යුරෝව ගලවා ගැනීම පිටුපස ඇත්තේ කුමක් ද?

What lies behind the rescue of the Euro?

21 October 2011

මෙම සති අන්තයේ බ්‍රසල්ස්හි දී පැවැත්වෙන යුරෝපීය සංඟමයේ (ඊයූ) සමුලුව මහත් බලාපොරොත්තු දල්වා තිබේ. ඊට සහභාගී වන්නන්ට අනුව පරදුවට තැබී ඇත්තේ යුරෝව හා ඊයූ ගලවාගැනීමට නොඅඩු දෙයක් නොවේ. එහෙත් නිශ්චිත කිසිවක් රැස්වීමෙන් ඉදිරිපත් නොවන බව හා තවත් සමුලුවක් එලඹෙන බදාදා පැවැත්වෙන බව නිවේදනය කිරීමත් සමග මෙම බලාපොරොත්තුවල හුලං බැස්සේය.

පසුගිය 18දා ප්‍රන්ස ජනාධිපති නිකොලායි සාකෝසි අවධාරනය කලේ සති අන්තයේදී යුරෝ කලාපීය නායකයින් නය අර්බුදය විසඳීමට සෘජු පියවර නොගතහොත් යුරෝපීය එකමුතුව අවදානමට වැටෙන බවයි. “යුරෝව විනාශ වීමට ඉඩහැරීම යනු යුරෝපය විනාශවීමේ අවදානමට ඉඩ හැරීම ය. යුරෝපය හා යුරෝව විනාශ කරන අය අපගේ මහාද්වීපය තුල බෙදීම් හා ගැටුම් යලි හිස එසවීමේ වගකීම භාරගත යුතුය”සාකෝසි අනතුරු ඇඟවීය.

ප්‍රන්ස අගමැති ප්‍රංශුවා ෆිලෝන් අනතුරු ඇඟවූයේ “අප ජය නොගතහොත් යුරෝපය බරපතල අනතුරකට මුහුනපානු ඇති” බවටය. ජර්මානු මුදල් ඇමති වුල්ෆ්ගෑන්ග් ස්කොයුබල් කියා සිටියේ තත්වය “අතිශයින්ම ආතති සහගත හා යුරෝව පරදුවට තැබී ඇති” බවය.

යුරෝපීය සංඟමය බිඳී යාම ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගැබ්කරගන්නා බව නිසැකය. එය පසුගිය සියවසේ පලමු භාගය තුල මහාද්වීපය නටඹුන් කල ලෝක යුද්ධ දෙකක් අවුලුවාලූ ජාතික ප්‍රතිවිරෝධයන් හා ගැටුම් යලි පනගන්වනු ඇත. කෙසේ වෙතත් ඊයූ “ගලවා ගැනීමට” සාකෝසි, ෆිලෝන්, ජර්මන් චාන්සලර් ඇන්ජිලා මර්කෙල් හා ස්කොයුබල් විසින් මතුකල යෝජනා විනාශකාරිත්වයෙන් ඊට දෙවෙනි නොවේ. ඔවුන් සියල්ලෝම අර්බුදය ජනතාවගේ කර මතට පැටවීමටත් දශ ලක්ෂ ගනන් විරැකියාවට හා කාලකන්නි කමට ඇද දැමීමටත් එකඟ වෙයි.

“මුදා ගැනීමේ” සැලැස්මෙහි විස්තර පිලිබඳව ප්‍රන්ස හා ජර්මානු ආන්ඩු බෙහෙවින් බෙදී සිටියි ස්කොයුබල්ගේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ මේ පිලිබඳව “විස්තීර්න සාකච්ඡා, බෙහෙවින් දිගු සමුලු, දුරකථන සංවාද, රැස්වීම් පැවතී තිබෙන” බවය. 19දා සවස අසාමාන්‍ය පියවරක් ගනිමින් සාකෝසි ෆ්රැන්ක්ෆර්ට් වෙත ගුවන්ගත වූයේ දෙපැයක් තුල මර්කෙල් හා ඊයූවේ ද යුරෝපීය මහ බැංකුවේ ද (ඊසීබී) ප්‍රමුඛ නියෝජිතයින් හමුවීමට ය. එහෙත් එම හමුවේදී මතභේදයට තුඩුදී ඇති ප්‍රශ්න පිලිබඳව කිසිදු එකඟතාවකට ඒමට සමත් වූයේ නැත.

එහෙත් ගත යුතු පියවරයන්හි පූර්න එල්ලය පිලිබඳව නම් එකඟතාවක් තිබුනි, එනම් බැංකු ගලවා ගැනීමට අතිරේක යුරෝ බිලියන සිය ගනනක් මුදාහරින අතර වාරයේ යුරෝපය පුරා පොදු වියදම් දරුනු ලෙස කපා හැරීමටය.

මෙහි ප්‍රතිවිපාක ග්‍රීසියේදී දැකගත හැකිය. ඊයූ හා ඊසීබී සමග ඇතිකරගත් එකඟතා මත පැපැන්ද්‍රියෝගේ ආන්ඩුව විසින් හඳුන්වා දුන් කප්පාදු පියවරයන්හි ප්‍රතිපල වශයෙන් වැටුප් හා විශ්‍රාමික ගෙවීම් ද සමාජ වියදම් ද නාටකාකාර ලෙස පහත වැටී විරැකියාව ඉහල ගොස් කුඩා ව්‍යාපාර බංකොලොත්වී ඇත. කප්පාදු වැඩසටහන් ක්‍රියාත්මක වූයේ වී නමුත් එය නොතකා අයවැය හිඟය වැඩිවී ආර්ථික පසුබෑම ගැඹුරු වී ඇත. ග්‍රීසිය ගලවා ගැනීමේ එම ක්‍රියාවලියෙන් වාසි ලැබුවේ බැංකු පමනි. එමඟින් ඔවුන්ට තමන් සතු ග්‍රීක ආන්ඩුවේ බැඳුම්කර වැඩි පංඟුවක් යුරෝපීය ගලවා ගැනීමේ අරමුදලට හෝ ඊසීබී වෙත විකුනා දැමීමට හැකි විය.

යුරෝපය ගලවා ගන්නවා වෙනුවට සති අන්තයේ බ්‍රසල්ස්හි දී එකඟතාවට පැමිනීමට නියමිත ඒකාබද්ධ කප්පාදු වැඩ සටහන් හා බැංකු ඇපදීම් මහාද්වීපය බිඳ විසුරුවා හැරීමේ තර්ජනය එල්ල කරයි. දැනටමත් පෙන්නුම් කර තිබෙන ආකාරයට යුරෝව ගලවා ගැනීමේ අරමුදලේ අරමුන හා එහි සංවිධානයවීම මත දරුනු ගැටුම් මතුව තිබිය දී මෙම ප්‍රතිපත්ති යුරෝපීය රටවල් ආර්ථික ආගාධයක් තුලට ඇද දමමින් ජාතික ගැටුම් උත්සන්න කරනු ඇත.

මෙම දේශපාලන හා ආර්ථික උමතුව කෙරේ යුරෝපීය ජනතාව අතර වැඩෙන විරෝධයක් පවතියි. වසර 35කට පෙර මිලිටරි ජුන්ටාව බිඳ හෙලීමෙන් පසුව පැවති විශාලතම පෙලපාලි 19දා ඇතන්ස්හි දී දැකගත හැකි විය. පසුගිය සෙනසුරාදා ස්පාඤ්ඤය, ඉතාලිය හා තවත් බොහෝ රටවල දී ද දශ ලක්ෂ ගනන් ජනතාව වීදිවලට එක්රොක් වූහ. මෙම ව්‍යාපාරය, ටියුනීසියාව හා ඊජිප්තුවෙන් ආරම්භ වී යුරෝපයේ හා එක්සත් ජනපදයේ බොහෝ ප්‍රදේශ කරා පැතිර ගිය ජාත්‍යන්තර කම්කරු පන්තියේ පුනර්ජීවනයක කොටසකි. එය එල්ල වී ඇත්තේ, මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට (වෝල් වීදියේ) හා වැඩෙන සමාජ අසමානතාවට (“සියයට එකකගේ” පාලනයට) එරෙහිව ය.

මෙම ව්‍යාපාරය පවතින්නේ එහි ලදරු අවස්ථාවේ ය. එය සැලකිය යුතු බාධක ජයගනිමින් ප්‍රමුඛ දේශපාලන කර්තව්‍යයන් ඉටු කල යුතු ය.

දෙවන ලෝක යුද්ධය අවසන් වී දශක හයකටත් වැඩි කාලයකට පසුව යලි වතාවක් පෙන්නුම් කරන්නේ ප්‍රගතිශීලී පදනමක යුරෝපය එක්සත් කිරීමට ධනේශ්වරය ඓන්ද්‍රීයවම අසමත්ව ඇති බවයි. මාස ගනනාවක් තිස්සේ ආන්ඩු නටා ඇත්තේ මූල්‍ය වෙලඳපොලවල තානයට අනුව ය. එක් අර්බුදකාරී රැස්වීමකට පසුව තවෙකක් වශයෙන් “පූර්න විසඳුම්” සම්පාදනය කරන බවට පොරොන්දු දෙමින්පැවති සමුලු අවසානයේ අර්බුදය තවත් ඔද්දල් වූවා පමනි.

මෙම රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වීදිවල විරෝධතා දැක්වීමෙන් වෙනස් කල නොහැකි ය. අර්බුදය වනාහි නිවැරදි කල හැකි හුදෙක් නොමඟ ගිය ප්‍රතිපත්ති තීරනවල ප්‍රතිපලයක් නොවේ. එය වනාහි මඟ නොහැරිය හැකි පන්ති ප්‍රතිවිරෝධතාවන් මත පදනම් වූ සමාජ පද්ධතියක අර්බුදය යි. ධනේශ්වර පද්ධතිය ප්‍රතිසංස්කරනය නොකල හැකි අතර එය අහෝසි කිරීම පමනක් කල හැකිය.

වත්මන් අර්බුදය දශක ගනනාවක් තිස්සේ වැඩී ආවේ ය. සමාජයේ ඉහලින් ම වැජඹෙන අතලොස්සක් කියා නිම නොකල හැකි සම්පත් ගොඩගසා ගන්නා අතර වැඩ කරන ජනතාවගේ ආදායම 1980 ගනන් මුල සිට හෝ ඊටත් පෙර සිට ම එකතැන පල්වී හෝ පහත වැටී ඇත. එම ධනය නිරතුරුව තිරසාර කල හැක්කේ කම්කරු පන්තිය වෙතින් තව තවත් අතිරික්ත වටිනාකම් නොකඩවා මිරිකා ගැනීම මගින් පමනකි.

වැටුප් හා සේවා කොන්දේසි මත අතොරක් නැති ප්‍රහාර, ධනපතියන්ගේ බදු කැපීම තුලින් මහජන මුදල් කොල්ලකෑම, සමාජ පිරිවැය දැවැන්ත පරිමානයෙන් කපා හැරීම හා බැංකු ගලවා ගැනීම පිනිස බිලියන ගනනින් කරන වියදම් යන මේ සියල්ල සේවය කරන්නේ මෙම අරමුන වෙනුවෙන්ය. මෙම පියවරයන්ට ප්‍රධාන ප්‍රවාහයේ සෑම පක්ෂයක් ම විශේෂත්වයකින් තොරව සහයෝගය දෙයි. සමාජ ප්‍රජාතන්ත්‍ර වේවා වාම, හරිත, ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍ර, කොන්සර්වේටිව් හෝ ලිබරල් වේවා සියල්ලෝ ම අවධාරනය කරන්නේ වියදම් කප්පාදු පියවර අනිවාර්ය බවය.

අනෙක් අතට ඔවුන්ට කප්පාදු පියවරයන්ට එරෙහි විරෝධතා ආන්ඩුවලට කන්නලව් කරන අහිංසක විරෝධතාවන් බවට පරිවර්තනය කරමින් හෝ මහජන ව්‍යාපාරය පාලක පන්තියේ එක් හෝ තවත් කන්ඩායමකගේ අත යටට පත්කිරීමට උත්සාහ දරන විවිධාකාර “වාම” සංවිධානවල පිටුබලය ද ලැබී තිබේ.

ග්‍රීසියේ දී පාලක පැසොක් පක්ෂයට සමීප වෘත්තීය සමිති කප්පාදු පියවරයන්හි ප්‍රධාන වගකීම දරන පැපැන්ද්‍රියෝගේ ආන්ඩුව බිඳ වැටීමෙන් වලක්වා ගැනීමට මංමුලා සහගත උත්සාහයක නිරතව සිටියි. ඊනියා “කොපාවිෂ්ඨ” ව්‍යාපාරයේ “දේශපාලනය එපා” සටන් පාඨය යටතේ එය උත්සාහ දරන්නේ දේශපාලන ඉදිරිදර්ශනය පිලිබඳ කුමන හෝ සාකච්ඡාවක් මැඩලීමට ය. මෙය සිදුවන්නේ ව්‍යාජ වාම කන්ඩායම්වල සහයෝගය ඇතිවය.

කම්කරුවන් මේ සියලු සංවිධාන වලින් බිඳී වෙන්වීම අවශ්‍ය ය. යුරෝපය දැවැන්ත පන්ති අරගල කරා තල්ලු වෙමින් තිබේ. මේවා දේශපාලනිකව සූදානම් කල යුතුය. පසුගිය සියවසේ මුහුන දුන් ව්‍යසනයන් යලි ඇතිවීම වලක්වාගත හැක්කේ කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ලෙස මැදිහත් වීමෙන් පමනි. මේ සඳහා අන් සියල්ලටත් වඩා අවශ්‍ය කෙරෙන්නේ සමාජවාදී ක්‍රියාමාර්ගයකි.

“යුරෝපය බේරාගැනීමේ” නාමයෙන් ජාතිකවාදය හෝ සමාජ පරිහානිය දේශනා කරන සියල්ලන් ප්‍රතික්ෂේප කරමින් යුරෝපීය කම්කරුවෝ එක්සත් විය යුත්තාහ. කර්තව්‍ය වන්නේ යුරෝපීය එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් නිර්මානය කිරීම ය. යුරෝපීය කම්කරුවන්ගේ ආන්ඩුවක් බැංකු හා මහා ව්‍යාපාර අත්පත්කර ගනිමින් ඒවායේ සම්පත් ධනවතුන් සඳහා ලාභය රැස්කිරීමට නොව රැකියා නිර්මානයටත් සමාජ අවශ්‍යතා සපුරාලීමටත් යොදාගන්නවා ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවත් එවන් ක්‍රියාමාර්ගයක් සඳහා සටන් වදිමින් එම ඉදිරිදර්ශනය සාක්ෂාත් කර ගැනීම පිනිස රටක් රටක් පාසා ශාඛා ගෙඩනඟනු ඇත.

පීටර් ස්වාස්

Share this article: