ඊජිප්තුව: ජනතාව ඡන්දය දීමෙන් වැලකී සිටීම මධ්‍යයේ ව්‍යවස්ථාදායක ජනමත විචාරනය ජයග‍්‍රහනයක් බව මුස්ලිම් සහෝදරත්වය පවස යි

Egypt’s Muslim Brotherhood claims constitutional referendum victory amid mass abstention

By Johannes Stern, 24 December 2012

ඊජිප්තු ව්‍යවස්ථා කෙටුම්පත පිලිබඳ ඡන්දයේ දෙවන හා අවසන් වටය ඊජිප්තුවේ අවශේෂ පාලන ප‍්‍රදේශ 17ක දී 22දා පැවත්වුනි. ඊජිප්තුවේ තුන්වැනි විශාල ම නගරය වන ගීසා; සූවස් ඇල ප‍්‍රදේශයේ පෝට් සෙඩ්, සූවස් හා ඉස්මයිලියා; නයිල් ඩෙල්ටා පාලන ප‍්‍රදේශයක් වන මෙනෝෆියා; හා බෙහෙයිරා, කාෆර් එල්-ෂීක්, ඩමෙයිටා, මින්යා,බෙනී, සූයිෆ් හා ෆායෝම් වැනි ග‍්‍රාමීය ප‍්‍රදේශ මේවාට ඇතුලත් ය.

කිසිදු නිල ප‍්‍රතිඵලයක් නිවේදනය කිරීමට පෙර පාලක මුස්ලිම් සහෝදරත්වය ජයග‍්‍රහනය ප‍්‍රකාශ කලේ ය. "මූලික නීතියට සියයට 36ක් පමනක් ‘නැත’ කියා ඇතැ යි පෙනෙන්නට ඇති” බව පවසමින් "ප‍්‍රාරම්භක සමස්ත ප‍්‍රතිඵල තුල සියයට 64ක්‘ ‘ඔව්’ යි ඡන්දය දීම වෙනුවෙන්” එහි වෙබ් අඩවිය "සමස්ත ඊජිප්තු ජනතාවට” සිය සතුට ප‍්‍රකාශ කලේ ය. "ඡන්දය දීමේ ක‍්‍රියාදාමය ආරක්ෂා කිරීමේ දී සාර්ථක වී ඇති හමුදාවේ හා පොලීසියේ නිර්භීත මිනිසුන්ට” ප‍්‍රකාශය ස්තුති කලේ ය. "මව්බිමේ ස්ථාවරත්වය අත් කර ගැනීමට හා එහි ව්‍යවස්ථාමය ආයතන පූර්නත්වයට පත් කිරීම සඳහා සියලු ම හමුදා කොටස් නැවත එක්සත් කිරීම” එහි අරමුන බව ද එය ප‍්‍රකාශ කලේ ය.

ජනමත විචාරනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාදාමයේ රැවටිල්ලකි. දෙසැම්බර් 15දා පලමු වටයේ ඡන්දය මෙන් ම මෙම ඡන්දය ද තුවක්කුව උලූක් කර පැවත් වූ අතර පහල ඡන්දදායක සහභගිත්වය හා වංචාව පිලිබඳ චෝදනාවන්ගෙන් සලකුනු විය. 250,000කට වැඩි හමුදා හා පොලිස් බල ඇනි ඡන්ද මධ්‍යස්ථාන ආරක්ෂා කලහ.

වාර්තාවන්ට අනුව ඡන්දය දීමට සුදුසුකම් ලත් මිලියන 25කින් ඡන්දය පාවිච්චි කර ඇත්තේ මිලියන 8ක ඡන්දදායකයන් පමනක් වන අතර එය සියයට 30ක සහභාගිත්වයකි. පලමු වටයේ දී සුදුසකම් ලත් ඡන්දදායකයන්ගෙන් සියයට 32ක් ඡන්දය පාවිච්චි කර තිබුනි.

සියයට 31.7ක මුලූ ඡන්දදායකයින්ගේ සහභාගිත්වය සමග මෙම ජනමත විචාරනය පෙන්නුම් කලේ පසුගිය පෙබරවාරියේ දී ජනතා විප්ලවවාදී අරගලයන් මගින් හිටපු ඒකාධිපති හොස්නි මුබාරක් පලවා හැරීමෙන් පසු ඊජිප්තුවේ පවත් වන ලද සියලු ම ඡන්දවල අඩු ම සහභාගිත්වය යි. 2011 මාර්තු මස ව්‍යවස්ථාදායක ජනමත විචාරනයේ සහභාගිත්වය සියයට 41ක් විය. ජනාධිපතිවරනයේ දෙවැනි වටයේ දී සුදුසුකම් ලත් ඡන්දදායකයන්ගෙන් සියයට 49ක් ඡන්දය දුන්හ.

මොහමඩ් මෝසිට හා මුස්ලිම් සහෝදරත්වයට එරෙහිව මහජන විරෝධයන් මාලාවකට පසුව මෙම අඩු සහභාගිත්වය දක්නට ලැබුනි. එය ඉස්මතු කලේ, ජනමත විචාරනයට සහභාගි වන්නැ යි ඡන්දදායකයන්ගෙන් ඉල්ලූ ඊජිප්තු ධනේශ්වරයේ නිල පක්ෂ ඉස්ලාම්වාදීන් වේවා නිකායික ලිබරලුන් හෝ "වාම” විරුද්ධ පාර්ශ්වය වේවා, එයින් කම්කරු පන්තිය වෙන් කෙරෙන අගාධය කවර දාක වත් නො වූ ලෙස පලල් වන බව යි.

සමහර ඡන්දදායකයන් ඡන්ද මධ්‍යස්ථානවලට පැමිනියේ වංචාකාරී මැතිවරන ක‍්‍රියාවලියට හා පාලක "මුස්ලිම් සහෝදරත්වයට” තම අප‍්‍රසාදය පල කිරීමට ය. සූවස්හි "දිවි පිදුවන්ගේ” කන්ඩායමේ ප‍්‍රකාශකයෙකු වන ටැමර් රඩ්වාන්, තම ඡන්ද පත‍්‍රිකාව මත "සහෝදරත්වයේ පාලනය භංග වේවා” යි ලිවූ බව අල් අහ්රාම් පත‍්‍රයට පැවසීය. විප්ලවය අතරතුර දී රඩ්වාන්ට තම සහෝදරයා අහිමි විය.

පුලුල් ව පැතිරුන වංචා වාර්තාවුනි. ඊජිප්ට් ඉන්ඩිපෙන්ඩන්ට් නම් ඊජිප්තු වෙබ් අඩවිය වාර්තා කලේ, මුස්ලිම් සහෝදරත්වයේ දේශපාලන හස්තය වන නිදහස හා සාධරනත්වයේ පක්ෂය (එෆ්ජේපී) දුරස්ථ ගම්වල පදිංචිකරුවන් බස්වලින් ඡන්ද පොලට ගෙනැවිත් "ඔව්” යයි ඡන්දය දීමට උපදෙස් දුන් බව යි. මාධ්‍ය වාර්තාවන්ට අනුව දූෂන ක‍්‍රියා ලෙස හැඳින්වෙන්නේ ඡන්ද මධ්‍යස්ථානවල පොස්පොරික් තීන්ත නොතිබීම, හිතාමතාම ඡන්ද මධ්‍යස්ථාන වසා දැමීම හා වංචාකාරී ව සලකුනු කල ඡන්ද පත‍්‍රිකාවලින් ඡන්ද පෙට්ටි පිරවීම ය.

"පලමු වටයට සමානව දෙවන වටය අතරතුර දී ද මැතිවරන නීති උල්ලංගනය කිරීම්” පිලිබඳව මුස්ලිම් සහෝදරත්වයට හා එහි හවුල්කරුවන්ට චෝදනා කරමින් අපේ‍්‍රල් 6දා තරුන ව්‍යාපාරය ප‍්‍රකාශයක් නිකුත් කලේ ය. අහ්රාම් ඔන්ලයින්ට අනුව "ප‍්‍රතිවාදීන්ට ඡන්ද මධ්‍යස්ථාන වලට ඇතුලුවීම තහනම් කිරීම හා විරුද්ධ පාර්ශ්වයේ සාමාජිකයන්ට පහර දීම” සම්බන්ධයෙන් ප‍්‍රකාශය ඉස්ලාම්වාදීන්ට චෝදනා කලේ ය. ඊජිප්තු පාලක පන්තිය නව ව්‍යවස්ථාව මගින් උත්සාහ කරන්නේ කම්කරු පන්තියට ප‍්‍රහාර එල්ල කිරීමටත් පහතින් මතුවන ඕනෑ ම විරුද්ධත්වය රුදුරු ලෙස මර්දනයටත් සූදානම්වීම සඳහා ඒකාධිපති බලතල ගොනු වීමට ය. එය ඇමරිකානු අධිරාජ්‍යවාදීන් හා එහි යුරෝපීය මිතුරන් සමග වැඩ කරන ඊජිප්තු ධනපති පන්තිය අනුක‍්‍රමයෙන් සෞභාග්‍යවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් නිර්මානය කරනු ඇතැ යි තර්ක කරන්නන් සුනුවිසුනු කෙරෙන සනාථනයකි. සත්‍යය නම් ඊජිප්තු පාලක පන්තිය හා එහි අධිරාජ්‍යවාදී මිතුරෝ දැඩි මර්දනකාරී දේශපාලන බලවේග වන හමුදාව හා ඉස්ලාම්වාදී පක්ෂවල අත ශක්තිමත් කරමින් සිටීමයි.

ව්‍යවස්ථාව සන්නද්ධ හමුදාවන්ට ප‍්‍රශංසා කරමින් ඇරඹෙන අතර පසුව එහි සියලු ම වරප‍්‍රසාද හා බලතල සුරක්ෂිත කර යි. ව්‍යවස්ථාවේ 195වැනි ‍ෙඡ්දය ආරක්ෂක ඇමති ඊජිප්තු හමුදාවේ සාමාජිකයෙකු විය යුතු යයි සඳහන් කර යි. 197වැනි ‍ෙඡ්දය ජාතික ආරක්ෂක කවුන්සිලයක් (එන්ඩීසී) අනුමත කරයි, ජනාධිපති ප‍්‍රධානියා වන නමුත් හමුදාවේ නායකත්වය විසින් ආධිපත්‍යය දරන මෙය "රටේ නීතිය හා ආරක්ෂාව සහතික කිරීමේ ක‍්‍රමවේදයන්ට සහ සන්නද්ධ හමුදාවන්ගේ අයවැයට අදාල කාරනයන් සඳහා වගකිව යුතු ය.”

ඒ අයුරින් එන්ඩීසීය පාර්ලිමේන්තු පාලනයෙන් නිදහස් වන අතර හමුදා ඒකාධිපතිත්වයක් ප‍්‍රකාශ කිරීමේ බලය එයට ඇත. එය හමුදාවට සම්බන්ධ ඕනෑ ම නීතියක් අධීක්ෂනය කරන අතර හමුදාවට තවදුරටත් නම් නොකල බලතල පවරා දිය හැකි ය. 198 වැනි ඡේදය "සන්නද්ධ හමුදාවන්ට හානි පමුනුවන අපරාධ සඳහා” මහජනයාට එරෙහිව හමුදා නඩුවිභාගවලට ඉඩකඩ සලස යි.

ඉස්ලාමීය නීතියේ (ෂාරියා නීතිය) මූලධර්ම ව්‍යවස්ථාවේ ප‍්‍රධාන උල්පත” යි පවසන 1971 ව්‍යස්ථාවේ 2වැනි ඡේදය ඉතුරු කිරීම මගින් ව්‍යවස්ථාව තව දුරටත් ආන්ඩුව ඉස්ලාමීය කිරීම සඳහා දොර විවෘතව තබ යි.

22දා මෝසි පාර්ලිමේන්තුවේ උත්තර මන්ත‍්‍රී මන්ඩලය වන ෂූරා කවුන්සිලයට නව සාමාජිකයන් 90දෙනෙකු පත් කල අතර නව පාර්ලිමේන්තු මැතිවරනය පැවත්වෙන තුරු මෙයට ව්‍යවස්ථාදායක බලතල පැවරෙනු ඇත. පත් වූ අයගෙන් අති විශාල සංඛ්‍යාව මුස්ලිම් සහෝදරත්වය හා එහි මිතුරන් වන සලාෆිස්ට් නූර් හා අසාල පක්ෂය, මධ්‍යස්ථ වසත් පක්ෂය, අන්ත ප‍්‍රතිගාමී අල්- ගමා අල්-ඉස්ලාමියා හා එහි දේශපාලන හස්තය වන නිර්මාන හා සංවර්ධන පක්ෂයේ නියෝජිතයන් ය. නව සාමාජිකයන්ගෙන් එක් අයෙකු වන අල්-ගාමා ප‍්‍රධාන සෛද්ධාන්තිකයෙක් වන සෆ්වාට් අබ්දෙල් ගානී 1981දී හිටපු ඊජිප්තු ජනාධිපති අන්වර් සදාත් ඝාතනය වෙනුවෙන් චෝදනාවට ලක්වුනි. 1992දී කීර්තිමත් ඊජිප්තු ලේඛක ෆරාග් ෆවුඩා ඔහුගේ සිරමැදිරිය තුල දී ඝාතනය කිරීමට අනදීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා කෙරී තිබුනි.

ඊජිප්තු ආර්ථික විශේෂඥයෙකු හා පෞද්ගලික අයිතිය සඳහා ඊජිප්තු අභිලාෂය නම් ආයතනයේ ආර්ථික හා සමාජ සාධාරනය පිලිබඳ ඒකකයේ අමාර් අඩ්ලි රාජ්‍ය මර්දන බලතල ශක්තිමත් කිරීමේ තල්ලුව පිටුපස පවතින සමාජ ආර්ථික ගනන් බැලීම් විදහා දැක්වූයේ ය. "දේශපාලන පද්ධතිය විවෘතව පවතින හා මිලියන ගනනාවක් මිනිසුන් ප‍්‍රජා අයිතිය ලබමින් සිටින අවස්ථාවක කප්පාදු පියවරයන් ඇති කිරීම සඳහා ඔබට දේශපාලන පන්තිය තුල දේශපාලන එකඟතාවක් අවශ්‍ය ය”යයි ඔහු රොයිටර් ප‍්‍රවෘත්ති සේවයට පැවසී ය.

පසුගිය සතියේ ජාත්‍යන්තර ශ්‍රේනි කිරීමේ ඒජන්සියක් වන මූඩිස් අනතුරු ඇඟවූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 4.8ක නය තවදුරටත් ප‍්‍රමාදවීම ඊජිප්තුවේ නය ශ්‍රේනියට තවදුරටත් හානි පමුනුවනු ඇති බව යි. "හැකි ඉක්මනින්” එක වතාවකට එන ලෙස එක්සත් ජනපදය ඊජිප්තුව පෙලඹවී ය. ඊජිප්තු ආර්ථිකය තවදුරටත් පෞද්ගලීකරනයට සහ දිලිඳු ඊජිප්තු ජනතාවගේ යැපීම් මාධ්‍යයක් වන ඉන්ධන හා පාන් සඳහා වන සහානාධාර කැපීමට මෝසි තන්ත‍්‍රය සූදානම් වෙමින් සිටී.

පාර්ශ්වීය ජාතික ගැලවීමේ පෙරමුන (එන්එස්එෆ්) සංඥා කලේ එය ජනමත විචාරනයේ ප‍්‍රතිඵල පිලිගන්නා බව යි. හිටපු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරියෙකු වන මොහමඩ් එල්බරඬේ නායකත්වය දෙන ලිබරල් හා ධනේශ්වර "වාම” විරුද්ධ පක්ෂය, නසාර්වාදී හම්දීන් සබාහි හා පලවා හැරුනු මුබාරක් තන්ත‍්‍රයේ නිලධාරියෙකු වන අමර් මූසා යන අයගේ සන්ධානයක් වන එන්එස්එෆ් මේ ආකාරයෙන් ආන්ඩුව තවදුරටත් ඉස්ලාමීය කරනය කිරීමට එරෙහිව එය මතු කර තිබූ විරුද්ධත්ව හකුලා ගත්තේය.

අල්-අහ්රාම් හි අරාබි භාෂා වෙබ් අඩවියට කතාකරමින් සබාහි මෙසේ ප‍්‍රකාශ කලේ ය: "නීත්‍යනුකූලව කියතොත් පෙරමුන ජනමත විචාරනයේ ප‍්‍රතිඵලවලට ගරු කරන නමුත් දේශපාලනික ව පෙරමුනේ ආකල්පය පැහදිලි ය; අපි ඉස්ලාම් බහුතරය විසින් සකස් කරන ලද ව්‍යවස්ථාව ප‍්‍රතික්ෂේප කරමු.” ඡන්දය තුල "අක‍්‍රමිකතා” වූ බව එන්එස්එෆ් චෝදනා කලේ ය. "අවසාන ප‍්‍රතිඵල නිකුත් කිරීමට පෙර අක‍්‍රමිකතා විමර්ශනය කරන ලෙස අපි කොමිසමෙන් ඉල්ලා සිටුමු” යි විපාර්ශ්වීය ප‍්‍රකාශකයකු වන අම්ර් හම්ෂාවි පැවසී ය.

ඊජිප්ට් ඉන්ඩිපෙන්ඩන්ට් ට අනුව, "එලඹෙන මාසවල දී ඊජිප්තුවේ ප‍්‍රශ්නවලට ප‍්‍රවේශ වන්නේ කෙසේ දැ යි යන්න මත කොන්දේසි විරහිත සාකච්ඡාවකට” එෆ්ජේපීය එන්එස් එෆ් ට ආරධනා කලේ ය. ඊලඟ සිකුරාදා "ජාතික සමගියේ හා එකිනෙකාට මල් පිරිනමන” දිනය විය යුතු යයි යෝජනා කරමින් එලඹෙන මාසවල දී දෙපාර්ශ්වය ම එකඟත්වයක් සොයා ගනු ඇතැ යි මුස්ලිම් සහෝදරත්වයේ ප‍්‍රමුඛ නායකයෙකු වන මොහමඞ් අල්-බෙල්ටාගි පැවසුවේ ය.

Share this article: