නව සම සමාජ පක්ෂය සමාජවාදය හා ඔක්තෝබර් විප්ලවය ප‍්‍රතික්ෂේප කරයි

Sri Lankan NSSP repudiates socialism and the October Revolution

Statement of the Socialist Equality Party (Sri Lanka) , 25 October 2011

ශ‍්‍රී ලංකාවේ නව සම සමාජ පක්ෂය ට්‍රොට්ස්කිවාදයට සහ සමාජවාදී විප්ලවයට තම සතරුභාවය ප්‍රකාශයට පත් කරයි.

නව සම සමාජ පක්ෂය (නසසප) සමාජවාදය සඳහා අරගලය ප‍්‍රතික්ෂේප කර, ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායට පහර දෙමින්, ඔක්තෝබර් විප්ලවය ඓතිහාසික වැරැද්දක් බව ද ප‍්‍රකාශ කර ඇත.

නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න මේ ප‍්‍රකාශ නිකුත්කර ඇත්තේ, ඔහුගේ පක්ෂය ධනපති පක්ෂ සමග නව සන්ධානයන් තනා ගනිමින්, අධිරාජ්‍යවාදී බලයන්ට සෘජුව ම සේවය කිරීමට සූදානම් වන තතු තුල ය. නසසපය මෑතක පැවැත්වූ පලාත් පාලන මැතිවරනයට තරග කිරීම පිනිස දෙමල ධනපති පක්ෂයක් වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුන (ප‍්‍රජපෙ) සමග සිය සන්ධානය දැඩි කලේ ය. කෙසේ වෙතත් මෙම ආස්ථානයන්හි අර්ථභාරය ධනේශ්වර පක්ෂ සමග නසසපයේ මූලධර්ම විරහිත නව සන්ධාන ඇටවීමට වඩා බොහෝ දුර දිග යයි.

සැප්තැම්බර් 4 දා සති අන්ත ලක්බිම නිව්ස් පුවත් පතේ සිය තීරුවෙහි කරුනාරත්න මෙසේ ලිවීය. "බටහිර සමාජවාදී දේශපාලන ව්‍යාපාරය තුල සාකච්ඡා කෙරී තිබෙන ආකාරයට අපගේ වැනි දුප්පත්, ආර්ථික වශයෙන් පසුගාමී රටක සමාජවාදය ඇතිකල නොහැකි ය. සමාජවාදය එලඹෙන්නේ ලෝක ස්තිථියක් ලෙස ධනේශ්වර ආර්ථිකයේ වර්ධනයෙන් පසුව ය. ලෝක ධනවාදයේ පදනම මත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝක ආන්ඩුවක් ඇතිවිය යුතු ය. එහි පුපුරායාම මානව වර්ගයා සමාජවාදය කරා ගෙනයයි.”

එවන් ප‍්‍රකාශ තුලින් පැහැදිලි වන්නේ නසසප ශ‍්‍රී ලංකාවේ ද ආසියාවේ ද සමාජවාදය සඳහා අරගලයට අත්‍යන්තයෙන්ම සතුරු බවයි. නසසපයේ දෘෂ්ටි ආස්ථානය අනුව අනන්ත කාලයකට සමාජවාදය සඳහා අරගලය න්‍යාය පත‍්‍රයට ඇතුලත් නොවේ. ඊට විපරීතව කම්කරුවන් මුහුන දෙන්නේ, ධනවාදය පෙරලා දැමීමේ අරගලයකට නොව, ලෝකය පුරා ව්‍යාපාර හිමියන් හා ප‍්‍රමුඛ ධනේශ්වර ආන්ඩු, සාමයේ මාවතට ගෙන එමින් මහජනතාවට "ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝක ආන්ඩුවක්” ප‍්‍රදානය කිරීම සඳහා ඔවුන් ඒත්තුගැන්වීමේ දීර්ග අරගලයකට ය.

මෙම ඉදිරිදර්ශනය මනෝරාජික ය, ප‍්‍රතිගාමී ය. ගැඹුරු වන ආර්ථික අර්බුදයකට හා සිය රටවල් තුල මහජන විරෝධතාවන්ට මුහුන දෙන තතු තුල බටහිර අධිරාජ්‍යවාදී බලවතුන්, චීනය, ඉරානය වැනි රටවලට එල්ල කරන මිලිටරි තර්ජන දැඩි කරයි. දැන් වොෂින්ටනය සිය පුරවැසියන් පවා නඩු විභාග නොමැතිව ම මරා දැමීමේ අයිතිය කියාපායි. සමාජ සමානතාව හා ලෝක ආර්ථික නිෂ්පාදනයේ කම්කරු පන්තික ප‍්‍රජාතන්ත‍්‍රීය පාලනයක් ඇති කිරීම සඳහා කරන සමාජවාදී අරගලයෙන් තොරව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා කිසිදු බැරෑරුම් අරගලයක් පැවතිය නොහැකිය.

පසුගාමී රටවල සමාජවාදය සඳහා අරගලය ප‍්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව කරුනාරත්න, ලියොන් ට්‍රොට්ස්කි විසින් වර්ධනය කල නොනවතින විප්ලව න්‍යායට පහරදීම අරඹයි. පසුගාමී රටවල සමාජවාදය සඳහා හැකියාවක් නැතැයි අවධාරනය කරන නසසප මෙන් නොව "ඔහු, (ට්‍රොට්ස්කි) පසුගාමී රටක බලය ගැනීමට ඇති හැකියාව පූර්වාපේක්ෂා කලේය. වෙනත් වචන වලින් කිවහොත් ලෝකයේ අසමාන වර්ධනය, ලෝක සමාජවාදයට කෙටි මාවතක් විවරකර තිබේ.”

නසසප ට්‍රොට්ස්කිගේ ආස්ථානයට ගැඹුරින්ම සතුරුය. අධිරාජ්‍යවාදී අවධිය තුල පසුගාමී රටවල ධනපති පන්තීන්ට ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයේ කර්තව්‍යයන් ඉටුකල නොහැකි බව ට්‍රොට්ස්කි පැහැදිලි කලේය. 18 වෙනි සියවසේ ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයන් මගින් ඉෂ්ට කලා වූ කර්තව්‍යයන් වන ගොවීන්ට ඉඩම් ලබා දීම, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ස්ථාපිත කිරීම හා වැඩවසම් හා ආගමික පසුගාමිත්වයට එරෙහිවීම හෝ ජාතික එකමුතුව තහවුරු කිරීම හා අධිරාජ්‍යවාදී පීඩනයෙන් අව්‍යාජ ස්වාධීනත්වය සහ නිදහස දිනාගැනීම හෝ මෙම ධනපති පන්තීන්ට කල නොහැකි ය.

ඒ වෙනුවට, ලෝක සමාජවාදය සඳහා අරගලයේ කොටසක් හා සමාජවාදී විප්ලවයේ අතුරු ඵලයක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයේ සාරභූත කර්තව්‍යයන් සාක්ෂාත් කල හැක්කේ පීඩිත ජනතාවගේ නායකත්වය ගන්නා කම්කරු පන්තියට පමනි. මෙම ක‍්‍රියා කලාපය ඉටුකිරීමේ දී කම්කරු පන්තිය සෑම ධනපති පක්ෂයකින් ම වෙන්ව සිය දේශපාලන ස්වාධීනත්වය පිහිටුවා ගත යුතු බව, ට්‍රොට්ස්කි අවධාරනය කලේය.

සෝවියට් සංගමය පිහිටුවීමට මග හෙලි කරමින් රුසියානු බොල්ශෙවික් පක්ෂය 1917 ඔක්තෝබරයේ බලය අල්ලා ගැනීමට ද යුරෝපය හා ආසියාව කරා සමාජවාදී විප්ලවය පැතිරවීමේ අරගලයට ද පාදක වූයේ මෙම ඉදිරිදර්ශනය යි. නො නවතින විප්ලවයේ න්‍යායට සතුරුවීම නිසා ම කරුනාරත්න, සෝවියට් සංගමයට පහරදීම කරා ගමන් කරමින් එයට සමාජවාදය සමග කිසිදු සම්බන්ධයක් නැතැයි කියා සිටී.

ඉන් පසුව 1920 ගනන්වල යුරෝපය තුල පැනනැගි විප්ලවවාදී අරගල පරාජයට පත්වීම නිසා, ට්‍රොට්ස්කිගේ ඉදිරිදර්ශනයෙහි ප‍්‍රතිපලය වූයේ, "ජනසතු කරන ලද පසුගාමී ආර්ථිකයක් සමගින් තනි පක්ෂයක රාජ්‍යයක් ලෙස රුසියාව හුදකලා වීම” බව කරුනාරත්න ලියයි. "පසුව කී රට [රුසියාව] කිසිදු දේශපාලන අර්ථයකින් සමාජවාදී රාජ්‍යයක් නොවූ අමු විකෘතයකි.”

"කිසිදු දේශපාලන අර්ථයකින්” සමාජවාදී නොවූ සෝවියට් සංගමය "විකෘතයක්” ලෙස හැඳින්වීමෙන් කරුනාරත්න ඇඟවුම් කරන්නේ, 1917දී කම්කරු පන්තිය රුසියාවෙහි බලය ගැනීම වැරැද්දක් බවත් ඓතිහාසික ආවෘත අන්තයක් බවත් ය. විප්ලවය සිදු නොකල යුතුව තිබුනි.

මෙය ඇඟවුම් කරන්නේ, 20 වන සියවසේ සමාජවාදය සඳහා ගෙන ගිය සමස්ත විප්ලවවාදී අරගලය ම ඓතිහාසිකව අනෛතික වූ බව පමනක් නොව, සෝවියට් සංගමයේ හා කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ස්ටැලින්වාදී පරිහානියට එරෙහිව මාක්ස්වාදයේ මූලධර්ම මත පිහිටා ගත් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ අරගලය හා කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය පිහිටුවීම සඳහා වූ ට්‍රොට්ස්කිවාදයේ සටන ද පසෙකට අතුගා දැමීම යි.

සතුරු අධිරාජ්‍යවාදී බලයන් විසින් වට ලනු ලැබ පැවති, යුද ව්‍යසනයට ලක්වූ ආර්ථිකයක් සහිත ලදරු සෝවියට් රුසියාව තුල පැනනැගි නිලධාරී තන්ත‍්‍රය, ලෝක සමාජවාදී විප්ලවය සඳහා අරගලයට ද පුද්ගලිකව ම ට්‍රොට්ස්කිට ද එරෙහි වූහ. ඒ වෙනුවට නිලධරය "තනි රටක සමාජවාදය” වෙනුවෙන් තර්ක කලේය. සිය ඊනියා විප්ලවය පිලිබඳ "අවධි දෙකේ” න්‍යාය මත පදනම්වූ නිලධරය, පසුගාමී රටවල කම්කරුවන් සමාජවාදය සඳහා අරගලය ඈත අනාගතයේ ඓතිහාසික අවධියකට අතහැර දමා, ප‍්‍රජාතන්ත‍්‍රයවාදය සඳහා පලමුව සටන් කල යුතු බව කියා සිටියේය.

පසුගාමී රටවල පලමුව සමාජවාදය නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතිකල යුතු යයි කරුනාරත්න අවධාරනය කරන්නේ, සිය පක්ෂය අධිරාජ්‍යවාදයේ හා දේශපාලන ප‍්‍රතිගාමිත්වයේ සේවය සඳහා සූදානම් කරමිනි. නසසප නායකයා මෙසේ ලියයි: "අප තැත්කරන්නේ සමාජවාදී එකමුතුවක් ඇතිකිරීමට නොව, ප‍්‍රජාතන්ත‍්‍රයවාදය හා සමාජ සමානත්වය සඳහා වෙහෙසෙන්නවුන්ගේ එකමුතුවක් ඇති කිරීමට ය. එවන් පුලුල් කාන්ඩයක් ‘සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානයක්’ ලෙස හඳුන්වනු ලැබේ.”

කරුනාරත්නගේ ඊනියා "සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානය” යනු කුමක් ද? සරලව කිවහොත්, ඒ වනාහි දක්ෂිනාංශික ධනේශ්වර පක්ෂවල එකමුතුවකි. ප‍්‍රජපෙ සමග නසසපයේ නව සන්ධානය නියෝජනය කරන්නේ "රැඩිකල් සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර ව්‍යාපාරයක මතුවීම” බව කරුනාරත්න කියා තිබේ. කෙසේ වෙතත් ඔහුගේ එල්ලය, මෙරට ධනේශ්වරයේ සම්ප‍්‍රදායික දක්ෂිනාංශික පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය (එජාප) ද ඇතුලත් වන ලෙස සන්ධානය පුලුල් කිරීම යි.

පසුගිය වසර ගනනාව පුරා නසසපය, එජාපය හා එහි නායක රනිල් වික‍්‍රමසිංහ සමග නිරතුරු කුලුපග සහයෝගීතාවයක් පවත්වා ගෙන ගියේ ය. 2009 වසර මුල නසසප, තවත් ව්‍යාජ වාම කන්ඩායමක් වන එක්සත් සමාජවාදී පක්ෂයේ ද සහයෝගය ඇතිව, එජාපය සමග එක්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට යයි කියාගත් "නිදහසේ වේදිකාව” නමින් සංවිධානයක් ගොඩනගමින්, එජාපය සමග විරෝධතා ව්‍යාපාරයන්ට ද එක්විය.

පලාත් පාලන මැතිවරන ව්‍යාපාරයේදී කරුනාරත්න සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක් ලෙස පෙනී සිටින මෙන් එජාපයට විකාර ආයාචනයක් කලේය. ඩේලි මිරර් පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී කරුනාරත්න මෙසේ අවධාරනය කලේය: "එජාපය සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක් බවට පත්විය යුතුය. ඔවුන්ට දක්ෂිනාංශික දේශපාලන පක්ෂයක් ලෙස පැවතිය නොහැකිය, මන් ද, සියලු දක්ෂිනාංශික දේශපාලනය මහින්ද [ඒ කියන්නේ ශ‍්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගැනය] තමන් වෙත පවරාගෙන ඇති නිසාය.”

තවත් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙසේ පැවසීය. "එජාපය සිය ප‍්‍රතිපත්ති සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිලිවෙත් බවට පත් කර නොගත හොත්.... ආන්ඩුව සියලු වාසි හිමිකරගනු ඇත.”

දක්ෂිනාංශික එජාපයට ධනේශ්වර "වාම” පක්ෂයක් බවට පරිවර්තනය වන ලෙස කරුනාරත්න කරන ආයාචනය නරුම හා විකාර සහගතය. දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) වනසා දමමින් කෙලවර කල සිවිල් යුද්ධය නිසා ද උග‍්‍රවන මහජන දරිද්‍රතාව නිසා ද, රාජපක්ෂ හා ඔහුගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ‍්‍රීලනිප) අපකීර්තියට පත්ව ඇති බව ඔහු දනියි. කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයකට විරුද්ධව සිටින කරුනාරත්න, අලුත්, දූෂිත සන්ධානයක් ගොඩනැගීම පිනිස දේශපාලන සංස්ථාපිතය තුලින් නව බලවේගයක් සොයාගත යුතුය. එම බලවේගය "වාම” ධනේශ්වර ශ‍්‍රීලනිපය නොවන හෙයින් ඔහු, ඒ වෙනුවට දක්ෂිනාංශික එජාපය තෝරා ගනියි.

එජාපය සම්ප‍්‍රදායිකව වොෂින්ටනයට සමීප බැඳීම් සහිත මෙරට ඇති උග‍්‍ර බටහිර ගැති පක්ෂය යි. එය බීජිනය වෙත නැඹුරු වීම ගැන රාජපක්ෂට යලි යලිත් අනතුරු අඟවා තිබේ. ඔවුන්ගේ කනස්සල්ලට හේතුව සිවිල් යුද්ධය අවධියේ රාජපක්ෂ, චීනය සමග සිය බැඳීම් බෙහෙවින් වර්ධනය කරගත් නිසා ශ‍්‍රී ලංකාව බටහිර අධිරාජ්‍යවාදය වෙතින් හුදෙකලා වනු ඇතැයි යන භීතිය ය.

නසසප ප‍්‍රධාන දෙමල ධනේශ්වර පක්ෂය වන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) සමග ද පෙරමුනක් ඇටවීමට ඉව අල්ලමින් සිටියි. ටීඑන්ඒ "දෙමල ජනතාවගේ එකම නියෝජිතයා” ලෙස පුම්බන කරුනාරත්න, එය සමග "දේශපාලන විසඳුමකට” එලඹෙන ලෙස කොලඹ ආන්ඩුවට කියා සිටියි. මෙම දේශපාලන විසඳුම වනාහි අන් කිසිවක් නොව දෙමල ධනේශ්වරය සමග බලය බෙදාගැනීමේ වැඩසටහනකි.

කොලඹ ආන්ඩුව ටීඑන්ඒ සමග සාකච්ඡා කල යුතු යයි ඔබාමා පාලනය ඉල්ලා ඇති බව කරුනාරත්න හොඳින් දනී. කලින් එල්ටීටීඊයේ ඉත්තන්වූ ද වෙනම රාජ්‍යයක් සඳහා එහි උද්ඝෝෂනයට සහාය දී ඇත්තාවූ ද දෙමල පක්ෂවල මෙම හවුල, මේ මස අවසානයේ සාකච්ඡාවක් සඳහා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් හමුවීමට නියමිත ය.

නසසප ටීඑන්ඒ වෙත කරන ආයාචන ද යොමුව ඇත්තේ, එය එජාපයට කරන ආයාචන දිසාවටම ය. එනම්, දේශපාලන සංස්ථාපිතය ගැන අප්‍රසාදයෙන් සිටින දෙමල ජනතාව ඊට ම ගැට ගැසීමට උත්සාහ දරන අතර එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට සේවය කිරීමයි.

වොෂින්ටනය, කොලඹ ආන්ඩුවට පීඩනය යෙදීම පිනිස සිවිල් යුද්ධය අවධියේ සිදුවූ යුද අපරාධ ද ඇතුලු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් උපයෝගීකර ගැනීමට තැත් කරයි. චීනය සමග එක්සත් ජනපදයේ මූලෝපායික හා ආර්ථික එදිරිවාදිකම් උත්සන්න වෙද්දී, බෙයිජිනය සමග වර්ධනය වන රාජපක්ෂගේ සම්බන්ධකම්වලට වල කැපීමට ඔබාමා පාලනයට අවශ්‍යව තිබේ.

රාජපක්ෂගේ යුද්ධයට පිටුබලය දුන් එක්සත් ජනපදයට දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පිලිබඳ කිසිදු තැකීමක් ඇත්තේ නැත. එය අනුගමනය කරන පිලිවෙත තනිකරම පදනම් වී ඇත්තේ සිය මූලෝපායික හා ආර්ථික අවශ්‍යතා මත ය. 2009 දෙසැම්බරයේ එක්සත් ජනපද සෙනේට් සභා විදේශ සම්බන්ධතා කමිටුවේ වාර්තාවක්, ඉන්දීය සාගරයේ චීනයට හා ඉන්දියාවට ඉතා වැදගත් වෙලඳ නැව් මාර්ගවලට මැදින් පිහිටි ශ‍්‍රී ලංකාව් භූ-මූලෝපායික වැදගත්කම ගැන සඳහන් කලේය. එය මෙසේ නිගමනය කලේ ය: "එක්සත් ජනපදයට ශ‍්‍රී ලංකාව ‘නැති කර ගත’ නොහැක.”

නසසපයේ අධිරාජ්‍ය ගැති නැඹුරුව, අධිරාජ්‍යවාදයේ පිටුබලය ලත්, පසුව සංක‍්‍රමනීය ආන්ඩුවක් පිහිටවූ ලිබියානු "කැරලිකරුවන්ට” සිය සහයෝගය පල කිරීමෙන් මනාව පෙන්නුම් කලේය. නේටෝ බෝම්බ හෙලීම පිලිබඳව මූනිච්ඡාවට විවේචනයේ යෙදෙන ගමන් ම කරුනාරත්න, ලිබියානු ජනතාවට "උදව්” කිරීමේ නමින් "[ගඩාෆි] ආඥාදායකත්වයට ආයුධ සැපයීම නතර කරන පූර්න සම්බාධක පැනවීම සහ ලිබියානු තන්ත‍්‍රයේ වත්කම් තහනම් කිරීම සඳහා උද්ඝෝෂනය කිරීම” ගැන ද ජනතාවට මානුෂීය ආධාර සැපයීමේ අවශ්‍යතාවය ගැන ද ලිවීය. එසේම ඔහු ලිබියානු කැරලිකරුවන්ට මිලිටරි ආධාර සපයන ලෙස ද ඉල්ලා සිටියේ ය. "ටියුනීසියානුන් හා ඊජිප්තියානුවන්ගෙන් පටන් ගෙන අරාබි මහජනයා හා හමුදා” ලිබියාවට මිලිටරි ආධාර සැපයිය යුතු යයි ඔහු ඉල්ලා සිටියේ ය.

එහි තේරුම නම්, තමන්ගේම රටවල කම්කරු පන්තිය දිගින් දිගටම මඩිමින් සිටින එක්සත් ජනපදයේ පිටුබලය ලත් ටියුනීසියානු තන්ත‍්‍රය හා ඊජිප්තු ජුන්ටාව, ලිබියාව තුල අධිරාජ්‍යවාදී ගැති තන්ත‍්‍රයක් පිහිටුවීම සඳහා බටහිර බලවතුන්ට සහාය දීම, ඔහුට අවශ්‍ය වී තිබුන බවයි. ආයුධ සම්බාධක හා වත්කම් තහනම සඳහා වන තම යෝජනා ක‍්‍රියාවට නැගිය හැක්කේ අධිරාජ්‍යවාදී බලවතුන්ට පමනක් බව කරුනාරත්න හොඳින් දැන සිටියේය. එක්සත් ජනපදය, මහා බි‍්‍රතාන්‍ය හා ප‍්‍රන්සය විසින් සැබවින්ම ඒවා ක‍්‍රියාවට නගන ලදී.

නේටෝව ලිබියානු යුද්ධය දියත් කලේ ලිබියාවේ තෙල් සම්පත් ඩැහැ ගැනීමත් බටහිර අධිරාජ්‍යවාදයේ මූලෝපායික අවශ්‍යතා ඇතුලු එම රටවල කොල්ලකාරී උවමනාකම් ඉටුකරගැනීමත් පිනිස බව වඩ වඩාත් පැහැදිලි වීමට පටන් ගැනීමත් සමග කරුනාරත්න, ලිබියාව සම්බන්ධයෙන් දැනට නිහඬ වී සිටී.

දේශපාලන දක්ෂිනාංශයටත් අධිරාජ්‍යවාදයටත් නසසප දෙන නිර්ලජ්ජිත සහයෝගය පිලිබිඹු කරන්නේ, එය කවර කලෙකවත් ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් නොවීය යන කාරනයයි. එහි මූලාරම්භය වැටී ඇත්තේ, 1964 ශ‍්‍රීලනිප සමග හවුල් ආන්ඩුවකට ඇතුලු වෙමින්, සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම හා කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය පාවාදුන් ලංකා සමසමාජ පක්ෂයේ (ලසසප) පසුකාලීන අවධිය තුලිනි. කරුනාරත්න හා පසුව නසසප පිහිටුවීමට සම්මාදම් වූ අනෙකුත් නායකයින් මෙම පාවාදීමට සහයෝගය දී තිබුනි.

ඒ වන විට ලසසප, කම්කරු පන්තියේ නායක හා විප්ලවවාදී ක‍්‍රියාකලාපය පිලිබඳ සංකල්පය ප‍්‍රතික්ෂේප කර, ස්වාධීන ට්‍රොට්ස්කිවාදී පක්ෂ ගොඩනැගීමේ අරගලය අතහැර දැමූ, ට්‍රොට්ස්කිවාදයෙන් බිඳී වෙන්වුන දේශපාලන ප‍්‍රවනතාවයක් වූ, පැබ්ලෝවාදී ව්‍යාපාරයේ ලංකා ශාඛාව විය. දියුනු රටවලදී ට්‍රොට්ස්කිවාදී පක්ෂ ස්ටැලින්වාදී හා සමාජ ප‍්‍රජාතන්තවාදී පක්ෂ තුලට ඇතුලු විය යුතු බව පැබ්ලෝවාදීහු අවධාරනය කලහ. පසුගාමී රටවලදී ජාතික ධනේශ්වර පක්ෂ සමග පවා "එක්සත් පෙරමුනු” ගොඩනැගීමට ඔවුහු යෝජනා කලහ. ඒ අනුව ඔවුහු, 1964 මහා පාවාදීමට මග සලසමින් ශ‍්‍රීලනිප වෙත තල්ලු වෙමින් සිටි ලසසපයේ අවස්ථාවාදී දේශපාලනය වසං කලහ.

1968දී, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) පිහිටුවනු ලැබූයේ ලසසපයේ පාවාදීම්වලට හා පරිහානියට එරෙහිව යි. එය පදනම් වූයේ 1964 ලසසප පාවාදීමට එරෙහිවත්, ජාත්‍යන්තරව පැබ්ලෝවාදයේ ප‍්‍රති ට්‍රොට්ස්කිවාදී ප‍්‍රතිපත්ති වලට එරෙහිවත්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෙන ගිය අරගලය මතය. එතැන් පටන් විකොස/සසප, නසසප ද ඇතුලු සකලවිධ අවස්ථාවාදයන්ට එරෙහිව ට්‍රොට්ස්කිවාදයත් නොනවතින විප්ලව න්‍යාය මත පාදක කෙරුනු සමාජවාදී විප්ලවයේ ක‍්‍රියාමාර්ගයත් ආරක්ෂා කිරීමට සටන් වැද තිබේ.

ශ‍්‍රීලනිපයේ නායකත්වයෙන් යුත් සභාග ආන්ඩුවට සහභාගි වෙමින් කරුනාරත්න හා ඔහුගේ සගයෝ, කම්කරු පන්තියට හා තරුනයින්ට එරෙහි සෑම ප‍්‍රහාරයකට ම සහයෝගය දුන්හ. තරුනයින් 15,000ක් ඝාතනය කර දහස් ගනනක් සිරගත කරමින් 1971 තරුන නැගිටීම තලා දමන විට ඔවුහු, එම ආන්ඩුවේ ලැග සිටියහ. දෙමල ජනතාවට එරෙහිව දැවැන්ත වර්ගවාදී ප‍්‍රහාරයක් එල්ල කරමින් සභාග ආන්ඩුව, බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත්කල 1972 ව්‍යවස්ථාව පැනවීය. කරුනාරත්න හා ඔහුගේ සගයෝ මෙම ප‍්‍රහාරය අනුමත කලහ.

ධනේශ්වරය වෙනුවෙන් මෙම සේවාවන් ඉටුකිරීමෙන් පසුව ලසසපය සභාග ආන්ඩුවෙන් නෙරපනු ලැබිනි. නසසප නායකයින් ලසසපයෙන් ඉවත්වී 1978 තමන්ගේ ම පක්ෂය ගොඩනැගුවේ එයින් පසුව පමනි. මෙම කන්ඩායම පලමුව, තමන් ට්‍රොට්ස්කිවාදීන් ලෙස මවා පෙන්වමින් නමුත් ප්‍රතිසංස්කරනවාදී හා අවස්ථාවාදී දේශපාලනයේ යෙදී සිටි කන්ඩායමක් වූ කම්කරු ජාත්‍යන්තර කමිටුවට (සීඩබ්අයි) සම්බන්ධ විය. 1991දී නසසපය පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව බවට පත් විය.

දශක ගනනක් පැවති සිවිල් යුද්ධය පුරාවට ම මෙම පක්ෂය මූලධර්ම විරහිත ප‍්‍රතිගාමී දේශපාලන උපාමාරුවල යෙදී සිටියේ ය. 1983දී එල්ටීටීඊයට එරෙහිව සිවිල් යුද්ධය ඇරඹීමත් සමග ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ එජාප ආන්ඩුව අර්බුදයකට මුහුන දුන් විට ඔහු අනෙකුත් පක්ෂවල ද සහාය අපේක්ෂාවෙන් වටමේස සාකච්ඡාවක් කැඳවීය. නසසප නායකයන් ඊට සහභාගී වූයේ මහත් උද්යෝගයකිනි.

දෙමල ජනතාව මැඩීමටත් එල්ටීටීඊය නිරායුධ කිරීමටත් උතුරු හා නැගෙනහිර පලාත්වලට ඉන්දියානු "සාම සාධක” හමුදා ඇතුලු කිරීමටත් මග හෙලිකල 1987 ඉන්දු-ලංකා ගිවිසුමට නසසප සහයෝගය දුන්නේය.

1990 ගනන් මැද භාගයේදී කරුනාරත්න, සිංහල අන්තවාදී ජවිපෙ ප‍්‍රගතිශීලී බලවේගයක්ය යන මිත්‍යාව වගාකරමින් එය සමග සන්ධානයක් ගොඩනැගීය. 2002 වසරේ පටන් නසසප, මහා ව්‍යාපාරිකයන්ගේ හා අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පිටුබලය සහිතව එජාප විසින් එල්ටීටීඊය සමග ආරම්භ කල "සාම ක‍්‍රියාවලියට” සහාය දැක්වීය.

එකක් පසුපස තවෙකක් වශයෙන් ගොඩනැගූ මෙම සන්ධානයන්හි අරමුන වූයේ, කම්කරු පන්තිය ධනපති පක්ෂවලට ගැටගසමින්, ධනපති පන්තියට එරෙහිව සමාජවාදය සඳහා අරගලය එය ස්වාධීනව බලමුලු ගැන්වීම වැලැක්වීමට ය.

දැන් කරුනාරත්න නිර්ලජ්ජිත ලෙස ස්වෝත්තමවාදී වාචාල දෙඩවිලි මගින් ලංකාවේ ධනවාදය හුවා දක්වයි. මිරර් පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු මෙසේ පැවසීය. "දේශීය ධනවාදීන් විස්ථාපනය කිරීමට උත්සාහ දරන විදේශ ධනපතියන්ට එරෙහිව මම, ජාතික ධනේශ්වරය සමග එකට සිටිමි. මෙරටේ දේශීය ධනපතියන් ශක්තිමත් කල යුතු බව අපි විශ්වාස කරමු. අප ඉදිරියේ ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර්තව්‍යය නම් එයයි.”

මෙහිදී ඔහු කියන්නේ, කම්කරු පන්තිය මහ ධනපති ව්‍යාපාරිකයින්ගේ පක්ෂවල වලිගය බවට පත්විය යුතු බවත් ගම්බද ගොවීන් ද ඇතුලු පීඩිත සුලු ජාතීන් හා දුගීන් ධනවාදය ශක්තිමත් කිරීම සඳහා මෙම පක්ෂ පිටුපස ගාල්විය යුතු බවත් ය. කරුනාරත්නගේ ප‍්‍රකාශ, සමාජවාදය හා නොනවතින විප්ලවය කෙරෙහි නසසපයේ සතුරුකම ද කම්කරු පන්තියට එරෙහිව ධනවාදය හා අධිරාජ්‍යවාදය ආරක්ෂා කරන්නා‍ගේ ක‍්‍රියාකලාපය ඉටු කිරීම වෙනුවෙන් එහි කැපවීම ද පැහැදිලිව නිවේදනය කිරීමකි.

සමාජවාදය කෙරෙහි නසසපයේ විරුද්ධත්වය හා ට්‍රොට්ස්කිවාදයට එල්ල කෙරෙන එහි ප‍්‍රහාර පිලිබිඹු කරන්නේ, සමස්ත ජාත්‍යන්තර පැබ්ලෝවාදී ව්‍යාපාරය ම අධිරාජ්‍යවාදී දේශපාලනයේ කක්ෂය තුලට ඒකාග‍්‍ර වීමයි. ප‍්‍රන්සයේදී පැබ්ලෝවාදී විප්ලවවාදී කොමියුනිස්ට් ලීගය (එල්සීආර්), නව ධනේශ්වර විරෝධී පක්ෂය නමින් සිය සංවිධානය ගොඩනැගීම සඳහා 2009 දී තම පක්ෂය දියකර දැමූ අතර ට්‍රොට්ස්කිවාදය සමග සියලු සම්බන්ධතා නිල වශයෙන් බිඳ දැමීය. එය වනාහි ධනේශ්වර පක්ෂ සමග සෘජු සම්බන්ධතා තනා ගැනීමේ උත්සාහයේ කොටසකි.

මෙම සියලු සුලු ධනපති කන්ඩායම් ධනපති කඳවුරට පලාගොස් ඇත්තේ, කම්කරු පන්තියේ ජාත්‍යන්තර විප්ලවවාදී නැගිටීම් කෙරෙහි සිය සතුරුකම පලකරමිනි. නසසප මෙන්ම නව ධනේශ්වර විරෝධී පක්ෂය ද ලිබියාවට බෝම්බ හෙලීමේ නේටෝ මෙහෙයුමට සහාය දැක්වීය. ඔවුන් ද්‍රෝහී ලෙස කියා සිටියේ නේටෝ මිලිටරි මැදිහත්වීමේ අරමුන ගඩාෆිට එරෙහිව විරෝධතා කරුවන් ආරක්ෂා කිරීම බවයි. මහජන නැගිටීම් වලින් ඉක්බිත්තෙහි ඊජිප්තුවේ හා ටියුනීසියාවේ පිහිටුවනු ලැබූ ඊනියා සංක‍්‍රමනීය තන්ත‍්‍රයන්ට එය පිටු බලය දුන් අතර දෙරටම පාලනය කරන්නේ මිලිටරියේ පිටුබලය ලබන තන්ත‍්‍රයන් විසින්ය යන කාරනය තිබිය දී ම, ඔවුන්ගේ "ප‍්‍රජාතන්ත‍්‍රවාදී" මවාපෑම් හුවා දක්වයි.

නසසප හා ඔවුන්ගේ ජාත්‍යන්තර සම චින්තකයින් ට්‍රොට්ස්කිවාදය හා සමාජවාදය නිල වශයෙන් අතහැර දැමීම පෙන්නුම් කරන්නේ, ලෝකය පුරා කම්කරු පන්තියේ නැගී එන විප්ලවවාදී අරගලයන් හමුවේ මෙම පක්ෂ, කම්කරුවන්ට එරෙහිව ධනවාදයේ හා අධිරාජ්‍යවාදයේ ආරක්ෂාව වෙනුවෙන් පෙල ගැසෙන ආකාරයයි. මින් සනාථ කරනු ලැබ ඇත්තේ සියලු ආකාර පැබ්ලෝවාදයන්ට හා ප‍්‍රති ට්‍රොට්ස්කිවාදී දේශපාලනයන්ට එරෙහිව දශක ගනනාවක් පුරා සසප ගෙන ගිය අරගලය යි.

ලසසප හා නසසප පාවාදීම්වලට එරෙහිව ගෙන ගිය අරගලයේදී කම්කරු පන්තියේ සුවිසල් ඓතිහාසික අත්දැකීම් සම්භාරයක් ගබඩා කර ගනිමින් සසප, දැන් ශ‍්‍රී ලංකාව හා දකුනු ආසියාව තුල ට්‍රොට්ස්කිවාදයේ හා සමාජවාදයේ එකම ආරක්ෂකයා ලෙස නැගී සිටියි. දකුනු ආසියාවේ හා ජාත්‍යන්තරව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සසප, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් එනම් ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක ක‍්‍රියාමාර්ගය ඉදිරිපත් කරයි. මහජන පක්ෂයක් ලෙස සසප ගොඩනගන මෙන් අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: