"සහතික මිලක් තිබුනට අපිට වී විකුනන්න වෙලා තියෙන්නෙ තුට්ටු දෙකට” වී ගොවීහු කියති

By Rathnasiri Malalagama and Nandana Nanneththi,9 November 2011

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෝ පසුගිය සතියේ මහවැලි එච් කලාපයේ එප්පාවල ප‍්‍රදේශයේ ගොවීන් හමු වූ හ. ඊනියා "අපි වවමු! රට හදමු!” වැඩ පිලිවෙල යටතේ ගොවීන් නගා සිටුවීමට ආන්ඩුව කැපවී සිටින බව පසුගිය මැතිවරන වකවානුව තුල ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආන්ඩුවේ දේශපාලනඥයන් පුන පුනා ප‍්‍රකාශ කලත් ගොවීන් ගෙන් අපට අසන්ට ලැබුනේ සමෘධිය වෙනුවට වඩ වඩා දරිද්‍රතාවයට හා නය ගැතිකමට ඔවුන් මුහුන දී සිටින අයුරු ය.

"ආන්ඩුව සහතික මිලට වී මිලදී ගන්නවා කීවට නිසි ආකාරයක මිල දී ගැනීමක් නොවෙන නිසා නය වෙලා, දුක් මහන්සිවෙලා ගොවිතැන් කලාට අපිට වී විකුනන්න වෙලා තියෙන්නේ තුට්ටු දෙකට. පසුගිය යල කන්නයෙත් අපි මුහුන දුන්නේ පරන සන්තෑසියටම යි. ආන්ඩුවේ ගබඩාවලට වී ගන්නවා කිව්ව නිසා ගොවියෝ වී අරගෙන ගියා. සල්ලි නෑ, ගබඩා ඉඩ නෑ කියන එක තමයි අපට අහන්න ලැබුනේ. සමහරු දවස් ගනන් මහා පාරේ වී ටික තියා ගෙන ඉඳල කරන්න දෙයක් නැති ම තැන පුද්ගලික වෙලන්දන්ට දුන්න. ආන්ඩුවේ සහතික මිල නාඩු කිලෝවකට රුපියල් 28 යි සම්බා 30 යි. පුද්ගලික වෙලෙන්දෝ ගත්තේ රුපියල් 22 ට 23 ට” ය යි ප‍්‍රදේශයේ එක් ගොවියෙක් ප‍්‍රකාශ කලේ අනෙකුත් ගොවීන් ද මුහුන දෙන ඒ හා සමාන තත්වය පැහැදිලි කරමිනි.

ආන්ඩුව කෙරෙහි ගොවීන්ගේ අප‍්‍රසාදය වැඩෙමින් පවතී. "ආන්ඩුව කීවේ යුද්දෙන් පස්සේ ජනතාවට සහන දෙනවා කියල. නමුත් කිසිම සහනයක් අපිට නම් ලැබිල නැහැ. ජීවත් වීම යුද්දෙ තිබුන කාලෙටත් වඩා අමාරුයි. යුද්දෙ ඉවර වුන නිසා සහනයක් ලැබෙයි කියල හිතාගෙන මේ පලාතේ මිනිස්සු ඡන්දෙ දුන්නේ ආන්ඩුවට. දැන් නම් අපිට ආන්ඩුව එපා වෙලා තියෙන්නේ.” එප්පාවල ගොවියෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසී ය.

එප්පාවල අයත් වන්නේ මහවැලි වාරිමාර්ග යෝජනා ක‍්‍රමයේ එච් කලාපයට ය. ගොවීන් පවසන ආකාරයට මහවැලි එච් කලාපයේ වී වගාවේ නිරත පවුල් 35,000ක් පමන සිටිති. ගොවි පවුලකට අයිති කුඹුරු බිම් ප‍්‍රමානය හෙක්ටයාර එකකි. එච් කලාපය සඳහා ආන්ඩුවේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ඇත්තේ කටියාවල, සේනපුර, තඹුත්තේගම හා තලාව වැනි ස්ථාන කිහිපයක පමනි. සැතපුම් ගනන් දුර පිහිටි මධ්‍යස්ථාන කරා වී ගෙන යාමේ දී සැලකිය යුතු අමතර වියදමක් ද දරන්ට ගොවීන්ට සිදු වේ. මිල දී ගැනීම ප‍්‍රතික්ෂේප වීම නිසා ආපසු වී තොග ගෙන යාමට සිදු වුනොත් ඒ වියදම ද ගොවීන් දරාගත යුතු ය.

මේ සියලු දුෂ්කරතාවලින් වාසි ලබන්නේ පුද්ගලික වී මුදලාලිලා ය. බොහෝ වෙලාවට ගොවීන්ගෙන් අඩුමිලට ගන්න වී ආන්ඩුවේ වී මිල දී ගැනීමේ මධ්‍යස්ථානවලට ම විකුනා විශාල ලාබයක් මේ වෙලෙන්දෝ ලබා ගනිති. මෙම ප‍්‍රදේශවල වී වෙලඳාමේ ඒකාධිකාරය හිමි කරගෙන සිටින්නේ ආන්ඩුවේ දේශපාලනඥයන් හෝ ඔවුන්ගේ ඥාතීන් ය. එම නිසා තමන්ට සිදුවන අසාධාරනයන්ට විරුද්ධ වීමේ දී විවිධ තර්ජනයන්ට මුහුන දීමට සිදුවන බව ගොවීහු කී හ.

කෘෂි ආම්පන්න, බිත්තර වී, කෘෂි රසායන හා සී සෑම, අස්වනු නෙලීම ආදිය සඳහා වියදම් ඉහල යාම නිසා ගොවීන් ඉතා දුෂ්කර තත්වයකට මුහුන පා සිටින බව හුරීගස්වැව ජයසුන්දර පැවසී ය. "ආන්ඩුව සහනාධාර ක‍්‍රමයට පොහොර දුන්නට අනෙක් වියදම් කිහිප ගුනයකින් වැඩිවෙලා. හෙක්ටයාර් එකකට රුපියල් 30,000ක් විතර යනව හී හාන්න. අස්වනු නෙලන්න රුපියල් 25,000 ක් විතර ඕන. කෘෂි රසායන සහ අනෙකුත් වියදම් එක්ක හෙක්ටයාර් එකකට රුපියල් 80,000 ට වැඩිය වැයවෙන” බව ඔහු පැවසුවේ ය.

ගොවි උපකරන මිල ඉහල යාම ගොවීන් මුහුන දෙන බරපතල ගැටලුවකි. සාමාන්‍ය ගොවියෙකුට කුඩා අත්ට‍්‍රැක්ටරයක් වත් මිල දී ගත නොහැක. සෙනෙවිරත්න නමැති ගොවියා ප‍්‍රකාශ කලේ "අත් ට‍්‍රැක්ටරයක් රුපියල් 386,000ක් වෙනවා. ගොවිතැනින් ඉතුරුවක් නොවෙන කොට කොහොමද ගොවියෙක් ඒ වගේ මිලකට ට‍්‍රැක්ටරයක් ගන්නේ? ගොවි උපකරන මිල අඩු කරන්නෙ නැතිව සහතික මිල කීයක් හරි වැඩි කලාට වැඩක් නැහැ.”

සහතික මිලට වී විකුනුවත් ගොවීන්ට වියදමට සරිලන ආදායමක් නො ලැබෙයි. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ 2009 හා 2010 වාර්තාවලට අනුව වී කිලෝවක් සඳහා නිෂ්පාදන වියදම 2009 සහ 2010 වසරවල පිලිවෙලින් රුපියල් 33ක් සහ 30කි. 2010 වසරේ සුලු අඩුවීමක් වූයේ යූරියාවලට අමතරව සෙසු පොහොර ද ආන්ඩුව සහන මිලට ලබාදීම නිසා ය. එසේ කලේ වී සාධාරන මිලට විකුනා ගැනීමට නොහැකි වීමත් නිෂ්පාදන වියදම ඉහල යාමත් නිසා ආන්ඩුව කෙරෙහි වර්ධනය වන කෝපය යටපත් කර සහන ලබා දීම පිලිබඳව මුලාවක් ඇතිකර ජනාධිපති වරනය සහ සෙසු මැතිවරනවල දී ගොවීන්ගේ ඡන්ද ගසා කෑමේ කූට අරමුන ඇතිව ය.

බැංකුවලින් ලැබෙන නය ගොවීන්ට වී ගොවිතැන සඳහා අවශ්‍ය සම්පූර්න වියදම සඳහා ප‍්‍රමානවත් නැත. "වගාවට අවශ්‍ය ඉතිරි වියදම ගොවීන් දරා ගන්නේ කෘෂි රසායන කඩවලට, ට‍්‍රැක්ටර් හිමියන්ට හා පොලියට සල්ලි දෙන අයට නය වෙලා. "ගොවි රක්ෂනය කියන එකත් මහ ප්‍රෝඩාවක්. ආලා පාළුවක දී නිසි වන්දියක් කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගොවියෝ දැන් රක්ෂනේට ගෙවන්නේ නැහැ. ආන්ඩුවයි බැංකුයි හැම පහසුකමක් ම දෙන්නේ සල්ලි තියෙන මිනිහට. පුද්ගලික වෙලෙන්දන්ට වී ගන්ඩ නම් බැංකු කෝටි ගනන් නය දෙනවා.” හුරීගස්වැව ජයසුන්දර පැවසී ය.

ගොවීන්ට පහසු මිලට සේවාවන් සැපයීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මහ ඉලුප්පල්ලමේ පවත්වාගෙන ගිය ට‍්‍රැක්ටර් ඒකකය ද වසර ගනනාවක සිට වසා දමා ඇති බව ගොවීහු කී හ.

මහ බැංකු වාර්තාවලට අනුව හෙක්ටයාර් එකකින් ලබා ගත හැකි උපරිම සාමාන්‍ය අස්වැන්න වී කිලෝ 4,300ත් 4,500ත් අතර වෙයි. එසේ වන්නේ ප‍්‍රමානවත් ජලය, පොහොර හා යහපත් කාල ගුනය ඇතුලු සියලු සාධක සම්පුර්න වූයේ නම් පමනි.

කෙසේ වුව ද කිලෝ 4,500ක් රුපියල් 30 බැගින් අලෙවි කලත් හෙක්ටයාර් එකකට ලැබෙන ආදායම රුපියල් 135,000කි. රුපියල් 80,000ක වියදම අඩුකල විට ගොවියාට මාස හයක් යැපීම සඳහා ඉතිරි වන්නේ රුපියල් 45,000ක් හෙවත් මාසයකට රුපියල් 7,500ක් පමන මුදලකි. නමුත් 1/4 පමන පරිභෝජනයට වෙන්කල විට ගොවීන් විකුනන්නේ අස්වැන්නෙන් 3/4 ක් පමන ය. එවිට ආදායම තවත් අඩු වේ. ආන්ඩුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව හතර දෙනෙකුගෙන් යුත් පවුලකට මාසික යැපීම සඳහා රුපියල් 34,000ක් අවශ්‍ය ය.

ආන්ඩුව සහතික මිලට වී මිල දී ගැනීම ම ප්‍රෝඩාවකි. උදාහරනයක් ලෙස, පසුගිය වසරේ මිල දී ගෙන ඇත්තේ වී මෙටි‍්‍රක් ටොන් 182,000 කි. එම වසරේ වී නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් මිලියන 4.3 (මෙ.ටො. 4,300,000) කි. එනම් මුලු නිෂ්පාදනයෙන් සියයට 4.23ක් පමන ප‍්‍රමානයකි, ආන්ඩුව මිලට ගෙන තිබෙන්නේ.

ලංකාවේ ජනගහනයෙන් බහුතරය ගම්බද දුගී ගොවි ජනතාව ය. දෙමල ජනයා බහුතරයක් සිටින වතුකරය හැරුනවිට විරැකියාව, දරිද්‍රතාවය, ගැබිනි හා ලමා මන්ද පෝෂනය ගම්බද ගොවීන් අතර ඉහල මට්ටමක පවතී. ලංකාවේ ගොවි ජනපද ආරම්භ කර වසර 50-60ක් ගත වී තිබුනත් ඔවුන්ගේ ජීවන මට්ටම්වල සැලකිය යුතු වර්ධනයක් සිදු වී නැත.

මහවැලි එච් කලාපයේ ගොවීන් පදිංචි කර වසර 35ක් පමන ගත වී ඇත. වහලට සීට් හෝ උලූ සෙවිලි කල කාමර දෙකකක් හෝ තුනක් තිබෙන ගෙවල් අතලොස්සක් හැරුනුවිට සෙසු ගෙවල් පවුලේ සාමාජිකයන්ට ජීවත් වීමට ප‍්‍රමානවත් නොවන පහසුකම්වලින් තොර කුඩා ඒවා ය. පවුල්වල සාමාජිකත්වය ප‍්‍රසාරනය වී ඇති හෙයින් හෙක්ටයාර් එකේ කුඹුරු බිම්කඩ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු අතර බෙදී ගොසිනි. බොහෝ ගම්වලට නල ජලය නැත. ලිං වතුර පමනි. යල් කන්නයේ දී බරපතල ජල හිඟයකට ඔවුහූ මුහුන දෙති. එප්පාවල අවට ගම්වල ජනයා හා සිසුන් සැතපුම් 6-7 ගෙවාගෙන රෝහල් සහ පාසල්වලට එප්පාවල නගරයට පැමිනිය යුතු ය.

තරුන ජනයා අතර පවතින විරැකියාව බරපතල ගැටලුවකි. බොහෝ තරුනයෝ රැකියාවක් නොමැති නිසා යුද්ධය පැවති කාලයේ හමුදාවට බැඳුනා හ. ඔවුන්ගෙන් සමහරු යුද්ධයේදී මිය ගොසිනි. තවත් සමහරු හමුදාවෙන් පලා ගිහින් ය. තරුනියන් රැකියා සොයා එන්නේ නිදහස් වෙලඳ කලාපවලට ය. ඊනියා දැයට දිරිය වැඩ පිලිවෙල යටතේ මෙම රැකියා විරහිත තරුන ජනයාගේ ලාබ ශ‍්‍රමය සූරාකෑමට දේශීය සහ විදේශීය ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩ නැගීමක දැන් ආන්ඩුව යෙදී සිටී.

1970 දසකයේ අග භාගයේ සිට පාලක පන්තිය විසින් ක‍්‍රියාවට දැමුනු ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිර්දේශිත වෙලඳපොල ආර්ථික ප‍්‍රතිසංස්කරන යටතේ රාජ්‍ය අංශයේ කම්කරුවන්ට මෙන්ම ගොවි ජනතාවට ද බරපතල ප‍්‍රහාර එල්ල විය. මේ යටතේ වී අලෙවි මන්ඩලය, සමුපකාර තොග වෙලඳ සංස්ථාව හා සීමා සහිත ශ‍්‍රී ලංකා අලෙවි සම්මේලනය (මාර්ක්ෆෙඩ්) විසින් කෙරුන වී සහ සෙසු ධාන්‍ය මිල දී ගැනීම ක‍්‍රමානුකූලව නතර කෙරින. බිත්තර වී, පොහොර, කෘෂි රසායන ද්‍රව්‍ය හා ගොවි උපකරන අලෙවිය පුද්ගලික අංශය අතට මාරු විය.

ලෝක ආර්ථිකයේ ගැඹුරු වන අර්බුදය මධ්‍යයේ රාජපක්ෂ ආන්ඩුවට කම්කරු පන්තියට මෙන්ම ගොවිජනතාවට එරෙහිව කප්පාදු පිලිවෙත් තව තවත් පුලුල් කිරීමට බල කෙරී ඇත. විශේෂයෙන්ම අය-වැය පරතරය අඩු කිරීම සඳහා රාජ්‍ය වියදම් කප්පාදුවේ කොටසක් ලෙස ගොවි ජනතාවගේ පොහොර සහනාධාරය අහෝසි කිරීම ද එතරම් ඈතක නො වේ. ගොවීන් සංවර්ධනය කිරීමේ ආන්ඩුවේ පූච්ඡානම් කතා කෙසේ වෙතත් ඔවුන් අතර වැඩෙමින් පවතින්නේ දරිද්‍රතාවය යි.

Share this article: