කොලඹ නගරාධිපතිකමට තරග කරන මිලින්ද මොරගොඩ සූදානම් කරන්නේ කුමක් ද?

By Vilani Peiris, 4 October 2011

පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (එජනිස) කොලඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා තරග වදින මිලින්ද මොරගොඩ තමන් හඳුන්වා ගන්නේ "දුප්පතාගේ හිතවතා”, සියලු ජනවාර්ගික කොටස්වල "සුමිතුරා” හා කොලඹ අසිරිමත් පුරවරයක් කරන්නට පහල වී සිටින්නා ලෙස ය.

මොරගොඩ ගෙන්ගෙට ගොස් පැල්පත් වාසීන්ගේ දුක සැප සොයා බලයි. වතු රැස්වීම් පවත්වා නිවැසියන්ගේ ප‍්‍රශ්න විමසයි. ලෑලිවලින් තැනූ අබලන් පැල්පත් ද අපවිත‍්‍ර ජලයෙන් පිරි කානු ද හිරිකිතයෙන් පාවිච්චි වන වැසිකිලි ද දැක අකම්පලා වී සිටින මොරගොඩ වහ වහා ම වැසිකිලි, කැසිකිලි හා මනා නිවාස තනා දීමට ද පොරොන්දු නිකුත් කරයි.

මේ සියල්ලට ඉහලින්, තමන් පරම්පරා ගනනක් ජීවත් වූ නිවාසවලින් පවුල් 75,000ක් ඉවත් කිරීමේ ආන්ඩුවේ සැලසුම් ගැන කුපිත වී සිටින ජනයා අස්වැසීමත් ඔවුන්ගේ ඡන්ද ගරා ගැනීමත් පිනිස ඔහු දිවුරා කියා සිටින්නේ, කිසිදු පවුලක් එසේ කොලඹ නගරයෙන් ඉවත් නොකරන බවයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පාලක කට්ටුව විසින් මොරගොඩ තෝරාගෙන ඇත්තේ මහ ජනයාගේ ඇස්වලට වැලි ගැසීමට ය. පාලක පන්තියට දාසකම් කරන ජන මාධ්‍ය ද බෞද්ධ සංස්ථාපිතය ද මොරගොඩට සුදු රෙදි අන්දවා ඇති නිසා කොලඹ දුගී ජනයා ඉදිරියේ ඔහු මහජනයා ගැන තකන උපාසකයෙකු ලෙස මවා පෙන්විය හැකිය යි රාජපක්ෂ කල්පනා කරයි.

අන් සියල්ලටමත් වඩා, ලක්ෂ සංඛ්‍යාත කොලඹ දුගී ජනයාගේ දුක්ඛිත ජීවන කොන්දේසි මත ද කම්කරු පන්තිය රුදුරු ලෙස සූරා කෑම මත ද වැජඹෙන අධිරාජ්‍ය ගැති ප‍්‍රභූ පැලැන්තියේ පුද්ගලයෙකු වන මොරගොඩ ලවා සම්ප‍්‍රදායික ධනපති එක්සත් ජාතික පක්ෂයට (එජාප) තවමත් සහයෝගය දෙන මහ ව්‍යාපාරිකයන් කොටසකගේ සහාය ආන්ඩු පක්ෂයට කඩා ගැනීමට රාජපක්ෂට උවමනා ය.

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ප‍්‍රථම අධිපති හා මහ ධනපති මූල්‍ය සමාගම්කාරයෙකු ලෙස ප‍්‍රකට එන්.යූ. ජයවර්ධන පවුලේ අංකුරයක් වන මොරගොඩ ස්විට්සර්ලන්තයේ ද ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ද ව්‍යාපාර කලමනා කලමනාකාරය හැදෑරුවේ ය. ඇමරිකාවේ දී ඔහු දක්ෂිනාංශික කොන්සර්වැටිව් කන්ඩායම් සමග සමීප සම්බන්ධතා හදා ගත්තේ ය.

"මොරගොඩට එක්සත් ජනපද රිපබ්ලිකන් පක්ෂය සමග ද කොන්සර්වැටිව් හෙරිටේජ් ෆවුන්ඩේෂන් (ප‍්‍රතිපත්ති විශ්ලේෂක ආයතනයක්) සමග ද කිට්ටු සම්බන්ධකම් පැවතියේ ය” යි හිටපු ඇමරිකානු තානාපති ජෙෆ්රි ලූන්ස්ටෙඩ් වරෙක ප‍්‍රකාශ කලේ ය.

මොරගොඩ මර්කන්ටයිල් මර්චන්ට් බැංකු සමාගමේ ආරම්භක සභාපති විය. මෙම සමාගම මූල්‍ය සේවා, ව්‍යාපාර මූලෝපායන් සහ දේපල වෙලඳාමට සම්බන්ධ වානිජ සම්බන්ධතා රට තුල ද බහුජාතික සමාගම් සමග ද පවත්වා ගෙන යයි.

මොරගොඩ දේශපාලනයට එලිබැස්සේ 2001-2004 එජාප ආන්ඩුවේ මන්තී‍්‍රවරයෙකු හා ආර්ථික ප‍්‍රතිසංස්කරන විද්‍යා හා තාක්ෂන ඇමති ලෙස ය. ලංකාවේ මහ ධනපතියන් හා අධිරාජ්‍යවාදී බලයන් විසින් පිටුබලය දෙන ලද, එල්ටීටීඊය සමග ‘සාම කි‍්‍රයාවලියකින්’ දෙමල ධනපතියන්ට සීමිත බලය බෙදීමක් ලබා දීමේ ඊනියා දේශපාලන විසඳුමක් පිලිබඳ සැලසුම සමග ඔහු අනන්‍ය වී සිටියේ ය. ඒ නිසා දෙමල ජනයාගේ ඡන්ද ගරා ගත හැකිය යි රාජපක්ෂ ගනන් බලයි.

මොරගොඩ මෑත දී ඩේලි මිරර් පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවක දී මෙසේ පැවසී ය: "විවිධ ආගමික හා වාර්ගික ජන කන්ඩායම් අතර සැකය” පවතින තත්වයක "සියලු වාර්ගික කොටස් සමග එකට ජීවත් විය හැකි බව පෙන්විය යුතු ය.” ඔහු තව දුරටත් කියා සිටියේ "මගේ ප‍්‍රසිද්ධ වැඩ කටයුතුවල දී මෙවැනි [වාර්ගික]එකමුතුවක් සඳහා පෙනී සිටියෙමි” යනුවෙන් ය.

මෙය පචයකි. 2002 දී එජාප ආන්ඩුව එල්ටීටීඊය සමග ඇරඹූ ඊනියා සාම කි‍්‍රයාවලිය දෙමල පීඩිතයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ලබා දීමට ඇති කරගත් එකක් නො වේ. එහි එල්ලය වූයේ එල්ටීටීඊය ආන්ඩුවේ කනිෂ්ට සහකරුවෙකු ලෙස පත් කර ගනිමින් සිංහල-දෙමල කම්කරුවන් සූරා කෑමේ කොන්දේසි තහවුරු කර ගැනීම ය.

විශේෂයෙන් ම ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ට පක්ෂපාතී වැඩ පිලිවෙලකට මොරගොඩ කැපව සිටියේ ය. මෑත දී විකිලීක්ස් මගින් ප‍්‍රසිද්ධියට පත් කල ශී‍්‍ර ලංකාවේ හිටපු තානාපති ඈෂ්ලි විල්ස් රාජ්‍ය දෙපාර්තමේන්තුවට යැවූ කේබල් පනිවුඩයක සඳහන් කර තිබුනේ "2001 බලයට පත් වූ තැන් පටන් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ ශී‍්‍ර ලංකා විදේශ ප‍්‍රතිපත්තිය ඇමරිකාවට සමාන්තරව ගෙන යාමට පියවර තැබූ” බවත් එහි දී ජී.එල්. පීරිස් සහ මොරගොඩ යන ඇමතියන් වික‍්‍රමසිංහට ඉහලම සහය දුන් බවත් ය. "මොරගොඩගේ එල්ලය වූයේ ඉන්දියාව හා ඇමරිකාව සමග සබඳතා ඉහල නැංවීම” යයි කේබලය අවධාරනය කලේ ය. ඇමරිකානු ඔත්තු සේවා මොරගොඩ "ඉතාමත් සුදුසු” පුද්ගලයෙකු ලෙස හඳුන්වා ඇති බව විල්ස් සඳහන් කර ඇත.

2004 පෙබරවාරි මාසයේ මොරගොඩ එජාප කැබිනෙට්ටුවෙන් ඉල්ලා අස් වූයේ ඔහුට එරෙහිව දූෂන චෝදනා ඉදිරිපත් වීමත් සමග යි. මහජන ව්‍යවසාය පිලිබඳ පාර්ලිමේන්තු කමිටුවට එම චෝදනා ඉදිරිපත් වුවත්, ආන්ඩුවේ මුදුනන්ට හා මුදුන් නිලධරයට ඉදිරිපත් වන දූෂන චෝදනා මෙන් ම ඒවා ද නිසි පරීක්ෂනයකට භාජන වී එලිදැක නැත. විය යුතු පරිදි ම මොරගොඩ එම චෝදනා ප‍්‍රතික්ෂේප කලේය.

2007 ජනවාරි මාසයේ මොරගොඩ තවත් එජාප මන්තී‍්‍රන් 17ක් සමග රාජපක්ෂ ආන්ඩුවට කරනමක් ගැසුවේ ය. ඔවුන් ප‍්‍රකාශ කර සිටියේ රාජපක්ෂ ආන්ඩුව ඒ වන විට එල්ටීටීඊයට එරෙහිව යලි අරඹා තිබූ යුද්ධයට සහයෝගය දීමට ආන්ඩුවට එක් වූ බවය.

2009 මැයි මස එල්ටීටීඊය පරාජය කිරීමෙන් යුද්ධය අවසන් වන තෙක් දුන් සහායට තෑග්ගක් වශයෙන් රාජපක්ෂ නීතිය හා අධිකරන කටයුතු පිලිබඳ ඇමති පදවිය මොරගොඩට දුන්නේ ය. යුද්ධය අවසන් කෙරුනේ දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් ඝාතනයට ලක් කරමින් ඉමහත් ව්‍යසනයක් දෙමල ජනයා මත පටවමිනි. රාජපක්ෂ ආන්ඩුව යුද්ධය යොදාගත්තේ දකුනු ප‍්‍රදේශවල කම්කරුවන් හා අනෙකුත් පීඩිතයන් මත ද මර්දනය මුදාහැරීමටයි.

මේ ප‍්‍රහාරයන් කි‍්‍රයාත්මක කල ආන්ඩුවේ ඉහලම කොටස්කාරයෙකු වූ මොරගොඩයි, දැන්, විවිධ ආගමික හා ජනවාර්ගික කන්ඩායම් සහයෝගයෙන් ජීවත් වීම වෙනුවෙන් මම පෙනීසිටියෙමි යන ප‍්‍රලාපයක් ඇදබා ඇත්තේ!

2010 මහ මැතිවරනයේ දී මොරගොඩ පරාජය වූයේ ය. නමුත් 2011 මැයි මාසයේ ඔහු ජනාධිපතිගේ විශේෂ උපදේශකයකු ලෙස පත් කෙරින. ඇමරිකාව ඇතුලු බටහිර රටවල් ද ඉන්දියාව ද තමතමන්ගේ මූලෝපායික උවමනාකම් මත යුද්ධයේ දී සිදු කල මානුෂික අයිතීන් කඩකිරීම පිලිබඳ ප‍්‍රශ්න ඇද ආන්ඩුවට බලපෑම් කරන තත්වයක, අධිරාජ්‍යගැත්තෙකු වන මොරගොඩට මේ පත්වීම ලබා දී ඇත්තේ. එය, චීනයට පමනක් නො ව බටහිර රටවලට ද ගැතිව කි‍්‍රයාකිරීමට තමන් සූදානම් බවට රාජපක්ෂ යැවූ සංඥාවකි.

මොරගොඩගේ ලොකු ම බේගලය වන්නේ කොලඹ නගරයට "දින සියයක් ඇතුලත නව නගරයක් හා නව ජීවිතයක් ලබා දීමට මම පොරොන්දු වෙමි.” යි නිකුත් කර ඇති කරුනු 12හේ කි‍්‍රයාමාර්ගයයි. නගරයට නව කාර්යක්ෂම පාලනයක්, තොරතුරු දැනගැනීමේ අයිතිය, ලස්සන නගරයක්, රක්ෂා නැති තරුනයන්ට "පුරසවිය” වැඩපිලිවෙලක්, සෞඛ්‍ය සේවා වැඩිදියුනු කිරීම ආදී වශයෙන් ඡන්දය ඉල්ලන ධනපති පක්ෂවල අපේක්ෂකයන්ගේ ප්‍රෝඩා ප‍්‍රකාශ ඒවා අතර වෙයි.

තමන් සාමාජිකයෙකු ලෙස සිටි හා සිටින ආන්ඩු පලාත් පාලන ආයතවලට වෙන් කරන මුදල් ද කපා හැර දුගීන් වසංගත රෝගවලින් හා නිවාස නැති කම ඇතුලු අනේකවිධ ප‍්‍රශ්නවලින් දුක්ගැහැට විඳින තත්වයක් ඇති කර තිබෙන බව නො දන්නෙකු සේ ය මොරගොඩ කතා කරන්නේ.

ලොකුම බේගලය, නිවාස වලින් ඉවත් කෙරෙන පැල්පත්වාසීන්ට කොලඹින් ම නිවාස 35,000ක් අවුරුදු 3ක් ඇතුලත ලබා දෙන බවට දී ඇති පොරොන්දුවයි. ආරක්ෂක ලේකම් හා ඔහු යටතේ කි‍්‍රයාකරන නාගරික සංවර්ධන අධිකාරිය විටින් විට නිකුත් කරන ප‍්‍රකාශ අනුව එක් නිවසක් සැදීමට රුපියල් මිලියන 2ත් 2.5ත් අතර මුදලක් වැය වෙයි. නිවාස 35,000ක් හැදීමට ඒ අනුව වැය වන මුදල අඩුම ගනනේ රුපියල් මිලියන 70,000කි. නිවාස හදා දීමට භාන්ඩාගාරයට මුදල් වෙන් කල නොහැකි නිසා කොලඹ නගරයේ ඉඩම් විකුනා මේ මුදල් සොයා ගන්නා බව ආරක්ෂක ලේකම් කියයි. අවසානයේ සිදුවන්නේ පැල්පත්වාසීන් ඉවත්වන ඉඩම් විදේශ ආයෝජකයන්ට විකුනා ආන්ඩුවට මුදල් සොයාගැනීමයි.

ආන්ඩුවේ සැලැස්ම වී තිබුනේ එයයි. කොලඹ නගරයේ ඡන්දයෙන් දිනීම සඳහා, කෝපයට පත්ව සිටින නිවැසියන්ගේ ඡන්ද ගරාගැනීමට, එසේ නිවැසියන් ඉවත් නොකෙරෙන බව මොරගොඩ ද ආන්ඩු පක්ෂය ද බොරු කියයි. මොරගොඩ මහා ව්‍යාපාරිකයන්ගේ හා විදේශ ආයෝජකයන්ගේ ඉත්තෙක් ලෙස ආන්ඩුවේ සැලසුම් කි‍්‍රයාවට දැමීමට කටයුතු සූදානම් කරන්නෙකි.

එජාපයෙන් නගරාධිපති ධුරයට ඉදිරිපත් වන ඒ.ජේ.එම්. මුසම්මිල් තම ප‍්‍රතිවාදියා වන මොරගොඩට එරෙහිව, කොලඹ දුගී නිවැසියන්ගේ කෝපය ගසාකෑම සඳහා ආන්ඩුවේ සැලසුම් කි‍්‍රයාවට දමන්නට ඉඩ දෙන්නේ නැතැයි වහසි බස් දොඩයි. නමුත් මුසම්මිල් කරපින්නාගෙන ඉන්නේ රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව 2003 දී ඉදිරිපත් කල කොලඹ නගරය "මෙගාපෝලිස් නගරයක්” කිරීමේ සැලැස්මයි. රාජපක්ෂ ආන්ඩුව කි‍්‍රයාවට දමන්ට යන්නේ තවදුරටත් ධනපති පන්තියේ අවශ්‍යතා මත ඔපමට්ටම් කර සැකසූ මෙගාපෝලිස් වැඩසටහනම ය.

රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව මහධනපතියන්ගේ අනෙක් පක්ෂය වූ එජාපයෙන් විකල්පයක් ලැබෙන්නේ නැත. වැඩකරන ජනතාවට ඇත්තේ සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කරන සමාජවාදී විකල්පය පමනකි.

Share this article: