වෘත්තීය සමිති විදුලි හා ජල මන්ඩල වැටුප් අරගලය අත්හරිති

By W.A. Sunil, 21 January 2012

ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලයේ වෘත්තීය සමිති බ‍්‍රහස්පතින්දා වැටුප් ඉල්ලීම් සඳහා අරගලය අත්හැර දමා ආන්ඩුවේ වැටුප් වැඩිවීම් පිලිගත් අතර ලංකා විදුලි බල මන්ඩලයේ (ලංවිම) සමිති බදාදා රාතී‍්‍ර ඇරඹු "අකුරට වැඩ කිරීමේ” සීමිත කි‍්‍රයාව නතර කර පසුව වැටුප් අරගලය පිලිබඳ ඉදිරි කි‍්‍රයාමාර්ග ගැන තීන්දු කරන බව පවසමින් පසු බැස ඇත. වෘත්තීය සමිති ඉල්ලීම් අතහැර දමා ඇත්තේ සේවකයන් වැටුප් ඉල්ලීම් සඳහා අරගලයකට ඒමේ උවමනාව පෙන්නුම් කර තිබිය දී ය.

ලංවිම හා ජල මන්ඩලයේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ට සම්බන්ධ වෘත්තීය සමිති නායකත්වය දුන් සමිති පෙරමුනු ඉදිරි තෙවසර සඳහා සියයට 45කින් පඩි වැඩි වීමක් ඉල්ලා තිබුනි. ඊට සමගාමීව ඛනිජ තෙල් සංස්ථාවේ සමිති පෙරමුනු සියයට 35ක වැඩි වීමක් ඉල්ලීය. මෙම වැටුප් ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කල ආන්ඩුව එම කාලයට සියයට 18 ක් වැටුප් වැඩිවීමක් ද රුපියල් 2,500 ක මාසික දීමනාවක් ද නිවේදනය කලේ ය.

කෙසේ වුව ද, සේවකයන් අතර පැන නැගී ඇති නොසන්සුන්තාව වෘත්තීය සමිතිවලට පාලනය කර ගැනීමට නොහැකි බව ද මෙම සංස්ථාවල අරගලයක් අවශේෂ කම්කරුවන් ආකර්ෂනය කර ගනු ඇතැයි ද ගනන් බැලූ ජනාධිපති මහින්ද රාජපක්ෂ බදාදා සමිති සමග පැවති සාකච්ඡාවේ දී සියයට 25කින් වැටුප් වැඩි කරන බව කියා සිටියේ ය. සාකච්ඡාවට සහභාගි වූ ලංවිම සහ ජල මන්ඩල සමිති රාජපක්ෂගේ යෝජනාව නොපිලිගන්නා බව කියා සිටියත් පසුව ඔවුන් කල ප‍්‍රකාශ පෙන්නුම් කලේ එම ප‍්‍රතික්ෂේපය හුදෙක් කල් බැලීමක් බවයි.

පටන් ගැන්මේ දී ම ඛනිජ තෙල් සංස්ථාවේ සමිති පෙරමුන සංස්ථා තුනේ සන්ධානයෙන් වෙන්ව ආන්ඩුව දුන් සියයට 18 වැඩි වීම පිලිගෙන වැටුප් ඉල්ලීම පාවා දුන්නේය.

ජනාධිපති සමග බදාදා පැවති සාකච්ඡාවෙන් පසු ජල මන්ඩල සමිති පෙරමුනේ කැඳවුම්කරු හා ජල මන්ඩල ඉංජිනේරු සංගමයේ ලේකම් උපාලි රත්නායක එදින දහවල් රත්මලාන මූලස්ථානය ඉදිරිපිට දහසක් පමන සේවකයන් සහභාගී වූ පිකට් කිරීමේ දී තමන් ඉල්ලීම් සඳහා දිගට ම පෙනී සිටින බව ද නමුත් සියයට 30 ට වඩා දුන්නොත් එය "සලකා බලන බව” ද පැවසීය. සිකුරාදා සංකේත වර්ජනයක් කරන බව ද ඔහු එහි දී නිවේදනය කලේ ය.

එහෙත් එදින සවස ම ජල මන්ඩලය භාර ඇමති දිනේෂ් ගුනවර්ධන සමග පැවති සාකච්ඡාවක දී සියයට 25 ට අමතරව හානිපූරක දීමනාවල දී එම වැඩි වීම පදනම් කර ගන්නා බව ට ඇමති පොරොන්දු වුයේ යයි පවසමින් වැටුප් ඉල්ලීම් අතහැර දැමීමට සමිති නායකයෝ තීන්දු කලහ.

ලංවිම සමිති පෙරමුන වටරවුමකින් පැද්දේ ය. බදාදා දහවල් ලංවිම කොලඹ මූලස්ථානය ඉදිරිපිට පැවති පිකට් කිරීමට උතුරු පලාත ද ඇතුලූව සියලු ප‍්‍රදේශවලින් දෙදහසකට අධික සේවකයෝ පැමින සිටියහ. සේවකයන් ඇමතූ ජවිපෙට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමයේ නායක රන්ජන් ජයලාල් සුපුරුදු වහසි බසින් සටන දිගට ම ගෙන යන නමුත් සියයට 30 ට වැඩියෙන් දුන්නොත් යම් "සලකා බැලීමක්” කල හැකි බව ප‍්‍රකාශ කරමින් සියයට 45 ඉල්ලීම අතහරින බවට ඉඟි කලේ ය. ලංවිම සේවකයන්ගේ අකුරට වැඩකිරීමක් බදාදා මැදියම් රැයේ සිට ආරම්භ කරන බව ද ඒ සමග ම නිවේදනය කලේ ය.

protestලංවිම මූලස්ථානය ඉදිරියේ පැවති විරෝධතාවේ අවස්ථාවක්

එහෙත් සිකුරාදා දහවල් ලංවිම සමිති පෙරමුන නිවේදනය කලේ අකුරට වැඩ කිරීමේ සීමිත කි‍්‍රයාව ද නතර කල බවයි. සමිති පෙරමුනේ කැඳවුම්කරුවෙකු හා සැපයුම් නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ආනන්ද නිමලරත්න ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් විමසූ විට ප‍්‍රකාශ කලේ "ප‍්‍රායෝගික හේතුමත අකුරට වැඩ කිරීම නතර කල” බව යි. සඳුදා පවත්වන සමිති පෙරමුනේ සාකච්ඡාවේ දී එක් දින සංකේත වර්ජනයක් සඳහා තීන්දු ගැනීමට නියමිත බව ද ඔහු සඳහන් කලේ ය.

මේ ප‍්‍රකාශ පුච්චානම් දෙඩවීමකින් ඇත්ත වසන් කිරීමකි. ය. සංකේත වර්ජනයක් පැවැත් වුවත් නැතත් ඉල්ලීම් අත්හැරීමට ලංවිම සමිති ද කි‍්‍රයා කර ඇත. ලංවිම සමිති පෙරමුනේ සිටි සමිති පහක් දැනටමත් ආන්ඩුව විසින් බාගෙන ඇති අතර ඔවුන් සියයට 25 වැටුප් වැඩිවීම ඍජුව ම පිලිගනිමින් මන්ඩලයේ වැඩ කඩාකප්පල් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව සිකුරාදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී ප‍්‍රකාශ කලේ ය. ඒ අනුව සේවක කොටසක් අරගලයෙන් ඉවත් කර ගැනීමක් ද සිදු කර ඇත.

ලංවිම සමිති පෙරමුනෙන් පිට සිටින ඉංජිනේරු සංගමය බ‍්‍රහස්පතින්දා වෙනම පුවත්පත් සාකච්ඡාවක් පවත්වා අනෙකුත් සේවකයන්ගේ ඉල්ලීම්වලට තමන්ගේ විරුද්ධත්වය පෙන්වූ අතර අකුරට වැඩකිරීමෙන් විදුලි බල සැපයුම අර්බුදයට යාමට ඉඩ නොදෙන බවට සපථ කරමින් ආන්ඩුව සමග පෙලගැසුනි.

පසුගිය වතාවල ආන්ඩුව දෙන වැටුප් වැඩිවීම පිලිගත්තා සේම මෙවර ද සමිති ආන්ඩුවට කරබදු වී ඇත. සියයට 45 වැටුප් වැඩිවීම සඳහා කෙරෙන සටනක් ආන්ඩුව සමග ගැටෙන දේශපාලන අරගලයක් බවට පත් වන බව හොඳින් දන්නා වෘත්තීය සමිති වේගයෙන් පල්ලම් බැස තිබේ.

වෘත්තීය සමිති වැටුප් හා අනෙකුත් මූලික ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ, කම්කරුවන්ගේ වුවමනාකම් මත පිහිටා නොව, හාම්පුතුන් සමග කේවල් කිරීමේ උපාමාරුවක් ලෙස ද ජීවන තත්වයන් රැක ගැනීමට කම්කරුවන් අතර පවතින වුවමනාව කොටු කර දැමීම ද සඳහා ය. ලංවිම හා ජල මන්ඩල සමිති මේ සතියේ හා කලින් සතියේ උද්ඝෝෂන සංවිධානය කරමින් කම්කරුවන්ගේ සටන්කාමිත්වය හිර කිරීමට තැත් කලේ ය. වෘත්තීය සමිති මෙලෙස මුලුමනින් ම ගැටගැසී සිටින්නේ ජාතික රාජ්‍යයට හා ධනපති ක‍්‍රමයට යි. වෘත්තීය සමිතිවල මෙම කි‍්‍රයා කලාපය ජාත්‍යන්තරව විවිධ රූපාකාරයන්ගෙන් කම්කරුවන් ගේ අරගල මග හරස් කර ධනපති ක‍්‍රමයට ගැටගැසීම සඳහා ගෙන යන වැඩකටයුතුවල කොටසකි.

policeවිදුලි බල සේවක විරෝධතාවට එරෙහිව පොලිසිය යොදවා තිබූ අයුරු

ලංවිම, ජල මන්ඩල හා තෙල් සමිති අවශේෂ වෘත්තීය සමිති මෙන් ම ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකට ද ජීවන තත්වයන්ට එල්ල වන ප‍්‍රහාරවල මුලාශ‍්‍රය වන ධනේශ්වර ක‍්‍රමය විස්ථාපනය කිරීමේ සමාජවාදී පිලිවෙත්වලට සටන් කිරීමට ද මුලුමනින් ම සතුරු ය. මෙම සමිති පෙරමුනු තුනේ ම මූලිකත්වය ගත්තේ ජවිපෙට සම්බන්ධ සමිති ය.

ඒ පෙරමුනුවලට දක්ෂිනාංශික යූඑන්පියට සම්බන්ධ ජාතික සේවක සංගමය ද ඇතුලත් ය. ආන්ඩු බලයේ සිටිය දී කම්කරු අයිතීන් පාගා දැමීම පිලිබඳ මුර්ග වාර්තාවක් ඇති යූඑන්පීය සමිති සේවක ඉල්ලීම් ගැන කිඹුල් කඳුලු හෙලුවේ මෙම සංස්ථාවල සේවකයන් පිලිබඳව අනුකම්පාවක් පහලවීම නිසා නොව හුදෙක් ම පක්ෂයට දේශපාලන වාසි කඩා ගැනීම සඳහා පමනි.

වැටුප් ඉල්ලීම් සඳහා කේවල් කිරීම අරඹනවාත් සමග ජවිපෙ හිටපු මන්තී‍්‍ර වරයෙක් හා එහි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඞී. ලාල්කාන්ත සියයට 45 ඉල්ලීමෙන් නම් පස්ස නොබලන බව ප‍්‍රකාශ කලේ ය. ජනවාරි 13 පැවති ලංකා විදුලි සේවක සංගමයේ 10 වෙනි සම්මේලනයේ දී ඔහු මෙසේ පුච්චානම් දෙඩීය. "මේ සියයට 18 වැටුප් කප්පාදුව (අපි) භාර ගන්නේ නැහැ. මේ අරගලය අපි දිගටම ගෙන යනවා....අපි සාමුහික සටනකට යා යුතුව තිබෙනවා. වැටුප් සියයට 45 න් වැඩිකර ගැනීමේ සටන අපි නතර කරල නැහැ.”

ජවිපෙ හා එහි වෘත්තීය සමිති ලොක්කා වන ලාල්කාන්ත පසුගිය අවුරුදු කීපයේ රාජ්‍ය අංශයේ හා පුද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 10,000කින් වැටුප් වැඩිකර ගැනීමට මහා වර්ජනයක් කැඳවන බවට ප‍්‍රකාශ කලේ වරක් දෙවරක් නොවේ. නමුත් එම ප‍්‍රකාශ ගිලගත්තේ කිසිදු පැහැදිලි කිරීමක් නොකරමිනි.

බරපතලව සනාථ වී ඇත්තේ කම්කරුවන් වෘත්තීය සමිති යකඩ සැට්ටය ඉරා දමා කම්කරු පන්තියේ අවශ්‍යතාවලට සටන් කිරීමට තමන්ගේ ම නියෝජිතයන්ගෙන් සැදුම් ලත් කි‍්‍රයාකාරී කමිටු සෑම වැඩපොලක් හා ආයතනයක් තුල ම පිහිටුවා ගත යුතු බවයි.

වෘත්තීය සමිතිවලින් ද ධනේශ්වර හා අවස්ථාවාදීන් ගේ සියලු දේශපාලන පක්ෂවලින් ද බිඳී සමාජවාදී වැඩ පිලිවෙල මත පදනම් වූ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම කම්කරු පන්තියට ඇති එකම විකල්ප ඉදිරි දර්ශනය යි.

Share this article: