ශ‍්‍රී ලංකාව: සමිතිවල පාවාදීම යොදාගනිමින් ආන්ඩුවේ කමිටුව ලංවිම සේවක ඉල්ලීම් ඉවතට දමයි

By W.A.Sunil, 25 December 2012

ලංකා විදුලි බල මන්ඩල (ලංවිම) සේවකයන්ගේ වැටුප් හා සේවාකොන්දේසි සම්බන්ධ ඉල්ලීම් ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට යයි වෘත්තීය සමිතිවල එකඟත්වයෙන් අගෝස්තු මාසයේ ආන්ඩුව විසින් පත්කරන ලද කමිටුව එම ඉල්ලීම් කුනු කූඩයට දැමීම ලංවිම සමිතිවල ද්‍රෝහීත්වය යලිත් වරක් එලිදරව් කර ඇත.

ලංවිම සේවකයන් ගෙනගිය වර්ජනයට සතියක් සම්පූර්න වූ අගෝස්තු 17දා, වෘත්තීය සමිති විසින් එය නතර කරන ලද්දේ ආන්ඩුව පත්කල කමිටුව ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකරනු ඇතැයි යන මිථ්‍යාව ඉදිරිපත් කරමිනි. එහි මූලිකත්වය ගත්තේ ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමය (ලංවිසේසං), එහි ප‍්‍රධානත්වයෙන් කි‍්‍රයාත්මක වන ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුන සහ තාක්ෂනික සේවා වෘත්තීය සමිති පෙරමුන විසිනි.

කම්කරු කොමසාරිස් ජනරාල් ටී.බී.පී.කේ. වීරසිංහ හා ලංවිම ඉහල නිලධාරීන් තිදෙනක් ඇතුලත් එම කමිටුව කම්කරු ඇමති ගාමිනී ලොකුගේ විසින් පත්කලේ වර්ජනය සමථයකට පත්කිරීමට මැදිහත් වන ලෙස වෘත්තීය සමිති විසින් ඔහුගෙන් කල ඉල්ලීමකට අනුවය.

වර්ජනය නතර කිරීමේ දී කමිටුවේ ඉල්ලීමට අවනතව "පාරිභෝගික මධ්‍යස්ථාන පුද්ගලීකරනය”, මිනිස් බල සමාගම් වලින් බඳවාගත් අනියම් කම්කරුවන් 5,000 ස්ථීර කිරීම හා සෙසු කොන්ත‍්‍රාත් හා තාවකාලික කම්කරුවන් සම්බන්ධ ඉල්ලීම් අත හැරීමට සමිති එකඟ වූ හ. කමිටුව හුදෙක් ම එකඟ වුයේ සියයට 20ක වැටුප් වැඩිවීම හා වර්ජිත කම්කරුවන්ට විරුද්ධව විනය පියවර නොගැනීම සම්බන්ධ ඉල්ලීම් ගැන සලකා බලා, රෙකමදාරු ඉදිරිපත් කිරීමට පමනි.

එමෙන්ම, කමිටු වාර්තාව එනතුරු කිසිම කාර්මික කි‍්‍රයාවකට නොයෑමට ද කමිටු වාර්තාව ප‍්‍රතික්ෂේප කලහොත්, ඉල්ලීම් පිලිබඳව තීන්දු කිරීම අනිවාර්ය බේරුම්කාරයෙකුට යටත්කරන බවට ආන්ඩුව ඉදිරිපත් කල කොන්දේසියට ද සමිති නිලධරය එකඟවූහ.

නොවැම්බර් 21 නිකුත් කල කමිටු වාර්තාව වෘත්තීය සමිති විසින් කප්පාදු කල ඉල්ලීම් ද ඉවත දමා තිබේ. වැඩවර්ජනයේ යෙදුනු දින 6 1/2, වැටුප් රහිත විශේෂ දින ලෙස සලකා කටයුතු කිරීමට ද "වැඩවර්ජනය කරන හැම අවස්ථාවකම වැටුප් ගෙවීමට සිදුවීම වැරදි පූර්වාදර්ශයක් විය හැකි බව”ද කමිටුව නිර්දේශ කර තිබේ. උසස්වීම් හා වාර්ෂික වැටුප් වර්ධක ලබාදීම” වෛද්‍ය නිවාඩු ප‍්‍රතිපුර්නය කිරීම, වාර්ෂික ප‍්‍රසාද දීමනා ගෙවීම හා සේවාදිගු ලබා දීමේ දී වර්ජන දින ගනන් නොගෙන කටයුතු කල යුතු බව කමිටුව නිර්දේශ කර ඇතත් ඒවා අවසාන වසයෙන් කි‍්‍රයාවට දැමෙනු ඇත්තේ ලංවිම පාලනාධිකාරයේ තීන්දු තීරන වලට අනුව ය.

වෘත්තීය සමිතිවල කි‍්‍රයාකලාපයේ අනිටු විපාක ගැන 2012 අගෝස්තු 23 දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පලකල ලිපියක දී (බලන්න: ලංවිම සමිති වර්ජනය පාවා දෙති) ලංවිම සේවකයන්ට සසප එම පාවාදීම පිලිබඳව අනතුරු ඇඟවූයේය.

අරගලයේ ආරම්භයේ දී ම වර්ජකයන් රැකියාවෙන් දොට්ට දැමීමට හා වර්ජනයට විරුද්ධව ආරක්ෂක හමුදා මැදිහත් කිරීමට ආන්ඩුව තර්ජනය කලේය. සේවකයන් ඉදිරියේ මතුවූ ප‍්‍රශ්නය නම් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට එරෙහිව දේශපාලන අරගලයක් වර්ධනය කිරීමකින් තොරව ඉල්ලීම් සඳහා සටන ඉදිරියට ගෙන යා නොහැකි බවයි.

රාජපක්ෂ ආන්ඩුව විස්ථාපනය කරමින් සමාජවාදී වැඩපිලිවෙල කි‍්‍රයාවට නගන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා දේශපාලන අරගලයක් වර්ධනය කිරීම ලංවිම හා අවශේෂ කම්කරුවන් ඉදිරියේ ද මතුවී ඇති අභියෝගයයි.

රාජපක්ෂ ආන්ඩුව කි‍්‍රයාකරමින් සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත වැඩ කරන ජනතාවගේ අයිතීන් රුදුරු ලෙස කප්පාදු කිරීමටයි. වැටුප් කැටි කිරීම, රැකියා හා සේවා කොන්දේසි කපාදැමීම හා කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවනතත්වයන් පාතාලයට ඇදදැමීම මේ යටතේ සූදානම් වෙයි. ලංවිම, තෙල් සංස්ථාව, වරාය හා ජල හා ජලසම්පත් මන්ඩලය මුලුමනින් පුද්ගලීකරනය එම වැඩපිලිවෙලේම කොටසකි. ලෝක ධනවාදී අර්බුදයේ බලපෑමෙන් ලංකාවේ ධනපති පන්ති අර්බුදය ගැඹුරුවන කොන්දේසි තුල ආන්ඩුව මෙම ප‍්‍රහාර එල්ල කරමින් සිටී.

වර්ජනය මෙහෙය වූ වෘත්තීය සමිති මුල සිට ම කි‍්‍රයාත්මක වුයේ එතුල මතු කෙරුන ඉහත කී දේශපාලන ප‍්‍රශ්න දැනුවත්ව යට ගැසීමට හා කම්කරුවන්ගේ විරුද්ධත්වය විසිරුවා හැර වාෂ්පකර දැමීමට ය. වර්ජනය නතර කිරීම සඳහා කම්කරු ඇමතිගේ මැදිහත් වීමක් සමිති නිලධරය විසින් ඉල්ලා සිටියේ එය ආන්ඩුවේ පිලිවෙත් සමග ඍජුව ගැටෙන හා තමන්ගේ පාලනයෙන් පිටට යාමේ කොන්දේසි වර්ධනය වූ තතු තුලය. තමන්ට එල්ල වන ප‍්‍රහාර කෙරෙහි අතෘප්තියෙන් හා කෝපයෙන් සිටින අවශේෂ කම්කරු කොටස් ද ලංවිම සේවක වර්ජනයෙන් අරගලයකට ඒමට දිරිමත් වනු ඇතැයි සමිති මෙන්ම රාජපක්ෂ ආන්ඩුව ද බියට පත් වූහ.

ඉල්ලීම් කිසිවක් නොලැබී, තම පාවාදීම මුලුමනින් ම එලිදරව් වූ තැන දැන් එකිනෙකාට චෝදනා කරමින් තමන්ගේ ප‍්‍රතිගාමී කි‍්‍රයා කලාපය වහංගු කරගැනීමට වෘත්තීය සමිති නිලධරය තැත් කරති. කමිටු වාර්තාව නිකුත් වීමෙන් පසුව ලංවිසේසංය නිකුත් කල පති‍්‍රකාවක අරගලය පාවාදීමේ වගකීම සෙසු සමිති මතට පටවා තමන්ගේ ඇඟ බේරා ගැනීමේ නිරර්ථක ව්‍යායාමයක යෙදී ඇත. වර්ජනය නතර කර ආන්ඩුව පත්කල කමිටුව පිලිගැනීමට තමන් එකඟ වුයේ සෙසු සමිති සමග එකමුතුව පවත්වා ගැනීමේ උවමනාව නිසා යයි ඔවුන් එම පති‍්‍රකාවේ ලියා ඇත.

ලංවිම වෘත්තීය සමිති සියල්ල පාවාදීම සම්බන්ධයෙන් එකසේ වගකිවයුතු අතර ලංවිසේසං එහි ලා මූලික කි‍්‍රයාකලාපයක් ඉටුකලේය. ලංවිසේසංයේ කි‍්‍රයා කලාපය සෘජුවම සම්බන්ධ වන්නේ ජවිපෙ දේශපාලනය සමගයි. ජවිපෙ සමිති පෙරමුන වන වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානය මෙහෙයවනු ලැබ ඇත්තේ ද කම්කරුවන්ගේ ඉල්ලීම් දිනීම සඳහා මහා වර්ජන කැඳවීම සම්බන්ධයෙන් වාචාල දෙසාබෑම් කරමින් අරගල පිපිරීම දැනුවත්වම වැලැක්වීමටයි. ජවිපෙ ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ කොටසක් ලෙස එහි වුවමනාවන්ට අනුව කි‍්‍රයාත්මක වේ.

ලංවිම තාක්ෂනික ඉජිනේරු සංගමයේ සභාපති ජී. නූපෙහේවා ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප‍්‍රකාශකලේ "ඒ වෙලාවේ, පැවතුන තත්වය තුල,” වර්ජනය නතර කර කමිටුවට එකඟ වීමට සිදු වූ බවයි. එදා පැවති තත්වය නම් කම්කරුවන් ඉදිරියේ දේශපාලන අරගලයක අවශ්‍යතාවය මතුව තිබීමයි. ආන්ඩුවට එරෙහි එබඳු හැප්පීමකට වෘත්තීය සමිති ඉඳුරාම විරුද්ධව සිටියහ.

ආන්ඩුව ඇටවූ කමිටුවේ කොන්දේසිවලට එකඟ වී ලංවිම සේවකයන් මත උගුලක් පැටවූ සමිති නිලධරය එම කොන්දේසි ඉවත්කර ගැනීමට මගක් ඇත්දැයි නීති උපදේශ සොයමින් සිටින බව රන්ජන් ජයලාල් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේය. මෙය සේවකයන්ගේ ඇස්වලට වැලිගැසීමේ තවත් ප්‍රෝඩාවකි. ආන්ඩුව දැන් සේවක ඉල්ලීම් පිලිබඳව සලකා බැලීමට යයි අනිවාර්ය බේරුම්කරුවෙකු පත්කිරීමේ අනතුර පැනනැගී ඇත. මේ උගුල යොදා ගැනෙනු ඇත්තේ ආන්ඩුවේ සැලසුම් සේවකයන් මත පැටවීමට ය.

සමස්තයක් ලෙස හා ජාත්‍යන්තරව අධිරාජ්‍යවාදී ප‍්‍රාග්ධනයේ හා තම රටවල ධනපති පාලක පන්තීන්ගේ ඍජු උපකරන බවට වෘත්තීය සමිති අද පරිවර්තනය වී තිබේ. එහෙයින් ඒවායේ නායකත්වයන් වෙනස් කිරීමෙන් හෝ එක් සමිතියක් වෙනුවට තවත් සමිතියකට බැඳීමෙන් කම්කරු පන්තියට තම අයිතීන් සඳහා අව්‍යාජ අරගලයක් සංවිධානය කල නොහැකිය. ලංවිම මෙන් ම දින සියයක් පැවති ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්ය හා මෑතදී පැවති දකුනු අපි‍්‍රකානු පතල් හා කෘෂි කාර්මික කම්කරුවන්ගේ අරගලවල පාඩම එයයි.

එමෙන් ම කෙතරම් අධිෂ්ඨානශීලී වුව ද හුදු සටන්කාමිත්වය ප‍්‍රමානවත් නොවන බව ද ලංවිම හා මෑත පැන නැගි හැම අරගලයක් තුලින්ම සනාත වූ මූලික කාරනාවකි. අරගලය තුල මුහුන දෙන තීරනාත්මක ප‍්‍රශ්න මග හැර යාමට කම්කරු පන්තියට හැකියාවක් නැත.

ලංවිම සේවකයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ තමන් පාවාදී සිටින වෘත්තීය සමිතිවලට එරෙහිව කැරලිකාරීව නැගීසිටිමින් තම අයිතීන් සඳහා අරගලය කිරීමට නව සංවිධාන ලෙස කම්කරු කි‍්‍රයාකාරී කමිටු ගොඩනගන ලෙසයි. අවශේෂ කම්කරු පන්තියේ කොටස් ද ලංවිම හා තම ක්ෂේත‍්‍රවල වෘත්තීය සමිති ඉටුකරන පාවාදීම්වලින් පාඩම් උකහාගත යුතු ය. සෑම වැඩපලකම හා වතුකරය තුලද කම්කරුවන් කි‍්‍රයාකාරී කමිටු ගොඩ නගමින් දුගී ජනයාගේ ද සහයෝගය ගොනුකරගනිමින් රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව පොදු, අව්‍යාජ දේශපාලන අරගලයක් දියත්කිරීමට සූදානම්වීම හදිසි අවශ්‍යතාවයක් ලෙස මතුවී ඇත.

Share this article: