ලංවිම සමිති වර්ජනය පාවාදෙති

Sri Lankan power unions sell out strike

By W. A. Sunil, 20 August 2012

ආන්ඩුවේ තර්ජනය ඉදිරියේ පසුගිය සිකුරාදා දන ගැසූ ලංකා විදුලි බල මන්ඩලයේ වෘත්තීය සමිති සතියක් පැවති විදුලි බල කම්කරුවන් 15,000ගේ අරගලය පාවාදුන් හ.

වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධ ඉල්ලීම් මත වර්ජනය කැඳවනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) ට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමය විසින් මෙහෙයවනු ලබන ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුන සහ තාක්ෂනික සේවා වෘත්තීය සමිති පෙරමුන විසිනි. ලංවිම ඉංජිනේරු සමිති වර්ජනයට විරුද්ධ වූ හ.

වර්ජනය නතර කිරීමේ දී කම්කරු කොමසාරිස් විසින් පත්කල කමිටුවේ නිර්දේශ ලැබෙන තුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නොයෙදීමේ පොරොන්දුව ඇතුලු ආන්ඩුවේ ප්‍රධාන ඉල්ලීම්වලට වෘත්තීය සමිති එකඟවූ හ.

ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයේ යෙදී සිටි ලංවිම කම්කරුවෝ

පාරිභෝගික මධ්‍යස්ථාන පුද්ගලීකරනය හා කොන්ත්‍රාත් හා තාවකාලික කම්කරුවන් සුරාකෑම හා සම්බන්ධ ඉල්ලීම් ද වෘත්තීය සමිති ඉල්ලා අස්කර ගත්හ. සේවයේ යොදවා ඇති කොන්ත්‍රාත් (මිනිස් බල සමාගම් වලින් බඳවාගත්) කම්කරුවන් 5,000 ස්ථීර කිරීමේ ඉල්ලීම ද අතහැර තිබේ. සියයට 20 වැටුප් වැඩිවීම හා වෘත්තීය සමිති ක්‍රියාකාරකම්වල යෙදුන සේවකයන්ට විරුද්ධව විනය පියවර ගැනීමේ තර්ජනයන් සම්බන්ධ ඉල්ලීම් ගැන කම්කරු කොමසාරිස්ගේ රෙකමදාරුව ලබා දීමට නියමිත ය.

නොවැම්බර් 20 වන විට ඉල්ලීම් පිලිබඳව නිර්දේශ ලබා දීමෙන් පසුව කමිටුවේ සාකච්ඡා මාස ගනනක් දිග්ගැස්සීමට ඉඩ තිබේ. එකඟතාවයක් ඇති කර ගැනීමට අසමත් වුනොත්, කම්කරු ඇමති විසින් ඉල්ලීම් සලකා බැලීම සඳහා අනිවාර්ය බේරුම්කරුවෙකු පත්කරනු ලබයි. ඉල්ලීම් පිලිබඳ තීන්දුවක් ලැබීම තවදුරටත් දිග් ගැස්සෙනු ඇත. කම්කරු නීතිවලට අනුව අනිවාර්ය බේරුම්කරුවෙකුට ප්‍රශ්නය යොමුකර පවතින කාල පරිච්ඡේදය තුල වර්ජන ක්‍රියාවන්හි යෙදීම තහනම් ය. වෘත්තීය සමිති විසින් අරගලය අවසන් කෙරුනේ හිස් පොරොන්දු හැර කිසිදු ජයග්‍රහනයක් ලබා ගැනීමෙන් තොරව ය. එසේ කිරීම මගින් රැකියා, වැටුප් හා සේවා කොන්දේසිවලට තව දුරටත් පහර එල්ල කිරීමට දොර විවෘත කර තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝගවලට අවනත වෙමින්, ජනාධිපති මහින්ද රාජපක්ෂ තෙල් මිල, ප්‍රවාහන ගාස්තු හා ආහාර මිල තියුනු ලෙස ඉහල දමමින් මිල සහනාධාර කපා දමා ඇත.

පිරිහෙන වැටුප් හා සේවා කොන්දේසි සහ පුද්ගලීකරන තර්ජනය කෙරෙහි සේවකයන් අතර වර්ධනය වන කෝපය සංසිඳවීමේ උත්සාහයක් ලෙස ලංවිම වෘත්තීය සමිති අගෝස්තු 10 වර්ජනය කැඳවූහ. එසේ කිරීමෙන් ලංවිම සේවකයන් අතර පවතින නොසන්සුන්කම සමනය කිරීමට සමිති බලාපොරොත්තු වූ හ. රාජපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකින් තොරව ඉල්ලීම් සඳහා අරගලය පෙරට ගෙන යා නොහැකි බව ආරම්භයේ දී ම පැහැදිලි විය. එවන් දේශපාලන අරගලයක් ප්‍රතික්ෂේප කිරීම මගින් වෘත්තීය සමිති කම්කරුවන්ව පාවා දුන් හ.

උද්ඝෝෂන‍ෙය් යෙදුන ලංවිම සේවකයන් ආසන්නයේ පොලිස් කොමාන්ඩෝ භටයන් සීරුවෙන්

වර්ජකයන්ට විරුද්ධව "දැඩි පියවර" ගන්න බව 13දා මාධ්‍ය කර්තෘවරුන් සමග පැවති රැස්වීමක දී රාජපක්ෂ කීවේය. විශ්‍රාමික ලංවිම සේවකයන් හ අලුතෙන් සේවකයන් බඳවා ගන්නා බව ලංවිම පාලානාධිකාරය නිවේදනය කලේ ය. අනතුරුව, සිකුරාදා (17) වන විට වර්ජිත සේවකයන් වැඩට නාවොත් රැකියා අහිමිවන බවට මන්ඩලය විසින් අවසන් නිවේදනයක් නිකුත් ‍කෙරුනි. ඊට අමතරව, වර්ජනය කඩාකප්පල් කරන්නන් ආරක්ෂා කිරීම සදහා ආන්ඩුව ලංවිම වැඩපොලවල්වලට හමුදාව යෙදවී ය.

පැහැදිලිව ම වර්ජකයෝ සිටියේ ආන්ඩුවේ හා පාලනාධිකාරයේ තර්ජනයන්ට අවනත නොවීමේ මනෝගතියක ය. පසුගිය සඳුදා (13) ලංවිම කොලඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට 2,000 වැඩි කම්කරුවෝ උද්ඝෝෂනය කලහ. පුලුවන්නම් අලුතෙන් බඳවාගත් කම්කරුවන්ගෙන් ලංවිම වැඩ කටයුතු පවත්වා ගෙන යන ලෙස ලංවිම වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුනේ කැඳවුම්කරු හා ජවිපෙ වෘත්තීය සමිතියේ නායක රන්ජන් ජයලාල් ලංවිම පාලනාධිකාරයට පුහු අභියෝගයක් කලේය. ලංවිම වර්ජනය ආරක්ෂා කිරීම සඳහා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුන "දේශපාලන පක්ෂ, සෙසු වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන බලමුලු ගන්වන" බව ඔහු කීවේ ය.

"අපි අපේ ඉල්ලීම් දිනා ගන්න තුරු වැඩට වාර්තා කරන්නේ නැත" යි සිකුරාදා (17) උදේ, පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ජයලාල් පැවසුවේ ය. ආන්ඩුවේ තර්ජන පසු බැස්සවීම සඳහා ලංවිම වෘත්තීය සමිති සෙසු සමිතිවලට පූර්වාදර්ශයක් දෙමින් සිටින බවට ලංවිම සමිති නායකයෝ කයිවාරු ගැසූහ. එහෙත්, එදින සවස් වන විට ආන්ඩුවේ තර්ජනය ඉදිරියේ මුලුමනින්ම යටත් වූ ජයලාල් ඇතුලු සමිති නායකයෝ වර්ජනය අවසන් කිරීම සඳහා කම්කරු කොමසාරිස් සමග පැවති සාකාච්ඡාවලට බඩ ගෑහ.

සිය ඉල්ලීම් සඳහා සටන් කිරීමට කම්කරු පන්තියේ සෙසු කොටස් ලංවිම වර්ජනය මගින් පොලඹවනු ඇතැයි ආන්ඩුව බෙහෙවින් ම සැලකිලිමත් විය. විශේෂයෙන් ම පුද්ගලීකරනය කෙරෙහි වර්ජකයන්ගේ විරුද්ධත්වය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් තවත් ඩොලර් මිලියන 500ක් ගැනීමේ රාජපක්ෂගේ උත්සාහයට තර්ජනයක් වුයේය. ප්‍රතිව්‍යුහගත කිරීම සහ ලංවිම හා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විකිනීම 2009 දුන් ඩොලර් බිලියන 2.6 නය මුදල සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉල්ලා සිටි "ප්‍රතිසංස්කරන" පියවරයන්ට ඇතුලත් ය.

ලංවිම පුද්ගලීකරනය ඇරඹුනේ 1996 දී ය. විදුලි උත්පාදනය සහ සැපයීම පුද්ගලික අංශයට පැවරීමේ පනතක් රාජපක්ෂ ආනඩුව 2009 දී සම්මත කලේය. පුද්ගලික අංශය දැනට රටේ විදුලිබල සැපයුමෙන් සියයට 43 ක් සපයනු ලබයි.

ආන්ඩුව සමග දේශපාලන ගැටුමක් වලක්වා ගැනීම සඳහා වර්ජනය ආරම්භයේ සිටම වෘත්තීය සමිති කල හැකි හැම දෙයක් ම කල හ. රාජපක්ෂට බලපෑම් දැමීම මගින් සහන ලබා ගත හැකි යැයි ඔව්හු මාරක මිථ්‍යවන් වැපුරූහ. ජවිපෙට, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයට හෝ ඒවාට සම්බන්ධ වෘත්තීය සමිතිවලට ආන්ඩුව ක්‍රියාවට දමන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල සම්බන්ධයෙන් මූලික මත බේදයක් නැත.

රාජපක්ෂගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාග ආන්ඩුවට 2004 දී සම්බන්ධ වූ ජවිපෙ, 2005 ජනාධිපතිවරනයේ දී රාජපක්ෂ බලයට ගෙන ඒමටත් ඉක්බිතිව ඔහුගේ ආන්ඩුව විසින් 2006 දී යලි ආරම්භ කල බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයටත් සහයෝගය දුන්නේ ය. යුද්ධය කාල පරිච්ඡේදයේ දී "මව්බිම රැකීම" වෙනුවෙන් පරිත්‍යාග කල යුතු යැයි ඉල්ලා සිටිමින් කම්කරු අරගල මැඩලීමට කටයුතු කලේ ය. යුද්ධය 2009 අවසන් වීමෙන් පසුව වැටුප් ඉල්ලීම් පිලිබඳ කම්කරුවන්ගේ අරගල කඩා කප්පල් කිරීම සදහා ජවිපෙ සහ එහි වෘත්තීය සමිති ප්‍රධාන භූමිකාවක් ඉටු කලෝ ය.

යුද්ධය කාලපරිච්ඡේදයේ මානව හිමිකම් වාර්තාව සම්බන්ධ ගැටලුවලට ශ්‍රී ලංකාව මුහුන දී සිටින නිසා ආන්ඩුව ලංවිම වර්ජනය මර්දනය නොකරනු ඇතැයි වෘත්තීය සමිති කම්කරුවන්ට කී හ. එක්සත් ජනපදය සහ එහි යුරෝපීය සගයන් මානව හිමිකම් ප්‍රශ්නය ඉස්මතු කර තිබෙන්නේ දෙමල ජනයාගේ හෝ කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ගැන මොනම තැකීමක්වත් තිබෙන නිසා නොව; බටහිර රටවල් සමග ශ්‍රී ලංකා ආන්ඩුව වඩා සමීපව පෙල ගස්වා ගැනීමට ය. පෙරදැකිය හැකි ලෙසම, වර්ජනයේ යෙදෙන කම්කරුවන්ට විරුද්ධව හමුදාව යෙදවීම පිලිබඳව එක්සත් ජනපදය විසින් කිසිදු විරෝධයක් මතු කර නැත.

ලංවිම අරගලය වෘත්තීය සමිති විසින් පාවා දීම මගින් අවධාරනය කෙරෙන්නේ අයිතීන් සඳහා අරගලය කම්කරුවන් තමන්ගේ අතට ගැනීමේ අවශ්‍යතාවයයි. කම්කරු කොමසාරිස්ගේ කොමිටියට එකඟවීමේ වෘත්තීය සමිතිවල තීන්දුව ලංවිම සේවකයෝ ප්‍රතික්ෂේප කල යුත්තාහ. ඔවුන් වෘත්තීය සමිතිවලින් බිඳී යහපත් වැටුප් හා හොඳ සේවා කොන්දේසි සඳහා සහ පුද්ගලීකරනයට එරෙහිව සටන් කිරීම සඳහා සාමාජිකයන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතුය.

එවන් උද්ඝෝෂනයක් අත්‍යවශ්‍යයෙන්ම රාජපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකි. සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා අරගලයේ පදනම මත ලංවිම සේවකයන් සමාන ප්‍රහාරවලට මුහුන දී සිටින ශ්‍රී ලංකාවේ සෙසු කම්කරු පන්තික කොටස් හා ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත හැරී ගත යුතුය. සමාජවාදී සමානතා පක්ෂය විසින් සටන් කරනු ලබන ඉදිරිදර්ශනය එයයි.

Share this article: