රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව ආන්ඩුවේ දඩයමක්

By W.A. sunil , 1 October 2011

පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේ ආන්ඩුවේ වැඩපිලිවෙලට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටීම නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විරුද්ධව ආන්ඩුව දඩයමක් මුදාහැර ඇත. මෙහි කොටසක් ලෙස කොලඹ ලමා රෝහලේ අධ්‍යක්ෂ භාරයේ තිබු සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනියගේ පුද්ගලික ලිපිගොනුව පසුගිය සඳුදා (26) දුෂන හා වංචා විමර්ෂන කොමිසමේ නිලධාරියෙකු විසින් කිසිඳු පුර්ව දැනුම් දීමකින් තොරව රැගෙන ගොස් ඇත.

ලිපි ගොනුව උස්සා ඇත්තේ බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දෙවසරක පුහුනුවක් සඳහා නිවාඩු ලබා ගැනීමේ දී ඔහු වංචාවක් කර ඇති බවට වංචා විමර්ෂන කොමිසමට පැමිනිල්ලක් ලැබී ඇතැයි කියමිනි. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය පාදෙනියට විරුද්ධව පරීක්ෂනයක් පැවැත්වෙන බව ද ආන්ඩුව කියයි.

වෛද්‍ය පාදෙනිය මෙම චෝදනාව ප‍්‍රතිෂේප කරයි. කෙසේ වුවද එවැන්නක් සිදුවී ඇත්නම් එය පරිපාලනයට සම්බන්ධ කාරනාවක් නිසා ඒ සම්බන්ධව පරීක්ෂනයක් කලයුත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය මිස අල්ලස් හෝ දුෂන කොමිසම නොවන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කරයි.

වෛද්‍ය පාදෙනිය හා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට වෛද්‍ය උපාධිය පිරිනැමීමට ආන්ඩුව අවසර දීම ගැන විරුද්ධත්වය ප‍්‍රකාශ කිරීම නිසා උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක ඔහු හොරෙක් වංචනිකයෙක් හා සුදුසුකම් සම්පුර්න නොකල තැනැත්තෙක් ලෙස ප‍්‍රසිද්ධියේ විවේචනය කලේය. වෛද්‍ය සංගමය රුපියල් මිලියන 300 ක වන්දියක් ඉල්ලා ඊට එරෙහිව නඩු පවරා ඇත. වෛද්‍ය පාදෙනියගේ පුද්ගලික ලිපිගොනුව පැහැරගෙන යාම සහ ඔහුට විරුද්ධව දුෂන චෝදනා යටතේ නඩු පැවරීමට දැරෙන තැත ඉස්මත්තට ආවේ ඉන් පසුවය.

තර්ජනයේ කොටසක් ලෙස දුෂන හෝ වංචා විමර්ශන කොමිසම වෛද්‍ය පාදෙනියගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. ඔහුට විරුද්ධව කිසිඳු පැමිනිල්ලක් හෝ පෙත්සමක් ඉදිරිපත් කර නැති තතු තුල එවන් ප‍්‍රකාශයක් ලබා ගැනීම හුදෙක් ම තමන් පීඩාවට පත්කිරීමේ අදහසින් කෙරෙන්න්නක් බව පාදෙනිය කියයි. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකයන්ට දුරකතනයෙන් මරනීය තර්ජන කරන බව ද සංගමය කියයි.

දිසානායක මොන ම විරුද්ධත්වයක් හෝ නො තකා වෛද්‍ය විද්‍යාල ඇතුලු පුද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට කි‍්‍රයා කරන බව ප‍්‍රසිද්ධියේ තර්ජනාත්මකව ප‍්‍රකාශ නිකුත් කර ඇත. පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹෙන තැන් ගනනාවක් ද ඔහු නම් කර තිබේ.

සඳුදා වනවිට වෛද්‍ය පාදෙනියගේ ලිපිගොනුව ආපසු ලමා රෝහල වෙත ලබා නුදුන හොත් අඟහරුවාදා (4) සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැප්තැම්බර් 29 දා පැවති වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව තීන්දු කර ඇත.

විශ්ව විද්‍යාල පුද්ගලීකරනය කිරීමේ වැඩ පිලිවෙලෙහි කොටසක් ලෙස ආන්ඩුව පසුගිය මාසයේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් සවුත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ඇන්ඩ් මෙඩිසින් ආයතනය හෙවත් මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට වෛද්‍ය (එම්බීබීඑස්) උපාධිය පිරිනැමීමට අවසර ලබා දුන්නේය. මෙම විශ්ව විද්‍යාලයට වෛද්‍යවරුන් පුහුනු කිරීමේ නිසි පහසුකම් නැති නිසා ඉන් පිරිනමන උපාධි ශී‍්‍ර ලංකාව තුල වෛද්‍ය වෘත්තියේ යෙදීම සඳහා සුදුසුකමක් ලෙස පිලිගත නොහැකි බව ශී‍්‍ර ලංකාවේ වෛද්‍ය සභාව ප‍්‍රකාශ කල විට වෛද්‍ය සභාව විසුරුවා හරින බවට ඇමති දිසානායක තර්ජනය කලේය. ලංකාව තුල කි‍්‍රයාත්මක රෙගුලාසි අනුව උපාධිය ලැබුනත් වෛද්‍ය සභාවේ අනුමැතිය නැතිව වෛද්‍ය වෘත්තියේ යෙදීම තහනම් ය.

මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට උපාධි පිරිනැමීමේ අවසරය ලබාදීම නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය වැනසීමේ ආන්ඩුවේ පුලුල් සැලැස්මක කොටසකි. එමෙන්ම මෙය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නියෝග යටතේ සමාජ සුබසාධන කප්පාදු කෙරෙන ආන්ඩුවේ ආර්ථික ප‍්‍රතිසංස්කරනවලට සම්බන්ධිතය.

පුද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සිසුන් අතර මෙන් ම, වෛද්‍යවරුන් අතර ද බරපතල විරුද්ධත්වයක් මෝදුවෙමින් තිබේ. වෛද්‍ය සංගමය උද්ඝෝෂනයකට එලඹුනේ එහි ප‍්‍රතිපලයක් ලෙසය. කෙසේවුවද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආන්ඩුවේ මෙම පිලිවෙතට ඒ හැටියට විරුද්ධ නැත. එය විරුද්ධ වන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල "නියම ප‍්‍රමිතියකට කි‍්‍රයාත්මක” නොවීම සම්බන්ධයෙනි.

ගැඹුරු වන ලෝක ආර්ථික අර්බුදය යටතේ ලෝකයේ අන් සෑම රටකම පාලක පන්තීන් මෙන්ම සමාජ සුබසාදන හා කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට පහර එල්ල කෙරෙන ආර්ථික කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දැමීම හැර වෙනත් විකල්පයක් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට ද නැත.

එහෙයින් ම, ආන්ඩුවේ මෙම පිලිවෙතට විරුද්ධව ඉස්මතුවන කවර හෝ විරුද්ධත්වයක් ඉවසීමට ද ආන්ඩුව සුදානම් නැත. මුර්ග මර්දන නීති, බලහත්කාරය හා මිලිටරි-පොලිස් මර්දන විධික‍්‍රම යොදා ගනිමින් එවන් විරෝධතා මැඩීමට ආන්ඩුව අධිෂ්ඨාන ශීලීව සිටී. වැටුප් කප්පාදු කිරීමේ සැලැස්මක් වූ පුද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් පනතට එරෙහිව මැයි මාසයේ උද්ඝෝෂනයක යෙදුන නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන්ට මුර්ග පොලිස් ප‍්‍රහාරයක් එල්ල කර එක කම්කරුවෙකු ඝාතනය කල ආන්ඩුව, පසුගිය මාසයේ හිඟ වැටුප් ඉල්ලා උද්ඝෝෂනය කල ලංකා විදුලිබල මන්ඩලයේ කම්කරුවන්ට එරෙහිව අත්‍යවශ්‍ය සේවා නියෝග ක‍්‍රියාවට දැමීය. නිදහස් අධ්‍යාපන කප්පාදුවට එරෙහිව නැගෙන විශ්ව විද්‍යාල සිසුන්ගේ විරුද්ධත්වය මැඩීම සඳහා ඔක්තෝබර් මාසයේ සිට ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවත්නා රක්නා ලංකා ආරක්ෂක සේවය විශ්ව විද්‍යාල තුල යෙදවීමට ආන්ඩුව තීන්දු කර තිබේ.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහි මුදාහැර ඇති රාජ්‍ය දඩයම කම්කරු පන්තියට එරෙහිව තීව‍්‍ර කෙරෙන රාජ්‍ය ත‍්‍රස්තයේ කොටසකි. එහෙයින් ම එය සමස්ත කම්කරු පන්තියට කෙරෙන බරපතල අනතුරු ඇඟවීමකි. වෛද්‍ය සංගමයට එරෙහි දඩයම පරාජය කිරීමට කම්කරු පන්තිය පෙරට ආ යුතු ය.

Share this article: