ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ලින්කන් සහ සිවිල් යුද්ධයේ ඓතිහාසික නාටකය

Steven Spielberg’s Lincoln and the historical drama of the Civil War

By Tom Mackaman, 12 November 2012

අධ්‍යක්ෂනය ස්ටීවන් ස්පිල්බර්ග්, තිර පිටපත ටෝනි කුෂ්නර්

Lincolnලින්කන්

ඇමරිකානු සිවිල් යුද්ධයේ අවසාන වසර වූ 1865 දී වහල් ක්‍රමය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරවා ගැනීමට ලින්කන් පාලනය විසින් ගෙන ගිය අරගලය නිරූපනය කෙරෙන ප්‍රබල සිනමා නිර්මානයක් වන ලින්කන් චිත්‍රපටය, නොවැම්බර් 16 දින සිට ජාතික මට්ටමෙන් ප්‍රදර්ශනය කෙරේ.

චිත්‍රපටය කේන්ද්‍රගත කෙරී ඇත්තේ සිවිල් යුද්ධයේ සිව්වන වසර වූ 1865 වසරේ මුල් භාගයට ය. වහල් ක්රමය අහෝසි කිරීමට එරෙහි ව පෙනී සිටි ඩිමොක්රටිකයන් අතු ගා දමමින් ඇමරිකානු ඡන්දදායකයා 1864 මැතිවරනයෙන් විශිෂ්ට ජයක් ලින්කන්ට හා රිපබ්ලිකන් පක්ෂයට අත්පත් කර දී තිබින. කොන්ග්‍රසයේ බංකොලොත් සැසියක් [මැතිවරනයකින් පසු, නව කොන්ග්‍රස් සභිකයන් දිවුරුම් දීමට පෙර, හදිසි පනත් සාකච්ඡා කිරීමට පැරනි කොන්ග්‍රසය කැඳවනු ලැබෙන අවස්ථාව - පරිවර්තක] කැඳවා තිබින. යුද්ධයෙන් හෙම්බත් වූ මානසිකත්වය උතුරේ ගැඹුරින් ම මුල් බැස තිබූ තතු යටතේ ද, දකුන සමග සාමය සඳහා හෙට්ටු කිරීමකට පක්ෂ ව රිපබ්ලිකන් පක්ෂය තුල ම පසුබිමින් වර්ධනය වෙමින් පැවැති මනෝභාවය මධ්‍යයේ ද ඒ වන විට ද සෙනේට් සභාවේ අනුමැතිය හිමි ව තිබූ දහ තුන්වන ව්‍යවස්ථා සංශෝධනය කොන්ග්‍රසය තුල සම්මත කර ගැනීමට ලින්කන් පරිපාලනය විසින් ගෙන යන ලද අරගලය මෙහි නිරූපනය කෙරෙයි.

තිරයේ මැවෙන්නේ සැබෑ ඓතිහාසික චරිත රැසකි. පලමුව ද, ප්‍රමුඛව ද ඩැනියෙල් ඩේ ලුවිස් විසින් නිරූපිත ලින්කන් ය. මේරි ටොඞ් ලින්කන් ප්රථම ආර්යාව (සැලී ෆීල්ඞ්*, රිපබ්ලිකන් පක්ෂ රැඩිකලෙකු වූ කොන්ග්‍රස් සභික තේඩියස් ස්ටීවන්ස් (ටොමි ලී ජෝන්ස්), රාජ්‍ය ලේකම් විලියම් සෙවර්ඩ් (ඩේවිඩ් ස්ට්‍රැතේන්), ගතානුගතික රිපබ්ලිකානුවකු වූ ෆ්‍රාන්සිස් ප්රෙස්ටන් බ්ලෙයාර් (හල් හොල්බෲක්), නිව්යෝර්ක් නගරයේ "කොපර්හෙඩ්” ඩිමොක්‍රටික් දේශපාලකයකු වූ ෆර්නැන්ඩෝ වුඩ් (ලී පේස්), යුනියන් හමුදාවේ ජෙනරල් යුලිසිස් එස්. ග්‍රාන්ට් (ජෙරාඩ් හැරිස්), සාංගමික උප ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටෙෆන්ස් (ජැකී අර්ල් හැලී) හා තවත් බොහෝ අය එහි වෙති.

ටෝනි කුෂ්නර් තිර කථාව ලියා ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂනය කරන ලද මෙම චිත්‍රපටයේ මහත් ශක්තිය රඳා පවතින්නේ දහතුන්වන ව්යවස්ථා සංශෝධන යේ ගමන් මග සමග සබැඳී ඇති අසාමාන්‍ය ඉතිහාසය එමගින් සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම මත ය. මෙහි දී කුෂ්නර්, මෙකී චිත්‍රපටයට ද යම්තාක් දුරකට පදනම් වී ඇති ඩොරික් කර්න්ස් ගුඩ්වින් විසින් රචිත ලින්කන් චරිතාපදානය; "විරුද්ධවාදීන්ගෙන් සැදුම් ලත් කන්ඩායම”; ඉක්මවා යාමට සමත් වෙයි.

වෝල් ස්ට්‍රීට් ජර්නල් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී කුෂ්නර් ඔහුට තොරතුරු ලබා දුන් ප්‍රභවයන් ගනනාවක් පිලිබඳ ව සඳහන් කරයි. ජේම්ස් මැක්ෆර්සන්ගේ "නිදහසේ රන ගොස” නම් බලගතු කෘතිය ද, ඇලන් ගුවෙල්සෝ ලින්කන් පිලිබඳ ව ලියූ ලේඛන ද, ලින්කන් විසින් ම ලියන ලද ලිපි ද ඒ අතර වෙයි. මෙම සිනමාකරුවෝ සිය නිර්මානයේ ඓතිහාසික නිරවද්‍යතාවය පිලිබඳ ව ඉතා ප්‍රවේශම්කාරී ලෙස අවධානය යොමු කොට ඇත්තා හ. එම ප්‍රයත්නය ආලෝකකරනයේ සිට (එදා පැවැති තෙලින් දැල්වෙන පහන්වල ආලෝකය වැන්නක් චිත්‍රපටය සඳහා ප්‍රතිනිර්මානය කර ගැනීමට යත්න දැරෙයි) භාෂා භාවිතය දක්වා ම දැකිය හැකිය (එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ සභා ගර්භයෙහි පැවැත් වූ කථා ද ඇතුලු ව, දෙබස්වලින් වැඩි කොටසක් ඓතිහාසික වාර්තාවන්ගෙන් උපුටා ගැනෙයි)

කාල් මාක්ස් ඒබ්‍රහම් ලින්කන් පිලිබඳ ව සිදු කල අසමසම වර්නනය මගින් නිරූපිත ආකාරයට ආසන්න අයුරින් චිත්රපටය මගින් ඔහු ජීවමාන කෙරෙයි. මාක්ස් ලියූ පරිදි, ලින්කන් වූ කලී "දුර්භාග්‍යයේ දී දමනය වන්නෙකු හෝ සාර්ථකත්වයෙන් මත් වන්නෙකු නො වී ය; ඔහු අනම්‍ය ව තම උදාර ඉලක්කය කරා ඉදිරි පියවර තබමින්, අඳ බාල කඩිමුඩිය නිසා කිසි විටෙකත් එය සම්මුතීන්ට යටත් නො කරමින්, සෙමෙන් සෙමෙන් සිය පියවර පරිනත කොට ගනිමින්, කිසි විටෙකත් ආපසු නො හැරෙමින්, තමාට පක්ෂපාත ව නැගෙන ජනප්‍රියතාවයේ කවර හෝ රල පහරකට යට නො වී, ජන ප්‍රසාදයේ ස්ඵන්දනයෙහි කවර අවනතියකින් වුව දුර්මුඛ නො වෙමින්, නිර්දය ක්‍රියාවන් කාරුනික හදවතක ප්‍රභාවෙන් පදම් කරමින්, දුකින් අන්ධකාර වූ දසුන් තල හාස්‍යයේ සිනා රැල්ලකින් එකලු කරමින් සිය අති මහත් කාර්ය භාරය නිහතමානීව ද චාම් ලෙස ද ඉටු කලේ, දිව්‍යමය පාලකයන් විභූතිමත් හා රාජකීය වගාඩම්බරයකින් යුතු ව කුඩා කුඩා දේ ඉටු කරන්නා සේ ය. කෙටියෙන් කිවහොත් හේ, යහ ගුනය අත නො හැර ශ්‍රේෂ්ඨයෙකු වීමට සමත් වූ දුර්ලභ මිනිසුන්ගෙන් එකෙකි. මේ ශ්‍රේෂ්ඨ හා හොඳ මිනිසාගේ නිහතමානිත්වය කෙතෙක් වී ද යත්, ලෝකය ඔහු වීරයෙකු ලෙස හඳුනා ගත්තේ ඔහු දිවි පිදූවෙකු ලෙස අවසන් හුස්ම හෙලීමෙන් පසුව පමනෙකි.”

මෙසේ ලින්කන් ප්‍රතිනිර්මානය කිරීම සම්බන්ධයෙන් වන ප්‍රශංසාවෙන් විශාල කොටසක් අයර්ලන්තයේ උපත ලද නලු ඩැනියෙල් ඩේ ලුවිස්ගේ අසාමාන්‍ය ප්‍රයත්නයට හිමි විය යුතු ය. ඔහු නිරූපනය කරන පරිදි, ලින්කන් සෑම වචනයක් පිලිබඳ ව ම, හිතා මතා ම ප්‍රවේශම්කාරී වන බවක් ද, තමා සමග සංවාදයේ යෙදෙන්නාට වඩා හැම විටම ඉදිරියෙන් සිටිමින් එම වචන අතර සැඟැවුනු දේශපාලන අරුත් කල්පනාකාරී ව කිරා මැන බලන බවක් ද පෙනී යයි. මෙහි දී අපට හමු වන ලින්කන් විචක්ෂන දේශපාලනඥයෙක් ද, සිය ප්‍රතිපත්තීන් අත්යන්ත ලෙස මූලධර්ම මත - අනෙක් සියල්ලටමත් වඩා සමානාත්මතාවයේ මූලධර්මය මත - පදනම් කල නායකයෙක් ද වෙයි.

"අප පටන් ගත්තේ සමානාත්මතාවයෙනි. මූලාරම්භය එයයි, එසේ නො වේ ද? එයයි යුක්තිය,” චිත්‍රපටය ලින්කන්ගේ මුවට නගන ඉහත වචන නිසැකව ම නිදහසේ ප්‍රකාශනය පිලිබඳ ව කෙරෙන සඳහනකි. මෙහි දී ඩේ-ලුවිස් - කර්න්ස් ගුඩ්වින්ගේ තරමක් පටු දෘෂ්ටි කෝනයකින් නිරූපිත - දේශපාලකයා සහ "කිසි දා ... අඳ බාල කඩිමුඩිය නිසා .. සම්මුතිවාදී නො වන, සෙමෙන් සෙමෙන් සිය පියවර පරිනත කොට ගන්නා, කිසි විටෙකත් ආපසු නො හැරෙන” මූලධර්මාත්මක මිනිසා ද සංයෝජනය කිරීමට සමත් වෙයි.

තිර රචනයේ වැඩි කොටස හැඩ ගැසී ඇත්තේ ලින්කන්ගේ ම වචනවලිනි. ඒ පිලිබඳ ව කුෂ්නර් ප්‍රශංසාවට භාජනය විය යුතු ය. කුෂ්නර්ගෙන් ඩේ-ලුවිස්ට ලැබී ඇත්තේ අනගි සහායකි. චිත්‍රපටය ආරම්භවන්නේ, යුදබිමක් අසල ලින්කන් කලු හා සුදු සොල්දාදුවන්ගෙන් සමන්විත යුනියන් යුද සෙබල කන්ඩායමක් හමු වන දර්ශනයකිනි. මෙම සෙබලු, ඒ වනවිට ද සුප්‍රසිද්ධ ව තුබූ ලින්කන්ගේ ගෙටිස්බර්ග් කථාව ද, එහි එන, යුද්ධය "නිදහසට නව උපතක් - හා ජනතාව උදෙසා, ජනතාව විසින් පත් කරන ලද ජනතාවගේ ආන්ඩුව මිහි මතින් අතු නො ගෑවෙනු” සඳහා ය යන තිරසාර ප්‍රකාශය ද එකාවන් ව ඔහුට හඬ ගා කියති.

චිත්‍රපටය අවසන්වන්නේ ලින්කන් ඝාතනයේ කැලැඹීම මධ්‍යයේ, ලුවිස් විසින් හද කම්පා කෙරෙන පරිද්දෙන් ඉදිරිපත් කෙරෙන ලින්කන්ගේ දෙ වන සමාරම්භක දේශනයේ අතීතාවලෝකනයකිනි. "යුද්ධයේ මේ අති මහත් ව්‍යසනය වේගයෙන් පහ ව යතැයි අපි කුලුනුබර සිතින් අපේක්ෂා කරමු, මහත් උනන්දුවෙන් ඒ සඳහා යාඤා කරමු,” ලින්කන් කියයි. "එතෙකුදු වුව, වහලුන්ගේ වසර දෙ සිය පනහක අප්‍රතිදාන ප්‍රයත්නය විසින් ගොඩ ගසන ලද සියලු ධන සම්පත් වියැකී යන තුරු ද, කස පහරින් ගලා ගිය සෑම රුහිරු බිඳුවකට ම කඩු පත් මගින් හැලෙන තවත් රුහිරු බිඳුවකින් වන්දි ගෙවෙන තුරු ද එය දිගට ම පැවැතිය යුතු ය යන්න දෙවියන්ගේ කැමැත්ත නම් ‘දේව විනිශ්චය සෑම කල්හි ම නිවැරදි ද ධාර්මික ද වන්නේ යැ’යි මීට වසර තුන් දහසකට පෙර කියූ පරිද්දෙන් ම අද ද කිව යුතු වන්නේ ය.”

මේ දෙ කෙලවර අතරතුර එන සංවාදයන් පුරා විසිරී ඇත්තේ ලින්කන් විසින් ගොතන ලද හාස්‍යජනක කථා, ඔහුගේ විහිලු තහලු හා රූපකාලංකාරයන් ය. මේවා හුදු සරල, චාම් ගැමි ඇමරිකානු ඉංග්‍රීසි භාෂාවේ නිදර්ශකයන් නො වේ. ඇමරිකානු ප්‍රත්‍යන්තයන් හි ජන ජීවිතයේ වර්නය හා වැටැහෙන නුවන පමනක් නොව බයිබලයේ එන රූපකාලංකාරයන් ද, (ඔහුට මතකයෙන් ගායනා කල හැකි වූ) ශේක්ස්පියරියානු ශෝකාන්තයන් ද කා වැදී තුබූ ලින්කන්ගේ වාග් ශක්තිය, සිවිල් යුද්ධය මුලුල්ලේ එහි දේශපාලනය වටහා ගැනීමට ද, එ තුලින් ක්‍රියාත්මක වීමට ද භාෂාවක් සම්පාදනය කලේ ය. ජේම්ස් මැක්ෆර්සන්ගේ වැකිකඩකින් පැවැසුනු පරිද්දෙන්, ලින්කන් "යුද්ධය දිනූයේ රූපකාලංකාරයන්ගෙනි.”

චිත්‍රපටයේ එන එක් උදාහරනයක් දැක්වුවහොත්, ගනිතය පිලිබඳ ස්වයං අධ්‍යාපනයක් ලද ශිෂ්‍යයකු වන ලින්කන්, දකුනේ සාම නියෝජිත කන්ඩායමක් ධවල මන්දිරයට වැද්ද ගත යුතු ද නැත්දැයි තීරනය කිරීමට යුක්ලිඩ් සිය සහායට කැඳවයි. "යුක්ලිඩ්ගේ පලමු පොදු මතිය වන්නේ මෙයයි”, ලින්කන් තරුන ටෙලිග්‍රාෆ් ක්‍රියාකරුවෙකුට පවසයි, "එකම දේකට සමාන දේවල් එකිනෙකටත් සමානයි. ඒ ගනිතමය තර්කනයේ නියාමයකි. එය සත්‍යය - මක්නිසාදයත්, එය එ ලෙස ම සිදුවන නිසාය. මෙතෙක් කල් එසේ සිදු වී ඇති අතර සෑමවිටම එසේ සිදු වනු ද ඇත. මෙය ‘ස්වයං ප්‍රත්‍යක්ෂයකැ’යි යුක්ලිඩ් සිය පොතෙහි පවසයි. බලන්න, අර අවුරුදු 2,000ක් පැරනි යාන්ත්‍රික නියාම පිලිබඳ පොතේ පවා එය සඳහන් වෙයි. එක ම දෙයකට සමාන වන දේවල් එකිනෙකටත් සමාන වන බව ස්වයං ප්‍රත්‍යක්ෂ සත්‍යයකි.” නියෝජිත කන්ඩායමට වොෂින්ටනය වෙත ආරාධනා නො කිරීමට ලින්කන් අධිෂ්ඨාන කර ගනියි. (එ මගින්) දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය කොන්ග්‍රසය තුල සම්මත කරවා ගැනීමේ සිය ප්‍රයත්නය සඳහා ස්වකීය හස්තය ශක්තිමත් කොට ගනී.

පොදුවේ සලකන කල චිත්‍රපටයේ රංගනය සුවිශේෂී ලෙස ඉහල මට්ටමක පවතී. ඬේ-ලූවිස් හැරුනු විට රැඩිකල් රිපබ්ලිකන් නායක කොන්ග්‍රස් සභික ඔහියෝහි තේඩියස් ස්ටීවන්ස් ලෙස රඟන ජෝන්ස්ගේ සහ චපල මේරි ටොඩ් ලින්කන් චරිතය දයාවන්තව නිරූපනය කරන ෆීල්ඩ්ගේ රංගනය ද විශේෂයෙන් සඳහන් කල යුතු ය. කථාව තුල දිග හැරෙන උප කථා වස්තුවක් ලින්කන් පවුලේ ඛේදාන්තය හා නාටකාකාර සිදුවීම් විදහා දක්වයි - එක් පුත්‍රයෙක්, විලී, ධවල මන්දිරයේ දී ටයිෆස් උන රෝගයෙන් මිය ගොසිනි, තමන් යුනියන් හමුදාවට බඳවා ගන්නා ලෙස රොබට් (ජෝසෆ් ගෝඩ්න් ලෙවිට්) පියා ගෙන් ඉල්ලා සිටින හෙයින් තමන්ට දෙ වැන්නෙකු ද අහිමි වෙතැයි මේරි බලගතු භීතියකින් පෙලෙයි.

ජෝන්ස්ගේ ස්ටීවන්ස් මෙම කථා ප්‍රවෘත්තියේ ගෙත්තමට නව හුය පටක් එක් කරයි. ශත වර්ෂයක් පුරා ඇමරිකානු ඉතිහාස පාඨ ග්‍රන්ථයන්හි අතිදුෂ්ටයෙකු ලෙස හෙලා දැකීමට පාත්‍ර වූ ස්ටීවන්ස්, සමානාත්මතාවය පිලිබඳ වඩාත් ම දෘඩතර අසම්මුතිවාදී අධිවාචකයා ලෙස - දහතුන්වන සංශෝධනය සම්මත වනු දැකීම සඳහා හේ තුමූ ම සම්මුතියට එලැඹුනු නමුදු - චිත්‍රපටය තුල ඉස්මතු වෙයි.

ඉහත සඳහන් වූ පරිදි, ප්‍රාථමික කථා වස්තුව සමග වෙලී ඇත්තේ වහල් ක්‍රමය අහෝසි කිරීමට ගෙන ආ ව්‍යවස්ථා සංශෝධනය පැරනි කොන්ග්‍රසයේ බංකොලොත් සැසිවාරයක් මධ්‍යයේ සම්මත කරවා ගැනීමට ලින්කන්ගේ වූ අධිෂ්ඨානයයි. මේ වූ කලී වහල් ක්‍රමය අහෝසි කිරීමට විපක්ෂව සිටි ඩිමොක්‍රටික් පාක්ෂික කොන්ග්‍රස් සභිකයන් ගනනාවකගේ ම ඡන්ද දිනා ගැනීම මත රඳා පවතුනු කර්තව්‍යයකි. එහි ප්‍රශංසාවට හේතු විය යුතු පරිදි, ස්පිල්බර්ග්ගේ ලින්කන්, මෙම සංකීර්න තත්ත්වය හමුවේ බිය පත් වී පලා නොයයි.

ඊට ඉහත දර්ශනයක දී ලින්කන්, 1863 ජනවාරි 1 දින පටන් ක්‍රියාත්මක ව තුබූ වහල් ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රකාශනය තිබියේ වී නමුදු, මෙම සංශෝධනය සම්මත කර ගැනීමේ අත්‍යවශ්‍යතාවය සිය සංශයවාදී කැබිනට්ටුවට පැහැදිලි කරයි. ඉහත ප්‍රකාශනය ක්‍රියාත්මක කෙරුනේ හමුදාවේ ප්‍රධාන අන දෙන නිලධාරියා ලෙස ඔහු සතු වූ යුද කාලීන බලතල පාවිච්චි කිරීමෙනි. සාම කාල පරිච්ඡෙදයක දී අධිකරනය මෙම පියවර ආපසු හරවනු ඇතැයි ලින්කන් බිය වූයේ ය. තව ද, නව වැඩ පිලිවෙල ක්‍රියාත්මක නො කලහොත් වහල් ක්‍රමය දිගටම පවත්වා ගෙන යාමට ඉඩ හරිමින් දකුන සමග සාමයක් ඇති කර ගනු ලැබෙතැයි ද ඔහු බියපත් විය.

මෙම සංශෝධනය සම්මත කර ගැනීමේ ක්‍රියා සන්තතිය ඉදිරිපත් කිරීමේ දී ලින්කන් (චිත්‍රපටය) යම් දුබලතාවක් දක්වයි. එහි අවධානය කේන්ද්‍රගත කෙරෙන්නේ, පැහැදිලි ලෙස ම සැහැල්ලු හාස්‍යය සඳහා පිටපතට එක් කොට ඇති, ජේම්ස් ස්පේඩර්, ජෝන් හෝක්ස් හා ටිම් බ්ලේක් නෙල්සන් විසින් නිරූපිත "උද්‍යෝගී” පෙලඹවීම් කන්ඩායමේ (ලොබිකරුවන්) ති දෙනාගේ වැඩ කටයුතු කෙරෙහි ය. වැනෙන සුලු ඩිමොක්‍රටිකයන් රැවටීමෙන් ද, අල්ලසින් ද සංශෝධනයට සහාය දීම සඳහා දිනා ගැනීමට ඔවුන් යෙදූ ප්‍රයත්නයන් කෙරෙහි ය. මේ වැඩ පිලිවෙල සැබෑවකි. එය අල්ලස් දීමකට වඩා දේශපාලන කපටිකමක් ලෙස සැලැකීමට ලින්කන් කැමැති විය. එහෙත් ක්‍රියාත්මක වෙමින් තිබූ වඩාත් ප්‍රබල දේශපාලන ප්‍රවනතා අවම කොට දැක්වීමට චිත්‍රපටය පෙලඹී තිබේ.

1864 මැතිවරනයේ දී ලින්කන්ට, රිපබ්ලිකානුවන්ට හා (සැබැවින්ම) වහල් භාවයේ අහෝසියට, පක්ෂ ව උතුරේ නැගුනු මහජන සහයෝගයේ රල පහර ඩිමොක්‍රටිකයන්ට පරාජය ගෙන ආවේ ය. ‘කලු සමූහාන්ඩු’ පක්ෂය ලෙස රිපබ්ලිකන් පක්ෂය හඳුන්වා දෙමින් ඊට එරෙහිව වාර්ගික ඇම යොදාගනිමින් කුරිරු ප්‍රහාරයන් එල්ල කල ඩිමොක්‍රටිකයින්, ලින්කන්ගේ වහල් ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රකාශනය 1864 මැතිවරනයේ ප්‍රමුඛ ප්‍රයුක්තිය බවට පත් කොට තිබින.

1864 ගිම්හානයේ අග භාගයේ දී වාසනාව උඩු යටිකුරු නො වන්නට, සහ විශේෂයෙන් ම ජෙනරල් විලියම් ටෙකම්සෙ ෂර්මන් විසින් ඇට්ලන්ටාව අත්පත් කොට නො ගන්නට, ලින්කන් හා රිපබ්ලිකන් පක්ෂය ඩිමොක්‍රටිකයන් හා පොටොමැක් හි හිටපු යුනියන් හමුදා අන දෙන නිලධාරි ජෝර්ජ් මැක්ලෙලන් අතින් 1864 මැතිවරනය පරාජයවන්නට හොඳටම ඉඩ තිබුනි. ඩිමොක්‍රටිකයෝ, ඉදින් ජය ලැබූවේ නම්, සංගමයේ ස්වාධීනත්වය පිලිගන්නා සහ වහල් ක්‍රමය අහෝසි කිරීම අවලංගු කෙරෙන සාමයක් සඳහා සාංගමිකයන් සමග සාකච්ඡා ඇරඹීමට සූදානම්ව හුන් හ.

එහෙත් කරුනු සිදු වූයේ වෙනත් ආකාරයකට ය. ඡන්ද දායකයෝ ඩිමොක්‍රටිකයන් කුඩුපට්ටම් කෙරෙන පහරක් එල්ල කලහ. ජනගහනය වමට නැඹුරු වෙමින් සිටියහ. හමුදාවේ සියයට 80ක් ඡන්දය පාවිච්චි කිරීමේ දී මැක්ලේලන් වෙනුවට ලින්කන් තෝරා ගැනීමම මේ පිලිබඳ සාක්ෂියකි. මේ සියල්ල ලින්කන්හි නිරූපනය වන්නේ හුදු සිහින් ප්‍රතිරාවයක් ලෙස පමනෙකි. දහතුන්වන සංශෝධනය පිලිබඳ ඡන්දයේ ප්‍රතිඵලය ටෙලිග්‍රාෆ් යන්ත්‍රය හරහා දීප්තිමත් ව ඇඳී යද්දී එය දැනගැනීමට ආශාවෙන් බලා සිටින සොල්දාදුවන් අපි දකිමු. පරාජිත ඩිමොක්‍රටිකයන් පිලිබඳ ව යලි යලිත් කෙරෙන සඳහන් අපට ඇසේ. සංශෝධනය පිලිබඳ අවසාන ඡන්ද විමසීමේ ඇති බැරෑරුම්කම සහ එහි බාරදූරකම අපට දැනේ. තව ද, වහල්බව අහෝසි කිරීමේ සිය ප්‍රකාශනය හා තමන් විසින් යුද කාලීන බලතල භාවිත කරනු ලැබීම මහජන කැමැත්ත තුල මුල් බැස ගත් පියවරයන් බවට ආරම්භයේ දී ම පැවැති, 1864 මැතිවරනයෙන් නිවැරදි බව සනාථ වූ, විශ්වාසය තිරසාරව ප්‍රකාශ කර සිටින ලින්කන් එහි සිටී.

එතෙකුදු වුව, ඓතිහාසික ව මහජනයා ඉටු කල කාර්යභාරය දැක්වෙන්නේ අවම ලෙස ය; විශේෂ ස්ථානයක් ලැබී ඇත්තේ දේශපාලනය අශ්ව වෙලඳාමක් ලෙස වටහා ගැනෙන සංකල්පයන්ට ය. මෙහි දී බොහෝ විට සිදුවන්නට ඇත්තේ, සිය "විරුද්ධවාදීන්ගෙන් සැදුම් ලත් කන්ඩායම්” කෘතිය තුල වැඩි අවධාරනය දේශපාලකයකු ලෙස ලින්කන්ගේ සටකපටකම් කෙරෙහි යොමු කල, සංස්ථාපිතයේ ලේඛක කර්න්ස් ගුඩ්වින්ගේ බලපෑම පිලිබිඹුවීම යැයි සිතිය හැකිය. ඇගේ කෘතියේ කවර යහගුනයන් පැවතියේ වී නමුදු, ඇගේ ප්‍රවිෂ්ටය වර්තමාන ඇමරිකානු දේශපාලනයේ ඇති අලසභාවය හා පටුබව පිලිබිඹු කරන්නකි. මේ ගති ලක්ෂන මීට බෙහෙවින් ම වෙනස් කාල පරිච්ඡෙදයක් කවරාකාර වී දැයි වටහා ගැනීමට බාධාකාරී වෙයි.

මේ දීර්ඝ ලේ වැකි යුද්ධය තුල කුෂ්නර් හා ස්පිල්බර්ග්ගේ අවධානයට පාත්‍ර විය හැකිව තිබූ වෙනත් අවස්ථාවන් රැසක් පැවැති බව පෙන්වා දීම කිසි සේත් චිත්‍රපටයට අපවාද නැගීමක් නො වන්නේ ය. නාටකාකාර බවින් සපිරි සන්ධිස්ථාන රාශියක් පැවතිනි. ඉහත සඳහන් කල 1864 මැතිවරනය සහ 1863 පෙන්සිල්වේනියාවේ ගෙටිස්බර්ග් සංග්‍රාමයෙන් ආක්‍රමනික දකුනේ හමුදා ලද පරාජය ද ඒ අතර වෙයි. ඇතැම්විට මේ හැම සිදුවීමකටමත් වඩා වැදගත් සන්ධිස්ථාන කාල පරිච්ඡෙදය ලෙස සැලකිය හැක්කේ ලින්කන් වහල්බව අහෝසි කිරීමේ ප්‍රකාශනය කෙටුම්පත් කොට එය නිකුත් කිරීමට හැකි වන පරිදි යම් ආකාරයක සාර්ථකත්වයක් රනබිමෙන් වාර්තා වන තුරු බලා සිටියාවූත්, අවසානයේ දී ඇන්ටීටම් සංග්‍රාමයේ විජයග්‍රහනය ලෙස සැප්තැම්බර 17 දින, එනම්, ව්‍යවස්ථා දිනයේ එය ඔහුට හිමිවූ 1862 ගිම්හානය හා සරත් සමය යි.

ලින්කන් චිත්‍රපටය සැලකිය යුතු අවධානයක් දිනා ගැනීමට හොඳටම ඉඩ ඇති බවට ලකුනු පෙනෙන්නට තිබේ. මෙහි ලා වැදගත් වන්නේ, මෙම චිත්‍රපටය තිරගත වන කාල පරිච්ඡෙදයයි, එනම් සමාජ අර්බුදයේ හා ලඟ ලඟම එලැඹෙන විප්ලවීය නැගිටීම්වල තතු තුල මෙය තිරගත වීමයි: එය නිර්මානය වූ ආකාරයයි, එනම් හොලිවුඩයේ ප්‍රමුඛ සිනමාකරුවකු වන ස්ටීවන් ස්පිල්බර්ග් අතින් එය නිමැවීමයි: තව ද, එසේ කිරීමේ දී, එය ලින්කන්ට, වහල්භාවය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටියවුන්ට (අහෝසිතාවාදීන්ට) හෝ සිවිල් යුද්ධයටම වුව පහර දෙන්නක් නො වන ආකාරයකින් ඉදිරිපත් වී තිබීමයි.

"අනන්‍යතා දේශපාලනයේ” අනේකවිධ වෘත්තිකයන් විසින් ලින්කන් වර්ගවාදියෙකු ලෙස ද, කෛරාටිකයෙකු ලෙස ද අවමානයට ලක් කොට ඇත. තව ද, සිවිල් යුද්ධය විසින් අත්පත් කර ගැනුනු කිසිවක් නැති බවත්, අප්‍රිකානු ඇමරිකානුන්ට ඉන් පසු අත්දකින්නට ලැබුනු දේ, (මෑත කාලීන වාර්තා චිත්‍රපටයක නම නයට ගෙන කිවහොත්) හුදෙක් "වෙනත් නමකින් හැඳින්වෙන වහල්භාවය”ම බවත් ශාස්ත්‍රාලයීය උගතුන්ගේ ඇතැම් ස්ථරයන්, පූර්ව කාලීන සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය හා හිටපු වම්මුන් අතර ඇදැහිල්ලකට සමීප විශ්වාසයක් බවට පත් ව ඇත.

මාක්ස්ගෙන් උපුටා ගැනුනු පාඨය පෙන්වා දෙන පරිදි, සිවිල් යුද්ධය හා ලින්කන්ගේ කාර්ය භාරය සමාජවාදීන් දකින්නේ මීට බෙහෙවින් වෙනස් ආකාරයකට, වෛෂයික ඓතිහාසික ඇගයීමක කොටසක් ලෙස, 1860 ගනන්වල මහා අරගලයේ පැවැති විප්ලවවාදී හා ලෝක ඓතිහාසික ස්වභාවයට හිමි විය යුතු මුලු ගෞරවය ඊට පුදමිනි.

සියලු සාක්ෂිවලින් ඇඟවුම් කෙරෙන්නේ බලවත් මහජන සැලැකිල්ලක් ලින්කන් චිත්‍රපටයට හිමිවන බවයි. එක් ප්‍රකාශනයක් එහි සමාරම්භක සීමිත ප්‍රදර්ශන සති අන්තය පිලිබඳව විස්තර කලේ "විජයග්රාහී” එකක් ලෙසයි. ලින්කන් නම් වූ ඓතිහාසික පුද්ගලයා ද, එමෙන්ම අහෝසිතාවාදීන් හා සිවිල් යුද්ධය ද තවදුරටත් අධ්‍යයනය කිරීමටත්: එපමනක් නොව ඇමරිකානු ඉතිහාසයේ චාලක බලවේගය; සමානාත්මතාවය සඳහා වූ අරගලය පිලිබඳ වඩාත් ගැඹුරු අගය කිරීමකටත් ප්‍රාරම්භකත්වය චිත්‍රපටය විසින් සම්පාදනය කෙරෙතැයි අපේක්ෂා කල යුතු ව ඇත.

Share this article: