"කලාව සහ ට්‍රොට්ස්කිවාදය” මැයෙන් යාපනය සරසවිය තුල සාර්ථක දේශනයක්

By Panini Wijesiriwardana, 12 October 2011

Meetingරැස්වීමට සහභාගි වූ අයගෙන් කොටසක්

පසුගිය සැප්තැම්බර් 28 වන දින යාපනය සරසවියේ ශාස්ත‍්‍ර පීඨ ශ‍්‍රවනාගාරය තුල "කලාව සහ ට්‍රොට්ස්කිවාදය” යන මැයෙන් විශේෂ දේශනයක් පැවැත්වින. සරසවියේ ලලිත කලා අංශයේ ඇරැයුමක් මත සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන මන්ඩල සභික හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛක පානිනී විජේසිරිවර්ධන විසින් කරන ලද මෙම දේශනය ට සරසවි සිසුන්, ආචාර්යවරුන් ඇතුලු සිය දෙනෙකුට ආසන්න ශ‍්‍රාවක පිරිසක් උද්යෝගයෙන් සහභාගි වූහ.

බහුතර දෙමල ජනතාවක් වෙසෙන දිවයිනේ උතුරු පලාතට ඇති එකම සරසවිය වන යාපනය සරසවියේ සිසු සිසුවියන් 6,000 කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබති. ආරම්භ කෙරී දශක හතරකට ආසන්න කාලයක් ගත වුවද එය පවත්වා ගෙන යනු ලබනුයේ ඉතා අඩු පහසුකම් සහ ඌන සම්පත් මධ්‍යයේ බැව් එම සරසවියේ ආචාර්යවරු ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප‍්‍රකාශ කලහ.

දසදහස් ගනනක් ජීවිත බිලිගත් රුදුරු සිවිල් යුද්ධය හේතුවෙන් තම පි‍්‍රයයන් හා උන්හිටිතැන් අහිමි කෙරුනු නිමක් නැති වද වේදනාවන්ට පාත‍්‍රවූ ජනතාවකගේ දූදරුවන් ලෙස අඛන්ඩ පාසැල් අධ්‍යාපනයක් පවා ලබා ගැන්ම දුෂ්කර වූ තම සිසුන්ගේ ධෛර්යවන්තභාවය පිලිබඳව එම ආචාර්යවරු උද්යෝගයෙන් කතාකලහ. තම සරසවියෙන් උපාධි ලැබූ හා උපාධි හදාරමින් සිටි බුද්ධිමත් තරුන පරම්පරාවෙන් සැලකියයුතු සංඛ්‍යාවක් යුද්ධය තුල මරා දැමුනු හා සිරගත කෙරුනු අන්දම ඔවුන් සිහිපත් කලේ මහත් කනස්සල්ලෙනි.

සරසවියේ ශාස්ත‍්‍රීය කටයුතු සම්බන්ධයෙන් කතා කරමින් එක් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙකු ප‍්‍රකාශ කලේ දශක ගනනාවකට පසු යාපනය සරසවියේ පැවැත්වෙන පලමු මාක්ස්වාදී දේශනය මෙය බවයි. 1970 ගනන්වල යාපනය සරසවියේ සේවයේ යෙදී සිටි ආචාර්යවරුන් අතර ට්‍රොට්ස්කිවාදයට පැවති ආනුභාවය සහ සසප පෙර ගමන්කරුවූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) මග පෙන්වීම යටතේ ට්‍රොට්ස්කිවාදී කලා විචාර මූලධර්ම තහවුරු කිරීම සඳහා ගිය අරගලය පිලිබඳව ද ඔහු මතකයට නැංවීය.

ලලිත කලා අංශයේ ප‍්‍රධානී ආචාර්ය කි‍්‍රෂ්නවේලිගේ ප‍්‍රධානත්වයෙන් උක්ත දේශනය පැවැත්වුනු අතර සරසවියේ ලලිත කලා සංගමයේ සභාපති තුෂාන්තන් දේශනයට පූර්විකාවක් සම්පාදනය කරමින් දේශකයා හඳුන්වාදුනි. විජේසිරිවර්දන විසින් සිංහල භාෂාවෙන් කල දේශනය සසප දේශපාලන මන්ඩල සභික රාජසිංහම් ශී‍්‍රහරන් විසින් දෙමල භාෂාවට පරිවර්තනය කරන ලදී.

"සමාජවාදී සංස්කෘතිය පුනර්ජීවනය කරනුවස් සසප සහ එහි ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෙනයන වැඩ කටයුතුවල ආබද්ධ අංගයක් ලෙසයි සංස්කෘතික ක්ෂේත‍්‍රයේ අප කරන මෙවන් වැඩ කටයුතු අප විසින් සලකනු ලබන්නේ” යැයි පවසමින් විජේසිරිවර්දන දේශනය ඇරැඹීය.

"2009 වසරේදී එල්ටීටීඊය මිලිටරි වශයෙන් පරාජය කිරීමෙන් පසු රාජපක්ෂ තන්ත‍්‍රය විසින් උතුරු නැගෙනහිර පීඩිත ජනයා පොලිස් මිලිටරි පාලනයකට නතුකර තිබෙන තතු යටතේ තමනට එල්ල වන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරයන්ට ද වඩ වඩාත් දරුනු වන ජීවන කොන්දේසි වලට ද එරෙහිව සටන් කරනුවස් ඉදිරි මාවත සොයන තරුනයන් ඇතුලු අවශේෂ පීඩිතයනට මෙම දේශනය වැදගත්වනු ඇතැ”යි සලකන බව ප‍්‍රකාශ කල විජේසිරිවර්දන දේශනයට ප‍්‍රවේශයක් ලෙස ට්‍රොට්ස්කි ගැන කෙටි හැඳින්වීමක් කලේ ය.

"ලියොන් ට්‍රොට්ස්කි යනු 1917 රුසියානු විප්ලවයට ලෙනින් සමග සම නායකත්වය දුන් තැනැත්තා. එමෙන්ම තුන්වන ජාත්‍යන්තරයේ පරිහානි ගතවීමෙන් පසු කම්කරුවන්ගේ නව ලෝක පක්ෂය වන හතර වන ජාත්‍යන්තරය ආරම්භ කිරීමට නායකත්වය දුන් පුද්ගලයා. අන් සෑම පුද්ගලයෙකුට ම වඩා සංස්කෘතියේ සහ දේශපාලනයේ පරස්පර විරෝධයන් ග‍්‍රහනය කර ගත් හා මාක්ස්වාදී දෘෂ්ටි ආස්ථානයෙන් සමස්ත මනුෂ්‍ය වර්ගයා මුහුන දුන් ගැටලු වලට ඉදිරි දර්ශන හා විසඳුම් සම්පාදනය කල අසහාය විප්ලවවාදියා.”

"ට්‍රොට්ස්කිවාදීන් වන අප විසින් කලාවේ ස්වභාවය වටහාගනු ලබන්නේ අපෝහක භෞතිකවාදී ලෝක දෘෂ්ටිය මත පිහිටාගෙනයි. ස්වභාවධර්මයේ කොටසක් වන මිනිසා ස්වභාවධර්මය තමා සඳහා දෙයක් බවට පරිවර්තනය කරමින් තෙමේ ද වෙනස්වන්නාවූ භාවිතාවක යෙදෙන අතර මෙම භාවිතාවේ දී ගොඩනැගෙන සංස්කෘතියේ එක් උත්කෘෂ්ඨ අංශයක් ලෙස අප විසින් කලාව සලකනු ලබනවා.”

"ට්‍රොට්ස්කිවාදී කලා විචාරක ඇලෙක්සැන්ඩර් වොරොන්ස්කිට අනුව කලාව වනාහි පරිකල්පන රූප ආධාරයෙන් සුවිශේෂී සංවේදනමය හා බුද්ධිමය ආකාරයකින් ලෝකය ඥානනය කිරීමක් ද මිනිසාගේ සමාජ පැවැත්ම මත මුලුමනින්ම රඳා පවත්නා ඥානනයක් ද වේ.”

ශ‍්‍රී ලංකාවේ ද ජාත්‍යන්තරව ද විශ්ව විද්යාල ආචාර්යවරුන් විසින් ඉදරිපත් කෙරෙන කලා න්‍යායයන් හා විචාර මිනුම් දඬු, නැතහොත් නිල කලා න්‍යායන් බොහෝවිට පදම් වන්නේ විඤ්ඤනවාදී පද්ධතීන් මත බව පෙන්වාදුන් විජේසිරිවර්දන අවසානයේ දී එම පද්ධතීන් කලාව ජීවිතයෙන් වෙන් කරන අයුරු පැහැදිලි කලේය.

ට්‍රොට්ස්කිවාදී ආස්ථානයෙන් කලාව වගවිභාග කර ගැනීම ශී‍්‍ර ලංකාව තුල ආරම්භවූයේ විකොස නායකත්වයෙන් බැව් පෙන්වාදුන් විජේසිරිවර්දන නිල සාහිත්‍ය විචාර ක‍්‍රම අපෝහක භෞතිකවාදී දෘෂ්ටි ආස්ථානයෙන් විස්ථාපනය කිරීමට කල එම අරගලයේ වැදගත් ජයග‍්‍රහනයන් සඳහන් කලේය.

"පසුගිය වසරේ අප අතරින් වියෝවූ මහාචාර්ය පියසීලි විජේගුනසිංහ සහෝදරිය මාක්ස්වාදී කලා විචාර මූලධර්ම ස්ථාපිත කිරීම සඳහා කල අරගලය හේතුවෙන් ඇය සේවයේ යෙදී සිටි කොලඹ සරසවියේ සිංහල පාඨමාලාවට ‘මාක්ස්වාදී කලා විචාර මූලධර්ම’ නමින් වෙනම අංශයක් ඇතුලු කිරීමට පවා එහි පාලනාධිකාරයට සිදුවුනා.” පියසීලි වැනි මාක්ස්වාදී බුද්ධිමතුන් විශ්ව විද්යාල ක්ෂේත‍්‍රය තුල යලි හැදී වැඩී ඒමට මෙම දේශනය යම් අභිනිවේශයක් ලබාදෙනු ඇති බවට තමා සාරදර්ශි බැව් විජේසිරිවර්දන තවදුරටත් පැවසීය.

ට්‍රොට්ස්කි විසින් රචිත කලාව හා විප්ලවය, කලාව හා පන්තිය, සාහිත්‍ය හා විප්ලවය, සංස්කෘතිය හා සමාජවාදය වැනි කෘතින්හි ඓතිහාසික වලංගුභාවය පිලිබඳව අවධාරනය කල විජේසිරිවර්දන 1920 දශකයේ මුල්භාගයේදී ලිබරල්වාදීන් හා ජනතාවාදීන් අතර ශුද්ධකලාව හා ප‍්‍රවනතාත්මක කලාව සම්බන්ධයෙන් පැවති විවාදය මධ්‍යයේදී ට්‍රොට්ස්කි කල විශ්ලේෂනයන් පැහැදිලි කරමින් කලාව පිලිබඳ ට්‍රොට්ස්කිගේ ආස්ථානයන් ඉදිරිපත් කලේය.

"වෛෂයික ඓතිහාසික දෘෂ්ටි ආස්ථානයෙන් ගත් කල කලාව සෑම විටම සමාජ සේවකයෙකු වන බවත් එය අප‍්‍රකාශිත මනෝ ගතීන් ප‍්‍රකාශ කිරීමට අවශ්‍ය වචනයේ රිද්මය සොයා ගන්නා බවත්, එය චින්තාවන් සහ මනෝගතීන් එකිනෙකට සමීප කරවන බවත්, නැතහොත් එකක් අනෙකට විපරීතව පිහිටුවන බවත්, පුද්ගලයාගේ ආධ්‍යාත්මික අත්දැකීම් ආඪ්‍ය කරවා හැඟීම් පිරිපහදු කරන බවත් එම හැඟීම් වඩාත් සුඛනම්‍ය සහ ප‍්‍රතිචාරී කරන බවත් පුද්ගලයා අධ්‍යාපනික කරන බවත් ට්‍රොට්ස්කි පවසනවා. ඒ සමග ම මෙම කි‍්‍රයාවලිය සිදුවන්නේ දෙන ලද කෘතිය පෙනී සිටින්නේ ශුද්ධ ධජය යටතේ ද නැතහොත් ප‍්‍රවනතාත්මක ධජය යටතේ ද යන්නෙන් ඉඳුරාම ස්වාධීනව බව ඔහුගේ අදහසයි.”

කලා කෘතියක් තක්සේරු කිරීමේ මාක්ස්වාදී ආස්ථානය පැහැදිලි කරමින් විජේසිරිවර්දන මෙසේ පැවසීය. "අපි විද්යාත්මක න්‍යායක නිරවද්‍යභාවය ඒත්තු ගන්නෙ තර්කානුකූල තක්සේරුවක් මත. නමුත් කලා කෘතියක සත්‍ය අසත්‍යබව ඒත්තු ගන්නෙ සෞන්දර්යාත්මක තක්සේරුවක් මත. වොරොන්ස්කිට අනුව කලා කෘතියක් සෞන්දර්යාත්මකව සත්‍ය වන්නෙ කලාකරුවා අප වෙනුවෙන් නිවරැදිව පැහැදිලිව හා යථාරූපීව පරිකල්පන රූප නිර්මානය කර ඇත්තේනම් පමනි.”

"ට්‍රොට්ස්කි මෙසේ ප‍්‍රකාශ කලා. ‘කලා කෘතියක් පිලිගැනීම හෝ බැහැර කිරීම සෑම විටම මාක්ස්වාදී මූලධර්ම මත තීන්දු කල නොහැක. කලා කෘතියක් විනිශ්චය කල යුත්තේ කලාවේ ම නියාම මගිනි. නමුත් කලාවේ දෙන ලද ප‍්‍රවනතාවයක් දෙන ලද ඓතිහාසික කාල පරිච්ඡේදයක් තුල සම්භවය වුයේ මන්ද හා කෙසේද යන්න පැහැදිලි කල හැක්කේ මාක්ස්වාදයෙන්ම පමනකි’.”

මෙම පදනම මත ට්‍රොට්ස්කි විසින් විසිවන සියවසේ මුල් භාගයේ මතුවූ කලා ප‍්‍රවනතාවන්හි සාධනීය හා නිශේධනීය අංග වග විභාග කල අයුරු පෙන්වා දුන් විජේසිරිවර්දන සෝවියට් සංගමය තුල පැන නැගි ස්ටැලින්වාදී නිලධාරි තන්ත‍්‍රය තම වරප‍්‍රසාද ආරක්ෂා කොට වර්ධනය කරගනුවස් තොරොම්බල් කරන ලද "තනි රටේ සමාජවාදය” නම් වූ ප‍්‍රතිමාක්ස්වාදී න්‍යායට අනුපූරකයක් ලෙස ඉදිරිපත් කෙරුනු "කම්කරු පන්තික සංස්කෘතිය” හා "සමාජවාදී යථාර්ථවාදය” නම් වූ ප‍්‍රතිගාමී සංකල්පයන්ට එරෙහිව ඔහු සටන් වැදි ආකාරය විස්තර කලේය.

විජේසිරිවර්දන තම දේශනය අවසන් කලේ "අපගේ යුගයේ කලාව හා දේශපාලනය” නම් වූ ට්‍රොට්ස්කිගේ ලේඛනයෙන් උපුටා දක්වමිනි. "කලාවට අර්බුදයෙන් ගැලවී සිටීමට නොහැකි මෙන්ම එයින් වෙන්ව පැවැත්මක් ද නැත. කලාවට තමන්ගේ ම ආරක්ෂනයක් ද නැත. වත්මන් සමාජය අලුතෙන් නිර්මානය කර ගැනීමට අසමත් වුවහොත් කලාව අනිවාර්යයෙන්ම පරිහානි ගතවනු ඇත. අලුතෙන් නිර්මානය කිරීමේ මෙම කර්තව්‍යය සාරභූත වශයෙන්ම විප්ලවවාදී ස්වභාවයක් ගනී. මේ අනුව අපගේ යුගයේ කලාවේ කි‍්‍රයාකාරිත්වය නිර්නයවන්නේ විප්ලවයට එහි ඇති සම්බන්ධයෙනි.”

දේශනයෙන් අනතුරුව ඇතිවූ සංවාදයේ දී "කලාව, කලාව සඳහාය” යන සංකල්පය සම්බන්ධයෙන් ට්‍රොට්ස්කිවාදී ආස්ථානය කුමක්දැයි ශ‍්‍රාවකයෙකු අසනලද පැනයකට පිලිතුරු දෙමින් විජේසිරිවර්දන මෙසේ පැවසීය.

"පලමු කොටම, මෙම ආප්තයේ අන්තර්ගතය නිර්නය වන්නේ යමෙකු කලාව අර්ථ දක්වන්නේ කෙසේද, කලාවේ වෛෂයික අර්ථභාරය ලෙස ඔහු පිලිගනු ලබන්නේ කුමක්ද හා එය ඉදිරිපත්වන ඓතිහාසික යුගයේ ස්වභාවය කුමක්ද යන්න මතයි.

කලින් පැහැදිලි කල පරිදි අපේ දෘෂ්ටි ආස්ථානයට අනුව කලාව යනු තමාගේ ම ඉතිහාසයක්, තමාගේ ම නීති සහ තමාගේ ම උත්සුකයන් සහිත සාපේක්ෂ වශයෙන් ස්වෛරී මානව ක‍්‍රියාකාරී ක්ෂේත‍්‍රයක්. කලාව නියෝජනය කරන්නේ කලාවේ ම පද වලින් අවබෝධ කර ගත යුතු, ලෝකයට යොමුවූ සුවිශේෂී සෞන්දර්යාත්මක ප‍්‍රවිෂ්ටයක්. ඒ සමග ම කලා කෘතියක් විනිශ්චය කල යුත්තේ එහි ම නියාමයන්ට අනුවයි. එනම් කලාවේ නියාමයන්ට අනුවයි.”

”අර්බුද ග‍්‍රස්ත පාලක පන්තීන් විසින් තම දෘෂ්ටිවාදයන්හි, ආචාර ධර්මයන්හි සහ සමාජ වටිනාකම්වල සුවච කීකරු ප‍්‍රකාශකයා වන ලෙස කලාකරුවන්ට බල කෙරෙන යුගවල දී, කලාව සතු මෙම සුවිිශේෂී ස්වභාවය තිරසරව වටහාගත් අදීන කලාකරුවන් එයට දක්වන බලගතු විරෝධයක් ලෙස "කලාව, කලාව සඳහාය” යන සංකල්පය ඉදිරිපත් කෙරුනා.”

කලාවට ම ආවේනික සුවිශේෂී ස්වභාවයන් ආරක්ෂා කර ගැනීමේ අර්ථයෙන් "කලාව, කලාව සඳහාය” යන සංකල්පය ඉදිරිපත් කෙරෙනතාක් දුරට එය ඉතා නිර්භීත හා නිරවද්‍ය ආස්ථානයක්. ඊට විපරීතව කලාව ජීවිතයෙන් වෙන් කිරීමේ අර්ථයෙන් මෙම ආප්තය ඉදිරිපත් කෙරෙන්නේ නම් එය ප‍්‍රතිගාමී ය.”

දේශනය අවසානයේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවියට තම අදහස් දැක්වීමට ඉදිරිපත් වූ සිව්වන වසරේ ශිෂ්‍යයකු මෙසේ පැවසීය. ”මේ වගේ දේශනයකට මම සහභාගිවුනේ පලමු වතාවට. ඒ වගේම ට්‍රොට්ස්කි සම්බන්ධයෙන් දැනගත්තෙත් පලමු වතාවට. මේ දේශනය කලාව පිලිබඳ මාක්ස්වාදී දෘෂ්ටිය හැදෑරීමට අවශ්‍ය ආරම්භකත්වය ලබා දුන්නා. ඒ සමග ම සෞන්දර්යවේදය හැදෑරීමේ දී ඉතිහාසයේ පැන නැගි කලා ප‍්‍රවනතා හැදෑරීම අත්‍යවශ්‍ය බවත් විසිවන සියවසේ සමාජ, ආර්ථික හා දේශපාලනික ජීවිතය පිලිබඳ දැනුම නොමැතිව එය කල නොහැකි බවත් මට මේ දේශනය තුලින් වැටහුනා. මේ වගේ දේශන තවත් පැවැත්වෙනවානම් වඩා ගැඹුරු වටහා ගැනීමකට මග පෑදේවි.”

එක් ශිෂ්‍යාවක් දේශනය පිලිබඳ තම අදහස මෙසේ කැටි කලාය: "මම බලාපොරොත්තුවුනේ සෞන්දර්ය විද්යාව ගැන විතරක් කතා කරයි කියල. ඒත් දේශනය පැවැත්වුනේ සෞන්දර්යය හා දේශපාලනය සම්බන්ධ කරල. ඒක අලුත් දෙයක්. දේශනයෙන් අපට වැටහුනා සෞන්දර්යයෙන් ජීවිතය වෙන් කරන්න බෑ වගේම ජීවිතයෙන් දේශපාලනය වෙන් කරන්න බෑ කියල. යුද්ධයක් මැද මුලු ජීවිතය ම ගෙවූ අපට ඒක හොඳින්ම දැනෙනවා.”

Share this article: