"කවුරු බලයට ආවත් අපට සෙතක් වෙලා නැහැ” කොලඹ පැල්පත් වාසීහු කියති

By Kalpa Fernando, 17 October 2011

"පක්ෂ දෙකම අපව රැවැට්ටුවා. යූඇන්පිය ගෙවල් දෙනවා කිව්වා. අපිට කාඩ් එකකුත් දුන්නා. නමුත් ගෙයක් තියා පර්චස් දෙකක් වත් ලැබුනේ නෑ. 1994 දී අපි ඡන්දය දුන්නේ චන්ද්‍රිකා කුමාරතුංගට මහල් නිවාස හදලා දෙනවා කිව්ව නිසා. ඒක පොරොන්දුවක් විතරයි. තියෙන එකාට හැම ආන්ඩුවක් ම හොඳට සලකනවා. දුප්පත් අපි හැමදාම පේමන්ට් එකේ. මේ කුනු ඇල එදා වගේම තමයි අදත්. වැසිකිලි ඇලට හරවලා තියෙන්නේ. ඇලේ ගේට්ටු වහලා. මේ ජරාව නිසා විෂබීජ හැම තැනම. දරුවෝ නිතරම ලෙඩ වෙනවා. මොන සෞඛ්‍ය ඇමති ද මේ ඇලවල් සුද්ද කලේ.”

කොලඹ මෝදර රෙඩ්බානා වත්තේ කාන්තාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කල ඉහත ප‍්‍රකාශය මගින් කැටිකර දැක්වූයේ, ප‍්‍රධාන ධනපති පක්ෂ දෙක ම -- ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ‍්‍රීලනිප) හා එක්සත් ජාතික පක්ෂය (එජාප) -- තමන්ගේ නිවාස ප‍්‍රශ්නය හෝ අන් කිසිදු ප‍්‍රශ්නයක් විසඳීමට අසමත් වීම පිලිබඳ ව සමස්ත ධනපති දේශපාලන සංස්ථාපිතය කෙරෙහි කොලඹ දුගී නිවැසියන් බහුතරයක් අතර පවතින අතෘප්තිය හා කෝපය යි.

රෙඩ්බානා වත්තේ ගල්වලින් හා ලෑලිවලින් සෑදූ ගෙවල් ඇත. ඒවා බොහොමයක් අඩි තුනක පාරක් දෙපස සෑදූ පේලි ගෙවල් ය. මෙම වත්තට ඇතුලු වීම සඳහා යන මාර්ගයේ ඇල දෙපස බොහෝමයක් පැල්පත් ගොඩනගා ඇත. අපද්‍රව්‍ය දැමීමෙන් දුගඳහමන ඇල මෙම නිවැසියන්ට මහත් හිරිහැරයකි.

ඔක්තෝබර් 8 දා පැවති පලාත් පාලන මැතිවරනයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) පරාජය කරමින් කොලඹ මහ නගර සභාවේ (කොනස) බලය යලි දිනා ගැනීමට එජාපය සමත් විය. පලාත් පාලන ආයතන 23ක් සඳහා එදින මැතිවරන පැවති නමුත් ප‍්‍රධාන පක්ෂ දෙකේම මැතිවරන උද්ඝෝෂන අතිශය තරඟකාරීව කේන්ද්‍රගත වුයේ කොලඹට ය.

මැතිවරන වේදිකාවේ ප‍්‍රධාන මාතෘකාව වුයේ කොලඹ නගරය ආසියාවේ වානිජ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ කොටසක් ලෙස අඩු ආදායම්ලාභී පවුල් 75,000ක් නගරයෙන් ඉවත් කිරීමේ ආන්ඩුවේ සැලැස්ම ය. එජනිස නගරාධිපති අපේක්ෂක මිලින්ද මොරගොඩ මෙන් ම ජනාධිපති රාජපක්ෂ හා පැල්පත්වාසීන් ඉවත් කිරීමේ සැලැස්ම ක‍්‍රියාවට දැමීමේ ප‍්‍රමුඛ වගකීම දරන, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද මෙම පවුල් කොලඹින් ඉවත් නොකරන බවට මැතිවරන ව්‍යාපාරය තුල දී පොරොන්දු විය. එහෙත් පැල්පත්වාසී ඡන්දදායකයන්ගෙන් බහුතරය ආන්ඩුවේ මේ බොරු පොරොන්දු විශ්වාස කලේ නැත.

එජාපය ද එහි නගරාධිපති අපේක්ෂක ඒ.ජේ.එම්. මුසම්මිල් ද ආන්ඩුවේ සැලැස්ම ක‍්‍රියාවට දැමීමට ඉඩ නො දෙන බවත් පැල්පත්වාසීන්ගේ නිවාස ප‍්‍රශ්නය විසඳීමට තමන් මුලුමනින් ම කැප වෙන බවත් කීහ. කෙසේ වුව ද පැල්පත්වාසීන්ගෙන් බහුතරයක් එජාපයට ඡන්දය දුන්නේ එහි පොරොන්දු එජනිසට වඩා විස්වාසනීය වූ නිසා නොව, ආන්ඩුවේ සැලැස්මට තම බරපතල විරුද්ධත්වය ප‍්‍රකාශ කිරීමක් ලෙස ය.

මැතිවරනයේ උනුසුම යාමටත් පෙර ආන්ඩුව තම සැලැස්ම ක‍්‍රියාවට දමන බව යලි තහවුරු කර ඇත. ඔක්තෝබර් 16 සන්ඩේ ඔබ්සවර් පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවක දී "මැතිවරන ප‍්‍රතිපල නොතකා කොලඹ නගරය සංවර්ධනය කිරීම ආන්ඩුවේ වගකීම” බව එජනිස මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත ප‍්‍රකාශ කර තිබේ.

එජාපය සහ එහි නගරාධිපති මුසම්මිල් ආන්ඩුව සමග සහයෝගයෙන් කොලඹ "සංවර්ධන සැලැස්ම” ක‍්‍රියාවට දැමීමට එකඟතාව දැනටමත් ප‍්‍රකාශ කර තිබේ. "නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන සංවර්ධන හා ලස්සන කිරීමේ වැඩපිලිවෙල කොලඹ ජනයාට තදින් බලපාන්නේ නැතිනම් ප‍්‍රශ්නයක් නැත” යයි ඔක්තෝබර් 16 දා සන්ඩේ ලීඩර් පුවත්පතට ඔහු කියා ඇත.

ප‍්‍රධාන ධනපති පක්ෂ දෙකම, පෙනී සිටින්නේ මහ ධනපති පන්තියේ ද දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ ද අවශ්‍යතා වෙනුවෙන් මිස පැල්පත්වාසින් ඇතුලු කම්කරු-පීඩිත ජනයාගේ උවමනාවන් වෙනුවෙන් නොවේ.

දශක ගනනාවක් කොලඹ පැල්පත්වාසීන් ජීවත් වන්නේ නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුලු මූලික පහසුකම් ප‍්‍රමානවත් තරම් නොමැතිව ය. ඔවුන් මුහුන දෙන රුදුරු ජීවන කොන්දේසි පිලිබඳ කිසිදු සැලකිය යුතු නිල වාර්තාවක් තවමත් ප‍්‍රසිද්ධ කර නො මැත. 2002 දී කොලඹ මහ නගර සභාව හා එහි සෞඛ්‍ය ඒකකය කල සමීක්ෂනයක දත්ත අනුව කොලඹ නගරයෙන් සියයට 50ක් ජීවත් වන්නේ පැල්පත්වලයි. කොලඹ නාගරික ජනතාව මුහුන දෙන ජීවන තත්වයන් පිලිබඳ සැබෑ තොරතුරු ආන්ඩුව සතු වූවත් ඒවා හෙලි නො කිරීමෙන් ම පෙන්නුම් කරන්නේ ආන්ඩුව ඔවුන් කෙරෙහි නො තැකීමයි. එමෙන් ම මෙම පහත් ජීවන කොන්දේසි හෙලිදරව් වීම නිසා තමන් වඩවඩාත් මහජන වෛරයට හා අපකීර්තියට ලක් වේ යන භීතිය ද ආන්ඩුවට පවතී.

කොලඹ නගරයේ පැල්පත් අක්කර 1,000ක පමන පැතිරී තිබේ. මෙම නිවෙස් තනා ඇත්තේ ලෑලි ගසා වහලට ටකරන් සෙවිලි කොට ය. නිවාස එකිනෙකට සම්බන්ධව පේලි වසයෙන් පිහිටා ඇත. මුහුනට මුහුනලා ඇති නිවාස පේලි වෙන් වන්නේ පටු අඩි පාරවල්වලිනි. පිරිසිදු පානීය ජලය, ක‍්‍රමවත් වැසිකිලි පහසුකම් බොහෝ පැල්පත්වාසීන්ට නැත. ඇතැම් පැල්පත් ප‍්‍රදේශවල පවුල් 100ක් පමන පාවිච්චි කරන්නේ එක වැසිකිලියකි. කුඩා ලමයි විවෘත කානු, දුම්රිය මාවත් වැසිකිලි ලෙස භාවිතා කරති.

මෙම ප‍්‍රදේශ අතරින් වඩාත් අයහපත් ජීවන කොන්දේසිවලට ගොදුරු වූ පෙදෙස් හඳුන්වන්නේ අපහාසාත්මක අර්ථයක් දෙන ආකාරයට "කොරියාව”, "බොස්නියාව”, "සෝමාලියාව” වැනි අන්වර්ථ නම්වලිනි. මෙම ප‍්‍රදේශවල ඇති පැල්පත් පෙට්ටි ගෙවල් ලෙස හැඳින්වේ. නිදා ගැනීම, ආහාර පිසීම වැනි සියලු කාර්යයන් සඳහා මෙම පැල්පත්වල ඇත්තේ එක් කාමරයකි. පැල්පත් ඇතුලත කොටස් දෙකක් වෙන් කර ඇත්තේ කාඩ්බෝඩ් ගසා හෝ ලෑලිවලිනි, නැතිනම් දොර රෙද්දකිනි.

බහුතරයක් පැල්පත් නිවැසියෝ ස්වයං රැකියාවල නිරතව සිටිති. ඇතැමෙක් වරාය, ධීවර සංස්ථාව හා කුඩා කර්මාන්ත ශාලාවල වැඩ කරති. රාජපක්ෂ ආන්ඩුවේ නගර සංවර්ධන සැලැස්ම යටතේ පදික වෙලඳුන් ඉවත් කිරීම නිසා ආදායම් මාර්ග අහිමි වූ තොටලඟ මහ වත්ත ප‍්‍රදේශයේ 45 හැවිරිදි දෙදරු පියෙක් මෙසේ පැවසී ය. "මම පේව්මනට් එකේ සෙල්ලම් බඩු වික්කේ. දැන් ඒක කරන්න බෑ. පොලීසිය අල්ලනවා. අවුරුදු 15ක් මම කරපු රස්සාව ඒක. දැන් කරත්තයක් කුලියට අරන් ඇවිද ඇවිද බඩු විකුනනවා. රුපියල් 500ක ලාභයක් හොයා ගන්නත් බොහොම අමාරුයි.”

මෙම පැල්පත් ප‍්‍රදේශවල ජීවත් වන තරුන තරුනයින් මුහුන දෙන ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වන්නේ විරැකියාවයි. අවුරුදු 15-19 වයස් කාන්ඩයේ විරැකියාව 2009 දී සියයට 20.9 සිට 2010 දී 21.1 දක්වා ඉහල නැග ඇත. වයස 20-29 අතර කාන්ඩයේ විරැකියාව 2010 දී සියයට 13.7 කි.

මෙම පැල්පත් ප‍්‍රදේශවල වයස අවුරුදු 14, 15 වියේ බාල වයස්කාර දරුවන්ට දරිද්‍රතාව හේතු කොට ගෙන අධ්‍යාපනය ලැබීමෙන් ඉවත් වී විවිධ කුඩා රැකියාවල යෙදීමට බල කෙරී තිබේ. දුප්පත්කම නිසා බොහෝ මව්වරු රැකියා සඳහා විදෙස් ගත වී ඇත. මේ නිසා බොහෝ පවුල්වල දරුවන් ඇති දැඩි වන්නේ ඥාතීන් සමීපයේ ය.

Familyඉබ්බා වත්ත ප‍්‍රදේශයේ නිවැසියන් කන්ඩායමක්

බ්ලූමැන්ඩල් ඉබ්බා වත්ත ප‍්‍රදේශයේ දෙදරු පියෙක් දරුවන්ගේ අධ්‍යාපන වියදම් ඉහල යෑමත් තම බිරිඳ විදෙස්ගත වීමට බල කෙරුනු හේතුත් පැහැදිලි කලේ ය: "ලොකු පුතා සාමාන්‍ය පෙල පන්තියේ. මාසයකට පන්ති ගාස්තු දෙතුන් දාහක් යනවා. අනික් පුතා නවය වසරේ. ඉස්කෝලේ හුනු තීන්ත ගාන්න සල්ලි දෙන්න ඕනා. ලයිට් බිල්, පහසුකම් ගාස්තු දෙන්න ඕනා. ශ‍්‍රමදානවලට යන්න ඕනා. ආන්ඩුවෙන් ගුරුවරුන්ගේ පඩි විතරයි දෙන්නේ. අනෙක් සියලු බර අපි දරන්න ඕනා. මගේ දවසේ පඩිය රුපියල් 600 යි. මම කොහොමද මේ ඔක්කොම කරන්නේ.”

බ්ලූමැන්ඩල් හා මෝදර ප‍්‍රදේශවල ජීවත් වන නිවැසියන් මුහුන දෙන තවත් ප‍්‍රශ්නයක් වන්නේ කැලිකසල බැහැර කිරීමේ කි‍්‍රයාවලිය යි. අඩි සීයක් පමන උස විශාල කුනු කඳු බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ දක්නට ලැබේ. එම කුනුකන්ද අසල ප‍්‍රදේශයේ ජීවත්වන 45 හැවිරිදි දෙදරු පියෙක් ලෝසවෙඅට මෙසේ පැවසීය: "මුලු කොලඹ ම එකතු වන කුනු මෙහෙටයි ගෙනාවෙ. ඒක කලේ නගර සභාව. කුනු ගඳ ඉවසන්න බෑ. උයාගත්ත බත්ටික කටට දා ගන්න විදිහක් නැහැ. ඒ තරම් අප්පිරියාවක් එන්නේ. පොලිතීන් නිසා වතුර පිරිලා. ලමයින්ට ලොකු අයට ඩෙංගු හැදුනා. මේ කුනු කන්ද අස් කරලා පොහොර හදන්න ප‍්‍රතිචකි‍්‍රකරනය කරන්න කවුරුවත් නැහැ. ටිපර් ගනන් කුනු මෙතෙනට ගෙනල්ලා දානවා. මදුරුවෝ බෝකලේ නගර සභාවයි.”

පොලිස් හා හමුදා මර්දනයට පැල්පත්වාසී තරුනයෝ නිරන්තරව මුහුන දෙති. මත්ද්‍රව්‍ය චෝදනා මත පොලීසිය බොරු නඩු අටවන බව ඔවුහු කියති. පැල්පත් වාසීන් ඉවත් කිරීම සඳහා ආන්ඩුව ගෙතූ තවත් ප‍්‍රලාපයක් වන්නේ මත් ද්‍රව්‍ය ජාවාරම හා පාතාල මැර කල්ලි පැතිරී ඇත්තේ මේ ප‍්‍රදේශ නිසා බවයි. නමුත් ඒවාට අනුබල දෙන්නේ ආන්ඩුවේ ප‍්‍රබල දේශපාලනඥයන් හා පොලීසිය ම බවට පැල්පත්වාසීහු චෝදනා කරති.

අපොස සාමාන්‍ය පෙල දක්වා අධ්‍යාපනය හැදෑරූ බ්ලූමැන්ඩල් කිඹුලා ඇල ප‍්‍රදේශයේ 23 හැවිරිදි තරුනයෙක් ලෝසවෙඅට මෙසේ පැවසී ය: "ඉන්නේ කිබුලා ඇලේ කිව්වම කව්රුවත් ගනන් ගන්නේ නෑ. රස්සාවල් නැති නිසාත් ඉගෙනගෙන නැති නිසාත් තරුනයෝ කුඩු බිස්නස්වලට ඇදිලා යනවා. රටම දන්නවා මේවා කරන්නේ ආන්ඩුවේ ඇමතිවරු මන්ත‍්‍රීවරු කියලා. අපිත් කැමතියි වැදගත් රස්සාවක් කරලා දෙමාපියන්ට සලකන්න.”

මධ්‍යම මත්ස්‍ය වෙලඳ සංකීර්නය කොලඹ නගරයේ සිට පෑලියගොඩට ගෙනයාම නිසා රැකියාව අහිමි වූ බ්ලූමැන්ඩල් හි 22 හැවිරිදි අවිවාහක තරුනයෙක් මෙසේ පැවසුවේ ය. "මාලු සිල්ලරට අරන් මම වික්කේ. අම්මා මාලු ඔතන රස්සාව කලේ. මාලු කඩේ පෑලියගොඩට ගෙනාපු නිසා පාන්දර 3 ට යන්න ඕනා. එහාට යන්න පාන්දර බස් නෑ. ත‍්‍රීවිලර් එකකට රුපියල් 300 ක් ඉල්ලනවා. ඒක හැමදාම කරන්න බෑ. අම්මා දැන් ගෙදර ඉන්නේ. මම මැනින් මාර්කට් එකේ එලවලු බක්කියක වැඩ. ඒකත් ඔරුගොඩවත්තට ගෙනියන්න හදනවා. අපි ජීවත් වෙන්නේ කොහොමද ? බඩගින්නේ එතකොට මැරෙන්නයි වෙන්නේ. මේ අසාධාරනය අපි කාට කියන්නද?

කොලඹ දුගී නිවැසියන් මුහුන දෙන මෙම කොන්දේසි ඊනියා නිදහසේ සිට මේ දක්වා ජාතික, පලාත් සභා හා පලාත් පාලන මට්ටමේ ආන්ඩු කල ශී‍්‍රලනිපය හා එජාපය ඇතුලු පාලක පන්තියේ සියලු පක්ෂ ඇතුලු සමස්ත ධනපති පන්ති පාලනයට ම එරෙහි දෝෂාභියෝගයකි.

Share this article: