ඉතාලි අගමැති බර්ලුස්කෝනි සිය ඉල්ලා අස්වීම නිවේදනය කරයි

Italian Prime Minister Berlusconi announces his resignation

By Marianne Arens and Peter Schwarz , 10 November 2011

ඉතාලි අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි 08දා සවස සිය ඉල්ලා අස්වීම නිවේදනය කලේය. සති ගනනාවක් ගතවිය හැකි ක්‍රියාවලියක් වන, යුරෝපීය සංඟමය නිර්දේශ කර ඇති කප්පාදු පියවර ඉතාලි පාර්ලිමේන්තුව විසින් අනුමත කරන තෙක් ඔහු, තනතුරේ රැඳී සිටීමට අපේක්ෂා කරයි. පෙබරවාරියේ පැවැත්වීමට නියමිත ඊලඟ මහ මැතිවරනයේදී තමා තරඟ කිරීමට අදහස් නොකරන බව ඔහු ලා ටැම්පා පුවත් පතට කියා තිබුනි.

බර්ලුස්කෝනිගේ ඉල්ලා අස්වීමට ක්ෂනික හේතුව, ඔහුගේ පාර්ලිමේන්තු බහුතරය අහිමි වීමයි. 2010 අයවැය ලේඛනය සඳහා 08දා පැවති ඡන්දයේදී එයට පක්ෂව ඡන්දය දී තිබුනේ මන්ත්‍රීන් 630න් යුත් පාර්ලිමේන්තුවේ 308 දෙනෙක් පමනි. එය හොඳ බහුතරයක් සඳහා අවශ්‍ය ප්‍රමානයට වඩා 08ක් අඩු ය. 2008 මැතිවරනයෙන් පසුව ආන්ඩුව පාර්ලිමේන්තුවේ ආසන 344ක් හිමි කරගෙන සිටියේ ය.

මේ තත්වය හමුවේ අයවැය සම්මත කරගත හැකි වූයේ විපක්ෂය ඡන්දය වර්ජනය කිරීම නිසා පමනි.

ඉතාලියේ බොහෝ දෙනෙක් බ‍ර්ලුස්කෝනිගේ ඉල්ලා අස්වීමත් සමඟ සැනසුම් සුසුමක් හෙලීය. මෑත මාසවල දී ලක්ෂ ගනන් මිනිසුන් ඔහුගේ ප්‍රතිපත්ති වලට එරෙහිව විරෝධතාවයේ යෙදුනේය. ඔහුගේ පක්ෂය එක දිගට ප්‍රාදේශීය මැතිවරන පරාජයට පත්වූ අතර මෑතක පැවති මත විමසුමක දී එයට ප්‍රතිචාර දැක්වූ සියයට 75ක්ම සිය විරුද්ධත්වය පලකර තිබුනි. කෙසේ වුව ද ඔහුගේ ඉල්ලා අස්වීමට මුල්වූ හේතු, පාර්ලිමේන්තු විරුද්ධ පාර්ශවයෙන් පැමිනි දේ නොවීය. ඒවා මතුවූයේ, ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලවලින් ද යුරෝපීය සංඟමයෙන් ද ඉතාලි හාම්පුතුන්ගේ සංඟමයෙන් හා ඔහුගේම දේශපාලන කඳවුරෙනි.

මෑත මාසවල දී බර්ලුස්කෝනි, යුරෝපීය සංඟමය ඉල්ලා සිටි කප්පාදු වැඩසටහන් අවශ්‍ය තරම් දැඩි භාවයකින් ක්‍රියාත්මක කිරීමට අසමත්වීම නිසා මහත් පීඩනයකට ලක්ව සිටියේ ය. ව්‍යාපාරිකයින්, බැංකුකරුවන්, නය වර්ගීකරන ආයතන හා යුරෝපීය සංඟමයේ නිලධරයින්, නව ආන්ඩුවකට ඉඩ සලසන ලෙස ඔහුට බලපෑම් කර තිබුනි.

“බර්ලුස්කෝනි ආන්ඩුවේ ඉරනම ඊලඟ පැය කිහිපයේ හෝ ඊලඟ දින කිහිපයේදී පාර්ලිමේන්තුව තුලදී තීරනය කල යුතුය” යි හාම්පුතුන්ගේ සංඟමයේ සභාපති එමා මාසිගැග්ලියා ගිගුරුම් දුන්නාය. ටොඩ්ස් යන වෙලඳ නාමය සහිත සුඛෝපභෝගී පාවහන් කර්මාන්තයේ හිමිකරු වන ඩියාගෝ ඩිලාවලි, “දේශපාලඥයින් ද, ඔවුන් අපට ඇතිවෙලා” යන ශීර්ෂයෙන් යුක්තව ප්‍රධාන පුවත්පත්වල සම්පූර්න පිටුවක දැන්වීමකට මුදල් ගෙවා තිබුනි. ජනාධිපති ජෝජියෝ නැපොලිටන් වෙත විදුලි පනිවිඩයක් යවමින් 16වන බෙනඩික් පාප්වරයා පවා ඉතාලියෙහි “චිත්ත ශක්තියේ පුනර්ජීවනයක්” ඉල්ලා සිටිමින් මැදිහත්ව තිබුනි.

බර්ලුස්කෝනිගේ නිදහස් ංනතා පක්ෂයේ (පීඩීඑල්) මන්ත්‍රීන් ගනනාවක් පක්ෂයෙන් ඉල්ලා අස්වූ අතර ඔහුගේ සභාගයේ හවුල්කරුවෝ ආන්ඩුවේ නායකයාට එරෙහිව පෙල ගැසුනහ. ලිගා නොර්ඩ් යන උතුරු සංඟමයේ නායක උම්බර්ටෝ බොසි, බර්ලුස්කෝනිට කියා සිටියේ, “පසෙකට වී” ආන්ඩුවේ බලය බර්ලුස්කෝනිට වඩා වසර 34න් බාල පීඩීඑල් සභාපති ඇන්ජිලිනෝ අල්ෆනෝ වෙත පවරන ලෙසයි.

බර්ලුස්කෝනිගේ බලාපොරොත්තු පිලිබඳව මූල්‍ය හා කොටස් වෙලඳපොලවල් ක්‍රියාත්මක වූයේ භූ කම්පන ප්‍රස්ථාරයක් ලෙසිනි. ඔහු තවදුරටත් බලයේ සිටිනු ඇති බව ඇඟවීමත් සමග වෙලඳපොලවල් ගිලා බැස්ස අතර ඔහු ඉල්ලා අස්වන බව ඇඟවුම් කිරීමත් සමඟ ප්‍රකෘතිමත් විය. ඔහුගේ ඉල්ලා අස්වීමේ නිවේදනය නිකුත් වීමට මඳකට පෙර ඉතාලි ආන්ඩුවේ දස වසරක බැඳුම්කර සඳහා පොලිය වාර්තාගත සියයට 6.7ක් දක්වා ඉහල නැඟුනි. මෙය 1999 වසරේදී යුරෝව හඳුන්වා දීමෙන් පසුව වර්තාවූ ඉහලම මට්ටම යි.

කෙසේ වෙතත් යුරෝපයේ හා එක්සත් ජනපදයේ මූල්‍ය වෙලඳපොලවල් 09දා තියුනු ලෙස පහත් අගයන් පෙන්නුම් කලේ, බර්ලුස්කෝනිගේ පිටවීම සති ගනනාවක් ප්‍රමාදවීමේ සලකුනු මතුවීම නිසා ය.

ග්‍රීසිය සමග, යුරෝ කලාපයේ තෙවන ලොකුම ආර්ථිකය හා ලෝකයේ හත්වන ලොකුම ආර්ථිකය වන ඉතාලිය, දැන් යුරෝපීය නය අර්බුදයේ හදවතෙහිම පිහිටා සිටියි. යුරෝ ට්‍රිලියන 1.9ක් වන රටේ නය බර, යුරෝපීය මූල්‍ය ස්ථාවර පහසුකම් (ඊඑෆ්එස්එෆ්) ධාරිතාවයට වඩා බෙහෙවින් ඉහල ය. දින ගනනාවක් තිස්සේ ඉතාලි ආන්ඩුවේ බැඳුම්කර පොලී අනුපාතය බියගන්වන මට්ටම් කරා ඉහල නඟිමින් තිබුනි. ඉතාලිය තවදුරටත් සිය නය හිමියන්ට වී ඇති පොරොන්දු ඉටුකිරීමට අසමත් වන්නේ නම් එරට මුහුපාන බංකොලොත්කම, සමස්ත යුරෝපීය සංඟමයට ම තර්ජනයක් වනු ඇත.

පසුගිය මාසයේ බ්‍රසල්ස්හි පැවති සමුලුවේදී බර්ලුස්කෝනි, රුදුරු කප්පාදු වැඩ සටහනකට එකඟ විය යුතු බවට එල්ල වූ දැවැන්ත පීඩනයකට හසුව සිටියේ ය. බැංකු පිනවීම සඳහා ඉතාලියට, එරට විශ්‍රාම වයස් සීමාව වැඩිකිරීම, අතිරේක බදු අයකිරීම, සමජ සේවා කැපීම, රාජ්‍ය දේපල පුද්ගලීකරනය, රැකියා සුරක්ෂිතභාවය පිලිබඳ නීති අහෝසි කිරීම, රාජ්‍ය අංශයේ වැටුප් අඩුකිරීම හා රාජ්‍ය සේවකයින් විශාල සංඛ්‍යාවක් නෙරපා හැරීම වැනි දේ නිර්දේශ කෙරුනි.

රැස්ව සිටි නායකයෝ, මෙම කප්පාදු පියවර බලගැන්වීමට බර්ලුස්කෝනි සතු හැකියාව කෙරෙහි විශ්වාසය නොතබන බව රහසක් කොට නොගත්හ. ඉතාලි අයවැය ප්‍රතිපත්ති පිලිබඳව මාධ්‍ය වේදීන් නැඟූ ප්‍රශ්නවලට පිලිතුරු වශයෙන් ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල් හා ප්‍රන්ස ජනාධිපති නිකොලායි සාර්කෝසි, උපහාසාත්මක සිනහවක් ඇතිව එකිනෙකාගේ මුහුනු බලාගත්හ.

මෙම මාසයේ කෑන්ස්හි පැවැත්වූ ජී 20 සමුලුවේදී ඉතාලිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) අධීක්ෂනයට යටත් කෙරුනි. කප්පාදු පියවර ක්‍රියාවට නැඟීම පිලිබඳව ඉතාලි ආන්ඩුව, සෑම තෙමසකට වරක් ජාමූඅ වෙත වාර්තාවක් සැපයිය යුතු ය.

ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලවල හා ඉතාලි මහා ව්‍යාපාරිකයේ නියෝජිතයන් ආන්ඩුවේ ඉකිමන් වෙනසක් හා දැවැන්ත කප්පාදු පියවර සඳහා එය මෙහෙයවා ගැනීමට අදහස් කරන අතර ඉතාලියේ නිල විරුද්ධ විපාර්ශ්වය ජනතාවගේ කිසිදු බලමුලු ගැන්වීමක් වලක්වා ගැනීමට උත්සාහ කරයි. ආන්ඩු වෙනසක් සමඟ බැඳුනු දේශපාලන අස්ථාවරත්වය, මහජනතාව සෘජුව ම දේශපාලන සිද්ධීන්ට මැදිහත්වීමට දිරිගන්වනු ඇතැයි ඔවුහු කනස්සලු වෙති. එබැවින් කුමන හෝ වියදමක් දරා එය වැලැක්වීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ බිඳවැටීම දක්වා මුල් විහිදී තිබෙන විශාලතම විරුද්ධ පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ හැසිරීම(පීඩී) විශ්මයජනක මුහුනුවරක් ගෙන ඇත. 08දා ඔවුහු බර්ලුස්කෝනි පෙරලා දැමීමෙන් හිතා මතාම වැලකී සිටියහ. නියෝජිත මන්ඬලයේදී ඡන්දය දීමෙන් වැලකීම මගින් ඔවුහු, ආන්ඩුවේ වාර්ෂික වාර්තාව සම්මත වීමට ඉඩ හලහ. ඔවුන් බර්ලුස්කෝනිට එරෙහිව ඡන්දය දී ඔහු පරාජය කලේ නම්, ඔහුට වහාම ඉල්ලා අස්වීමට සිදුව තිබුනි.

ඡන්දයෙන් පසුව පීඩී ප්‍රධානී පයර් ලූගි බර්සානි, “ඔබ මෙම පියවර නොගනු ඇතැයි මම විශ්වාස නොකරන්නෙමි” යයි පවසමින් සිය කැමැත්තෙන්ම ඉල්ලා අස්වන ලෙස කෙලින්ම බර්ලුස්කෝනි අමතමින් කියා සිටියේය.

මැතිවරනයේ දී සාර්ථකවීම පිලිබඳව තමන්ට ඇත්තේ අල්ප බලාපොරොත්තුවක් පමනක් යයි තක්සේරු කරමින් ද දේශපාලන කැලඹීම් පිලිබඳ බිය ද නිසා, කල් තියා මැතිවරනයක් පැවැත්වීම මඟහරවා ගැනීමට ඔවුන්ට අවශ්‍යව තිබේ. ජාමූඅ හා යුරෝපීය සංගම‍ෙය් නිර්දේශයන්ට කොන්දේසි විරහිතව සහාය දක්වන ඔවුන්ට, කප්පාදු හැරෙන්නට ඡන්දදායකයින් වෙත පිලිගැන්වීමට අන් කිසිවක් ඇත්තේ නැත. 08 සවස පාර්ලිමේන්තුවේදී බර්සානි “රට වෙනුවෙන් තම වගකීම් කොටස” බාරගැනීමට ඇති සිය කැමැත්ත විශේෂිතව සඳහන් කලේය.

0 5දා රෝමයේ පියසා සැන් ගියොවානිහි පැවති රැස්වීම, බර්සානි අනෙකුත් පක්ෂ ද සමග අනුප්‍රාප්තික ආන්ඩුවකට සහාය දීමට ඒවන විටත් එකඟවී සිටින බව ප්‍රදර්ශනය කලේ ය. ඔහුගේ පසෙකින් සිටියේ, තෙම්පරාදු වූ යුරෝපීය සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් වන, ප්‍රන්ස සමාජවාදී පක්ෂයේ ප්‍රංශුවා හොලන්ඩේ හා ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ සිග්මා ගේබ්‍රියෙල්ය. සීජීඅයිඑල් යන විශාලතම වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධානී සුසානා කැමුසෝ ද එහි සිටි අතර “ස්වාධීන කැබිනට්ටුවක් පත්කර ගැනීමට ඉතාලියට ඉඩ දෙමින්” බර්ලුස්කෝනි ඉල්ලා අස්විය යුතු යයි කියා සිටියා ය.

මූල්‍ය වෙලඳපොලවල් ඉල්ලා ඇති කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීම පිනිස තාක්ෂනවේදීන්ගේ සංක්‍රමනීය ආන්ඩුවක් ගොඩනැඟීමට ප්‍රජාතන්ත්‍රවාදීහු මනාප වෙති. ද්විපාර්ශවික යෝජනාවක් වන නව ආන්ඩුවේ නායකත්වය සඳහා 63 හැවිරිදි හිටපු යුරෝපීය සංඟම‍ෙය් කොමසාරිස් හා ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකු වන මාරියෝ මොන්ටි ඔවුහු හුවා දක්වති.

බර්ලුස්කෝනි ඇත්ත වශයෙන්ම ඉල්ලා අස්වුනොත්, නව ආන්ඩුව පිහිටුවීමේ මූලිකත්වය පැවරෙන්නේ කොමියුනිස්ට් පක්ෂය හුරේ දමන තවත් අයෙකු වන 86 හැවිරිදි ජනාධිපති ජියෝජියෝ නැපොලිටානෝ වෙත ය. ඔහුට නව නායකත්වයක් යටතේ කලින් සභාග ආන්ඩුව සමග හෝ සංක්‍රමනීය නැත්නම් තාක්ෂනවේදීන්ගේ ආන්ඩුවක් සමග දිගටම කටයුතු කල හැකිවන අතර එසේ නැතිනම් එලඹෙන වසන්තයේදී පාර්ලිමේන්තු මැතිවරනයක් කැඳවිය හැකි ය.

එතෙක් බර්ලුස්කෝනිට ආන්ඩුවේ නායකයා ලෙස සිය තනතුර යොදාගනිමින් ඔහු (නැපොලිටානෝගේ) අනුප්‍රාප්තිකය සූදානම් කල හැකි ය. ප්‍රජාතන්ත්‍රවාදීන්ට විපරිතව ඔහු කල්තියා පැවැත්වෙන මැතිවරනයකට සුදානම් වන අතර දැනටමත් තම අනුප්‍රාප්තිකයා ලෙස 41 හැවිරිදි ඇන්ජිලිනෝ ඇල්ෆනෝ නම්කර ඇත.

සිසිලි ජාතිකයෙකු වන ඇල්ෆනෝ, වර්තමානයේ පාලක නිදහස් ජනතා පක්ෂයේ නායකයා වන අතර 2008 සිට 2010 දක්වා බර්ලුස්කෝනිගේ අධිකරන ඇමති වශයෙන් කටයුතු කලේය. බර්ලුස්කෝනි බලය දරන ලද කාලය තුල නීතිමය චෝදනාවන්ට ලක් කිරීමෙන් ඔහු නිදහස් කල, නීතියක් අධිකරන ඇමති ලෙස සම්මත කිරීම සම්බන්ධව ඔහු වගකිව යුතුය. පසුව එම නීතිය ව්‍යවස්ථා අධිකරනයේදී අවලංඟු කරන ලදී.

ඇල්ෆනෝට මාෆියාව සමඟ සම්බන්ධකම් ඇති බවට ආරංචි පැතිර තිබේ. 1996දී ඔහු, මාෆියා නායකයෙකුගේ දියනියගේ විවාහ මංගල්‍යයේදී මනාලියගේ පියා වැලඳගනු දැක තිබේ.

බර්ලුස්කෝනි තමන් යලි තේරීපත්වීමට තීන්දු කිරීම ඔහුගේ ඉල්ලා අස් වීම නිවේදනය කිරීමෙන් පසුව මද වසයෙන් ප්‍රකෘතිමත් වූ වෙලඳ පොල ක්ෂනිකව ම බිඳ වැටීමට ප්‍රමානවත් විය. 09දා ඉතාලි ආන්ඩුවේ බැඳුම්කරයන්හි පොලී අනුපාතය සියයට 7ක නව ඉහලකට නැඟුනි.

පැරනි වාම කොමියුනිස්ට් ප්‍රතිස්ථාපනයේ (පීආර්සී) නියෝජිතයින් හා එහි රොඩු බොඩු ද “ජාතික සම්මුතියේ” පිලිවෙතට සහාය දෙන අතර එරට කම්කරුවන්ගේ වියදමෙන් ඉතාලි ආර්ථිකය පුනර්ජීවනය කිරීමේදී දායක වීමට බලාපොරොත්තු වෙයි.

පීආර්සී හි ප්‍රධානී හා “වාම සන්ධානයේ” නායක පාඔලෝ ෆෙරීරෝ ජනතාව “ඝාතනය” කරන බවට චෝදනා කරමින් ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක විවේචනය කලේය. එහෙත් ඔහුගේ ඉල්ලීම් වනාහි, “මූල්‍ය සමපේක්ෂනය වැලැක්වීම, වානිජ්‍ය හා සමපේක්ෂන බැංකු ක්‍රමය වෙන් කිරීම, මූල්‍ය ගනුදෙනු මත බදු පැනවීම හා මූල්‍ය හුවමාරුවේදී සිදුවන ඊනියා “හදිසි විකිනීම්” අත්හිටුවීම ඇතුලු සර්කෝසි හා මර්කෙල් විසින් ඉදිරිපත් කල නිර්දේශයන්හි වලිගයක් පමනි.

2006 සිට 08 දක්වා ෆෙරීරෝ, රොමානෝ ප්‍රෝඩි විසින් නායකත්වය දුන් ආන්ඩුවේ සමාජ කටයුතු පිලිබඳ ඇමති විය. ඔහු එම තනතුර හෙබවූ කාලය තුල සමාජ කප්පාදු, විශ්‍රාම ක්‍රමයට එල්ල කල ප්‍රහාර, රෝමා වරුන් පිටුවහල් කිරීම හා ලෙබනනයේ ද ඇෆ්ගනිස්ථානයේ ද ඉතාලි මිලිටරි මැදිහත්වීම් වලට සහාය දුන්නේය.

හිටපු පීආර්සී නායක හා පුග්ලියාහි ආන්ඩුකාර නිකී වෙන්ඩොලා සම්මුඛ සාකච්ඡාවකදී කියා සි‍ටියේ ඉතා “ඉහල නය හා පහත් වර්ධන වේගය විසින් ඉහවහා ගිය ඉතාලි ගැටලුව සමග පොර බැදිමට අපට අවශ්‍යව තිබේ” යනුවෙනි. වෙන්ඩොලා “ඔලිව් අත්තේ නව අනුවාදයක” සන්ධානයක්, එනම් ප්‍රෝඩි ආන්ඩුවේ පුනර්කරනයක්, වෙනුවෙන් හඬ නැඟීය.

වෙන්ඩොලා, තමන් හැම විටම ඇසීමට ප්‍රිය කරන වචන දොඩවන ජනාධිපති නැපොලිටන්, හැඳින්වූයේ “ප්‍රදීපස්ථම්භයක්” ලෙසින්ය. අවශ්‍ය වන්නේ නම් දක්ෂිනාංශික බලවේගයන්ට පවා සහයෝගය දීමට ඇති තම සූදානම ඔහු පෙන්නුම් කලේ, “මම බර්ලුස්කෝනිගෙන් ඈතම සිටින පුද්ගලයා විය හැකි නමුත් තවමත් බහුතරයේ කොටස් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට හැකි වෙතැයි මම විශ්වාස කරන්නෙමි.” යනුවෙන් පවසමිනි. පුග්ලියාහිදී ඔහු පීඩීඑල් ප්‍රදේශීය ඇමතිවරයෙකු වන රැෆායලී ෆිටෝ සමග ගිවිසුමකට එලඹුනේය. “සැම කල්හිම මැතිවරන ව්‍යාපාරයක යෙදී සිටින්නේය යන හැඟීමෙන් යමෙකුට ජීවත්විය නොහැකිය.” වෙන්ඩොලා පැවසිය.

තමන් “වම්මුන්” ලෙස සලකන එවන් දේශපාලඥයෝ, මූල්‍ය වෙලඳපොලවල් විසින් අනකරනු ලබන, කම්කරුවන්ට එරෙහි පෙර නොවූ විරූ ප්‍රහාරයන්ගේ හා කප්පාදු පියවරයන්ගේ අවශ්‍යතාව පිලිගනිති. ඔවුන්ට නැති එකම දේ කම්කරු පන්තිය මෙහෙයවිය හැකි දේශපාලන අරගලයකි.

Share this article: