සිවිල් වැසියන්ට එරෙහිව ත‍්‍රස්තවාදී නීතිය යොදවන බව මිලිටරියෙන් අනතුරු ඇඟවීමක්

By K. Ratnayake, 8 September 2011

ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) සිවිල් වැසියන්ට එරෙහිව යොදවන බවට හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් නිහාල් හපුආරච්චි මෑත දී කර ඇති ප‍්‍රකාශය කම්කරු පන්තියට ද දෙමල ජනයා ඇතුලු අවශේෂ පීඩිත ජනයාට ද එරෙහිව නිකුත් කෙරී ඇති බරපතල අනතුරු ඇඟවීමකි.

ආරක්ෂක හමුදාව සහ පොලීසියේ කොටස් හෝ ඒවාට සම්බන්ධ පුද්ගලයන් විසින් සිදු කලේ යයි බරපතල සැක මතු කෙරෙන "ගී‍්‍රස් යකුන්” පිලිබඳ ප‍්‍රකෝපකාරී සිද්ධීන් පාවිච්චියට ගනිමින් උතුරු-නැගෙනහිර දෙමල හා මුස්ලිම් ජනයාට එරෙහි මර්දනයේ අලුත් වටයක් මුදා හැරීමත් සමග මිල්ටරියේ මේ ප‍්‍රකාශය නිකුත් වී තිබේ.

සැප්තැම්බර් 5 දා බීබීසී සන්දේශය වැඩ සටහනට කතා කරමින් බි‍්‍රගේඩියර් හපුආරච්චි සඳහන් කර ඇත්තේ යාපනයේ ඒකාබද්ධ හමුදා පොලිස් කඳවුරකට පහර දීමට පැමිනි 120කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ට විරුද්ධව පීටීඒ යටතේ කි‍්‍රයා කරන බවත් ය. "සිවිල් වැසියන් හමුදා කඳවුරකට හෝ පොලීසියට පහර දීම වැරදි කි‍්‍රයාවක්. එසේ කරන අය ත‍්‍රස්තවාදීන්. ඔවුන්ට විරුද්ධව ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අපි කි‍්‍රයා කරනවා”යයි බි‍්‍රගේඩියර් පවසා ඇත.

බි‍්‍රගේඩියර් හපුආරච්චි ඇත්ත යට ගසමින් සඳහන් කර ඇත්තේ යාපනයේ නාවන්තුරෙයි ගමට ඇතුල්වූ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකුට හමුදා ආරක්ෂාව ලැබුනේ යයි සැක කරමින් විරෝධතාවය දැක්වූ ගම්වැසියන්ට හමුදාව හා පොලීසිය මුර්ග ලෙස පහර දීමේ සිද්ධියකි. නාඳුනන පුද්ගලයන් ගී‍්‍රස් යකුන් යයි සැකකර එලවා ගෙන යද්දී ඔවුන් ඇතුලු වූයේ පෙදෙසේ හමුදා කඳවුරට බවට ගම්වැසියෝ චෝදනා කලහ. කඳවුර අසල මග හරස් කර සිටි ජනයාගේ සැකය ගැන විමසා බලනු වෙනුවට ඔවුන්ට පහර දී පලවා හැරි හමුදාව කලේ මහ රාති‍්‍රයේ, යුද්ධය කාලයේ දී කලාක් මෙන්, ගම වටලා පිරිමින් ඇදගෙන ගොස් අත් පා කඩා දොලොස්දෙනෙකුට පමන තුවාල සිදු කර 120ක් පමන අත්අඩංගුවට ගැනීම යි.

යාපනයේ කෝන්ඩාවිල්, අලංකඩෙයි, කරවෙඩ්ඩි හා පොලිගන්ඩි ආදී තැන්වල ද ගී‍්‍රස් යකුන් පිලිබඳ සිද්ධීන් පැන නැගි අතර හමුදාවේ ප‍්‍රතිචාරය වූයේ මහ ජනයාට තර්ජනය කිරීම හා අත් අඩංගුවට ගැනීමයි. යාපනය අලලා සන්ත‍්‍රාසයක් පැතිරී ඇතත් හපුආරච්චි ප‍්‍රකාශ කලේ "බ‍්‍රහස්පතින්දා (සැප්තැම්බර් 1) මම යාපනයට ගියා. එහේ මොනම බියක්වත් නෑ. ” යනුවෙනි.

හමුදාව හා පොලීසිය සමහර තැන්වල පැවති බිය තුරන් කර ඇති බව ඔහු කීවේය. බියෙන් පසුවන සිසුවියන්ට ආරක්ෂාව සැලසීමට ඔවුන්ගේ නේවාසිකාගාරය වෙත යමින් සිටි පිරිමි සිසු පිරිසකට ගිය සෙනසුරාදා සොල්දාදුවන් විසින් පහර දීම හමුදාව හා පොලීසිය යාපනය වැසියන්ගේ බිය තුරන් කරන්නේ කෙසේ ද යන්න ගැන අලූත්ම උදාහරනය යි.

ගී‍්‍රස් යකුන් පිලිබඳ සන්ත‍්‍රාසය රට පුරා අගෝස්තු මුල පටන් පැතිරී ගියේ ඒවාට සම්බන්ධව සිටින්නේ ආරක්ෂක හමුදාවල කොටස් හෝ ඔවුන් සමග කි‍්‍රයා කරන පුද්ගලයන් බවට බරපතල සැක මතු කරමිනි. මෙම සිද්ධීන් සිංහල ජනයා බහුතරව වෙසෙන දකුනු පලාත්වලින් පලමුව මතු වුවත්, පසුව ප‍්‍රකෝපකාරී ලෙස පුපුරා ගියේ දෙමල හා මුස්ලිම් ජනයා බහුතරයක් ජීවත්වන උතුරු-නැගෙනහිර පලාත්වල හා පුත්තලම දිස්ති‍්‍රක්කයේ ය.

තමන් අල්ලා ගැනීමට නොහැකි වන සේ ගී‍්‍රස් තවරා ගත් මැරයන් මුහුන වසාගෙන හෝ නොමැතිව මේ ප‍්‍රදේශවලින් මතු වී ඇති අතර ඔවුන්ගෙන් බොහෝ විට අතවරයන්ට ලක්ව ඇත්තේ කාන්තාවන් ය. ඔවුන්ට ගී‍්‍රස් යකුන් පිලිබඳ නම පට බැඳුනේ මහජනයාට හානි කරන අවිද්‍යමාන ගුප්ත හා දුෂ්ට භූතයන් පිලිබඳව අතීතයේ පටන් පැවත එන මිථ්‍යා විශ්වාස හා කතාවන් අනුව යි. මහජනයා ද දැනුවත්, එකම වෙනස නම් ගී‍්‍රස් යකුන් භූතයන් නො වන බවත් මිනිසුන් බවත් ය.

අගෝස්තු 14 දා නැගෙනහිර කින්නියා ප‍්‍රදේශයේ දී මුස්ලිම් ජනයා මෙවන් මැරයන් දෙදෙනෙකු ලුහු බැන්ද අතර නාවික හමුදා කඳවුරෙන් ඔවුන්ට රැකවරනය ලබා දුන්නේ යයි චෝදනා කරති. දහස් ගනනක් ජනයා නාවික හමුදා කඳවුර වටලා කල උද්ඝෝෂනයේ දී නාවික හමුදාව, ඔවුන් පලවා හැරීමට වෙඩි තබා දෙදෙනෙකුට තුවාල කර 24දෙනෙකු අත්අඩංගුවට ගත්තේ ය. පසු දින උද්ඝෝෂනයක නිරත වූ ජනයා ඉන් ඉවත් වූයේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් නිදහස් කිරීමෙන් පසුව ය.

අගෝස්තු 12 දා නැගෙනහිර පොතුවිල්හි මුස්ලිම් ජනයා ගී‍්‍රස් යකුන් ආරක්ෂා කරන්නේ යයි පොලිස් ස්ථානය වට ලා කල උද්ඝෝෂනයක දී පොලීසිය වෙඩි තැබීමෙන් එම්. පවුජුට් නැමැති පුද්ගලයා මිය ගිය අතර ප‍්‍රදේශය පැය 12ක අඳුරු නීතියට යටත් කලේ ය.

පුත්තලමේ සමාන සිද්ධියක දී අගෝස්තු 21 දා පොලීසිය හා මුස්ලිම් ජනයා අතර ඇති වූ ගැටුමකින් එක් පොලිස් නිලධාරියෙක් මරනයට පත්විය. පොලීසිය හා හමුදාව දැන් "සැකකරුවන්” අත් අඩංගුවට ගනිමින් මර්දනයක් මුදා හැර ඇත.

මහජනයා කුපිත කරමින් ඇවිලූ ප‍්‍රකෝපකාරිත්වය ආන්ඩුව හා ආරක්ෂක අමාත්‍යංශය යොදා ගෙන ඇත්තේ හමුදාව හා පොලීසිය යෙදවීම තර කිරීමට යි. දැන් උතුරු හා නැගෙනහිර ප‍්‍රකෝප කිරීම් සිදු කල ස්ථානවල ද අනෙක් තැන්වල ද හමුදා හා විශේෂ කාර්ය බලකා මුරකාවල් හා මුර සංචාර දැඩි කර ඇත.

මෙවැනි ම භීතිකා පතුරුවා හැරීමෙන් පසුව, දෙමල කතා කරන කම්කරුවන් බහුතරයක් වෙසෙන මධ්‍යම කඳුකරයේ ද පොලීසියේ විශේෂ කාර්ය සාධක බලකාය ආයුධ සන්නද්ධව යොදවා ඇත. ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ නායක, කැබිනට් ඇමති ආරුමුගම් තොන්ඩමාන් මෙම බලකාය යොදවන ලෙස අගෝස්තු 9 දා හැටන්හි පැවැත් වූ රැස්වීමක දී ඉල්ලා සිටියේ ය.

උතුරු නැගෙනහිර තිස් අවුරුදු යුද්ධය, මහ බලවතුන්ගේ ආශීර්වාදය යටතේ රුදුරු මට්ටමකට නංවා එල්ටීටීඊය පරාජය කිරීමෙන් අවසන් කල ආන්ඩුව හමුදා වාඩිලා ගැනීම තව දුරටත් උග‍්‍ර කර සිවිල් පාලනය පුලුටක් බවට පත් කර ඇත. වර්ගවාදී මර්දනයට එරෙහිව බුරා යන විරුද්ධත්වය පිපිරී එතැයි ආන්ඩුව හා හමුදාව භීතියට පත්ව සිටිති. ඔවුන්ගේ භීතිය උග‍්‍ර වී ඇත්තේ කලක් තිස්සේ ජීවන කොන්දේසිවලට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාරවලට එරෙහිව කම්කරුවන්ගේ අරගල පැනනැගීමෙන් උතුරු-නැගෙනහිර හා දකුනු පලාත්වල කම්කරු පන්තික එකමුතුවක් ගොඩ නැගේය යන්න ගැනයි.

කෙසේ වෙතත්, ගී‍්‍රස් යකුන් නමින් මුදා හැරුනු ප‍්‍රකෝපකරනය තුඩු දුන්නේ හමුදා සහ පොලීසිය පිලිබඳව මහ ජනයා අතර පවතින අවිශ්වාසය හා විරුද්ධත්වයන් තවත් උග‍්‍රවීමට යි. කොලඹ ජන මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතයේ යූඇන්පිය හා ජවිපෙ ඇතුලු පක්ෂ ද ඒ පිලිබඳව බරපතල කනස්සල්ල පල කලහ.

අයිලන්ඩ් පත‍්‍රයේ කතුවැකියක් පොතුවිල් මහජන උද්ඝෝෂනය හා පොලිස් වෙඩි තැබීම ගැන සඳහන් කරමින් මෙසේ ලීවේය: "ප‍්‍රකෝපකරනයක් සිදු නොවූයේ නම් මහජනයා විරෝධතාවයකින් නැගී සිට පොලීසියට පහර දීමට තරම් නිර්භීත නොවනු ඇත.” අයිලන්ඩ් කර්තෘ අනෙක් අතට ගත් කටට ම ප‍්‍රකාශ කලේ "මොනම හේතුවක් නිසාවත් රටේ කොයියම්ම පලාතක හෝ නීතිය අතට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොදිය යුතුයි” යනුවෙනි.

පොලිස් රාජ්‍ය පාලනයක් තහවුරු කරගෙන යන ආන්ඩුව මොන ම අයුරකින් වත් හමුදාවේ හා පොලීසියේ අධිපතිත්වය තර්ජනයට ලක්වීමට ඉඩ දීමට සූදානම් නැත. හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් පුනරුච්චාරනය කලේ ආරක්ෂක ලේකම්, ගෝඨාභය රාජපක්ෂ නැගෙනහිර ද උතුරේ ද මහජන විරෝධතා පැන නැගුනු අවස්ථාවේ කල අනතුරු ඇඟවීමයි.

මුස්ලිම් ආගමික නායකයන් සමග පැවති රැස්වීමක දී ආරක්ෂක ලේකම් තර්ජනාත්මකව මෙසේ පැවසීය: "මිලිටරි කඳවුරු වට ලෑම සහ හමුදාවන්ට පහර දීම ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක්. අවුරුදු 30ක මුර්ග යුද්ධයකට මුහුන දුන් අපේ බලකායන්ට ඕනෑම තර්ජනයකට මුහුන දීමට පුලුවන්. ඒ නිසා (ආරක්ෂක) බලකායන් එක්ක විහිලු කරන්න ලෑස්ති වෙන්න එපා.”

ආන්ඩුවේ ද මිලිටරියේ ද අනතුරු ඇඟවීම කම්කරු පන්තිය බැරෑරුම්ව ගත යුතු ය. ඕනෑම කම්කරු හෝ අවශේෂ පීඩිත ජන අරගලයක් ත‍්‍රස්ත කි‍්‍රයාවන් ලෙස හංවඩු ගසා මැඩලීමට ආන්ඩුව සූදානම් වන්නේ ලෝක අර්බුදයෙන් උග‍්‍රවන සිය අර්බුදය පැටවීමේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු කොන්දේසි කි‍්‍රයාවට දමමිනි. කම්කරු පන්තිය අවශේෂ පීඩිත ජනතාවට ද නායකත්වය දෙමින් තමන්ගේ ස්වාධීන සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට ද කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට ද සටන් වැදීමේ ඉදිරිදර්ශනය මත පමනක් ම ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතින් හා ජීවන කොන්දේසි රැක ගත හැක්කේ.