අධිරාජ්‍යවාදී බලවත්තු යුද්ධයට සූදානම්වීම සඳහා සිරියානු සාම සැලැස්ම ගසා කති

Imperialist powers manipulate Syrian peace plan to prepare for war

By Johannes Stern, 9 April 2012

මෑත දිනවල දී, බටහිර බලවත්තු සිරියාව තුල සිවිල් යුද්ධය ඇවිස්සීමට හා මූ‍ලෝපායාත්මකව වැදගත් මෙම රට තුල අධිරාජ්‍යවාදී මැදිහත්වීමේ වෑයම දැඩි කර ඇත. රජ‍යේ හමුදා හා සිවිල් වැසියන්ට එරෙහිව එල්ල කෙරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයන් සමග එක්ව මුදාහැර තිබෙන බටහිර සහාය ලබන සන්නද්ධ කන්ඩායම් හා සිරියානු හමුදා අතර උග්‍ර අතට හැරෙන සටන් පිලිබඳව මාධ්‍ය වාර්තා කර යි.

උතුරු සිරියාවේ අලේපෝ පලාතේ දරුනු සටන් හටගෙන ඇත. මෙම පලාතට තුර්කිය සමග කිලෝ මීටර් 200ක දේශසීමාවක් ඇති අතර බටහිර සහාය ලබන සිරියාව නිදහස් කරනු හමුදාව (එෆ්එස්ඒ) ලැගුම් ගෙන සිටින්නේ මෙහිය. ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සියට අනුව “කැරලිකාර ” හමුදා සිරියා‍වේ දෙවැනි විශාලතම නගරය වන අලේපෝහි හමුදා බුද්ධි අංශ මූලස්ථානයට පහර දුන් අතර එෆ්එස්ඒ ආසන්න‍යේ ඇති මිනාක් ගුවන් කඳවුරට උදෑසන ප්‍රහාර දියත් ක‍ලේ ය.

තවත් ප්‍රහාරයක දී, 09දා අලුයම හමුදා හා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු මරා දැමුනි. තුර්කි දේශ සීමාව ආසන්නයේ එෆ්එස්ඒ ප්‍රධාන බල‍කොටුවක් වන ඉඩ්ලිබ් පලාත තුල එෆ්එස්ඒ විසින් අල්ලා ගෙන සිටින ප්‍රදේශයකට ‍සිරියානු හමුදා ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල ක‍ලහ.

මධ්‍යම සිරියා‍වේ ද ගැටුම් හා ත්‍රස්ත ප්‍රහාරයන් සිදුවුනි. හමා නගර‍යේ දිස්ත්‍රික්ක කීපයක ම සන්නද්ධ කන්ඩායම් හා නිත්‍ය සිරියානු හමුදාව අතර ගැටුම් වාර්තා වුනි. ත්‍රස්ත කන්ඩායම් විසින් හොම්ස්හි ඇට වූ බෝම්බ 5ක් නිෂ්ක්‍රීය කෙරුනු බව නිල සිරියානු අරාබි ප්‍රවෘත්ති සේවය (සානා) වාර්තා ක‍ලේ ය. සති අන්ත‍යේ දී වාර්තාගත වූ ආකාරයට පුද්ගලයන් 100ක් මරා දැමුනු අතර මෑත දිනවල දී දහස් ගනනක් තුර්කි දේශ සීමාව හරහා පැන ගොස් ඇත.

එක්සත් ජනපදය හා එහි ප්‍රධාන නේටෝ මිතුරන් වන ප්‍රන්සය, මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය හා තුර්කිය, සිරියාව අස්ථාවර කිරී‍මේ උද්‍ඝෝෂනයට නායකත්වය දෙමින් සිටිති. ප්‍රතිගාමී පර්සියානු ගල්ෆ් රාජාන්ඩු සමග සෞදි අරාබිය හා කටාර් ආන්ඩු ඊනියා "කැරලිකාරයින්ට ” අරමුදල් සපයමින් හා ඔවුන් සන්නද්ධ කරමින් සිටිති. අප්‍රේල් පල‍වෙනිදා ඉස්තාන්බුල්හි සිරියාවේ මිතුරෝ ” රැස්වීම අතරතුර සෞදි හා කටාර් තන්ත්‍ර, ඔවුන්ගේ තත්වය අධිරාජ්‍යවාදීන්ගේ කලාපීය බැල කුලී හමුදාවක් ‍ලෙස නිල වශයෙන් නම් කරමින් ඔවුහු "කැරලිකාරයින්” තම පඩි ලැයිස්තුවලට ඇතුල් කරන බව ප්‍රකාශ ක‍ලහ.

"කැරලිකාරයින්ගේ” වර්තමාන ප්‍රති‍රෝධය හා බටහිර හවුල් කරුවන්ගේ ප්‍රතිචාර, එක්සත් ජාතීන්ගේ හිටපු මහ‍ලේකම් ‍කොෆී අනාන් ජනාධිපති බෂාර් අල් අසාද්ගේ සිරියානු තන්ත්‍රය සමග සාකච්ඡා කල කාරනා හයක සාම සැලැස්මේ ව්‍යාජ ස්වභාවය හෙලිදරව් කර යි. ඔවුන් පවසන ආකාරයට අධිරාජ්‍යවාදී බල‍වේග, මෙම ගැටුමට ‍ කිසිදා ‍දේශපාලන විසඳුමක් බලා‍පොරොත්තු ‍නො වූ අතර, ඒ ‍වෙනුවට ලිබියානු ආකාර‍යේ තන්ත්‍ර පෙරලාදැමීමක් සංවිධානය කිරී‍මේ බලා‍පො‍රොත්තු‍වෙන් සිරියාවට එරෙහිව වැඩිදුර ප්‍රකෝපකරනයන් සඳහා කඩතුරාවක් නිර්මානය කිරීමට උත්සාහ කරති.

06දා එක්සත් ජාතින්ගේ මහ‍ලේකම් බැන්-කී මූන් ආන්ඩුවේ හමුදා ප්‍රහාර, එදිරිවාදිකම් නැවත්වීමට ඉල්ලන එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය "උල්ලංඝනය” කිරීමක් යැයි පවසමින් සිරියාව තුල ප්‍රචන්ඩත්ව‍ෙය් සියලු ම ‍දෝෂා‍රෝපනයන් අසාද් තන්ත්‍රය මත පැටවී ය. "මානව අයිතීන් හා ජාත්‍යන්තර මානව හිතවාදී නීති දරුනු ‍ලෙස උල්ලංඝනය කිරීම සඳහා සිරියානු අධිකාරීහු සම්පූර්න‍යෙන් වගකිව යුතුව සිටිති. මෙය වහා ම නැවත් විය යුතු ය” යි බැන්-කී මූන් පැවසී ය. සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සඳහා වූ අප්‍රේල් 10 දා කාල සීමාව ඝාතන උත්සන්න කිරීම සඳහා "සමාවට කාරනයක් ” ලෙස යොදා ගැනීම ගැන ඔහු සිරියානු ආන්ඩුවට ‍චෝදනා ක‍ලේ ය.

තුර්කි අගමැති රෙසෙප් ටේයිප් අර්ඩෝගන් සිරියාව සටන් විරාමය පිලිපදින්නේ දැ යි තුර්කිය “ඉවසීමෙන්” බලා සිටින බව ප්‍රකාශ කල නමුත් ඊට පසුවත් එරට ප්‍රචන්ඩකම් නතර නොකරන්නේ නම් “ඇතැම් පියවර” ගන්නා බව තව දුරටත් පැවසු‍වේ ය. තුර්කිය ගනු ලබන්නේ කුමන පියවර දැ යි අර්ඩෝගන් වි‍‍ශේෂ‍යෙන් සඳහන් ‍නොකලත් ඔහු මීට ‍පෙර සිරියාව තුල ආරක්ෂක කලාපයක්, එනම් සිරියා‍වේ ‍කොටසක් අල්ලා ගැනී‍මේ සැලැසුම් නි‍වේදනය කර තිබුනි.

සිරියාව සමග යුද්ධයක් සඳහා වැඩි ‍වෙන්නා වූ අධිරාජ්‍යවාදී ම‍නෝගතිය පිලබඳ තවත් ඇඟවුමක දී දිනපතා ජර්මන් පත්‍රයක් වන සු‍ඩේයට්ස් ෂේයිටුංග් බ්‍රහස්පතින්දා "සිරියා‍වේ පාඩම්” මැ‍යෙන් කතුවැකියක් පල ක‍ලේ ය. සිරියානු අර්බුදයට සාමකාමී විසඳුමක් ‍සෙවීම බලා‍පො‍රොත්තු රහිත බව පවසමින් එය ‍මෙ‍සේ ලී‍වේ ය: "පවතින්නේ නැති ‘‍දේශපාලන විසඳුමක් ’ සෙවීම මෙන් ‍නොව සමහර විට හමුදා බලය පාවිච්චි කිරීම නිවැරදි පමනක් ‍නොව සදාචාරාත්මකව පවා යුක්ති සහගත ය.”

සිරියානු තන්ත්‍රය සාපරාධී බටහිර ක්‍රියා නැවත නැවතත් ‍පෙන්වා දී ඇත. "වි‍ශේෂ‍යෙන් ම ‍කොෆී අනන්ගේ සැලැසුම් ගැන අව‍බෝධයක් ලබා ගැනී‍මෙන් පසු සිරියාව තුල සන්නද්ධ ත්‍රස්ත කන්ඩායම් විසින් කරනු ලබන ත්‍රස්ත ක්‍රියා ඉහල ‍ගොස් ඇතැ” යි පවසමින් එය සිකුරාදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල‍යේ සභාපතිට හා එක්සත් ජාතීන්ගේ මහ‍ලේකම්ට ලිපි ‍යොමු ක‍ලේ ය.

සානා ප්‍රවෘත්ති ‍සේවයට අනුව, "කොෆී අනන්ගේ සැලැසුම් සම්බන්ධ‍යෙන් යහපත් විශ්වාසය ‍පෙන්වීමට හා ඒවා ඔහු ‍වෙත දැනුම් දීමට සිරියාව පියවර ‍ගෙන ඇතැ” යි පවසමින් සිරියානු වි‍දේශ කටයුතු හා විදේශගතවූවන් පිලිබඳ අමාත්‍යංශ‍යේ ප්‍රකාශක ආචාර්ය මක්ඩේසි ඉරිදා ප්‍රකාශයක් නිකුත් ක‍ලේ ය. "එය අනන්ගේ මෙහෙවරට එකඟත්වය පල කල අතර සන්නද්ධ ත්‍රස්ත කන්ඩායම් විසින් ප්‍රචන්ඩත්වය ඉහල දැමීම කෙරෙහි” සිරියාව ඔහුගේ අවධානය යොමු කර ඇතැ යි ද වාර්තා කෙරුනි.

මක්ඩේසි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ දී කොෆී අනන් කල කතාව, අප්‍රේල් 10දා වන විට සිරියාව ඒකපාර්ශවීයව එරට නගරවලින් සියලු ම හමුදා ඉවත් කර ගත යුතු ලෙස අර්ථකතනය කිරීම් විවේචනය කලේ ය. විශේෂයෙන් ම සන්නද්ධ "කැරලිකරුවන්” ඔවුන්ගේ ප්‍රහාරයන් නතර කිරීමට එකඟවෙමින් සිරියානු ආන්ඩුවට ලිඛිත සහතිකයක් ඉදිරිපත් නොකර තිබීම සලකන විට මෙය ව්‍යාජ ප්‍රකාශයක් යැයි ඔහු කීවේ ය. එමෙන් ම කටාර්, සෞදි අරාබිය හා තුර්කිය ත්‍රස්ත කන්ඩායම්වලට අරමුදල් සැපයීම හා සන්නද්ධ කිරීම නැවතීමට පොරොන්දුවක් දී නොතිබිනැ යි ද ඔහු පැවසී ය.

සිරියාව "ඔහුගේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අනන් මහතා සමග සහයෝගයෙන් කටයුතු කරනු ඇති බව හා ඉහත කී සහතිකය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ගනු ලබන පියවර ඔහුට දන්වනු ඇති බව” ද ප්‍රකාශය නිවේදනය කලේ ය.

ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් සිරියාව නිදහස් කරනු හමුදා නායක රිෆාට් අල් අසාද් තුර්කියේ සිට දුරකතනයෙන් රොයිටර් ප්‍රවෘත්ති සේවයට පැවසුවේ, ඔහු ලිඛිත සහතිකයක් නිකුත් නොකරන බව යි. "තන්ත්‍රය මෙම සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ නැත. මෙම සැලැස්ම අසාර්ථක වන්නේ ය” යි ඔහු ප්‍රකාශ කලේ ය. සිරියානු හමුදා ඔවුන්ගේ බැරැක්කවලට පසුබැස හා ඔවුන්ගේ සියලු ම මුරකපොලු ඉවත් කලාට පසු එෆ්එස්ඒ සිය ආයුධ නිහඬ කරනු ඇති බව නරුම ලෙස පවසමින් ඔහුගේ සංවිධානය අසාද් තන්ත්‍රය පිලිනොගන්නා බව කීවේ ය.

රිෆාට් අල් අසාද් හා ඔහුගේ කුලී හමුදාවට සිරියානු මහජනතාව අතර සැබෑ සහයෝගිතා පදනමක් නැති නමුත් ඒ ගැන නොසලකා තමන් අසාද් ඉවත් කිරීමට අපේක්ෂා කරන බව පැහදිලි කර ඇති ඔවුන්ගේ අධිරාජ්‍යවාදී සහකරුවන්ගෙන් ඔවුන් දිරිමත්ව සිටියි.

කොෆී අනන් සිරියානු ඉල්ලීම ගැන සඳහනක් නොකල අතර "සිරියාව තුල නගර හා ගම් ගනනාවක ප්‍රචන්ඩත්වයේ හා කුරිරුකම් උග්‍ර අතට හැරීම පිලිබඳ වාර්තාවලින්” ඔහු කම්පනයට පත් වූ බව ප්‍රකාශ කලේ ය, "එරට වගකීම සම්පූර්නයෙන් ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාව ” ඔහු සිරියානු ආන්ඩුවට සිහිපත් කලේ ය, මෙය වටහා ගත හැක්කේ වැඩිදුර තර්ජනයක් ලෙස පමනි. 2001දී එක්සත් ජාතීන්ගේ මහලේකම් ලෙස කොෆී අනන් එක්සත් ජාතීන්ගේ කුප්‍රකට "ආරක්ෂා කිරීමේ වගකීම” පිලිබඳ ප්‍රවාදයේ ප්‍රධාන නිර්මාතෘවරුන්ගෙන් එක් අයෙකි.

පසුගිය වසරේ ලිබියාවට එරෙහි අධිරාජ්‍යවාදී යුද්ධයේ දී මහජනතාව "ආරක්ෂා කිරීමේ වගකීම” නාමයෙන් "ආරක්ෂක කලාප” හා "මානවවාදී බිම්තීරු” සඳහා ඉල්ලීම් පෙරට දැමුනි. මෙය දසදහස් ගනනක් ඝාතනය කල හා සම්පූර්න ලිබියානු නගර සුන්බුන් කල යුද්ධය යුක්ති සහගත කිරීමට යොදා ගැනුනි. එය සිරියාවට පමනක් නොව කලාපය තුල සිරියාවේ එක ම මිතුරා වන ඉරානයට ද, ප්‍රධාන බලවතුන් අතර ගැටුමකට ගිනි ඇවිලවීමේ අනතුර සහිතව අවසානයේ දී රුසියාවට හා චීනයට ද එරෙහිව දියත් වනු ඇත.

Share this article: