එක්සත් ජනපදය යුද අපරාධ පිලිබඳව ශී‍්‍ර ලංකාවේ ආන්ඩුවට තර්ජනය කරයි

US threatens Sri Lankan government over war crimes

By Sampath Perera , 15 March 2011

2009 මැයි මාසයේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) පරාජයෙන් අවසන් වූ ශී‍්‍ර ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරෙන් ඉස්මතු වන ජාත්‍යන්තර යුද අපරාධ චෝදනාවන්ට ශී‍්‍ර ලංකා ආන්ඩුවේ නායකයන්ට මුහුන දීමට සිදුවනු ඇතැයි දකුනු හා මධ්‍යම ආසියානු කලාපීය එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් අනතුරු අඟවා ඇත.

පෙබරවාරි 28 දා කොලඹ දී ඒඑෆ්පී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී මුවම්මර් ගඩාෆිට එරෙහි චෝදනා ජාත්‍යන්තර අපරාධ අධිකරනයට යොමු කර ඇතැයි සඳහන් කරමින් බ්ලේක් අවධාරනාත්මක ලෙස ලිබියාව ගැන සඳහන් කලේ ය.

සිවිල් යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයන් පදිංචි කරවීම පිලිබඳව එක්සත් ජනපදයේ ව්‍යාජ උත්සුකය මවාපාමින් බ්ලේක් මෙසේ කීවේ ය: "මෙම කරුනු සම්බන්ධ ජාත්‍යන්තර සම්මතයන්ට අනුව කටයුතු කිරීමට ශී‍්‍ර ලංකාව අකමැති නම් ඒ පිලිබඳව සොයා බැලීමට යම් ආකාර ජාත්‍යන්තර කොමිසමක් පත්කිරීමට පීඩනය යෙදෙනවා.”

බ්ලේක්ගේ ප‍්‍රකාශ මුලුමනින් ම නරුම ය. ඔබාමා පරිපාලනය හුදෙක් ඇෆ්ගනිස්ථානයේ, පාකිස්තානයේ, ඉරාකයේ හා අනෙකුත් ස්ථානවල සිදුකරන සිවිල් අපරාධ පිලිබඳව වගකිව යුතු වනවා පමනක් නො වේ. එය ශී‍්‍ර ලංකාවේ සිදු වී ඇති දේවලට ද හවුල් ය.

මිලිටරිමය හා රහස් තොරතුරු ආධාර සපයමින් වොෂින්ටනය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව එල්ටීටීඊයට එරෙහිව ගෙනගිය යුද්ධයට මුලුමනින් ම පිටුබලය දුන්නේ ය. එක්සත් ජාතීන්ගේ තක්සේරුවලට අනුව 2009 ජනවාරි හා මැයි අතර කාලයේ ශී‍්‍ර ලංකාවේ උතුරේ එල්ටීටීඊ පාලිත ප‍්‍රදේශවලට මිලිටරිය සිදු කල ම්ලේච්ඡ බෝම්බ හෙලීම්වලින් සිවිල් වැසියන් 7,000ක් මරා දමනු ලැබීය. ජාත්‍යන්තර අර්බුද වැලැක්වීමේ කන්ඩායම සිවිල් මරන සංඛ්‍යාව තවත් වැඩි යයි සඳහන් කලේ එය 30,000ත් 70,000ත් අතර වියහැකි යයි තක්සේරු කරමිනි. යුද්ධය අවසන් වූ විට අවතැන් වූ සිවිල් වැසියන් 280,000ක් මිලිටරි ධාවිත කඳවුරුවලට ගාල් කෙරුනි. දෙමල තරුනයන් දහස් ගනනක් රහස් රඳවාගැනීම් කඳවුරු තුලට දක්කනු ලැබිනි.

යුද්ධයේ අවසන් අදියරවල දී පමනක් එක්සත් ජනපදය හා යුරෝපීය බලයන් මානව හිමිකම් පිලිබඳව ඉස්මතු කලේ දෙමල වැසියන් පිලිබඳ අනුකම්පාවක් නිසා නොව කොලඹ මත බීජිංහි ආනුභාවයට වලකැපීමට ය. සිය ආර්ථික හා දේශපාලන ආනුභාවය ශක්තිමත් කරගැනීමට චීනය රාජපක්ෂ ආන්ඩුවේ යුද්ධයට අරමුදල් හා ආයුධ සම්පාදනය කරමින් ප‍්‍රධාන සහායකයෙකු ලෙස ඉස්මතු වී තිබුනි.

සිය සම්මුඛ සාකච්ඡාවේ දී බ්ලේක් මෙසේ ද කීවේ ය: "සෙනසුරාදා රාතී‍්‍රයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය ලිබියාවට එරෙහිව යෝජනාවක් සම්මත කලා. එම යෝජනාවේ එක් කොන්දේසියක් වන්නේ චුදිත යුද අපරාධ හා සිය ජනතාවට එරෙහි අපහරනයන්ට එරෙහිව විමර්ශනය කලහැකි වන පරිදි මුවම්මර් ගඩාෆිව ජාත්‍යන්තර අපරාධ අධිකරනය හමුවට පැමිනවීම යි. ඒ නිසා මෙය පොදු දෙයක්.”

හිටපු ශී‍්‍ර ලංකාවේ එක්සත් ජනපද තානාපතිවරයෙකු වන බ්ලේක් තමන් ශී‍්‍ර ලංකාව සමග "ඍජු සන්සන්දනයක් අදහස් නො කරන” බව කීවේ ය. එහෙත් "සිදුකර ඇති අපරාධ පිලිබඳ වගකීම සහතික කිරීම කෙරෙහි ලෝකය පුරා උනන්දුවක් පවතිනවා” යයි කීවේ ය.

යුද අපරාධ පිලිබඳ "වගකීම කලාලය යටට පිසදැමිය” නො හැකි යයි වැඩිදුරටත් අදහස් දැක්වූ බ්ලේක් "සර්බියාවේ හා ඒ හා සමාන සිදුවීම් වැනි කල්පවත්නා සිද්ධි පිලිබඳව ඔබ සලකා බලන්නේ නම් අන්තිමේ දී තමන් සිදුකල අපරාධ පිලිබඳව අදාල තැනැත්තන් නීතිය ඉදිරියට ගෙනාවා” යයි කීවේ ය.

ධවල මන්දිර නිලධාරියා සඳහන් කරමින් සිටියේ බලහත්කාරයෙන් නඩු මගට ගෙන ආ හිටපු සර්බියානු ජනාධිපති ස්ලොබොදාන් මිලසොවික් පිලිබඳව ය. යථාර්ථයේ දී රට කඩා බිඳ දැමීම හා එයින් ප‍්‍රතිඵල වූ වාර්ගික ප‍්‍රචන්ඩත්වය පිලිබඳව මිලසොවික් පමනක් නොව එක්සත් ජනපදය හා යුරෝපීය බලයන් හා පැරනි යුගෝස්ලාවියාවේ ඔවුන්ගේ සහකාරක තන්ත‍්‍රයන් ද වගකිව යුතු විය.

රාජපක්ෂ, ඔහුගේ පාලක කල්ලිය හා මිලිටරි ධුරාවලිය යුද අපරාධ සිදුකර තිබෙන බව සැබෑ ය. එහෙත් කම්කරු පන්තියට හා දෙමල මහජනයාට ඔබාමා පරිපාලනයෙන් කිසිදු සාධාරනයක් බලාපොරොත්තු විය නො හැකි ය. බ්ලේක්ගේ ප‍්‍රකාශ වනාහි එක්සත් ජනපදය සමග සහයෝගී නො වුවහොත් රාජපක්ෂ හා ඔහුගේ සමීපතම සහකරුවන් ජාත්‍යන්තර විමර්ශනයක් ඉදිරියේ විභාගයට කැඳවනු ඇතැයි යන්න පිලිබඳ සැඟවුනු තර්ජනයකි.

රාජපක්ෂ ආන්ඩුව මත එක්සත් ජනපද පීඩනය වැඩීමේ තවත් සලකුනක් පෙන්නුම් කරමින් "යුද අපරාධ වාර්තා පිලිබඳව සොයා බැලීමට ස්වාධීන ජාත්‍යන්තර වගකීමේ යාන්ත‍්‍රනයක්” සඳහා කැඳවුම් කල ජ්‍යෙෂ්ට පෙන්සිල්වේනියානු ඩිමොක‍්‍රටික් සෙනට් සභිකයෙකු වන රොබට් කැසී විසින් ගෙන ආ නිර්-බන්ධක යෝජනාවක් මාර්තු 1 දා එක්සත් ජනපද සෙනට් සභාව ඒකමතිකව සම්මත කලේ ය.

2009 වසරේ අවසාන භාගයේ චීනයේ ආනුභාවය වැලැක්වීම සඳහා මානව හිමිකම් කාරනා අතහැර දැමිය යුතු යයි යෝජනා කල එක්සත් ජනපද විදේශ සබඳතා කමිටුව කොලඹ කෙරෙහි පිලිවෙත් වෙනසකට ඉඟි කලේ ය. "ශී‍්‍ර ලංකාව අහිමි කරගැනීම එක්සත් ජනපදයට දැරිය නො හැකි” යයි සඳහන් කරමින් හා මූලෝපායිකව වැදගත් මුහුදු ගමන් මාර්ග ඔස්සේ දිවයිනේ පිහිටීම හුවා දක්වමින් එක්සත් ජනදපය මානව හිමිකම් පිලිබඳ තනි න්‍යාය පත‍්‍රය පමනක් සතුව නො සිටිය යුතු යයි කමිටුව යෝජනා කලේ ය. වාර්තාව ශී‍්‍ර ලංකාව සමග චීනයේ සමීප සබඳතා ගැන විශේෂයෙන් සඳහන් කලේ ය.

එහෙත් ඔබාමා පරිපාලනය කොලඹ ආන්ඩුවට එරෙහිව කී‍්‍රඩාකිරීමට කූට්ටම් කොලයක් ලෙස මානව හිමිකම් පැමිනිලි තබාගත්තේ රාජපක්ෂගේ ම විමර්ශනය වන අතින් අහුලාගත් උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන කොමිසමට මුද්‍රාව තබන අතරතුරේ ය.

බ්ලේක්ගේ මැදිහත්වීම පෙන්නුම් කරන්නේ රාජපක්ෂ ආන්ඩුව දිගට ම චීනය දිශාවට ආසක්තව සිටීම පිලිබඳ එක්සත් ජනපදයේ කාංසාවයි. ලන්ඩනයේ පලවන ටයිම්ස් පුවත්පත පසුගිය නොවැම්බරයේ නිරීක්ෂනය කල පරිදි "චීන බැංකු ශී‍්‍ර ලංකා ආන්ඩුවේ බැඳුම්කර උද්යෝගීමත්ව මිලට ගන්නන් ය.”

2010 මැද වනවිට ශී‍්‍ර ලංකාවට චීනයේ සමස්ත "ආධාරය” එක්සත් ජනපද ඩොලර් බිලියන 3ක් කරා නැගුනි. මේ වසර මුල දී ‘ෂැන්ගි‍්‍ර ලා හා චීන ගුවන් තාක්ෂන ආනයන අපනයන සංස්ථාව සුඛෝපභෝගී සංචාරක හෝටල් ගොඩනැගීමට ගිවිසුම් අත්සන් තැබීමෙන් පසු සංචාරක කර්මාන්තයේ චීන ආයෝජනය ඩොලර් බිලියන 1 කරා ලඟා විය.

චීනය ප‍්‍රධාන වෙලඳ කොටස්කරුවෙක් බවට පත්ව සිටී. ශී‍්‍ර ලංකාවෙන් චීනයට කරන අපනයන 2009 දී ඩොලර් මිලියන 59 සිට 2010 දී ඩොලර් මිලියන 80 කරා නැගුනි. එම වසරේ ම ශී‍්‍ර ලංකාව සමග චීනයේ ද්විත්ව මාර්ග වෙලාඳාම ඩොලර් බිලියන 3ට ආසන්න වූ අතර ශී‍්‍ර ලංකාවට කරන චීන අපනයන ආසන්න වසයෙන් දෙගුන විය.

එක්සත් ජනපදයට මෙන් ම ඉන්දියාවට ද තවත් ගැඹුරු කාංසාවක් වන්නේ චීනය තම මුහුදු මාර්ග ආරක්ෂා කරගැනීමට ඉන්දියන් සාගරය හරහා වරාය පහසුකම් ඇති කර ගැනීමේ සැලසුමේ කොටසක් ලෙස දක්ෂින ශී‍්‍ර ලංකාවේ හම්බන්තොට විශාල වරායක් ගොඩනැගීම සම්පූර්න කරමින් සිටීම යි.

වොෂින්ටනය කෝප ගන්වන තවත් කරුනක් වන්නේ ශී‍්‍ර ලංකා ආන්ඩුවට ලිබියාවේ ගඩාෆි තන්ත‍්‍රය සමග සමීප සබඳතා තිබීම යි. 2009 වසරේ අපේ‍්‍රල් හා සැප්තැම්බර් මාසවල දෙවරක් රාජපක්ෂ ලිබියාවට සංචාරය කලේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 500ක මූල්‍ය ආධාරයක් ලබාගනිමිනි. මේ වසරේ ජනවාරියේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් ද වන රාජපක්ෂගේ පුත් නාමල් ටි‍්‍රපොලි නුවර දී ගඩාෆි හමු වී ඔහුට ශී‍්‍ර ලංකාවේ සංචාරය කරන ලෙස ආරාධනා කලේ ය.

මාර්තු 5 දා රාජපක්ෂගේ මාධ්‍ය අධ්‍යක්ෂ බන්දුල ජයසේකර, ගඩාෆි, ජනාධිපතිවරයාට දුරකථනයෙන් අමතා ඇතැයි සඳහන් කල මාධ්‍ය නිවේදනයක් නිකුත් කලේ ය. එම ප‍්‍රකාශයට අනුව "හැකි ඉක්මනින් ලිබියාවේ සාමය ස්ථාපනය කොට ලිබියානු ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන” ලෙස රාජපක්ෂ ලිබියානු ආඥාදායකයාට උපදෙස් දී ඇත. එය වනාහි සිය තන්ත‍්‍රයට ඇති විරුද්ධත්වය තලා දැමීමට ගඩාෆි දරන උත්සාහයන් කෙරෙහි ප‍්‍රදර්ශනාත්මක සහයෝගය ප‍්‍රකාශ කිරීමකි.

යුද අපරාධ විමර්ශනයක් පිලිබඳ ඉඟියක් පවා වැලැක්වීමට තරම් රාජපක්ෂ ආන්ඩුව මංමුලා සහගත ය. පෙබරවාරි 23 දා නීතිපති මොහාන් පීරිස් හා විදේශ කටයුතු ලේකම් රොමේෂ් ජයසිංහගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලාංකික නියෝජිත පිරිසක් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී‐මුන් හා ශී‍්‍ර ලංකාවේ යුද අපරාධ පිලිබඳව ඔහුට උපදෙස් දෙන එක්සත් ජාතීන්ගේ කමිටුව රහසේ හමුවූහ. නියෝජිත පිරිස අහිතකර වාර්තාවක් ඉදිරිපත් නො කරන ලෙස එක්සත් ජාතීන්ව උනන්දු කලහ. පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ කමිටුව "පිලිගත නො හැකි” යයි ප‍්‍රකාශ කල ආන්ඩුව ඒ සමග සහයෝගයෙන් කටයුතු කිරීම ප‍්‍රතික්ෂේප කලේ ය.

කොලඹ ආන්ඩුව බ්ලේක්ගේ තර්ජනය පිලිබඳව අදහස් දක්වා නැත. එය එක්සත් ජනපද සෙනට් යෝජනාව පිලිබඳව කනගාටුව පලකොට ඇතත් එය හෙලා දැක නැත. වොෂින්ටනය සැනසීමට වැඩිදුර උත්සාහයක් දරමින් මාර්තු 8 දා රාජපක්ෂ එක්සත් ජනපද තානාපතිනි පැට්රීෂියා බියුටෙනිස් මුනගැසුනි. මෙය රාජපක්ෂ ඔබාමා පරිපාලනය සමග සහයෝගී වීමකට තතනන බවට සංඥාවකි. එක්සත් ජනපද ආන්ඩුවේ සත්‍ය සාංකාව වන්නේ යුද අපරාධ නොව එහි මූලෝපායික හා ආර්ථික අවශ්‍යතා බව ඔහු හොඳින් දනී.