ශී‍්‍ර ලංකාව: දෙමල පක්ෂ ආන්ඩුව සමග සාකච්ඡා පවත්වති

Sri Lanka: Tamil parties hold talks with government

By K. Ratnayake, 28 March 2011

පසුගිය මාස දෙක තිස්සේ දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) සහ ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව අතර සාකච්ඡා පැවතුනි. දිවයිනේ දෙමල සුලුතරයේ අවශ්‍යතා නියෝජනය කරන බව එය කියා පෑවත් ටීඑන්ඒ උත්සාහ කරන්නේ, උතුරු හා නැගෙනහිර පලාත්වලට සීමිත බලය විමධ්‍යගත කිරීමක් හරහා දෙමල ධනේශ්වරයේ වරප‍්‍රසාද සුරක්ෂිත කරන එකඟතාවක් ඇති කරගැනීමටයි.

සිවිල් වැසියන් දහස් ගනනක් ඝාතනය කලා වූ ද මිනිසුන්, ගැහැනුන් හා ලමුන් 250,000ක් රඳවාගැනීමට තුඩු දුන්නා වූ ද මෙහෙයුම්වල දී බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය මිලිටරිමය ලෙස තලා දැමීමෙන් මාස 18කට වැඩි කලක් ගතවීමෙන් පසුව, කොලඹ ආන්ඩුව සාකච්ඡා ආරම්භ කලේ ය. එල්ටීටීඊයේ පරාජය සිදු වූයේ, සිංහල හා දෙමල යන දෙජාතියේ ම වැඩ කරන ජනතාවගේ වියදමින් සිංහල ප‍්‍රභූවේ ආධිපත්‍යය ආරක්ෂා කරගැනීමේ සිය වස් කාර්තුවක යුද්ධයෙන් පසුව ය.

දෙමල ප‍්‍රභූවට මොන යම් හෝ සැලකිය යුතු සහනයක් දීමට ඇති ඉඩකඩ බැහැර කර ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ, මෙම සාකච්ඡා ආරම්භ කලේ, සිවිල් යුද්ධය ආකාරගත වසයෙන් අවසන් කරනු පිනිස "දේශපාලන විසඳුමක්” සඳහා එල්ල වන ජාත්‍යන්තර පීඩනය, විශේෂයෙන් ම ඉන්දියාවෙන්, එක්සත් ජනපදයෙන් හා යුරෝපා බලවතුන්ගෙන් එල්ල වන පීඩනය, අපසරනය කිරීමේ විධික‍්‍රමයක් ලෙස ය. එමෙන්ම, ඔහු විදේශගතව වෙසෙන සැලකිය යුතු දෙමල ඩයස්පෝරාව අතර සිටින එල්ටීටීඊ-හිතැති කන්ඩායම්වල විවේචන නිෂ්කී‍්‍රය කරනු පිනිස ටීඑන්ඒ සහාය ලබාගැනීමට ද ගනන් බලයි. පෙබරවාරි මාසයේ දී සාකච්ඡා වට දෙකක් පැවති අතර තුන් වන වටය මාර්තු 18 දා පැවතුනි.

රාජපක්ෂ, සාකච්ඡාවලට සහභාගි වීම පිනිස, විදේශ ඇමති ජී.එල්. පීරිස් ඇතුලු, ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පත් කර ඇත. එහෙත් සාකච්ඡාවේ පදනම ලෙස කිසිදු ආස්ථානයක් නිල වසයෙන් ප‍්‍රකාශයට පත් කර නැත. මීට පෙර ජනාධිපති, පලාත් හෝ දිස්ති‍්‍රක් මට්ටමෙන්, මොන යම් හෝ සැලකිය යුතු බලය විමධ්‍යගත කිරීමක් බැහැර කර ඇත. 2002-03 දී ඔහුගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය (ශී‍්‍රලනිප), ශී‍්‍ර ලංකාව සඳහා ෆෙඩරල් රාමුවක් සඳහා එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව හා එල්ටීටීඊය අතර පැවති සාම සාකච්ඡාවන්ට රුදුරු ලෙස විරුද්ධ විය.

සාකච්ඡාවලට ටීඑන්ඒ සම්බන්ධ වීම, දෙමල ධනේශ්වරයේ දූෂිත ස්වභාවය තවත් වතාවක් පෙන්නුම් කලේ ය. එල්ටීටීඊයේ පරාජය තෙක්ම එහි පාර්ලිමේන්තු හොරනෑව ලෙස කි‍්‍රයාත්මක වූ ටීඑන්ඒ කොලඹ දේශපාලන සංස්ථාපිතයට යලි ඒකාග‍්‍ර වීම පිනිස මංමුලාසහගත ප‍්‍රයත්නයක යෙදී සිටී.

එල්ටීටීඊයේ මිලිටරි පරාජයෙන් පසුව, ශී‍්‍ර ලංකා හමුදාව දෙමල සිවිල් වැසියන් රැඳවුම් මධ්‍යස්ථාන තුලට ගාල් කලේ ය. ඔවුන්ගෙන් බොහොමයක් දැන්, දිවයිනේ උතුරේ හා නැගෙනහිර නිත්‍ය මිලිටරි වාඩිලෑමකට සමාන කොන්දේසි යටතේ, ජරාජීර්න තාවකාලික නවාතැන්වල "යලි පදිංචි කර” තිබේ. දහස් ගනන් දෙමල තරුනයන් "එල්ටීටීඊ සැකකරුවන්” ලෙස නඩු විභාග නැතිව රඳවා ගෙන ඇති අතර ඔවුහු "යලි-ශික්ෂනය කිරීමේ” කි‍්‍රයාදාමයකට භාජන කෙරෙමින් පවතී.

මාර්තු 17 දා පැවති පලාත් පාලන මැතිවරනයේ දී, ටීඑන්ඒ තමන් දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්හි ආරක්ෂකයකු ලෙස මවා පෙන්වමින් දෙමල බහුතරයක් සහිත උතුරු පලාතේ පලාත් පාලන ආයතනවලින් දෙකක් හැර සියල්ලේ ම බලය දිනා ගත්තේ ය. එහි මැතිවරන ප‍්‍රකාශය අධි ආරක්ෂක කලාප ඉවත් කිරීම, එම ප‍්‍රදේශවලින් ඉවත් කෙරුනු ජනයා යලි පදිංචි කිරීම, ජීවන මට්ටම් වැඩිදියුනු කිරීම සහ රඳවා ගෙන සිටින තරුනයන් නිදහස් කිරීම ඉල්ලා සිටියේ ය.

ටීඑන්ඒ මෙම කාරනා සම්බන්ධයෙන් කිසිදු මහජන උද්ඝෝෂනයක් ගෙන ගියේ නැත. කෙසේවෙතත්, එය රාජපක්ෂ ආන්ඩුව හා ශී‍්‍ර ලංකාවේ මිලිටරිය විසින් සිදු කරන ලද යුද අපරාධ පිලිබඳ ප‍්‍රශ්නය මතු කලේ වත් නැත. ඒ වෙනුවට, එය යෙදී ගෙන ඇත්තේ සොච්චම් සහන ඉල්ලා ආන්ඩුවට බැගෑපත් ලෙස කන්නලව් කිරීමෙහි ය. මෑත ම සාකච්ඡා වටයේ දී, ආන්ඩුවේ නියෝජිතයෝ රැඳවියන්ගේ පවුල්වලට ඔවුන් පිලිබඳ සමහර තොරතුරු සැපයීමට එකඟ වූහ. මීට පෙර බොහෝ දෙමව්පියන්ගේ ඇස් ඉදිරියේ ඔවුන්ගේ දරුවන් ඇද ගෙන ගොස් ඇති අතර ඔවුන් ගෙන ගියේ කොහෙට ද යන්න කිසිදාක පවසා නැත.

වැඩ කරන ජනතාව මුහුන දෙන දරිද්‍රතාව හා දුෂ්කරතා පිලිබඳව තමන් උත්සුක බව ටීඑන්ඒ කියාපායි. කෙසේවෙතත්, ආන්ඩුව සමග සමීප සබඳතා වගාදිගා කරගනු පිනිස, ටීඑන්ඒ පසුගිය නොවැම්බරයේ දී ඉදිරිපත් කෙරුනු 2011 අයවැයට එරෙහිව ඡන්දය දුන්නේ නැත. අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විිසින් ඉල්ලා සිටිනු ලබන කප්පාදු පිලිවෙත් අනුව සැකසුනු අතර එය ජීවන මට්ට්මවල තව දුර ඛාදනයකට තුඩු දෙනු ඇත.

ටීඑන්ඒ සංවිධානයේ අවධානය මූලිකව යොමු වී ඇත්තේ ඊනියා දේශපාලන විසඳුම පිලිබඳව වන අතර එය පසුගිය සාකච්ඡා වටයේ දී සාකච්ඡාවට භාජනය කෙරුනු බවක් පෙනී යයි. ඒ පිලිබඳ කිසිදු විස්තරයක් සපයා නැත. ටීඑන්ඒ සංවිධානය, ඊලඟ මස පැවැත්වීමට නියමිත සාකච්ඡා සඳහා කල් වේලා ඇතිව සිය යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත ය.

සාකච්ඡා ඉදිරියට ගෙන යනු වස්, ටීඑන්ඒ දෙමල එක්සත් විමුක්ති පෙරමුන (ටීයූඑල්එෆ්) සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහජන විමුක්ති පෙරමුන (ඩීපීඑල්එෆ්) ඇතුලු සෙසු දෙමල පක්ෂ සමග පොදු පෙරමුනක් තනා ගෙන ඇත. ටීයූඑල්එෆ් රාජපක්ෂගේ යුද්ධයට සහයෝගය දුන් අතර ඩීපීඑල්එෆ් සංවිධානයේ පැරා-මිලිටරි කන්ඩායම් එල්ටීටීඊය පරාජය කිරීමට සහාය පිනිස ආරක්ෂක හමුදා සමග සමීපව වැඩ කලහ.

2010 ජනවාරි ජනාධිපතිවරනයේ දී, ටීඑන්ඒ විරුද්ධ පක්ෂයේ අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන්නේ ය. ජනාධිපති රාජපක්ෂ යටතේ හමුදාපති ලෙස, ඔහු යුද්ධයේ අවසන් මාස ගනනාව තුල කෙරුනු බොහෝ යුද අපරාධ සම්බන්ධයෙන් සෘජුව ම වගකිව යුතු ය. එහෙත්, සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සහයෝගය ලද ෆොන්සේකාට සහාය දීම සම්බන්ධයෙන් කිසිදු දෙගිඩියාවක් ටීඑන්ඒ සංවිධානයට නොතිබුනි.

ටීඑන්ඒ සහ එහි සගයෝ පලාත් පාලන මැතිවරන තරග කරනු පිනිස එකට එකතු වූහ. පසුගිය වසරේ මැතිවරනවල දී ටීඑන්ඒ වෙතින් බිඳිනු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.කේ. සිවාජිලිංගම් ද යලි එම පෙරමුනට එක් විය. පසුගිය වසරේ දී ඔහු, ඉන්දියාවේ රූකඩයක් ලෙස කි‍්‍රයා කරන බවට ටීඑන්ඒ සංවිධානයට චෝදනා කල අතර තමන් වෙනම ඊලම් රාජ්‍යයක් සඳහා අරගලය දිගටම ගෙන යන බව ද ප‍්‍රකාශ කලේ ය. දැන් ඔහු සිය විවේචන හිටි අඩියේ ම අකුලා ගෙන ඇත.

ආන්ඩුව සමග තමන් ගෙන යන සාකච්ඡාවල දී සිය අත ශක්තිමත් කරනු පිනිස ටීඑන්ඒ අපේක්ෂකයන්ට ඡන්දය දෙන ලෙස ටීඑන්ඒ නායක ආර්. සම්බන්ධන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. ටීඑන්ඒ බොහෝ පලාත් පාලන ආයතන ජයගත් නමුදු, ඡන්දය දුන් මුලු සංඛ්‍යාව යන්තම් සියයට 50කට වැඩි වූයේ, එහි අවස්ථාවාදී උපාමාරු සම්බන්ධයෙන් ඡන්දදායකයන්ගේ පුලුල් ස්ථර අතර පවත්නා ගැඹුරු වෛරය පිලිබිඹු කරමිනි.

දෙමල පක්ෂවල වඩා සමීප සන්ධානයක් සඳහා ගාමකය ලැබුනේ "ජාත්‍යන්තර ප‍්‍රජාව”, විශේෂයෙන් ම ඉන්දියාව, වෙතින් බව ටීඑන්ඒ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මාධ්‍යවලට පැවසීය. ශී‍්‍ර ලංකාවේ සිවිල් යුද්ධයට "දේශපාලන විසඳුමක්” සඳහා බල කිරීමෙහිලා නව දිල්ලියේ මූලික අවශ්‍යතාව වන්නේ, එල්ටීටීඊය පරාජය කිරීම පිනිස රාජපක්ෂ ආන්ඩුවට සැලකිය යුතු සහයෝගයක් දුන් චීනයට හා පකිස්ථානයට වලකපමින්, දිවයින තුල තමන්ගේ ම තත්වය වැඩිදියුනු කර ගැනීමයි.

රාජපක්ෂ ආන්ඩුවේ යුද්ධයට නව දිල්ලිය දුන් සහයෝගය අරබයා 2009 දී විශාල විරෝධතා ව්‍යාපාර හටගත් දකුනේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුලු, ප‍්‍රාන්ත මැතිවරන ගනනාවකට ද ඉන්දියානු ආන්ඩු මුහුන දී සිටී.

ඔවුන්ගේ පාර්ශ්වයෙන්, ටීඑන්ඒ උත්සාහ කරන්නේ, කොලඹ ආන්ඩුවෙන් සුලු සහන කඩාගැනීම ද දිවයිනේ උතුරු හා නැගෙනහිර පලාත් පාලනය කිරීමෙහිලා දෙමල ධනේශ්වරය සඳහා කනිෂ්ඨ කාර්යභාරයක් දිනාගැනීම ද පිනිස ජාත්‍යන්තර සහයෝගය යොදාගැනීමටයි. මෙය වනාහි එල්ටීටීඊයේ පරාජයට තුඩු දුන් වාර්ගික ඉදිරිදර්ශනය ම ය.

දිවයිනේ සෙසු ප‍්‍රදේශවල හා ජාත්‍යන්තර කම්කරුවන් වෙත කෙසේවෙතත්, දෙමල වැඩ කරන ජනතාව වෙත වත් කිසිදු පන්ති ආයාචනයක් කිරීමෙහිලා ඓන්ද්‍රීයව අසමත්, එල්ටීටීඊය යුද්ධයේ අවසන් මාස ගනනාව තුල දී "ජාත්‍යන්තර ප‍්‍රජාව” වෙත සිය නිෂ්ඵල ආයාචනා දිගටම ඉදිරිපත් කලේ ය. කෙසේවෙතත්, ඉන්දියාව, චීනය සහ සියලු මහ බලවත්තු රාජපක්ෂ ආන්ඩුවට පිටුබලය සැපයූහ.

1948 ආකාරගත නිදහසේ පටන් මේ දක්වා ශී‍්‍ර ලංකාවේ සමස්ත ඉතිහාසය ම, විශේෂයෙන් සිවිල් යුද්ධයේ සියවස් කාර්තුවක කාල පරිච්ඡේදය, පෙන්නුම් කරන්නේ, දෙමල සුලුතරයේ හෝ සමස්තයක් ලෙස වැඩ කරන ජනතාවගේ හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිලාෂයන් ඉටු කිරීමෙහිලා පාලක පන්තියේ කිසිදු කොටසකට පවතින නොහැකියාවයි. ගම්බද ජනතාවගේ නායකත්වය ලෙස, කම්කරු පන්තිය ශී‍්‍ර ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා ගෙන යන ඒකාබද්ධ අරගලගයක් ම පමනක් සියල්ලන් සඳහා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සහ ශිෂ්ඨ සම්පන්න ජීවන කොන්දේසි සහතික කිරීමට සමත් වනවා ඇත.