ශ‍්‍රී ලංකාවේ ගොවීහු වී මිල වැඩිකරන ලෙස ඉල්ලා උද්ඝෝෂනය කරති

Sri Lankan farmers demonstrate for a higher rice price

By W.A. Sunil , 27 March 2012

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෝ විරෝධතාවල යෙදෙන ගොවීන් හමුවීම සඳහා උතුරු මැද පලාතේ හිඟුරක්ගොඩ ප්‍රදේශයට ගියහ.

උතුරු මැද පලාතේ එප්පාවල, තඹුත්තේගම, පොලොන්නරුව, හිඟුරක්ගොඩ, දඹුල්ල සහ නැගෙනහිර පලාතේ මඩකලපුව ඇතුලු ප‍්‍රදේශවල වී ගොවීහු දහස් ගනනක් පසුගිය දිනවල වී සහතික මිල ඉහල දමන ලෙස ඉල්ලා උද්ඝෝෂනවල නිරත වූහ.

රටේ සෙසු ප‍්‍රදේශවලට ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තුවන මෙම උද්ඝෝෂන පැවැත් වුනේ ඒවා "තිරිඟු පිටි සමාගම්වල සහ දේශද්‍රෝහී බලවේගවල කුමන්ත‍්‍රනයක කොටසක්” යයි ආන්ඩුවේ හා මාධ්‍යවල මඩ ගැසීම් නොතකා ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (යූඑන්එච්ආර්සී) "ජනාධිපති මහින්ද රාජපක්ෂට හා රනවිරුවන්ට දඬුවම් කිරීමට” උත්සාහ කරද්දී ඔවුන් උද්ඝෝෂනය කරන බවට චෝදනා කරමින් මාර්තු 14දා හිඟුරක්ගොඩ දී පැවැත්වීමට සුදානම් කර තිබූ ගොවි උද්ඝෝෂනයට පෙර දින, ගොවීන් බිය ගැන්වීමට සෞඛ්‍ය ඇමති මෛතී‍්‍රපාල සිරිසේන උත්සාහ කලේ ය.

Farmers from Kaudulla C divisionකවුඩුල්ල සී කොටසේ ගොවීන් පිරිසක්

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ දී 2009 අවසන් මාසවල දී හමුදාව විසින් සිදුකල මානව හිමිකම් උල්ලංගනය කිරීම ගැන පරීක්ෂනයක් ඉල්ලන යූඑන්එච්ආර්සීහි යෝජනාවට එරෙහි උද්ඝෝෂනය පසුගිය සති කිහිපය තුල දී ආන්ඩුව තීව‍්‍ර කර තිබේ. සිය ජීවන තත්වයන් රැක ගැනීමට සටන් කරන කම්කරුවන් සහ ගොවීන් දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගසා ඇත.

සමුපකාර හා අභ්‍යන්තර වෙලඳ ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ගොවීන්ගේ ඉල්ලීම් මුරන්ඩු ලෙස ප‍්‍රතික්ෂේප කලේය. වර්තමාන වී මිල මගින් ගොවියාත් පාරිභෝගිකයාත් දෙගොල්ලම රැකෙන බව ඔහු පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කලේය. යථාර්තය නම්, ගොවීන්ට ඉහල නිෂ්පාදන වියදම නිසා පහර වැදී ඇති අතර මහජනතාව සමස්තයක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග මත ආන්ඩුව ක‍්‍රියාවට දමන බොහොමයක් අත්‍යවශ්‍ය භාන්ඩවල මිල ඉහල දැමීමේ බරට කර ගසා සිටිති.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෝ විරෝධතා උද්ඝෝෂනවල යෙදී සිටින ගොවීන් හමුවීම සඳහා මාර්තු මාසයේ උතුරුමැද පලාතේ හිඟුරක්ගොඩ ප‍්‍රදේශයට ගියහ.

වී කිලෝවක් සඳහා වර්තමාන සහතික මිල වන රුපියල් 28-30 නියම කලේ 2005 වර්ෂයේදී ය. ඉන් පසුව නිෂ්පාදන වියදම හා ජීවන වියදම අහස උසට නැගී ඇත. ගොවීන් ප‍්‍රකාශ කරන ආකාරයට වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 29.50 දක්වා ඉහල ගොස් තිබේ.

වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියනයක් වෙන්කර ඇති බවත් ගබඩා විවෘත කර ඇති බවත් ආන්ඩුව කියයි. එහෙත් ගොවීන් ප‍්‍රකාශ කරන්නේ ආන්ඩුවේ ප‍්‍රචාරය එසේ වුවත් තමන්ට පවතින සහතික මිලටවත් වී විකුනා ගත නොහැකි බවයි. මේ කන්නයේ තක්සේරුගත වී අස්වැන්න මෙටි‍්‍රක් ටොන් මිලියන 4.5 වුවත් ආන්ඩුව මිල දී ගැනීමට බලාපොරොත්තු වන්නේ ඉන් සියයට 10 ක් පමනි. ඉතිරිය ගොවීන් විසින් කිලෝව රුපියල් 16-18 පුද්ගලික වෙලෙඳුන්ට විකිනිය යුතුය.

කවුඩුල්ල සී කොටසේ ගොවියෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසීය: "හැම කන්නයකම අස්වනු කපන කොට අපි මේ ප‍්‍රශ්නයට මුහුන දෙනවා. ආන්ඩුව මිලදී ගන්නේ අක්කරයකට වී කිලෝ 500 පමනයි. ඒක ගන්නෙත් ආන්ඩුවේ ප‍්‍රමිතියට තිබුනොත් විතරයි. තෙතමනය සියයට 14 ට අඩුවෙන්න ඕන. කලුඇට තියෙන්න බැහැ. මේ කොන්දේසි සම්පුර්න කලත් තවත් දුශ්කරතාවලට අපි මුහුන දෙනවා. ඒ ඔක්කොටම පස්සේ විකුනපු වීවලට ලැබෙන චෙක් එක මාරු කර ගන්න සතියක් විතර බලා ඉන්න ඕන.”

වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් දොලහක් බවට සමුපකාර ඇමති ප‍්‍රනාන්දු කල ප‍්‍රකාශය ගොවීහු කෝපයෙන් ප‍්‍රතික්ෂේප කලහ. තමන් විසින් නිෂ්පාදනය කරගනු ලබන කොම්පෝස් පොහොර භාවිතයට ගොවීන් දිරි ගැන්වීමේ මුවාවෙන් සහන පදනම මත දෙන රසායනික පොහොර කිලෝ 50 බැග් එකකකින් කන්නයකට කිලෝ 10 කැපීමට ආන්ඩුව පියවර ගෙන තිබේ.

හතලිස් හැවිරිදි යූ.බී. ජයසේකර ගොවිතැනින් තමන් ලබා ඇති කටුක අත්දැකීම් විස්තර කලේය. "මම උසස්පෙල දක්වා ඉගෙන ගත්තා. වෙනත් රක්ෂාවක් නැති නිසා රැකියාවක් ලෙස මට ගොවිතැන තෝරා ගන්න සිද්ධ වුනා. නමුත් ගොවිතැනෙන් ජීවත් වෙන්න ප‍්‍රමානවත් තරම් ආදායමක් උපයා ගන්න බැහැ. අක්කරයක් වගා කරන්න රුපියල් 45,000-50,000 විතර යනවා. ගන්න පුලුවන් උපරිම අස්වැන්න වී කිලෝ 2,500 යි. සහතික මිල යටතේත් ලැබෙන මුලු ආදායම එතකොට රුපියල් 70,000-75,000 පමන. ලාබය රුපියල් 20,000 හෝ 25,000 ක්. ඒ මාස හයකට. ආහාරත් ඇතුලුව අනෙක් සියලුම දේ සඳහා වියදම් කරන්න ඕන ඒ මුදලෙන්. මම වගා කරන්නේ අක්කර දෙක හමාරයි. දැන් තියෙන ජීවන වියදමත් එක්ක ඒක සැහෙනවද ජීවත් වෙන්න?”

ගොවි පවුල් තුල ඉඩම් හිඟය, නය ගැතිකම හා විරැකියාව ඉහවහ ගොස් තිබේ. මුල් ඉඩම් බෙදා දුන්නේ දෙමල ජනයා ජීවත් වූ හා ඒ ආසන්න ප‍්‍රදේශවල සිංහල දුගී ගොවීන් පදිංචි කිරීමේ ආන්ඩුවේ ප‍්‍රතිපත්තියේ කොටසක් ලෙස ය. මෙම ඉඩම් ඉන්පසු පරම්පරාවන් අතර බෙදී ගොස් ඇති අතර පවුලකට හිමි ඉඩම් ප‍්‍රමානය අක්කර එක හමාරක් හෝ ඊටත් අඩු ය.

R.B Dharmathilaka outside his half-built homeආර්.බී. ධර්මතිලක ඔහුගේ බාගෙට තැනූ නිවස ඉදිරිපිට.

ආර්.බී. ධර්මතිලක තරුන ගොවියෙකි. ඔහුගේ ඉඩම ඔහුට හිමිවුයේ ඔහුගේ සීයාගෙනි. "යුද්දේ කාලේ ආන්ඩුව මට පදවියෙන් ඉඩමක් දුන්න. ඒ ඉඩම් දුන්නේ එල්ටීටීඊ එකට විරුද්ධව මායිම් ගම්මාන හැදීමේ කොටසක් විධිහට. නිකම් මැරෙන්න වෙන නිසා මම ගියේ නැහැ. අක්කර එක හමාරේ ඉඩමෙන් ලැබෙන ආදායම මදි නිසා අමාරුවෙන් කිරි හරක් තුන්දෙනෙක් හදා ගන්නවා. ඒකෙන් ලැබෙන ආදායම ප‍්‍රමානවත් වෙන්නේ යන්තම් ජීවත් වෙන්න විතරයි.”

පේ‍්‍රමරත්න බන්ඩාර සහ ඔහුගේ සහෝදරයින්ට කුඹුරු ඉඩම් නැත. ඔවුන් ගොවිතැන් කරන්නේ වී කුලියට ලබා ගත් කුඹුරුවල ය. කන්නයකට අක්කරයකට වී කිලෝ 630 ක් පමන කුලිය වසයෙන් ඔවුන් ගෙවිය යුතුය. ආර්ථික දුෂ්කරතා නිසා පේ‍්‍රමරත්නට ඔහුගේ අධ්‍යාපනය අතරමග නතර කරන්න සිදුවිය. "ජීවත්වීමේ වෙනත් විකල්පයක් නැති නිසා පවුලේ අයට පොල් සම්බෝලයි බතුයි හරි කන්න කුලියට ගත්තු ඉඩම්වල ගොවිතැන් කරන්න සිද්ධ වුනා” යයි ඔහු පැවසීය.

ගොවිතැන් කිරීම සඳහා ගොවීන්ට බැංකුවලින් සහ කනකර ආභරන, විදුලි උපකරන, බයිසිකල්, මෝටර් සයිකල් හා අත් ට‍්‍රැක්ටර් දක්වා තමන් සතු හැම දෙයක් ම උකසට තබා පුද්ගලික නය දෙන්නන්ගෙන් ද නය ගැනීමට සිදුවෙයි. රාජ්‍ය බැංකුවකින් නය ගැනීම සඳහා අඩුම වසයෙන් රුපියල් 50,000ක ස්ථීර තැන්පතුවක් තිබිය යුතුය. නැත හොත් ඉඩමේ ඔප්පුව උකසට තැබිය යුතුය.

බීජ අලෙවියේ සිට කෘෂි උපකරන දක්වා ගොවිතැනේ සෑම අංශයක ම ඒකාධිකාරය පුද්ගලික අංශයට හිමිව තිබේ. ආන්ඩුවට අයිතිව පැවති හිඟුරක්ගොඩ වින්සන්ට් පාර්ක් ගොවිපලෙන් අක්කර 2,000ක් පමන ප‍්‍රධාන කෘෂි සමාගමක් වන සීඅයිසී සමාගමට විකුනා ඇත.

ආන්ඩුව පමනක් නොව සමස්ත දේශපාලන සංස්තාපිතය කෙරෙහි ම පැතුරුන කෝපයක් ගොවීන් තුල තිබේ. එක් ගොවියෙක් ප‍්‍රකාශ කලේ: "පහුගිය මැතිවරනයේ දී අපි ඡන්දෙ දුන්නේ මේ ආන්ඩුවට. නමුත් අපේ බලාපොරොත්තු දැන් සුන්වෙලා. යූඑන්පී එක කලින් බලයේ හිටිය. ජේවීපී එක චන්ද්‍රිකා කුමාරනතුංග මැතිනිගෙ ආන්ඩුවේ හිටිය. ඒ පක්ෂ දෙකත් කලේ මේකමනේ නේද? මේ හැම පක්ෂයක් ම අපිව රැවැට්ටුව. ඉස්සරහදි කිසිම පක්ෂයකට ඡන්දෙ දෙන්න අපේ අදහසක් නැහැ.”

ජවිපෙ සමස්ත ලංකා ගොවි සම්මේලනය සමහර ප‍්‍රදේශවල උද්ඝෝෂන සංවිධානය කල අතර එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ගොවීන් ඇමතූහ. විරෝධතා හා පීඩනය යෙදීම නිසා සහතික මිල ඉහල දැමීමට ආන්ඩුවට බල කෙරෙනු ඇතැයි ඔව්හු ගොවීන් මුලා කලහ.

වී මිල වැඩිකල හැකිදැයි සොයා බැලීම සඳහා ඇමතිවරුන්ගෙන් හා ලේකම්වරුන්ගෙන් යුත් "කරුනු සෙවීමේ” කමිටුවක් රාජපක්ෂ ආන්ඩුව විසින් පත් කර තිබේ. භාන්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දරට කරුනු වාර්තා කල යුතු මේ කොමිටිය ගොවීන්ගේ විරෝධතාවන් යටපත් කිරීම අරමුනු කරගත් එකක් මිස ගම්බද පලාත්වල කිසිදු ප‍්‍රශ්නයක් විසඳනු නැත.

වී මිල දැනටමත් තීන්දු කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියමකර ඇති න්‍යාය පත‍්‍රයට අනුව ය. යහපත් ජීවන පැවැත්මක් සඳහා ගම්බද දුගීන්ගේ අරගලය රාජපක්ෂ ආන්ඩුවට පමනක් නොව; එය ආරක්ෂා කරන ලාබ පද්ධතියට ද එරෙහි අරගලයකි. ගම්බද දුගීන් මුහුන දෙන ප‍්‍රශ්න විසඳිය හැකිවන්නේ සමාජවාදී පිලිවෙත් මත පදනම් වූ කම්කරු ගොවි ආන්ඩුවකට පමනි.

Share this article: