විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය තුල මුහුන දෙන තීරනාත්මක දේශපාලන ප‍්‍රශ්න

By Kapila Fernando, 15 July 2012

බ‍්‍රහස්පතින්දා (12) විශ්වවිද්‍යාල ආචාර්ය සම්මේලනය (විආස) හා විශ්වවිද්‍යාල බලධාරීන්, උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අතර පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව වැටුප් සහ අධ්‍යාපනයට සම්බන්ධ ඉල්ලීම් කිහිපයක් මත විශ්වවිද්‍යාල ආචාර්යවරු ජුලි 4දා ආරම්භ කල වර්ජනය ඉදිරියට ගෙන යාමට තීන්දු කර තිබේ.

මහාචාර්යවරයෙකුගේ දැනට පවතින රුපියල් 57,000 මාසික වැටුප රුපියල් 168,000 දක්වාත්, කනිෂ්ට කතිකාචාර්යවරයෙකුගේ මාසික වැටුප රුපියල් 20,750 සිට 40,000 දක්වාත් වැඩිකිරීම, අධ්‍යාපන පර්යේෂන හා නේවාසික දීමනා වැඩිකිරීම හා දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 6 ක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට ඇතුලත් ය.

ආචාර්යවරුන්ගේ අරගලයක් යලි කැඳවීමට විආස ට බලකෙරුනේ පසුගිය වසරේ මැයි සිට ජූලි දක්වා මාස තුනක් එකදිගට පැවති වර්ජනය පාවා දී ආන්ඩුව සමග සම්මුතියකින් මෙම ඉල්ලීම් දිනා ගැනීමට වසරක් පුරා දැරූ උත්සාහය ව්‍යවර්ථ වූ තැනය.

මාස තුනේ වර්ජනය අවසන් කෙරුනේ අර්ථසාධක අරමුදලට හෝ පාරිතෝෂික දීමනාවට එකතුවීමක් නොකෙරෙන ආකාරයට ජ්‍යෙෂ්ට මහාචාර්යවරයෙකු රුපියල් 15,000 හා පරිවාස කථිකාචාර්යවරයෙකුට රුපියල් 1,500 වැනි සීමිත දීමනාවක් හා පසුගිය නොවැම්බර් මාසයේ අයවැයෙන් වැටුප් වැඩිවීමක් ලබා දෙන බවට ආන්ඩුවේ පොරොන්දුවට එකඟ වීමෙනි.

එහෙත් ආන්ඩුව පොරොන්දු වූ පරිදි වැටුප් වැඩි වීමක් ලබා නොදුන් අතර අයවැයෙන් හා ඉන් පසුව සිදුකල බදු සහ අත්‍යාවශ්‍ය භාන්ඩ මිල හා සේවා ගාස්තු වැඩි කිරීම නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුලු සමස්ත වැඩකරන ජනතාවගේ ජීවන වියදම තවදුරටත් ඉහල ගියේය. ආන්ඩුව පොරොන්දු කැඩීම හා ජීවනවියදමේ මෙම ඉහල යාම ආචාර්යවරුන් අතර නොසන්සුන්තාවය වර්ධනය වීමට තුඩුදුන් තතු තුලය විආස යලි අරගලය කැඳවීමට තීන්දු කලේ.

බ‍්‍රහස්පතින්දා සාකච්ඡාවෙන් පසු "වෙනත් විකල්පයක් නැති හෙයින් අපට අරගලය ඉදිරියට ගෙන යාමට බලකෙරී ඇත”යි මාධ්‍යවලට ප‍්‍රකාශ කල විආස සභාපති නිර්මාල් රන්ජිත් දේවසිරි, ඒ හුස්මට ම "පසුගිය වතාවේ අපි හමුවුනාට වඩා මේ වතාවේ තත්වය හොඳයි. ශාස්ත‍්‍රාලිකයන්ගේ මුහුන දෙන ප‍්‍රශ්න ආමන්ත‍්‍රනය කිරීම සඳහා ජනාධිපති ලේකම් වීරතුංග විසින් ගත් ආකාරයේ සාධනීය ප‍්‍රවිෂ්ටයක් ආන්ඩුවට තිබිය යුතු” යයි කීය.

කෙසේ වුවද වීරතුංග ප‍්‍රකාශ කර ඇත්තේ අධ්‍යාපනයේ අභිවෘද්ධිය සම්බන්ධයෙන් ආචාර්යවරුන් ඉදිරිපත් කරන යෝජනා හොඳ නමුත් රජය මේ වෙලාවේ ප‍්‍රමුඛත්වය දෙන්නේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල විදුලිය සහ මාර්ග පහසුකම් වැඩි දියුනු කිරීමට බවය. ඒ ආචාර්යවරුන්ගේ ඉල්ලීම් දීමට ආන්ඩුවට මුදල් නැති බව යලි තහවුරු කිරීමකි. අනෙක් අතට ග‍්‍රාමීය ප‍්‍රදේශවල විදුලිය සහ මාර්ග පහසුකම් සංවර්ධනය පිලිබඳ වීරතුංග ගේ කතාවේ තේරුම ග‍්‍රාමීය මිනිසාට අවශ්‍ය පහසුකම් සැපයීම නොව, එම ප‍්‍රදේශවල පවතින රැකියා විරහිත තරුන ජනයාගේ ලාබ ශ‍්‍රමය කොල්ල කෑම සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන්ට හෝටල් වැනි දෑ ඉදි කිරීම ය.

ආන්ඩුවේ "සාධනීය” ප‍්‍රවිෂ්ටයට යටත් කොට ආචාර්යවරුන්ගේ අරගලය විආස නායකයන් විසින් යලිවතාවක් පාවා දෙනු ලබන බවට රංජිත්ගේ ප‍්‍රකාශය නොවරදින සලකුනකි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ විශ්වවිද්‍යාල බලධාරීන් සිය "සාධනීය” ප‍්‍රවිෂ්ටය දැනටමත් පෙන්නුම් කර තිබේ. දීමනාවක් හැර වෙනත් වැටුප් වැඩිවීමක් දිය නොහැකි බව පසු ගිය වසරේ විආස සමග පැවති සාකච්ඡාවල දී රාජපක්ෂ ඍජුව ම ප‍්‍රකාශ කලේ ය. අනතුරුව තෝරාගත් මාධ්‍ය කතුවරුන් සමග පැවති සාකච්ඡාවක දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ඉල්ලීම් ගැන නැගූ ප‍්‍රශ්නයක දී "ඔබ මට කියන්නේ පඩි වැඩිකරන්න සල්ලි අච්චු ගහන්න කියලද” යි ඔහු, පෙරලා ප‍්‍රශ්න කලේ ය.

විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු වැඩකරන ජනතාවගේ වැටුප්, රැකියා හා ජීවන තත්වයන් රැක ගැනීම පිලිබඳ ඉල්ලීම් ඍජුවම ගැටෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියම කොට ආන්ඩුව විසින් ක‍්‍රියාවට දමනු ලබන හා ඉදිරි දිනවල තවදුරටත් තීව‍්‍ර කිරීමට නියමිත ආර්ථික කප්පාදු පිලිවෙත් සමග ය.

අත්‍යවශ්‍ය භාන්ඩ මිල හා සේවා ගාස්තු ඉහල දැමීම හා රුපියලේ අගය පහත හෙලීම දැනටමත් ජීවන වියදමේ නොනවතින ඉහලයාමට මෙන්ම කම්කරු පන්තියේ මූර්ත වැටුප් අගය වඩ වඩා පහලට තල්ලු වීමට තුඩුදී ඇත. මුල්‍ය අරමුදලේ නියමයට අනුව මෙම වසරේ අයවැය පරතරය සියයට 6.2 දක්වා කප්පාදු කිරීමට ආන්ඩුව පියවර ගත යුතුය. එනම් අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුලු සමාජ සුබසාදන මෙන්ම රාජ්‍ය අංශයේ වැටුප් සඳහා කරන වියදම් කපා හැරීමට හා නව බදු හා සේවා ගාස්තු මහ ජනයා මත පැටවීමට නියමිත ය. නුදුරු දිනවල ජල ගාස්තු ඉහල දමන බවට ජලාපවහන මන්ඩලය දැනටමත් නිවේදනය කර තිබේ. සිකුරාදා (13) ගෑස් සහ අත්‍යාවශ්‍ය භාන්ඩ කීපයක ආනයන බදු සහ මිල අඩු කිරීම, හුදෙක් ම, එලඹෙන පලාත් සභා මැතිවරනය තුල ජනතාවගේ ඇස්වලට වැලි ගැසීමේ ප්‍රෝඩාවක් පමනි.

වේගවත් ආර්ථික වර්ධනයක් පිලිබඳව මහ බැංකු අධිපතිගේ සහ ආන්ඩුවේ කයිවාරු තිබිය දී ම ගැඹුරු වන ලෝක ආර්ථික අර්බුදයේ බලපෑමට රට නිරාවරනය වී ඇති බවට ජාත්‍යන්තර නය වර්ගීකරන ආයතන දෙකක් වන ෆිච් රේටින්ග් සහ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් දැනටමත් අනතුරු අඟවා තිබේ. පසු ගිය වසරේ මුල් මාස හතර හා සැසඳීමේ දී මෙම වසරේ එම කාලය තුල වෙලඳ ශේෂ හිඟය සියයට 32 හෙවත් ඩොලර් බිලියන 3.3කි න් ද එම කාලය තුලම අයවැය පරතරය රුපියල් බිලියන 285කින් ද වැඩිවී ඇත. රටේ සමස්ත නය ප‍්‍රමානය රුපියල් බිලියන 5133 කි. එසේ හෙයින් රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙත වී ඇත්තේ වැඩ කරන ජනතාවට සහන දීම නොව ලොව පුරා ධනපති ආන්ඩුවල පිලිවෙත බවට පත්ව ඇති පවතින සොච්චම් සහනත් කප්පාදු කරමින් ගැඹුරු වන මෙම සමස්ත අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පැටවීම ය. එම නිසා පසු ගිය වසරේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් සාකච්ඡා අතරතුර ජනාධිපති රාජපක්ෂ ප‍්‍රකාශ කල ආකාරයට වැටුප් වැඩි කිරීම ආන්ඩුවට "දැරිය නොහැකි බරකි”.

මෙම කප්පාදු පිලිවෙතට එරෙහි මොන ම විරුද්ධත්වයක්වත් ඉවසීමට ආන්ඩුව සුදානම් නැත. ප්‍රෝඩාකාරී විශ‍්‍රාම වැටුප් පනතට එරෙහි අරගලයේ දී නිදහස් වෙලඳ කලාප කම්කරුවන්ට හා තෙල් මිල ඉහල දැමීමට එරෙහිව විරෝධය පෑ ධීවරයන්ට එල්ල කල ප‍්‍රහාර මෙන්ම වැටුප් ඉල්ලීම් මත මෑත සතිවල අරගලයේ යෙදුන ලංගම, විශ්වවිද්‍යාල අනධ්‍යයන හා විදුලිබල මන්ඩලයේ සේවකයන්ට එරෙහිව ආන්ඩුව මුදා හැර ඇති මර්දනය පෙන්නුම් කරන්නේ කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මැඩලීමේ පොලිස් රාජ්‍ය සැලසුම් වඩ වඩා තීව‍්‍ර කිරීමට ආන්ඩුව පියවර ගෙන ඇති බවය.

එම නිසා ආන්ඩුවට බලපෑම් කර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට හෝ වැඩකරන ජනතාවගේ අන් කවර කොටසකට හෝ වැටුප් වැඩිවීම් හෝ වෙනත් සහන දිනා ගැනීමට නොහැකි ය. එනිසා ම ආන්ඩුවෙන් සහන දිනා ගැනීම පිලිබඳ ආචාර්යවරුන්ගේ සංගමයේ ඉදිරිදර්ශනය බංකොලොත් හා ප‍්‍රතිගාමී එකකි.

කප්පාදු පිලිවෙත්වලට එරෙහි අරගලයක් මගින් වැටුප් ඇතුලු වැඩකරන ජනතා අයිතීන් දිනා ගැනීම දේශපාලන අරගලයකි. ධනේශ්වර ලාබ ගැරීම් පද්ධතියට එරෙහි අරගලයකි. නිදහස් අධ්‍යාපනය ඇතුලු සමාජ සුබසාධන පවත්වාගෙන යාම ද, යහපත් ජීවන තත්වයක් සඳහා සුදුසු වැටුපක් ලබාගැනීම ද ධනපති පන්ති පාලනය තුල අද දින කල නොහැකි ය. ධනපතියන් අතලොස්සකගේ අවශ්‍යතාවයන් ආරක්ෂා කරන, කෝටිප‍්‍රකෝටි මුදල් ඔවුන් අත ගොඩ ගැසෙන ධනපති පන්ති පාලනය බහුතර වැඩකරන ජනතාවගේ සමාජ සහ ආර්ථික අවශ්‍යතාවයන් සපුරන සමාජවාදී පාලන ක‍්‍රමයක් මගින් විස්ථාපනය කල යුතුය. එනම්, රාජපක්ෂ ආන්ඩුව බැංකු, ප‍්‍රධාන කර්මාන්ත ඇතුලු මූලික ධනපති දේපල කම්කරු පාලනය යටතේ ජනසතු කරන හා රටේ ආර්ථිකය විද්‍යාත්මක සමාජවාදී පදනමක් මත ප‍්‍රති සංවිධානය කරන කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවකින් විස්ථාපනය කල යුතුය. එවැනි අරගලයක් බැඳී පවතින්නේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලකට ය.

ජාත්‍යන්තර පරිමානව සමාජ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි දේශපාලන අරගලයකට මුහුන දී සිටින තම සහෝදරවරුන් සමග සන්ධාන ගතවීමක් තබා ලංකාවේ හෝ තම විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රයේ වැඩකරන අනධ්‍යන සේවකයන් සමග හෝ ශිෂ්‍ය ව්‍යාපාරය සමග සන්ධානගත වීමක් විආස ය ඉතා දැනුවත්ව ම පැහැර හැර සිටී. ඒ තම වරප‍්‍රසාදිත තත්වයන් පාවිච්චි කොට රාජපක්ෂ ආන්ඩුවෙන් සහනයක් දිනා ගත හැකි වේ ය යන මිත්‍යාව පතුරුවමින් ය. මේ මිත්‍යාවන් ට වඩා දහස් ගුනයකින් ධනපති ක‍්‍රමයේ වෛෂයික නීති බලවත්ව ක‍්‍රියාත්මක ය.

ආචාර්යවරුන්ගේ සම්මේලනය ද සමස්තයක් ලෙස සියලු වෘත්තීය සමිති ද එවන් ඒකාග‍්‍ර දේශපාලන අරගලයකට සපුරා ම විරුද්ධ ය. තමන්ගේ අරගලය ආන්ඩුවට විරුද්ධ අරගලයක් නොවන බවත්, ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකට තමන් සුදානම් නැති බවත් විආස පැහැදිලිව ම ප‍්‍රකාශකර තිබේ. පසුගිය වසරේ අරගලය පාවාදුන්නේ "අපට ආන්ඩුවේ යෝජනාවලට එකඟ වීමට සිදුවුනා. දෙපාර්ශ්වයට එතනින් එහාට යන්න පුලුවන්කමක් නැහැ” යයි ප‍්‍රකාශ කරමිනි. තම ඉල්ලීම් දිනාගැනීමේ අරගලය පෙරට ගෙනයාමේ උවමනාව සහ අධිෂ්ඨානය ආචාර්යවරුන් අතර නොඅඩුව තිබුන ද මෙවර "අඛන්ඩ අරගලය” කෙලවර වනු ඇත්තේ ද පෙර පරිදි ම සමිති නායකත්වය ආන්ඩුව ඉදිරියේ යටත් වීමෙනි.

එසේ හෙයින් ආචාර්යවරුන් තම අරගලය පෙරට ගෙන යාමේ ප‍්‍රථම කොන්දේසිය වන්නේ මෙම බංකොලොත් හා ප‍්‍රතිගාමී සමිති නිලධරයෙන් හා විආසයෙන් බිඳීගැනීම ය. වැටුප් ඉල්ලීම් දිනා ගැනීමට සහ නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා ආචාර්යවරුන්ගේ, අනධ්‍යයන සේවකයන්ගේ හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ඒකාබද්ධ ක‍්‍රියාකාරී කමිටු ගොඩ නගා ගනිමින් බලගතු අරගලයක් සංවිධානය කිරීමට ද එම අරගලය රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව වැඩකරන ජනතාවගේ පොදු අරගලයක් බවට පරිවර්තනය කිරීම සඳහා කම්කරු පන්තියේ අවශේෂ කොටස් සමග එකමුතුව තහවුරු කර ගැනීමට පෙරට යා යුතුය. ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ ප‍්‍රහාරයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව ගොඩ නගා ගැනීම එහි අත්‍යවශ්‍ය අංගයකි.

මේ එක ම ශක්‍ය වැඩපිලිවෙල සඳහා සටන් වදින සමාජවාදී සමාජවාදී සමානතා පක්ෂයට බැඳී එය කම්කරු පන්තික විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමට එකතු වීම තම ඉල්ලීම් දිනා ගැනීමේ නොවරදින මාවත බව ආචාර්යවරුන් හා අවශේෂ කම්කරුවන් අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය ය.

Share this article: