එක්සත් ජනපදය පාකිස්ථානු සොල්දාදුවන්ගේ මරන පිලිබඳ චෝදනාව අඩ වශයෙන් පිලිගනී, නමුත් ගුවන් ප‍්‍රහාර ආරක්ෂා කරයි

US admits partial blame in deaths of Pakistani soldiers, but defends airstrikes

By Keith Jones, 24 December 2011

නිතුත් කිරීමට නියමිත වාර්තාවක, පාකිස්ථානයේ මොහොමෑන්ඩ් ගෝත‍්‍රික ඒජන්සියේ ස්ථානගතව සිටි පාකිස්ථානු සොල්දාදුවන් 26 දෙනකු ඝාතනය කරමින් නොවැම්බර් 25-26 දින සිදු කල නේටෝ ප‍්‍රහාරයේ දී සිදු වූ තමන්ගේ අත්වැරදි එක්සත් ජනපද හමුදාව විසින් පිලිගෙන තිබේ. නමුත් එක්සත් ජනපදය මෙහෙයවන විශේෂ මෙහෙයුම් බලකායට පාකිස්ථානු සොල්දාදුවන් පලමු ව වෙඩි තැබූ බව කියමින්, පෙන්ටගනය හා ඔබාමා පාලනය පාකිස්ථානයේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීම හා මාරක ගුවන් ප‍්‍රහාර මත් ආරක්ෂා කිරීම දිගට ම කරගෙන යයි.

බ‍්‍රහස්පතින්දා නිකුත් කල ප‍්‍රකාශයක දී, "ඒ මොහොතේ තමන්ට ලැබී තිබුනු තොරතුරුවලට අනුව” එක්සත් ජනපද හමුදා "තමන්ට පහර දීමෙන් පසුව, ඊට උචිත බලයක් සහිත ව ස්වකීය ආරක්ෂාවට ක‍්‍රියා කොට ඇති බව” ආරක්ෂක දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කලේ ය.

පසු ගිය මාසයේ ගුවන් ප‍්‍රහාර-පාකිස්ථානයේ ස්වෛරීභාවය එක්සත් ජනපදය විසින් දරුනු ලෙස උල්ලංඝනය කල ප‍්‍රහාර මාලාවක නවතමය - එරට අභ්‍යන්තරයේ මහජන විරෝධතාවන් ඇවිල වූ අතර පාකිස්ථාන ආන්ඩුවට එකටෙක කිරීමේ පියවර මාලාවක් ගැනීමට බල කෙරින. ඇෆ්ගනිස්ථානයේ සිටින එක්සත් ජනපද - නේටෝ හමුදාවන්ට ගොඩබිමින් ආහාර, ඉන්ධන හා වෙනත් සැපයුම් නවතා දැමීම මෙම පියවරයන්ට අයත් විය. මේ හේතුවෙන් එක්සත් ජනපද හමුදා නිලධාරීන්ට, පාකිස්ථානයේ ෆෙඩරල් පරිපාලිත ගෝත‍්‍රික ප‍්‍රදේශවලට (එෆ්ඒටීඒ) සීඅයිඒ සංවිධානය නියමුවන් රහිත යානාවලින් ප‍්‍රහාර එල්ල කිරීමට භාවිත කල ගුවන් කඳවුර හැර යාමට බල කෙරින.

පසු ගිය වසර තුල, පාකිස්ථානය මත රැඳීපැවැත්ම අඩු කරනු පිනිස එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයේ සිටින තම හමුදාවන්ට විකල්ප සැපයුම් මාර්ග වර්ධනය කර තිබේ. එසේවතුදු මේ කෙරී ගෙන යන අවහිර කිරීම බරපතල බාධාවක් වෙයි. පාකිස්ථානය හරහා වූ මාර්ගය ඇෆ්ගනිස්ථානයේ සිටින හමුදාවන්ට සැපයුම සඳහා ඇති කෙටිතම හා ලාභදායී ම මාර්ගය වන අතර එය තව මත් ඇෆ්ගනිස්ථානයේ සිටින එක්සත් ජනපද - නේටෝ හමුදාවන්ට අවිආයුධ නොවන සැපයුම්වලින් කාලකටත් වඩා සපයන මාර්ගය වේ.

නොවැම්බර් 26 වෙනි දා සිද්ධීන් සම්බන්ධයෙන් එක්සත් ජනපද හමුදා පරීක්ෂනයේ තොරතුරු මෙම සතියේ නිකුත් කිරීමට අදහසක් නැත. නමුත් එහි අඩංගු දෑ වෝල් ස්ටී‍්‍රට් ජර්නලය හා අනෙක් පුවත් පත්වලින් කාන්දු වූ පසුව පෙන්ටගන් ප‍්‍රකාශයක් මගින් ද නිව්යෝක් ටයිම්ස් හා අන් ප‍්‍රධාන දෛනික පුවත් පත්වල වාර්තාකරුවන් කල නිල නොවන සම්මුඛ සාකච්ඡා මගින් ද ඒ සොයා ගැනීම් සාරාංශ ගත කෙරින.

පාකිස්ථාන හමුදාවේ හා ආන්ඩුවේ නිලධාරීන්ට වෙනස් ව, එක්සත් ජනපදය තරයේ කියා සිටිනුයේ පලමු ව පකිස්ථානුවන් වෙඩි තැබූ බවත් පකිස්ථාන හමුදා ස්ථානගත කර තිබූ කඳු මුදුන් දෙකෙහි පිහිටීම සම්බන්ධයෙන් කිසි විටෙක ඇෆ්ගනිස්ථානයේ සිටින එක්සත් ජනපද හමුදා අන දෙන්නන් දැනුවත් කර නොතිබූ බවත් ය.

ප‍්‍රහාරයේ නියම ඉලක්කයෙන් සැතපුම් 9ක් දුරින් වූ ස්ථානයකට එලඹෙන ප‍්‍රහාරය එල්ල වෙනු ඇතැ යි කියමින් පාකිස්ථානු සම්බන්ධීකරන නිලධරයාට තමන් වැරදි ස්ථානයක් සැපයූ බව පෙන්ටගනය පිලි ගනී. එමෙන් ම පකිස්ථානු හමුදාව තුල සිටින කොටස් කැරලිකරුවන්ට කල්තියා අනතුරු අඟවතැ යි යන්න සැලකිල්ලට ගනිමින් ඇෆ්ගනිස්ථාන හා පාකිස්ථාන දේශ සීමාවේ තමන් මෙහෙයුමක් දියත් කරන බව ගැන පාකිස්ථානය දැනුවත් කොකල බව ද පෙන්ටගනය පිලි ගනී.

එක්සත් ජනපද පරීක්ෂනයේ සොයා ගැනීම් එලියට පැන්නායින් පසුව, එක්සත් ජනපදය තමන්ගේ ප‍්‍රධාන අන දෙන නිලධාරී, ජෙනරාල් ජේම්ස් මැටිස් ඉස්ලාමාබාද් නගරයට යවා පාකිස්ථානු හමුදාවට කරුනු සාරාංශගත කර දෙන්නට උත්සාහයක් දැරී ය. කෙසේ වෙතත්, පාකිස්ථානු බලධාරීන් කීවේ තමන් ජෙනරාල් මැටිස් පිලිගැනීමට සූදානම් නැති බවයි. එය එක්සත් ජනපද පරීක්ෂනයේ නිගමන සම්බන්ධයෙන් ඔවුන්ගේ කෝපයේත් එවැන්නක් පාකිස්ථානු ජනතාව කෙසේ පිලිගනු ලබන්නේ ද යන්න පිලිබඳ අවබෝධයේත් පැහැදිලි සංඥාවකි.

පාකිස්ථානු හමුදා ප‍්‍රකාශක මේජර් ජෙනරාල් අත්හාර් අබ්බාස් "කරුනු අතින් අඩුපාඩු සහිත” යි කියමින් එක්සත් ජනපද පරීක්ෂන තොරතුරු ප‍්‍රතික්ෂේප කර තිබින. "නිල වාර්තාව ලද පසු..... සවිස්තරාත්මක ප‍්‍රතිචාරයක් දැක්වීමට” ඔහු පොරොන්දු විය.

පාකිස්ථානු ආන්ඩුව හා හමුදා නිලධාරීන් දිගින් දිගට ම චෝදනා කලේ එක්සත් ජනපද -නේටෝ හමුදා සිතා මතා ම තම හමුදා ඉලක්ක කර ගත් බව ය. අවිවාදාත්මක කරුන වන්නේ එක්සත් ජනපදය නැවත නැවතත් දේශ සීමා වැටලීම් කිරීමේත් පාකිස්ථානු ගම්මානවලට ඩ්‍රෝනර් මිසයිල් ප‍්‍රහාර වැස්සවීමේත් අයිතිය පවරා ගෙන තිබූ බව ය.

ඔබාමා යටතේ, වොෂින්ටනය "නේටෝ මිත‍්‍රයකු නොවන ප‍්‍රධාන රටක් වූ” පාකිස්ථානය ඇෆ්ගනිස්ථාන යුද්ධයේ ප‍්‍රධාන පීඩාව දැරිය යුතු යැයි කියමින් එය මත ක‍්‍රමානුකූල ව පීඩන දැතිරෝදය කරකවනු ලැබේ.

දැනට මත්, තලේබාන් හා තලේබාන් මිත‍්‍ර කන්ඩායම් සමඟ සටන් කොට සටන් බිමේ දී අනතුරට පත් වූවේ එක්සත් ජනපදය හෝ එහි නේටෝ මිත‍්‍ර හමුදාවලට වඩා පාකිස්ථානුවන් ය. පෙර යටත් විජිත ස්වාමිවරුන්ගේ ම්ලේච්ඡ හමුදා විධික‍්‍රම භාවිත කරමින් පකිස්ථාන හමුදා ගෙන ගිය කැරලිකරුවන්ට එරෙහි යුද්ධය ගම් මුලුමනින් සමතලා කරමින් දශ ලක්ෂ ගනන් පාකිස්ථානුවන්ට උන්හිටිතැන් අහිමි කල අතර පාකිස්ථාන රාජ්‍යය තුල ජාතික-වාර්ගික ආතතීන් තීව‍්‍ර කලේ ය.

මෑත මාසවල, එක්සත් ජනපදය පකිස්ථානයට ආර්ථික වශයෙන් හිරිහැර කිරීමට ප‍්‍රයත්න දැරී ය. ජල ගැලීමෙන් ඇති වූ විනාශයෙන් දෙවන වසරේ දුන්නේ අල්ප ප‍්‍රමානයක ආධාරයක් පමනි. තව ද එක්සත් ජනපදය ඉස්ලාමාබාදයට දැනුම් දුන්නේ ජාමූ අරමුදල සමඟ තමන්ට ඇති සම්බන්ධය, පාකිස්ථානයට බරපතල ලෙස අවශ්‍ය කෙරෙන නයමුදල ලබා ගැනීමට භාවිත නොකරන බව ය.

පසුගිය මාසයේ ප‍්‍රහාරය කෝටි සංඛ්‍යාත පාකිස්ථානුවන්ට විදහා පෑවේ තම ජනතාව සම්බන්ධයෙන් වොෂින්ටනයේ වූ ඓතිහාසික නොතැකීමත් ආසියාවේ හා මැද පෙරදිග ඔවුන් ගෙන යන කොල්ලකාරී භූ දේශපාලනික කූටෝපායන් සඳහා බලල් අතක් ලෙස පාකිස්ථානය පාවිච්චි කිරීමට ඇති සූදානමත් ය.

ඉස්ලාමාබාදය හා වොෂින්ටනය අතර සම්බන්ධතාව සවිමත් වේ නම් එසේ වන්නේ ඔබාමා පරිපාලනය ඇෆ්පැක් යුද්ධය ලෙස යලි නම් කල යුද්ධයේ දී තමන්ගේ මුල් පෙල භූමිකාවේ බලපෑම සමාජීය වශයෙන් අස්ථාවර වනු ඇතැ යි අර්බුද ග‍්‍රස්ත පාකිස්ථානු ප‍්‍රභූව බිය වීම නිසා ය. දෙවන සාධකය වන්නේ පකිස්ථානයේ ඓතිහාසික පසමිතුරා වන ඉන්දියාව සමග එක්සත් ජනපදය ඇති කර ගනු ඇති, ඇෆ්ගන් ආන්ඩුවේ ප‍්‍රධාන මුක්කුවක් වශයෙන් ඉන්දියාවේ මතුවීම සාදරයෙන් පිලිගැනීම ද ඇතුලත් උද්‍යෝගීමත් සම්බන්ධයක් පිලිබඳ ව පාකිස්ථානු ධනපතියන් තුල ඇති වන බියයි.

වොෂින්ටනය හා ඉස්ලාමාබාදය අතර ආතතීන් පකිස්ථානු සංස්ථාපිතය තුල කන්ඩායමික ගැටුම් තීව‍්‍ර කර ඇත.

බලය ගැනීමට තමන්ගේ කිසිදු සැලසුමක් නැතැ යි පාකිස්ථානු හමුදාව සිකුරාදා ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ය. පාකිස්ථානු සන්නද්ධ හමුදා ප‍්‍රධානී ජෙනරාල් අෂ්ෆාක් පාර්වේස් කයානි උපුටා දක්වමින් එය කියා සිටියේ මිලිටරි කුමන්ත‍්‍රනයක් ගැන කෙරෙන "සමපේක්ෂන” වූකලි "සැබෑ ප‍්‍රශ්නවලින් අවධානය පීලි පැන්නවීමේ බොරු පඹයෙකු” බව ය. එම ප‍්‍රකාශය තව දුරටත් කියා සිටියේ "ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සම්මුති තිබිය නොහැකි බව” කයානිගේ දෘඪතර අදහස බවයි.

ඊට පෙර දා, අගමැති යූසෆ් රාසා ගිලානි අනතුරු අඟවමින් "ඡන්දයෙන් තේරී පත් වූ ආන්ඩුව එලවා දැමීමට කුමන්ත‍්‍රන කෙරෙමින් පවතී” යැයි කල සඳහනට මෙම පකිස්ථානු ඉහල පෙලේ හමුදා නායකයන්ගේ ප‍්‍රකාශය ඉතා විචක්ෂන ප‍්‍රතිඋත්තරයක් නො වී ය. දිගු කලක් පකිස්ථානයේ අධිපති බලය වූ හමුදාව "රාජ්‍යයක් තුල රාජ්‍යයක්” ලෙස කි‍්‍රයා කිරීම ගැන ද ගිලානි හෙලා දුටුවේ ය.

හමුදාව සහ පාකිස්ථානු මහජන පක්ෂය (පීපීපී) නායකත්වය දෙන සිවිල් ආන්ඩුව අතර ආතතීන්ගේ වර්තමාන අවධාන කේන්ද්‍රය වන්නේ ඊනියා "මෙමෝ-ගේට්” [මිලිටරි කුමන්ත‍්‍රනයකට එරෙහිව සර්දාරි විසින් එක්සත් ජනපද සහාය ඉල්ලීම] සිද්ධියයි. පකිස්ථානය අභ්‍යන්තරයේ සිදු කල වැටලීමක දී එක්සත් ජනපදය ඔසාමා බින් ලාඩ්න් ක්ෂනික ව ඝාතනය කිරීමෙන් පසුව, එක්සත් ජනපදයේ පාකිස්ථානු තානාපතිවරයා වූ හුසේන් හකානි විසින් තමා පාකිස්ථානු ජනාධිපති හා (පීපීපී) පක්ෂයේ නායකයා වූ අසිෆ් අලි සර්දාරි වෙනුවෙන් එක්සත් ජනපදය වෙත රහස් යෝජනාවක් කිරීමට යොදා ගනු ලැබී යැයි එක්සත් ජනපද -පාකිස්ථානු ව්‍යාපාරිකයෙකු ප‍්‍රකාශ කිරීමන් අනතුරුව පසුගිය මාසයේ එම තානාපතිවරයා ඉල්ලා අස් විය. වොෂින්ටනය වහා සිදු වෙන්නට යන හමුදා කුමන්ත‍්‍රනය කලින් ම වලක්වාලීමට උදව් කරනු ඇත්තේ නම් පාකිස්ථානය තුල හමුදා මෙහෙයුම් කිරීමට ඉඩ දීමටත් පාකිස්ථානු හමුදා බුද්ධි අංශ යන්ත‍්‍රනයේ නායකත්වය තුල දන්නා හඳුනන එක්සත් ජනපද මිතුරන් ස්ථානගත කිරීමටත් අවකාශ ලබා දීමට මින් යෝජනා කෙරින. හකානි සහ සර්දාරි යන දෙදෙනා ම මෙබඳු යෝජනාවකට තමන්ගේ සම්බන්ධතාවක් නැතැ යි දැඩි ලෙස කියා ඇත. මෙම යෝජනාවේ කර්තෘවරුන් සන්නද්ධ හමුදාවන්ගේ චිත්ත ධෛර්යය බිඳ වැට්ටවීමට ප‍්‍රයත්න දරා ඇති බවත් ඔවුන්ගේ ක‍්‍රියාවන් රාජද්‍රෝහී බවත් කියමින් එම සිද්ධිය සුප‍්‍රීම් උසාවියේ විභාග කල යුතු යැයි ඉල්ලා ඇත.

මෙම යෝජනාව පිලිබඳ සත්‍යතාව බරපතල ලෙස සැක සහිත වුව ද, සර්දාරි හා (පීපීපී) පක්ෂය ජෙනරාල්වරුන්ගෙන් එල්ල වන පීඩනය පිරිමසා ලනු පිනිස වොෂින්ටනයේ ආධාරය ඉල්ලා සිටීම ගැන කිසිදු සැකයක් නැත. මන් ද විශේෂයෙන් ඇෆ්ගන් යුද්ධයේ දී, පෙන්ටගනයේ දිගුකාලීන සහකරුවා හා රාජයාට වඩා ඔවුන් එක්සත් ජනපද අභිලාෂයන් වෙත වඩාත් කීකරු ලෙස නැවුනු බැවිනි. එරට පැවැත්මේ වැඩි කාලයක් තුල, එක්සත් ජනපදයේ ආධාරය ඇති ව පකිස්ථානය ඍජු ව ම පාලනය කල ජෙනරාල්වරුන් පකිස්ථානු මහජනතාවගේ සහ ඔවුන්ගේ ස්වෛරීත්වයේ ආරක්ෂකයන් යැයි උරුමකම් කීම ඇත්ත වශයෙන් ම විකාරයකි.

දශක ගනනාවක් මුලුල්ලේ පකිස්ථානු ප‍්‍රභූව හා එක්සත් ජනපදය අතර ප‍්‍රතිගාමී සන්ධානයේ කඩඇනය බවට පත් ව සිටියේ පාකිස්ථානු හමුදාව ය. ඉතා ගැඹුරු හේතු කරනකොට ගෙන පාකිස්ථානු ධනේශ්වරයේ සියලු කන්ඩායම්වල පන්ති මූලෝපායට මෙම සන්ධානයේ පැවතීම කේන්ද්‍රීය විය. එම හේතුව නම් පකිස්ථානු කම්කරුවන් හා ශ‍්‍රමිකයන් ඔවුන් විසින් මෘග ලෙස සූරාකෑමට ආරක්ෂක පවුරක් වූයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වීමයි.

පාකිස්ථානු මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රික හා සමාජ අභිලාෂයන් ආරක්ෂා කොට ගත හැක්කේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයටත් සමස්ත පකිස්ථානු ධනේශ්වරයටත් විරුද්ධ ව මෙහෙයවෙන සියලු පකිස්ථානු ශ‍්‍රමිකයන්ගේ කම්කරු පන්ති නායකත්වයකින් යුත් ව්‍යාපාරයක් හරහා පමනි.

Share this article: