ආන්ඩුව පොරොන්දු කඩකිරීමට විරුද්ධව හෙද සේවකයන්ගේ දීපව්‍යාප්ත උද්ඝෝෂනයක්

By W.A. Sunil, 7 December 2012

නොවැම්බර් 15 සෞඛ්‍ය අමාත්‍යංශය වෙත හෙද සේවකයන්ගේ විරෝධතා පාගමන

රජයේ හෙද සේවකයන්ගේ ඉල්ලීම් ගනනාවකට විසඳුම් ලබාදෙන බව නොවැම්බර් මාසයේ පැවති ඔවුන්ගේ උදඝෝෂන අතර තුර ආන්ඩුව පොරොන්දු වූ නමුත් එම පොරොන්දු මේ වන විට බිඳ දමා ඇත. අද දින යලිත් දීප ව්‍යාප්ත විරෝධතා උද්ඝෝෂනයක් කැඳවීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට බලකෙරුනේ මේ තතු තුලය. මේ අතර ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය (සලංහෙනිසං) ද නිවේදනය කර තිබේ.

එහෙත් හෙද වෘත්තීය සමිවල ඊනියා උද්ඝෝෂනයන්ගේ එල්ලය හෙද සේවකයන්ගේ ඉල්ලීම් දිනා ගැනීමේ අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීමේ වුවමනාවෙන් කෙරෙන්නක් නොව; පොරොන්දු කැඞීම හා තමන්ගේ රැකියා, සේවා කොන්දේසි, ජීවන තත්වයන් හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් එල්ල කරන ප‍්‍රහාර කෙරෙහි ඔවුන් අතර වර්ධනය වන කෝපය හා නොසන්සුන්කම සීමිත විරෝධතාවලට කොටු කර වාෂ්ප කර දැමීම ය.

අද පැවති විරෝධතාවය පැයකට සීමා කිරීම ම අප කියන දේ සනාත කෙරෙන පැහැදිලි සාක්ෂියකි.

නවක සේවකයන්ගෙන් සියයට 70 පලාත් සභා මට්ටමෙන් බඳවා ගැනීමේ 1979 ආන්ඩුවේ ගැසට් පත‍්‍රය අවලංගු කිරීම, හෙද උපාධිධාරීන්ට රජයේ රෝහල්වලට පත්වීම් ලබා දීම, දැනට පැයකට රුපියල් 65 ක අතිකාල දීමනාව මූලික වැටුපෙන් 1/90 දක්වා වැඩිකිරීම, රජයේ සෙසු සේවාවන්ට සමාන ආකාරයට උසස්වීම් පටිපාටිය විධිමත් කිරීම, දින පහේ සතියක් ස්ථාපිත කිරීම, විශේෂිත ඒකක වලට පමනක් ගෙවන අනතුරු දීමනාව පොදුවේ සියලු හෙද නිලධාරීන්ට ගෙවීම හා මාසිකව රුපියල් 400 වන එම දීමනාව ඉහල දැමීම හෙද සේවකයන්ගේ මූලික ඉල්ලීම් වේ.

මෙම ඉල්ලීම් බොහොමයක් වසර ගනනාවක් පුරා දිග්ගැස්සුන ඒවාය. පසු ගිය වසර දෙක තුල මේ ඉල්ලීම් පාදක කර ගනිමින් රහෙනිසං හා සලංහෙනිසං විවිධ විරෝධාතා උද්ඝෝෂන කැඳවූ හ. ඒ හැම අවස්ථාවකම ආන්ඩුවේ "පොරොන්දු” පිලි ගනිමින් හා ඉල්ලීම් නොදුන්නොත් "දැඩි ක‍්‍රියාමාර්ග” වලට යන බවට හිස් ගර්ජනා කරමින් හෙද සේවකයන්ගේ අරගලය යටපත් කිරීමට මේ සමිති නායකයෝ වග බලා ගත්හ.

මීට පෙර ආසන්නතම විරෝධතාව පැවැත්වුනේ නොවැම්බර් 15 දා ය. හෙද සේවකයන්ගේ ගැටලු විසඳන බවට නොවැම්බර් මාසයේ උද්ඝෝෂන අතරතුර සෞඛ්‍ය ඇමති සහ බලධාරීන් පොරොන්දු වුහ.

නොවැම්බර් 15 සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පැවති විරෝධතා උද්ඝෝෂනය

ගැටලු විසඳීමට පොරොන්දු වී තිබිය දී වර්ජනය "අසාධාරන හා කඩාකප්පල්කාරී වැඩක්” යයි සෞඛ්‍ය බලධාරීහු වර්ජකයන්ට පහර ගැසුහ.

රහෙනිසං සහ සලංහෙනිසං එදින වෙන වෙනම උද්ඝෝෂන දෙකක් කැඳවුහ. රහෙනිසං එදින කොලඹ ජාතික රෝහල වටා පා ගමනක් හා අමාත්‍යංශය ඉදිරිපිට පිකට් උද්ඝෝෂනයක් සංවිධානය කර තිබුනි. සලංහෙනිසං සාමාජිකයන් 15-20 කන්ඩායමක් ද අමාත්‍යංශය ඉදිරිපිට හුදකලා සත්‍යග‍්‍රහයක නිරත වුහ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය (රාසේඑහෙසං) උද්ඝෝෂනයට ඍජුව ම විරුද්ධ විය. සංගමයේ කිසියම් සාමාජිකයෙක් ඊට සම්බන්ධ වුවහොත් ඔවූන් සම්බන්ධයෙන් සංගමය වග නොකියන බවට එහි නායක මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව, අනතුරු ඇඟවීමක් ද කලේ ය. උද්ඝෝෂනය හැකිතරම් සීමා කිරීමට රහෙනිසං නායකයන් උත්සාහය හා රාසේඑහෙසං හා ආන්ඩුවේ තර්ජනය නොතකා රට පුරා දහස් ගනනක් වර්ජනයට සම්බන්ධවු අතර රෝහල්වල වැඩ කටයුතු සියයට 60-70 පමන අඩාල විය.

ආන්ඩුව ඉල්ලීම් ඉටු කිරීමට අසමත් වූනොත් "දැඩි ක‍්‍රියා මාර්ගයක්” ගන්න බව සලංහෙනිසං සභාපති ස.බ. මැදිවත්ත මාධ්‍යට ප‍්‍රකාශ කර තිබුනි.

මේ තප්පුලෑම අතලොස්සක් වන තම සාමාජිකයන් ගේ ඇස්වලට වැලි ගැසීමේ අමු ම අමු ප්‍රෝඩාවකි. රාජපක්ෂ ආන්ඩුව කවර ක්ෂේත‍්‍රයක හෝ ක‍්‍රියාවට දමන පිලිවෙත් සම්බන්ධයෙන් ජවිපෙට හෝ ඊට සම්බන්ධ වෘත්තීය සමිති වලට මූලික මත භේදයක් නැත.

සෞඛ්‍ය ඇමති ගැසට් එක සංශෝධනය කිරීම ඇතුලු සමහර ඉල්ලීම් දීමට එකඟ වී ඇතත් ඒවා ක‍්‍රියාත්මක නොකරන බවට රහෙනිසං යේ සභාපති සමන් රත්නප‍්‍රිය සෞඛ්‍ය බලධාරීන්ට චෝදනා කල අතර ඉල්ලීම් නො ලැබුනොත් "දැඩි ක‍්‍රියාමාර්ගයක්” ගැනීමට සිදුවන බවට සුපුරුදු තර්ජනය කල ඔහු, එතනට තමන් තල්ලු නොකරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය. එවන් ඉල්ලීමක් පිටු පස පවතින්නේ ආන්ඩුවේත් තමන්ගේත් ජාම බේරා ගැනීමට හැකි වන ආකාරයේ යමක් හෙද නිලධාරීන්ගේ උගුරෙන් පහලට තල්ලු කිරීමට නොහැකි වුනොත් ඔවුන් අතර උද්ගත විය හැකි පිපුරුම් සහගත නොසන්සුන්කමක් ගැන වෘත්තීය සමිති නායකයෙකු තුල පවතින භීතියයි.

සමිති නායකයන්ගේ ප‍්‍රතිගාමී ක‍්‍රියා කලාපයෙන් දෑත් ශක්තිමත් කර ගත් ආන්ඩුව ඔවුන්ගේ ප‍්‍රශ්න වලට විසඳුම් දෙනවා වෙනුවට සේවකයන්ට, එරෙහි මර්දනය දැඩි කලේ ය. වැඩි පුරම කාන්තා හිංසනය පවතින්නේ සෞඛ්‍ය සේවය තුල යයි සෞඛ්‍ය ඇමති හා ධනපති ජන මාධ්‍ය දැන් ආරම්භ කර ඇති ප‍්‍රචාරය යොමුවනු ඇත්තේ ද සෞඛ්‍ය සේවකයන්ට එරෙහි දඩයක්කාරී ව්‍යාපාරයකට ය.

විවිධ පලාත්වල හෙද සේවකයන් ගනනාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කලහ.

දෙදරු පියෙකු වූ කුරුනෑගල ශික්ෂන රෝහලේ හෙද නිලධාරියෙකු මෙසේ පැවසීය. "ආන්ඩුවේ අලුත් ගැසට් එක හෙද සේවයට වගේම පොදුවේ සෞඛ්‍ය සේවයට එල්ල කල බරපතල ප‍්‍රහාරයක්. පලාත් සභාව යටතේ අලුතෙන් බඳවා ගන්න අයට අවුරුදු 10 ක් යනකම් මාරු වීම් ගන්න බැහැ. ඒක ඒ අයගේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් අහෝසි කිරීමක්.”

ජීවන වියදම ඉහලයාම නිසා කම්කරු පන්තියේ සෙසු කොටස් මෙන්ම හෙද සේවකයන් මුහුන දෙන දුෂ්කරතා ඔහු විස්තර කලේ ය. "හැම කෙනෙක් ම ගන්න පුලුවන් හැම නයක් ම අරගෙන තියෙන්නේ. නය වාරික හා වෙනත් අඩු කිරීම් කලාට පස්සේ මාසේ අන්තිම අතට ලැබෙන්නේ රුපියල් 10-12,000 ක්. අතිකාල කලේ නැත්නම් සතයක්වත් අතට ලැබෙන්නේ නැහැ.”

අවශ්‍ය මූලික උපකරන හා ඖෂධ වල හිඟය නිසා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ දී තමන් බරපතල අපහසුතාවන්ට මුහුන දෙන බව හෙද සේවකයෝ කීහ.

"ආන්ඩුව අපේ කිසිම ඉල්ලීමක් දෙන්න සුදානම් නැති බව හොඳටම පැහැදිලියි. ආන්ඩුවේ දේශපාලන ගමන පෙන්නුම් කරන්නේ එකාධිපති විධිහට රට පාලනය කරන්න දරන උත්සාහයක්, ආන්ඩුවේ ඒ ගමන කොහොම හරි නතර කරන්න ඕනෑ”යයි කලුබෝවිල හෙද සේවකයෙකු පැවසුවේ ය.

හලාවත රෝහලේ හෙද සේවිකාවන් පිරිසක් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ කාන්තාවනට ලිංගික හිරිහැර බහුලව සිදුවන බවට ඇමති සිරිසේනගේ ප‍්‍රකාශය හෙලා දුටුවෝය. "හුදකලා සිද්ධීන් තියෙන්න පුලූවන්. නමුත් සමස්තයක් ලෙස සෞඛ්‍ය සේවකයන්ට දෝශාරෝපනය කිරීම වැරදියි. ඒ විදිහේ ප‍්‍රචාරයක් ගෙනියන්නේ අපේ අරගලය දුර්වල කිරීමේ වෑයමක කොටසක් කියල අපට හිතෙන්නේ” රාසේඑහෙසං හෙද අරගලයට ද්‍රෝහීවීම ගැන ඔවුන්ගේ දැඩි විරුද්ධත්වය පල කලේය.

යාපනය රෝහලේ හෙද සේවකයන් කිහිප දෙනෙකු තමන් මුහුන දෙන දුෂ්කරතා පැහැදිලි කලහ. "හෙද සේවකයන් 1513 අවශ්‍යය. නමුත් ඉන්නේ 390. ඒ නිසා පැය 18-24 ක් එක දිගට වැඩ කරන්න වෙනවා. ප‍්‍රමානවත් තරම් විවේකාගාර, වැසිකිලි වැනි මුලික පහසුකම්වත් නැහැ. සමහර වෙලාවට වැසිකිලියට යන්න පෝලිමේ ඉන්න වෙනවා. අනෙක් අංශවලටත් අවශ්‍ය තරම් සේවකයෝ නැහැ. අපේ පඩි වැඩි කරන්න ආන්ඩුවට සල්ලි නැහැ කියනවා යුද්දෙට කෝටි කීයක් වියදම් කලාද? දැන් යුද්දේ ඉවරවෙලා අවුරුදු කීයක් ද?”

හෙද සේවකයන් ඇතුලුව රාජ්‍ය සෞඛ්‍ය සේවයේ නියුක්ත අයට එල්ල වන ප‍්‍රහාර හා සෞඛ්‍ය සේවය පරිහානියට පත්වීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග යටතේ රාජ්‍ය වියදම් කැපීම සඳහා ආන්ඩුව ක‍්‍රියාවට දමන කප්පාදු වැඩ පිලිවෙලේ කොටසකි. ආන්ඩුවේ පිලිවෙත වී ඇත්තේ සුබසාධන සේවාවක් ලෙස පවතින රාජ්‍ය සෞඛ්‍ය සේවය වල පල්ලට යවමින් පුද්ගලික අංශය ශක්තිමත් කිරීමය.

රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත ලෝක ධනවාදයේ ගැඹුරු වන වර්තමාන අර්බුදය තුල එහි බර වැඩකරන ජනතාව මත පැටවීම සඳහා ලෝකය පුරා ධනපති පාලක පන්තීන් විසින් ක‍්‍රියාවට දමන විනාශකාරී ආර්ථික පිලිවෙතේ කොටසකි.

හෙද සමිති නායකයෝ මේ තත්වය මුලුමනින්ම සාමාජිකයන්ට වසන් කරති. ඒ වෙනුවට ඔවුන්ගේ තර්කය ගොඩ නැගී ඇත්තේ වෛද්‍යවරුන්ට වැඩිකරනවා නම් ඇයි හෙද සේවයට වැඩි නොකරන්නේ යනුවෙනි. මෙය අරටුවට ම වෘත්තීය සමිති කට්ටිවාදී හා ප‍්‍රතිගාමී තර්කයකි. එවැන්නක් තුඩු දෙනු ඇත්තේ සෞඛ්‍ය සේවය තුල වෘත්තීය සමිතිවාදී කාකොටා ගැනීම් වලට මිස හෙද හෝ වෙනත් කවර කොටසකවත් අරගලය ශක්තිමත් කිරීමට නම් නො වේ.

ඒකාබද්ධ වෘත්තීය සමිති ක‍්‍රියාවන් හරහා වඩා ලොකු බලපෑමක් ආන්ඩුවට කිරීමෙන් තමන්ගේ අයිතීන් දිනා ගත හැකියයි හෙද සේවකයන් අතර පොදු අදහසක් තිබේ. එය වෘත්තීය සමිති විසින් වගාකරන මිථ්‍යාවකි. හෙද සේවකයන් මෙන්ම අවශේෂ වැඩකරන ජනයා ද මෑත පැවති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හා රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් අරගලවලින් පාඩම් උකහා ගත යුතුය.

මේ අරගල පිටුපස වෘත්තීය සමිති දුසිම් ගනනක් හා විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය (එජාප) ජවිපෙ හා නව සම සමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම පක්ෂ පෙල ගැසී සිටියහ. මතුපිටින් කෙතරම් පුලුල් ව්‍යාපාර ලෙස දකින්නට ලැබුන ද ඒවා අවසාන වුයේ පරාජයෙන්, වඩා නිවැරදිව කිවහොත් පාවා දීමෙන් මිස ජයග‍්‍රහනයෙන් නො වේ.

එසේ වුයේ මෙම සංවිධාන හා පක්ෂ විසින් එම අරගල හුදෙක් ආන්ඩුවට බලපෑම් දැමීමේ බංකොලොත් හා ප‍්‍රතිගාමී වැඩපිලිවෙලකට කොටු කිරීම නිසාය. එය ඔවුන් නොදැනුවත්ව නොව; දැනුවත්ව කල දෙයකි. හේතුව ධනපති පන්ති පාලනයට අභියෝග කරන ස්වාධීන කම්කරු පන්තික ව්‍යාපාරයක් වර්ධනය වනවාට ඔවුන් විරුද්ධ නිසාය.

තමන්ගේ ඉල්ලීම් සහ අයිතීන් දිනා ගැනීම සඳහා හෙද සේවකයන්ට හා සමස්තයක් ලෙස කම්කරු පන්තියට ලෝක ආර්ථික අර්බුදය හා ජාමුඅ නියෝග මගින් මෙහෙයවනු ලබන රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රතිගාමී ආර්ථික හා දේශපාලන පිලිවෙත්වලට එරෙහිව දැනුවත් අරගලයක් අවශ්‍ය වේ.

එය වෘත්තීය සමිති, ධනපති පක්ෂ හා ව්‍යාජ වම්මු හරහා සහ ආන්ඩුවට බලපෑම් දැමීමේ ජාතිකවාදී හා වෘත්තීය සමිතිවාදී ක‍්‍රියාමාර්ගයක් මත සංවිධානය කල නොහැකිය. එම අරගලය සංවිධානය කල යුත්තේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පාදකව රාජපක්ෂ ආන්ඩුවට එරෙහි හා එය සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක‍්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවකින් විස්ථාපනය කිරීමේ එල්ලය ඇතිවය.

එවන් අරගලයක් සංවිධානය කිරීම සඳහා හෙද සේවකයන් හා අවශේෂ වැඩකරන ජනතාව ධනපති පක්ෂ, ව්‍යාජ වාම පක්ෂ හා වෘත්තීය සමිතිවලින් බිඳී කම්කරු ක‍්‍රියාකාරී කමිටු ඇතුලු නව සංවිධාන ගොඩ නගා ගත යුතුය. ජීවන වියදමට සරිලන වැටුපක්, යහපත් සේවා කොන්දේසි සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සඳහා සමස්ත කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් එමගින් සංවිධානය කල යුතුය.

කම්කරු පන්තිය වෙත මෙම ඉදිරිදර්ශනය හා ක‍්‍රියාමාර්ගය ඉදිරිපත් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. එහි ඉදිරිදර්ශනය අධ්‍යයනය කරමින් සසප කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමට පෙරට එන්න.

Share this article: