බින් ලාඩ්න් ඝාතනයෙන් ඉක්බිත්තේ එක්සත් ජනපදය යේමනයේ ඇමරිකානු පුරවැසියෙක් ඉලක්ක කරයි

In wake of Bin Laden killing: US targets American citizen in Yemen

By Bill Van Auken, 7 May 2011

ඔසාමා බින් ලාඩ්න් ඝාතනය කල කොමාන්ඩෝ ආක‍්‍රමනයෙන් යන්තම් දින පහක් ගතවෙද්දී එක්සත් ජනපදය යේමනයේ ඇමරිකානු පුරවැසියෙකු ඝාතනය කිරීමේ අරමුනෙන් ප‍්‍රිඩේටර් ඩ්‍රෝන් ප‍්‍රහාරයක් එල්ල කලේය.

06දා සවස වෝල් ස්ටී‍්‍රට් ජර්නලය සඳහන් කල පරිදි එක්සත් ජනපද හා යේමන් නිලධාරීන්ට අනුව යේමනයේ ෂබ්වා පලාතේ දී මැයි 05දා සිදු කල ඩ්‍රෝන් ප‍්‍රහාරය සැලසුම් කරන ලද්දේ නිව් මෙක්සිකෝවේ උපත ලත් එක්සත් ජනපද පුරවැසිකම සහිත අන්වාර් අල් අව්ලාකි නමැති මුස්ලිම් පූජකවරයා ඝාතනය ඉලක්ක කර ගෙනය.

පසුගිය වසරේ මාධ්‍ය වාර්තාවලට අනුව ඔබාමා අල් අව්ලාකිගේ නම "ඉලක්ක කරන ලැයිස්තුවට” ඇතුලත් කලේය. ඒ ඔහුගේ පරිපාලනය කිසිදු සාක්ෂියකින් හෝ කිසිදු නීතිමය රැකවරනයකින් තොරව "විශේෂිතව නම්කල ගෝලීය ත‍්‍රස්තවාදියෙක්” යයි ජනාධිපතිට හැඟීයන ඕනෑම එක්සත් ජනපද පුරවැසියෙකු අත්තනෝමතික ලෙස ඝාතනය කිරීම සඳහා බුෂ්ගේ ධවල මන්දිරය පවා ඉල්ලා නොසිටි අයිතියක් පවරාගැනීමෙන් පසුව ය.

අල් අව්ලාකි මරාදැමීමේ අරමුනෙන් විදින ලද මිසයිලය ඔහු වෙනුවට සහෝදරයින් දෙදෙනෙකුට මරු කැඳවූ අතර යේමන් ආරක්ෂක අමාත්‍යාංශය ඔවුන් මුසායිඩ් මුබාරක් හා අබ්දුල්ලා අල් ඩගාරි ලෙස හඳුනාගෙන ඇත. ඔවුන් ගමන්ගත් මෝටර් රිය හෙල්ෆයර් මිසයිලයට ගොදුරු වූ අතර දෙදෙන එතැන ම මියගොස් මාර්ගයේ ගමන්ගත් අයෙක් තුවාල ලැබීය.

"බින් ලාඩ්න් මියයාමෙන් පසුව ආන්ඩුව අපගේ ප‍්‍රදේශ වලට පහර දීම සඳහා එක්සත් ජනපදයට ඉඩ දී ඇති බව අපි දන්නෙමු” යයි ප‍්‍රදේශයේ ගෝත‍්‍රික නායකයෙකු එක්සත් අරාබි එමිරේට්හි නැෂනල් දිනපතා පුවත්පතට පවසා තිබුනි.

එක්සත් ජනපදයේ පිටුබලය ලබන ජනාධිපති අලි අබ්දුල්ලා සාලේගේ ආන්ඩුවට එරෙහි තෙමසක් ගතව තිබෙන යේමන් ජනතා නැගිටීමේ ලොකුම පෙලපාලියකින් ඉක්බිත්තේ මෙම ඝාතන සිදුවිය. සනා අගනුවර ප‍්‍රධාන මහාමාර්ගයේ සැතපුම් ගනනක් දිගට දස දහස් සංඛ්‍යාත ජනයා මහ වැසි මැද්දේ පෙලපාලි දැක්වූහ.

වසර 33ක් බලයේ සිටින සාලේ තමා ඉවත් කිරීමට කෙරෙන ඉල්ලීම් නොතකා මේ වන විට යේමන් වැසියන් 140ක් ඝාතනය කර තිබෙන තිරිසන් මර්දනයක් දියත් කර ඇත. දින 30ක් ඇතුලත ඔහු ඉල්ලා අස්විය යුතුයයි යෝජනා කරමින් ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය විසින් කපුකම් කල ගිවිසුමකට අත්සන් තැබීම ඔහු ප‍්‍රතික්ෂේප කලේය. ඔහුගේ තන්ත‍්‍රයට වොෂින්ටනයේ පිටුබලය ලැබෙන බවට විරුද්ධවාදීන් චෝදනා කරන අතර දේශපාලන විශ්ලේෂකයින් අනතුරු අඟවා ඇත්තේ ඔසාමා බින් ලාඩ්න් මරා දැමීමෙන් පසුව එක්සත් ජනපද පාලනාධිකාරය එහි සහාය තවත් දැඩි කරනු ඇති බව ඔවුන්ගේ විශ්වාසය බවයි.

එක්සත් ජනපද ප‍්‍රහාරයකින් සාලේගේ නියෝජිතයෙක් ඇතුලු තවත් පුද්ගලයින් ගනනාවක් මරා දැමුනු 2010 මැයි මාසයෙන් පසුව යේමනයට එල්ලවූ ප‍්‍රථම මිසයිල් ප‍්‍රහාරය එය බව දැක්වේ. 2009 දෙසැම්බරයේ එල්ල කල එවැනි තවත් කෲස් මිසයිල් ප‍්‍රහාරයකින් සිවිල් වැසියන් 40කට වැඩි සංඛ්‍යාවක් මරා දැමුනි.

බින් ලාඩ්න් ඝාතනයෙන් පසුව පලමු වතාවට එක්සත් ජනපදය 05 දින සවස් යාමයේ පකිස්ථානයට ඩ්‍රෝන් මිසයිල් ප‍්‍රහාරයක් එල්ල කලේය. ඉන් උතුරු වසිරිස්ථානයේ අඩුම ගනනේ මිනිසුන් 15ක් මිය ගියේය. ඩැටා කේල් ප‍්‍රදේශයේ එක දිගට මිසයිල් ප‍්‍රහාර 8ක් වටියෝ ගම්මානයේ හෝටලයකට සෙමනේරියකට හා වාහනයකට එල්ල විය.

ප‍්‍රහාරය සිදුවූයේ සිය භූමියෙහි තවදුරටත් කිසිදු ඒකපාර්ශවික ඇමරිකානු මිලිටරි මෙහෙයුම් සිදු කිරීමට එරෙහිව පකිස්ථාන ආන්ඩුව හා මිලිටරිය විසින් කල අනතුරු ඇඟවීමත් සමග ම ය. තව ද එය රට තුල යොදවා සිටින ඇමරිකානු මිලිටරියේ හා සීඅයිඒහි ඔත්තුකරුවන් සංඛ්‍යාව තියුනු ලෙස පහත හෙලිය යුතු බව ද කියා තිබුනි.

මේ අතර වොෂින්ටනය ලිබියාවේ සිය මිලිටරි මැදිහත්වීම් දැඩි කිරීමට සූදානම් වන බවට ද වැඩෙන ඇඟවුම් පවතියි. ලිබියානු ක‍්‍රියාන්විතය පිලිබඳව එක්සත් ජනපදය හා නේටෝ සහකරුවන් තම දෙවන සැසිය පැවැත්වෙන රෝමයේ සිට කතාකරමින් රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ලිබියානු නායක මුවම්මර් ගඩාෆි එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය, ප‍්‍රන්සය හා ඉතාලිය විසින් පිටුබලය දෙන ඊනියා කැරලිකරුවන්ට එරෙහි සියලු මිලිටරි ක‍්‍රියාන්විතයන් අත්හිටුවා බලය අත්හල යුතු බවට බල කල අතර ඔහු ඊට එකඟවන තෙක්ම "ඔහුගේ හමුදාවන්ට අපි පහර දෙන්නෙමු” යයි දිව්රීය.

මැද පෙරදිග නැගිටීම් ආවරනය ලෙස යොදාගනිමින් එක්සත් ජනපදය හා බටහිර යුරෝපීය බලවතුන් ලිබියාව තුල සිවිල් යුද්ධයක් අවුලුවා ඇත්තේ ප‍්‍රමුඛ බටහිර බලශක්ති සංගතයන්ට රටේ තෙල් සම්පතෙහි නිර්බාධක පාලනය සහතික කරනු ඇති වඩාත් යටත් පාලන තන්ත‍්‍රයක් ටි‍්‍රපොලිහි ඇටවීමේ අරමුන ඇතිවය.

බිම් මට්ටමේ මිලිටරි මෙහෙයුම් ඇනහිටීමත් සමඟ දැඩි බලයක් යෙදීම සඳහා කෙරෙන ඉල්ලීම් වැඩිවී තිබේ. 06 දින නිව් යෝර්ක් ටයිම්ස් කතුවැකියෙන් නේටෝව "එකමුතුව හා අධිෂ්ඨානය කැඳවාගනිමින්” සිවිල් යුද්ධය තුල "සමතුලනය නිමා කල” යුතු යයි ඉල්ලා සිටියේය. ඒ 10 හා ඒසී 130 ප‍්‍රහාරක ගුවන් යානා ලිබියාවට යලි පිටත්කර හරින ලෙස පෙන්ටගනයට කියා සිටිමින් පුවත්පත පසුගිය සතියේ ලිබියානු නායකයාගේ පුතෙකු හා මුනුබුරන් තිදෙනෙකු මරාදැමුවාක් වැනි බෝම්බ ප‍්‍රහාර "ගඩාෆිගේ පරිශ‍්‍රය ද ඇතුලු මිලිටරි මෙහෙයුම් මධ්‍යස්ථාන වෙත” එල්ල කරන ලෙස රෙකමදාරු කලේය.

මතුවී ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ දැනට කෙරීගෙන යන යුද්ධ හා මිලිටරි වාඩිලෑම රටක් රටක් පාසා පතුරුවා හැරීමත් සමඟ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සාපරාධිත්වය ගෝලීය පරිමාවකින් විහිද යාමයි.

විශේෂයෙන්ම පසුගිය ඉරිදා බින් ලාඩ්න්ට එරෙහි "ඝාතනයේ මෙහෙයුම” අබියස දී ඔබාමා පාලනාධිකාරය විසින් ආක‍්‍රමනකාරී ලෙස ඔසවා තිබෙන ඉතා දැනුවත් ප‍්‍රතිපත්තියකි මෙය.

එක්සත් ජනපදයේ ජනාධිපති පකිස්ථානු නගරයක් වන ඇබොටබාඩ්හි නිවාස සංකීර්නයක් ආක‍්‍රමනය කර බින් ලාඩ්න් ඝාතනය කර අඩුම තරමින් තවත් මිනිසුන් තිදෙනෙක් හා කාන්තාවක් මරාදැමූ නාවික සීල් ඒකකයේ සාමාජිකයින් සමග 06 දින කෙන්ටුකී ප‍්‍රාන්තයේ කැම්බල් කඳවුරේදී රැස්වීමකට සහභාගී වෙමින් ගත කලේය. එක්සත් ජනපද නිලධාරීන්ට අනුව සන්නද්ධව සිටි පුද්ගලයාට එක්වර ම වෙඩිතැබූ අතර අනෙක් අය ක‍්‍රමානුකූලව වෙඩි තබා ඝාතනය කරන ලදී.

පුද්ගලික රැස්වීමක දී සීල්ස් ඒකකයට ජනාධිපති ඒකකයේ උපහාරය පිරිනමමින් හා ආක‍්‍රමනයට සහභාගී වූ හමුදා විශේෂ සේනාංක ඒකකය හා විශේෂ ගුවන් මෙහෙයුම් ඒකකය සමග වැසූ දොරවල් පිටුපස රැස්වීමක් පවත්වමින් ඔබාමා මෑතක දී ඇෆ්ගනිස්ථානයේ සිට ආපසු පැමිනි සොල්දාදුවන් හමුවේ ප‍්‍රසිද්ධියේ කථා කලේය.

ජනාධිපතිට "ජයග‍්‍රාහී පොටක්” යයි බොහෝ දෙනෙක් හැඳින්වූ පකිස්ථාන ආක‍්‍රමනයෙන් පසුව ගතවූ දවස් ගැන ඔහු විස්තර කලේ එය "අපගේ ජාතියේ ජීවිතයෙහි ඓතිහාසික සතියක්” ලෙසය.

ඝාතක කන්ඩායමේ සාර්ථක මෙහෙයුම නියෝජනය කරන්නේ "වසර 200කටත් වැඩි කාලයක් තිස්සේ අපව නීර්නය කර තිබෙන වටිනාකම් එනම් ඇමරිකාවේ සාරය නොනැසී පවතිනවා පමනක් නොව ඒවා වෙන කවරදාකටත් වඩා ශක්තිමත්ව තිබෙන බව” යයි ඔබාමා කියා සිටියේය.

ඔහුගේ පරිපාලනය කෙතරම් විශාල දකුනට පැදීමක් සිදු කර ඇත් ද යන්න මෙතෙරම් නාටකාකාර ලෙස පෙන්නුම් කරන වෙනත් තැනක් නැති තරම්ය. "ඇමරිකාවේ සාරය” නිර්වචනය කර ඇත්තේ නිදහසේ ප‍්‍රකාශනය තුල හා ව්‍යවස්ථාව තුල නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍ර මූලධර්ම නිර්වචනය කර තිබෙන ආකාරයට නොවේ. ඇමරිකානු පුරවැසියන් අත්තනෝමතික ලෙස මරාදැමීම ද ඇතුලු හමුදාව යොදාගෙන විදේශයන්හි සිදුකරන සාපරාධී ක‍්‍රියාවන් සඳහා අධිෂ්ඨානය හා මිලිටරිවාදය වැලඳගැනීම ලෙස එය අර්ථ දැක්වෙයි.

සිදුවෙමින් ඇත්තේ ඔබාමා හා ඔහුගේ පරිපාලනය බලයට පත්වී ගතවූ වසර දෙක හමාර තුල සූදානම් කෙරෙමින් තිබුන දේ යලි සලකුනු කිරීම ය. එම කාලය තුල පරිපාලනය ඇෆ්ගනිස්ථාන යුද්ධය පවත්වාගෙන යමින් එය තවත් පුලුල් කර ඇති අතර එය වඩ වඩාත් පකිස්ථානය තුලට ද පතුරුවාහැරීම ගුවන්තනාමෝහි නීති විරෝධී රඳවා තැබීම් අඛන්ඩව ගෙනයාම සිය රැකියා නිවාස හා ආදායම් මාර්ග අහිමි වූ මිලියන ගනනකට කිසිදු සැලකිය යුතු සහනයක් සැලසීම ප‍්‍රතික්ෂේප කරන අතරතුර වෝල් වීදියට හා අනෙකුත් බැංකු වලට ඩොලර් ටි‍්‍රලියන ගනන් වක්කරන ආර්ථික හා සමාජ පිලිවෙතක් අනුගමනය කර ඇත.

මෙම ප‍්‍රතිපත්තිවල ශුද්ධ ප‍්‍රතිපලය වී ඇත්තේ 2008 නොවැම්බරයේ ඔහුගේ මැතිවරන ව්‍යාපාරය අවධියේ ඉදිරියට දැමූ "වෙනසක්” පිලිබඳ පුහු පොරොන්දු හා මායාවන්ගෙන් දූෂනය කරන ලද එහෙත් ඒවා ඉෂ්ට කරනු ඇති අයෙක් ලෙස ඔබාමා දෙස බැලූ ඡන්දදායකයින් දේශපාලනිකව ඉච්ඡා භංගත්වයට ඇද දැමීමයි.

දැන් ඔහු බුෂ්ගේ ධවල මන්දිරය විසින් අනුගමනය කල ප‍්‍රතිපත්ති වලින් වෙන්වී ගන්නා බවට ඇඟවීම පවා ඉවත දමා ඇත. ඒ වෙනුවට ඔහු හා ඔහුගේ පරිපාලනය ම කිසිදු විරාමයකින් තොරව යුද්ධ මිලිටරි මෙහෙයුම් හා අමු අමුවේ මිනීමැරීම් සමඟ බැඳී සිටියි. "වාම” ලිබරලුන්ගේ සමස්තය තුලම මෙම මාරුව හුවා දක්වන්නේ රිපබ්ලිකන් පක්ෂය නිරායුධ කර 2012 ඩිමොක‍්‍රටිකයින්ගේ ජයග‍්‍රහනය සඳහා මාවත හෙලි කරන උපායික විශාරද ප‍්‍රයුක්තියක් ලෙසය.

මෙම ප‍්‍රවිෂ්ටය කැටිකර දක්වමින් හිටපු නිව් යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදියෙකු හා කාටර් පාලනයේ රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙකු වූ ලෙස්ලි ග්ලෙබ් නිව්ස්වීක්හි මෙසේ ලිවීය: "බින් ලාඩ්න්ගේ සූක්ෂම ඝාතනය ජාතිය ම ඔබාමා පිටුපස ඒකරාශි කර තිබේ. එමඟින් ඔහුට දුෂ්කර දේ කිරීමට බලය ලබාදෙයි. අපකීර්තියට පත්ව හා භේදභින්නව සිටි ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සැප්තැම්බර් 11 නිසා දැවැන්ත ලෙස බලවත් වූවා ක් මෙන් ඔබාමාට ද මෙහෙයවීම සඳහා දුර්ලභ අවස්ථාවන් හිමිකර දී ඇත”

එහෙත් මෙහෙයවන්නේ කොතැනට ද? තමා හා තම පරිපාලනය "සූක්ෂම මිනීමැරීම” සමග අනන්‍ය වෙමින් හා එවන් පදනමක ජාතික එකමුතුව නඟා සිටුවමින් අරමුනු කරන්නේ නිශ්චිත පේ‍්‍රක්ෂකත්වයකි. ඔබාමා උත්සාහ කරන්නේ මිලිටරිය සීඅයිඒ හා මූල්‍ය ප‍්‍රාග්ධනයේ අතිශයින්ම ප‍්‍රතිගාමී කොටස් එනම් රිපබ්ලිකන් පක්ෂයේ දක්ෂිනාංශික කොටස් සම්ප‍්‍රදායිකව පැලපදියම් වී සිටින එම දේශපාලන බලවේගයන් ම අතර ශක්තිමත් දේශපාලන පදනමක් ගොඩනඟා ගැනීමට ය.

ගතවන සෑම දිනක දී ම වඩ වඩාත් පැහැදිලි වෙමින් තිබෙන්නේ එක්සත් ජනපදයේ මෙන්ම පකිස්ථානයේ ද බුද්ධි අංශ දිගු කලක් තිස්සේ ම බින් ලාඩ්න්ගේ ආගිය තොරතුරු දැන සිටි බවත් ඔහු මරාදැමීමේ තීරනයේ දී දේශීය ගනන් බැලීම් අති මූලික ක‍්‍රියා කලාපයක් ඉටුකර ඇති බවත්ය.

ගැඹුරුවන ආර්ථික හා සමාජ අර්බුදයක් හා බැඳුනු පරිපාලනය කෙරේ සහයෝගය තියුනු ලෙසින් පහත වැටීමකට මුහුනපා සිටින ධවල මන්දිරය මේ වසර මුලදී විස්කොන්සින්හි පුපුරාගිය ආකාරයේ මහජන විරෝධතා දැනටමත් මතුවී තිබෙන තත්වය හමුවේ වැඩ කරන ජනතාවගේ විවෘත ප‍්‍රතිරෝධය පැතිරයාම පිලිබඳව බියපත්ව සිටියි.

මේ සතිය තුල යලි වතාවක් සියයට 9 දක්වා නැඟුනු අඛන්ඩ ඉහල විරැකියාව මූර්ත වැටුප්වල නොනැවතී සිදුවන ඛාදනය පෙර නොවූ විරූ සමාජ අසමානතාවය හා හිඟය අඩුකිරීමේ නාමයෙන් පවත්වාගෙන යන සමාජ තත්වයන් මත එල්ල කෙරෙන ප‍්‍රහාර ඉහල නඟින මහජන කෝපයක් දල්වා තිබේ. එක්සත් ජනපද ආර්ථිකය ගැඹුරු අවපාතයක් තුලට කිඳී යමින් තිබෙන බව එන්ට එන්ටම පැහැදිලි වෙමින් තිබෙන අතර පුලුල් සමාජ නොසංසුන්තාව එමගින් තවත් දැඩිවීමේ තර්ජනය මතු කරයි.

බින් ලාඩ්න් ඝාතනය දැකගනු ලැබුවේ එක් අතකින් මෙම කෝපය හා සමාජ ආතතිය වෙනතකට හරවා යැවීමට යොදා ගනිමින් පරිපාලනයේ අත ශක්තිමත් කිරීමේ මාධ්‍යයක් ලෙස ය. අනෙක් අතට එය සැලසුම්ගත කෙරුනේ ඇමරිකානු වැඩකරන ජනතාවට මුහුන දෙමින් ඔවුන්ගේ ජීවන තත්වයන් හා මූලික අයිතීන් මත පෙර නොවූ විරූ ප‍්‍රහාරයන් එල්ල කිරීමේ කර්තව්‍යය සඳහා රාජ්‍ය යාන්ත‍්‍රනයේ හා මූල්‍ය ප‍්‍රභූවේ අතිශයින්ම ප‍්‍රතිගාමී කොටස් අතර නව දේශපාලන පදනමක් වාත්තු කර ගැනීමට ය.

යේමනයේ අල් අව්ලාකිට එරෙහි මිසයිල් ප‍්‍රහාරය දරුනු අනතුරු ඇඟවීමක් අන්තර්ගත කර ගනියි මිලිටරි ප‍්‍රචන්ඩත්වයේ හා ඝාතනයේ ප‍්‍රතිපත්තිය හුදෙක් විදෙස් පිලිවෙත පිලිබඳ කාරනයක් නොව එක්සත් ජනපදය තුලම මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතාවන්ට තර්ජනයක් වේ යයි සලකන සමාජ හා දේශපාලන බලවේගයන්ට එරෙහිව යොදාගනු ලබන්නාවූ ප‍්‍රතිපත්තියකි.

ඔබාමාගේ "වාම” ආධාරකරුවන් විසින් සහාය හා අනුබලය දෙන එවන් ප‍්‍රතිගාමී මූලෝපායකට පෘතුල සමාජ කෝපය හා නොසංසුන්තාව වර්ධනය වීම නතර කල නොහැකි ය. ඒවා අවුලුවන්නේ ආර්ථික අර්බුදයේ විදේශයන්හි ඔබාමාගේ යුද්ධයන්හි වියදමේ මූල්‍ය ප‍්‍රභූව හා පුලුල් මහජනතාවන් අතර එන්ට එන්ටම ගැඹුරුවන ආගාධයේ වෛෂයික බලපෑම මගිනි. ඒ වෙනුවට පවත්නා සමස්ත දේශපාලන හා සමාජ පද්ධතියට ම එරෙහිව ඇමරිකානු වැඩ කරන ජනතාවගේ ස්වාධීන මැදිහත්වීම තුලින් පමනක් ඉදිරි මාවත සොයා ගත හැකි සමාජ නොසංසුන්තාවේ හා සමාජ අරගලයන්ගේ වර්ධනය එමගින් වේගවත් කරනවා පමනි.