ලිබියාවට එරෙහි සියලු අධිරාජ්‍යවාදී ආක‍්‍රමන නතර කරනු !

No to imperialist intervention in Libya!

19 March 2011

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ලිබියාව තුල කෙරෙන කුමන මිලිටරි ආක‍්‍රමනයක් වුව ද කොන්දේසි විරහිතව හෙලා දකී. බ‍්‍රහස්පතින්දා (17) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය විසින් අවසර දී අනුමත කරන ලද යුද ආක‍්‍රමනය මහ බලවතුන් ඉදිරිපත් කර ඇති ව්‍යාජ මානවහිතවාදී හේතු නිසා සිදු කෙරෙන්නක් නො වේ. ඒ වෙනුවට ඇත්ත වශයෙන් සිදුකෙරෙමින් තිබෙන්නේ කලින් යටත් ව තිබූ රටක් අධිරාජ්‍යවාදීන් විසින් යලිත් වරක් ප‍්‍රචන්ඩව යටත් කර ගැනීම යි.

ප‍්‍රන්ස, බි‍්‍රතාන්‍ය සහ ඇමරිකානු ගුවන් යානා විසින් ලිබියාව මතට බෝම්බ හෙලීම මිනිස් ජීවිත නම් ආරක්ෂා කරන්නේ නැත. ඒ වෙනුවට සිදුවනු ඇත්තේ දහස් ගනන් අහිංසක ජනයා ගොදුරු කර ගන්නා යුද පිටියක් බවට ලිබියාව පරිවර්තනය කිරීම යි. මෙය අධිරාජ්‍යවාදී යුද්ධයකි. ලිබියාව වනාහි පීඩිත රටකි; පෙර පැවති යටත් විජිතයකි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙවන් රටවල් මතට අධිරාජ්‍යවාදී බලවතුන් විසින් එල්ල කරන ප‍්‍රහාරයන් කුමන තත්වයක දී වුව ද අති මූලික වසයෙන් ම හෙලා දකී.

එපමනක් නො ව, මෙම යුද්ධයට කුමන හෝ ප‍්‍රජාතන්ත‍්‍රික යුක්ති සහගත භාවයක් ඇත්තේ නැත. යුද්ධයට මැදි වී ඇති රටවල මහජනතාව කිසිසේත් ම එයට සහාය නො දක්වති. යලිත් වරක් කෙරෙන්නේ සමාජ සහන වැඩපිලිවෙලවලට වියදම් කිරීම සඳහා මුදල් ඇත්තේ නැතැයි කියන එම ආන්ඩු ම යුද්ධය සඳහා දැවැන්ත මුදලක් වියදම් කිරීම ය.

ගඩාෆිගේ බලකඳවුරුවලට මිලිටරි ප‍්‍රහාරයක් එල්ල කිරීම මගින් ඔහුගේ ලේවැකි ඒකාධිපතිත්වයට එරෙහිව පැන නැග ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධතා ව්‍යාපාරයක් ශක්තිමත් කෙරෙනු ඇතැයි කියන උදවිය පහත සඳහන් ප‍්‍රශ්නයට පිලිතුරු දිය යුතු ය: මෙම මහ බලවතුන් තමන්ගේ සහාය ලද මුර්ග ඒකාධිපති පාලකයන් විසින් ඕනෑම විරුද්ධ පාර්ශවයකට එරෙහිව මුර්ග දාමරිකත්වය යොදා ගන්නා ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය සම්බන්ධයෙන් එම මිනුම් දන්ඩ ම පාවිච්චි නො කරන්නේ මන්ද? එපමනක් නො ව එක්සත් ජනපද පස්වැනි නාවුක හමුදාවේ මධ්‍යස්ථානය වන බහරේන් හි ෂික් අල් කලිෆා සව්දි හමුදාවේ ආධාර ලැබ නිරායුධ පෙලපාලිකරුවන් මරා දමන කල ඒ ගැන කියන්නේ කුමක් ද? පලස්තීනයේ ගාසා තීරයේ ඊස්රායල් ඝාතකයන් පලස්තීනුවන් මරා දමන කල්හි මෙම බලවතුන් ගන්නේ ඊස්රායලයේ පැත්ත නො වේ ද? බටහිර ආධාර ලත් ජනාධිපති අලි අබ්දුල් සාලේ පසුගිය සිකුරාදා පෙලපාලිකරුවන් පනස්දෙනෙකුට වෙඩි තබා මැරූ යේමනය ගැන කියන්නේ කුමක් ද?

ලිබියාවට එරෙහිව මිලිටරි ප‍්‍රහාරයක් එල්ල කිරීමට සහාය දක්වන්නා වූ එක ද ආන්ඩුවක් හෝ පුවත් පතක් අප ඉහත දැක් වූ ප‍්‍රකට පරස්පර විරෝධයන් පැහැදිලි කිරීමට කිසිදු උත්සාහහක් දරා නැත. කෙසේ වෙතත්, ලිබියාවට එරෙහි ප‍්‍රචන්ඩ ක‍්‍රියාවල සැබෑ ඉලක්කය කුමක් ද යන්න මෑත සිද්ධීන්වල තර්කනය සලකා බලන ඕනෑම කෙනෙකුට පැහැදිලි වනු ඇත.

යාන්තම් මාස දෙකකට පෙර ටියුනීසියානු පාලක සීනේ අල් අබිඩින් බෙන් අලි මහජන නැගිටීමක් මගින් පෙරලා දමනු ලැබී ය. ඉන් මසකට පසු ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් ද එවන් ඉරනමකට ම ලක් වූයේ ය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස බටහිර බලවතුන්ට මෙම ප‍්‍රදේශය තුල ප‍්‍රධාන මුක්කු දෙකක් නැතිව ගියේ ය.

ගඩාෆි සම්බන්ධයෙන් ගත් කල මෙන් ම මෙම ඒකාධිපතියන් සම්බන්ධයෙන් ද ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය අන්තිම මොහොත දක්වා ම සහයෝගයෙන් සිටියෝ ය. දැන් ලිබියාවේ කෙරෙන මිලිටරි මර්දනයට එරෙහිව වඩාත් ම ඝෝෂා කරන ප‍්‍රන්සය ටියුනීසියාවේ බෙන් අලිට විරුද්ධ මහජන නැගිටීම මුදුන් පෙත්තේ පවතිද්දී එය මර්දනය කිරීම සඳහා පොලිස් ආරක්ෂාව පවා සැපයීමට සූදානම් විය.

ඉන් සති කීපයකට පසුව මහ බලවත්තු උතුරු අප‍්‍රිකාවේ තවත් කොටස් වලට යුදමය ආක‍්‍රමනයක් කිරීමට ද දැන් පියවර ගෙන සිටිති. මෙය අහම්බයක් ද? සිද්ධීන් අතර සම්බන්ධතාවය දැක ගැනීමට බැරි වන්නේ දේශපාලන අන්ධයෙක්ට ම පමනි.

බටහිර බලවතුන්ගේ සමීප හවුල් කාරයෙකු මුර්ග අත්තනෝමතික පාලකයෙකු වූ ද ගඩාෆිට එරෙහි එරට තුල පැන නැගි විරෝධතා ව්‍යාපාරය මුල දී ලිබියානු ජනයාගේ සැබෑ දුක්ගැනවිලි ප‍්‍රකාශිත කලා විය හැකි ය. එහෙත් එම නො දියුනු කාන්තාර රාජ්‍යයක් වූ ලිබියාව තුල අධිරාජ්‍යවාදී මහා බලවතුන්ගේ ජරා වැඩ කිරීමට සූදානම් බලවේගයන් ඉක්මනින් ම ඉස්මත්තට ආවේ ය. මහජන විරෝධතාවය තුල ක‍්‍රියාත්මක වූ ජාතික සංක‍්‍රමන මන්ඩලය (නැෂනල් ට‍්‍රාන්සිෂනල් කවුන්සිල්) යන නම් ලද ඊනියා සංවිධානයේ සිටි බොහෝ නායකයෝ ජාත්‍යන්තර සමාගම්වලට රටේ ඛනිජ සම්පත් සීමාරහිතව සූරාකෑමට ඉඩ දීමට සහතික වූවා පමනක් නොව, තමන්ගේ ම රට තුලට බෝම්බ හෙලන ලෙස මහා බලවතුන්ගෙන් ඉල්ලා සිටියෝ ය. මෙම මන්ඩලය සමන්විත වූයේ අධිරාජ්‍යවාදී මහා බලවතුන්ගේ මාරුවට ප‍්‍රතිචාර වශයෙන් ගඩාෆිට පිටුපස හැරවූ ගඩාෆිගේ පැරනි පාලන තන්ත‍්‍රයේ ප‍්‍රධාන නියෝජිතයන්ගෙනි.

දශක ගනනාවක් තිස්සේ එම රටේ තෙල් සම්පත් නිසා අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රනවලට පාත‍්‍ර වූ ලිබියාවට එරෙහි මිලිටරි ආක‍්‍රමනයේ අරමුන වන්නේ තෙල් සම්පත් කොල්ල කා ගැනීම ය. එපමනක් නො ව, එන්න එන්න ම උග‍්‍ර වන අධිරාජ්‍ය බලවතුන්ට සහ ධනපති දේපල වලට එරෙහිව මෙම ප‍්‍රදේශයේ පැන නැග ඇති විප්ලවවාදී ව්‍යාපාරයන් ගෙල හිර කර දැමීම ද මෙම ආක‍්‍රමනයේ අරමුන වේ. ඊජිප්තුවට බටහිරින් ද ටියුනීසියාවට නැගෙනහිරින් ද එම දෙරට අතරේ පිහිටි ලිබියාව තුල තමන්ගේ මිලිටරි බලය පිහිටුවා ගැනීම මගින් මුලු අරාබි ලෝකය පුරාම පැතිර යන විප්ලවවාදී ව්‍යාපාරයට තර්ජනය කිරීමට ද මහා බලවත්තු අපේක්ෂා කරති.

විදේශ හමුදා විසින් ලිබියාව අත්පත් කර ගැනීමට ඉඩ නොදෙන්නේ යයි එක්සත් ජාතීන්ගේ යෝජනාවේ කර ඇති සඳහන රැවටිල්ලකි. යුද්ධමය අවශ්‍යතාවයට එයට ම ආවේනික වූ තර්කනයක් ඇත. නිල වසයෙන් ගත් කල්හි ඇෆ්ගනිස්ථානය හෝ ඉරාකය යන රටවල් දෙක ම ඇමරිකානු හමුදා විසින් "අත්පත් කොට ගෙන” ඇත්තේ නැත. එහෙත් මේ රටවල් දෙක තුල ම ඇමරිකානු සොල්දාදුවන් දසදහස් ගනනක් පැලපදියම් වී ඇති බව පැහැදිලි ය.

ලිබියාව තුල තහනම් පියාසර කලාපයක් ඇති කල යුතු යයි අරාබි ලීගය ගෙනා යෝජනාව ඇමරිකා එක්සත් ජනපදය සහ එහි අධිරාජ්‍යවාදී හවුල්කරුවන්ගේ යුද්ධමය ආක‍්‍රමනයට "කලාපීය සහයෝගය” ලබාදීමට හේතු වූ බව අමතක නො කල යුතු කරුනකි. තමන්ගේ ම පාලන තන්ත‍්‍රයන්ට එරෙහි ව නැගී සිටින දහස් ගනන් විරුද්ධවාදීන් සිර භාරයට ගැනීමේ ද වධයට ලක් කිරීමේ ද මරා දැමීමේ ද කරවටක් ගිලී සිටින සෞදි අරාබියේ ද බහරේනයේ ද අනෙකුත් එමීර් රාජ්‍යයන් හි ද නියෝජිතයෝ ලිබියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමට යයි කියමින් එම රට තුලට මිලිටරි ආක‍්‍රමනයක් කිරීමට පක්ෂ ව තම ඡන්දය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ දී පාවිච්චි කලහ!

මහ බලවතුන් ක‍්‍රියා කරන්නේ අතිශයින් ම ඉවබව නැතුව ය. තෙල් සම්පත් ලබාගැනීමේ ද තම ආධිපත්‍යයට ප‍්‍රදේශය යටත් කර ගැනීමේ ද පිපාසාවෙන් පෙලෙන මොවුන් ක‍්‍රියා කරන්නේ මැනවින් සිතාමතා සකස් කර ගත් මූලෝපායකින් තොරව බව පෙනී යයි. මීට අවුරුදු හතරකට පෙර පැරිසියේ දී ඉමහත් උත්සවාකාරයෙන් ගඩාෆි පිලිගෙන ඩොලර් බිලියන ගනනක වෙලඳ ගිවිසුම්වලට එලඹුනු ජනාධිපති සාකෝසි දැන් ගඩාෆිට විරුද්ධ ජාතික සංක‍්‍රමන මන්ඩලය එරටේ නිල නියෝජිතයා ලෙස පිලිගෙන ඇත්තේ තම නැටෝ මිත‍්‍රයන් පමනක් නො ව තමන්ගේ ම විදේශ ඇමතිවරයාට ද දන්වන්නේ වත් නැති ව ය.

මධ්‍යධරනි මුහුදු වෙරලේ යුරෝපයට ඉතා ම ආසන්නයෙන් පිහිටි රටක් වන ලිබියාව සමග කෙරෙන දීර්ඝ යුද්ධයක් මගින් ජනිත විය හැකි ආර්ථික, භූ දේශපාලනික සහ ආරක්ෂක ප‍්‍රතිවිපාක සැලකිල්ලට භාජන කිරීමට ඔවුන් අසමත් ව ඇත. යුද්ධමය ක‍්‍රියාවකින් ඇති විය හැකි ප‍්‍රතිවිපාක ගැන අනතුරු හඟවන්නන් වැඩි දෙනෙක් පකිස්තානයේ සහ ඉරාකයේ දීර්ඝ යුද්ධත් සමග තවත් තැනක යුද්ධයකට පැටලීමට අකමැත්තක් දක්වන යුද හමුදාවේ ම සිටින තත්වාරක්ෂක කොටස් ය.

ජනාධිපති සාකෝසි සහ බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් යන දෙදෙනා ම තම තමන්ට සුවිශේෂ වූ ස්වදේශීය දේශපාලන හේතු නිසා මෙම ආක‍්‍රමනයට යොමු වී සිටිති. මීට අවුරුද්දකට පසුව එන ජනාධිපති තරගය පිලිබඳ මත විචාරනයන්හි දී පහලට වැටී සිටින සාකෝසි ආක‍්‍රමනශීලී විදේශ පිලිවෙතක් මගින් යලිත් තමාගේ තැන හදා ගැනීමට අපේක්ෂා කරයි.

කප්පාදු පියවරවලට එරෙහිව වැඩෙන විරුද්ධත්වයකට මුහුන දී සිටින බි‍්‍රතාන්‍ය අගමැති කැමරන් ලිබියාවට එරෙහි යුද්ධයක අවධානය වෙනතක යොමු කිරීමට ප‍්‍රයෝජනවත් වේ යයි සිතයි. මෙහි දී ඔහු අනුගමනය කරන්නේ 1982 මැල්විනාස් යුද්ධයට පැන ගත් මාග‍්‍රට් තැචර්ගේ ආදර්ශය යි. ඉරාකය සහ ඇෆ්ගනිස්තාන් යුද්ධවලින් දුර්වල ව ගිය බි‍්‍රතාන්‍ය හමුදාව ලිබියාවට තනිව මැදිහත්වීමට අසමත් නිසා එක්සත් ජනපදය ද ඊට ඈඳා ගැනීමට කැමරන් මහන්සි විය.

ලිබියාවට එරෙහි අධිරාජ්‍යවාදී ආක‍්‍රමනය යුරෝපය තුල පැරනි භේද යලිත් ඉස්මතු කිරීමට හේතු වී තිබේ. යුරෝපීය සංගමයේ පොදු ආරක්ෂක සහ විදේශ පිලිවෙත යලිත් වරක් බිඳී ගොස් ඇත. මෙම ප‍්‍රශ්නය පිලිබඳ ව, ලිබියාවට කරන ආක‍්‍රමනයකට තමන් සම්බන්ධ වන්නේ නැතැ යි කියා සිටි ජර්මනිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ ඡන්දයේ දී ඡන්දය පාවිච්චි නො කර සිටියේ ය. මේ අනුව ජර්මනිය තමන්ගේ නැටෝ මිත‍්‍රයන් වන බි‍්‍රතාන්‍යයට සහ එක්සත් ජනපදයට එරෙහිව, රුසියාව, චීනය, ඉන්දියාව සහ බ‍්‍රසීලය සමග එක කඳවුරක් ගසා ගත්තේ ය. මෙය වනාහි දුරදිග යන විපාක සහිත වර්ධනයකි.

මෙම බෙදීම් පැනනගින්නේ යුද්ධයේ අධිරාජ්‍යවාදී ස්වරූපයෙන් ම ය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව පලවෙනි වතාවට බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රන්සය ජර්මනියේ විරුද්ධත්වයට ලක් වූ යුදමය ආක‍්‍රමනයකට බැස ගෙන සිටී. මෙහි දී කෙනෙකුට මතක් වන තතු නම්, ගත වූ ලෝක මහා යුද්ධයේ දී ජර්මන් සහ බි‍්‍රතාන්‍ය හමුදාවන් අතර අවසාන ගැටුම සිදුවූයේ උතුරු අප‍්‍රිකාවේ දී බව ය.

ජර්මනිය ලිබියාවට විරුද්ධව යුදමය ක‍්‍රියා ප‍්‍රතික්ෂේප කරන්නේ ප‍්‍රතිපත්තියක් හැටියට නො වේ. ඇත්ත වශයෙන් ම ජර්මන් ආන්ඩුව කියා සිටින්නේ ලිබියාවට එරෙහි දැඩි ආර්ථික තහංචි පැන විය යුතු බව යි. එහෙත්, ජර්මනිය උතුරු අප‍්‍රිකාවේ ද මැදපෙරදිග ද තමන්ගේ බලපෑම ඇති කර තිබෙන්නේ යුද්ධමය වැඩකටයුතුවලට වඩා ආර්ථික සාධකයන් තුලිනි. ඒවා යුද්ධමය ක‍්‍රියාමාර්ගයන් මගින් නැතිව යා හැකි යයි ජර්මනිය බියෙන් සිටී. එක්සත් ජාතීන්ගේ මන්ඩලයේ ජර්මන් ඇමතිවරයා වූ පීටර් විටිග් ජර්මනියේ යුද කටයුතු වර්ජනය යුක්ති සහගත කරමින් මෙසේ කියා සිටියේ ය. "මුඅම්මර් අල් ගඩාෆි ගේ පාලනය හමාර වී ඇති නිසා ද අවසන් කල යුතුව ඇති නිසා ද ලිබියාවට එරෙහි ආර්ථික තහංචි පැමිනවීමට ජර්මනිය මුලුමනින් ම එකඟ වේ. එහෙත්, යුද බලය පාවිච්චි කිරීම සෑම විටම දුෂ්කර වන අතර විශාල අවදානමක් ද ඉන් ඇති වන බව අමතක කල යුතු නො වේ.” යැයි ජර්මනිය ඡන්දය දීමෙන් වැලකී සිටීම යුක්තිසහගත කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සාම වෘතයේ ජර්මානු තානාපති පීටර් විටිග් පැවසුවේය.

ලිබියාවට එරෙහි යුදමය ආක‍්‍රමනයන් පිලිබඳව යුරෝපීය සහ ඇමරිකානු පාලක පන්තීන් තුල මතභේදයන් පවතින නමුදු "මානවාදී හිතවාදී” අධිරාජ්‍යවාදීන් අතර එය පිලිබඳව ඇත්තේ පරිපූර්න සහ උනන්දු සහගත එකඟතාවයකි. මෙම ගනයට යුද මෙහෙයුම්වලට "මානව හිතවාදී” කාරනා උඩ සහාය දක්වන දේශපාලන ප‍්‍රවනතා ද වෙති. හරිත පක්ෂය සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් සහ වාම පක්ෂය වැනි මෙවැන්නෝ වියුක්ත "මානුෂික” හේතුන් වල නාමයෙන් පන්ති ප‍්‍රශ්න සහ ඉතිහාසයේ ප‍්‍රශ්න අමතක කර දමති.

1999 දී යුගෝස්ලාවියාවට එල්ල කල නැටෝ බෝම්බ ප‍්‍රහාරවලට සහාය දුන් ජර්මන් හරිත පක්ෂය යුද පිලිවෙතේ උනන්දු සහගත සහකරුවන් බවට පත්ව සිටිති. ඔවුහු අධිරාජ්‍යවාදී යුද ප‍්‍රචාරකයන්ට නැතුව බැරි සේවාවක් ඉටු කර දෙති. ලිබියාවට එරෙහි මිලිටරි ආක‍්‍රමනයකට ද මෙම කාරනා අදාල ය. එක්සත් ජාතීන්ගේ සංගමයේ ආරක්ෂක මන්ඩලයේ දී ලිබියාව ආක‍්‍රමනය කිරීමේ යෝජනාවට සහයෝගය නොදීම ගැන හරිත පක්ෂය විදේශ කටයුතු ඇමති ජීඩෝ වෙස්ටර්වෙල්ව විවේචනය කලේ ය: "මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීමක් අපට ඇත” ඔවුන්ගේ පාර්ලිමේන්තු කන්ඩායමේ නායක රෙනේඩ් කුවෙනාස් එසේ කී ය. යුද පිලිවෙතට සහාය නො දීම ගැන වෙස්ටර්වෙල්ට්ට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ විවේචනය ද එල්ල වී තිබේ.

හරිතයන්ගේ යුරෝපීය සංගම් පාර්ලිමේන්තු නියෝජිත ඩැනියල් කෝන්-බොන්ඩි (මොහු 1968 ශිෂ්‍ය ව්‍යාපාරයේ ප‍්‍රමුඛ පුද්ගලයෙකි.) ලිබියානු සංක‍්‍රමන මන්ඩලය පිලිගත යුතු යයි ද තහනම් පියසර කලාපයක් ඇති කල යුතු යයි ද ආක‍්‍රමනශීලිව කියා සිටියේ ය. පසුගිය මාර්තු 10 වන දා ජර්මන් පාර්ලිමේන්තුව එවන් යෝජනාවක් විශාල වැඩි ඡන්දයකින් අනුමත කලේ ය.

හරිතයන්ට අමතරව ප‍්‍රන්සයේ ව්‍යාජ වාම සංවිධාන ගනනාවක් ම ලිබියානු කැරලිකරුවන්ගේ ජාතික සංක‍්‍රමන මන්ඩලය පිලිගත යුතු යයි ඉල්ලා සිට ඇත. මීට අදාල යෝජනාවක් කොමියුනිස්ට් පක්ෂයේ ද වාම පක්ෂයේ ද නව ධනපති විරෝධී පක්ෂයේ ද අත්සන් සහිත ව ලිබියානු ජනතාවට සහයෝගය දීමේ කොමිටිය නම් සංවිධානය විසින් ඉදිරිපත් කර තිබේ. ජනාධිපති සාකෝසි මිලිටරි ආක‍්‍රමනය තුලින් ඔවුන්ගේ මෙම ඉල්ලීම ක‍්‍රියාත්මක කරමින් සිටී.

කම්කරුවන් සහ තරුන ජනයා, මානව හිතවාදී වේශයකින් කර ගෙන යනු ලබන මෙම යුද ඝෝෂාව උචිත පිලිකුලෙන් යුතුව ප‍්‍රතික්ෂේප කල යුතු යයි ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියා සිටී. දේශපාලන පීඩනයට, සමාජ සූරාකෑමට සහ යුද්ධයට එරෙහි අරගලය, ධනවාදය සහ අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය මෙහෙයවීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය ඒකාබද්ධ කරන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් වෙන් කල නො හැකි ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවි කර්තෘ මන්ඩලය