එක්සත් ජනපද සෙනේට් සභිකයෝ ගිනිකොන දිග ආසියාවේ ආතතීන් පතුරුවා හරිති

US Senators escalate tensions in Southeast Asia

By Joseph Santolan, 24 January 2012

පිලිපීනය, වියට්නාමය හා බුරුමයේ සතියක සංචාරය 20දා නිමාවට පත්කල එක්සත් ජනපද සෙනේට් සභිකයින් වන ජෝන් මැකේන් හා ජෝසෆ් ලිබර්මාන්, එම කාලය තුල රාජ්‍ය නායකයින් හා විපක්ෂ නායකයින් හමුවූහ. රටවල් තුනෙහිම කල සංචාරය, කලාපය තුල චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි හා දේශපාලන කූටෝපායන්, හිතා මතා හා මැනවින් පතුරුවා හැරීමක් සලකුනු කලේය.

සෑම රැස්වීමකදීම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ භූ දේශපාලනික ප්‍රතිවාදියා වන චීනයට එරෙහි තම අවශ්‍යතා අවධාරනය කරනු දැකගත හැකි විය. දකුනු චීන මුහුදේ වැදගත් මුහුදු මාර්ග හා තෙල් සම්පත් කෙරෙහි වොෂින්ටනයේ ආසක්තයන් මැකේන් හා ලිබර්මාන් යලි යලිත් අවධාරනය කලහ. මතභේදයට තුඩුදී ඇති මුහුදු ප්‍රදේශයන්ට අයිතිවාසිකම් පාන රටවල් හතකි. එක් පසෙකින් ෆිලිපීනය හා වියට්නාමයත් අනෙක් පසින් චීනයත් අතර මෑතකදී උනුසුම් ගැටුම් හටගත්තේය.

මැකේන් සෙනේට් සන්නද්ධ හමුදා කමිටුවේ නම්කල රිපබ්ලිකානු සාමාජිකයා වන අතර ලිබර්මාන් කමිටු සාමාජිකයෙකි. ඔබාමා පාලනයේ කොටස්කරුවන් නොවූවත් ඔවුන්ගේ කතා හා සාකච්ඡා කලාපීය නායකයින් හමුවේ සැලකිය යුතු බරක් දරයි.

පිලිපීනයේදී සෙනේට් සභිකයින්, ජනාධිපති බෙනිග්නෝ අකිනෝ ද විදේශ කටයුතු ලේකම් ඇල්බට් ඩෙල් රොසයිරෝ හා ආරක්ෂක ලේකම් වෝල්ටෙයාර් ගැස්මින් ද හමුවිය. ඔවුහු, ජනවාරි 26දා වොෂින්ටනයේදී නාවික ආරක්ෂාව පිලිබඳ ද්විපාර්ශවික සාකච්ඡාවන් සඳහා වැඩසටහනකට එකඟ වූහ. ඩෙල් රොසයිරෝ හා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් අතර ද ගැස්මින් හා ආරක්ෂක ලේකම් පැනිට්ටා අතර ද සාකච්ඡා පැවැත්වෙයි. මැයි මාසයේදී ජනාධිපති ඔබාමා හා අකීනෝ ධවල මන්දිරයේදී හමුවනු ඇත.

මැනිලාහි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පැවති මාධ්‍ය සමුලුවක දී සෙනේට් සභිකයින් එක දිගටම දකුනු චීන මුහුද හැඳින්වූයේ බටහිර ෆිලිපීන මුහුද ලෙසය. මෙම නම් පටබැඳීමේ මාරුව ෆිලිපීනය තුල නීතිගත කරන ලද්දේ 2011 ජූනි මාසයේදීය. මතභේදාත්මක මුහුදු ප්‍රදේශයට ෆිලිපීනයේ හිමිකම් පෑම පිනිස ආධාරකයක් ලෙස සැලසුම් කරන ලද මෙම ප්‍රකෝපකාරී පියවර තුලින්, ගැටුම මත ජාතිකවාදී උත්සන්නියක් ඇතිකිරීම ද අරමුනු කරයි. මැකේන් හා ලිබර්මාන් මෙම නාමය කර තබාගැනීම, ෆිලිපීනයේ හිමිකම් පෑම පිලිගැනීමකට සමානවේ.

මැකේන් තවත් අඩියක් පෙරට ගියේය. මැකේන් පැවැත්වූ මාධ්‍ය සමුලුවේ දී දකුනු චීන මුහුදු ප්‍රදේශයේ එක්සත් ජනපද මැදිහත්වීම “තවදුර ඉදිරියට යා යුතු” යයි කියා සිටි බව ෆිලිපීන ඩේලි ඉන්ක්වයරර් පත්‍ර‍යෙහි උපුටා දැක්වීය. “එක්සත් ජනපදය පිලිගන්නේ කුමන ප්‍රකාශ ද අප පිලි නොගන්නේ කුමන ප්‍රකාශ ද සහයෝගය දීමට සූදානම් වීමේදී අප ගන්නා පියවර ද” පිලිබඳව එක්සත් ජනපදය අ‍ෙනක් රටවල දැගැනීමට සැලැස්විය යුතුය. මෙය වනාහි කලාපය තුල එක්සත් ජනපදයේ මැදිහත්වීම ආක්‍රනික ලෙසින් පුලුල් කිරීමකි.

දකුනු චීන මුහුදු කලාපය තුල එක්සත් ජනපදයට “ජාතික අවශ්‍යතාවක්” පවතින බවත් තමන් “ආසියාව තුල වාසය සඳහා යලිත් පැමින සිටින” බවත් 2010 ආසියාන් සමුලුවේදී රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් විසින් ප්‍රකාශ කල විට එය බෝම්බයක් අතහැරියාට සමාන විය. චීන විදේශ ඇමති ක්ලින්ටන්ගේ ප්‍රකාශ විස්තර කලේ, “මුලුමනින්ම පාහේ චීනයට එල්ලකල ප්‍රහාරයක්” ලෙසය. ක්ලින්ටන්ගේ අදහස් දැක්වීමට පූර්වයෙන් වොෂින්ටනය, දකුනු චීන මුහුදු ප්‍රදේශ පිලිබඳව නිල ආස්ථානයක් ගෙන නොතිබුනි. ක්ලින්ටන්ගේ ප්‍රකාශ, ප්‍රතිවාදීන්ගේ හිමිකම් පෑම් අතර “මැදිහත්කරුවෙකු” වීමට වොෂින්ටනයට පදනම සකස් කල අතර බීජිනය එයට දැඩි සේ විරුද්ධ විය.

දකුනු චීන මුහුදේ එක්සත් ජනපදයට “ජාතික අවශ්‍යතාවක් ඇතැයි” ප්‍රකාශ කරද්දී ඔබාමා පාලනය, මතභේදාත්මක මුහුදු සීමවේ ප්‍රතිවාදී හිමිකම් පෑම පිලිබඳව ආස්ථානයක් නො‍ෙගන සිටියේය. කෙසේ වෙතත් වොෂින්ටනයේ ස්ථාවරය වියට්නාමය හා ෆිලිපීනය දිරිමත් කල අතර එම දෙරට, චීනයට එරෙහිව සිය හිමිකම් පෑම වඩාත් දැඩි ලෙස අවධාරනය කිරීමට පටන් ගත්තේය.

මැකේන් දැන් වොෂින්ටනයට කරන කැඳවීම ඇඟවුම් කරන්නේ, එය වලංඟු යයි සලකන්නේ කුමන ප්‍රකාශ ද, එසේ නොසලකන්නේ කුමන ඒවා ද හා මෙම ප්‍රකාශ බලගැන්වීමේදී ඊට සහාය දීමට තමන් සූදානම් වන්නේ කෙසේ ද යන්නයි. විය හැකි එකම ප්‍රතිපලය, දකුනු චීන මුහුද පිලිබඳව බීජිනයේ දැඩි ස්ථාවරය ලිහිල් කිරීම හෝ අතහැර දමන ලෙස වොෂින්ටනය අවධාරනය කරනු ඇතැයි යන්නය.

මැකේන් හා ලිබර්මාන්ගේ සංචාරය අවසන් වීමත් සමග ජනවාරි 19දා ෆිලිපීනයේ බටහිර ආඥාපති ලුතිනන් ජෙනරාල් ජුඅන්චෝ සබාන්, ෆිලිපීනය හා එක්සත් ජනපදය මාර්තුවේදී යුද අභ්‍යාස පවත්වනු ඇති බව නිවේදනය කලේය. දෙරටේ මැරීන් සේනාංක පලවාන් වෙරලින් ඔබ්බෙහි පිහිටි තෙල් අටල්ලට කඩා වදින බව ඔහු පැවසීය. මෙම මුහුදු ප්‍රදේශයට චීනය හා ෆිලිපීනය යන දෙරටම හිමිකම් කියයි. මෙම ඒකාබද්ධ අභාසයන්හි ඉලක්කය චීනය නොවන බවට යලි යලිත් කරන නිල නිවේදන මධ්‍යයේ, හටගන්නා තත්වය විශ්වාසනීයත්වය බිඳ දැමීමේ අද්දරටම ගෙනැවිත් ඇත.

මෙම තත්වයට ප්‍රතිචාර දක්වමින් චීන රාජ්‍ය මාධ්‍ය වන සින්හුවා ප්‍රවෘති ඒජන්සිය මෙසේ සඳහන් කලේය. “ආසියා පැසිෆික් කලාපය වෙත වොෂින්ටනයේ හැරීම ගැන යමෙකුට කල හැකි දෙයක් නොමැති නමුත්, එහි සැබෑ අභිලාෂයන් පිලිබඳ ප්‍රශ්න මතුව තිබේ.”

එක්සත් ජනපදය පසුගිය වසරේ පිලිපීනයට සැපයූ නැවට අමතරව ඉදිරි මාසවල දී තවත් අලුත් යුද නැව් දෙකක් සපයනු ඇති බව මැකේන් නිවේදනය කලේය.

මැකේන්ගේ වියට්නාම් සංචාරය ද එලෙසින්ම ප්‍රකෝපකාරීය. 1984 සිට වොෂින්ටනය වියට්නාමයට බිහිසුනු අවි සැපයීමට එරෙහි සම්බාධක පනවා තිබුනි. 2011 අගෝස්තුවේ වියට්නාමයට කල සංචාරයේදී එක්සත් ජනපද සෙනේට් සභික ජිම් වෙබ්, ඔහු ද සෙනේට් සන්නද්ධ හමුදා කමිටුවේ සාමාජිකයෙකි, සම්බාධක ඉවත් කරන ලෙස කියා සිටියේය. මැකේන් හා ලිබර්මාන්, මෙම සම්බාධක ඉවත් කරන්නේ කවදා ද හා එක්සත් ජනපදය වියට්නාමයට ආයුධ සම්පාදනය ඇරඹනු ඇත්තේ කවදා ද යන ප්‍රශ්න පිලිබඳව නිශ්චිත අඩිතාලම දැමීමට කටයුතු කරමින් සිටියි.

විශේෂකොට ගුවන්යානාවන්ට පහරදීමේ පද්ධතීන් ඇතුලු, වියට්නාමය එක්සත් ජපදයෙන් ලබාගැනීමට කැමැත්ත දක්වන “නවීන අවි ආයුධ පිලිබඳ දිගු ලැයිස්තුවක්” ඉදිරිපත්කොට ඇතැයි ලෙබර්මාන් නිවේදනය කලේය. “වියට්නාමය අපගෙන් මිලට ගැනීමට හෝ ලබාගැනීමට බලාපොරොත්තු වන නිශ්චිත අවි පද්ධතීන් ගැන සඳහන්කොට තිබෙන අතර එම පද්ධතීන් ඔවුන් වෙත පැවරීමට අපි සූදානමින් සිටින්නෙමු...එහෙත් එය ඔවුන් තමන්ගේ මානව අයිතීන් පිලිබඳ වාර්තාව වැඩි දියුනු කර නොගතහොත් සිදු නොවනු ඇත.” ඔහු එසේ පැවසීය.

“ඊට හිලව් වශයෙන්, මානව හිමිකම් පිලිබඳ තම වාර්තාව යහපත් අතට පත්කිරීම” සංකේතවත් කරන ඇඟවුම් හැනෝයි වෙතින් නිකුත් වන්නේ නම්, වොෂින්ටනය තම ආයුධ සම්බාධක ඉවත් කරනු ඇති බව ලිබර්මාන්ගේ ප්‍රකාශ තුලින් එලි දැක්වෙයි. ලිබර්මාන් පමනක් නොව වියට්නාමයේ සිටි හිටපු එක්සත් ජනපද යුද සිරකරුවෙක් වන මැකේන් ද හවුල්ව නිකුත් කල මෙම නිවේදනය, ඇමරිකානු ජනතාවට දිරවිය හැකි පරිදි ගනන් බලා කරන ලද්දකි.

ලිබර්මාන් හා මැකේන් බුරුමය තුලදීද ගෙන ගියේ එවැනිම න්‍යාය පත්‍රයකි. ඔවුහු මෑතකදී නිදහස් කල විපක්ෂ නායිකා අවුන් සන් සුකී සමග ඡායාරූප වලට පෙනී සිටියහ. බුරුම ආන්ඩුව මාර්තු මාසයේදී “සාමකාමී හා සාධාරන” අතරු මැතිවරන පැවැත්වීමට කටයුතු කරන්නේ නම් එක්සත් ජනපදය, බුරුමයට එරෙහි ආර්ථික තහංචි ඉවත් කරනු ඇතැයි මැකේන් එහිදී නිවේදනය කලේය. මෙම පියවර, චීනය සමග එරට ගෙනයන ආර්ථික හා දේශපාලන බැඳීම් වලින් බුරුමය ලිහා ගැනීමේ වොෂින්ටනයේ ව්‍යාපාරයෙහි කොටසකි.

බුරුම ආන්ඩුව චීනය සමඟ ගෙන ගිය වේල්ලක් ඉදිකිරීමේ ඒකාබද්ධ ව්‍යාපෘතිය හදිසියේම අවලංඟු කල 2011 අවසන් භාගයේ සිට, බුරුමය සමඟ එක්සත් ජනපද සම්බන්ධතා ශක්තිමත් වීමට පටන් ගත්තේය. බුරුම ජුන්ටාව සමහර දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමත් සමග, ක්ලින්ටන් එය පෙන්වා දෙමින්, ආර්ථික තහංචි ඉවත් කිරීම වොෂින්ටනය විසින් කඩිනමින්ම අරඹනු ඇතැයි කියා සිටියාය. බුරුමය චීන දේශපාලන හා ආර්ථික කක්ෂයෙන් ඉවත් වෙද්දී වොෂින්ටනය, ආර්ථික හා දේශපාලන සම්බන්ධතා යලි ‍ඇතිකිරීම යුක්ති සහගත කිරීමේ මං සොයමින් සිටියි. මැකේන්ගේ නිවේදන ඇඟවුම් කරන්නේ, එම යුක්තිකරනය සඳහා මාර්තු මැතිවරනය යොදාගත හැකිවන බවයි.

මැකේන් හෝ ලිබර්මාන් යන කවරෙකුවත්, ජනාධිපති ඔබාමාගේ දේශපාලන මිතුරන් නොවේ. හිටපු ජනාධිපති අපේක්ෂකයෙක් හා ප්‍රමුඛ රිපබ්ලිකානුවෙක් වන මැකේන්, කලාපය පිලිබඳව වොෂින්ටනයේ ප්‍රකාශ පෙරට ගෙනයාමෙන් පෙන්නුම් කරන්නේ, ඔබාමාගේ ආසියාව වෙත හැරීම” සමස්ත එක්සත් ජනපද පාලක පන්තියේම සහාය ලබන්නේය යන්නයි. මැකේන් හා ලිබර්මාන්ගේ සංචාරය, කලාපය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා අලුත් වටයකින් අවධාරනය කිරීම දෙසට තබන තවත් පියවරකි.

Share this article: