නසසපය ලංකාවේ පලාත් පාලන ඡන්දයට අවස්ථාවාදී පෙරමුනක් අටවයි

By K.Ratnayake, 3 October 2011

ශ්‍රී‍ ලංකාවේ හිටපු වම්මුන්ගේ පක්ෂයක් වන නව සම සමාජ පක්ෂය (නසසප) ඔක්තෝබර් 8 දින පැවැත්වෙන පලාත් පාලන ආයතන 23ක ඡන්දයේ දී කොලඹ නගරය පදනම් කර ගත් දෙමල ධනපති පක්ෂයක් වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුන (ප‍්‍රජපෙ) සමග සන්ධානයක් අටවා ගෙන ආයතන කීපයකට තරග වදියි.

නසසපය, මෙම ඡන්ද සන්ධානය ගලතා ගෙන ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට එරෙහිව දේශපාලනිකව සටන් නො කර, ධනපති ක‍්‍රමය තුල ම වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දිනාගත හැකිය යන මිථ්‍යාව වපුරවමින් ධනපති පක්ෂ හා කන්ඩායම්වලට ඔවුන් ගැට ගැසීමේ දේශපාලනය ඉදිරියට ගෙන යාමට යි.

කොලඹ මහ නගර සභාවට ප‍්‍රජපෙන් එහි නායක මනෝ ගනේෂන් ප‍්‍රමුඛ කන්ඩායමක් නසසපයේ සහයෝගය ඇතිව ඉදිරිපත් වෙයි. ප‍්‍රජපෙ යටතේ ම නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න මූලික කර ගත් කන්ඩායමක් කොලඹට ආසන්න දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවට තරග වදියි. මෙම පෙරමුනට එක්සත් සමාජවාදී පක්ෂය (එසප)ඇතුලු රැඩිකලුන් ලෙස වෙස්වලා ගත් කන්ඩායම් කීපයක ආධාරය ලැබෙන බව නසසපය ප‍්‍රකාශ කර ඇත.

ප‍්‍රජපෙ හා මනෝ ගනේෂන් දිගු කලක් දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) සමග සන්ධාන ගත ව සිටියහ. ඔහු 2001 අග සිට 2009 දක්වා එජාපය සමග සන්ධානයකින් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස තේරී පත්ව සිටියත්, 2010 මැතිවරනයේ දී පරාජයට පත් විය. මෑතක දී සිට ප‍්‍රජපෙය, එජාපෙන් දුරස්තව සිටින්නේ කොලඹ දෙමල ජනයා අතර තම පක්ෂය වැඩි තැනක් දරන නමුත් ඊට ඇති තරම් මන්තී‍්‍ර ධුර අපේක්ෂකත්වයන් නො ලැබෙන්නේ ය යි මැසිවිලි නගමිනි.

එජාප සමග ප‍්‍රජපෙට පැවති මේ සම්බන්ධතා, එය සමග ඡන්ද හවුලකට යාමට නසසපයට බාධාවක් වී නැත. එජාපය හා එහි නායක රනිල් වික‍්‍රමසිංහ සමග ද මනෝ ගනේෂන් සමග ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දිනා ගැනීමේ නමින් නසසපය හා කරුනාරත්න හවුල් කා ඇති බැවිනි.

කොලඹ මහ නගර සභා ඡන්දයේ කේන්ද්‍රීය ප‍්‍රශ්නය ලෙස මතුව ඇත්තේ නගරයේ ජීවත්වන පැල්පත් වාසී පවුල් 75,000ක් ඉවත් කර අල්ලා ගන්නා ඉඩම් ජාත්‍යන්තර ආයෝජකයින්ට හා රටේ මහ ධනපතියන්ට විකුනා දැමීමට ආන්ඩුව ඉදිරිපත් කර ඇති සැලැස්මයි. කොලඹ, දකුනු ආසියාවේ මූල්‍ය හා සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කිරීම ආන්ඩුවේ නව-ලිබරල් ධනපති ආර්ථික වැඩ පිලිවෙලේ කොටසකි.

මෙම සැලැස්මට එරෙහිව මහ ජන විරෝධය ඇවිලී ඇති නිසා පැල්පත් පවුල් ඉවත් කිරීමේ කිසිම සැලසුමක් තමන්ට නැතැයි ආන්ඩුව දැන් පලි ගසමින් කියා සිටී. බලයේ සිටින කාලයේ දුගීන්ගේ නිවෙස් ඉවත් කිරීමේ ප‍්‍රහාර එල්ල කල එජාපය මෙම නිවැසියන්ගේ අයිතීන් ගැන කිඹුල් කඳුලු හෙලන්නේ මහජන කෝපය තමන්ගේ වාසියට ගසා කෑමටය.

මනෝ ගනේෂන් තමන් කොලඹ නගරාධිපති ධුරයට සුසුදු වන්නේ මන්දැයි පැහැදිලි කරමින් නිකුත් කර ඇති ප‍්‍රකාශයේ මේ ප‍්‍රහාරය ගැන වචනයකුදු සඳහන් කර නැත. නගරය සම්බන්ධයෙන් ඔහුගේ "දැක්ම” එය "මානුෂවාදී ව සංවර්ධනය කිරීම” යයි සඳහන් කර ඇත. ඔහු පෙනී සිටින්නේ "නාගරික පොදු කාර්ය ව්‍යූහය සංවර්ධනය කිරීම සඳහා නගරයේ දේපොල වෘත්තීයමය ලෙස උපරිම ප‍්‍රයෝජනයට යෙදවීම” වෙනුවෙනි.

"කොලඹ වානිජ නගරයක් වන නිසා,” ආන්ඩුවේ කාර්යාල ඉවත් කර වානිජ හා වෙලඳ කටයුතු හොඳින් කර ගෙන යෑමට නගරය ව්‍යාපාරික ප‍්‍රජාවට නිදහස් කර දෙන ලෙස ඔහු මධ්‍යම ආන්ඩුවෙන් ඉල්ලා ඇත.

වෘත්තීයෙන් ව්‍යාපාරිකයෙකු ද වන මනෝ ගනේෂන්ගේ හා ප‍්‍රජපෙ වැඩපිලිවෙල තීන්දු වී ඇත්තේ ධනපතියන්ගේ අයිතීන් ආරක්ෂා කරන වෙලඳපොල ප‍්‍රතිපත්ති ගෙන යෑම මත ය. 2001 පිහිටවූ එජාපය ප‍්‍රමුඛ කර ගත් ආන්ඩුවට ඔහු සහයෝගය දුන්නේ මහ ව්‍යාපාරිකයන්ගේ හා අධිරාජ්‍යවාදී බලයන්ගේ පිටුබලය ඇතිව එල්ටීටීඊය සමග ඇති කර ගත් "සාම කි‍්‍රයාවලියට” ද ලෝක බැංකුව විසින් නිර්දේශිත කුප‍්‍රකට "යලි පුබුදමු ශී‍්‍ර ලංකා” (Regaining Sri Lanka) පිලිබඳ වැඩ පිලිවෙලට ද සහයෝගය දෙමිනි. මෙය කම්කරුවන්ගේ අයිතීන් ද ගම්බද දුගීන්ගේ සහනාධාර ද දරුනු ලෙස කප්පාදු කිරීමක් ඇරඹූ වැඩපිලිවෙලකි.

කොලඹ නගරයේ සිංහල, දෙමල හා අනෙකුත් ජන කන්ඩායම්වලට "සමානව සැලකීම හා සම අයිතීන් ලබා දීම” තම අභිලාෂය බව මනෝ ගනේෂන් සඳහන් කර ඇති පූච්චානම් අතර වේ. එහෙත් ඔහුගේ ඡන්ද ව්‍යාපාරය යන්නේ "දෙමල නායකයෙකු” නිසා දෙමල ජනයාගේ ඡන්දය තමන්ට ලැබිය යුතු බව අවධාරනය කරමින් දෙමල වාර්ගික හැඟීම් වලට පෝර දමන පෝස්ටර්, දැන්වීම් ඇතුලු ප‍්‍රචාරක ව්‍යාපාරයක් ලෙස ය.

නසසපයට මනෝ ගනේෂන්ගේ මෙම වර්ගවාදී ප‍්‍රචාරය ගැන කිසිදු විරුද්ධත්වයක් දක්වා නැත. මෑත දී එය ධනපති දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) දෙමල ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින එකම සංවිධානය ලෙස හුවා දැක්වීමට ඉදිරිපත් විය. නසසපය එසේ කලේ, ආන්ඩුවේ මිලිටරි පාලනයට විරුද්ධව ද ටීඑන්ඒ ඇතුලු දෙමල පක්ෂ කෙරෙහි විශ්වාස භංගයෙන් ද උතුරු-නැගෙනහිර දෙමල ජනයා නොසන්සුන් වන තත්වයේ දී ය. ටීඑන්ඒය දෙමල ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවට පුම්බා ඔවුන් එම පක්ෂය තුලට ගාල් කිරීම නසසපයේ උත්සාහය යි.

ප‍්‍රජපෙ මධ්‍යම කඳුකරයේ වතු කම්කරුවන් අතර කි‍්‍රයා කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු කොන්ග‍්‍රසයට (ඩීඩබ්ලිව්සී) නායකත්වය දීම මගින් එහි කම්කරු පන්ති මූලයන් පෙන්නුම් ‍කෙරෙන නිසා එය සමග පෙරමුනක් ගැසීම යුක්ති සහගත බව කරුනාරත්න ප‍්‍රකාශ කර ඇත. එහෙත්, අනෙකුත් වෘත්තීය සමිති මෙන් ම, ඩීඩබ්ලිව්සී ද කම්කරුවන් අතර අපකීර්තියට පත්ව සිටින්නේ දරිද්‍රතා වැටුප් මට්ටම් පැටවීමට වතු හාම්පුතුන්ට උදව් දෙන සංවිධානයක් ලෙස යි.

මේ අතර, නසසපය සිය ඡන්ද සන්ධානය වෙනුවෙන් දෙහිවල-ගල්කිස්ස නගර සභාව සඳහා ප‍්‍රකාශයට පත් කර ඇති වැඩපිලිවෙල පක්ෂයේ ධනේශ්වර ගැති පිලිවෙත එලි දරව් කරන කදිම උදාහරනයකි. එය සමාන වන්නේ ධනපති පක්ෂ මැතිවරන කාලයට ඡන්දය ගරාගැනීමට ඉදිරිපත් කරන බේගල් පොරොන්දු හා රැවටිලි කතාවලට ය.

"සංචාරකයන් හා විදෙස් ආයෝජන මුල් කරගත් අසාර ආර්ථික සැලසුම් ආන්ඩුව බලවත් මූල්‍ය අර්බුදයකට හිර කර ඇත” යි සඳහන් කරන නසසප වැඩපිලිවෙල, ආන්ඩුව අර්බුදයෙන් ගොඩ එන්නට තැත් කරන්නේ රටේ භූමිභාග දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන්ට විකුනා දමා මුදල් උපයා ගැනීමෙන් යයි චෝදනා කරයි. මෙම ප‍්‍රකාශ ලංකාව ඇතුලු සෑම රටක් ම අලලා ගෙන ඇති ලෝක ධනවාදයේ අර්බුදය ද ඉන් කම්කරු පන්තිය ඉදිරියේ මතු වී ඇති අන්තරායන් ද වහංගු කරන ප‍්‍රකාශයන් ය.

කොලඹින් පැල්පත් වාසීන් ඉවත් කිරීම පරාජය කලයුතු බව ප‍්‍රකාශ කරන නසසපය ඔවුන්ට තට්ටු නිවාස සාදා දීම හා ජලය විදුලිය හා "විකල්ප ගෑස්”ලබා දීම ද කල යුතු බව කියා සිටී. මේවා හිස් වාගාලාපයන් ය. ඒවා කරන්නේ කෙසේ දැයි නසසපය කිසිවක් කියා නැත.

ආන්ඩුව සිය සැලසුම අරඹමින් පසුගිය අවුරුද්දක කාලය තුල ගෙවල් 200කට අධික ගනනක නිවැසියන් ද දහස් ගනනක් පදික වෙලඳුන් ද බලහත්කාරයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය යටතට ගෙන ඇති නාගරික සංවර්ධන අමාත්‍යංශය පොලීසියේ හා මිලිටරියේ සහායෙන් කි‍්‍රයා කලේ ය. නසසපය හෝ හවුල්කාර ප‍්‍රජපෙ මෙම දුගීන් ආරක්ෂා කිරීමට කිසිවක් කලේ නැත.

නසසපයේ වාගාලාප එල්ල කර ඇත්තේ කම්කරු පන්තිය නායකත්වය ගෙන, ප‍්‍රහාරයට ලක් වන දුගී නිවැසියන් ආරක්ෂා කිරීමට ද ඔවුන්ට පහසුකම් සහිත නිවාස ලබා ගැනීමට ඇති අයිතිය දිනා ගැනීමට ද සටන් කිරීම වැලැක්වීමට යි. නිවාස අයිතිය තහවුරු කිරීමට කෝටි සංඛ්‍යාත මුදල් වෙන් කල යුතු ය. එම සම්පත් සොය ගත හැක්කේ ලාභ ගරන මහ ව්‍යාපාර කම්කරු පාලනය යටතේ ජනසතු කරන සමාජවාදී පිලිවෙත් කි‍්‍රයාවට දැමීම මගිනි. එම පිලිවෙත් කි‍්‍රයාවට දැමීමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ආ යුතු ය.

නසසපය මෙම වැඩපිලිවෙලට ඉඳුරාම විරුද්ධ ය. එය මැදිහත්ව සිටින්නේ සමාජවාදී පිලිවෙත් මත දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමේ මග හරස් කිරීමට යි.

කරුනාරත්න මෙම ධනපති කන්ඩායම් සමග අවස්ථාවාදී පෙරමුනු ගැසීම ට්‍රොට්ස්කිවාදී කඩතුරාවකින් වසා දැමීමට නරුම ලෙස තැත් කරයි. නසසපයට හා කරුනාරත්නට - මේ මවාපෑම් හැර - ට්‍රොට්ස්කිවාදය සමග කිසිදු සම්බන්ධයක් ඇත්තේ නැත.

ලක්බිම නිවුස් පුවත්පතට ඔක්තෝබර් 2 දින ලියූ කොලමක ලියොන් ට්‍රොට්ස්කි ඉදිරිපත් කල නොනවතින විප්ලව න්‍යායේ ප‍්‍රවාදයන්ගෙන් උපුටා දැක්වීම් කරමින් තමන්ගේ අවස්ථාවාදී පිලිවෙත යුක්තිසහගත කිරීමට කරුනාරත්න තැත් කර ඇත. ට්‍රොට්ස්කිගෙන් කර ඇති උපුටා දැක්වීම මෙසේ ය: "පමා වී සිදු වන ධනේශ්වර වර්ධනයෙන් යුත් රටවල් සම්බන්ධයෙන්, විශේෂයෙන් විජිත හා අර්ධවිජිත රටවල් සම්බන්ධයෙන් නොනවතින විප්ලව න්‍යාය ඉස්මතු කරන කරුන වන්නේ, එම රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ජාතික විමුක්තිය දිනා ගැනීමේ කර්තව්‍යයන්ට පරිපූර්න වූත්, අව්‍යාජ වූත් විසඳුමක් ඇති විය හැක්කේ යටත් ජාතියේ නායකයා වශයෙන් - අන් සියල්ලට ම වැඩියෙන් ගොවි ජනතාවගේ නායකයා වශයෙන් - කම්කරු පන්තිය පිහිටුවන ඒකාධිපතිත්වය තුලින් ම පමනකි යන්නයි.”

ට්‍රොට්ස්කි ඒ සමග ම ඉදිරිපත් කර ඇති ප‍්‍රවාදයේ මේ කොටස ද කරුනාරත්න උපුටා දක්වයි: "කම්කරු පන්තිය ගොවි ජනතාවන් සමග ඇති කර ගන්නා සන්ධානයකින් තොරව ප‍්‍රජාතන්ත‍්‍රීය විප්ලවයේ කර්තව්‍යයන් ඉටුකිරීම තබා බැරෑරුම් ලෙස ඉස්මතු කිරීමවත් කල නොහැකි ය. එනමුත් ජාතික ලබරල් ධනේශ්වරයේ බලපෑමට විරුද්ධව කරන සමහන් කල නොහැකි අරගලයක් තුලින් හැර වෙන කිසි ම විදියකින් මෙම පන්ති දෙක අතර සන්ධානය ගොඩ නැගිය නොහැකි ය.”

කරුනාරත්න මෙම උපුටා දැක්වීම් කර ඇත්තේ ට්‍රොට්ස්කිගේ එම ප‍්‍රවාදයන්ට ප‍්‍රතිවිරුද්ධව තමන් කි‍්‍රයා කිරීම යුක්ති යුක්ත කිරීමට ය.

ඔහු ට්‍රොට්ස්කිගෙන් උපුටා දක්වා ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර්තව්‍යයන් ඉටු කිරීම ගැන හෝ සමාජවාදී විප්ලවය ගැන කැක්කුමකින් නො වේ. නො නවතින විප්ලව න්‍යාය විකෘත කර, කම්කරුවන් හා තරුනයන් එම න්‍යාය හා කි‍්‍රයාමාර්ගය සඳහා සටනට එලඹීම නතර කිරීමට ය.

නසසපය කි‍්‍රයා කරන්නේ - ට්‍රොට්ස්කි අශමනීය අරගලයකට ලක් කල යුතු බව කියූ ධනේශ්වරයේ බලපෑම කම්කරු පන්තිය තුලට ගෙන එන වාහකයක් ලෙස ය. එහි අලුත් ම උදාහරනය නම් ප‍්‍රජාපෙ සමග නසසපය ඇති කරගෙන තිබෙන හවුල යි.

ගතවූ අවුරුද්ද තුල විවිධ ධනපති හා දක්ෂිනාංශික කන්ඩායම් ප‍්‍රගතිශීලී ලෙස හුවා දක්වා ඒවා සමග පෙරමුනු ගැසීමට තමන් දැරූ තැත ගැන කරුනාරත්න මීට පෙර ලක්බිම නිව්ස් පත‍්‍රයට ලියූ කොලමක මෙසේ සඳහන් කර ඇත: "ස්ථිරසාර ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාමාර්ගයකට සටන් කිරීමට උවමනා රැඩිකල් ප‍්‍රවනතාවයක් යූඇන්පිය තුල විය. දෙවනුව, වමේ පැරනි නායත්වයෙන් එපිටට ගමන් කරන තවත් කන්ඩායමක් ද විය.”

එජාපයේ ස්ථිරසාර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රැඩිකලූන් ලෙස කරුනාරත්න විසින් හුවා දක්වනු ලැබූයේ ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරයන්ට කුහක විරුද්ධත්වයක් මවා පා මහජන විරෝධය ගසා කෑමට කි‍්‍රයා කල දක්ෂිනාංශිකයන් කන්ඩායමකි.

ඊනියා පැරනි වම, ආන්ඩුවට හවුල් සමසමාජ පක්ෂය හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයයි. මේ පක්ෂ දෙකේ නායකත්වයෙන් ඉවතට යමින් සිටියවුන් ලෙස කරුනාරත්න හුවා දක්වන්නේ රාජපක්ෂ ආන්ඩුවේ පොලිස් රාජ්‍ය පියවර ගැන වංචනික දෙඩවිලි කලවුන් ය. ඔවුන් ද ඇතුලු මේ පක්ෂ දෙක උතුරු-නැගෙනහිර යුද්ධයට සහාය දී වැඩකරන ජනතාවගේ අයිතීන් උදුරා ගැනීමට අඛන්ඩව සහයෝගය දෙයි. මෙම කන්ඩායම් දෙක සමග හවුලකට යාම අසාර්ථක වූ තතු තුල ප‍්‍රජපෙ සමග අලුත් පෙරමුන ඇටවූ බව කරුනාරත්න සඳහන් කරයි.

මෙම විවිධ ධනපති පක්ෂ කන්ඩායම් එකතු කර තමන් ගොඩ නගන්නට යන්නේ "සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරයක්” බව කරුනාරත්න ප‍්‍රකාශ කර ඇත. ප‍්‍රජපෙ සමග ඇති කරගෙන තිබෙන හවුල එහි ඉහල ප‍්‍රතිපලයක් ලෙස ඔහු දක්වයි. තමන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරයක් සෑදීමට විලිපහරන බවට කරුනාරත්න කරන ප‍්‍රකාශය සංකේතාත්මක ය. මන් ද යත් එම නමින් හැඳින්වුනු පක්ෂ ධනේශ්වරකරනය වී ධනේශ්වර කඳවුරට මාරු වී බොහෝ කල් ය. කරුනාරත්නට හදන්නට තැත් කරන්නේ එබඳු ධනේශ්වර පෙරමුනකි.

1964 ලංකා සමසමාජ පක්ෂය (ලසසප), ධනපති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග හවුල් ආන්ඩුවක් පිහිටු වූ විට කරුනාරත්න ලසසප සාමාජිකයෙකු ලෙස ඊට සහයෝගය දුන්නේ ය. මෙම හවුල් ආන්ඩුව සිදු කල සාපරාධී දේශපාලන කි‍්‍රයාවලට ලසසපය මෙන් ම එහි සාමාජිකයන් ලෙස පසුව නසසපය පිහිටුවීම ට මූලිකත්වය ගත් සියලු දෙනා වග කිව යුතු ය. 1978 පක්ෂය පිහිටු වූ තැන් පටන් නසසපය, එජාපය, ශී‍්‍රලනිපය, හා දෙමල පක්ෂ ඇතුලු සියලු ධනපති සංවිධාන සමග අධම උපාමාරුවල යෙදුනේ ඒවා හුවා දක්වමින් වැඩ කරන ජනයා ඒවාට ගැට ගැසීමට ය.

අනවරතයෙන් දකුනට ගිය මෙම පක්ෂය අධිරාජ්‍ය ගැති ප‍්‍රතිපත්ති වඩවඩාත් ප‍්‍රකට කර ඇත. ප‍්‍රධාන බලයන්ගේ බැකිම ඇතිව ඇරඹූ යූඇන්පී "සාම කි‍්‍රයාවලියට" මෙම පක්ෂය සහයෝගය දුන්නා පමනක් නොව රාජපක්ෂ ආන්ඩුව යලි මුර්ග ලෙස යුද්ධය දියත් කල අවස්ථාවේ එය නතර කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටියේ එම අධිරාජ්‍යවාදී බලයන්ගෙන් ම ය.

යුද්ධයෙන් පසු ඔහු ටීඑන්ඒය සමග දේශපාලන විසඳුමකට එන ලෙස කොලඹ ආන්ඩුවට බලපෑම් කිරීම සඳහා ඇමරිකාව හා ඉන්දියාව මැදිහත් වීමකට සහයෝගය පල කලේ ය. නසසපය එසේ සහාය පලකලේ ඇමරිකාව හා ඉන්දියාව ඇතුලු ප‍්‍රධාන බලයන් යුද්ධයට මුලුමනින් ම සහාය දුන් බවත් ඔවුන් උනන්දු වී සිටින්නේ දෙමල ජනයාගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් ගැන නො ව තමන්ගේ මූලෝපායික උවමනාවන් ගැන බව දැනුවත් ව ය.

ට්‍රොට්ස්කි අවධාරනය කල පරිදි, ධනපති පන්තියේ බලපෑමට එරෙහි අශමනීය අරගලය, නසසප බඳු ධනපති කන්ඩායම් වලට වාම කවරය සපයන පක්ෂවලට එරෙහි අරගලය සමග ද බැඳී තිබේ. එම අරගලයේ යෙදෙමින් කම්කරු පන්තිය ධනේශ්වරයෙන්, වෘත්තීය සමිති සහ අවස්ථාවාදී සංවිධානවලින් දේශපාලනිකව ස්වාධීන කර පීඩිත ජන කොටස්වල නායකත්වයේ පිහිටුවීමට ද සමාජවාදී පිලිවෙත් කි‍්‍රයාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ ද ඉදිරි දර්ශනය සපයන්නේ සමාජවාදී සමානතා පක්ෂය යි. මෙම අරගලය පාදක වී ඇත්තේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලය මතය.

Share this article: