ හෝ ඊජිප්තුවේ කලින් කරන ලද සංහාරයන් හෝ ඉරාකය, යේමනය, බහරේනය, ඕමානය, ඇල්ජීරියාව, මොරොක්කෝව හෝ සවුදි අරාබියේ දැනට කෙරීගෙන යන විරුද්ධවාදීන් ඝාතනය කිරීම් නැවැත්වීම සඳහා එක්සත් ජනපද මිලිටරි කි‍්‍රයාවක් ඉල්ලා සිටින කිසිදු කතුවැකිමය හඬගෑමක් නැත.

ටයිම්ස් පුවත්පත ගාසා තීරයේ හා ලෙබනනයේ සිවිල් වැසියන් මත ඊස්රායලය බෝම්බ හෙලීම හෙලාදැක්කේ ද නැත. ඉරාකය, ඇෆ්ගනිස්ථානය හා පාකිස්තානය තුල සිවිල් වැසියන් මත එක්සත් ජනපදය නො කඩවා කරන බෝම්බ හෙලීම් ගැන තත්වය ද එය ම ය.

ලිබියාව තුල මැදිහත්වීමකට තමන් දෙන සහයෝගය බුෂ් පරිපාලනය ඉරාකය මත ඉරාකය පාර්ශ්වයෙන් අප‍්‍රකුපිත යුද්ධයක් දියත් කිරීමෙන් වෙන්කොට දැක්වීමට දතකන ටයිම්ස් පුවත්පත, කලාපය තුල නව ඇමරිකානු මිලිටරි වික‍්‍රමයකට විශ්වාසනීයත්වයක් දීමට "අරාබි ලෝකයෙන් විශ්වාසනීය නිර්දේශයක් ලැබීම අත්‍යවශ්‍ය වේ” යයි ප‍්‍රකාශ කර සිටී.

එය සාක්ෂාත් කර ගැනීම සඳහා පර්සියානු ගල්ෆ් කලාපය තුල සවුදි අරාබිය නායකත්වය දෙන රාජාන්ඩු සංගමය වන ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය ලිබියාව මත පියාසර තහනම් කලාපයක් ප‍්‍රකාශයට පත්කිරීමට දෙන සහයෝගය ටයිම්ස් කතුවැකියෙන් උත්කර්ෂයට නංවයි. පොලීසිය විසින් විපාක නො ලබා විරුද්ධවාදීන්ව ඝාතනය කොට ඇති බහරේනය හා ඕමානය මෙන් ම විරෝධතා දැක්වීම මරනීය දන්ඩනය ගෙනදෙන වරදක් වන සවුදි අරාබිය ද එම කවුන්සිලයට අයත් වේ.

ටයිම්ස් ආයාචනා කරන මෙම සියලු තන්ත‍්‍ර ඒවායේ ම ජනයාගේ වෛරයට ලක්වන ආඥාදායකත්වයන් වේ.

පියාසර තහනම් කලාපයක් ප‍්‍රකාශයට පත් කරන ලදහොත් "ඊජිප්තුව හා අනෙකුත් සමහර සාමාජික රටවලට සහභාගි වීමට මිලිටරි සම්පත් තිබේ” යයි අවධානයට ලක්කරමින් අරාබි සංගමයේ විදේශ ඇමතිවරුන්ට ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ උදාහරනය අනුයන ලෙස ටයිම්ස් උනන්දු කරයි. මෙය අතිශයින් ම දුෂ්ට ඇඟවුම් සහිත ය. මුබාරක් ආඥාදායකත්වයේ පදනම වූ ඊජිප්තු මිලිටරිය, මුබාරක්ගේ ඉවත් වීමෙන් පසුව ද ඊජිප්තු ධනපති පන්තිය හා එහි අධිරාජ්‍යවාදී හාම්පුතුන්ගේ මුරබල්ලා ලෙස දිගට ම පාලනය ගෙන යයි.

ලිබියාව තුල පියාසර තහනම් කලාපයක් බලාත්මක කිරීම පිටුපස ඊජිප්තුව ගාල් කරගැනීමේ අර්ථය වනු ඇත්තේ ඊජිප්තු මිලිටරියට අතිරේක සම්පත් සම්පාදනය කරමින් ඊජිප්තු කම්කරුවන් හා ගොවීන් සමග එහි නො වැලැක්විය හැකි මුනගැටුමේ දී එය ශක්තිමත් කරමින් පෙන්ටගනය සමග ඍජු කි‍්‍රයාන්විත සන්නිවේදනය ස්ථාපනය කිරීම යි.

කතුවැකිය යලි යලිත් ලිබියානු කැරලිකරුවන්ව උත්කර්ෂයට නැංවුව ද ගඩාෆිට එරෙහි විරුද්ධත්වයේ නිරතව සිටින විෂමජාතීය බලවේගයන් පිලිබඳ තක්සේරුවක් කිරීමට එය අසමත් වෙයි. එක්පසෙකින් අත්තනෝමතික තන්ත‍්‍රය කෙරෙහි වෛරයෙන් ධාවනය කරනු ලබන පීඩිත කම්කරුවන් හා ගොවීන් ය. අනෙක් පසින් යන්තම් සති කිහිපයකට පෙර කාලය වනතෙක් ගඩාෆිගේ ආන්ඩුවේ හා පරිවාර පිරිසේ හවුල්කාරයන් වූ ප‍්‍රකාශකයන් හා නායකයන් ය. අධිරාජ්‍යවාදී මැදිහත්වීමක් සඳහා වඩාත් අවධාරනශීලී ඉල්ලීම් පැමින ඇත්තේ හරියට ම මෙම පිරිස් වෙතිනි.

අධිරාජ්‍යවාදී බලයන් හා ඒවායේ දේශපාලන ආනුභාවය කෙරෙහි ද ලිබියානු තෙල් වෙත ප‍්‍රවේශවීම සහතික කර ගැනීම සඳහා දරන ලද උපාමාරු කෙරෙහි ද කැරලිකාරී හමුදා අතර ම පැතිරුනු අවිශ්වාසයක් පවතී. "තරුනයන්ට මිලිටරි මැදිහත්වීමක් අවශ්‍ය නැහැ. එය කරලියට ගෙනාවේ විප්ලවවාදී කවුන්සිලය යි. අපි අරාබි ජාතිකයන් ලෙස විදේශීය මිලිටරි මැදිහත්වීම්වල

කැත ඉතිහාසයකට හිමිකම් කියනවා. මහජනයා එය සලකන්නේ ආක‍්‍රමනයක් ලෙස යි” යයි එක් කැරලිකාරී කන්ඩායමක ප‍්‍රකාශිකාවක් වන ඉමාන් බුගායිගිස් ගාඩියන් වෙත පැවසීය.

"තමන්ගේ ම ජනයා සංහාරයට ලක් කිරීම මගින් බලයේ රැඳී සිටීමට කර්නල් ගඩාෆි සමත් වුවහොත් එය ව්‍යසනයක් වනු ඇත” යයි ටයිම්ස් කතුවැකිය සමාප්ත වේ. එහෙත් ඉරාකයේ මලිකි හා ඇෆ්ගනිස්ථානයේ කර්සායි වැනි එක්සත් ජනපද රූකඩයන් බලයේ රැඳී සිටින්නේ වෙන කුමන ආකාරයෙන් ද? විශේෂයෙන් ම වඩාත් පරිපීඩිත ස්ථර ඇතුලුව දේශපාලන විරුද්ධත්වය දක්වන්නන්ට සම්මත සැලකීම ලෙස හිසගසා දැමීම කි‍්‍රයාත්මක වන සවුදි රාජාන්ඩුව දිගට ම පැවතීම "ව්‍යසනයක්” ලෙස ටයිම්ස් නො සලකයි.

ලිබියානු සිද්ධීන් තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සැබෑ භූමිකාව කුමක් ද? ලාභදායී තෙල් සහනයන් හා කොන්ත‍්‍රාත්තුවලට හිලවු ලෙස පසුගිය දශකය පුරා ගඩාෆි සමග පයුරුපාසනයේ යෙදී සිටි එක්සත් ජනපදය පෙබරවාරි 15දා බෙන්සායිහි පුපුරා ගිය මහජන ව්‍යාපාරය ඩැහැගෙන එය අධිරාජ්‍යවාදී බලයන්ට මැදිහත්වීම සඳහා කවරයක් ලෙස ක්ෂනිකව යොදා ගත්තේ ය.

ප‍්‍රථමයෙන් අරගලය තුල සිරවී සිටින විදේශිකයන්ව "මුදාගැනීමට”ත් ඉන්පසුව ලිබියානු සිවිල් වැසියන්ට මානුෂීය ආධාර දීමේ මුවාවෙන් ද මැදිහත්ව ඇති රටවල් දුසිමක විශේෂ හමුදා, නවුක හා මිලිටරි ගුවන් යානා දැනට ම ත් ලිබියානු ස්වෛරීභාවය උල්ලංඝනය කොට තිබේ.

මරන ප‍්‍රමානය අඩුකිරීමට කි‍්‍රයාත්මක වනවා වෙනුවට අධිරාජ්‍යවාදී බලයෝ, කැරලිකාරී හමුදාවන්ට සර්ට් හා ටි‍්‍රපොලිහි විශාල ලෙස රැකවල් දා ඇති ගඩාෆිගේ බලප‍්‍රදේශවලට කාන්තාරය හරහා පලායාමට අනුබල දී සිවිල් යුද්ධය අවුලුවා ඇත. බොහෝ සෙයින් මිලිටරි පුහුනුව රහිත සිවිල් වැසියන් නිරත වන එවැනි සූදානම් රහිත ගැටුම්වල වැලැක්විය නො හැකි ලේ හැලීම් එක්සත් ජනපද-නැටෝ මිලිටරි මැදිහත්වීමක් සඳහා මාධ්‍ය ගෙනයන උද්ඝෝෂනයට අවශ්‍ය කවරය සම්පාදනය කර ඇත.

ටයිම්ස් හෝ ලිබියාව මත එක්සත් ජනපද-නැටෝ ප‍්‍රහාරයක් වෙනුවෙන් පෙනී සිටින අනෙකුත් අද්වකාත්වරු තමන්ගේ ම තර්කවල පරස්පරයන් සමග ගනුදෙනු කිරීමට උත්සාහ නො කරති. උතුරු අපි‍්‍රකාව හා මැද පෙරදිග පුරා කැලඹිල්ල පැතිරී ඇති අතර ලිබියාව හැර අනෙකුත් සෑම රටක දී ම අධිරාජ්‍යවාදී බලයෝ අශමනීය දක්ෂිනාංශක තන්ත‍්‍රයන් සමග පෙල ගැසී ඇත්තාහ.

ලිබියාව පිලිබඳ ආක‍්‍රමනකාරී ස්ථාවරය ගලා එන්නේ ලිබියානු ජනතාවගේ මානව හිමිකම් සමග මොන ම සම්බන්ධයක් හෝ නැති ආර්ථික අවශ්‍යතා හා භූ-දේශපාලනික මූලෝපායික සලකා බැලීම්වලිනි. තමන්ට කොතරම් නිග‍්‍රහශීලී වුවත් අවසානයේ මිලිටරි මැදිහත්වීමක් සඳහා තමන් කරන තර්ජනය කාලයට හා සලකා බැලීම්වලට නො ගැලපේ යයි එක්සත් ජනපද හා යුරෝපීය බලයන් නිගමනය කලහොත් ඔවුන් පෙරලා ගඩාෆි සමග ගනුදෙනුවට එලැඹෙනු ඇත.

අවසාන විග‍්‍රහයේ දී අධිරාජ්‍යවාදය වෙනුවෙන් පාලනය ගෙනයන ප‍්‍රාදේශීය ආඥාදායකයන් ලිබියාවේ දී හෝ ලෝකයේ අනෙක් ප‍්‍රදේශයක දී නෙරපාහැරීම එක්සත් ජනපදයේ හා යුරෝපයේ මිලිටරි යන්ත‍්‍රයනයට පැවරිය නො හැක.

සමාජවාදී ව්‍යාපාරයේ හිමිදිරියේ දී මාක්ස් හා එංගල්ස් අවධාරනය කල පරිදි කම්කරු පන්තියේ විමුක්තිය උදාකර ගැනීම කම්කරු පන්තියේ ම කර්තව්‍යය යි.

පැට්රික් මාටින් හා ඩේවිඩ් නෝර්ත්