එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාව පිලිබඳ යෝජනාව සම්මත කරයි

UN Human Rights Council passes resolution on Sri Lanka

By K. Ratnayake, 28 March 2012

ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (යුඑන්එච්ආර්සී) මාර්තු 22 එක්සත් ජනපදයේ අනුග‍්‍රහය ලත් ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිලිබඳ යෝජනාව සම්මත කලේ ය. බල රහිත, බැඳීමක් නැති යෝජනාවට, ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ආමන්ත‍්‍රනය කිරීම සම්බන්ධයෙන් කිසිවක් කල නොහැකි නමුත් එය එල්ල කෙරී ඇත්තේ දකුනු ආසියානු කලාපය තුල එක්සත් ජනපදයේ උත්සුකතාවයන් ඉදිරියට ගෙනයාම ය.

ස්වකීය උගත් පාඩම් හා සංහිඳියාව කොමිසමේ (එල්එල්ආර්සී) නිර්දේශ ක‍්‍රියාත්මක කරමින් "යුක්තිය, සමානත්වය, වගවීම හා සංහිඳියාව” සඳහා පියවර ගන්නා ලෙස යෝජනාව කොලඹ ආන්ඩුවෙන් ඉල්ලා සිටියි. එය "කාර්ය සැලැස්මක් හා එල්එල්ආර්සී යෝජනා ක‍්‍රියාවට දැමීමේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ට "උපදේශනයට හා ශ‍්‍රී ලංකා ආන්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට” අවස්ථාව සලසන ලෙස ඉල්ලා සිටියි.

වෙනත් වචනවලින් කිවහොත්, එක්සත් ජාතීන්ගේ යෝජනාව "කාර්ය සැලැස්මක්” ඉල්ලා සිටින්නේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය සමග වාර්ගික යුද්ධයේදී හමුදාව විසින් දස දහස් ගනනක් සිවිල් ජනයා ඝාතනය කිරීමට මෙන්ම, ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කිරීමට වගකිවයුතු ආන්ඩුවෙන් ම ය. ජනාධිපති රාජපක්ෂ එල්එල්ආර්සීය පත් කලේ ජාත්‍යන්තර විවේචනවලින් අත සෝදා ගැනීමට හා ආන්ඩුවට සහ හමුදාවට සුදුහුනු ගෑමටය.

මානව හිමිකම් ගැන සීමා සහිත පියවරක් හෝ ගන්නට ඉල්ලා සිටින කවර හෝ යෝජනාවකට එරෙහිව පෙලඹවීමක් ඇති කිරීමට ශ‍්‍රී ලංකා ආන්ඩුව බරපතල උත්සාහයක යෙදුනේය. 2009 මැයි සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව ඇතිකරන ලද සංහිඳියාවේ සහ සාමයේ "පැහැදිලි ප‍්‍රගතිය තහවුරුවීමට තව කාලය” ආන්ඩුවට ලබා දිය යුතු යයි ඇමති මහින්ද සමරසිංහ කීවේය.

සමරසිංහගේ සඳහන් කිරීම් වංචනිකය. සිංහල ප‍්‍රභූවේ දේශපාලන සහ ආර්ථික අධිකාරිය සහතික කිරීම සඳහා බලයට පත් කොලඹ ආන්ඩු සිවිල් යුද්ධය කරගෙන ගියේය. උතුරේ සහ නැගෙනහිරේ තහවුරු කර ඇත්තේ දෙමල සුලුතර ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් පාගන තිරසාර හමුදා වාඩිලා ගැනීමකි.

යෝජනාව අවසානයේ දී 24 ට 15 ඡන්දයකින් සම්මත විය. අර්ථභාරීව, ඉන්දියාව පක්ෂව ද චීනය හා රුසියාව විරුද්ධව ද ඡන්දය දුන්හ.

"ශ‍්‍රී ලංකාවට කල් පවත්නා සාමයක් ඇතිකර ගත හැක්කේ යථා සංහිඳියාව හා වගවීම හරහා පමනක් වනු ඇති බවට ජාත්‍යන්තර ප‍්‍රජාව ඒකාබද්ධව බලගතු සංඥාවක් නිකුත් කල” බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඡන්දෙන් පසු ප‍්‍රකාශ කලා ය. ඔබාමා ආන්ඩුව ඉරාකය, ඇෆ්ගනිස්තානය හා ලිබියාව තුල යුද අපරාදවලට වගකිව යුතු හෙයින් මෙම සඳහන් කිරීම් මුලුමනින් ම වංචනික ය.

යුද අපරාධ පිලිබඳව නඩු විමසීමේ හැකියාව විවෘතව තබා ගැනීම මගින් කොලඹ ආන්ඩුව මත පීඩනය යෙදීමට ශ‍්‍රී ලංකාව තුල "මානව හිමිකම්” ප‍්‍රශ්නය එක්සත් ජනපදය විසින් සිය වාසියට යොදා ගෙන තිබේ. වොෂින්ටනය මූලිකව සැලකිලිමත් වන්නේ යුද්ධය කාල පරිච්චේදයේ රාජපක්ෂ ආන්ඩුවට තීරනාත්මක හමුදා සහ ආර්ථික සහයෝගය සැපයූ චීනයේ වර්ධනය වන බලපෑම සීමා කිරීමට ය.

වොෂින්ටනය කොලඹ ආන්ඩුව සම්බන්ධයෙන් කැරට් අලයේ හා කෙවිටේ ප‍්‍රවිෂ්ටයක් ගෙන තිබේ. ශ‍්‍රී ලංකා ආන්ඩුව සමග වැඩ කිරීමට සුදානම් බව එක්සත් ජාතීන්ගේ යෝජානාවට තල්ලුව දෙන අතරතුර ම හිලරි ක්ලින්ටන් ප‍්‍රකාශ කල අතර මැයි මාසයේ දී, විදේශ ඇමති ජි.එල්. පීරිස් හමුවීමට සැලසුම් කර ඇති බව නිවේදනය කලා ය.

මාර්තු 23 වෙනිදා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සමුද‍්‍රාසන්න හා ගුවන් නිරීක්ෂන උපකරන ශ‍්‍රී ලංකා හමුදාවට විකිනීම සම්බන්ධයෙන් පනවා තිබු තහනම ඉවත් කලේ ය. එක්සත් ජනපදය විසින් පනවා ඉරානය මත ඇති සම්බාධකවලින් සැලකිය යුතු බැහැර කිරීමක් ශ‍්‍රී ලංකාවට ලබා දී ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කලේ ය. එහි තෙල් අවශ්‍යතාවලින් වැඩි ප‍්‍රමානයක් ඉරානයෙන් මිල දී ගන්නා ශ‍්‍රී ලංකාව මෙම අවුරුද්දේ දී ඉරානයෙන් කරන ආනයනයන් අඩු කල යුත්තේ සියයට 15 න් පමනි.

එක්සත් ජාතීන්ගේ යෝජනාව සඳහා ඉන්දියාවේ සහයෝගය, මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂනයක් ඉල්ලමින් ඉදිරිපත් කල යෝජනාවකට එරෙහිව රුසියාව හා චීනය සමග එය ඡන්දය දීමේ දී 2009 පැවති එහි ආස්ථානයේ මාරුවක් සලකුනු කරයි. නව දිල්ලිය යෙදීගෙන සිටින්නේ ප‍්‍රවේසම් සහගත සමතුලන කර්යයක ය. රාජපක්ෂ ආන්ඩුව සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන යාමට ද චීනයේ බලපෑම අවම කිරීමට ද එයට වුවමනා ය. එමෙන්ම එක්සත් ජනපදය සමග මුලෝපායාත්මක සම්බන්ධතාවය ශක්තිමත් කර ගැනීමටත්, ශ‍්‍රී ලංකාවේ දෙමල ජනයාට සලකන ආකාරය ගැන පුලුල්ව පැතුරුන මහජන විරුද්ධත්වයක් පවතින දකුනේ තමිල්නාඩු රාජ්‍යය තුල දේශපාලන පක්ෂ සැනසීමටත් ඉන්දියාව උත්සාහ කරයි.

රාජපක්ෂ සැනසීමේ උත්සාහයක් ලෙස, ඡන්දයෙන් පසු ඉන්දියානු අගමැති මන්මෝහන් සිං ඔහුට ලියුවේය. "යෝජනාවේ භාෂාව තුල සමතුලන මුලධර්මයක්” හඳුන්වාදීමට ඉන්දියාව "බෙහෙවින් වෙහෙස වූ” බව සිං ප‍්‍රකාශ කලේ ය. ඔහු සඳහන් කරන්නට ඇත්තේ යුඑන්ආර් එච්සී කාර්යයන් වැලැක්වීමේ මාධ්‍යයක් කොලඹ ආන්ඩුවට ලබා දෙන "උපදේශනය සහ සහයෝගයෙන් කටයුතු කිරීම” යන වාක්‍ය කන්ඩය ගැන බව නිසැක ය.

ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් බව කියමින් චීනය සහ රුසියාව යෝජනාවට විරුද්ධ වුහ. ශ‍්‍රී ලංකාව තුල හා ලෝකයේ අනෙක් ප‍්‍රදේශවල, එහි මුලෝපායාත්මක අවශ්‍යතාවයන් ඔවුන්ගේ වියදමෙන් පෙරට ගෙනයාම සඳහා "මානව හිමිකම්” පිලිබඳ ප‍්‍රශ්නය සුවිශේෂව හා නරුම ලෙස එක්සත් ජනපදය විසින් යොදා ගන්නා බව රටවල් දෙකම හොඳින් දනී. චීන නියෝජිත කන්ඩායම යුඑන්එච්ආර්සීහි දී යෝජානාවට විරුද්ධව බරපතල ලෙස උද්ඝෝෂනය කල බව ඩේලි මිරර් වාර්තා කලේ ය.

රට "ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයක” ඉලක්කය බවට පත්ව ඇතැයි ප‍්‍රකාශ කරමින් ශ‍්‍රී ලංකාව තුල ජාතිකවාදී සහ බටහිර විරෝධී ඇවිස්සීමක් කිරීමට ආන්ඩුව ප‍්‍රශ්නය උපයෝගී කරගෙන ඇත. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු පාලක සභාගය "මවු බිම රැකගනිමු” යන සටන් පාඨය යටතේ පසුගිය සතිවල රටේ විවිධ පලාත්වල පෙලපාලි සංවිධානය කලේ ය. මාර්තු 31 වෙනිදා සිට තවත් වටයකින් රැස්වීම් සංවිධානය කිරීමට සැලසුම් කර තිබේ.

මෙම ප‍්‍රතිගාමී දේශපේ‍්‍රමී උද්ඝෝෂනය ඍජුව ම එල්ල කෙරී ඇත්තේ මවු බිම පාවාදීම පිලිබඳ චෝදනා එල්ල වී ඇති කම්කරුවන්ගේ, ගොවීන්ගේ හා දුප්පතුන්ගේ අරගලවලට එරෙහිව ය. ඉන්ධන මිල හා විදුලි ගාස්තු ඉහල දැමීම ඇතුලුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු ඉල්ලීම් ආන්ඩුව විසින් ක‍්‍රියාවට දැමීමට එරෙහිව විරෝධතා උද්ඝෝෂන හා වර්ජන පැන නැගී තිබේ.

"ස්වාධීන රටක් ලෙස ශ‍්‍රී ලංකාව එහි කටයුතුවලට අත්තනෝමතික ඇඟිලි ගැසීම්වලට ඉඩ දෙන්නේ නැතැයි” එක්සත් ජාතීන්ගේ යෝජනාව සම්මත වීමෙන් පසු ජනාධිපති රාජපක්ෂ ප‍්‍රසිද්ධ රැස්වීමක දී ප‍්‍රකාස කලේ ය. ආන්ඩුව "අමාරුවෙන් දිනාගත් සාමය අස්ථාවර කිරීම සඳහා ත‍්‍රස්තවාදයට හෝ ත‍්‍රස්තවාදයට සහයෝගය දෙන කිසිදු බලවේගයකට රට තුල ඔවුන්ගේ හිස එසවීමට ඉඩ දෙන්නේ නැහැ.”

රාජපක්ෂගේ සැලකිල්ල සැබෑවට ම යොමුවී පවතින්නේ, වොෂින්ටනයේ උවමනාකම්වලට ගැලපේ නම් ලිබියාවේ ගඩාෆි තන්ත‍්‍රයට සිදු වූවාක් මෙන් ඔහුගේ ආන්ඩුව, ඉක්මනින් ම ජාත්‍යන්තරව කොන්වුවෙකු බවට පත්වීමට ඇති හැකියාව ගැනය. එමෙන් ම ඔහු හා ඔහුගේ ඇමතියන් තමන් යුද අපරාධ පිලිබඳ නඩු විමසීම්වලට මුහුන දී සිටින බව හදිසියේම දැන ගනු ඇත. "ජාත්‍යන්තර ඇඟිලි ගැසීම්” ගැන කරන ඔහුගේ සියලුම ප‍්‍රසිද්ධ වාචාල කතා තිබිය දී ම රාජපක්ෂ එක්සත් ජනපදය හා යුරෝපා සංගමය සමග සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ කඩිනම් උත්සාහයක යෙදී සිටින්නේය.

ප‍්‍රධාන විරුද්ධ පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය (යුඑන්පී) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) එල්ටීටීඊයට එරෙහි රාජපක්ෂගේ යුද්ධයට මුලුමනින් ම සහයෝගය දුන් අතර හමුදාවේ යුද අපරාධ ආවරනය කිරීමට උපකාර කලේ ය. එහි නැඹුරුවෙන් එක්සත් ජනපද ගැති යූඑන්පීය එල්එල්සීආර් යෝජනා ක‍්‍රියාවට දැමීමට ආන්ඩුවට සිය සහයෝගය ලබා දී තිබේ. "ජාත්‍යන්තර ඇඟිලිගැසීම්” වැලැක්වීමට ප‍්‍රමානවත් තරම් කටයුතු නොකිරීම ගැන ආන්ඩුවට දෝශාරෝපනය කරන ජවිපෙ එක්සත් ජාතීන්ගේ යෝජනාව "රටට බරපතල පහරක්” ලෙස විස්තර කර තිබේ.

එක්සත් ජනපදයේ, යුරෝපා සංගමයේ හා ඉන්දියාවේ සහයෝගය වාර්ගික ගැටුමට ඊනියා දේශපාලන විසඳුමක් ඇතිකර ගැනීමට උපකාර වනු ඇතැයි ගනන් බලමින් ධනේශ්වර දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) එක්සත් ජාතීන්ගේ යෝජනාව සාදරයෙන් පිලිගෙන තිබේ. සීමා සහිත ප‍්‍රාදේශීය ස්වපාලනයක් ලබාදෙන හා දෙමල ප‍්‍රභූවේ නිශ්චිත වරප‍්‍රසාද රැකෙන ආකාරයට කොලඹ ආන්ඩුව සමග බලය බෙදා ගැනීමකට ටීඑන්ඒ උත්සාහ කරයි.

මානව හිමිකම් රැකීමේ එක්සත් ජනපදයේ බොරු මවා පෑම් මෙන්ම "මවු බිම ආරක්ෂා කිරීමේ” රාජපක්ෂගේ ප‍්‍රතිගාමී උද්ඝෝෂනය යන දෙකම කම්කරු පන්තිය ප‍්‍රතික්ෂේප කල යුතු ය. සිංහල-දෙමල කම්කරු පන්තියේ මුලික ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් රැක ගත හැක්කේ කම්කරු-ගොවි ආන්ඩුවකට හා සමාජවාදී ප‍්‍රතිපත්ති සඳහා කරන ඒකාබද්ධ විප්ලවවාදී අරගලයක කොටසක් ලෙස පමනි. දකුනු ආසියාවේ සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසක් ලෙස ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමුහාන්ඩුවක් සඳහා සමාජවාදී සමානතා පක්ෂය සටන් කරයි.

Share this article: