යුද්ධය පිලිබඳ ඔබාමාගේ නව ධර්මතාව, චීනය තුල විවාදය අවුලුවයි

Obama’s new war doctrine fuels debate in China

By John Chan, 13 January 2012

පසුගිය සතියේදී ජනාධිපති බරක් ඔබාමා චීනයට යොමුකල නව මූලෝපායක් නිවේදනය කිරීමත් සමග වොෂින්ටනයේ ගැටුම්කාරී ආස්ථානයට හා මිලිටරි ගැටුමක තර්ජනයට මුහුන දෙන්නේ කෙසේ ද යන්න පිලිබඳව චීන පාලක කවයන් තුල දැනටමත් කෙරීගෙන යන විවාදය උත්සන්න වී තිබේ.

”එක්සත් ජනපද ගෝලීය නායකත්වය තිරසාර කිරීම: 21 සියවසේ ආරක්ෂක ප්‍රමුඛතා” යන පෙන්ටගන් ලියවිල්ල, එක්සත් ජනපද මිලිටරි බලය ප්‍රධාන කොටම ප්‍රති දිශානුගත කිරීම, විශේෂයෙන් ම ආසියා-පැසිෆික් කලාපයෙහි, නියෝජනය කරයි. චීනයේ මිලිටරි ප්‍රසාරනය, “කලාපය තුල විරසකයන් ඇතිවීම වැලැක්වීම සඳහා එහි මූලෝපායික අභිලාෂයන් පිලිබඳ පුලුල් පැහැදිලි කමක් සමග එක්ව යා යුතු බව” එමගින් අවධාරනය කරයි.

සත්තකින්ම චීනය එක්සත් ජනපදයේ තර්ජනයට මුහුනපා සිටියි. චීනයේ බටහිර දෙසට වන්නට ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද නායකත්වයෙන් කෙරීගෙන යන බලහත්කාරී වාඩිලෑම ගැන සඳහන් නොකලත්, ජපානය, දකුනු කොරියාව, ඕස්ට්‍රේලියාව හා පිලිපීනය සමග සන්ධාන ශක්තිමත් කිරීමේ උත්සාහයන් ද ඉන්දියාව, ඉන්දුනීසියාව හා වියට්නාමය සමග නව හවුල්කාරකම් ගොඩනැඟීමත් මගින් ඔබාමා, සෑම පෙරමුනක දී ම බීජිනය වැටලීමට කටයුතු කරමින් සිටියි.

චීනය පසුගිය දශකය පුරා සිය මිලිටරි වියදම් සියයට 200කින් පමන ඉහල නංවා ඇතැයි ගනන් බලා තිබේ. එහෙත් කුමන දර්ශකයකට අනුව වුවත් එනම්, සය ගුනයකින් වැඩි මිලිටරි වියදම්, 35ගුනයකින් විශාල න්‍යෂ්ටික අවි තොග හා සෑම ක්ෂේත්‍රයකම පාහේ පවත්වාගෙන යන දැවැන්ත තාක්ෂනික අධිකාරය අතින් එක්සත් ජනපද මිලිටරිය, චීනය කුරු මිට්ටෙක් බවට පත් කරයි.

පෙන්ටගන් ලියවිල්ල පිලිබඳව චීනයේ ආරම්භක නිල ප්‍රතිචාරය ප්‍රවේසම් සහගත විය. චීනයේ රාජ්‍ය පුවත් සේවය වන ෂින්හුවා එක්සත් ජනපදයට කියා සිටියේ “තම හයිය පෙන්වීමෙන් වැලකී සිටින” ලෙසයි. ඒ සමග ම “එරට සාධනීය ආකල්පයක් පෙන්වීමට සමත් වුවහොත් හා සීතල යුද්ධය වර්ගයේ ශුන්‍ය මට්ටමේ මානසිකත්වයකින් වැලකී සිටියොත්” නව එක්සත් ජනපද මූලෝපාය “කලාපීය ස්ථාවරත්වයට හා සමෘද්ධියට පලදායී වනවා පමනක් නොව, තම ආර්ථික සංවර්ධනය පවත්ව‍ාගෙන යාමට සාමකාමී වාතාවරනයක් අවශ්‍ය වන චීනයට එය ශුභදායී වන්නේය.” එය පැවසීය.

චීන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ගෙන් යැන්ෂෙන් වඩාත් විවේචනශීලී වෙමින් 09දා ප්‍රකාශ කලේ, “මෙම ලියවිල්ලෙන් එක්සත් ජනපදය චීනයට දමා ගසන චෝදනාවන්ට කිසිදු පදනමක් ඇත්තේ නැත.” යනුවෙනි. එක්සත් ජනපදය පිලිබඳව ඔහු මෙසේ බලාපොරොත්තු පල කලේය. (එක්සත් ජපදය) “චීනය හා චීන මිලිටරිය සමග කටයුතු කිරීමේ දී වෛෂයික හා බුද්ධිමත් ක්‍රමයක් අනුගමනය කරමින්, සිය වචන හා ක්‍රියා පිලිබඳව ප්‍රවේශම් විය යුතු අතර, දෙරට හා දෙරටෙහි මිලිටරි යාන්ත්‍රන අතර සම්බන්ධතා වර්ධනය කිරීමට වඩාත් හිතකර පිලිවෙත් කරා හැරිය යුතුය.” යනුවෙනි.

පීපල්ස් ලිබරේෂන් ඩේලි පුවත් පතට ලියමින් මේජර් ජෙනරාල් ලුඕ යුආන් එක්සත් ජනපදය චීනය ඉලක්ක කරන බවට කෙලින්ම අනතුරු ඇඟවීය. “අප වටේට දෑස් යොමු කරන්නේ නම්, අපට පෙනී යන්නේ, එක්සත් ජනපදය ආසියා-පැසිෆික් කලාපයේ තම ප්‍රධාන මිලිටරි සන්ධාන පහ වැඩි දියුනු කරමින් සිටින බවත්, චීනය වටා මිලිටරි කඳවුරු වෙත පිවිසීමේ අයිතිය ස්ථිර කර ගැනීමට වෑයම් කරන අතර සිය ප්‍රධාන මිලිටරි කඳවුරු පහේ පොකුරු ස්ථානගත කිරීම් යලි සකසමින් සිටින බවත්ය. මෙය චීනය දෙසට එල්ල නොකරන්නේ යයි විශ්වාස කල හැක්කේ කාට ද?” ඔහු විමසීය.

ලිබියාව තුල ඩොලර් බිලියන ගනනක් වූ චීන ආයෝජන අතුගෑවී යාමට තුඩුදුන් පසුගිය වසරේ නේටෝව එරටට කල මැදිහත්වීමෙන් පසුව එකිනෙකට වෙනස් ප්‍රතිචාර දැක්වෙන බීජිනයේ විවාදය උත්සන්නවී ඇත. එක් කඳවුරක් එක්සත් ජනපදය සමග ගැටුමක් වැලැක්වීමේ ප්‍රවේශම් සහගත වත්මන් ප්‍රතිපත්තිය දිගටම ගෙනයා යුතු බවට උපදෙස් දෙන අතර දෙවන කඳවුර, ලෝකය පුරා චීනයේ වර්ධනය වන ආර්ථික හා මූලෝපායික අවශ්‍යතා ආරක්ෂා කිරීමේ වඩාත් ආක්‍රමනකාරී ප්‍රතිපත්තියක් කරා මාරුවීම වෙනුවෙන් පෙනී සිටිති.

ඉවසිලි සහගත ප්‍රවිෂ්ටයක් වෙනුවෙන් පෙනී සිටින අය තර්ක කරන්නේ, චීනය එක්සත් ජනපදයට අභියෝග කල හැකි තත්වයක නොසිටින බවයි. ආයෝජන, තාක්ෂනය හා වෙලඳපොලවල් සඳහා දියුනු බටහිර රටවල් මත බෙහෙවින් රඳා පවතින චීන ආර්ථිකය, වොෂින්ටනය සමග විවෘත ගැටුමකට ගියහොත් බරපතල කඩාකප්පල් වීමකට නිරාවරනය වනු ඇති බවය. ඔවුන් එම කනස්සල්ල පිලිබිඹු කරයි.

ජනවාරි 03දා චයිනා නිව්ස්වීක් සඟරාවේ පලවූ ප්‍රකාශයක ෂෙන් යොන්නියන් යන විද්වතා, විශේෂයෙන් ම උතුරු කොරියාව මුල් කරගෙන චීනය, එක්සත් ජනපදය හා එහි මිත්‍ර පාක්ෂිකයින් සමග “සීතල යුද්ධයක පැටලෙනු ඇති” බවට අනතුරු ඇඟවීය. එක්සත් ජනපදයේ ජාත්‍යන්තර ආධිපත්‍යය හේතු කොට ගෙන එවන් ගැටුමක් “චීනයට බෙහෙවින් අවාසිදායක වනු” ඇතැයි ඔහු තර්ක කරයි. එය, “සියලු පරිමානයන්ගෙන්, එනම්, දේශපාලනිකව, ආර්ථිකව හා මිලිටරිමය වශයෙන්,” අධිකාරය දරන අතර, “චීනය තවමත් අති මූලිකව එවන් තැනක් දරන්නේ ආර්ථික වශයෙන් පමනකි.”

ඔහු චීනය නව සීතල යුද්ධයකට ඇතුල්වනු ඇතැයි කියා සිටිමින් මෙසේ ඇඟවුම් කලේය. “නැ‍‍ෙගනහිර ආසියාව කඳවුරු දෙකකට බෙදී ගියහොත්, බටහිරට ව්‍යාප්ත වීමට චීනයට බල කෙරෙමින් නැ‍ගෙනහිරෙන් එය තල්ලුවී යනු ඇත. මෙම වාතාවරනය සිදුවිය හැක්කක් වනවා පමනක් නොව, දැටමත් ආරම්භ වී තිබෙන තත්වයකි. එයට අරාබි රටවල් සමග බැඳීම් වර්ධනය කර ගැනීමට සිදුව තිබේ.” කෙසේ වෙතත්, චීනයට ඇති හොඳම විකල්පය වන්නේ, එක්සත් ජනපදය සමග සහයේගීතාවය යි. බීජිනය 1970 ගනන්වල සිට ඇමරිකාව සමග යලි ගොඩනගාගත් මිත්‍රත්වය ඔස්සේ “බටහිර අධිකාරය දරන ජාත්‍යන්තර ප්‍රජාව තුලට ඒකාග්‍රවීමේ මාවත” ගත යුතුය.

“සාමකාමී නැඟීම” යන බීජිනයේ වත්මන් ප්‍රතිපත්තියේ විවේචකයින් පෙන්වා දෙන්නේ, චීනයේ ආයෝජන කෙරෙහි හා ප්‍රවේශමෙන් ගොඩනඟන රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මගින් දැනටමත් එක්සත් ජනපද ආක්‍රමනකාරිත්වය බලපෑමක් ඇතිකර තිබෙන බවය. එක්සත් ජනපදය ලිබියානු තන්ත්‍රය බලයෙන් පහ කිරීමට සහාය දුන්නා පමනක් නොව, චීනය සිය ප්‍රමුඛ තෙල් මූලාශ්‍රයක් ලෙස විශ්වාසය තබා සිටින ඉරානයට දැන් තර්ජනය කරයි. ගිනිකොනදිග ආසියාවේ දී ඔබාමා පාලනය, දකුනු චීන මුහුදු කලාපයට චීනය පාන හිමිකමට එරෙහිව, පිලිපීනය හා වියට්නාමය හිමිකම් පෑම සඳහා දිරිගන්වන අතර කලාපීය රටවල් මත චීනයේ බලපෑමට වල කපමින් ද සිටියි.

පීකිං විශ්ව විද්‍යාලයේ මූලෝපායික අධ්‍යයනය පිලිබඳ මධ්‍යස්ථානයෙහි පරියේෂක ඩායි සූ ග්ලෝබල් ටයිම්ස් පත්‍රයට ලියමින් පසුගිය සතියේදී මෙසේ තර්ක කලේය. චීනය “බෙදුම් රේඛාව ඇඳගත යුතුය.” ආර්ථික සංවර්ධනය මත අවධානය රඳවමින්, සන්ධානවලට බැඳීම ‍හෝ ඒවා ගොඩනැඟීම හෝ ජාත්‍යන්තර කන්ඬායම් පිහිටුවීම මඟහරිමින් චීනය “අවම ප්‍රතිරෝධයේ” මාවත ගත යුතු යයි කියා සිටි හිටපු චීන නායක ඩෙන් සියාඕපිංගේ ආස්ථානයට එරෙහිව ඔහු තර්ක කලේය.

ඩායි 2009 වසරේ ඔහු ලිවූ පොත හේතුකරගෙන ප්‍රසිද්ධියට පත්ව සිටියි. සී අකුරේ හැඩය ගත් වැටලීම C- shaped Encirclement තුල, එක්සත් ජනපදය ආසියා-පැසිෆික් තුල චීනය රඳවා තැබීමට උත්සාහ කිරීම පිලිබඳව අනතුරු අඟවා තිබුනි. වසර 1,000කට පෙර පැවතියා යයි සලකන සොන්ග් රාජවංශයේ ඓතිහාසික පාඩම් පෙන්නුම් කරමින් ඔහු දැන් එක්සත් ජනපදය සමග සංහිඳියාව අවසන් කල යුතු බව කියා සිටියි. එම රාජවංශය උතුරෙන් ආ නෝමැඩ් රාජාන්ඩුවල මිලිටරි තර්ජන හමුවේ, සහන පිලිගන්වමින් හා මිලිටරි සූදානම අත්හිටුවමින් ඊට ප්‍රතිචාර දැක්වීමෙන් සිදුවූයේ එයම අතුගෑවී යාම පමනි.

ඔහුගේ ග්ලෝබල් ටයිම්ස් ලිපියෙහි ඩායි, මෙසේ කියයි. එක්සත් ජනපදය සතුව “ලෝකය ‘ජය ගැනීමේ’ පැහැදිලි මාර්ග සිතියමක් හා කාල සටහනක් තිබේ. ඇෆ්ගනිස්ථානයේ, ඉරානයේ හා පකිස්ථානයේ පටන් ඇදෙන එහි අවසන් අරමුන චීනය හා රුසියාව අල්ලා ගැනීමයි. චීනය, ඇමරිකාව, ඊස්රායලය හා රුසියාව පැටලෙන යුද්ධයකට තුඩුදිය හැකි, ඉරානයට එරෙහි එක්සත් ජනපද ආක්‍රමනකාරී ප්‍රචන්ඩත්වය හමුවේ චීනය, ඊට ගැලපෙන පරිදි සූදානම් විය යුතු යයි ඩායි කියා සිටියි.

විවාදය ඉස්මතු කරන්නේ චීන පාලක ප්‍රභූවට උපාමාරු දැමීමට ඇත්තේ සුලු ඉඩක්ය යන කාරනය යි. එක්සත් ජනපදය සමග “සහයෝගිතාවය” අර්ථවත් කරනු ඇත්තේ, චීන කර්මාන්තයේ කොටස් බංකොලොත් කර, පුලුල් සමාජ නොසංසුන්තාවක් හටගන්වනු ඇති, යුආන් මුදල යලි අගැයීම වැනි වොෂින්ටනයේ ආර්ථික ඉල්ලීම් සඳහා සහන පිරිනැමීම යි.

චීනයට එරෙහි වොෂින්ටනයේ ආක්‍රමනික ස්ථාවරය, සංහිඳියාව අවසන් කල යුතු බව කියා සිටින අයගේ තත්වය ශක්තිමත් කරමින් අනෙක් අතට යුද්ධයේ තර්ජනය උත්සන්න කරයි.

Share this article: