ඔබාමා චීනයට එල්ල කල යුද මූලෝපාය හෙලි කරයි

Obama unveils war strategy focused on China

By Bill Van Auken, 7 January 2012

බරක් ඔබාමා විසින් 05දා හෙලිදරව් කරන ලද පෙන්ටගනයේ මූලෝපායික මඟපෙන්වීම අනුව, අවධානය තීරනාත්මකව චීනය වෙත මාරු වන අතර එක්සත් ජනපද යුද යාන්ත්‍රනයට දරන වියදම බොහෝකොටම නොවෙනස්ව පවත්වා ගන්නා බව සහතික කෙරෙයි.

“එක්සත් ජනපදයේ තිරසාර ගෝලීය නායකත්වය: 21 වන සියවසේ ආරක්ෂක ප්‍රමුඛතා” යන ශීර්ෂයෙන් යුත් ලියවිල්ල ඉදිරිපත් කරමින් ඔබාමා, අනෙක් මිලිටරි බලවතුන් දහදෙනාගේ එකතුවට වඩා එක්සත් ජනපද මිලිටරි වැය ශීර්ෂය ඉහලින් පවතින බව අවධාරනය කලේය. ඔහු මිලිටරි වියදම් “කපාහරින” බවට කෙරෙන දක්ෂිනාංශික ප්‍රකාශයන් පූර්වභංඟ කරන ලෙස ප්‍රතිචාර දක්වමින්, “ආරක්ෂක වැ‍ෙයහි වර්ධනය අඩුවනු ඇත. එහෙත් කාරනය මෙයයි: එය තවමත් වැඩෙන්නේය” යනුවෙන් පැවසීය.

එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රමුඛතාවන්හි හා යොමු‍වෙහි පුලුල් පරාසය ගෙනහැර දක්වන ආරක්ෂක මූලෝපායේ මඟපෙන්වීම වැනි ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට, එරට ජනාධිපතිවරයෙක් සහභාගී වූ ප්‍රථම අවස්ථාව සලකුනු කරමින් පසුගිය 05දා ඔබාමා පෙර නොවූ විරූ පරිදි පෙන්ටගනයෙහි පෙනී සිටියේය.

තෙල් සම්පත් බහුල පර්සියානු ගල්ෆ් කලාපය මත එක්සත් ජනපද මිලිටරි පාලනය එසේම පවත්වාගන්නා අතරතුර, ඇමරිකානු මිලිටරිය ශක්තිය ආසියා පැසිෆික් ප්‍රදේශය දෙසට යලි යොමු කිරීමට ප්‍රමුඛත්වය දීම සඳහා එම ලේඛනය කැඳවුම් කරයි. “සියලු ප්‍රවාහයන් පැසිෆික් කලාපයට මාරු වෙමින් තිබේ. අපගේ මූලෝපායික අභියෝග බොහෝ කොටම මතු වන්නේ පැසිෆික් කලාපයෙනි.” ඒකාබද්ධ මෙහෙයුම් කාර්ය මන්ඩලයේ ප්‍රධානී ජෙනරාල් මාටින් ඩැම්ප්සි එසේ පැවසීය.

කෙලින්ම හා ප්‍රකෝපකාරී ලෙසින් චීනය සතුරෙකු ලෙස පින්තාරු කිරීම මගින් ලියවිල්ල, ආර්ථික වශයෙන් ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආසියා පැසිෆික් කලාපය තුල ආධිපත්‍යය මත ගැටුමක් දෙසට නොනැවතී සිදුවන තල්ලුවේ දර්ශනයක් ගෙනහැර දක්වයි.

“එක්සත් ජනපද ආර්ථික හා ආරක්ෂක අවශ්‍යතා මෙම කලාපයේ වර්ධනයන් සමග නොවෙන්කල හැකි පරිදි බැඳී” තිබෙන අතර වොෂින්ටනය මැද පෙරදිග හා ලෝකයේ අනෙකුත් තැනවල මැදිහත්වීම් එලෙසම පවත්වාගනු ඇත. “අප ආසියා පැසිෆික්හි අවශ්‍ය ප්‍රති තුලනය දෙසට පියවර ගත යුතුය.” (මුල් ලිපියේ අවධාරනය) මඟපෙන්වීම් ලිපියෙහි දැක්වෙයි.

ඉන්දීය සාගර කලාපයේ එක්සත් ජනපද ආරක්ෂක උවමනාකම් සඳහා “නැංගුරමක්” ලෙස ඉන්දියාව වෙන්කොට තබාගන්නා අතර, ජපානය හා දකුනු කොරියාව ද පිලිපීනය, ඉන්දුනීසියාව හා වියට්නාමය යන පුලුල් රාජ්‍ය පරාසයක් පුරා මිත්‍රත්ව සන්ධාන අටවා ගැනීමේ උත්සාහයක එරට නිරතව සිටියි.

“වර්ධනය කෙරෙන චීනයේ මිලිටරි ශක්තිය, කලාපය තුල විරසකයන් ඇතිවීමේ හේතු වලක්වා ගැනීම පිනිස යෙදවෙන අතර, එහි මූලෝපායික අභිලාශයන් පිලිබඳ උපරිම පැහැදිලිකම ඒ සමගම පැවතිය යුතුය.” ලියවිල්ල අනතුරු අඟවයි.

ලිපියේ “ඇතුල්වීම තහනම් කලාප‍ෙය් අභියෝග ප්‍රතික්ෂේප කිරීම” යනුවෙන් සඳහන් කොටසෙහි, චීනය හා ඉරානය යන රටවල් එක ගොඩට දමමින් “විද්‍යුත් හා සයිබර් අවකාශයේ යුදවාදය, බැලිස්ටික් හා කෲස් මිසයිල, වැඩි දියුනු ගුවන් ආරක්ෂක කටයුතු හා අනෙකුත් ක්‍රමවේදයන් පෙන්වා දෙන” අතර බලයේ අප සතු ප්‍රස්ථාරයන්ට අවහිර කරන අසමමිතික මාධ්‍යයන් එක දිගට පවත්වාගෙන යයි.” යනුවෙන් සඳහන් කරයි. චීන මුහුදු සීමා‍ෙවන් එපිට දැවැන්ත එක්සත් ජනපද මිලිටරි ස්ථානගත කිරීමේ මාධ්‍ය ලෙස සලකනු ලැබූ, කලින් නොබිඳිය හැකි යයි සලකන ලද එක්සත් ජනපදයේ ගුවන්යානා හාරක නැව්වලට පහරදීමේ හැකියාවෙන් යුත් ටෝපිඩෝ, චීනය විසින් ගොඩනඟමින් තිබීම පිලිබඳව පෙන්ටගනයේ කනස්සල්ල වැඩිවෙමින් තිබේ.

දකුනු චීන මුහුදේ ආරවුල් මුල්කරගෙන කලාපය තුල වොෂින්ටනයේ වර්ධනය වන යුදකාමය සැඟවුනු ආකාරයෙන් ප්‍රකාශිත “භාන්ඩ නිදහසේ ගලායාම හා ගෝලීය නිදහස් සංචලනය” පවත්වා ගැනීමෙහිලා එක්සත් ජනපද අධිෂ්ඨානය පිලිබඳ විවිධාකාර අවධාරනයන් ලියවිල්ලට ඇතුලත්ව තිබේ.

ඒකාබද්ධ කාර්ය මන්ඩලයේ නිල සාමාජිකයින් මෙන්ම පෙන්ටගනයේ සිවිල් නිලධාරීන් ද විසින් වටකරගත් ඔබාමා, රිපබ්ලිකානු දක්ෂිනාංශයෙන් තෙමේ ආරක්ෂාවී ගනිමින්, අඥාපති ලෙස පෙනී සිටීමේ නිසැක උත්සාහයක යෙදී සිටියේය. රිපබ්ලිකානු ජනාධිපති අපේක්ෂකයින් ද කොන්ග්‍රසයේ ප්‍රමුඛ රිපබ්ලිකානුවන් ද දක්ෂිනාංශික මාධ්‍යකරුවන්ගේ කොටස් ද වාර්තාවේ වියදම් පිලිබඳ ඇඟවුම්, ඇමරිකානු මිලිටරිය කප්පාදු කිරීමක් ලෙස පෙන්නුම් කිරීම සඳහා ඩැහැගෙන තිබේ.

මූලෝපායික මඟපෙන්වීම් ලේඛනය එවැනි කිසිවක් නොවේ. ඔබාමා විසින්ම කයිවාරු ගැසූ ආකාරයට ඔහුගේ පාලනයේ යෝජනා එනම්, ඉදිරි දස වසර තුල ඩොලර් බිලියන 450ක් පමන වන යෝජිත කප්පාදුව, පෙන්ටගනයේ මූලික පිරිවැය සඳහා ජොර්ජ් බුෂ් පාලනය එහි අවසානයේ කල වෙන්කිරීමට වඩා තවමත් ඉහලින් තිබේ.

ඔබාමා පාලනය විසින් වෙන්කල කප්පාදු, යෝජනා කෙරෙන්නේ මේ වසර සඳහා නොවේ. එය ක්‍රියාත්මක වන්නේ, එලඹෙන දස වසරක කාල පරාසය තුලය. එය වොෂින්ටනයේ පුම්බන ලද හමුදා සේනාංක සඳහා අරමුදල් නොකඩවා වැඩිකිරීමේ ව්‍යායාමයකි. “ත්‍රස්තයට එරෙහි ගෝලීය යුද්ධය” හා සමානුපාතිකව සිදුවූ ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ වාඩිලෑම මගින් වසාගත් පසුගිය දශකය සලකුනු කලේ, එක්සත් ජනපද මිලිටරි වියදම් සියට 80කටත් වඩා ඉහල නැඟීමකින්ය. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂනය ඇතුලු මූලික සමාජ වැඩසටහන් හා සහන කැපීමට මස් පොරොව සූදනම් කරන ධවල මන්දිරය හා කොන්ග්‍රසය, පෙර නොවූ විරූ ආකාරයකට මෙසේ මිලිටරි වියදම් ඉහල මට්ටමකින් පවත්වා ගැනීම සඳහා ඔබාමා ක්‍රියාත්මක කරන සැලැස්මෙන් ඉඩ සැලසෙනු ඇත.

එක්සත් ජනපද මිලිටරි ප්‍රතිපත්තිය මත ඔබාමා සිය “පුද්ගලික මුද්‍රාව” තැබීමක් ද වූ බව 05දා ප්‍රකාශිත ව‍ාර්තාව පිලිබඳ, මාධ්‍ය අටුවා සඳහන් කරයි. මෙය හකුලුවන අයවැය කප්පාදු පිලිබඳ ප්‍රකාශයන්ටත් වඩා අභූත ය. එක්සත් ජනපද සන්නද්ධ හමුදා අනදෙන මන්ඩල තුල හා මිලිටරි කර්මාන්ත සංකීර්නයෙහි බලගතු අවශ්‍යතාවන් නියෝජනය කරමින් ඉදිරිපත් කල මඟපෙන්වීමෙහි මූලෝපායික දේශපාලන ප්‍රකාශකයාට වැඩි යමෙක් නොවේ ඔබාමා.

එහි පුලුල් සීමාවන් තුල ලේඛනය, මිලිටරි ප්‍රතිපත්තියේ “විප්ලවයක්” සඳහා තල්ලුව සපයමින් පෙන්ටගනයට රිංඟා ගත් බුෂ් පාලනයේ පලමු ආරකෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් ගෙනහැර දැවූ දේට සැලකිය යුතු තරම් සමාන යෝජනා ඇතුලත්කර ගනියි. රම්ස්ෆෙල්ඩ්ගේ යෝජනා මෙන්ම 05දා ඉදිරිපත්කල මඟපෙන්වීම් ලේඛනය ද මිනිසුන් රහිත ප්‍රහාරක ඩ්‍රෝන් යානා ද ඇතුලු විශේෂ කාර්ය බලකා සේනාංක හා අධි තාක්ෂනික අවි ආයුධ මත වඩ වඩාත් රැඳී සිටින අතර පාබල හමුදා අවශ්‍ය පරිදි යෙදවීම පිලිබඳව උපදෙස් සපයයි.

පිරිවැය හා මිනිස් බලය පිලිබඳ නිශ්චිත ගනන් හිලව් සපයන්නේ නැති නමුත් ලේඛනය, ඉරාකයෙන් එක්සත් ජනපද හමුදා ඉවත් කිරීම හා ඇප්ගනිස්ථානයේ හමුදා අඩු කිරීම මගින් හමුදාවේ වත්මන් පිරිස් බලය 570,000 සිට 490,000 දක්වා හීන වන බවට වාර්තා පලවෙයි. එවැනිම පිරිස් බලය අඩුකිරීමක් මැරීන් කෝප්ස් බලඇනි වල ද සිදුවන අතර එහි අර්ථය, ඉරාකයෙන් හා ඇෆ්ගනිස්ථානයෙන් ආපසු ගෙනෙන දස දහස් ගනන් හමුදා භට පිරිස් ඇමරිකාවේ දිගු විරැකියා පෝලිමට ඇද දමනු ලබන බවයි.

හමුදාවේ හා මැරීන් සේනාංකයන්හි ‍ෙජ්‍යෂ්ඨයින් මෙම කැපීම් පිටුපස සිටින බව නිසැක නමුත්, එක්සත් ජනපද මිලිටරි හයි හත්තිය ආක්‍රමනකාරී ලෙස සැලසුම් කරන කාර්යක්ෂම මාධ්‍යයන් ලෙස, ස්ටෙල්ත් බොම්බර්ස්, (රහසිගතව බෝම්බ හෙලන යානා) සබ්මැරින් යානා, තාරකා යුද්ධ තාක්ෂනය හා අනෙකුත් මුහුදු හා ගුවන් අවි පද්ධතීන් සඳහා අඛන්ඩව වියදම් කරන බවට පොරොන්දු වන මඟපෙන්නුම් ලේඛනය කෙරෙහි පැහැදී සිටින බලගතු ව්‍යාපාරික ආසක්තයන් ඊට වඩා වැදගත් ක්‍රියා කලාපයක් ඉටු කර තිබේ. 05දා මාධ්‍ය හමුවේදී ආරක්ෂක ලේකම් ලියොන් පැනිට්ටා මේ අවශයතාවන්ට කෙලින්ම ආමන්ත්‍රනය කලේය. “ජාතියේ ආරක්ෂක කාර්මික පදනමෙහි නිරෝගී භාවය හා ශක්‍යතාවය සුරක්ෂිත කිරීමට පෙන්ටගනයේ කැපවීම” පිලිබඳව ඔහු සහතික විය.

පෙන්ටගනයේ පෙනී සිටිය දී ඔබාමා, ඉරාකයෙන් හමුදා ඉවත්කර ගැනීම හා ඇෆ්ගනිස්ථානයේ අවම හමුදා ආපසු කැඳවීම මත පදනම් වෙමින් “යුද්ධයේ උදම් රැල්ල අඩුවෙමින් තිබේ” ය යන ඔහුගේ හඬගෑම පුනරුච්ඡාරනය කලේය.

ඊට විපරිත ලෙස මඟපෙන්වීම් ලේඛනය පෙන්නුම් කරන්නේ, චීනය සමග මිලිටරි ගැටුමක් සඳහා එරට යුද යාන්ත්‍රනය සවිමත් කරද්දී පවා, තෙලින් පොහොසත් මැද පෙරදිග හා මධ්‍යම ආසියාව මත එහි ආධිපත්‍යය තහවුරු කර ගැනීම පිනිස හමුදා බලය යොදාගැනීමේ එක්සත් ජනපදයෙහි කැපවීම එලෙසම පවතින බවයි.

“අරාබි වසන්තය” කෙරෙහි සිය නරුම ආචාරය පලකරමින් ලේඛනය, ඉරානය සමග ගැටුමක් සඳහා වන සූදානමේ දී ගල්ෆ් සහයෝගිතා සමුලුවේ අත්තනෝමතික රාජාන්ඩු මත එක්සත් ජනපදයේ රඳා පැවැත්ම යලි අවධාරනය කරයි.

ආරක්ෂක ලේකම් පැනිට්ටා, හෝමුස් සමුද්‍ර සන්ධිය පිලිබඳ ප්‍රශ්නයේදී ඉරානය සමග ගැටුමකින් එරට පරාජය කරන අතර වාරයේ දී ම එක්සත් ජනපද මිලිටරිය, “කොරියාව තුල ගොඩබිම් යුද්ධයකට” සූදානම්ව සිටින බව රැස්ව සිටි මාධ්‍ය වේදීන් වෙත පැවසීය. එමගින් ඔහු ඈත ක්ෂිතිජයේ කුමක් තිබෙන්නේ ද යන්න පිලිබඳව ඡායා මාත්‍රයක් සැපයී ය.

ආරක්ෂක මගපෙන්වීම් ලේඛනය කෙරෙහි චීනය තදින් ප්‍රතිචාර දැක්වීය. “චීනය තම නැඟී ඒම නතර කල නොහැකි බව එක්සත් ජනපදයට සිහිගන්වන්වනු ඇත.” එසේ සඳහන් කලේ චීන රජයේ ග්ලෝබල් ටයිම්ස් පත්‍රයයි. චීනය “තම පරියන්තයේ ආරක්ෂාව අත නොහරින්නේ” යයි ලියමින් පුවත්පත මෙසේ ද පැවසීය. “චීනයට තම දුර විහිදුම් ප්‍රහාරක හැකියාවන් සවිමත් කර ගැනීම අවශ්‍යය. ඇමරිකාව සමග සිය ‘ක්‍රීඩාවේ’ පෙරමුන, අනුක්‍රමයෙන් පසු පසට තල්ලුකර ගැනීම පිනිස, එක්සත් ජනපද භූමි භාගයන්ට තර්ජන එල්ල කල හැකි තවත් මාර්ග වර්ධනය කර ගැනීම අවශ්‍යය.”

ඇමරිකානු ධනවාදයේ සාපේක්ෂ පරිහානියට හා චීනයේ නැඟීමට මුහුනපා සිටින වොෂින්ටනය, පසුගිය සියවසේ යුද්ධ පරයා යන අග්නි ජාලාවක තර්ජනය එල්ල කරමින් තම ගෝලීය ආධිපත්‍යයේ තැන රැකගැනීමට අපරීක්ෂාකාර ලෙස සිය මිලිටරි බලය යොදාගැනීම වෙතට හැරෙමින් සිටියි.

Share this article: