ශ්‍රී ලංකාවේ බන්ධනාගාර නියාමකයෝ විරෝධය දැක් වූ රැඳවියන්ට වෙඩි තබති

Sri Lankan prison guards shoot protesting inmates

By Wasantha Rupasinghe, 28 January 2012

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර නියාමකයෝ පසුගිය 25 වෙනි දා රටේ විශාලතම රැඳවුම් මධ්‍යස්ථානය වන කොලඹ වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ විරෝධය පලකරමින් සිටි රැඳවියන් ගනනාවකට වෙඩි තබා තුවාල සිදු කලහ. කැරැල්ලත් එය ලේ වැකි ලෙස මර්දනය කිරීමත් අවධාරනය කරන්නේ බන්ධනාගාර තුල පවතින ම්ලේච්ඡ තත්වයත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවයත් ය.

රිමාන්ඩ් සිරකරුවන් විසිහය දෙනෙක් කොලඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුනි.19දෙනෙකු තරම් සංඛ්‍යාවක් ඔවුන්ගේ දනහිසට පහලින් වෙඩි වැදීමෙන් ඇතිවුන තුවාලවලින් පීඩා වින්දහ.ගඩොල් හෝ කලුගල් පහර කනු ලදුව බන්ධනාගාර නියාමකයින් පස් දෙනෙක් ද තුවාල ලැබුවෝය.

බන්ධනාගාර ඇමති චන්ද්‍රසිරි ගජධීර “පිටස්තරයන් ” විසින් කැරැල්ල උසිගන්වන ලද බවත්‚ කැරලිකරුවන් “මත් ද්‍රව්‍ය ලෝලීන් ” බවත් මාධ්‍යයට ප්‍රකාශ කලේ ය.ගෙන ගිය මර්ධනය යුක්ති සහගත කිරිමත් ඉහල අධිකාරීන්ගේ නියමය පරිදි රැඳවියන්ට ජීව උන්ඩ වලින් වෙඩි තබනු ලැබ සිටීමේ ගම්‍යයන් වසංකිරීමේ අරමුන සඳහා පොලීසිය‚බන්ධනාගාර බලධාරීහු හා මාධ්‍යය එකම ප්‍රචාරය වැමෑරූහ

බදාදා උදේ බන්ධනාගාරයේ‚ මැගසින් ඒකකයේ රැඳවියන් සිය ගනනක් ඔවුන්ගේ ඥාතීන් හෝ මිතුරන් විසින් පිටතින් ගෙන එනු ලබන ආහාර මත නව තහනමක් පැටවීමට එරෙහිව විරෝධය දැක්වීමට පටන් ගත්තෝය. බන්ධනාගාර නියාමකයෝ සැනෙකින් ඔවුන්ට පහරදීමට පටන් ගත්හ.පහර කනු ලැබීමෙන් ප්‍රකෝපයට පත් වූ විට රැඳවියෝ නියාමකයන්ට ගල්වලින් ගැසීමෙන් ප්‍රතිචාර දැක්වූහ‚නියාමයෝ වෙඩි තැබැමීමට මුල පිරෑහ.

මේත් සමඟ ම තවත් රැඳවියෝ ගල් ගසමින් හා ලේඛනාගාරයට ගිනි තබමින් කැරල්ලට එක්වූහ.සමහරු බන්ධනාගාර වහලය මතට නැග්ගහ. රැඳවියෝ, “ අපිට වෙඩි තියන්න එපා! එස්පී එපා!” [ සුපිරින්ටන්ඩන් ] යන සටන් පාඨ සහිත බැනර් ප්‍රදර්ශනය කරමින් බන්ධනාගාර අධිකාරිවරයා වහාම මාරු කරන්න යැයි ඉල්ලූහ

ආන්ඩුව කැරල්ල මැඩ පැවත්වීමට පොලීසිය හා හමුදා ඒකකයක් කැඳවූහ.පොලීසිය පුළුල්ව කඳුළු ගෑස් යොදා ගත් අතර පැය හතරක් පමන විරෝධය දැක් වූ රැඳවියන් විසුරුවා හැරීමට විශේෂ පොලිස් බලකායන් දිගේලි කර තිබින.

බන්ධනාගාර අධිකාරීන් මාධ්‍යය වෙත සඳහන් කලේ, සිරගෙවල් ඇතුලත මත්ද්‍රව්‍යයවලට වැට බැඳීමේ “අනර්ඝ සේවය” හේතුවෙන් කලුතර පිහිටි තවත් බන්ධනාගාරයකින් නව බන්ධනාගාර අධිකාරවරයෙක් තමන් විසින් පත් කල බවයි. නව බන්ධනාගාර අධිකාරි ක්‍රියාවට දමමින් පවතින රුදුරු පාලනය පිලිබඳ නිමිත්තක් ආහාර තහනමෙන් පෙන්නුම් කරයි.

රෝහල්ගත කර සිටින එක් රැඳවියෙක් ලක්බිම පුවත්පතට මෙසේ කීවේය: “ගෙදරින් අපිට ගේන ආහාරවේල නතර කරලා කියලා දැන ගත්තේ අද උදේ. අපි සිරකරුවන් 2000ක් පමන එයට විරෝධය පල කරලා උද්ඝෝෂනය කලා. අපි කිව්වේ අපිට මේ කරලා තියෙන අසාධාරනය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එක්ක කතා කරන්න අවසර ලබා දෙන්න කියලයි. ඒත් මේ අය අපිට අවසර දුන්නේ නැහැ. බන්ධනාගාර නිලධාරීන් කලේ ගේට්ටුව වහලා අපිට වෙඩි තියපු එකයි. වෙඩි වැදුනු අපේ රැඳවියන් එකා දෙන්නා තැන තැන ඇදගෙන වැටෙනවා මම දැක්කා. එතකොට මටත් වෙඩි පහරක් වැදී බිම වැටුනා. අපි උද්ඝෝෂනය කලා කියලා මේ අයට වෙඩි තබන්න කොහොමවත් අවසරයක් නැහැ. කොහේද එවැනි නීතියක් තියෙන්නේ?”

තවත් සිරකරුවෙක් මෙසේ පැහැදිලි කලේය: “ගෙදරින් එවන කෑම එක තමයි අපි කන්නේ. මෙතන සිටින රැඳවියන්ගෙන් සියයට 90 ක්ම කන්නේ ගෙදරින් ගේන කෑම එක. මොකද ඒ කෑමවේල කන්න පුලුවන් එකක් නෙවෙයි.” ඔහු මෙසේ ද කීවේය: මම දරුවන් තුන්දෙනෙකුගේ තාත්තා කෙනෙක්. මට වෙඩි වැදිලා මොනවා හරි වුනා නම් මගේ දරුවන් තුන් දෙනාටයි ගෑනිටයි මොකද වෙන්නේ?”

මැගසින් අංශයේ සිටින සියලුම සිරකරුන් නඩු වාරය එනතුරු රඳවා සිටින අය යි. ඇතැම් අය වසර ගනනක් එලෙස නඩු නැතිව රඳවා සිටී. එම අංශයේ රඳවා සිටි දෙමල ජාතිකයින් 180ක් පමන විරෝධතාවන්වලට සහභාගි නොවූ අතර ඊලඟ දිනයේදී සිරගෙයි වෙනත් කොටස්වලට මාරු කෙරින.

රැඳවියන්ට අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිරගෙවල් කුප්‍රකට ය. පසුගිය නොවැම්බර් මාසයේ දී අනුරාධපුර බන්ධනාගාරයේ දෙමල සිරකරුවන් 65 දෙනෙකු පමන ආහාර ගැනීමේ වර්ජනයක් දියත් කලෝය. ඒ, වාර්ගික ප්‍රකෝපකරනයකින් බන්ධනාගාර නිලධාරීන් විසින් පහර දීමෙන් අනතුරුව තමන් වෙත ආරක්ෂාව සලසන්නැයි ඉල්ලමිනි. සිරගෙවල් කීපයක ම රැඳවුම්භාරයේ තබා සිටින දෙමල ජාතීකයින් චෝදනා නොමැතිව දීර්ඝ කාලයක් රඳවා සිටීමට ‍එරෙහිව ද මනා පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලමින් ද බොහෝවිට විරෝධතාවන් පවත්වා තිබේ.

2011 වසරේ ජනවාරි මාසයේදී අනුරාධපුර බන්ධනාගාරයේ අයහපත් තත්වයේ ආහාරවලට ‍එරෙහිව සිරකරුවන් විරෝධය දැක් වූ අවස්ථාවේ දී බන්ධනාගාර නියාමකයන් ‍විසින් වෙඩි තැබීම නිසා එක් සිරකරුවෙක් මිය ගොස් තවත් දස දෙනෙකුට තුවාල ලැබුවේ ය.

රැඳවියන්ට එරෙහිව බලාත්කාරය යෙදීම හුදකලා ප්‍රපංචයක් නොවේ. ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුව සිය දේශපාලන විරුද්ධකරුවන් මර්දනය කිරීමත් විරෝධතාවල යෙදෙන කම්කරුවන්ට හා තරුනයින්ට වෙඩි තැබීමට මෙන් ම නීතියෙන්-පිටත ඝාතන සිදු කිරීමටත් ආරක්ෂක බලකායන් හා පොලිසිය වෙත නිදහස ලබා දී ඇත. එවැනි පොලිස්-රාජ්‍ය පිලිවෙත් වර්ධනය කලේ හා මුවහත් කලේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි වාර්ගිය යුද කාල සමයේ දී ය.

ආසියානු මානව හිමිකම් සංවිධානයට ‍අනුව 2011 වසරේ පුද්ගලයින් 12 දෙනෙකු පොලිස් අත් අඩංගුවේ සිටිය දී ඝාතනය කර තිබේ. මොනයම් ම හෝ අපරාධයක් කල බවට සාක්ෂි පවා නොලද පුද්ලයින් පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා අතර කිසියම් ස්ථානයකට ගෙන ගොස් වෙඩි තබා මරා දමන පොලිසිය කියන්නේ ඔවුන් පොලිසියට පහර දීමට වෑයම් කලේය නැතහොත් අත් අඩංගුවෙන් මිදී පලා යාමට උත්සහා කලේය යනුවෙනි.

වැඩකරන ජනයාගේ හා දුප්පතුන්ගේ ජීවන කොන්දේසීන් ක්‍රමයෙන් නරක අතට හැරීම නිසාවෙන් මත්ද්‍රව්‍ය වෙලඳාම් කොට හෝ සුලු හොරකම් මඟින් ජීවිකාවක් සොයා ගැනීමට උත්සහා දැරෑ මිනිසුන්ගෙන් සිර මැඳිරි පිරී යයි. ඔවුන් රඳවන සිරමැදිරිවල කොන්දේසී ඉතා අශික්කිත ය. එක්සත් ජාතීන්ගේ “සිරකරුවන්ගේ නඩත්තුව සඳහා වන පිලිගත් අවම කොන්දේසි” සැපිරීමට සිරගෙවල් අසමත් යැයි එක්සත් ජාතීන්ගේ නිලධාරීන් කියති.

මත්ද්‍රව්‍යය හා අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයෙකු වන ක්‍රිස්ටිනා ඇල්බෙටින් පසුගිය වසරේ ජූලි මස ඉදිරිපත් කල වාර්තාවකදී සඳහන් කලේ, රටේ පවතින සිරගෙවල්වල ඉඩ අවකාශය සෑහෙන්නේ රැඳවියන් 11,000කට පමනක් වුවත් සමස්ත සිරකරුවන්ගේ ප්‍රමානය 30,933ද ඉක්මවා ගොස් ඇති බව යි. සිරකරුවන්ගෙන් සියයට 50කට වැඩි ප්‍රතිශතයක් රැඳවුම් සිරකරුවන් බවත් සිරගත කර සිටින්නවුන්ගෙන් සියයට 50ක් එලෙස සිරගත කර තිබෙන්නේ දඩ මුදල් ගෙවා ගත නොහැකි වීම නිසා බවත් ඇල්බෙටින් තව දුරටත් සඳහන් කලාය.

කාන්තා සිරකරුවන් සඳහා කොන්දේසීන් අන්ත දුක්ඛිත ය. එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව වැලිකඩ බන්ධනාගාරයේ 650ක් වන කාන්තා රැඳවියන් දිවි ගෙවන්නේ පුද්ගලයින් 150කට සෑහෙන ලෙස ඉදි කර ඇති ‍වාට්ටුවක ය. සෑම දිනයකම අලුයම 5 වනතෙක් වැසිකිලි පරිහරනය කිරීමට ඔවුන්ට අවසර නැති අතර ඒ වෙනුවට ඔවුන්ගේ සිරමැදිරි තුල ඇති බාල්දි එම කාර්යයට යොදා ගත යුතුය.

එක්සත් ජාතීන්ගේ එම වාර්තාව පැමිනි කාලයේදී ‍අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ සිදුවීම්වලදී මෙන් තත්වය සොයා බැලීමට ආන්ඩුව පොරොන්දු විය. මෙම පොරොන්දුව අමූලික පචයක් බව උක්ත 25 වෙනි දින සිරගෙදර සිදුවීම විසින් ඔප්පු කරයි.

සිරගෙදර කැරැල්ල වැඩෙන සමාජ අසන්තුෂ්ටියේ නිමිත්තක් බවට දේශපාලන සංස්ථාපිතයේ කොටසක් තුල පවතින කැලඹීම පෙන්නුම් කරමින්, ඩේලි මිරර් පුවත්පතේ කතුවැකියක් ආන්ඩුවට අඟවා සිටියේ මෙම සිදුවීම කම්කරුවන් හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් විසින් මෑතදී සිදු කල විරෝධතා ද සමඟ එක්ව ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ “ගිනි කන්දක්” මුදුනත බව සලකුනු කරන බව යි.

වැලිකඩ සිරකරුවන්ගේ කැරැල්ල ම්ලේච්ඡ ලෙස මර්දනය කිරීම පෙන්නුම් කරන්නේ, රැකියා, වැඩ කොන්දේසි හා ජීවන තත්ව කපා දැමීමට හා ආන්ඩුවේ උග්‍රකරමින් පවතින පටි තද කිරීම් පියවරයන් ක්‍රියාවට දැමීම්වලට එරෙහිව විරුද්ධත්වය වැඩී එත්ම කම්කරුවන් හා දුගීන්ගේ විරෝධතාවන්ට එරෙහිව ආන්ඩුව හා පාලක ප්‍රභූව සූදානම් කරමින් තිබෙන විධික්‍රමවල ස්වභාවය යි.

Share this article: