ශ‍්‍රී ලංකාව: ආන්ඩුව වතුකරය තුල ජනපද පිහිටුවීමට සූදානම් වෙයි

By M. Vasanthan, 6 January 2012

මුදල් ඇමති ද වන ජනාධිපති මහින්ද රාජපක්ෂ අයවැය ඉදිරිපත් කරමින් “1992 වර්ෂයේ වතු පුද්ලීකරනය කල තැන් පටන් ඒවා ඵලදායි ලෙස ප්‍රයෝජනයට යොදා ගෙන ‍නැති” බව කියා සිටි අතර ඉඩම් අත්පත් කර‍ගෙන “30 අවුරුදු බදු විධි විධාන යට‍තේ අක්කර දෙකේ කට්ටි වශ‍යෙන් සුලු ගොවීන් අතර බෙදා දෙනු ඇතැයි” ප්‍රකාශ ක‍ලේ ය. මූල්‍ය පහසුකම්‚ ගුනාත්ම‍කව ඉහල බීජ හා රෝපන ද්‍රව්‍ය ද ඔවුන්ට සපයනු ලැ‍‍බේ” යයි රාජපක්ෂ කී‍වේ ය.

රාජපක්ෂ ඔහුගේ අයවැය කතාවේ දී අත්පත් කර ගැනීමට යන වතු පිලිබඳ විස්තර ඉදිරිපත් නොකලත් එම ප්‍රදේශ මේ වන විටත් සලකුනු කර ඇතැ යි ඇඟ වීය. අත් කර ගන්නා වපසරිය වැවිලි ඉඩම්වලින් සියයට 20ක් තරම් විශාල වන අතර එය ප්‍රධාන වශයෙන් ම තේ වතුවලට බලපානු ඇත.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් මාලනී පීරිස් සන්ඩේ ටයිම්ස් පත්‍රයට මෙසේ කීවා ය “බොහෝ ආයෝජකයන්, වතු කම්කරුවන් හා පිටස්තර අය ඉඩම් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉඩම් පිටස්තරයන්ට දෙන බවට වැරදි වැටහීමක් තියෙනවා.” ඇය තව දුරටත් “සියල්ලන්ට ම වාසි ලැබෙන විධියට සාධාරන බෙදීමක් අපි සහතික කරනවා” යයි පැවසුවාය.

ඉඩම්වල “ සාධාරන බෙදීමක්” යන වචනය කඩතුරාවක් පමනි. ආන්ඩුවේ සැලැස්ම වතුවලින් විශාල ඉඩම් ප්‍රමානයක් විකුනා දැමීම හා ගොවීන් හෝ වෙනත් ආයෝජකයින් ඒවායේ පැලපදියම් කිරීමයි. මෙම යෝජනා ක්‍රමය සූදානම් කර ඇත්තේ “කුඩා වැවිලිකරුවන්” හෝ ඉඩම් නැති ගොවීන් පිලිබඳ අනුකම්පාවකින් නොවේ. වතු ප්‍රදේශ ඇතුලත එවැනි ජනපද පිහිටුවීම මගින් කම්කරුවන්ට එරෙහිව බලමුලු ගැන්වීමට සුලුධනේශ්වර තට්ටු ශක්තිමත් කිරීමට ආන්ඩුව උත්සාහ දරයි.

පසුගිය කාලයේ බලයට පත්වූ ආන්ඩු කම්කරුවන් එකිනෙකාට එරෙහිව කෙටවීම සඳහා ඉඩම් නැති සිංහල ගොවීන් වතු අවට පදිංචි කරවමින් එවැනි ගම්මාන බිහි කර තිබේ. මෙය වතු කම්කරුවන්ට එරෙහි දෙමල විරෝධි වෙනස්කම් කිරීමේ කොටසකි. රාජපක්ෂ ආන්ඩුව විශාල පරිමානයෙන් එවැනි වාසභූමි ඇති කිරීමට උත්සාහ දරමින් සිටියි.

මෙම සැලසුම් ප්‍රකාශ කර ඇත්තේ ඉහල යන මිල ගනන් මධ්‍යයේ උග්‍ර දරිද්‍රතාව‚ වැඩි වැඩියෙන් වැඩ පැවරීම‚ තරුන විරැකියාව හා පහසුකම් හිඟයට එරෙහිව වතු කම්කරුවන් අතර නොසන්සුන්කම ගැඹුරුවෙමින් පවතිත්දී ය. මෙරට කම්කරුවන් අතර වතු කම්කරුවෝ වඩාත් ම පීඩාවට පත් වූ වෝ වෙති. වෘත්තීය සමිතිවල ද උදව් ඇතිව ඔවුන් යලි යලිත් දරිද්‍රතා මට්ටමේ වැටුප්වලට යටත්කර තිබේ.

වතුකරය තුල නොසන්සුන් කම පිපිරී යනු ඇතැයි බලාපොරොත්තුවෙන් මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රනයක් ද වතු දිස්ත්‍රික්කවල ශක්තිමත් කෙරෙමින් පවතී. දැන් යුද හමුදාව නුවරඑලිය දිස්ත්‍රික්කයේ තලවකැලේ කඳවුරක් ඉදිකරමින් සිටී. යුද්ධය අවධියේ සිට යුද හමුදාවට සමාන විශේෂ කාර්ය බලකායේ කඳවුරක් නුවරඑලියේ පිහිටුවන ලදී. කුඩා වතු හිමියන්ගේ ජනපද පිහිටුවීම සඳහා විශාල ප්‍රදේශයක ඉඩම් වෙන් කිරීම, රැකියා හා අනෙකුත් අයිතීන් වෙනුවෙන් සටනට පැමිනෙන කම්කරුවන් බිය වැද්දීම සඳහා ආන්ඩුව හිතාමතා ක්‍රියාවට නඟන සැලස්මකි.

සාධාරන ඉඩම් බෙදීමක් හා පිටස්තරයින්ට ඉඩම් ලබා නොදීම පිලිබද පීරිස්ගේ දෙඩවීම්, මෙම වැඩ පිලිවෙල කෙරෙහි කම්කරුවන් අතර වැඩෙන කෝපය ඉවතට හැරවීමේ වෑයමක් පමනි. එය කම්කරුවන් අතර විරෝධයක් පැනනංවනු ඇති බව හොඳින් දන්නා ඇය, වතුකරයේ ඉඩම් අත්කර ගැනීම “සංවේදි කාරනාවක් ” බව පැවසුවා ය.

කෙසේ නමුත්‚ කම්කරුවන් එයට විරුද්ධ වන බව දන්නා වෘත්තීය සමිති ආන්ඩුවේ සැලැස්ම ඔවුන්ගෙන් වසන් කරයි. මෙය දන්නේ කම්කරුවන් සුලු පිරිසක් පමනි. සැබෑව නම් වෘත්තීය සමිති මුලුමනින් ම ආන්ඩුවට සහයෝගය දෙමින් සිටින බවයි.

ආන්ඩුවේ සූදානම පිලිබඳව විමසූ විට සීඩබ්ලිව්සී සභාපති මුත්තු සිවලිංගම් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ ප්‍රකාශ කලේ ය: “ඉඩම් දිය යුත්තේ කම්කරුවන්ටයි. ඉඩම් පිටස්තරයින්ට දුන්නොත් අපි ඒකට විරුද්ධව සටන් කරනවා. ” එහෙත් “වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සැලැස්ම ගැන විස්තර නොදීම” ගැන ඔහු කෙඳිරිලි නැඟීය. සිවලිංගම් රාජපක්ෂ ආන්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකු වන අතර සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමන් කැබිනට් ඇමතිවරයෙකු ලෙස සේවය කර යි.

එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ලංකා ජාතික වතු කම්කරු සංගමයේ (එල්ජේඊඩබ්ලිව්යූ) නායක ආර් යෝගරාජන්, ඉඩම් වෙනත් බෝග හෝ නිවාස ගොඩනැගීමට නොව තේ හා රබර් සඳහා යොදා ගත යුතු බවට ආන්ඩුවෙන් ඉල්ලා තිබෙන බව වීරකේසරී පත්‍රයට පැවසී ය. ඉහල ඵලදායකත්වයක් ලබාගැනීමට නම් මෙම ඉඩම්වලට අත්දැකීම් සහිත කම්කරුවන් හා තරුනයන් යොදාගත යුතු යයි ඔහු ආන්ඩුවට උපදෙස් ද දුන්නේ ය.

සීඩබ්ලිව්සී හා එල්ජේඊඩබ්ලිව්යූ ඇතුලු වතු වෘත්තිය සමිති ආන්ඩුවේ සැලැස්ම වසන් කරති. විශේෂයෙන් ම සීඩබ්ලිව්සීය බොහෝ කලක සිටම සමහර වතු කැබලි කොට කම්කරුවන්ට දිය යුතු බව කියා සිටී. එය කම්කරුවන් කුඩා වතු හිමියන් බවට හැරවීමේ ප්‍රතිගාමී සැලැස්මකි.

වතු කැබලි කිරීම කම්කරුවන්ගේ රැකියා හා ජීවන තත්වයන්ට ප්‍රධාන පහරක් වනු ඇත. වැලිඔය වත්තේ කම්කරුවෙක් ආන්ඩුවේ පියවර පිලිබඳව සිවලිංගම්ගෙන් ප්‍රශ්න කලේ ය. ඔහු සැලැස්ම වසං කිරීමට උත්සාහ කල අතර කම්කරුවන්ට ඉඩම් ලැබෙනු ඇති බව පැවසී ය.

ලෝසවෙඅට කතා කරමින් කම්කරුවෙක් කරුනු පැහදිලි කලේ: “මේ ආන්ඩුව අපිට ඉඩම් දෙනු ඇතැයි මම විශ්වාස කරන්නෙ නෑ...ඉඩම් දුන්නත් මුදල් නැතිව අපි කොහොම ද වගා කරන්නේ? මෙය ක්‍රියාත්මක කලොත් අපිට ලොකු ප්‍රශ්න ඇති වෙනවා. අපගේ ද දරුවන්ගේ ද රස්සා නැති වෙනවා. අපි සම්බන්ධයෙන් සලකන කල, සීඩබ්ලිව්සී ය මේ සැලැස්මට උදව් කරන එක භයානකයි”.

වෘත්තීය සමිතිවල තරබාරු නිලධරයන්ට කම්කරුවන්ගේ රක්ෂා හෝ ජීවන තත්වයන් ගැන තැකීමක් ඇත්තේ නැත. ඔවුහු සමිති පවත්වාගෙන යන්නේ ධනය හරි හම්බ කිරීමේ මාධ්‍යයන් ලෙස ය. ඔවුන්ගෙන් සමහරෙක් වතු හිමියෝ ය‚ ඇතැමෙක් ව්‍යාපාරිකයෝ ය. අනෙකුත් නිලධරයෝ ආන්ඩුවේ ඇමතිවරු‚ නියෝජ්‍ය ඇමතිවරු‚ මන්ත්‍රීවරු හා රාජ්‍ය නිලධාරීන් ලෙස විශාල වරප්‍රසාද හා වාසි ලබමින් සැප විඳිති.

වතුකරයේ බොහෝ වතු කැබලි කිරීමේ පුලුල් සැලැසුම් රජයට ඇත. එය මේ වන විටත් රජයට අයත් ජනවසම වතු පෞද්ගලික ආයෝජකයින්ට විකිනීම අරඹා ඇත. කම්කරුවන්ට රැකියා පමනක් නොව අපිරිසිදු ලයින් කාමර ද අහිමි වනවා ඇත.

බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි තිස් අවුරුදු වාර්ගික යුද්ධය වතු කම්කරුවන්ට එරෙහිව ද යොදාගනු ලැබිනි. එය අවශේෂ කම්කරුවන්ට එරෙහිව ද යොදා ගත්තේය. කුපිත කිරීමට‚ බියවැද්දීමට‚ අත්අඩංගුවට ගැනීමට හා කායිකව පහර දීමට එය කඩතුරාවක් කර ගත්තේ ය. යුද්ධය අවසන් වීමෙන් පසු කොලඹ ආන්ඩුව පොලිස් රාජ්‍ය ක්‍රමවේදය යොදා ගනිමින් මෙම ජනපදකරනයේ කුරිරු සැලැසුම් සූදානම් කරමින් සිටී. මෙය රටේ සමස්ත කම්කරු පන්තියට ම එරෙහිව දැන් සූදානම් කෙරෙමින් පවතින ප්‍රහාරයන්ගේ කොටසකි.

Share this article: