ශ්‍රී ලංකාව: වැඩ වේගවත් කිරීමට එරෙහි වතු කම්කරුවන්ගේ සටනට සහාය ‍දෙනු

Sri Lanka: Support the struggle of plantation workers against higher workloads

By the Socialist Equality Party, 18 January 2012

වැලිඔය හා බොගවන්තලාව වතු කම්කරුවන්, වැඩිකල නිෂ්පාදන ඉලක්කවලට එරෙහි තම සටන පාවාදීමට වෘත්තීය සමිති ගන්නා උත්සාහය ප්‍රතික්ෂේප කල යුතු ය. සියලුම වතු කම්කරුවන් මෙම කොන්දේසිවලට එරෙහිව ගෙනයන සටනට සහාය දිය යුතු ය‚ එසේ නොවුනහොත් කලමනාකරනය වතුකරය පුරා මෙම කොන්දේසි කම්කරුවන් මත පටවනු ඇත.

සාධාරන මාසික වැටුපක් සඳහා හා ඉහල නිෂ්පාදන ඉලක්ක පැනවීමේ නියෝගවලට එරෙහි සටනට ආරම්භකත්වය ගැනීමට, වෘත්තීය සමිති වලින් ස්වාධීනව, සාමාජිකයින්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩ නගන ලෙස සමාජවාදී සමානතා පක්ෂය, (සසප) කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

දෙසැම්බරයේ සිට වැලිඔය කම්කරුවන් දලු නෙලීම දිනකට කිලෝග්‍රෑම් 17 සිට 20 දක්වා වැඩි කිරීමේ ඉලක්කය පිලිගැනීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ ආකාරයට ම දිනකට කිලෝග්‍රෑම් දෙකකින් තමන්ගේ ඉලක්ක වැඩිකිරීමට එරෙහිව බොගවන්තලාව කම්කරුවෝ මාස ගනනක් තිස්සේ විරෝධය දක්වමින් සිටිති. සමාගම් ප්‍රකෝපකාරී ලෙස නව ඉලක්ක මත පදනම්ව ඊට අනුකූල වන වැටුප් කප්පාදුවක් සමග ජනවාරි මාසය සඳහා වැටුප් සකස් ක‍ර තිබුනි.

ජනවාරි 10දා‚ වටවල වැවිලි සමාගමට අයත් වැලිඔය වතුයායේ කම්කරුවන් 1,200ක් හා බොගවන්තලාව වැවිලි සමාගමේ වතු පහක කම්කරුවන් 4,000ක් සංශෝධිත වැටුප් පිලිගැනීම ප්‍රතික්ෂේප කලහ. කොටියාගල‚බොගවාන‚බ්‍රෙඩ්වෙල්‚බොගවන්තලාව හා ටින්ට්සීන් යන බොගවන්තලාවේ වතු පහක‚ වතු කම්කරුවෝ වැඩවර්ජනයකට එලඹුනහ.

විරෝධතාව පැතිරේ ය යන බියෙන් නව ඉලක්ක භාර ගන්නා ලෙස කම්කරුවන්ට බල කිරීම සඳහා වෘත්තීය සමිති මැදිහත් වූහ. ආරම්භයේ පටන් ම ප්‍රධාන වතු කම්කරු සංගමය වන ලංකා කම්කරු කොන්ග්‍රසය කම්කරුවන්ගේ ඉල්ලීමට විරුද්ධ වූ අතර සමාගම්වලට සහාය දැක් වී ය. සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමන් කැබිනට් ඇමතිවරයෙකු වන අතර වතු අයිතිකාරයෙකු ද වෙයි.

අනෙකුත් සමිති කම්කරුවන් කෙරෙහි අනුකම්පාවක් මවා පෙන්වයි. ජනවාරි 13දා‚ ලංකා ජාතික වතු කම්කරු සංගමයේ, ලංකා කම්කරු සන්ධානයේ හා ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමයේ නායකයෝ බොගවන්තලාව වැවිලි සමාගම හා කම්කරු ඇමති ගාමිනී ලොකුගේ සමග සාකච්ඡාවක් පැවත් වූ හ.

ජනවාරි 15 තයිපොන්ගල් නිවාඩු දිනට පෙර වැටුප් ලබා දීම පිනිස තමන්ට හැකි උපරිමය කරමින් සිටින බව පෙන්වීම සඳහා වෘත්තීය සමිති රැස්වීමට හවුල්වූහ. කෙසේ නමුත්‚ සමාගම් එයට එකඟ වීම ප්‍රතික්ෂේප කලේ ය. ඊට පසුව සමිති නායකයෝ, නුදුරු අනාගතයේ දී ප්‍රශ්නය විසඳීමට ඇමති පොරොන්දුවක් දී ඇති බව පවසමින්, අඩුකල වැටුප වැටුප් අත්තිකාරමක් ලෙස පිලිගෙන ආපසු වැඩට යන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලූහ.

කඳුරට ජනතා පෙරමුන හා කම්කරුවන්ගේ ජාතික සමිති සංගමය යන සමිති දෙක මෙම සැලැස්මට සහාය දැක්වූහ.

අඩුකල වැටුප් පිලිගෙන වර්ජනය අතහැරීමට අකැමතිවූ වැලිඔය කම්කරුවන් ආපසු වැඩට යැවීමට පෙලඹවූයේ ද එම සමිති විසින්ය. හැටන්හි සහකාර කම්කරු කොමසාරිස් යතා කාලයේ දී වැටුප් අඩුකිරීම පිලිබඳව සොයා බැලිමට පොරොන්දු වී ඇතැයි වෘත්තීය සමිති කියා සිටිති. තව දුරටත් සාකච්ඡා ජනවාරි 23ට යොදා ගෙන ඇත.

වෘත්තීය සමිති හොඳින් ම දන්නා පරිදි‚ කම්කරු ඇමති ලොකුගේගේ හා හැටන්හි සහකාර කම්කරු කොමසාරිස්ගේ පොරොන්දු කිසිසේත්ම වැදගැම්මකට නැත. වෘත්තීය සමිතිවල ප්‍රමුඛ සහාය ඇතිව කම්කරුවන් රවටා ආපසු වැඩට යවා තිබිය දී ආන්ඩුව, පොරොන්දු හමස් පෙට්ටියේ දානවා ඇත. ඇත්ත කාරනය නම්, වෘත්තීය සමිති වැඩිකල ඉලක්ක පැටවීමට සමාගම්වලට උදව් කලේය යන්නයි.

ආරම්භයේ සිට ම වෘත්තීය සමිති, සෑම විරෝධතාවක්ම විනාශ කිරිමට වැඩ කර ඇත. වැලිඔය කම්කරුවෝ දෙසැම්බර් 14වැනිදා සිට සතියක් තිස්සේ වැඩ වර්ජනය කලේ, අලුතින් පැනවූ වැඩ ඉලක්කයන්ට විරුද්ධව ය. ලංකා කම්කරු කොන්ග්‍රස් කම්කරුවෝ එහි නායකයින්ගේ අනට පටහැනිව වර්ජනයට හවුල් වූහ.

කඳුරට මහජන පෙරමුනු නායක පී.රාධක්‍රිෂ්නන් හා කැබිනට් ඇමති මහින්දානන්ද අලුත්ගමගේ වතුවල සංචාරය කල අතර, සමාගම් නිෂ්පාදන ඉලක්ක වැඩි කිරීම නවතා දැමීමට එකඟ වී ඇතැයි බොරු දෙසාබාමින් වැඩවර්ජකයින් රැවටූහ. කම්කරුවෝ ආපසු වැඩට ගිය නමුත් අලුත් ඉලක්ක අනුව වැඩ කිරීම ප්‍රතික්ෂේප කලහ.

ඊට පසුව වටවල වතු සමාගම, වැලිඔය කම්කරුවන් බිය වැද්දීමට උත්සාහ ගත්තේ ය. කලමනාකරනය විසින් කරන ලද පැමිනිලි මත පොලිසිය දෙවතාවක දී, කම්කරුවන් වැඩට යෑමෙන් වැලැක්වූ බවට එල්ල කල චෝදනාවලට උත්තර දීමට වෘත්තීය සංගමයේ ශාඛා නායකයින් හතර දෙනෙකු කැඳවා ප්‍රශ්න කලේය.

විරෝධය අවසන් කිරිමට මංමුලා සහගතව සිටි‚ ලංකා ජාතික වතු කම්කරු සංගමය‚ කම්කරු ජාතික සංගමය හා කඳුරට ජනතා පෙරමුන, දෙසැම්බර් 23දා සමාගම සමග රැස්වීමට සහභාගී වෙමින්, කිලෝග්‍රෑම් 3ක් වෙනුවට 2කින් ඉලක්කය වැඩි කිරීමේ “ සමුමුතියකට” එකඟ වූහ. කෙසේ නමුත්‚ කම්කරුවෝ යෝජනාව ප්‍රතික්ෂේප කලහ.

පසුගිය මාර්තු මාස‍යේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ පිටුබලය දුන් නිෂ්පාදනය ඉහල දැමීම ඇතුලත් ගිවිසුමකට වෘත්තීය සමිති නායකයින් අත්සන් කරනු ලැබූවේ, ඊට හිලව් වශ‍යෙන් සොච්චම් වැටුප් වැඩිවීමකට එකඟ වෙමින්ය. ගිවිසුම ඉතා පැහදිලිව ‍‍මෙ‍ලෙස සටහන් ක‍ලේ ය: "වතු අධිකාරීන් හා වෘත්තීය සමිති ක්‍රියාකාරී කමිටුව අතර සාකච්ඡා මගින් වතු මට්ටමේ නිෂ්පාදන ඵලදායිත්වය වැඩි කිරීමට සහාය දැක්වීමට වෘත්තීය සමිති එකඟවී ඇත.” කම්කරුවන්ට ගිවිසුම තුල කිසිදු හඬක් ඇත්තේ නැත.

අමතර වැඩ පැටවීම වතු දෙකකට පමනක් සීමා ‍නො‍වේ. විශාල ලාභයක් උකහා ගැනීම ද ඉන්දියාව‚ කෙන්යාව හා චීනය ඇතුලත් ‍තේ නිපදවන රටවල් සමග තරග කිරීම ද සඳහා ඉහල ඵලදායිතාවක් අත්කර ගැනීමේ සමාගම්වල තල්ලුව උත්සන්න වී ඇත.

මේ වන විටත් සමාගම් ඉහල ලාභ උපයමින් සිටියි. උදාහරනයක් වශ‍යෙන් වටවල සමාග‍මේ ශුද්ධ ලාභය 2008දී රුපියල් මිලියන 75 එනම් ඩොලර් 660‚000 සිට 2010 දී මිලියන 642 දක්වා පිමිමකින් ඉහල ගියේ ය. ප්‍රධාන විධායක නිලධාරී ඩෑන් ‍සිවරත්නම්, ලාභ අනුපාත වැඩි වුනේ "ප්‍රධාන වශ‍යෙන් ම පලදායකත්ව‍ෙය් ශක්තිමත් වර්ධනය හා ගුනාත්මක ප්‍රවර්ධනය නිසා ” බව පැවසී ය.

ඒ හා සමානව බොගවන්තලාව වැවැලි (සමාගම) 2010 – 2011 මුදල් වර්ෂයේ පලමු භාගයෙහි රුපියල් මිලියන 118ක ශුද්ධ ලාභයක් ලැබුවේ ය‚ එය වසරකට සියයට 4ක වැඩිවීමකි.

මේ ලාභ උපයන්නේ කම්කරුවන්ගේ වියද‍මෙනි. වැඩි‍යෙන් තේ දලු නෙලන්නේ නම් දැනට කම්කරුවන්ට සුලු දිරිදීමනාවක් උපයා ගත හැක. පලදායිතා ඉලක්ක වැඩි කරමින් සමාගම් මෙම කාලකන්නි දීමනා‍ව පවා කම්කරුවන්ට අහිමි කිරීමට උත්සාහ දරති.

වතු කම්තරු‍වෝ ශ්‍රී ලංකාවේ වැඩි‍යෙන් ම පීඩිත කම්කරුවන් අතරට ගැනෙති.‍ බො‍හෝ වතු කම්කරු‍වෝ වහලුන් ලෙස දකුනු ඉන්දියාවෙන් ගෙන ආ අයගෙන් පැවත එන අතර ‍කතා කරන්නේ දෙමල භාෂාව ය. කම්කරු පන්තියේ අනෙකුත් ‍කොටස්වලින් ඔවුන් වෙන් කර තැබීම පිනිස දේශපාලන අවියක් ලෙස නොකඩවා දෙමල වි‍රෝධී වෙනස්කම් කිරීම යොදාගනු ලැබ ඇත.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) විරුද්ධව යයි පවසමින් බලයට පත් ආන්ඩු දෙමල සුලුතරයේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මැඩීම සඳහා ගෙන ගිය යුද්ධ‍යට සියලු ම වතු කම්කරු සමිති සහ‍යෝගය දැක්වූහ. යුද්ධය, සමස්තයක් ලෙස කම්කරු පන්තියේ අරගලයන්ට එරෙහි කඩතුරාවක් ‍ලෙස ද යොදා ගැනුනි.

කම්කරුවන් වෘත්තීය සමිතිවලින් කැඩී වෙන්වී සිය මුලික අයිතීන් සඳහා සටන ගෙනයාම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩ නැගිය යුතු ය. ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින් රැස්වී සිය ඉල්ලීම් කෙටුම්පත් කල යුතුය. දැනට වතුකරයේ සේවා තත්වයන්‚ වැටුප් ක්‍රම හා ලයින් නිවාස පවතින්නේ අඩ-වහල් තත්වයකය. මෙය වෙනස් කල යුතු ය.

සමාජවාදී සමානතා පක්ෂය‚

* වැඩි වැඩ නොව‚ යහපත් සේවා තත්වයන්‚ වැටුප් සහිත නිවාඩු‚ වෛද්‍ය රැකවරන හා විශ්‍රාම වැටුප්.

*දෛනික වැටුප් ක්‍රමය අහෝසි කිරීම හා මාසික වැටුප් ක්‍රමයක් ඇති කිරීම. මාසික වැටුප අඩු තරමින් රුපියල් 30‚000ක් විය යුතුය. මාසික වැටුප ජීවන වියදමට අනුකූල වන පරිදි වැඩි කිරීම.

* ප්‍රමානවත් ජලය‚ සනීපාරක්ෂක පහසුකම් හා විදුලිය සහිත යහපත් නිවාස සැපයීම ඇතුලු අයිතීන් සඳහා පෙනී සිටි යි.

මෙම අයිතීන් දිනා ගත හැක්කේ ලාභය සඳහා නොව මානව අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා සමාජවාදී පදනමක ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනි. ඒ සඳහා වන අරගලය, රාජපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන සටන හා සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැඟීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමේ අරගලය සමඟ බැඳී පවතී.

වතු කම්කරුවන්ගේ මිතුරන් වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවර ක්‍රියාවට නගන මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ කුරිරු ප්‍රහාරයන්ට මුහුන දෙන අවශේෂ කම්කරුවන්ය. ආන්ඩුව හා ධනේශ්වර ක්‍රමය විසින් පීඩාවට පත්කර ඇති ගම්බද දුගීන්ගේ සහාය මෙම සටනට දිනාගැනීම පිනිස කම්කරුවන් ග්‍රාමීය දුගී ජනතාව වෙත හැරිය යුතු ය.

මෙම සටන සමාජවාදය සඳහා වන ජාත්‍යන්තර සටනේ කොටසකි. සමාජවාදී සමානතා පක්ෂය, දකුනු ආසියාවේ එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන පලල් අරගලයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා- ඊලම් සමාජවාදී සමුහාන්ඩුවක් සඳහා සටනට උරදී සිටියි. මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් කිරීමට අවශ්‍ය මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීම සඳහා එයට බැ‍ඳෙන ලෙස අපි සියලු ම කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: