ජපාන භූ චලනය විපත්තිදායක හානි සිදුකරයි

Japanese earthquake causes catastrophic damage

By Mike Head, 12 March 2011

ජපානයට බලපෑ දරුනුම භූමි කම්පාවෙන් පසුව සිය ගනනක් දෙනා ජීවිතක්ෂයට පත්වී දස දහස් ගනනකට උන්හිටි තැන් අහිමිවී ඇතැයි සැලකේ. 11 දා සිදුවූ රික්ට මාපකයේ 8.9ක් ‍ෙලස සටහන්වූ ඉතිහාසයේ වාර්තාගතව ඇති හත්වන විශාලතම භූ චලනය විශේෂයෙන්ම උතුරු ජපානයට ඉමහත් විනාශයක් සිදුකර තිබේ.

ප්‍රධාන කම්පනයෙන් ජනනය කල මීටර් 10ක් තරම් උසට නැගනු සුනාමි රල වෙරලබඩ නාගරිකයන් සිසාරා ගියේය. ඉන් පසුව නිතර නිතර අංශක 7.4 තරම් පරිමානයේ ප%ධාන පසු කම්පන ඇතිව තිබේ. එරට වේලාවෙන් ප.ව 2.46ට ඇතිවූ කම්පනයෙන් පැය දෙකක් ඇතලත නිවාස, ගොවිපලවල්, කම්හල් විනාශ කරමින් යෝධ රල සමග මුහුද කිලෝමීටර් 10ක් පමන රට තුලට තල්ලුවී ගිය අතර නිවැසියන්ට ආරක්ෂක ස්ථාන කරා යාමට ලැබුනේ මඳ ඉස්පාසුවක් පමනි.

පසු දිනයේ උදෑසන වන විට විනාශයේ පරිමාව ක්‍රමයෙන් දැකගත හැකි විය. සමහර නගරවල දහස් ගනනක් වන දැව වලින් සෑදූ නිවාස මුලුමනින්ම පාහේ ගසාගෙන ගොස් තිබුනි. උස කොන්ක්‍රීට් ගොඩනැගිලිවල දෙවන මහලට පවා ජලය ගලා තිබුනි. සාප්පු සංකීර්න, රෝහල් හා පාසැල් ජලයෙන් යටවිය. නිවාස හා තට්ටු ගෙවල් ගිනිගැනීමට පටන්ගෙන තිබුනි.

මිලියනයක ජනගහනයකින් යුත් ඊසාන දිග සෙන්ඩායි නගරයේ මේ දක්වා පොලීසිය මල සිරුරු 200-300 අතර ප්‍රමානයක් සොයාගෙන ඇත. කිලෝමීර් 10ක් තරම් ගැඹුරු මුහුදු පතුලේ ඇතිවූ භූ චලනයේ අපි කේන්ද්‍රයට කිට්ටුවෙන්ම පිහිටි නාගරිකය වූ සෙන්ඩායි ටෝකියෝවට කිලෝමීටර් 400ක් ඊසාන දෙසින් පිහිටියේය.

උදෑසන වන විට ටෝකියෝව ද ඇතුලු දිස්ත්‍රික්ක නවයක නිල වශයෙන් වාර්තාවූ මරන සංඛ්‍යාව 427ක් විය. මියගිය සංඛ්‍යාව දහස ඉක්මවනු ඇතැයි ජාතික පොලිස් ඒජන්සිය හා ආරක්ෂක අමාත්‍යාංශය වාර්තා කලේය.

එහෙත් අවසාන සංඛ්‍යා මීට වඩා බෙහෙවින් ඉහල යා හැකිය. නිවාස, විශාල ගොඩනැගිලි" මෝටර් රථ හා බස් ඇදගෙන ගලායන සුන්බුන් වලින් පිරුනු ජල දහරාවල බිහිසුනු දර්ශන ඇතුලත් රූපවාහිනී පට පෙන්වන පෙන්වන ලදී. වාහන තුල සිරවී සිටි අය ජල පවාහයෙන් ‍බේරීම සදහා අසාර්ථක උත්සාහයක ‍යෙ‍දනු දක්නට ලැබුනි. ‍මෙම උදෑසන කියොඩෝ ප්‍රවෘත්ති වාර්තාවලට අනුව ෆුකැෂීමා දිස්ත්‍රික්කයේ වේල්ලක් බිඳී යාම නිසා නිවාස ගසාගෙන ගොස් තිබේ.

පැය විසිහතරක් තුල පනහකට වැඩි ප‍්‍රමානයක් ඇතිව තිබෙන පසුකම්පන ජපානයේ බොහෝ ප‍්‍රදේශයන් කෙරෙහි බලපෑමට පටන්ගෙන තිබේ. ටෝකියෝව අසල තෙල් පිරිපහදුවක විශාල ගින්නක් හටගත් අතර අගනුවර හා තදාසන්න නගරවල නිවාස ගිනිගනිමින් තිබෙනු දක්නට ලැබේ. ඒවා බොහෝකොටම තෙල් හා ගෑස් කාන්දු වීමෙන් හටගෙන ඇති බවට සැක කෙරේ. නැවක් හා මගී දුම්රියක් අතුරුදහන්වී ඇති බව වාර්තා වෙයි.

අඩුම තරමින් බලාගාර දෙකක් අක‍්‍රීය වීම නිසා විකිරන කාන්දුවීම පිලිබඳ බියක් ඇතිව තිබෙන අතර පසුගිය දින රාත‍්‍රියේ අගමැති නඔටෝ කාන් න්‍යෂ්ටික හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත්කරන ලදී. ටොහෝකු විදුලි බලාගාරයේ ඔනගාවා අංශයේ සිසිල් කිරීමේ පද්ධතිය බිඳවැටී ඇති අතර කියෝඩෝ ප‍්‍රවෘත්තිවලට අනුව යන්ත‍්‍රාගාරයේ ගින්නක් හටගෙන තිබේ. තවත් බලාගාර තුනක් ආරක්ෂිත ලෙස වසා දැමූ බව වාර්තා වුව ද ෆුකුෂිමා දිස්ත‍්‍රික්කයේ බලාගාරයක කිලෝමීටර් 1000ක අර්ධවිෂ්කම්භය තුල නිවැසියන් 80,000ක් ප‍්‍රදේශයෙන් ඉවත්කර ඇත.

ජපානයේ න්‍යෂ්ටික නියාමන ඒජන්සිය අද උදෑසන වාර්තා කලේ එක් ෆුකුෂීමා ප‍්‍රතික‍්‍රියාකාරකයක් ඇතුලත විකිරනශීලිත්වයේ මට්ටම සමාන්‍ය තත්වයට වඩා 1000 ගුනයකින් ඉහලගොස් ඇති බවයි. කියොඩෝ ප‍්‍රවෘත්තිවලට අනුව ආන්ඩුව, "පෙර නොවූ විරූ නියෝගයක්" පනවා ඇත. එනම් ප‍්‍රතික‍්‍රියාකාරක ගනනාවක අධි උනුසුම්වීම පිලිබඳ තර්ජනය හමුවේ පීඩනය දුරු කිරීම පිනිස, වෑල්ව දෙකක් විවෘත කරන ලෙස ආන්ඩුව ටෝකියෝ විදුලි බල සමාගමට උපදෙස් දී තිබීම යි.

භූ චලනයෙන් පසුව පැවැත්වූ මාධ්‍ය හමුවකදී විකිරනශීලී තර්ජනයක් පිලිබඳ සලකුනු දක්නට නැතැයි අගමැති කාන් කල මුල් ප‍්‍රකාශය න්‍යෂ්ටික හදිසි තොරතුරු මාර්ග වලින් ප‍්‍රතික්ෂේපවී ඇත. "උතුරුදිග ජපානයේ බොහෝ ප‍්‍රදේශ බෙහෙවින් හානියට පත්ව ඇතැයි" කියා සිටි කාන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ "ගුවන් විදුලි හා රූපවාහිනී ප‍්‍රවෘති විකාශයන්ට ප‍්‍රවේශමෙන් අවධානය යොමුකරන අතර සංසුන්ව සිටින ලෙසය."

තෙසතියකට පමන පෙර නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නගරය විනාශයට පත්කල භූමිකම්පාවට වඩා මෙය 160 ගුනයකින් තරම් ප‍්‍රබලය. ප‍්‍රධාන කම්පනයෙන් විනාඩි තිහකට පසුවත් ටෝකියෝවේ උස් ගොඩනැගිලි සෙලවෙමින් තිබුන අතර ජංගම දුරකථනජාලා ක‍්‍රියා විරහිත විය. දැඩි භූ කම්පන ඉංජිනේරු ශිල්පයට අනුව ගොඩනගාඇති ප‍්‍රධාන ගොඩනැගිලි දරුනු භූ චලන වලට පවා ඔරොත්තු දෙයි.

විශාල පසු කම්පන වලින් නගරය දෙදරුම්කන අතර තුර සිය ගනන් මිනිස්සු උස් තට්ටු නිවාස හා කාර්යාල තුල සිරවී සිටියහ. උපාධි ප‍්‍රධානෝත්සවයක් අතරතුර ශාලාවේ වහලය කඩාවැටීම නිසා බොහෝ දෙනෙකුට තුවාල සිදුවූ බව වාර්තා විය. මිලියන හතරක නිවාස වලට විදුලිය ඇනහිටි ටෝකියෝවේ ස්ථාන දහයකින් දුම්රොටු නැගෙමින් තිබුනි. මෙට්රොපොලිටන් අධිවේගී මාර්ගය, නරිටා ප‍්‍රධාන ගුවන් තොටුපල හා නගරයේ මෙට්රෝ පද්ධතිය පැය ගනනාවකට වසා දැමුනි.

තවත් උතුරට යන විට හානිය තවත් විශාලය. හෙලිකොප්ටර් ඡායාරූප, වෙරලබඩ නගරවල දැවැන්ත ජලගැලීම් පෙන්නුම් කලේය. පැය දෙකක් ඇතුලත හොකයිඩෝ උතුරු දිවයිනේ සිට මධ්‍යම වකයාමා දිස්ත‍්‍රික්කය දක්වා කිලෝමීටර් 2,100ක් වන ජපානයේ නැගෙනහිර වෙරල තීරය දිගේ සුනාමිය රට තුලට ඇදී ආවේය.

හොන්ඩා, නිසාන්, ටොයොටා, සෝනි හා වොල්වෝ ද ඇතුලු බහුජාතික සමාගම් ගනනාවක් හානිය නිසා අඩු තරමින් තාවකාලිකව හෝ කම්හල් වසා දැමීමට තමන්ට බලකෙරී ඇතැයි පැවසීය. බිඳවැටුනු ආපනශාලාවේ බිත්තියට යටවීමෙන් උතුරු ටෝකියෝවේ ටොචිගි දිස්ත‍්‍රික්කයේ සිය පරියේෂන හා සංවර්ධන මධ්‍යස්ථානයේ 43 හැවිරිදි පිරිමි සේවකයෙකු මියගිය බව හොන්ඩා සමාගම වාර්තා කලේය. එම දිස්ත‍්‍රක්කයේම පිහිටි හොන්ඩා ව්‍යාපාරික ස්ථාන ගනනාවක 30කට වැඩි සේවක පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා විය.

භූ කම්පන විද්‍යාඥයෝ කාලයක් තිස්සේම මෙම පරිමානයේ භූ කම්පනයක් අපේක්ෂා කලහ. යුරේසියානු තලයේ මායිම යටට තල්ලු වෙමින් පැසිෆික් තලය බටහිර දෙසට ඇඹරී යාමත් සමග අපි කේන්ද්‍රය පෘතුවියේ භූ කම්පන තල දෙකක් අතර මායිම දිගට වැටී තිබේ. පෙර සතිය තුල සැලකිය යුතු භූ කම්පන ගනනාවක් අත්දැකිය හැකි විය. එකක් රික්ට පරිමානයේ අංශක 7.1 තරම් විය.

වසර 1891 පටන් ජපානයේ පරිමානයෙන් අංශක අටක් තරම්වූ භූ චලන හතක් සිදුව තිබේ. 1923දී පරිමානයෙන් අංශක 7.9ක්වූ භූ කම්පනයෙන් ප‍්‍රධාන කොටම දැව හා කඩදාසි මිශ‍්‍රන වලින් සෑදූ නිවාස දවා අලුකල ගිනිගැනීම් නිසා පුද්ගලයින් 147,000ක් මිය ගියේය. නූතන නාගරිකයන්හි ගොඩනැගිලි ඉදිකිරීමේ දැඩි නියාමයන් පනවා තිබිය දී පවා ප‍්‍රධාන වශයෙන්ම දුප්පත් කම්කරු පන්ති දිස්ත‍්‍රික්කයන්හි ආන්ඩුව ඉහල ප‍්‍රමිතීන් ක‍්‍රියාත්මක කිරීමට අපොහොසත්වීම නිසා 1995 වසරේදී කෝබෝ භූමි කම්පාවෙන් 6,000කට වැඩි පුද්ගලයින් සංඛ්‍යාවක් මිය ගියේය.

කලාපය පුරාම සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කිරීමෙන් පසුව පැසිෆික් වලල්ල පසුගිය රාත‍්‍රියේ අධි සුපරීක්ෂාකාරිත්වය යටතේ තැබුනි. පැසිෆික් කලාපය පුරාම සුනාමි බිය පැතිර ගියේ, මිනිසුන් ලක්ෂ දෙකකට මරු කැඳවමින් 2004 වසරේදී ඇතිවූ ඉන්දියානු සාගර සුනාමිය මුදාහල ඉන්දුනීසියාවෝ සුමාත‍්‍රා දූපත් අසල සිදුවූ අංශක 9.1 ක පරිමානයේ භූමි කම්පාව තරම් මෙය ද ප‍්‍රබල වීම නිසාය.

පැයට කිලෝමීටර් 800ක වේගයෙන් පැසිෆික් සාගරය හරහා ගලාගිය රල ප‍්‍රවාහය කෙතරම් බලගතු වී ද යත් එය, ඊයේ උදෑසන එහි වේලාවෙන් කැලිෆෝනියා ප‍්‍රාන්තයේ උතුරෙහි ක්‍රෙසන්ට් සිටි වරායට කඩා වැදුනි. ඉවත්වන ලෙස දන්වන සයිරන් නලා හඬ පිලිබඳව ප‍්‍රදේශ වාසීන් සැලකිලිමත්ව සිටීම නිසා ජීවිත බේරුනු නම්ත් සුනාමිය, නාවිකාංගනයේ දැව කොටස් කීතු කරමින් දුසිම් දෙකක් පමන බෝට්ටු විනාශ කලේය. නැතිනම් ඒවාට හානි කලේය. නගරයේ සිට කිලෝමීටර් 20ක් පමන දුරින් වෙරලේ සිට සුනාමිය ඡායාරූපගත කිරීමට උත්සාහ කල එක් මිනිසෙකු මුහුදට ගසාගෙන ගියේය. ෆෙඩරල් භූ චලන විද්‍යාඥයින් පැවසුවේ, ක්‍රෙසන්ට් සිටි වෙත කඩා වැදුනු මීටර් තුනක් උස රල පහර සිකුරාදා දිනයේ එක්සත් ජනපදයට වැදුනු විශාලතම ඒවා බවයි. ඒ සමගම වාගේ කැලිෆෝනියාවේ අවශේෂ වෙරල ප‍්‍රදේශයන් ද රල නැගීමට මුහුන පෑවේය. ඒවන විට පහත් බිම්වල සිටි සියලු නිවැසියන්ට ඉවත්වන ලෙස දන්වා තිබුනු අතර නිලධාරීහු සමහර පාසැල් හා වෙරලබඩ මාර්ග ආරක්ෂක හේතූන් මත වසාදැමූහ. හවායි වෙත වැදුනු රල දහර මීටර් දෙකක් උසින් පැමිනියේය.

අද දිනයේ නිල වාර්තාවල දැක්වුනේ දකුනු පැසිෆික් ප‍්‍රදේශ වලට සිදුවූයේ සුලු හානියක් පමනක් බවය. සයිරන් නලාහඬ රාත‍්‍රිය පුරා විහිදී ගිය බැවින් ද හවායි නිලධාරීන්ට සූදානම්වීම සඳහා කාලවේලා තිබුන බැවින් ද ඔවුන්, වෙරලබඩ වැසියන් පාසැල් හා ප‍්‍රජා ශාලා වෙත ද සංචාරකයින් හෝටල්වල ඉහල මාලයන් වෙත ද යැවීමට කටයුතු කර තිබුනි.

විනාශයේ බැරෑරුම්කම පිලිබඳව සිය කනස්සල්ල පලකල එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී, එක්සත් ජනපදය තම හමුදාවන් රඳවා සිටින හා සමීප මිතුරෙකු ද වන ජපානය "සමග එකට සිටින බව" පැවසීය. "මෙම ඛේදවාචකයෙන් එරට ප‍්‍රකෘතිමත්වී රට යලි ගොඩනගන තෙක්" එසේ වන බව ඔහු කියා සිටියේය. ඔහුගේ පලමු ආධාර පිරිනැමුනේ මිලටරිමය වශයෙනි. දැනට එක්සත් ජනපද ගුවන්යානා හාරක නෞකාවක් ජපානයේ රඳවා ඇති බවත් තවත් නැවක් එරට බලා යාත‍්‍රා කරමින් තිබෙන බවත් ඔබාමා පැවසීය. ආධාර අවශ්‍ය වුවහොත් ඒ සඳහා තුන්වන නාවික යාත‍්‍රාව අතර මග මැරියනාස් දූපත්හි රඳවා තැබේ.

ව්‍යසනයේ ආර්ථික බලපෑම කෙරෙහි සැලකිය යුතු නොසංසුන් කම පෙන්වන හඬක්, මූල්‍ය හා පාලක කවයන් තුලින් නැගී ඇත. සීඑන්එන් මෙසේ සඳහන් කරයි. "තෙල් මිල හා මැද පෙරදිග අස්ථාවර දේශපාලන තත්වය පිලිබඳව දැනටමත් කලබැගෑනියට පත්ව තිබෙන වෙලඳපොලවලට තවත් අනිශ්චිත බවක් එක්කරමින්, දැවැන්ත භූ කම්පනයක් හා සුනාමියක් ජපානයට පහර දීමෙන් පසුව සිකුරාදා දිනයේ ලෝකය පුරා ආයෝජකයින් කැලඹීමට පත්ව ඇත." ජපානයේ නිකේ දර්ශකය වහාම සියයට 1.7න් පහත වැටුනි.

" ජපාන ආර්ථිකයටත් ලෝක ආර්ථිකයටත් මෙයින් සිදුකල ක්ෂනික හානිය පවා තක්සේරු කිරීමේ ක‍්‍රමයක් නැත." හයි ෆ‍්‍රීකුවෙන්සි ඉකොනොමික්ස් හි ප‍්‍රධාන අර්ථශාස්ත‍්‍රඥ කාල් වෙයින්බර්ග් සීඑන්එන් වෙත එසේ පවසා තිබුනි. කෙසේ වෙතත්, "අත්දැකීම් අපට පවසා ඇත්තේ ආර්ථික කම්පනය කිසිවෙකුත් සිතනවාට වඩා විශාල විය හැකි බවත් වනු ඇති බවත්ය."

2010 අවසන් කාර්තුවෙහි දල දේශීය නිෂ්පාදිතය සියයට 1.3න් හැකිලීමත් සමග ජපාන ආර්ථිකය, 1989 පටන් පැවති එකතැන පල්වීමේ තත්වය හා සමාන පසුබෑමකට යලි ඇතුලුවී තිබෙන බවට දැනටමත් සලකුනු පහලවී තිබේ. ප‍්‍රතිසංස්කරන සඳහා ගෙවිම සඳහා ආන්ඩුවට තවත් නය ගැනීමට බලකෙරෙනු ඇති බවට වෙලඳපොල නියෝජිතයෝ අනතුරු අගවති. ප‍්‍රශ්නය වන්නේ මෙම අර්බුදයට මූල්‍යමය වශයෙන් "ජපානය කොනටම තල්ලුකල හැකි ද යන්නයි." බ්ලූම්බර්ග් වෙත එසේ පැවසුවේ මිට්සුබිෂි යූඑෆ්ජේ සිකියුරිටීස්හි බ්‍රෙන්ඩන් බ‍්‍රවුන්ය.

ජපානයේ රාජ්‍ය නය දදේනි සියයට 228කි. එය ග‍්‍රීසියේ සියයට 144ක් හා බ‍්‍රිතාන්‍යයේ සියයට 77කි. අසතුටුදායක නය මට්ටම් අඩුකිරීම සඳහා දේශපාලඥයින්ට අව්‍යාජ සැලසුමක් නැති බව සඳහන් කරමින් ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් එරට දිගු කාලීන රාජ්‍ය නය අනුපාතිකය ජනවාරියේදී පහත හෙලීය.

ඒ සමගම ලාභාපේක්ෂාව මුල්කරගත් උත්සුකයන් ද තිබේ. ජෙෆරීස් ආයෝජන බැංකුවේ රක්ෂන කටයුතු පිලිබඳ විශ්ලේෂකයෙකු වන ජේම්ස් ෂක් ගනන් බලා ඇත්තේ රක්ෂන ක්ෂේත‍්‍රයට වියහැකි පාඩුව ඩොලර් බිලියන 10ක් ලෙසටය. එය රක්ෂනකරුවන් සඳහා ජපානයේ වියදම් වැඩිම භූ චලනය වුවත් වගකීම් සිමාසහිත වන බව චක් සඳහන් කරයි. මක්නිසා ද යත්, ජපාන කුටුම්භයන්ගේ භූ චලන හානි වෙනුවෙන් වන රක්ෂනාවරන සියයට 10ක් පමනක් වන බැවිනි.