ශ්‍රී ලංකාව: වෘත්තීය සමිති අමතර වැඩ පැටවීම සඳහා වතු සමාගම්වලට උදව් කරති

By M. Vasanthan and W.A. Sunil, 3 February 2012

වටවල හා ‍ බොගවන්තලාව යන ප්‍රධාන වතු සමාගම් ‍ දෙකක්, වෘත්තීය සමිතිවල සහා‍ය ඇතිව ‍ තේ ද¨ නෙලන කම්කරුවන් මත පැට වූ අමතර වැඩ ඉවත් කිරීම ප්‍රතික්ෂේප කලහ. සමාගම් දැන් වැඩි කල පලදායිතා ඉලක්ක හෝ වැටුප් කප්පාදුවක් ‍පිලිගැනීමට කම්කරුවන්ට බල කරති.

කම්කරු ඇමති, ඔහුගේ නිලධාරීන් හා සමාගම් සමග සාකච්ඡා කර ප්‍රශ්නය සමතයකට පත් කිරිමට පොරොන්දු වෙමින් වෘත්තීය සමිති නව ඉලක්ක කෙරෙහි කම්කරුවන්ගේ විරෝධතා නතර කලහ. කෙසේ නමුත්, වතු සමාගම් අඩිය පස්සට ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. වැඩ ඉලක්ක ඉහල දැමීම, සෑම වත්තකම ඵලදායිතාව වැඩිකිරීමට සමාගම් දරන උත්සාහයේ කොටසකි.

පසුගිය මාසයේ දී බොගවන්තලාවේ වතු පහක හා වටවල වැවිලි සමාගමේ වැලිඔය වත්ත තුල දිනකට කිලෝ 3කින් දලු නෙලීමේ ඉලක්ක වැඩි කෙරුනි. කලින් පැවති ඉලක්ක අනුව කම්කරුවන් වැඩ කර ගෙන ගිය විට සමාගම් නව ඉලක්ක අනුව ඔවුන්ගේ දෙසැම්බර් මාසයේ වැටුප් සකස් කල අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් රුපියල් 500 සිට 1,000 අතර ගනනකින් කම්කරු වැටුප් කප්පාදු විය.

කම්කරුවෝ වැටුප් කප්පාදුව පිලිගැනීම ප්‍රතික්ෂේප කලහ. ජනවාරි 10වැනිදා බොගවන්තලාව වත්තේ 4000ක් කම්කරුවෝ වැඩවර්ජනයක් දියත් කලහ. අරගලය අනෙකුත් වතුවලට පැතිරේ ය යන බියෙන් වෘත්තීය සමිති වර්ජනය බිඳ දැමීමට මැදිහත් වූ හ.

ලංකා කම්කරු කොන්ග්‍රසය (සීඩබ්ලිවසී) විවෘතව ම සමාගම්වලට සහාය දුන්හ. ලංකා ජාතික වතු කම්කරු සංගමය, කඳුරට ජනතා පෙරමුන, කම්කරුවන්ගේ ජාතික සංගමය හා ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොන්ග්‍රසය ඇතුලු අනෙකුත් වෘත්තීය සමිති ජනවාරි 12 හා 13 යන දිනවල කම්කරුවන්ට හොරෙන් බොගවන්තලාව සමාගම හා කම්කරු ඇමති ගාමිනී ලොකුගේ සමග සාකච්ඡාවක් පැවත් වූ හ. මෙම සාකච්ඡාවෙන් පසු වෘත්තීය සිමිති නායකයෝ සම්පුර්න වැටුප් හා වැඩ ඉලක්ක පිලිබඳ කාරනය අනාගතයේදී සාකච්ඡා කරන බවට පොරොන්දු වෙමින් අඩු කල වැටුප් පිලිගන්නා ලෙස කම්කරුවන්ට පැවසූහ.

කෙසේ නමුත්, බොගවන්තලාව සමාගම වෘත්තීය සමිති නායකයින් හා හැටන් සහකාර කම්කරු කොමසාරිස් සමග ජනවාරි 23ට නියමිතව තිබූ රැස්වීම වර්ජනය කලේ ය. ජනවාරි 25දා පැවති ඒ සමාන සාකච්ඡාවකට වටවල වැවිලි සමාගම එහි නියෝජිතයෙකු යැවූ නමුත් වැඩි කල ඉලක්ක වෙනස් කිරීමට සමාගම සූදානම් නැති බව දැන් වී ය. මෙහි අර්ථය, කම්කරුවන් අමතර වැඩ නැතහොත් වැටුප් කප්පාදු පිලිගත යුතු බව යි.

මෙම ප්‍රහාරයන්ට එරෙහිව සටන් කරනවා වෙනුවට වෘත්තීය සමිති නායකයෝ, දැන් කම්කරුවන්ට තවත් උගුලක් සූදානම් කරති. වෘත්තීය සමිති කරන්නට බලාපොරොත්තු වන්නේ කුමක් දැ යි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෙකු ප්‍රශ්න කල විට ලංකා ජාතික වතු කම්කරු සංගමයේ නායක ආර්.යෝගරාජන් මෙසේ පැවසී ය: “සාමූහික ගිවිසුම යටතේ, වැඩ ප්‍රමානය වැඩි කරන අවස්ථාවල වතු කලමනාකරනය වෘත්තීය සමිති සමග සාකච්ඡා කල යුතු ය. ගිවිසුම උල්ලංගනය කරමින් ඔවුන් එසේ කලේ නැත. කොම්පැනියට විරුද්ධව පියවර ගන්න කියලා අපි කම්කරු කොමසාරිස්ට අභියාචනයක් ඉදිරිපත් කරනවා. ”

සැබවින් ම, සමාගම් කලේ නිෂ්පාදන ඉලක්ක වැඩි කිරීමට සාමූහික ගිවිසුම යොදා ගැනීමයි. කම්කරුවන්ගේ අනුමැතියකින් තොරව ලංකා ජාතික වතු කම්කරු සංගමය හා ලංකා කම්කරු කොන්ග්‍රස් නායකත්වයෙන් යුත් වෘත්තීය සමිති, එයට අත්සන් කලහ. අනෙකුත් සමිති ද එයට සහාය දුන්හ. සමාගම් ඉලක්ක ඉහල නැංවීම සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවලට ප්‍රතිපත්තිමය මතභේදයක් තිබුනේ නැත. වෘත්තීය සමිතිවල කර්තව්‍යය මහා ව්‍යාපාරවල හා ආන්ඩුවේ උපකරන ලෙස කටයුතු කිරීම මිස කම්කරුවන්ගේ අවශ්‍යතාවන් නියෝජනය කිරීම නොවන බව නැවත වතාවක් මේ මගින් තහවුරු කර ඇත.

ලංකා කම්කරු කොන්ග්‍රසය ඇතුළු වතුකරයේ වෘත්තී සමිති බහුතරය ආන්ඩුවේ කොටස්කරුවෝ වෙති. සීඩබ්ලිව්සී ඇතුළු අනෙකුත් වෘත්තීය සමිති උතුරු හා නැගෙනහිර තුල යුද්ධයේ දී ආන්ඩුවට සහාය දුන් අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීමට උදව් දුන්හ. ලංකා ජාතික වතු කම්කරු සංගමය ප්‍රතිගාමී එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ය.

වෘත්තීය සමිතිවල ද්‍රෝහී ක්‍රියාකාරිත්වය පිලිබඳ කම්කරුවන්ගේ කෝපය පුලුල් ලෙස පැතිර තිබේ. කොටියාගල වත්තේ එක් කම්කරුවෙක් මෙසේ කීවේ ය:“ මේ ඔක්කොම සමිති අපගේ සටන පාවාදීලයි තියෙන්නේ. ඔවුන් ගැන සමාජවාදී සමානතා පක්ෂය කල අනතුරු ඇඟවීම හරි. සමිති නායකයෝ උනන්දු ඒ අයගේ වරප්‍රසාද ගැන විතරයි. මේ සමිති අපිට එපා වෙලයි තියෙන්නේ.”

අලාභ පිලිබඳ සමාගමේ ප්‍රකාශ ගැන ඔහු මෙසේ කීවේ ය: “මම ඒක විශ්වාස කරන්නේ නෑ. මම වැඩ කරන්නේ පැක්ටේරියේ. ඒ හින්දා මම හොඳට දන්නවා කම්කරුවෙක් දවසකට කඩන දළුවලින් තේ කිලෝ 6ක් තරම් නිපදවිය හැකි බව. ඔවුන් වෙලඳපොලේ තේ කොල විකුනන්නේ ඉහල මිලකට. දීමනාත් එක්ක ඔවුන් කම්කරුවන්ට ගෙවන්නේ වැඩිම වුනොත් දවසකට රුපියල් 550ක් පමනයි.”

තමන් අත් විඳන දුෂ්කර සේවා කොන්දේසි ගැන කම්කරු කාන්තාවක් විස්තර කලා ය. “අපි උදේ 8ට වැඩ කරන තැන ඉන්ට ඕනෑ. විනාඩි 10ක් වත් පරක්කු වුනොත් අපට වැඩ දෙන්නේ නෑ. පාලකයෝ අපි කඩන දලු දවසට තුන් පාරක් කිරනවා. හැම පාරකම ඔවුන් කොමිස් හැටියට (තෙත කොල ආදියට) කිලෝ තුනක් අඩුකරනවා. ගිය ඔක්තෝබර්වල ඉඳලා ඔවුන් අපි කිලෝ තුනක් වැඩිපුර කඩන්න ම ඕනෑ කියලා බල කරනවා. ”

වැඩිවෙන ජීවන වියදම ගැන ඈ අදහස් දැක්වූවා ය. “ආන්ඩුව හැමදාම අත්‍යවශ්‍ය බඩු මිල වැඩි කරනවා. අපට දවසේ තුන්වේල කෑමටවත් සල්ලි මදි. ඒ හින්දා අපට කන්ට වෙලා තියෙන්නේ අඩුවෙන්. ”

පසුගිය වසරේ දී සැලකිය යුතු ලාභයක් ලැබීමට තේ කර්මාන්තයට හැකි විය. කෙසේ නමුත්, මහබැංකුව හා තේ අපනයන කරුවෝ මෙම අවුරුද්දේ දී දුෂ්කර තත්වයක් පිලිබඳව අනාවැකි පල කරති.

මෑත මහබැංකු වාර්තාවක් මෙසේ සටහන් කලේ ය: “වැටුප් වැඩිවීම්, එක්සත් ජාතින්ගේ සම්බාධක නිසා අපනයන සඳහා ඉරානයෙන් කෙරෙන ගෙවීම් ප්‍රමාදවීම, හේතුකොටගෙන තේ අපනයන කරුවන්ගේ මුදල් ප්‍රවාහයේ දුෂ්කරතා ඇතිකර තිබෙන අතර මැදපෙරදිග හා උතුරු අප්‍රිකානු කලාපවල ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කාර ජාතීන්ට වැඩිවන නැව් ගාස්තු ගෙවීමට සිදුව තිබීම කර්මාන්තය මුහුන දෙන අභියෝගයන්ය. ”

තේ සමාගමක් වන හෙලදිව ගෘප් සභාපති රෝහාන් ප්‍රනාන්දු, “ මැදපෙරදිග හා යුරෝපීය ආර්ථිකයේ අර්බුද නිසා 2012 තේ කර්මාන්තයට දැඩි අභියෝග එල්ල වන වසරක් වනු ඇත” යි සන්ඩේ ඔබ්සර්වර් පත්‍රයට කීවේ ය. ප්‍රනාන්දු තවදුරටත් මෙසේ පැවසී ය: “තේ කර්මාන්තයේ වර්තමාන අර්බුදය පැනනගින්නේ ඵලදායිත්වයට අසම්බන්ධ සීමාව ඉක්ම වූ වැටුප් නිසාය.”

ජාත්‍යන්තර තරඟය මත මැසිවිලි නගමින් සමාගම් ඵලදායිතා මෙහෙයුම සමග රැකියා කප්පාදු සැලැසුම් කරමින් සිටිති. ඔවුහු ලාභය වැඩි කර ගැනීම සඳහා මුලු බර කම්කරුවන් මත පැටවීමට නොපැකිලෙනු ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව සමාගම්වල පැත්ත ගනියි. මේ වන විටත් පෙන්වා ඇති පරිදි වෘත්තීය සමිති සමාගම්වල ප්‍රහාරයන්ට සහයෝගය දෙති.

කම්කරුවන් වෘත්තීය සමිතිවලින් බිඳිය යුතු අතර මෙම ප්‍රහාරයන්ට එරෙහිව සටන් කරනු සඳහා සාමාජික ක්‍රියාකාරී කමිටු ගොඩ නැගිය යුතු ය. සමාජවාදී ප්‍රතිපත්ති සහ ආන්ඩුවට එරෙහිව දේශපාලන සටන මත පදනම් වෙමින් ඔවුහු වැඩවර්ජන ඇතුලු පොදු වෘත්තීය ක්‍රියා සංවිධානය කල යුතු ය.

Share this article: