ශ්‍රී ලංකාව: දෙමටගොඩ මහල් නිවැසියෝ දුෂ්කර කොන්දේසිවලට මුහුන දෙති

By vilani peiris and Kalpa Fernando , 19 January 2012

ආන්ඩුවේ බලධාරින් විසින් නඩත්තු කටයුතු අතහැර දමනු ලැබීම නිසා, කොලඹ දෙමටගොඩ මහල් නිවාස සංකීර්නයේ නිවැසියෝ අතිශය දුෂ්කර කොන්දේසිවලට මුහුන දී සිටිති. එහි අපනල පද්ධතිය සති කිහිපයක් තිස්සේ උතුරා යාම ඔවුන්ගේ සෞඛ්‍යයට මහත් අන්තරායක් මතු කර තිබේ. නිවැසියන් පවසන පරිදි මෙසේ අපද්‍රව්‍ය උතුරා යාම පසුගිය වසරේ දසවතාවක් පමන සිදු වුවත් නිවාස සංකීර්නය ගොඩනැගූ නාගරික සංවර්ධන අධිකාරිය (යූඩීඒ) ඒ සඳහා කිසිදු ස්ථිර පිලියමක් යොදා නැත.

දෙමටගොඩ නිවැසියන් අපද්‍රව්‍ය පද්ධතිය අලුත්වැඩියා කරන ලෙස ඉල්ලා සිටින නමුත් ආන්ඩුව ඒ සඳහා මුදල් වෙන් නොකරයි. කොලඹ නගර සභාව ද ඒ සඳහා සූදානමක් නැත. මෙම නිවැසියෝ අනේක විධ දුෂ්කරතාවලට ගොදුරුව සිටිති. නිවෙස්වලට පිවිසෙන මාර්ග දූවිල්ලෙන් පිරී පවතී. මලවහන උතුරා ගලා යන්නේ නිවෙස් අසන්නයේ ඇති ඇලකට ය. ඒ නිසා රාති‍්‍රකාලයේ මදුරුවන්ගෙන් ද දිවා කාලයේ මැස්සන්ගෙන් ද ප‍්‍රදේශය පිරී පවතී.

හමුදාව හා පොලීසිය යොදවා 2008 ජුලි මස කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයෙන් බලහත්කාරයෙන් ඉවත් කෙරුනු නිවැසියන්ගෙන් කොටසකට දෙමටගොඩ මහල් නිවාස ලබා දී තිබේ. ඔවුන් එලෙස නිවාසවලින් පලවාහැරීම සිදු කෙරුනේ කොලඹ දී පැවති දකුනු ආසියානු සහයෝගිතා සංවිධානයේ (සාක්) සමුලුව සඳහා නගරය සූදානම් කිරීමේ ආන්ඩුවේ වැඩකටයුතු සමග සමපාත වන පරිදිය.

එසේ ඉවත් කරන සියලු නිවැසියන්ට නව නිවාස ලබාදෙන බවට ආන්ඩුව බොරු පොරොන්දු දෙන නමුත්, ඔවුන්ගෙන් කොටසකට පමනක් මේ නිවාස පවා ලබා දුන්නේ රුපියල් 25,000ක් බැගින් අය කර ගනිමිනි. ඊට අමතරවට ජල හා විදුලි සම්බන්ධතා වෙනුවෙන් පිලිවෙලින් රුපියල් 6,500ක් හා රුපියල් 6,000ක් ද බැගින් ගෙවීමට ඔවුන්ට සිදු විය. එලෙස ගෙවීමට මුදල් නොමැති දුගී නිවැසියන්ට නිවාස ලැබුනේ නැත. මෙම නිවාස වෙනුවෙන් මාසිකව රුපියල් 1,000ක කුලියක් ද ගෙවිය යුතුය.

කොම්පඤ්ඤවීදියේ වසර 40ක් 50ක් පමන පදිංචිව සිටි මෙම නිවැසියන්ට දැන් එම ප‍්‍රදේශය හා බැඳී තිබූ සිය ජීවනෝපායන් අහිමිව තිබේ. එක් පියෙක් මෙසේ පැවසීය: "අපි කොම්පඤ්ඤවීදියේදි නම් එලිෆන්ට්හවුස් කොම්පැනියේ වැඩ කලා. මෙහේ කුලී වැඩක් වත් සොයා ගැනීම අමාරුයි. මගේ ලමයි තාම යන්නේ කොම්පඤ්ඤවීදියේ පාසලකට. ගමන් වියදම අධිකයි.”

තවත් තරුනයෙක් මෙසේ සඳහන් කලේය: "කොම්පඤ්ඤවීදියේ ඉන්න කොට මම මාලු ලෑල්ලක් කරා. මෙතන මාලු ලෑල්ල කරන්න හදන කොට නාගරික සංවර්ධන අධිකාරිය එපා කිව්වා. පරිසරය අපිරිසිදු වෙනවා කියා. දැන් බලන්න මේ අපද්‍රව්‍ය ගලලා පලාතම අපිරිසිදුයි. කුඩා ලමයි නිතර ම ලෙඩ වෙනවා. යූඇන්පිය කොලඹ නගර සභා මැතිවරනයට පෙර ආවා. දැන් පලාතේ එන්නේ නැහැ. ජවිපෙන් එන්නෙත් නැහැ. කියන්නත් කෙනෙක් නැහැ.”

පසුගිය ඔක්තෝබරයේ පැවති කොලඹ මහ නගර සභා මැතිවරනයේ දී කොලඹ නගරයේ දුගී නිවැසියන් ඉවත් කිරීමේ ආන්ඩුවේ සැලසුම්වල විරුද්ධවාදීන් ලෙස මවා පෑ එක්සත් ජාතික පක්ෂය ද ජනතා විමුක්ති පෙරමුන ද දැන් එම නිවැසියන් අතහැර දමා ඇත.

මහින්ද රාජපක්ෂ ආන්ඩුව කොලඹ ආසියාකරයේ ප‍්‍රධාන වානිජ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ සිය සැලසුම්වල කොටසක් ලෙස නගරයේ පැල්පත් වාසීන් 75,000ක් ඉවත් කිරීමට සූදානම් වේ. නගර සභා මැතිවරනය තුල දී ඡන්ද ගරා ගැනීමේ උපක‍්‍රමයක් ලෙස ආන්ඩුව කියා සිටියේ එලෙස ඉවත් කරන පවුල්වලට කොලඹ නගරය තුල ම සියලු පහසුකම් සහිත නව නිවාස සපයන බවයි. එහෙත් එලෙස නිවාස ගොඩනැගීමේ කිසිදු සැලැස්මක් රාජපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුවට හෝ යූඇන්පියේ පාලනය යටතේ පවතින කොලඹ නගර සභාවට හෝ නැත.

2009 දී දෙමටගොඩ නිවාස 320 ගොඩනගන ලද්දේ ආන්ඩුව යෝජනා කල දෙමටගොඩ මහල් නිවාස 1,000 ව්‍යාපෘතිය යටතේ ය. තවත් නිවාස 500ක් ගොඩනගන බව පසුගිය මැතිවරනයට පෙරාතුව පැවසුවත් තව ම සිදුකර ඇත්තේ පයිල් කිරීම පමනි. එහෙත් ගොඩනගනු ලැබූ නිවාස 320 තතු පෙන්වා දෙන්නේ තනන නිවාස පවා කිසිදු ප‍්‍රමිතියකින් තොර බවයි.

ආන්ඩුව විසින් ගොඩනගනු ලැබ ඇති නිවාස අලූත්වැඩියා කිරීම සඳහා මින් මතුවට ආන්ඩුවෙන් මුදල් වියදම් නොකරන බව නිවාස ඇමති විමල් වීරවංශ පැවසුවේ යැයි ජනවාරි 1 දා ද අයිලන්ඩ් පත‍්‍රය වාර්තා කලේය. බොරැල්ලේ සර්පන්ටයින් නිවාස සංකීර්නයේ දී දෙසැම්බර් 31 දා පැවති රැස්වීමක් අමතමින්, එම නිවාසවල පවත්නා කඩා වැටෙන තත්වය පිලිබඳව නිවැසියන්ට බැන වැඳුනු වීරවංශ තව දුරටත් කියා සිටියේ, පදිංචිකරුවන්ම නිවාස අලුත්වැඩියා කරගත යුතු බවයි.

ඉවත් කිරීමට නියමිත කොලඹ පැල්පත් වාසින් ද ඉවත් කරනු ලැබු නිවැසියන් ද මුහුන දී ඇත්තේ ඉතා බරපතල කොන්දේසිවලට ය. දේශීය හා විදේශීය ආයෝජකයන් සඳහා නගරයේ වටිනා ඉඩම් නිදහස් කරගනු පිනිස එලෙස දුගී නිවැසියන් ඉවත් කිරීමේ යෙදී සිටින ආන්ඩුව එහි දී එම ජනයා නොතකා හැර ඇත. 2010 මැයි මාසයේ දී කොම්පඤ්ඤවීදියෙන් නිවාස 45ක් ද පසුව දෙමටගොඩ තවත් නිවාස 54 ක් ද ඉවත් කරනු ලැබුයේ හමුදා පොලිසිය යොදවා විරෝධය මැඩලීමෙනි. මෙම නිවැසියන්ට අද වනතුරුත් ස්ථිර නිවාස ලබා දී නැත. එලෙස කොම්පඤ්ඤවීදියෙන් ඉවත් කරන ලද නිවැසියෝ සිය ගනනක් තොටලඟ මඩවගුරක ලෑලි නිවාසයන් හි අත්‍යවශ්‍ය පහසුකම් පවා නොමැතිව ජීවත් වෙති.

කොලඹ වරායේ සිට කොලොන්නාව තෙල් පිරිපහදු මධ්‍යස්ථානය කරා වැටී ඇති තෙල් නල මාර්ගය ඔස්සේ දුම්රිය මාවත දෙපස ජීවත්වන 420ක් පමන පැල්පත්වාසී පවුල්වලට ඉවත් වීම සඳහා ආන්ඩුව බලකර ඇත්තේ මේ තත්වයේ දී ය. ඔවුන්ගෙන් කොටසක් කැලනිතිස්ස විදුලි බලාගාරයට නුදුරින් ගොඩනැගෙන තාවකාලික ලෑලි නිවාස 80කට තල්ලු කර යැවීමට ආන්ඩුව සූදානම් වේ. සෙසු බහුතරයක් වන නිවැසියන් මහමගට වැටීමට නියමිතය.

රාජපක්ෂ ආන්ඩුව 2010 දී නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පැවරුවේ කොලඹ නගරයේ දුගී නිවැසියන් ඉවත් කිරීමේ සිය සැලසුමට එරෙහි විරෝධය මැඩීම පිනිස හමුදා හා පොලිස් මර්දනය යෙදවීම පහසු කරලනු සඳහා ය. දෙසැම්බර් 21 දින කැබිනට් මන්ඩලය, කොලඹ මැනිං වෙලඳ පොල පෑලියගොඩට ගෙනයාමට මෙන්ම, කොලඹ ව්‍යාපෘති ගනනාවක් එනම් පැරනි අලෙවි දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල, රේස්කෝස් හා බ්ලූමැන්ඩල් පිට්ටනි අලුත්වැඩියාව හමුදාවේ ඉංජිනේරු සේවා අංශයට පැවරීමට තීන්දු කලේය. මෙලෙස සිවිල් වැඩකටයුතු මිලිටරිට පැවරීම සිදු කරනු ලබන්නේ පැන නැගිය හැකි මහජන විරෝධය මැඩීම සඳහා ය.

දැන් කොලඹ මහ නගර සභාවේ බලයේ සිටින යූඇන්පිය, මැතිවරන ව්‍යාපාරය තුල මවා පෑ බොරු විරෝධය ඉවත දමා කොලඹ නගරය ව්‍යාපාරිකයන්ට සුදුසු ලෙස සැකසිමේ ආන්ඩුවේ සැලසුම් සමග සහයෝගී වීමේ සූදානම පෙන්නුම් කර ඇත. යූඇන්පී නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් පසුගිය දෙසැම්බර් 21 දින නගර සභා අය වැය විවාදයේ දී කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරිය කි‍්‍රයාවට දමන වැඩ කටයුතු ඉතා සාර්ථක බවය. "එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නගර සභාවේ කන්ඩායම් නායක මිලින්ද මොරගොඩගේ දැනුම හා අවවාද ඉතා වැදගත්” යයි වර්නනා කල මුසම්මිල් "ආන්ඩුව සමග එකට වැඩ කරන්න ලෑස්ති” බව ද පැවසීය. මොරගොඩ ද එකට වැඩ කිරීමේ වැදගත්කම අවධාරනය කරමින් විපක්ෂය හොඳ දේට හොඳයි කියන බව ද නරක දේ විවේචනය කරන බව ද පැවසුවේය.

මැනිං වෙලඳපොල පෑලියගොඩට ගෙන යාමේ දී වෙලෙන්දන් මෙන්ම පාරිභෝගිකයන් ද මුහන දෙන ගැටලූ සම්බන්ධයෙන් කලින් විරෝධය පල කොට තිබූ මුසම්මිල් අයවැය විවාදයේදී නැගූ ප‍්‍රශ්නයකට පිලිතුරු දෙමින් කියා සිටියේ ඒ ගැන ආන්ඩුව සමග සාකච්ඡා කරන බවයි. විවාදය අවසානයේ දී මුසම්මිල් ඉදිරිපත් කල අයවැය ලේඛනය සම්මත වීමට ඉඩ දෙමින් එජනිස ඇතුලු විපක්ෂයේ මන්ති‍්‍රවරු 21 දෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියේ, නගර සභාවේ යූඇන්පී පාලනය හා ආන්ඩුව අතර එකඟතාවයකට පැමින කි‍්‍රයා කිරීමේ සූදානම ගැන ඉඟි කරමිනි.

කොලඹ දුගීන්ගේ නිවාස අයිතිය ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තිය ස්වාධීනව නැගී සිටිය යුතු බව අවධාරනය කරන සමාජවාදී සමානතා පක්ෂය (සසප) දුගී නිවැසියන්ගේ නිවාස අයිතිය සඳහා සටන් වැදීමට සියලු ධනපති දේශපාලන පක්ෂයන්ගෙන් වෙන්ව කි‍්‍රයාකාරී කමිටු ගොඩ නැගීමට පෙරට පැමිනිය යුතු බව අවධාරනය කරයි. ලාභ ලැබීමේ ධනේශ්වර ක‍්‍රමය යටතේ දුගී නිවැසියන්ගේ අවශ්‍යතා සැපිරිය නොහැකි ය. සිය අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන් සමාජවාදී වැඩපිලිවෙල යටතේ සටන් වැදිය යුතු බව සසප කියා සිටී.

Share this article: