ශ‍්‍රී ලංකා ආන්ඩුව කල් පසු වූ පලාත් පාලන ආයතන සඳහා මැතිවරන පවත්වයි

Sri Lankan government holds belated local council elections

By Vilani Peiris, 13 September 2011

නගරය ප‍්‍රධාන මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ සහ පැල්පත්වාසීන් දහස් ගනනක් නෙරපීමේ එහි සැලැස්මේ කොටසක් ලෙස කොලඹ නගර සභාව ජය ගැනීමේ උද්ඝෝෂනයක් පාලක සභාගය විසින් දියත් කර ඇත.

ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව ඔක්තෝබර් 8වැනි දා නගර සභා 17ක් ඇතුලුව පලාත් පාලන ආයතන 23ක මැතිවරන කැඳවා ඇත. කොලඹ නගර සභාව ද ඇතුලුව මෙම මැතිවරන, රටෙහි හදිසි නීතිය යටතේ අත්තනෝමතිකව මුලින් කල් දමා තිබුනි.

සාමාන්‍යයෙන් පලාත් පාලන මැතිවරන වැදගත් යැයි නොසැලෙකන නමුදු, පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස), විරුද්ධ පාක්ෂික එක්සත් ජාතික පක්ෂයෙන් කොලඹ නගර සභාව දිනා ගැනීමට බලගතු උද්ඝෝෂනයක් දියත් කර ඇත. වසර කීපයක් හැරුන විට, පසුගිය දශක හය තුල වැඩි ම කාලයක් මෙම නගර සභාව පාලනය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය (එජාප)යි.

අගනුවර වානිජ මධ්‍යස්ථානය හා ඒ අවට ආසන්න ප‍්‍රදේශ ආවරනය කරන කොලඹ නගර සභාවේ පාලනය ජය ගැනීම සඳහා වන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අධිෂ්ටානය මෙම නගරය ආසියාවේ ප‍්‍රධාන මූල්‍ය හා සංචාරක කේන්ද්‍රය බවට පත් කිරීමේ ඔහුගේ සැලස්ම හා බැඳී පවතී. ඔහුගේ ආන්ඩුව දේපල සංවර්ධනය කරන්නන්ට හා ආයෝජකයන්ට ඉඩ සලසනු සඳහා පැල්පත්වල වෙසෙන පවුල් 75,000ක මහජනතාව නෙරපීමේ සැලසුම් මුලින් ප‍්‍රකාශයට පත් කර තිබුනි.

කොලඹ මධ්‍යස්ථානය තම පාලනය යටතට ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය පියවර කීපයක් ගෙන ඇත. 2008 ඔක්තෝබරයේ දී, ආන්ඩුව එජාප පාලනය විසුරුවා හැරීමට හා නගර සභාවේ කටයුතු ගෙනයාමට විශේෂ කොමසාරිස්වරයෙකු පත් කිරීමට වහන්තරාවක් ලෙස දූෂන චෝදනා යොදා ගත්තේ ය. අනතුරුව, මහජනයා නෙරපීමේ හා ඉඩම් විකිනීමේ වගකීම දරන නාගරික සංවර්ධන අධිකාරය සහ ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ මන්ඩලය, ආරක්ෂක අමාත්‍යංශය යටතට ගත්තේය.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජනාධිපතිගේ සහෝදර ගෝඨාභය රාජපක්ෂ යි. "කොලඹ ඉතාමත් වටිනා ඉඩම් හා මූලෝපායාත්මකව වැදගත් ඇල මාර්ග අල්ලාගෙන සිටින පවුල් 75,000ක්” වෙනත් තැනක පදිංචි කරවීම අත්‍යාවශ්‍ය ය යයි ඔහු ආන්ඩුවේ සැලසුම් සාධාරනය කරමින් ප‍්‍රකාශ කලේ ය. "ගෝලීය ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීම සඳහා නගරය සංවර්ධනය කිරීමට හා එය අලංකාර කිරීමට අපට අවශ්‍ය ය” ඔහු තව දුරටත් පැවසී ය.

එහි සැලස්මේ කොටසක් ලෙස, මාර්තු මාසයේ දී කැබිනට් මන්ඩලය කලම්බු මෙට්‍රොපොලිටන් සිටි කෝපරේෂන් (සීඑම්සීසී) නම් නව අධිකාරියක් ස්ථාපිත කිරීම අනුමත කලේ ය. කොලඹ හා යාබද නගර සභා එනම්, කෝට්ටේ, දෙහිවල-ගල්කිස්ස, කොලොන්නාව හා කොටිකාවත්ත-මුල්ලේරියාව ඊට ඇතුලත්ය. ජනාධිපති විසින් පත් කරනු ලබන ආන්ඩුකාරයෙකු විසින් එකී සංස්ථාවේ ප‍්‍රධනත්වය දැරෙන අතර එය සියලු ම කොට්ඨාශ සභාවල නියෝජිතයන්ගෙන් යුක්ත වනු ඇත. ප‍්‍රතිඵලය වනු ඇත්තේ ඡන්දයෙන් පත් කෙරුනු සභා යට කර දැමීම හා පත් කරනු ලැබූ ආන්ඩුකාරයා අත සැලකිය යුතු බලයක් ඒකරාශිවීම ය.

තවමත් ආන්ඩුව අවශ්‍ය ව්‍යවස්ථා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති අතර නිසැකව ම සීඑම්සීසී ය ස්ථාපිත කිරීම පලාත් පාලන මැතිවරනය අවසන් වන තුරු ප‍්‍රමාද කරනු ඇත. එජනිසය, කොලඹ නගර සභාව සඳහා පැවත් වෙන ඡන්දය තුල මතුවිය හැකි ජනතා අප‍්‍රසාදයක් පිලිබඳ උත්සුක ය. නගරයේ 395,000ක් වන ඡන්දදායකයන්ගෙන් වැඩි කොටස පැල්පත්වාසීන් හා අනෙකුත් අඩු ආදායම්ලාභි පවුල් ය.

මේ නිසා, ආන්ඩුව එහි සැලසුම් ගත මහජන නෙරපීම් වලින් වැඩි ප‍්‍රමානයක් ප‍්‍රමාද කර ඇත, මෙම සැලසුම් පලමුවරට 2010 දී ප‍්‍රකාශයට පත් කෙරුනි. මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය පවුල් 150ක් පමන නෙරපා ඇති අතර කඩසාප්පු 15ක් කඩා දමා ඇත. මෙසේ කිරීමේ දී, පදිංචි කරුවන්ගේ කෝපාන්විත විරෝධය මැඩලීමට ආන්ඩුව පොලිස් හා ආයුධ සන්නද්ධ හමුදා යොදා ගෙන තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය කොම්පඤ්ඤවීදිය හා වනාතමුල්ල සහ බ්ලූමැන්ඩල්-කොලොන්නාව රේල් පාර දිගේ නිවාසවල පවුල් 2,500කට ඉවත් වන ලෙස දන්වා ඇත.

වෙනත් මෙහෙයුමක දී, ආන්ඩුව කොලඹ නගරය අලංකාර කිරීමේ තම සැලස්මේ කොටසක් ලෙස පදික වෙලෙන්දන් 6,000ක් ඉවත් කලේ ය. විරෝධතා කීපයකට පසු 1,000කට පමනක් ඔවුන්ගේ වෙලඳ භාන්ඩ අලවි කර ගැනීමට වෙනත් තැනක් ලබා දී ඇත.

මැතිවරනයට නාම යෝජනා දීමෙන් යම්තම් සතියකට පසු, අගෝස්තු 30වැනි දා ලංකා ඛනිජතෙල් සංස්ථාව බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයෙන් පවුල් 30ක් නෙරපීමට උසාවි නියෝගයක් ලබා ගත් නමුත් එය තවමත් ක‍්‍රියාවට නගා නැත. මැතිවරනයෙන් පසු, නිසැකව ම ආන්ඩුව මෙම නෙරපීම් බෙහෙවින් කඩිනම් කරනු ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොලඹ නගරාධිපති අපේක්ෂක මිලින්ද මොරගොඩ, මෙම සැලසුම්වල ව්‍යාපාරික නැඹුරුව හුවා දක්ව යි.හිටපු කැබිනට් ඇමතියෙකු වන මිලින්ද මොරගොඩ, දිවයිනේ ධනවත් ප‍්‍රභූවේ සාමාජිකයෙකි. ඔහු තම පවුලට අයත් මර්කන්ටයිල් මර්චන්ට් බැංකුවේ ආරම්භක සභාපති ය, මූල්‍ය සේවාව තුල ව්‍යාප්ත වානීජ උත්සුකයන්, ව්‍යාපාර ප‍්‍රවර්ධන හා දේපල සංවර්ධනය හා නොයෙකුත් බහු ජාතික සමාගම් සමග බැඳීම් මෙම බැංකුවට ඇත. මොහු තෝරා ගැනීම මගින් ආන්ඩුව, මහා ව්‍යාපාරිකයන්ට හා මධ්‍යම පන්තියේ කන්ඩායම්වලට හිතාමතාම ආයාචනා කරයි.

පැල්පත් වාසින් කොලඹින් ඉවත් කිරීමේ සැලැස්මක් ආන්ඩුවට නැති බවත්, ඔවුන්ට "එම ස්ථානවලම" හෝ "ඒ ආසන්නයේ නිවාස යලි තනා දෙන" බවට පොරොන්දු වෙමින් ඡන්ද දායකයන්ට බොරු කියන මොරගොඩ නෙරපීම සම්බන්ද ප‍්‍රශ්න සහාසික ලෙස මගහැර තිබේ. "ව්‍යාපාරික ආයෝජනවලට හිතකාමී” නගරයක් සහ "ආර්ථික මධ්‍යස්ථානයක්” බවට කොලඹ පරිවර්තනය කරන බවට ඒ සමගම ඔහු ව්‍යාපාරික ප‍්‍රභූවට පොරොන්දු විය.

සෞඛ්‍යය පසුකම් වැඩිදියුනු කිරීමටත් තරුනයන් සඳහා වැඩි ක‍්‍රීඩා පහසුකම් ලබාදීමටත් මොරගොඩ පොරොන්දු වෙයි. රාජපක්ෂ ආන්ඩුව යටතේ තරුන විරැකියාව සියයට 18 ක් මට්ටමේ පවතී. අත්‍යවශ්‍ය සේවාවන් සහ යටිතල පහසුකම් සඳහා මුදල් වියදම් කරනවා වෙනුවට, ජාත්‍යයන්තර මුල්‍ය අරමුදලේ ඉල්ලීම් ඉටුකිරීම සඳහා අයවැය පරතරය අඩුකිරීම සඳහා වූ දැවැන්ත වියදම් කප්පාදුවක කොටසක් ලෙස පලාත් පාලන ආයතනවලට වෙන්කරන මුදල් ප‍්‍රතිපාදන කප්පාදු කර තිබේ.

විරුද්ධ පක්ෂයේ එජාපයට සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ට ආන්ඩුවත් සමග මුලික මතබේදයක් නැත. 2004 සිට මුහුන දුන් ඡන්ද පරාජයන් ගෙන් වැලකීම සඳහා කොලඹ නගර සභාවේ පාලනය සියත තබා ගැනීමේ වියරු උත්සාහයක එජාපය යෙදී සිටී. එජාපයේ ප‍්‍රධාන නායකයෙකු වන එහි නගරාධිපති අපේක්ෂක ඒ. ජේ. එම්. මුසම්මිල් "කොලඹ සඳහා නව නගර සැලැස්මක්” නිවේදනය කරන ගමන් "කොලඹ නිවැසියන් කිසිසේත් ම නගරයෙන් පිටමන් නොකරන” බවට පොරොන්දු වෙයි.

එජනිස පොරොන්දු මෙන්ම, එජාපයේ පොරොන්දු ද රැවටිල්ලකි. ශ‍්‍රී ලංකාවේ පැරනිතම ධනපති පක්ෂය වන එජාපය 1977 දී මහා ව්‍යාපාරිකයේ වෙලඳපොල ගැති න්‍යාය පත‍්‍රයට මුලපිරීම සහ එම ක‍්‍රියාවලිය තුලදී නිර්දය ලෙස මහජන සේවාවන් කප්පාදු කිරීම, රාජ්‍ය ආයතන පුද්ගලීකරනය සහ රැකියා හා සේවා කොන්දේසි විනාස කිරීම සම්බන්ධයෙන් වගකිව යුතුය.

එහි කොලඹ පැල්පත් ඉවත් කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස බලහත්කාර නෙරපා හැරීම්වලට ද එජාපය වගකිව යුතුය. සුගතදාස ක‍්‍රීඩාංගනය. ගොඩනැගීම සඳහා 1983 දී එය පවුල් 243 ක් ඉවත් කලේය. ඉන් පවුල් 100 ක් 1985 දී මට්ටක්කුලියේ පදිංචි කල අතර තවත් පවුල් 1,500 ක් 1992-94 දී වැල්ලවත්තෙන් නෙරපීය. දසක ගනනාවක් කොලඹ නගර සභාව පාලනය කල එජාපය පැල්පත් ප්‍රදේශ අපිරිසිදු තත්වයෙන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වගකිව යුතුය.

සිංහල ස්වෝත්තමවාදී ජවිපෙ ආන්ඩුවේ දුෂන සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි ප‍්‍රහාර විවේචනය කිරීම මත එහි මැතිවරන උද්ඝෝෂනය පදනම් කර ඇත. කෙසේනමුත්, එජාපය මෙන්ම ජවිපෙ ද බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි ආන්ඩුවේ වර්ගවාදී යුද්ධයට සහ රටේ දෙමල සුලුතරයට එරෙහි එහි පොලිස් රාජ්‍ය පියවරවලට මුලුමනින්ම සහයෝගය දුන්නේය. 2009 දී එල්ටීටීඊය පරාජය කිරීමෙන් සහ පසුගිය අවුරුද්දේ විරුද්ධ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමෙන් පසුව පමනි ජවිපෙ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ගැන සීමිත හඬක් නගන්න පටන් ගත්තේ.

සමාජවාදය ගැන ජවිපෙ ඉඳ හිට කරන කතා හෝ විරැකියාව හෝ නිදහස් අධ්‍යාපනයට ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාර ගැන එහි ප‍්‍රකාශයන් ගෙන් කිසිවෙකුත් මුලා නොවිය යුතුය. මහා ව්‍යාපාරිකයන්ගේ වෙලඳපොල ගැති න්‍යාය පත‍්‍රය දිගුකලකට පෙරම ජවිපෙ විසින් වැලඳ ගත් අතර "සමාජවාදය" සඳහා ආදර්ශයක් ලෙස චීනය හුවා දැක්වීය. ජවිපෙ 2004 ජනාධිපති චන්ද‍්‍රිකා කුමාරනතුංගගේ එජනිස ආන්ඩුවේ සහකරුවෙක් වූ අතර එහි මහා ව්‍යාපාරික ප‍්‍රතිපත්තිවලට සහයෝගය දුන්නේය. 2005 ජනාධිපතිවරනයේ දී එය රාජපක්ෂට සහයෝගය දෙමින් ඔහු වෙනුවෙන් උද්ඝෝෂනය කලේය.

කම්කරුවන්, තරුන හා ගම්බද දුගී ජනයා සඳහා ඇති එකම විකල්පය වන්නේ, ධනවත් කිහිපදෙනෙකුගේ ලාබ අවශ්‍යතාවයන් සඳහා නොව බහුතර වැඩකරන ජනයාගේ දැවෙන ප‍්‍රශ්න විසඳීමට සමාජවාදී ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා සටන් වැදීමයි. දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමුහාන්ඩුවක් සඳහා සටන් කරන එකම පක්ෂය සමාජවාදී සමානතා පක්ෂය පමනි.