කොලඹ නගර සභා ඡන්දය අහවර වීමත් සමග ම දුගී නිවාස කැඩීමේ තර්ජනය දැඩිවෙයි

By Vilani Peiris , 25 October 2011

ඔක්තෝබර් 08 දා පැවති පලාත් පාලන මැතිවරනයේ දී කොලඹ මහ නගර සභාවේ (කොමනස) වැඩි බලයක් දිනා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව දැරූ දැඩි උත්සාහය ව්‍යර්ථ විය. පැල්පත් වාසීන් ඉවත් කිරීමට හා ජීවන තත්වයන්ට පහර දීමට විරුද්ධත්වය පලකරමින් බහුතරයක් ජනයා, වෙනත් විකල්පයක් නොවූ තත්වයේ දී, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය ඇතුලු පක්ෂ වලට වැඩි ඡන්දයක් දුන්නේ ය. එහෙත් එම විරෝධතා නොතකා, ජනාධිපති රාජපක්ෂ ඔක්තෝබර් 13 දා තෝරා ගත් ජනමාධ්‍ය කතෘවරුන් අමතා ප‍්‍රකාශ කලේ, "කොලඹ මහ නගර සභාව පාලනය කිරීම සඳහා අධිකාරියක් තහවුරු කිරීමේ යෝජනාව” ක‍්‍රියාත්මක කරන බවය.

ක‍්‍රියාත්මක කෙරෙන අධිකාරිය සතු බලතල පිලිබඳව ජනාධිපති කරුනු පැහැදිලි කර නැත. කොලඹ නගරය ආසියාකරයේ ප‍්‍රධාන වානිජ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ ආන්ඩුවේ වැඩපිලිවෙල අනුව නගරයෙන් පැල්පත් 75,000 ක් ඉවත් කිරීමට නියමිත ය. එම වැඩපිලිවෙලේ ම කොටසක් ලෙස කොලඹ නාගරික සංස්ථාව නමින් අධිකාරියක් බවට පත් කිරීමේ යෝජනාවක් කැබිනට් මන්ඩලය විසින් සම්මත කෙරුන බව මාර්තු මාසයේ ආන්ඩුව නිවේදනය කලේ ය.

ඒ අනුව කොලඹ, දෙහිවල ගල්කිස්ස, ජයවර්ධනපුර-කෝට්ටේ යන මහ නගර සභා ද කොලොන්නාව හා කොටිකාවත්ත යන ප‍්‍රාදේශීය සභා ද එක් කර නව අධිකාරිය යටතට පත් කෙරේ. නාමික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයිත්තමක් පැලඳවීම සඳහා එම අධිකාරියට මෙම පලාත් පාලන ආයතනවලට ඡන්දයෙන් පත්වන නියෝජිතයන් ද ඇතුලත් කර ගන්නා බව ආන්ඩුව පැවසුවත් එහි බලධාරියා වන්නේ ජනාධිපති විසින් පත් කරන ආන්ඩුකාරවරයෙකි. මෙම පලාත් පාලන ආයතනයන්හි බලය විශේෂ අධිකාරික් යටතට ගැනීමේ එල්ලය වන්නේ මහජන විරෝධය නොතකා කොලඹ සහ තදාසන්න පෙදෙස් ප‍්‍රධාන වානිජ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ වැඩපිලිවෙල පුලුල් ලෙස කි‍්‍රයාත්මක කිරීම යි.

ආන්ඩුවේ වැඩපිලිවෙල දැඩිව කි‍්‍රයාත්මක කිරීම සඳහා ඔක්තෝබර් 15 දින ජනාධිපති විසින් ආරක්ෂක අමාත්‍යංශය ලෙස මෙතෙක් පැවති නිල නාමය වෙනස් කර එය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය ලෙස නම් කලේ ය. මෙ මගින් හමුදා හා පොලීසි මෙහෙයවමින් නගර "සංවර්ධන කටයුතු” ගෙනයාම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ සිදු කිරීම වඩාත් සංකේන්ද්‍රනය වනු ඇත .

පසුගිය වසරේ දී නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කෙරින. නිවාස ඉවත් කිරීම සඳහා පරීක්ෂා කිරීම ද පැල්පත් වාසීන්ට ඉවත් වන ලෙස දැනුම් දීම ද භාර වූයේ නාගරික සංවර්ධන මන්ඩලයේ නිලධාරීන්ටයි. තවද පැල්පත් නිවාස පොලවට සමතලා කිරීම සඳහා හමුදා හා පොලීසි මෙහෙයවා ගත්තේ ය.

ඔක්තෝබර් 24 දා ඩේලි මිරර් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ සැලැස්ම නොකඩවා කි‍්‍රයාත්මක කරන බව තර්ජනාත්මකව ප‍්‍රකාශ කලේ මෙලෙස යි: "ඉඩම් පරිහරනය කිරීම හෝ නගර සැලසුම් කිරීම යන මේ සියල්ල වැටෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය යටතට යි - ඒක තියෙන්නෙ මා යටතේ. කාටවත් මේ දේවල් වලක්වන්න බැහැ.”

විරුද්ධ පක්ෂයේ පූච්ඡානම් කතා හෝ නොඉවසන බව ප‍්‍රකාශ කරමින් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කලේ "ඔවුන් ඒවා නතර කර මං වගේ වැඩ කල යුතු යි” යනුවෙනි.

ඔක්තෝබර් 19 වන දින අගමැති දි. මු. ජයරත්න පාර්ලිමේන්තුවේ දී විවෘතව ම ප‍්‍රකාශ කලේ කොලඹ නගරය අලංකරනය කිරීම සඳහා අඩු ආදායම් ලාභින්ගේ නිවාස ඉවත් කරන බවය. ඉඩම් විකුනා දැමීමට තමන් විරුද්ධ නමුත් "ප‍්‍රයෝජනවත් සියලු ඉඩම් ආදායමක් ලැබීම සඳහා ලෝකයේ ඕනෑම අයෙකුට බදු දිය යුතු” බව ද ජයරත්න ප‍්‍රකාශ කලේය.

ආන්ඩුවේ මෙම වැඩපිලිවෙල යටතේ ඉඩම් විදේශීය ආයෝජකයන්ට පැවරීම හා සංචාරකයන් ආකර්ෂනය කර ගැනීම සඳහා නගර අලංකාර කිරීමේ නමින් රටෙහි විවිධ පලාත්වලට ආන්ඩුවේ වැඩ පිලිවෙල දිගේලි කිරීමට නියමිත ය. නාගරික සංවර්ධන අධිකාරිය පවසන පරිදි නුවරඑලිය, හම්බන්තොට, දඹුල්ල, ත‍්‍රිකුනාමලය හා මඩකලපුව එලෙස අලංකාර කිරීම සඳහා වෙන් කර ගෙන ඇති නගර ය.

කොලඹ මහ නගර සභාවේ වැඩි ආසන දිනාගෙන එජාපය බලයට පැමිනියේ නිවාස කැඩීමට විරුද්ධ බවට ද, ඊට ඉඩ නොදෙන බවට ද ව්‍යාජ පොරොන්දු දෙමිනි. මැතිවරනයෙන් පසු ඔක්තෝබර් 10 දින පුවත්පත් වාර්තාකරුවන් ඇමතූ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ කියා සිටියේ "අපි අඩු ආදායම්ලාභී නිවාස කඩා දැමීම නතර කලා සේම අපි නව අධිකාරියක් නගර සභාවල බලතලවලට ඉහලින් තහවුරු කිරීම ද නතර කරන්නෙමු” යනුවෙනි.

මහජනයා අස් වැසීම සඳහා වික‍්‍රමසිංහ එසේ පැවසුව ද එජාපය විසින් නගරාධිපති ලෙස නම් කරනු ලැබ ඇති ඒ.ජේ.එම්. මුසම්මිල් ආන්ඩුවේ ද ආරක්ෂක ලේකම්ගේ ද නගර "අලංකාර” කිරීමේ සැලසුම වර්නනා කිරීමට ඉදිරිපත්ව සිටියි.

මුසම්මිල් ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා තවත් ඇමතිවරුන් සමග සාකච්ඡා කල බවත් "යහපත් ප‍්‍රතිචාර” ආන්ඩුවෙන් ලැබී ඇති බවත්, ඔක්තෝබර් 17 දින ලක්බිම පුවත්පතට දැනුම් දී ඇත. ඔහු තවදුරටත් ප‍්‍රකාශ කරනු ලැබූයේ "ආරක්ෂක ලේකම් වරයා කොලඹ නගරය සංවර්ධනය කිරීම” සඳහා දැනටමත් කරනු ලැබූ "යහපත් කාර්යයන්ට ජනතාවගේ ප‍්‍රශංසාව හිමි” වී ඇති බවත්, "එම වැඩ පිලිවෙල ඉදිරියට ගෙන යා” යුතු බවත් ය. මෙම ප‍්‍රකාශ ආන්ඩුවේ වැඩපිලිවෙලට තල්ලුව දීමට තමන් සූදානම් බවට මුසම්මිල් නිකුත් කල සංඥාවකි.

එජාප බොරු පොරොන්දු තිබුනේ වුව ද කොලඹ නගරය ආයෝජකයන්ට පැවරීමේ යෝජනාව පලමුවෙන්ම ඉදිරිපත් වූයේ ද එජාප ආන්ඩු සමයේ, 1979 තරම් ඈත දී ලංකාව තුල නිදහස් වෙලඳ පොල ප‍්‍රතිපත්තිය දිගේලි කිරීමත් සමග ය.

එජාප "නිවාස කැඩීමට එරෙහිව” යයි ඉදිරියට එන්නේ පලාත් පාලන මැතිවරනයේ දී ඡන්දය ලබාගෙන බලයට ඒම සඳහා බව සසප හා ලෝසවෙඅ දිගින් දිගට ම හෙලිදරව් කලේ ය. 2010 ඔක්තෝබර් මාසයේ දී ලියන ලද ලිපියක හෙලිදරව් කල පරිදි 1977දී බලයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන "කොලඹ මූල්‍ය හා වෙලඳ නගරයක් බවට පත් කිරීමේ එල්ලය සහිතව පරිපාලනය උදෙසා නව අගනුවර ලෙස ජයවර්ධනපුර ගොඩ නැගීම ආරම්භ කලේ ය.”

තව දුරටත් ලිපිය පෙන්වා දුන්නේ 1983 දී එජාප ආන්ඩුව කොලඹ විශාල බිම් ප‍්‍රදේශයක් ශුද්ධ කරමින් සුගතදාස කී‍්‍රඩා පිටිය ඉදිකල අතර පවුල් 243ක් ඉවත් කර පැල්පත් පොලවට සමතලා කර දැමූ බවය. 1985 දී රෙඩ්බානා වත්තේ පවුල් 100ක් ඉවත් කර දැමූවේ ය. 1992 දී එජාප ආන්ඩුව වැල්ලවත්ත හා කිරුලපන ඇල අවට පවුල් 1,500ක් පමන කිලෝමීටර් 10ක් ඈත අත්තිඩියට පිටමං කලේ ය.

එජාප 2001-2004 පාලන කාලයේ දී "යලි පුබුදමු ශී‍්‍ර ලංකා” වැඩ පිලිවෙල යටතේ ලංකාව ආසියාකරයේ සිංගප්පූරුව බවට පත් කරන බවට පුරසාරම් දෙඩී ය. ලෝක බැංකුවේ අනුමැතිය ලැබුනු ඉහත කී යෝජනාව යටතේ මහ ජනයාගේ සුබසාධන හා සහනාධාර කපා දැමූ අතර ආයෝජකයන් ගෙන්වා ගැනීම අරමුනු කර ගත්තේ ය. කොලඹ නගරය වානිජ මධ්‍යස්ථානයක් කිරීම ද ඊට අඩංගු විය.

ආන්ඩුවට සහයෝගය දෙන බවට මුසම්මිල්ගේ සඳහන් කිරීම්වලින් උද්දාමයට පත්ව ඇති ආන්ඩුවේ ඩේලි නිව්ස් පුවත් පතේ ඔක්තෝබර් 20 දින කර්තෘ වාක්‍යය කොලඹට පත් වූ නගරාධිපතිගේ ප‍්‍රකාශ "සාධනීය වර්ධනයක්” යයි ලියා ඇත. තවදුරටත් එම කර්තෘ වාක්‍ය කියා සිටියේ බොලඳ දේශපාලන උවමනාවන් අතහැර, "කොලඹ සංවර්ධනය කෙසේ ගෙන යා යුතු ද යන්න ගැන එකඟතාවයකට එන ලෙස ඉල්ලා සිටින බව” යි.

කොලඹ නගර සභාවට පත් වී ඇති අනිකුත් දේශපාලන පක්ෂ නගරය වානිජ කේන්ද්‍රයක් බවට පත් කිරීමට කිසිදු විරුද්ධත්වයක් දක්වා නැත. නව සමසමාජ පක්ෂයේ ද (නසසපය) සහයෝගය සහිතව කෙලඹ නගර සභාවට තරග කර ආසන 6 ක් දිනා ගෙන සිටින මනෝ ගනේෂන් නායකත්වය දෙන දෙමල ධනපති පක්ෂයක් වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුන (ප‍්‍රජපෙ) මැතිවරනයට පසුව ප‍්‍රකාශ කරනු ලැබුයේ අවස්ථාව අනුව නගර සභාව තුල දී අන්ඩුවට හෝ එජාපයට සහයෝගය දෙන බවය.

ප‍්‍රජපෙ යටතේ තරග කර දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට තේරීපත් වී සිටින නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න පැල්පත් ඉවත් කිරීමට ප්‍රෝඩාකාරී විරුද්ධත්වයක් ප‍්‍රකාශ කරන ගමන්ම ආන්ඩුවේ සැලසුම්වලට එරෙහි වන්නා වූ කම්කරුවන් හා දුගීන් ස්වාධීනව බලමුලූ ගැන්වීම වැලැක්වීමටත් ඔවුන් ධනපති පක්ෂ සමග ගැටගැසීමටත් කටයුතු කරමින් සිටී.

අභ්‍යන්තර භේදයන්ගෙන් ඉරි තලා සිටින ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) කොලඹ නගර සභාව සඳහා එක් ආසනයක් දිනා සිටී. එහි නායක ටිල්වින් සිල්වා ඔක්තෝබර් 19 දා පුවත් පත් සාකච්ඡාවක් කැඳවමින් ආන්ඩුව "වීදි අලංකාර කිරීමට අපතේ මුදල් වියදම් කරන බවත් මහජනයාගේ ජීවන කොන්දේසි ඉහල දැමීමට කිසිවක් නොකරන බවත්” පවසා ඇත. එහෙත් කොලඹ පැල්පත් නිවාස ඉවත් කිරීමට කිසිදු විරුද්ධත්වයක් ඔහු ප‍්‍රකාශ කොට නැත.

ශ‍්‍රී ලංකාව තුල ධනපති පාලකයන් ක‍්‍රියාවට දමන අධිරාජ්‍යවාදී නිදහස් වෙලඳ පොල ආර්ථික ප‍්‍රතිපත්තියට ද, කොලඹ පීඩිත වැසියන් නගරයෙන් ඉවත් කිරීමට ද එරෙහිව ඔවුන්ගේ නිවාස අයිතිය ආරක්ෂා කිරීමට ද පෙනී සිටි එකම පක්ෂය සමාජවාදී සමානතා පක්ෂය (සසප) යි. කොලඹ නගරය වානිජ නගරයක් බවට පත් කිරීම ආයෝජකයන්ගේ ලාභ පොට්ටනි තර කර ගැනීමට කොන්දේසි සකස් කිරීමේ පියවරක් බව පෙන්වා දෙමින් වෙලඳ පොල ආර්ථික ප‍්‍රතිපත්තියට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙල මත කම්කරුවන් හා පීඩිතයන් බලමුලු ගැන්වීමේ ඉදිරි දර්ශනයක් සසප ඉදිරිපත් කලේ ය.

ආන්ඩුව විසින් කොලඹ පැල්පත්වාසීන් මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන් හා මැරයන් යයි හංවඩුගැසීමට එරෙහිව ද ගංවතුර හා ඩෙංගු උවදුර පැල්පත් වාසීන් ඉවත් කිරීමේ පුලුල් ලෙස යොදාගැනීමට එරෙහිව ද කතා කලේ සසප යි. මෙම ගැටලු ඇතුලු පැල්පත්වාසීන් ජීවත් වන දරිද්‍ර කොන්දේසිවලට වගකිවයුත්තේ රට පාලනය කල ආන්ඩු හා ධනපති පන්තිය බව සසප පෙන්වා දුන්නේ ය.

ආන්ඩුව පැල්පත් වාසීන් ඉවත් කරනු ලැබූයේ "අනවසර පදිංචිකරුවන්” ලෙස නම් කරමිනි. මෙම ප‍්‍රකාශය අභියෝගයට ලක් කල සසප මෙම ප‍්‍රදේශ තුල දශක ගනනාවක් තුල ජීවත් වන නිවැසියන් ට එම නිවාස අයත් බව පෙන්වා දුන්නේ ය. එසේම පැල්පත් තුල ජීවත් වන්නේ පාලකයන් විසින් ස්ථිර නිවාස ලබා නොදුන් නිසා බවත් කියා සිටියේ ය.

පැල්පත් වාසීන්ගේ නිවාස අයිතිය ආරක්ෂා කර ගැනීම කම්කරුවන්ගේ හා තරුනයන්ගේ සියලු අයිතීන් ආරක්ෂා කිරීම සඳහා කරනු ලබන සටනේ ම කොටසක් ය. අත්‍යාවශ්‍ය බඩුමිල වේගයෙන් ඉහල දමමින් ජීවන කොන්දේසි පහල දමද්දී කම්කරුවන්ගේ වැටුප් කැටි කිරීමට ද සහනාධාර කප්පාදුවට ද ආන්ඩුව ඉදිරියට ගොස් ඇත. නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය කප්පාදු කරමින් සිටී. තරුනයෝ විරැකියාව පිලිබඳ ප‍්‍රශ්නවලට මුහුන දෙති.

මෙම තත්වය තුල නිවාස අයිතිය ද කම්කරුවන්ගේ සහ සෙසු දුගීන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම ද පිනිස කම්කරු පන්තිය සියලු ධනපති පක්ෂවලින් ස්වාධීනව ඉදිරිපත් විය යුතු බව සසප කියා සිටී. සමාජවාදී ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් තොරව මෙම අයිතීන් දිනාගත නො හැකිය.

Share this article: