බාලි සමුලුවේදී ඔබාමා දකුනු චීන මුහුද පිලිබඳ සාකච්ඡාවට බල කරයි

Obama forces discussion at Bali summit on South China Sea

By Peter Symonds, 21 November 2011

පූර්න පරිමානයේ ආර්ථික හා මූලෝපායික ප්‍රශ්න මත, චීනයට එරෙහිව පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපති ඔබාමා සිදුකල අතොරක් නැති තෙරපීම හමුවේ, බාලිහි පැවති නැ‍ඟෙනහිර ආසියානු සමුලුව අවසානයේ 19දා, චීන ප්‍රතිරෝධය නොතකා දකුනු චීන මුහුද පිලිබඳ ප්‍රශ්නය සාකච්ඡාවට ගැනීමට එක්සත් ජනපදයට හැකි විය.

එවන් සාකච්ඡාවකට චීන ජනාධිපති වෙන් ජියාබාවෝ විරෝධය පලකොට තිබුනි. පසුගිය බදාදා ඔහු ගිනිකොන දිග ආසියානු ජාතීන්ගේ (ආසියාන්) නායකයින්ට කියා සිටියේ, දකුනු චීන මුහුදු කලාපයේ ප්‍රදේශයන්ට කියාපාන පසමිතුරු හිමිකම් පිලිබඳ ප්‍රශ්න “කෙලින්ම ඊට සම්බන්ධ රටවල මිත්‍රශීලී අදහස් හුවමාරුවෙන් හා සාකච්ඡා මගින් විසඳාගත යුතු” බවයි. එක්සත් ජනපදයට ඇඟිල්ල දිගුකරමින් ඔහු සඳහන් කලේ, “කුමන කඩතුරාවක් යටතේ හෝ පිටස්තර බලවේගයන් මැදිහත් නොවිය යුතුය.” යනුවෙනි. චීනය පූර්වයෙන් කියා තිබුනේ ආරවුල් විසඳාගත යුත්තේ ද්විපාර්ශවිකව මිස බහු පාර්ශවිකව නොවන බවයි.

කලාපීය නාවික ආරවුල්වලට වොෂින්ටනයේ ඇඟිලි ගැසීම් පිලිබඳව බීජිනය පැහැදිලිව ම කෝපයට පත්ව සිටියි. පසුගිය ජූලියේ දී රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ආසියානු රැස්වීමක දී, දකුනු චීන මුහුදේ “නාවික කටයුතු පිලිබඳ නිදහස” සහතික කිරීම, එක්සත් ජනපදයේ “ජාතික අවශ්‍යතාවක්” බව ප්‍රකාශකල තැන් පටන්, එක්සත් ජනපද මැදිහත්වීම ඇරඹුනි. සැලකිය යුතු බලශක්ති සම්පත් සහිත මුහුදු කලාපය මත චීනය, දැවැන්ත හිමිකමක් පරදුවට තබනවා පමනක් නොව, විශාල වශයෙන් මැද පෙරදිගින් හා අප්‍රිකාවෙන් ආනයනය කරන බලශක්තිය හා අමුද්‍රව්‍ය ප්‍රවාහනයේ නාවික මාර්ග මත විශ්වාසය තබා සිටියි.

ආසියානු රටවල් සමග සමීප සබඳකම් ගොඩනඟා ගනිමින්, ගිනිකොනදිග ආසියාවේ නාවික බලය තරකිරීම යුක්තිසහගත කිරීම පිනිස කඩතුරාවක් ලෙස යොදාගන්නා “නාවික කටයුතුවල නිදහස” යන්න නරුම සහගත ය. බාලි සමුලුවට පෙරාතුව ඔබාමා, එක්සත් ජනපද මිලිටරිය විශාල ලෙස උතුරු හා බටහිර ඕස්ට්‍රේලියාවේ වරාය හා ගුවන් කඳවුරු පාවිච්චි කරන බවත් හමුදා ස්ථානගත කරන බවත් නිවේදනය කලේය. පසුගිය දෙවසර තිස්සේ එක්සත් ජනපදය සිංගප්පූරුව, වියට්නාමය හා ෆිලිපීනය සමග නාවික සබඳතා ශක්තිමත් කරගෙන තිබේ.

19දා සමුලුව පැවැත්වූයේ දොරවල් වසාගෙන ය. එහෙත් නිර්නාමික ඇමරිකානු නිලධාරියෙක් නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයට කාන්දු කල විස්තර, දකුනු චීන මුහුද පිලිබඳ සාකච්ඡා ආතති සහගත බව හෙලි කලේය. පසුගිය වසර පුරා සිය හිමිකම් ඉදිරිපත් කරන ලෙස ආසියානු රටවල් දිරිගැන්වූ ඔබාමාට, ඔවුන් මූලිකත්වය ගන්නා තැනට තල්ලුකර ගැනීමට හැකි විය. සිංගප්පූරුව, ෆිලිපීනය හා වියට්නාමය පලමුව කථාකල අතර, ප්‍රශ්න බහුපාර්ශවිකව සාකච්ඡාවට ගත යුතු බව අවධාරනය කලහ.

ජනාධිපති බෙනිග්නෝ ඇකිනෝ යටතේ ‍ෆිලිපීනය, දැන් ඔවුන් බටහිර ෆිලිපීන මුහුද ලෙස හඳුන්වන කලාපය සම්බන්ධයෙන් ගත්තේ, ගැටුම්කාරී ප්‍රවිෂ්ටයකි. කලාපීය ආරවුල්වල දී තමන් පැත්තක් නොගන්නේ යයි කරන වොෂින්ටනයේ ප්‍රකාශ මධ්‍යයේ පසුගිය සතියේ ෆිලිපීනයට කල ක්ලින්ටන්ගේ සංචාරය තුල ඇය, එක්සත් ජනපදය ෆිලිපීනයේ නාවික බලඇනි ශක්තිමත් කිරීම පිනිස, ප්‍රතිසංස්කරනය කල තවත් වෙරලාරක්ෂක නැවක් එරටට සපයන බව නිවේදනය කිරීමෙන් පැහැදිලිව ම සලකුනු කලේ, වොෂින්ටනයේ සහයෝගය යි.

“එක්සත් ජනපදයේ පැරනි සතුරා ප්‍රයෝජනවත් බව පෙනී යන්නේය” යන ශීර්ෂයෙන් යුත් ලිපියක් තුල 18දා වෝල් ස්ට්‍රීට් ජර්නලය කියා සිටියේ, “සමහරවිට හැනෝයි සමග වොෂින්ටනයේ උනුසුම් සම්බන්ධතා ගෙනහැර දක්වන්නේ, කලාපය තුල පෙරමුනු හරහා ඇමරිකාවේ පස්ස නොබලන තල්ලුවයි.” යනුවෙනි. වියට්නාම් යුද්ධයේ පරාජයෙන් පසුව ප්‍රථම වතාවට අගෝස්තුවේ දී, එක්සත් ජනපද නාවික හමුදාව විසින් වියට්නාමයේ කැම් රැන් බොක්කේ නාවික කඳවුර, යුද නැව් අලුත්වැඩියාව පිනිස යොදාගෙන ඇති බව එය සඳහන් කරයි.

වොෂින්ටනයේ “පස්ස නොබලන තල්ලුව,” විශාල ඇමරිකානු මිලිටරි කඳවුරු පවත්වාගෙන යන එක්සත් ජනපදයේ සම්ප්‍රදායික මිතුරන් දෙදෙනෙකු වන ජපානය හා දකුනු කොරියාවේ සිට චීනය සමග කිට්ටු බැඳීම් ඇති බුරුමය ද ඇතුලු ගිනිකොන දිග ආසියාව හරහා ඉන්දියානු උප මහාද්වීපය දක්වා වැටී ඇත. “සියලු ප්‍රශ්න” සාකච්ඡා කල යුතු බව පවසමින් බාලි සමුලුවේදී ඉන්දීය අගමැති මන්මෝහන් සිං ප්‍රසිද්ධියේම එක්සත් ජනපදයට පිටුබලය දුන්නේය. එසේම සිං, චීනයේ විරුද්ධත්වය නොතකා ඉන්දියානු ඕඑන්ජීසී විදේශ් තෙල් සමාගම, දකුනු චීන මුහුදේ තෙල් ගවේෂනය දිගටම ගෙන යන බව චීන අගමැති වෙන් වෙත පවසා තිබේ.

නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයට අනුව ඔබාමා, නැගෙනහිර ආසියානු සමුලුව අමතා ඇත්තේ, අනෙකුත් නායකයින්ට පසුව ය. එහිදී ඔහු කලාපය මත වොෂින්ටනයේ ස්ථිර සලකුන තබා ඇත. එක්සත් ජනපදය පැති නොගන්නේය යන එහි ප්‍රකාශය පුනරුච්ඡාරනය කිරීමෙන් පසුව ඔහු, “පැසිෆික් වැසියෙක් හැටියටත්, නාවික කටයුතුවල යෙදෙන ජාතියක් ලෙසත්, වෙලඳ ජාතියක් ලෙස හා පැසිෆික් කලාපයේ ආරක්ෂාව සහතික කරන්නෙක් ලෙසත්, අපට පොදුවේ නාවික කටයුතුවල ආරක්ෂාව පිලිබඳව, විශේෂිතව දකුනු චීන මුහුදු කලාපයේ, බලගතු උත්සුකයන් පවතී.”

ඊට ප්‍රතිචාර වශයෙන් වෙන්, සමුලුව එවන් ප්‍රශ්න සාකච්ඡා කරන සංසදයක් නොවිය යුතුය යන චීනයේ ආස්ථානය යලි ගෙනහැර දැක්වීය. “නැව් මාර්ග ආරක්ෂා සහිතව ද නිදහස්ව ද පැවතීම සහතික කිරීම පිනිස චීනය දැඩි වෙහෙසක් දරන” බව කියමින් ඔහු, “නාවික කටයුතුවල නිදහස” පිලිබඳ උත්සුකය ගැන පමනක් කථාකරන එක්සත් ජනපදය ඉලක්ක කලේය. ආසියාන් නායකයින්ට අනුගත වීමට උත්සාහ දැරූ වොෂින්ටනයේ තියුනු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිචාරය හමුවේ චීනය, අඩිය පස්සට ගත්තේය.

සිකුරාදා දිනයේ ෂින්හුවා පුවත් සේවය බීජිනයේ කෝපය පලකරමින් ප්‍රකාශයක් නිකුත් කලේය. “එක්සත් ජනපදය සිය සීතල යුද්ධ මානසිකත්වය තුල ගිලෙමින් හා ආසියානු ජාතීන් සමග ස්වයං බලපෑමේ ක්‍රමයකට කටයුතු කරන්නේ නම්, එය කලාපයෙන් නෙරපා හැරීමට මුහුනපානු ඇත.” වෙන් ජියන්හාවෝ එසේ ලිවී ය.

බොහෝ විට ජාතිකවාදී පිලිවෙත් ආක්‍රමනකාරී ලෙස ඉදිරිපත් කරන, චීන ග්ලෝබල් ටයිම්ස් පත්‍රය, ආසියාන් රටවල් පෙලගස්වා ගැනීම පිනිස චීනය සිය ආර්ථික ශක්තිය පාවිච්චි කලයුතු බව පැවසීය. එක්සත් ජනපදයේ සාපේක්ෂ ආර්ථික පරිහානිය ගැන සඳහන් කරමින් පලකල කතුවැකියකින් එය අනුශාසනා කලේ, “චීනය, සිය දේශපාලන අවශ්‍යතා රැකගැනීමට මෙය යොදාගන්නා ආකාරය ඉගෙනගත යුතුය. එක්සත් ජනපදයේ චෙස් ක්‍රීඩාවෙහි ඉත්තෙකු වීමට අපේක්ෂා කරන ඕනෑම රටක්, චීන ආර්ථිකයෙන් වාසි ගැනීමේ අවස්ථාව අහිමි කරගනු ඇත,” යනුවෙනි.

ආසියාන් නායකයින් සමග පැවති සාකච්ඡාවල දී වෙන් ඉදිරිපත් කල සංඛ්‍යා ලේඛන, චීනයේ ආර්ථික වැදගත්කම ඉස්මතු කලේය. මෙම වසරේදී ආසියාන් රටවල් චීනය සමග කරන වෙලඳාමේ අගය ඩොලර් බිලියන 350 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂිතය. එම ප්‍රමානය, දශක දෙකකට ඉහතදී පැවතියාට වඩා 40 ගුනයකටත් වැඩිවන අතර එය ආසියාන් සමග එක්සත් ජනපදයේ වෙලඳ අගය පසුබස්වනු ඇත.

දකුනු චීන මුහුදු කලාපය සාකච්ඡාවට ගැනීමට බලකිරීම මගින් ඔබාමා පාලනයට, කලාපීය රටවල් බොහොමයක පිටුබලය දිනාගැනීම මගින් සමුලුව තුල චීනය පරදවා යම් ජයග්‍රහනයක් ලැබූ බවට පැහැදිලිව හැඟී ගොස් ඇත. එම මානසිකත්වය ඇමරිකානු මාධ්‍ය තුල ප්‍රකාශිතවෙයි. නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය 19දා “මේ රට පැසිෆික් කලාපය තුල කිසිවක් අත් නොහරිනු ඇති බවට පැහැදිලි පනිවිඩයක් නිකුත්කර තිබේ.” ඔබාමා කර ඇත්තේ “හොඳ දෙයකි.” යනුවෙන් පැවසීය.

වෝල් ස්ට්‍රීට් ජර්නලයේ කතුවැකිය මෙසේ විය. “චීනයට එරෙහිව ආසියාව පස්සට තල්ලු කර ඇත.” ඒ ඔබාමාගේ චීන විරෝධී සන්ධානයක් ඇටවීමේ උත්සාහයට සහාය දීමෙන්ය. එය මෙසේ ද පැවසීය. “කලාපයට චීනයේ මාදාවිකාර පිලිවෙත්හි හිස සිඳිය හැකි හොඳම අවස්ථාව වන්නේ එක්සත් පෙරමුනකි. මෙහි පරදුවට තැබී ඇති පරිදි, අනෙකුත් රටවල් ජාත්‍යන්තර නීතිය පිලිපදින්නේ නැත්නම්, එමගින් චීනය, වඩ වඩාත් ලොකු දේවල් ඉල්ලිමට දිරිගන්වනු ඇත. මහා බලවතෙකු ලෙස හැසිරිය යුත්තේ කෙසේදැයි ඉගෙන ගැනීමේ වක්‍රයෙහි, චීනයට තව බොහෝ ඉහල නැඟීමට ඇත.”

“ජාත්‍යන්තර නීතියේ මූලධර්ම” ගැන පුවත්පත කරන සදහනෙන් ඉස්මතු වන්නේ වොෂින්ටනයේ ආස්ථානයෙහි කුහක කමයි. දකුනු චීන මුහුදේ තරඟකාරී නාවික කටයුතු පිලිබඳ කියාපෑම්වල සාපේක්ෂ නීතිමය කුසලතා නොතකමින්, එක්සත් ජනපදය, තවමත් අත්සන් තබා නැති, 1982 එක්සත් ජාතීන්ගේ මුහුදේ නීතිය පිලිබඳ ප්‍රඥප්තියට එනම් නීතියට ආයාචනය කරයි. “නීතියට අනුව කටයුතු කරන” ලෙසට පසුගිය සතිය පුරා ඔබාමා යලි යලිත් කල ප්‍රකාශයන්ගේ අර්ථය නම්, වොෂින්ටනය තුල තීන්දු කරන ජාත්‍යන්තර ආකෘතියට බීජිනය එකඟ විය යුතුය යන්නයි.

එක්සත් ජනපදය කරන රාජ්‍ය තාන්ත්‍රික හිරිහැර, බාලි සමුලුවට වඩා බොහෝ දුර දිවෙයි. දශක ගනනාවක් තිස්සේ කරදරකාරී, එහෙත්, සීමිත කලාපීය ආරවුල් ලෙස සලකන ලද ප්‍රශ්නවලට සෘජුව ම මැදිහත් වීමෙන් ඔබාමා, ආසියාව තුල තවත් අන්තරායකාරී ගිනි පුපුරක් බවට දකුනු චීන මුහුද පත්කර තිබේ. මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ දී මෙන් මෙහිදී ද එක්සත් ජනපදය උත්සාහ කරන්නේ, සිය එදිරිවාදින්ට වල කැපීම හා සිය ආර්ථික පරිහානිය මිලිටරි බලය මගින් ජයගැනීමට ය.

ගිනිකොන දිග ආසියාවේ තම බලය තර කරන එක්සත් ජනපද මිලිටරියේ සියලු පියවර අරමුනු කර ඇත්තේ, ඇමරිකානු නාවික මූලෝපායඥයින් දිගු කලක් වැදගත් යයි සලකන ලද, ඉන්දීය හා පැසිෆික් සාගර එකට යා කරන මැලැක්කා, සුන්ඩා හා ලොම්බොක් යන සමුද්‍ර සන්ධි පාලනය කිරීම යි. මෙම මුහුදු මාර්ග නාවික පටලැවිලි සහිත “මුරකපොලු” ලෙස හඳුන්වන්නේ, හරියටම ඒවා පසමිතුරු බලයන්ට එනම් මුලින් ජපානය හා දැන් චීනය, අත්‍යවශ්‍ය සැපයුම් කපා හැරීම පිනිස යොදාගත හැකි බැවින්ය.

ආසියාව තුල ඔබාමාගේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් හා චීනය සමග තියුනු වන ආතතීන් සිහියට නඟන්නේ, සම්බන්ධතා අඩියෙන් අඩිය බිඳ වැටී අවසානයේදී පැසිෆික් කලාපයේ යුද්ධයට තුඩුදුන්, 1930 එක්සත් ජනපදය හා ජපානය අතර කටුක එදිරිවාදිකම් ය.