ආන්ඩුව මර්දනය උත්සන්න කරනවාත් සමග නයිජීරියානු මහා වැඩවර්ජනය තීව‍්‍ර වේ

Nigerian general strike escalates as government steps up repression

By Robert Stevens, 12 January 2012

ජනාධිපති ගුඩ්ලක් ජොනතන්ගේ ආන්ඩුවට එරෙහි මහා වැඩවර්ජනය අඛන්ඩව තීව‍්‍ර වන තත්වය තුල පසුගිය දින තුන තිස්සේ නයිජීරියාව පුරා සිය දහස් ගනනක් පෙලපාලි පැවත් වූහ.

වැඩවර්ජනය පැවැත්වෙන්නේ තෙල් මිල දෙගුනයකින් වැඩිවීමට මග පාදමින් ජනවාරි පලමුවෙනිදා හදිසියේ තෙල් සහනාධාරය ඉවත් කිරීමට විරුද්ධව ය. නයිජීරියානු කම්කරු කොන්ග‍්‍රසය සහ වෘත්තීය සමිති සම්මේලනය සඳුදා සිට මහා වර්ජනයක් ආරම්භ කිරීමට කල කැඳවුමත් සමග විරෝධතා ක්ෂනිකව ආරම්භ විය.

මිලියන 15ක ජනගහනයකින් යුත් ඉතාමත් ජනාකීර්න නගරය වන ලාගෝස්වල අපාරා වරාය වැසීමත් සමග බදාදා වැඩවර්ජනය පැතිරුනි. වැඩවර්ජනය බඩු නැව්ගත කිරීම වැලැක් වී ය.

රට පුරා බොහෝ සාප්පු හා කාර්යාල, බැංකු හා භෝජනශාලා වසා දමා ඇති අතර ගුවන් සේවා ජාත්‍යන්තර ගුවන් ගමන් නවතා ඇත. අබුජා අගනුවර තුල මෙන් ම කානෝහි ද විශාල විරෝධතා පැවැත්වුනි. බොහෝ තෙල් සමාගම් පිහිටා ඇති දකුනේ නගරයක් වන වාරීහි විරෝධතාකරුවෝ වරායට දිවෙන මාර්ගය අවහිර කලහ.

24 පැයේ ඇඳිරි නීතියක් පනවමින් ආන්ඩුව නයිජර් හා කඩූනා ප‍්‍රාන්තවල හට ගත් විශාල මට්ටමේ කලබලකාරී තත්වය මතට කඩා පැන්නේ ය. නයිජර් ප‍්‍රාන්ත අගනුවර වන මින්නාහි තරුනයෝ කැරලි ගැසූ අතර ආන්ඩුවේ හා දේශපාලන කාර්යාලවලට ගිනි තැබූහ, ප‍්‍රාදේශීය දේශපාලකයින්ගේ නිවාස ඉලක්ක කලහ. ඊට පෙර දිනයේ දී විරෝධතාකරුවෝ දහස් ගනනක් ආන්ඩුවේ කාර්යාල සංකීර්නයකට ඇතුල්වීමට උත්සාහ දැරූහ.

ලාගෝස්වල දස දහස් ගනනක් විරෝධය දැක් වූ අතර තරුනයෝ ගිනි ලූ මාර්ග බාධක ඉදි කලහ. නැවත වතාවක් පොලීසිය මහජනයා වෙතට වෙඩි තබමින් හා එක් අයෙකුට තුවාල සිදු කරමින් සාමකාමී විරෝධතාකරුවන්ට පහර දුන්හ. විරෝධතාකරුවෝ සියගනනක් පොහොසතුන් පදිංචි දූපත්වලට දිවෙන මාර්ග අත් කර ගත්හ. පසුගිය ශරත් සමයේ නිව් යෝක් නගරයෙන් ඇරඹුනු අසමානතාවට හා බැංකුවල ආධිපත්‍යයට එරෙහි ජාත්‍යන්තර විරෝධතා සිහි කරමින් විරෝධතාකරුවෝ "නයිජීරියාව වාඩිලාගනු” යි බැනර් ප‍්‍රදර්ශනය කලහ.

අඟහරුවාදා රට පුරා පැවති විරෝධතාවන්ට දසදහස් ගනනක් සහභාගි වූහ. බොහෝ විරෝධතාකරුවෝ වර්ජනයේ පලමු දිනයේ පොලීසිය විසින් විරෝධතාකරුවෙකු ඝාතනය කිරීම කෙරෙහි තම ක්‍රෝධය ප‍්‍රකාශ කලහ, ඇතැම්හු ජනාධිපතිට සම්බන්ධ කරමින් "බෑඩ්ලක්” යන්න ඇලවූ ව්‍යාජ මිනීපෙට්ටියක් ඔසවා ගෙන ගියහ. ෂෙල් හා එක්සොන් මොබිල් වැනි ජාත්‍යන්තර සමාගම්වලට තම කාර්යාල වසා දැමීමට බල කරමින් අබුජා නගරයේ විශාල පෙලපාලියක් පවත් වන ලදී.

උතුරේ බවුචි නගරයේ දී පොලීසිය පෙලපාලිකරුවන්ට කඳුලු ගෑස් එල්ල කලහ. පෙර දවසේ පොලීසිය පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීමෙන් පසු ආන්ඩුව කනෝ නගරය තුල සන්ධ්‍යාවේ සිට අලූයම දක්වා ඇඳිරි නීතිය පැනවී ය. ඇසින් දුටු සාක්ෂි කරුවෙකුට අනුව අඩු වශයෙන් 13 දෙනෙකුට තුවාල සිදු කරමින් පොලීසිය පෙලපාලිකරුවන් සමූහයකට වෙඩි තැබූහ.

වැඩවර්ජනය ඇරඹුනේ එය නීති විරෝධී කරමින් ජාතික කාර්මික අධිකරනය පැන වු තහනම් නියෝගයකට අභියෝග කරමිනි. අඟහරුවාදා ආන්ඩුව වර්ජිත රජයේ සේවකයන්ගේ වැටුප් නතර කිරීමට තර්ජනය කලේ ය. ඇටෝර්නි ජනරාල් මොහමඩ් බෙලෝ අඩෝක් මෙලෙස අනතුරු ඇඟවී ය: "එම නියෝගය දිගින් දිගට ම නොතැකීම අරාජකත්වයට විවෘත ආරාධනයක් වන බැවින් එය පොදු යහපතට (අනතුරුදායකය)”.

ඉන්ධන වියදම දෙගුනයක් කිරීම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) විසින් ප‍්‍රතිපත්ති නියෝග කෙරෙන ජොනතන් ගුඩ්ලක්ගේ ආන්ඩුව වැඩ කරන ජනයා මත ගෙන යන ප‍්‍රහාරයේ මෑත ම එක පමනි. මිලියන 160ක ජනගහනයක් වෙසෙන රටේ සියයට 70ක් දවසකට පවුම් 1.30කට පහල ආදායමක් මත යැපෙමින් පීඩාකාරී දරිද්‍රතාවක ජීවත් වෙති.

බොහෝ පුද්ගලයන්ට තිබෙන එකම ශුභසාධනය ඉන්ධන සහනාධරය පමනි. ඉන්ධන මිල දෙගුනවීමත් සමග ආහාර හා ප‍්‍රවාහන වියදම් ඉහල ගොස් ඇත.

ජාමුඅ පූර්ව "ව්‍යුහ ගැලපුම්” ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිඵලයක් වශයෙන් දශ ලක්ෂ ගනනක් පුද්ගලයන් අන්ත දරිද්‍රතාවට ඇද දැමී ඇත. නයිජීරියාවේ සාමාන්‍ය කායික ශ‍්‍රමිකයෙකු 2012ට වඩා 1970 ගනන්වල සියයට 35කට වැඩියෙන් ඉපයූ මට්ටමට වැටුප් කපා දමා ඇත. විරැකියාව නොකඩවා ඉහල යන අතර, තරුන විරැකියාව ආසන්න වශයෙන් සියයට 50කි.

ඉතා කුඩා ප‍්‍රභූවක් ජාතියේ තෙල් සම්පත විසින් නිපදවන ලද විශාල සම්පත උරා ගනිමින් සුපිරි පොහොසතුන් වීමත් සමග අද ලාගෝස් නගරය අප‍්‍රිකාවේ කෝටිපතියන්ගේ ඉහල ම පර්ෂදයන්ගෙන් එක ස්ථානයක් වී ඇත. ඊට විපරීතව ජනගහනයෙන් සියයට 80කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට ස්ථිර ප‍්‍රවේශයක් නොමැත.

ඉන්ධන සහනාධාරයේ අවසානය, දෙසැම්බරයේ ජාමූඅ කලමනාකාර අධ්‍යක්ෂ ක‍්‍රිස්ටීන් ලගාර්ඞ් ගේ බටහිර අප‍්‍රිකානු සංචාරයක් පසුපස පැමිනියේ ය.

ආර්ථික නියාමනය තව දුරටත් ඉවත් කිරීමේ කොටසක් ලෙස නයිජීරියාවේ මෙන් ම ගිනියා, කැමරූන්, ඝානා හා චැඞ් යන රටවල ද ඉන්ධන සහනාධාරය කැපීමට උපදෙස් ලැබී ඇත.

දෙසැම්බරයේ දී නයිජීරියාව සාමාන්‍යයෙන් දිනකට බොරතෙල් බැරල් මිලියන 2.2ක් නිපද වූයේ ය. එය එක්සත් ජනපදයේ තෙල් ආනයනයනයේ පස්වැනි ලොකු ම සැපයුම්කරුවා ය.

කම්කරු පන්තිය සමග නයිජීරියානු ආන්ඩුවේ ගැටුමට සහාය දීම තුල ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රභූව විශාල පරදුවට තැබීමක් කරමින් සිටී. නයිජීරියාව පිලිබඳ විශේෂඥයෙකු හා ලන්ඩනයෙහි පාදක පීඑම් කොන්සල්ටින්ග්හි ප‍්‍රධානි ඇන්ටනී ගෝල්ඞ්මන් මෙසේ කීවේ ය. "වැඩවර්ජනය ජොනතන්ගේ ජනාධිපතිත්වයේ ප‍්‍රතිපත්ති නියමයන් පිලිබඳ පලමු සැබෑ පරීක්ෂාව යි. ...ඒවා සාර්ථක වුව හොත් ව්‍යවස්ථාව, තෙල් හා ගෑස්, ආදායම වැනි අනෙකුත් සංවේදී ක්ෂේත‍්‍රවල ප‍්‍රතිසංස්කරන පිලිබඳ අපේක්ෂා වර්ධනය වේ. වැඩවර්ජකයන් දිනුවහොත් පරිපාලනයේ විශ්වසනීයත්වයට විශාල ලෙස හානි වේ."

කඳුගැසෙන සමාජ ගැටුම් තත්වයන් යටතේ වෘත්තීය සමිති කම්කරු පන්තියේ දැවන්ත චලිතයේ බලපෑම සීමා කිරීමට උත්සාහ දරමින් සිටී. සම්මුතියකට පැමිනෙන්න යි ආන්ඩුවෙන් ඉල්ලමින් ඔවුන් තෙල් කර්මාන්තයේ ඔවුන්ගේ සාමාජිකයන් සහභාගී කරවීම ප‍්‍රතික්ෂේප කර ඇත.

අඟහරුවාදා, කානෝහි වෘත්තීය සමිති නිලධරයෝ නගරයෙහි වැඩවර්ජන ක‍්‍රියාව අඛන්ඩව පැවතුනහොත් තවදුරටත් පෙලපාලි නොපැවැත්වෙනු ඇත යි කීහ. නයිජීරියාවේ පෙට්‍රෝලියම් හා ස්වාභාවික ගෑස් ජ්‍යෙෂ්ඨ නිලධාරී සංගමයේ බබටුන්ටේ ඔකේ, "වැඩවර්ජනය සම්බන්ධයෙන් ආන්ඩුව යමක් කරන්නේ නැත් නම්, සති අන්තයේ දී (තෙල් නිෂ්පාදනය) වැසී යනු ඇත" යි තර්ජනය කලේ ය.

පෙන්ගසන් තෙල් කම්කරු වෘත්තීය සමිතියේ ජාතික කාර්මික සම්බන්ධතා නිලධාරී චිකා ඔනුඉග්බු ඔහුගේ සාමාජිකයන් වැඩ කරමින් සිටින බවත් වැඩවර්ජන තීන්දුවක් ගෙන නැති බවත් කීවේ ය. වැඩවර්ජනයක් කැඳවීම සම්බන්ධයෙන් තමන්ට පවතින නොකැමැත්ත හෙලිදරව් කරමින්, එකක් පටන් ගත හොත් "එය ඉන්ධන සහනාධාරය ඉවත් කිරීමට එරෙහි විරෝධතාවේ ඊලඟ අවධියේ ආරම්භය සලකුනු කරනු ඇති අතර එය රටට මහත් විපතක් වනු ඇත” යි ඔහු කීවේ ය.

ආන්ඩුව මර්දනය තවතවත් වැඩි කිරීම යුක්ති සහගත කිරීමට, රටේ ඉතාමත් දිලිඳු බවට පත් කෙරුනු හා ප‍්‍රමුඛ වශයෙන් මුස්ලිම් ජාතිකයන් වෙසෙන උතුරේ දුක්ගැනවිල්ල ගසාකන ඉස්ලාමීය කන්ඩායමක් වන බොකෝ හරම් සංවිධානයේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා පාවිච්චි කිරීමට උත්සාහ දරමින් සිටී. පසුගිය අවුරුද්ද පුරා සිදු වුනු සිය ගනනකගේ මරනය සඳහා බොකෝ හරම් සංවිධානයට දෝෂාරෝපනය කෙරී ඇත. ආන්ඩුව, වොෂින්ටනයේ ඔබාමා පාලනාධිකාරය සමග වැඩ කරමින් මෙම කන්ඩායම අල් කයිඩාවට සම්බන්ධ කිරීමට උත්සාහ දරා ඇත.

විරෝධතාවන් ප‍්‍රධාන වශයෙන් සංලක්ෂිතව ඇත්තේ ක‍්‍රිස්තියානුවන් හා මුස්ලිමුන් අතර ඉහල මට්ටමේ එක්සත්කමකිනි. නමුත් පසුගිය දින කීපය තුල ඝාතන කීපයක වගකීම බොකෝ හරම් සංවිධානයට ආරෝපනය කෙරී ඇති අතර ක‍්‍රිස්තියානි තුවක්කු කරුවන් විසින් එකටෙක කිරීමේ ප‍්‍රහාරයන් සිදු කෙරී ඇත.

බොකෝ හරම් සංවිධානය ආන්ඩුවේ ඉහල ම මට්ටම් විනිවිද ගොස් ඇත යි මෙම සතියේ දී ජනාධිපති ජොනතන් ප‍්‍රකාශ කලේ ය. "ඔවුන්ගෙන් සමහරෙක් ආන්ඩුවේ විධායක අංශය තුල වෙති ” යි ඔහු කී ය. "ඔවුන්ගෙන් සමහරෙක් ආන්ඩුවේ පාර්ලිමේන්තු ∕ ව්‍යවස්ථදායක අංශය තුල වන අතර සමහරෙක් අධිකරන පද්ධතිය තුල පවා වෙති.”

නිකායික ගැටුමේ අනතුර දක්වමින් ජොනතන් දෙසැම්බර් 31 වැනිදා පලාත් පාලන ප‍්‍රදේශ 15ක හදිසි නීති තත්වයක් ප‍්‍රකාශයට පත් කලේ ය. බදාදා, මෙම කලාපවල ආන්ඩුකාරයන් දැන් කෙලින් ම ජනාධිපතිගෙන් විධාන ලබා ගනිමින් සිටින බව හෙලිවුනි. නයිජීරියානු ආගමන විගමන සේවාව ජොනතන්ගේ නියෝග මත බදාදා රටේ දේශ සීමාවන් ද වැසූහ. ආගමන විගමන සේවාව ජාත්‍යන්තර දේශසීමා සහිත ප‍්‍රාන්තවල හදිසි නීතිය ක‍්‍රියාත්මක කිරීම සුපරීක්ෂනය කිරීමට නියමිත ය.

Share this article: