චීන ආර්ථිකය පිලිබඳ අවිනිශ්චිත භාවය වැඩිවෙයි

Uncertainties mount over Chinese economy

By John Chan, 2 June 2012

යුරෝපයේ ආර්ථික කැලඹීම් වෙතින් නැඟී එන ගෝලීය අවිනිශ්චිත භාවය හමුවේ, නැගෙනහිර ආසියානු ආර්ථිකයන් පිලිබඳ අර්ධ වාර්ෂික යාවත් කාල වාර්තාව මැයි 23දා ලෝක බැංකුව විසින් නිකුත් කලේය. මෙම වර්ෂයේ චීන ආර්ථික වර්ධනය පසුගිය වර්ෂයේ පැවති සියයට 9.2 සිට 8.2 දක්වා පහත වැටෙනු ඇති බවට එය අනතුරු ඇඟවීය. එය 1999 ආසියානු මූල්‍ය අර්බුදයෙන් පසුව වැටෙන පහතම මට්ටම වනු ඇත. එහි ප්‍රතිපල වශයෙන් චිනය, අවශේෂ ආසියානු පැසිෆික් කලාපයේ වර්ධනය ද පූර්වයෙන් අනාවැකි පලවූ සියයට 7.8 සිට දෙවසරක කාලයකට පසුව පහතම මට්ටමට එනම් සියයට 7.6 දක්වා ඇද දමනු ඇත.

යුරෝපයේ හා ඇමරිකාවේ ජවයකින් තොර ඉල්ලුම හා චීනයේ මන්දගාමී වන දේපොල වෙලඳපොල, අපනයන හා ආයෝජන මත රඳා පවත්නා චීන ආර්ථිකය මත බර පටවනු ඇතැයි එය පෙන්වා දෙයි. “ගෝලීය ආනයන ඉල්ලුමෙන් තුනෙන් එකකට වග කියන යුරෝපීය සංගමයේ ආර්ථික හෝදා පාලුව, නැ‍ඟෙනහිර ආසියාව මත එහි ප්‍රතිවිපාක ජනනය කරනු ඇත.”

අනෙකුත් ආසියානු ආර්ථිකයන්, චීනයේ ප්‍රති අපනයන නිෂ්පාදනයේ ප්‍රාග්ධන භාන්ඬ, අමුද්‍රව්‍ය හා අර්ධ නිමි භාන්ඬ සැපයුම් කරුවන්‍ ලෙස ක්‍රියා කරන තතු හමුවේ, චීනය, නිෂ්පාදනයේ අන්තර්ජාතික ජාලයක කේන්ද්‍රස්ථානය වන බව වාර්තාවෙන් පෙන්වා දෙයි. එහි ප්‍රතිපල වශයෙන් චීනය, පසුගිය වසරේ යුරෝපයට කල ඩොලර් බිලියන 592ක නැව්ගත කිරීම් වෙනුවෙන් දායක විය. යුරෝපයට කරන නිර්යාත කඩාවැටීමෙන් පලමුව පහර වදින්නේ චීනයට වුවත්, දකුනු කොරියාව, ගිනිකොන දිග ආසියානු රටවල් හා ඕස්ට්‍රේලියාව නොවරදවා ම ඒ පසුපස ඇදී එනු ඇත.

තව ද, සංවර්ධනය වන ආසියානු රටවලට කෙරෙන වෙලඳාමේ ද මූල්‍ය යෝජනා ක්‍රමවල ද තුනෙන් එක් පංඟුවක් සම්පාදනය වන්නේ යුරෝපීය බැංකු වලින් නිසා, ඒ රටවලට දැඩි මූල්‍ය ආතතීන්ට ද මුහුනපෑමට සිදුවිය හැකි බවට ලෝක බැංකුව අනතුරු අඟවයි. යුරෝ කලාපයේ පූර්න පරිමානයේ මූල්‍ය අර්බුදයක් ඇතිවන තත්වයකදී, බැංකු සිය ප්‍රාග්ධනය ආපසු යුරෝපයට පටවනු ඇත. ලෝක බැංකු යාවත් කාල වාර්තාව නිකුත්වූ දිනම චීන අගමැති වෙන් ජියා බාවෝ, “ආර්ථික යටිබිම් බලා යාමේ පීඩනය උග්‍ර වෙමින් තිබෙන” බවට කැබිනට් රැස්වීමක දී නිලධාරීන්ට අනතුරු ඇගවීය.

යුරෝ කලාපයෙන් ග්‍රීසියේ පිටමංවීම නිසා ජනිතකල හැකි මූල්‍ය කම්පනයන්ට මුහුන දීමට චීනය නුසූදානම් බවට බිය වැඩෙමින් තිබේ. සමකාලීන ජාත්‍යන්තර බැඳීම් පිලිබඳ චීන ආයතනයේ ලියු මින්ග්ලි, චයිනා ඩේලි පුවත්පතට පසුගිය සතියේදී මෙසේ පැවසීය. “ග්‍රීසියේ පිටමංවීම සඳහා යුරෝපීය රටවල් සැබවින්ම සැලසුම් සකස් කරමින් සිටින්නේ නම් ඔවුන් එසේ කරනු ලබන්නේ, හිමින් සීරුවේ පෞද්ගලිකවයි, පොදු සාකච්ඡාවන් තුලින් නොවේ.” ඔහු බීජිනයට මෙසේ ද උපදෙස් දුන්නේය. “කෙටි කාලීනව යුරෝ වත්කම්වලට නිරාවරනය වීම අවම කරන්න. ග්‍රීසියේ පිටමං වීමෙන් පසුව යුරෝ කලාපයෙන් විශාල පරිමානයෙන් ප්‍රාග්ධනය ඉවතට ගලා යාමක් සිදුවන කල, ඉහතකී වත්කම් අවප්‍රමානය වීමේ හැකියාවක් තිබේ.”

ආර්ථිකය මුල්කරගත් උත්සුකයන් වැඩිවෙද්දී බීජිං නායකත්වය, තවත් වටයක උත්තේජක පියවර පිලිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වෙයි. විරැකියාවේ සැලකිය යුතු වර්ධනයක් හෝ රටේ දේපොල වෙලඳපොලෙහි කඩාවැටීමක්, ඉක්මනින්ම, සමාජ නොසංසුන්තාවයන්ට තුඩු දීමේ කුමන හෝ හැකියාවක් චීන පාලක කවයන් තුල නිරන්තර භීතියට හේතුවන දේශපාලන ප්‍රතිවිපාකයක් වන්නේය.

බීජිනය, ප්‍රවර්ධනය නඟාසිටුවීම පිනිස “ක්‍රියාත්මක රාජ්‍ය මූල්‍ය පිලිවෙතක් හා දූරදර්ශී අයවැය ප්‍රතිපත්තියක් ක්‍රියාවට නඟන්නේ” යයි පසුගිය සතියේදී වෙන් ඇඟවුම් කලේය. වෙන් කතා කලේ කාර්මික මධ්‍යස්ථානයක් වන වූහාන්හි සංචාරයක නිරතව සිටියදීය. එහිදී ව්‍යාපාරික නායකයෝ, තමන් එන්ට එන්ටම නරක අතට හැරෙන තත්වයකට මුහුනදී සිටින‍්නේ යයි ඔහු වෙත අනතුරු ඇඟවීය. වෙලඳපොල අගය අනුව ලෝකයේ විශාලතම ගෘහ උපකරන නිෂ්පාදකයා වන හෙයියර් සමාගමේ ප්‍රධාන විධායක වෙන්ට පැවසුවේ, පසුගිය වසරේ එම කාලය හා සසඳන කල ගෘහ උපකරන අලෙවිය මෙම වසරේ මුල් කාර්තුව තුල සියයට 13න් පහත වැටී ඇති බවය.

රටේ ප්‍රමුඛ ආයෝජන බැංකුවක් වන චයිනා ඉන්ටනැෂනල් කැපිටල් කෝපරේෂන්හි ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ පෙන් වෙන්ෂෙන්, යුරෝකලාපය බිඳී යාමේ තත්වයක් හමුවේ, මෙම වසරේ චීනයේ වර්ධන අනුපාතය සියයට 6.4ක් දක්වා හැකිලෙනු ඇති බවට අනතුරු ඇඟවීය. ඔහු යුආන් ට්‍රිලියනයක් හෙවත් ඩොලර් බිලියන 150ක උත්තේජන පැකේජයක් ඉල්ලා සිටියේය. ක්‍රෙඩිට්සුවිස් කන්ඬායමේ අර්ථශාස්ත්‍රඥ ‍ටාවෝ ඩොං, මෙම කාර්තුවේ වර්ධනය සියයට 7ක් හෝ ඊටත් වඩා පහත වැටීමේ හැකියාව හමුවේ, නව උත්තේජන පියවර, යුවාන් ට්‍රිලියන දෙකක් තරම් ඉහල අගයක් ගනු ඇතැයි ගනන් බලා තිබේ. “2009 වර්ගයේ ප්‍රකෘතියක් ඇතිකිරීමට එවැනි නව උත්තේජක පැකේජයක්” වුව ද නොසෑහෙනු ඇතැයි ටාවෝ අනතුරු ඇඟවීය.

ගෝලීය මූල්‍ය අර්බුදයේ අවධිය තුල චීනය, යුවාන් ට්‍රිලියන 4 සිට ට්‍රිලියන 14 දක්වා ඉහල නැඟුනු දැවැන්ත උත්තේජක වියදමක් දරා, සියයට 9කට වැඩි වර්ධන වේගයක් පවත්වාගෙන ගියේය. එම උත්තේජක පැකේජය සැලකුනේ, බටහිර වෙලඳපොලවල කඩිනම් පුනර්ජීවනයක් මත ගනන් බැලූ කෙටි කාලීන විසඳුමක් ලෙසය. ඒ වෙනුවට යුරෝපය හා එක්සත් ජනපදය අවපාතයක වෙලී තිබෙන අතර චීනය වර්ධනය වන ආර්ථික ගැටලුවලට මුහුනපා සිටියි. ප්‍රාදේශීය ආන්ඩු හා රජය සතු ව්‍යවසායන්, යටිතල ව්‍යාපෘතීන් හා සමපේක්ෂන දෙපොල සංවර්ධන යෝජනා ක්‍රම සඳහා රාජ්‍ය බැංකු ක්‍රමයෙන් දැවැන්ත පරිමානයකින් නය ගත්තේය. එහි ප්‍රතිපල වශයෙන් ඉහල නඟින බොල්නය මට්ටම්වල බරින් බැංකු ක්‍රමය වකුටුවී තිබේ.

යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ පහත වැටෙන අපනයන වෙලඳපොලවල අර්ථය වන්නේ, චීනයේ නිෂ්පාදන ධාරිතාවෙන් වැඩි කොටසක් සඳහා පිටවීමේ මගක් නැතැයි යන්නය. දේශීය වෙලඳපොල විකල්පයක් සපයන්නේ නැත. චීනයේ කුටුම්භ පාරිභෝජනය, එක්සත් ජනපදයේ දදේනි සියයට 70 සමග සසඳන කල, යාන්තමින් වග කියන්නේ ආර්ථිකයෙන් තුනෙන් එකකට පමනි. එය පෙන්නුම් කරන්නේ, ගෝලීය නිෂ්පාදනය සඳහා ලාභ ශ්‍රම වේදිකාවක් ලෙස චීනය යොදාගෙන තිබෙන තරමයි.

දැවැන්ත රැකියා අහිමිවීමක් ඇවිලවීමට තර්ජනය කරන අධි නිෂ්පාදනයේ අර්බුදයකට චීනය මුහුනදී සිටියි. අපනයන කර්මාන්තය එකතැන පල්වෙන අතර, පසුගිය වසරේ ආර්ථික වර්ධනයට එමගින් කිසිදු දායකත්වයක් සපයා නැත. යන්ත්‍රෝපකරන, ගොඩනැඟිලි හා යටිතල සංවර්ධනයේ නියුතු, නයෙන් දහනය කෙරෙන ආයෝජන, වර්ධනයෙන් අඩකටම වගකීවේය. නව උත්තේජක වියදම් හුදෙක් පවත්නා අධි ධාරිතාවයට එකතුකිරීමක් පමනක් වනු ඇත.

තව තවත් ජාත්‍යන්තර ප්‍රාග්ධනය ආකර්ශනය කර ගැනීමේ අටියෙන් චීන කොමියුනිස්ට් පක්ෂ තන්ත්‍රය, රජය සතු ව්‍යවසායන් තුලට පෞද්ගලික ආයෝජන ඇද ගැනීම මත කේන්ද්‍රගත කල, නිදහස් වෙලඳපොල ප්‍රතිව්‍යුහකරනයක නය වටයක් මගින්, මෙයට මුහුනදීමට කටයුතු කරති.

රාජ්‍ය වත්කම් අධීක්ෂනය හා පරිපාලනය පිලිබඳ කොමිසම විසින් මැයි 25දා නිකුත්කල මාර්ගෝපදේශයක්, මුදල් ආයෝජනය, කොටස් හිමිකර ගැනීම්, ව්‍යාපාර බැඳුම්කර හා මූල්‍ය බදු මගින් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහකරන‍ය තුල පෞද්ගලික ආයෝජකයින්ගේ සහභාගිත්ව හැකියාව සැලකිය යුතු පරිදි පුලුල් කර ඇත. පෙර සතියේදී, කලින් දුම්රිය අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ සමාගම්වල ඒකාධිකාරයක්ව පැවති දුම්රිය සේවය තුල පෞද්ගලික ප්‍රාග්ධනයට ආයෝජන අවස්ථා සලසනු ලැබිනි.

ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරන කොමිසම ද පසුගිය සතියේ නිවේදනය කලේ, විදුලිබලය, තෙල් හා ගෑස් වැනි බොහෝකොටම රාජ්‍ය සතු ක්ෂේත්‍රයන්හි පෞද්ගලික ආයෝජන පාලනය කරන සවිස්තරාත්මක රෙගුලාසි කෙටුම්පත් කෙරමින් තිබෙන බවය. දැනට විදුලිබල කර්මාන්තය හා මූල්‍යය තුල පෞද්ගලික සහභාගිත්වය දරන්නේ, එහි අගයෙන් සියයට 13.6ක් පමනි. විද්යුත් සන්නිවේදනය, අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍ර ද තවදුරටත් පෞද්ගලික ආයතනයන්ට විවෘත කරනු ඇත. මේ මගින්, ගෝලීය අවපාතයකට බෆරයක් ලෙස බීජිනයේ ධාරිතාවය නඟා සිටුවීම කෙසේ වෙතත්, ස්වභාවයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය වෙලඳපොලවලට සමිප ලෙස බැඳී ඇති පෞද්ගලික ප්‍රග්ධනයට විශාල කාර්ය භාරයක් පැවරීම තුලින් චීනය, තවදුරටත් ගෝලීය කම්පනයන්ට හා කැලඹීම්වලට ගොදුරුවීම පමනක් සිදුවනු ඇත.

Share this article: