ශ්‍රී ලංකාව - අමතර රාජකාරි පැටවීමට එරෙහිව වතු කම්කරුවෝ වැඩ වර්ජනය කරති

By By M. Vasanthan, 24 December 2011

අමතර රාජකාරි පැටවීමේ පියවර ගැනීම පිනිස හමුදාව කැඳවන බවට වතු අධිකාරිවරයා විසින් කල තර්ජනයෙන් පසුව, මධ්‍යම කඳුකරයේ හැටන් නගරයට යාබදව පිහිටි වැලිඔය වත්තේ කම්කරුවන් 2,600ක් දෙසැම්බර් 14දා සිට වැඩ වර්ජනයක නිරතව සිටී.

13දා කම්කරුවන්ගේ හා වෘත්තීය සමිති නායකයින්ගේ රැස්වීමක දී වතු අධිකාරී මධුර මතුගමගේ, දිනකට නෙලිය යුතු තේ දලු ප්‍රමානය කිලෝ 17 සිට 20 දක්වා වැඩිකරන බවට වතු සමාගම ගෙන ඇති තීරනය දැනුම් දුන්නේය. සමිති නායකයින්ගේ දෙගිඩියාව තිබිය දී ම සියලු කම්කරුවෝ කොන්ද කැඩෙන අලුත් ඉලක්ක පැනවීමට දැඩි සේ විරුද්ධ වූහ.

දැඩි අලාභ විඳීමට සිදුවුවහොත් සමාගම වත්ත වසා දමනු ඇතැයි වතු අධිකාරි කම්කරුවන්ට තර්ජනාත්මකව දැනුම් දී තිබුනි. ඔහුගේ අනතුරු ඇඟවීම පිලිබඳව කම්කරු‍වෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසූහ. “සමාගම වත්ත වසා දැමුවොත් ආන්ඩුව එය අත්පත් කරගෙන විකුනා දමනු ඇත. දැනටමත් මර්වින් සිල්වා (ආන්ඩුවේ දේශපාලන විරුද්ධවාදීන්ට අඩන්තේට්ටම් කිරීම ගැන කුප්‍රකට මහජන සම්බන්ධතා පිලිබඳ ඇමති) වත්ත ගැනීමට කැමැත්ත පලකර තිබේ. ඔහු වත්ත ගතහොත් ඔබට දාසයන් සේ වැඩ කිරීමට සිදුවනු ඇත.”

කම්කරුවන් මැඩීම පිනිස කලමනාකරනය වත්තට එස්ටීඑෆ් භටයින් කැඳවූහ. මෙම භටකායන්ගේ නිර්දය භාවය හොඳින් දන්නා දෙයකි. යුද්ධය පැවති අවධියේ දී නුවරඑලිය නගරයේ එහි කඳවුරක් පිහිටුවා තිබුනි. කම්කරුවන්ට අනුව එස්ටීඑෆ් භටයින් 18 දෙනෙක් වත්තට පැමින තිබේ. “අපි ඒ පිලිබඳව වතු අධිකාරිගෙන් විමසූ විට ඔවුන් කැඳවූ බව ඔහු ප්‍රතික්ෂේප කලේය. එහෙත් කලමනාකරනයේ අනුදැනීමකින් තොරව ඔවුන්ට වත්තට ඇතුල් විය නොහැක.” පසුව එස්ටීඑෆ් භටයෝ ඉවත්ව ගියහ.

නව ඉලක්ක ඉවත් කරන ලෙස ඉල්ලා කම්කරුවෝ පසු දිනයේ වැඩ වැරූ නමුත් වතු කලමනාකරනය ඉවත් කිරීමේ ඉල්ලීමක් සමිති ඊට ඇතුල් කලහ. වැඩ වර්ජිත කම්කරුවන් බිය ගැන්වීමේ කොටසක් ලෙස වටවල පොලිසිය වත්තේ සමිති නායකයින් සිව් දෙනෙකු කැඳවා විරෝධතාව පිලිබඳව කට උත්තර ලබාගෙන තිබේ.

වෘත්තීය සමිති කම්කරුවන්ගේ සටන නතර කොට එය සිය ග්‍රහනයට ගැනීමට උත්සාහ දරති. ප්‍රධාන සමිතිය වන ආරුමුගම් තොන්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු සංඟමය හෙවත් සීඩබ්සීය වැඩ වර්ජනයට මුලුමනින්ම විරුද්ධ ය. එහෙත් නායකත්වය නොතකමින් එහි සාමාජිකයෝ වර්ජනයට එක්ව සිටිති. තනිකරම බිය වැද්දීමේ පියවරක් ලෙස සීඩබ්ලිව්සී නායකයින්, කම්කරුවන් ආපසු වැඩට යන තෙක් මෙම ප්‍රශ්නය ගැන කලමනාකරනය සමග සමිතිය කිසිදු සාකච්ඡාවකට නොඑලඹෙනු ඇති බවට තර්ජනය කර තිබේ. සීඩබ්ලිව්සී නායක තොන්ඩමාන් ආන්ඩුවේ ඇමති වරයෙකු වන අතර අනෙකුත් ප්‍රධාන නිලධරයෝ ද ආන්ඩුවේ තනතුරු හොබවති.

තිගම්බරම්ගේ එන්යූඩබ්ලිව් හෙවත් කම්කරු ජාතික සංඟමය, එස්. සතාසිවම්ගේ සීඩබ්ලිව්ඒ හෙවත් ලංකා කම්කරු සන්ධානය, මනෝ ගනේෂන්ගේ ඩීඩබ්ලිව්සී හෙවත් ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංඟමය හා වී රාධක්‍රිෂ්නන්ගේ නායකත්වයෙන් යුත් කඳුරට ජනතා පෙරමුන, විසඳුම වතු අධිකාරිවරයා ඉවත් කිරීම බව කියා සිටිමින් කම්කරුවන්ගේ කෝපය පීලිපැන්නවීම සඳහා මැදිහත් වූහ.

සීඩබ්ලිව්සී, එන්යූඩබ්ලිව් හා යූපීඑෆ් යන සමිති ජනාධිපති රාජපක්ෂගේ පාලක සභාගයෙහි හවුල්කරුවෝ වෙති. ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අන පරිදි ක්‍රියාත්මක කරන කප්පාදු වැඩසටහන් හා වෙලඳපොල ගැති ආර්ථික පිලිවෙත් සඳහා කෙලින්ම සහාය දක්වති. ඩීඩබ්ලිව්සී හා සීඩබ්ලිව්ඒ යන අනෙක් සමිති එක්සත් ජාතික පක්ෂය සමඟ පෙලගැසී සිටිති.

අමතර වැඩ පැටවීම හුදෙක් එක් කලමනාකරුවෙකුගේ තීරනයක් නොවේ. ලංකා හාම්පුතුන්ගේ සංඟමය හෙවත් ඊඑෆ්සීහි සභාපති රවි පීරිස් ද ලංකා වතු හිමියන්ගේ සංඟමය හෙවත් පීඒහි සභාපති ලලිත් ඔබේසේකර ද ජූලි 24දා සන්ඩේ ඔබ්සවර් පත්‍රයට පවසා තිබුනේ, “දකුනු අප්‍රිකාව, ඉන්දියාව, කෙන්යාව හා චීනය වැනි අනෙකුත් තේ අපනයනය කරන රටවලට සාපේක්ෂව අඩුම තරමින් දෙගුනයකින්වත් ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන පිරිවැය ඉහල ගොස් ඇති තත්වය හමුවේ පලදායිතාවයේ වර්ධනය අනිවාර්ය අවශ්‍යතාවක්” බවයි.

සාමුහික ගිවිසුම ක්‍රියාත්මක කිරීම මගින් කම්කරුවන් මත අමතර වැඩ පැටවීමට වෘත්තීය සමිති මග හෙලි කර දුන්නේ ය. ගිවිසුමෙහි එක් වගන්තියකින් මෙසේ කියවෙයි. වතු අධිකාරීවරුන් හා වෘත්තීය සමිති ක්‍රියාකාරි කමිටු අතර සාකච්ඡා මගින් වතු මට්ටමේදී පලදායිතාවය වර්ධනය කිරීමට සමිතිවලට සහාය දැක්විය හැකිය. විවිධ වෙනත් සම්මතයන් ද වතු මට්ටමේදී ක්‍රියාවට නැගිය හැකිය.”

සාමුහික ගිවිසුම් සෑම දෙවසරකටම වරක් අත්සන් තබන අතර එහිදී එම වගන්තිය අදාල වනු ඇත. මෙම කාරනය සමිති නායකයින් විසින් කම්කරුවන්ට දැනුම් නොදේ. පසුගිය වසරේ අත්සන් තැබූ ගිවිසුමේ දී ද සියලු දීමනා සහිතව රුපියල් 405ක දරිද්‍රතා මට්ටමේ දිනක වැටුපකට සමිති එකගත්වය පල කලහ.

වතු කම්කරුවෝ එන්ට එන්ටම පිරිහෙන ජීවන තත්වයන් හමුවේ වැඩ කරති. වැලිඔය වත්තේ කම්කරු ස්ත්‍රීන් දෙදෙනෙක් ලෝසවෙඅ සමග සිය තත්වය පිලිබඳව කතා කරමින් සමිති හා ආන්ඩුව කෙරෙහි සිය කෝපය පල කලහ.

ඉන් එක් අයෙක් මෙසේ පැවසීය. “මෑතක සිට වතු කලමනාකරනය තව තවත් වැඩ කිරීමට අපට බල කරයි. දැන් ඔවුන් නෙලන තේ දලු ප්‍රමානය වැඩි කරන ලෙස දන්වයි. අපි එය ප්‍රතික්ෂේප කලෙමු. දිනකට තෙවරක් ඔවුන් තේ දලු කිරා බලයි. ඒ උදේ, දහවල් හා හවසට ය. තෙත බරිත දලු වෙනුවෙන් බව පවසමින් ඔවුන් සෑම වතාවකම කිලෝ 3 බැගින් කපා හරියි. මුලින් එක් වතාවකදී කපා හැරියේ කිලෝවක් පමනි.

එයට විරුද්ධ වීම නිසා මගේ වැඩ සතියක කාලයකට අත්හිටුවනු ලැබුවා. මෙම සියලු අඩුකිරීම්වලින් පසුව අප නෙලන දලු ප්‍රමානය කිලෝ 10ට වඩා අඩු වුනොත් පඩිය බාගයකින්ම අඩු කරනවා. ඔවුන් වැඩ කල යුතු කාලය පැයකින් දීර්ග කලා. අප උදේ 8.00 වන විට වැඩට වාර්තා කල යුතුයි. විනාඩි 5ක් ප්‍රමාද වුනොත් වැඩ දීම අත්හිටුවනවා. එවැනි දිනවලදී අපට සමිති නායකයින් හෝ කොන්දොස්තරවරු පිටුපස යෑමට සිදුවනවා. දිරි දීමනාව ලබාගැනීමට අප හරියටම මාසයකට දින 18ක් වැඩකල යුතුයි. මේ තත්වයට විරෝධය පල කිරීමටයි අප වැඩ වර්ජනය කලේ. අපට තර්ජනය කිරීමට කලමනාකරනය හමුදාව කැඳවා ඇති නමුත් අප පසු බසින්නට සූදානම් නැත.”

තවත් කම්කරුවෙක් වැඩවර්ජනයට සීඩබ්ලිව්සීය දක්වන විරුද්ධත්වය හෙලා දකිමින් කතා කලේය. ආන්ඩුව ගැන සඳහන් කල ඇය “මේ ආන්ඩුව වතු කම්කරුවන්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් සූදානම් කරමින් සිටිනවා. මෑතක දී මම සීඩබ්ලිව්සී නායක මුත්තු සිවලිංඟම් කතා කල රැස්වීමකට ගියා. ආන්ඩුව වතුකරයේ ඉඩම් හෙක්ටෙයාර 37,000ක් පවරාගෙන හෙක්ටෙයාර 0.81ක් එනම් අක්කර දෙකක් සෑම කම්කරුවෙකුට ම දෙන්ට සූදානම්ව සිටින බව ඔහු පැවසුවා. මේ ආන්ඩුව අපිට ඉඩම් දෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ.”

“පිටස්තරයින්ට නම් මේ ඉඩම් ලැබෙනු ඇත. අපිට ඉඩම් ලැබුනත් සල්ලි නැතිව වගා කරන්නේ කෙසේ ද? මේ සැලැස්ම ක්‍රියාත්මක කලොත් අපට බරපතල ප්‍රශ්නවලට මුහුන දෙන්ට සිදුවෙයි. අපිට විතරක් නොව අපේ ලමයින්ට ද රස්සා නැතිව යයි. සීඩබ්ලිව්සීය මීට සහාය දක්වන එක කම්කරුවන්ට නම් ලොකු අනතුරකි.”

“ඉඩම් අහිමි” අය අතර බෙදා දීමට හෙක්ටෙයාර 37.000ක් පවරා ගැනීමේ ආන්ඩුවේ සූදානම ගැන ජනාධිපති රාජපක්ෂ අයවැය කතාවේදී කල සඳහන ඇය සිහිපත් කලාය. “වතු කම්කරුවන්ට විරුද්ධව පෙලගස්වන කුඩා ගම්මාන ඉදිකිරීම සඳහා ආන්ඩුව මේ ඉඩම් දුප්පත් සිංහල ගොවීන්ට ලබාදෙනු ඇති බවට ඇත්තේ සාධාරන බියක්. අතීතයේදීත් කොලඹ ආන්ඩු එවැනි සැලසුම් ක්‍රියාත්මක කලා.”

21දා යූපීඑෆ් නායක රාධක්‍රිෂ්නන් සමග කම්කරුවන් හමුවීමට පැමිනි ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කලමනාකරු දින 21ක් තුල මාරුකර හරින බවට පොරෝන්දු වෙමින් අපසු වැඩට යන ලෙස ඉල්ලා සිටියේ ය. එහෙත් කම්කරුවෝ වැඩට යාම ප්‍රතික්ෂේප කලහ. මේ තත්වය තුල 23දා කම්කරු දෙපාර්තමේන්තුව මගින් සමිති හා කලමනාකරනය අතර සාකච්ඡාවක් සූදානම් කර තිබුනි. ඒවන විටත් සමිති නායකයින් කලමනාකරනයේ කාර්යාලය අසල වාඩිලා සිටි කම්කරුවන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුනි.

මෙම අරගලයට අනෙකුත් වතුවල කම්කරුවන්ගේ සහාය පලවනු ඇතැයි ආන්ඩුව හා සමිති නායකයින් බියපත්ව සිටිති. වැඩ වේගවත් කිරීමේ එවන් උත්සාහයන්ට එරෙහිව අනෙකුත් වතුවල ද විරෝධතා හටගෙන තිබේ. අහස උසට නගින ජීවන වියදම හා පිරිහෙන සේවා කොන්දේසි පිලිබඳව වතු කම්කරුවන් පසුවන්නේ කෝපයෙනි.

සමාගම් පහත් වැටුපට කම්කරුවන් සූරාකෑම වේගවත් කරද්දී ආන්ඩුව, වතු කම්කරුවන්ගේ මෙන්ම වෙනත් ක්ෂේත්‍රයන්හි ද නොවැලැක්විය හැකි අරගල මැඬීමට සූදානම් වෙමින් සිටියි. වතු ප්‍රතිව්‍යුහගත කිරීමේ ද වගා විවිධාංගිකරනයේ ද සංචාරක කර්මාන්තයට ඉඩම් පවරාදීමේ ද සැලසුම් ආන්ඩුව සතුව තිබේ. දැනටමත් ආන්ඩුව ජනවසම සතු ඉඩම් පුද්ගලික ව්‍යවසායකයින්ට පැවරීමේ කටයුතු ආරම්භ කර ඇත. වතු කම්කරුවන්ගේ රැකියා, වැටුප් හා සේවා තත්වයන් බරපතල අනතුරකට මුහුනපා තිබේ.

කම්කරු පන්තියට එරෙහිව පොලිස් රාජ්‍ය සැලසුම් වර්ධනය කරමින් ආන්ඩුව මිලිටරීකරනය පෙරට ගෙන යයි. මෙහි කොටසක් ලෙස ආන්ඩුව වතුකරයේ මිලිටරි කඳවුරු පිහිටුවීමට තීරනය කර තිබේ. තලවාකැලේ වටගොඩ ප්‍රදේශයෙහි ඉඩමක් දැනටමත් හමුදා කඳවුරක් සඳහා පවරා දී තිබේ.

වැලිඔය ද ඇතුලු වතුකරයේ කම්කරුවන් තමන් මුහුනපා සිටින තීරනාත්මක ප්‍රශ්න වටහාගත යුතුය. සමිති නායකයින් හා කලමනාකරනය හෝ කම්කරු දෙපාර්තමේන්තුව අතර කෙරෙන සාකච්ඡා මගින් තම ප්‍රශ්න සඳහා විසඳුම් ලැබෙනු ඇතැයි කිසිදු විශ්වාසයක් තබාගත නොයුතුය. ඒ වෙනුවට ඔවුන් රජය හා සමාගම් ආරක්ෂා කරමින් කම්කරුවන්ගේ සතුරන් බවට පත්ව තිබෙන සමිතිවලින් කැඩී වෙන්විය යුතුය. තම රැකියා, සේවා තත්වයන් හා අනෙකුත් අයිතීන් රැකගැනීමේ අරගලයක් සඳහා සියලු වතු කම්කරුවන් ද කම්කරු පන්තියේ අවශේෂ සියලු කොටස් ද එක්සත් කිරීම පිනිස කම්කරුවන් ක්‍රියාකාරී කමිටු ගොඩනැඟීමට මූලිකත්වය ගත යුතුය.

දැන් ධනවතුන් අතලොස්සක් සඳහා පමනක් සේවය කරන ආර්ථිකය, බහුතරයක සුබසෙත පිනිස සමාජවාදී ආකාරයකට ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනක් කම්කරු අයිතීන් සුරක්ෂිත කල හැකිය. මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කල හැක්කේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනි. නිර්දය කොන්දේසි යටතේ වහල්කමේ යොදවා තිබෙන වෙනත් රටවල වතු කම්කරුවන් ද ඇතුලත් කර ගන්නා ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත්කම ගොඩනැඟීමෙන් පමනක් මෙම අරගලය පෙරට ගෙනයා හැකිය. මෙම ඉදිරිදර්ශනය වර්ධනය කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනි.

Share this article: