එක්සත් ජනපදය මෙහෙය වූ සම්මේලනය සිරියානු රූකඩ නඩයට සහාය දෙයි, යුද්ධයේ තර්ජනය ගෙන එයි

US-led conference backs Syrian puppet group, threatens war

By Niall Green, 2 April 2012

01දා තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ දී රැස්වෙමින් ඊනියා "සිරියාවේ මිතුරෝ ” සමුලුව, රාජ්‍ය තාන්ත්‍රික උපාමාරු හා සෘජු හමුදා මැදිහත්වීම්වල සංයෝගයක් තුලින් සිරියානු ආන්ඩුව අස්ථාවර කිරීමේ හා පෙරලා දැමීමේ, එක්සත් ජනපදය මෙහෙයවන උද්ඝෝෂනය තීව්‍ර කලහ.

යුරෝපීය බලවතුන්ගේ හා මැද පෙරදිග එක්සත් ජනපද ගැති ඒකාධිපතිත්වයන්ගේ උදව්වෙන් වොෂින්ටනය, රටවල් 74 කන්ඩායමට නායකත්වය දෙයි. සටන් විරාමයක් ගෙන ඒමේ හා ආන්ඩුව ද විරුද්ධ පාර්ශ්වය ද අතර සාකච්ඡා ඇරඹීමේ එල්ලය සහිතව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් කොෆි අනන් සිරියාවේ නියාමන දූත ‍ මෙහෙවරක ප්‍රධානත්වය ගන්නවාත් සමග සමුලුව පැවත්වුනි. සිරියානු තන්ත්‍රය අනාන්ගේ සාම සාකච්ඡාවලට එකඟත්වය පලකර ඇති අතර එක්සත් ජනපද ගැති ප්‍රධාන විපාර්ශ්වීය කන්ඩායම් එ‍සේ කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

01දා සාකච්ඡා ආරම්භ කරමින් තුර්කි අගමැති රෙසෙප් ටේයිප් අර්ඩෝගන්, අනාන්ගේ මෙහෙවරේ අරමුන, අසාද් තන්ත්‍රය සමග ආතතිය වැඩි කිරීම හා විදේශීය හමුදා මැදිහත්වීමකට පදනම දැමීම සඳහා එය ප්‍රයෝජනයට ගැනීම බව පැහදිලි කලේ ය.

"සිරියානු තන්ත්‍රය (අනන්ගේ මෙහෙවරට) සහාය නොදක්වන්නේ නම්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තම වගකීම ඉටුකිරීමට හා සිරියාවේ සංහාරය අවසන් කිරිමට මැදිහත්වීම, නොවැලක් විය හැකි අවශ්‍යතාවක් වන බව පැවසීමට මට අවශ්‍ය ය” අර්ඩෝගන් පැවසී ය. "එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය යලි වතාවක් මෙම ඓතිහාසික වගකීම මග හරින්නේ නම්, ජාත්‍යන්තර ප්‍රජාවට සිරියානු ජනතාවගේ ස්වයං නීර්න අයිතියට සහයෝගය දැක්වීම හැර වෙන කිරීමට දෙයක් නැත.”

ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ආන්ඩුව කොෆි අනාන්ගේ සාම සාකච්ඡාවල කොන්දේසි සලකා නොබලනු ඇති බව පවසමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඇගේ කතාවේ දී ඒසමාන ම ප්‍රහාරයක් එල්ල කලා ය. "ආසන්න වශයෙන් සතියක් පසුවී ඇත. තන්ත්‍රය එහි දීර්ග කඩවුනු පොරොන්දු ලැයිස්තුව තවත් දීර්ග කරන බව නිගමනය කිරීමට අපට සිදුවී තිබේ. ලෝකය අසාද් ගැන තීරනය කල යුත්තේ, ඔහු කරන දෙයින් මිස ඔහු පවසන දේ අනුව නොවේ. අපට තවත් කල් වාඩිවී බලා සිටිය නොහැකි.” යයි ඇය පැවසුවා ය.

මෙම වසර මුල දී එක්සත් ජනපදය මෙහෙය වූ "සිරියාවේ මිතුරෝ” සභාගය පිහිටුවන ලද්දේ, රුසියාව හා චීනය විසින් නිෂේධ බලය පාවිච්චි කරන ලදුව අසාද්ගේ ආන්ඩුවට එරෙහිව යෝජනාව සම්මත කර ගැනීමට නොහැකිව සිටින, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මගහැරීමට ය. රුසියා හා චීන ආන්ඩු, සිරියාවේ පාලන තන්ත්‍ර වෙනසක් සඳහා වූ වොෂින්ටනයේ උද්ඝෝෂනයට අනුමැතිය දීම ප්‍රතික්ෂේප කලහ.

2003 නීති විරෝධී ඉරාක ආක්‍රමනය සූදානම් කෙරෙන තතු තුල බුෂ් පරිපාලනය නිර්මානය කල ඊනියා "මනාප සභාගය” මෙන් ඔබාමා පාලනය ද තෙල්වලින් ආඩ්‍ය මැද පෙරදිග පැරනි යටත් විජිත රාජ්‍යයට එරෙහිව නිර්ලජ්ජීත අධිරාජ්‍යවාදී උද්ඝෝෂනය ආවරනය කරන කඩතුරාවක් සැපයීම සඳහා "සිරියාවේ මිතුරෝ ” කන්ඩායම අටවා ඇත.

ඉස්තාන්බුල් සමුලුව සිරියානු මහජනතාවගේ නියෝජිතයන් ලෙස සහභාගී වන ලෙස සිරියානු ජාතික කවුන්සිලයේ (සිජාක) සාමාජිකයින්ට ඇරයුම් කලහ. සාකච්ඡා ඇරඹීමට පෙර මාධ්‍යයට කල ප්‍රකාශයක දී සිජාක නායක බුර්හාන් ඝාලිඕන්, විරුද්ධ පාර්ශ්වයට ආයුධ සැපයීම වැඩි කරන ලෙසට හා සිරියාව තුල මිලිටරි බලය යොදා "මානුෂික බිම්තීරු ” පිහිටුවන ලෙස ඉල්ලී ය. "සිරියාව නිදහස් කරනු හමුදාව සන්නද්ධ කරන ‍ලෙස අපි නැවත නැවතත් ඉල්ලා ඇත්තෙමු. සිරියාවේ මිතුරෝ සමුලුව ‍මෙම ඉල්ලී‍මට ගැලපෙන මට්ටමින් පවතිනු ඇතැ යි අපි බලා‍පො‍රොත්තු ‍වෙමු” යි ඝාලිඕන් පැවසී ය .

වොෂින්ටනය හා එහි මිතුරන් ‍හොඳින් දන්නා පරිදි සිජාක සිරියාව තුල මහජන සහ‍යෝගයක් නැති ගැඹුරු ලෙස ‍බෙදුනු කන්ඩායමකි. එහි මිතුරන් ද සමග සිරියාව නිදහස් කරනු හමුදාව හා ‍නො‍යෙකුත් ඉස්ලාමීය සටන් කන්ඩායම්, සිජාක විසින් ‍ සිදුකල සිවිල් වැසියන් ඝාතන ‍ බො‍හොමයක් ද රජයේ හා ‍පෞද්ගලික ‍‍ගොඩනැගිලිවලට එල්ල කල ත්‍රස්ත ප්‍රහාරයන් ‍මෙන් ම පැහර ගැනීම්, වදහිංසා හා නිකායික ඝාතන ද සම්බන්ධ ‍වගකීම දරයි.

එ‍සේ වුව ද, "සිරියාවේ මිතුරෝ ” රැස්වී‍මේ අවසාන ප්‍රකාශය මගින් සිජාකයට "සියලු ම සිරියානුවන්ගේ නීත්‍යානුකූල නි‍යෝජිත ” තත්වය ප්‍රදානය ක‍ලේ ය.‍ මෙම නාමයට ජාත්‍යන්තර නීතිය තුල ඉඩක් නැති නමුත්, 2011දී මුඅම්මර් ගඩාෆි තන්ත්‍රය ‍පෙරලා දැමීම පිනිස ලිබියාවට එ‍රෙහි නේටෝ ‍ යුද්ධයට සූදානම්වීම තුල දී "කැරලිකාර” ජාතික සංක්‍රමනීය සභාව හුවා දැක් වූ ආකාරයට ම සිජාක ‍ඊලඟ ආන්ඩුව ‍ලෙස ප්‍රවර්ධනය කිරී‍මේ යාන්ත්‍රනය ‍ ලෙස යොදා ගැ‍නීමට අ‍පේක්ෂිත ය.

සිජාක හා සිරියාව නිදහස් කරනු හමුදාව තුර්කිය තුල පදනම්ව ඇති අතර, කලාපයේ එක්සත් ජනපද ගැති ආන්ඩුවලින්, විශේෂයෙන් ම සෞදි අරාබි හා කටාර් ආන්ඩුවලින් ආයුධ, මුදල් හා පුහුනුව ලබා ඇත. විරුද්ධ පාර්ශ්වීය සටන්කරුවන්ට සිරියාව තුල තම ප්‍රහාරයන් වඩාත් හොඳින් සම්බන්ධීකරනයට ඉඩ සලසන සූක්ෂ්ම සංනිවේදන පද්ධති වැනි "ඝාතක නොවන” ආධාර සපයමින්, අසාද් විරෝධී සටන්කාමීන් සන්නද්ධ කරන බව ද පසුගිය සතියේ දී වොෂින්ටනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කලේ ය.

මුදල් පරිහරනය කල යුත්තේ කෙසේ ද යන්න ගැන නියෝජිතයන් අතර නොඑකඟතාවන් පැවතිය ද, ඉස්තාන්බුල් සමුලුව සිජාක සඳහා "භාරකාර අරමුදලක් ” පිහිටුවීම ගැන කතා කලහ. සෞදි අරාබිය හා කටාර් රටවල්, පාර්ශ්වීය සටන්කරුවන්ට ආයුධ මිල දී ගැනීම සඳහා මුදල් සැපයිය යුතු යයි බලකරමින් සිටී. අරමුදල් යෝජිත "මානවහිතවාදී ” ව්‍යාපෘතිවල ප්‍රයෝජනට සීමාකිරීමට කැමැත්ත දක්වන වොෂින්ටනය හා යුරෝපීය බලවත්තු විවෘතව මෙයට කැපවීමට මැලිකම් දක්වති.

සිජාකට සහාය පිනිස එක්සත් ජනපදය අතිරේක ඩොලර් මිලියන 12ක් සපයනු ඇතැ යි ක්ලින්ටන් ප්‍රකාශ කල අතර ජර්මන් විදේශ ඇමති ගයිඩෝ වෙස්ටර්වෙල් ඔහුගේ ආන්ඩුව විපාර්ශ්වයට ඩොලර් මිලියන 7.6 සපයනු ඇතැ යි පැවසීය. සෞදි අරාබිය හා අනෙකුත් ගල්ෆ් ආන්ඩු, අරමුදල සඳහා ඩොලර් මිලියන ගනනක් සූදානම් කරමින් සිටිති.

සිරියානු ජාතික කවුන්සිලයට අරමුදල් සැපයෙන අතර, එය සිරියාව තුල සන්නද්ධ ප්‍රහාරයන්හි නියැලී සිටින අයට අරමුදල් සපයන තැරැව්කරුවා වනු ඇත. "සිජාක, සිරියාව නිදහස් කරනු හමුදාවේ නිලධාරීන්ට, සොල්දාදුවන්ට හා එහි සාමාජිකයන් වන අනෙකුත් අයට නිත්‍ය වැටුප් ගෙවීමේ වගකීම බාර ගනු ඇතැ” යි කන්ඩායමේ සභාපති ඝාලිඕන් පැවසී ය. වෙනත් වචනවලින් කියතොත් සිරියාව තුල ඊනියා "සටන්කාමීන් ” අධිරාජ්‍යවාදී බලවතුන්ගේ හා ගල්ෆ් ෂික් රාජාන්ඩුවල කුලී භටයින්ට වැඩි දෙයක් නො වේ.

ඉස්තාන්බුල් සමුලුවේ දී එක හෙලාම සිජාක පිලිගැනීම මගින් වොෂින්ටනය හා එහි මිතුරෝ වෙනත් සියලු ම විපාර්ශ්වීය කන්ඩායම් කොන් කිරීමට ද උත්සාහ දරමින් සිටිති. උදාහරන වශයෙන්, රුසියානු ආන්ඩුවේ මැදිහත්වීම හරහා අසාද් තන්ත්‍රය සමග සාකච්ඡාවලට සහභාගි වී ඇති එක් විපාර්ශ්වීය කන්ඩායමක් වන ජාතික සම්බන්ධීකරන කමිටුව සමුලුවට කැඳවූයේ නැත.

රුසියාව හා චීනය "සිරියාවේ මිතුරෝ ” රැස්වීමට එක්වූයේ නැති අතර, ෆෙබරවාරියේ දී ටියුනීසියාවේ පැවති එවැනි රැස්වීමකට සහභාගි වූයේ ද නැත. ඉස්තාන්බුල් රැස්වීම දැන් පවතින කොෆි අනන්ගේ රාජ්‍ය දූත මෙහෙවෙරින් ඉවතට හැරීමක් හා සාම සාකච්ඡා ගෙන එනු වෙනුවට සිරියාව අස්ථාවර කිරීමේ උත්සාහයක් ලෙස ක්‍රෙම්ලිනයේ හෙලා දැකීමට ලක් වි ය.

31දා රුසියානු විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශයකට අනුව, ඉස්තාන්බුල් රැස්වීම "ගැටුම අවසන් කල හැකි සාකච්ඡාවක් සඳහා උත්සාහයක් දරන්නේ නැත. ඊට විපරීතව එය බාහිර මැදිහත්වීමකට පාර කපනු ඇත.”

රුසියානු ජනාධිපති දිමිත්‍ර මෙඩ්විඩේව් එක්සත් ජාතීන් අනුග්‍රහයෙන් පැවැත්වෙන කොෆි අනන්ගේ දූත මෙහෙවර සිරියාව තුල පූර්න පරිමාවක යුද්ධයක් වැලැක්වීමේ "අවසාන අවස්ථාව” යයි අවධාරනය කරන අතර, අසාද් වහාම ඉල්ලා අස්විය යුතුය යන වොෂින්ටනය, බටහිර යුරෝපීය බලවතුන් හා ගල්ෆ් රාජාන්ඩු කරන ඉල්ලීම "අදූරදර්ශී ” හා දිග්ගැස්සෙන ගැටුමකට ඉඩ සලසන්නක් යයි පැවසුවේ ය.

ඉරාක ආන්ඩුව ද ඉස්තාන්බුල් රැස්වීමට නියෝජිතයන් යැවීම ප්‍රතික්ෂේප කලේ ය. ඉරාක ප්‍රකාශක අලි මුසාවි පසුගිය සතියේ ඒඑෆ්පී ප්‍රවෘත්ති සේවයට පැවසුවේ, බැග්ඩෑඩයට "මැදිහත්කරුවෙකු” ලෙස තම භූමිකාව පවත්වාගෙන යාමට අවශ්‍ය බවත්, ඇතම් විට ඒ සඳහා ඒ හෝ මේ රැස්වීමට සහභාගිවීම අවශ්‍ය නොවන බවත්ය.

"ප්‍රජාතන්ත්‍රවාදය” හා "මානව හිමිකම් ” පිලිබඳ වොෂින්ටනයේ හා එහි මිතුරන්ගේ කුහක කතා පිටුපස, සිරියාවට එරෙහිව ඉස්තාන්බුල් රැස්වීමේ දී ගොනුකල ව්‍යාපාරය, අසාද් ඉවත් කිරීම හා අධිරාජ්‍යවාදී උත්සුකයන්ට වඩාත් සෘජුව යටත් වූ අයෙකු සමග ඔහු‍ගේ බාතිස්ට් තන්ත්‍රය ‍වෙනස් කිරීම වෙත එල්ල වේ. ‍මෙය කලාප‍ය තුල සිරියාවේ ප්‍රධාන මිතුරා වන ඉරානයේ පාලන තන්ත්‍ර ‍වෙනස ඇතුලුව තෙල්වලින් ‍පොහොසත් මැද ‍පෙරදිග යලි හැඩ ගැස්වී‍මේ පලල් එක්සත් ජනපද මූලෝපායේ කොටසකි.

වොෂින්ටනය ඉරානයට එ‍රෙහිව යුද්ධය සඳහා සූදානම් වෙමින් සිටින බව පලවෙන තවත් ඇඟවුමක දී, මේ වන විටත් එක්සත් ජනපද කොන්ග්‍රසය විසින් සම්මත කර ඇති ඉරාන තෙල් හා ගෑස් කර්මාන්තයට එරෙහි සම්බාධක ක්‍රියාත්මක වනු ඇතැ යි ජනාධිපති බැරක් ඔබාමා සිකුරාදා නිවේදනය කලේ ය. විශාල වශයෙන් භාන්ඩ වෙලඳුන් මැද පෙරදිග නව යුද්ධයක් පිපිරෙනු ඇතැ යි සම‍පේක්ෂනය කිරීම නිසා ‍මෙම වස‍රේ දී සියයට 20කින් ඉහල ගොස් ඇති ගෝලීය තෙල් මිලට මින් ඇතිවිය හැකි බලපෑම අවම කිරීමට ඔබාමා පරිපාලනය සෞදි අරාබියේ තෙල් නිෂ්පාදනය ඉහල දැමීමේ එකඟත්වයක් දිනා ‍ගෙන ඇත.

සීඑන්එන් ප්‍රවෘත්ති සේවයට අනුව, පෙ‍නෙන හැටියට නම් "සිරියාවේ මිතුරෝ” රැස්වීමට සූදානම්වීම තුල, රාජ්‍ය ‍ලේකම් ක්ලින්ටන් හා අබ්දුල්ලා රජු අතර සිකුරාදා පැවති සාකච්ඡාවේ දී රජු, එක්සත් ජනපද සම්බාධක යටතේ නැතිවෙන ඉරාන තෙල් අඩුව පිරමැසීමට එකඟ විය. සෞදි අරාබිය දිනකට තෙල් නිෂ්පාදනය බැරල් මිලියන එක හා දෙක අතර ප්‍රමානයකින් වැඩිකිරීමට මෙය සමාන වනු ඇත.

Share this article: