වෙලඳපොලවල් ඇදවැටෙද්දී යුරෝපීය සංගමයේ සමුලුව තුල යුරෝපීය නායකයෝ අං පටලවා ගනිති

Europe’s leaders at loggerheads at EU summit as markets tumble

By Stefan Steinberg , 24 May 2012

වේගයෙන් නරක අතට හැරෙන මහාද්වීපයේ ආර්ථික අර්බුදය හමුවේ එයට මුහුන දීම සඳහා බ්‍රසල්ස්හි දී යුරෝපීය නායකයෝ කිසිදු සංයුක්ත පියවරක් වෙනුවෙන් එකඟත්වයකට පැමිනීමට අසමත් වෙති.

පසුගිය රාත්‍රීයේ පැය හයක් පුරා පැවති සමුලුවෙන් පසුව ප්‍රමුඛ ආර්ථිකයන්හි නායකයෝ ආර්ථික ප්‍රතිපත්ති පිලිබඳ තියුනු වන මතභේදවලට පැලැස්තර ගසා ගැනීමට වත් සමත් වුයේ නැත. විශේෂයෙන් ම ප්‍රන්සයේ සමාජවාදී පක්ෂ නව ජනාධිපති ප්‍රන්සුවා ඔලන්ද් විසින් පිටුබලය දුන් හා රැස්ව සිටි අයගෙන් බහුතරයකගේ සහාය ලත්, යුරෝපීය බැඳුම්කර නිකුතුව, රාජ්‍ය පිටුබලය සහිත යුරෝපීය නය ඒකරාශී කිරීම හා සමීපව බැඳී තිබෙන මහාද්වීපයේ අර්බුද ග්‍රස්ත බැංකු නඟාසිටුවීම පිලිබඳ ප්‍රශ්නය මුල්කරගත් යොජනාව පිලිබඳව එය කැපී පෙනුනි.

ජර්මන් චාන්සලර් ඇන්ජිලා මර්කෙල් යෝජනාව එක හෙලාම ප්‍රතික්ෂේප කිරීමෙන් පෙන්නුම් කලේ, යුරෝ කලාපයේ බෙලහීන ආර්ථිකයන් වෙනුවෙන් සහන සැලසීමට ජර්මානු ප්‍රාග්ධනයේ ඇති විරුද්ධත්වයයි.

සමුලුවෙන් පසුව මර්කෙල් මාධ්‍යවේදීන් වෙත පැවසුවේ, “යුරෝ බැඳුම්කර හුවමාරුව පිලිබඳ මතභේද පැවති” බවයි. සමුලු සාකච්ඡාව තුල ඇය, ඔලන්ද්ගේ තර්ක බැහැර කරමින්, යුරෝ බැඳුම්කර “වර්ධනය උත්තේජනය කිරීම සඳහා කිසිදු පිටුබලයක් නොවන” බව පැවසුවා ය.

ඔලන්ද් මෙසේ පැවසීය: “අප පැමිනියේ එකිනෙකා සමග කලහ කිරීමට නොවේ. එහෙත්, වර්ධනය නැංවීම ගැන සිතන්නේ කුමක් ද නිවැරදි මෙවලම් කවරේ ද නිවැරදි ක්‍රමෝපායන් කවරේ ද නිවැරදි පියවර, නිවැරදි ආරම්භකත්වය කවරක් ද යන්න අප පැවසිය යුතුය.”

එහෙත් එදින රාත්‍රියේ පශ්චිම භාගයෙහි සමුලුව අවසන් වූයේ, ගැඹුරුවන අර්බුදය සමග පොරබදන ක්‍රමෝපායන්, පියවරයන් හෝ ආරම්භකත්වයන් පිලිබඳ කිසිදු එකඟත්වයකින් තොරවය.

ග්‍රීසියේ පත්වන ඕනෑම ආන්ඩුවක් දැඩි කප්පාදු පියවර කියාත්මක කිරීමට කැපවීමේ පදනම මත යුරෝ කලාපය තුල රැඳී සිටින ලෙසට කැඳවුමක් කිරීම එකඟත්වයක් ඇතිවූ එක් ක්ෂේත්‍රයකි.

"ග්‍රීසිය යුරෝවේ රැඳී සිටීම අපට අවශ්‍යය. එහෙත් අප, ග්‍රීසිය තමන් එකඟවූ දේට කැපවී ගත යුතු බව අවධාරනය කරන්නෙමු.” යයි මර්කෙල් වාර්තාකරුවන්ට පැවසුවාය.

"ප්‍රන්සයට හා යුරෝපයට ග්‍රීසිය යුරෝ කලාපයේ රැඳී සිටීම අවශ්‍යය. ඔබ ඔබගේ පොරොන්දුවලට ගරු කිරීම අවශ්‍යය. අපට බලාපොරොත්තු යථාවත් කිරීමට අවශ්‍ය බව ඔබට පෙන්වන පියවර ගැනීම ද එසේ ම අවශ්‍යය.” ඔලන්ද් පැවසීය.

සුලු වාචාල කතා පසෙකට කල විට, ධනවාදය විසින් නිර්මානය කල අර්බුදය වෙනුවෙන් ග්‍රීසියේ හා යුරෝපය පුරා කම්කරු පන්තිය වන්දිය ගෙවිය යුතු බවට එකඟත්වයක් පවතියි.

යුරෝපය තුල ගැඹුරුවන අවපාතයේ පසුබිම හමුවේ නැඟී එන මතභේද යුරෝපය පුරා කොටස් මිල පහතට ඇද හෙලනු ලබයි. පසුගිය සතියේ බොහෝ ප්‍රධාන දර්ශක තියුනු ලෙස පහත වැටීම හමුවේ මාසය තුල යුරෝපීය වෙලඳපොලවල් විශාලතම පාඩු අත්විඳීය. ෆුට්සි 100 දර්ශකය සියයට 2.5න් ද ප්‍රන්ස කැක් දර්ශකය 2.6න් ද ජර්මන් ඩැක්ස් 2.4න් ද ඇද වැටුනි. ස්පාඤ්ඤයේ ඉබෙක්ස් දර්ශකය සියයට 3.3න් වැටුනු අතර දෙවසරකට ආසන්න කාලයක් තුල ඩොලරයට සාපේක්ෂව යුරෝවේ අගය එහි පහතම මට්ටමට වැටුනි. යුරෝ කලාපය බිඳී යාමේ හැකියාව පිලිබඳව වෙලඳපොලේ කනස්සල්ල පෙන්නුම් කරමින් තෙල් හා භාන්ඩ මිල පහත වැටුනි.

යුරෝපීය නායකයින් බැංකු ක්‍රමයට අරමුදල් සම්පාදනය කිරීමේ නව පියවර ගැනීමට අසමත් වීම හා ජර්මනියේ නායකත්වයෙන් යුත් යුරෝපීය ආන්ඩු ග්‍රීසිය යුරෝවෙන් බැහැරවීම පිලිබඳව සැලසුම් සකසමින් සිටින බවට පලවූ වාර්තාවන්ට වෙලඳපොලේ ප්‍රතිචාරය මෙසේ සලකුනු කෙරිනි. 21දා යුරෝ කලාපීය මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කැඳවන ලද සමුලුවක දී ග්‍රීසියේ වියහැකි ඉවත්වීම පිලිබඳව ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කරන ලෙස දැනුම්දී තිබීමේ කාරනය රොයිටර් වාර්තාකර තිබුනි.

ජර්මානු මහ බැංකුව ග්‍රීක වියෝව “දරාගත හැකි” බව කියා ඇති බවට පලවූ වාර්තා ග්‍රීසියේ ඉවත්වීම පිලිබඳ සමපේක්ෂනයට තෙල් වක්කර තිබුනි.

බ්‍රසල්ස්හි දී යුරෝපීය නායකයින් කිසිදු එකඟත්වයකට පැමිනීමට අසමත්වීමේ කාරනය පුදමයක් වූයේ නැත. බ්‍රසල්ස්හි පිලිගැන්වූ නිල නොවන රාත්‍රී භෝජන සංග්‍රහයට යැවූ ආරාධනාව තුල යුරෝපීය ජනාධිපති වෑන් රොම්පූයි, මොනම ආකාරයක හෝ දැඩි පියවර ගැනීමක් සිදු නොවනු ඇති බව කල් තියාම ප්‍රකාශ කර තිබුනි. “මෙම අදියරේදී නිගමනවලට එලඹීම හෝ තීන්දු ගැනීමක් සිදු නොවනු ඇත.” ඒ වෙනුවට සිදුවන්නේ ජූනි මාසයේ පැවැත්වීමට නියමිත යුරෝපීය කවුන්සිලයේ ඊලඟ රැස්වීමට සූදානම් වීමයි.

සමුලුවට පෙරාතුව, වත්මන් දැඩි කප්පාදුවේ ප්‍රතිපත්තියට, ඊනියා වර්ධනයේ පිලිවෙතක් සහිත තිලිනයක් වශයෙන් අරමුදල් වැඩිකරන ලෙසට එක්සත් ජනපදය, ප්‍රන්සය හා ඉතාලිය යන සියලු රටවල් මගින් කල කැඳවුම මගින් ජර්මනිය හා උතුරු යුරෝපීය රටවල් අතර එහි කුඩා අනුචර කන්ඩායම මත සැලකිය යුතු බලපෑමක් ඇතිකර තිබුනි. පසුගිය සති අන්තයේ පැවැත්වූ ජී8 සමලුවේදී ඉස්මතුවූ ප්‍රධාන ඉල්ලීමක් වූයේ, යුරෝපීය බැංකු ක්‍රමය ස්ථාවර කිරීමේ නව යාන්ත්‍රනයක් සම්පාදනය කිරීම පිනිස යුරෝ බැඳුම්කර හඳුන්වා දීමයි. 22දා වන විට ඕඊසීඩී හෙවත් ආර්ථික සහයෝගිතාවය හා සංවර්ධනය පිලිබඳ ආයතනයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් යන දෙකම යුරෝ බැදුම්කර යෝජනාවට සිය සහාය පල කලහ.

මර්කෙල් එම යෝජනාව එක එල්ලේ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ යුරෝ කලාපීය නය එසේ එක්රැස් කිරීම යුරෝපීය සංගමයේ ගිවිසුම් උල්ලංගනය කිරීමක් බවය.

රාජ්‍ය භාන්ඩාගාර වෙතින් යුරෝපයේ රෝගී බැංකු වෙත දැවැන්ත ප්‍රමානයකින් නව අරමුදල් මාරුකිරීමේ පියවර වෙනුවෙන් ඉල්ලීම් ද ඉදිරිපත් විය. සමුලුවට පූර්වයෙන් ස්පාඤ්ඤ අගමැති මරියානෝ රාජෝයි, යුරෝ බැඳුම්කර හඳුන්වාදීම බොහෝ දිගු ක්‍රියාවලියක් වනු ඇති බවට පැමිනිලි කරමින්, සිය රටේ දුබල බැංකුවලට කඩිනම් ආධාර ඉල්ලා සිටියේ ය.

ඉදිරිපත්කර තිබෙන යෝජනා දෙක මගින් දැනටමත් පවතින ඊඑස්එම් යන යුරෝපීය අරමුදලට, ආන්ඩු මගහැර කෙලින්ම බැංකු වෙත අරමුදල් සැපයීමේ නව බලතල ද ජාතික ආන්ඩු හරහා යාමට බල නොකෙරෙන පරිදි බැංකු වෙත තව තවත් අරමුදල් සෘජුවම එන්නත් කිරීම සඳහා යුරෝපීය මහ බැංකුවේ බලතල පුලුල් කිරීම ද ඇතුලත්ය.

මෙම පියවර දෙකටම ජර්මානු ආන්ඩුව දැඩි ලෙස විරෝධය පලකලේ, බොහෝ යුරෝපීය බැංකු ගිනුම් තුල එක්රැස්වී තිබෙන බොල් නය වෙනුවෙන් ප්‍රමුඛ නය සම්පාදනය කරන්නා බවට තමන් පත්වේය යන බිය නිසා ය.

මෑත දිනවල දී ග්‍රීසියේ මෙන්ම ස්පාඤ්ඤයේ ද විශාල මෙන්ම කුඩා තැන්පත්කරුවන් ද බැංකු කඩාවැටීම පිලිබඳ භීතියෙන් සිය ඉතිරිකිරීම් ඉවත්කර ගැනීමත් සමග එරටවල බැංකු ක්ෂවීමක් අත්දුටුවේය. නය අර්බුදයේ ගොදුරක් නොවී සිටීමට නම් යුරෝපීය නායකයින් කලාපයේ බැංකු වෙත තවත් බිලියන ගනන් පොම්ප කිරීමට සූදානම් විය යුතු බව එංඟලන්ත මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදක ඇඩම් පොසේන් 21දා ටෝකියෝ සමුලුවක දී අනතුරු ඇගවීමත් සමග බිඳවැටීමක් පිලිබඳ එවන් අවදානම් හැඟීමක් පැතිර ගියේය. පොසෙන් පැවසූ පරිදි යුරෝපය පිලිබඳ ප්‍රධාන ප්‍රශ්නය වන්නේ, ග්‍රීසිය නොව, අවම ප්‍රග්ධනීකරන බැංකු නිසා අන්තර් බැංකු වෙලඳපොල මූල්‍යමය වශයෙන් නිරාවරනය වී පැවතීමයි.

යුරෝපයේ ගැඹුරුවන අර්බුදය ජාත්‍යන්තර ආර්ථිකය කඩාකප්පල් කිරීමට තර්ජනය කරන්නේ යයි ඕඊසීඩී වාර්තාවකින් සතිය මුල කරන ලද අනතුරු ඇඟවීම පිටුපසින්, ආසන්නව ඇති බැංකු කඩාවැටීමක් පිලිබඳ පෝසෙන්ගේ හා අනෙකුත් අයගේ අනතුරු ඇඟවීම් පැමිනියේය. ආර්ථික දත්ත ඇඟවුම් කරන්නේ, යුරෝපය හා ලෝකය, 2008 ලේමන් බ්‍රදර්ස් බැංකුව කඩා වැටීමත් සමග ආරම්භවූ ආර්ථික අර්බුදයේ නව අදියරක අද්දර සිටින බවය.

ඒකාබද්ධ හෝ එකට බැඳුනු සැලැස්මක් සූත්‍රගත කිරීමට බ්‍රසල්ස්හි රැස්වූ යුරෝපීය නායකයින් 27දෙනා පෑ නොහැකියාව, යුරෝපීය හා ලෝක ධනවාදය මුහුනපා සිටින අර්බුදයේ ගැඹුර පිලිබඳ මිම්මකි. එහෙත් කිසියම් තැනක දී ඔවුන් ඒකාබද්ධ වුනා නම් ඒ, අර්බුදයේ මුලු වියදම යුරෝපයේ වැඩකරන ජනතාව විසින් දැරිය යුතුය යන ඔවුන්ගේ අධිෂ්ඨානය පිලිබඳ කාරනයේදී පමනි.

"කෝකත් එකයි” යන මර්කෙල්ගේ අවධාරනයත් “වර්ධනයේ මූලෝපායක්” පිලිබඳ ඔලන්ද්ගේ කැඳවුමත් යන සෑම යෝජනාවක් ම, කියා සිටින්නේ කම්කරු පන්තිය මත තව තවත් රුදුරු ප්‍රහාරයක අවශ්‍යතාවයි.

"සුපිරි ධනවතුන්ට වඩ වඩාත් මුදල් හා එයට ගෙවන සියල්ලන්ට තව තවත් වේදනාව” යන්නට මෙහිදී යොදාගන්නා පද පර්යාය “උත්තේජනයි.” කුමනාකාරයේ ඇපදීම් වුවත්, අවසන් වන්නේ, බැංකුවල සේප්පුවලින් හා සුපිරි ධනවතුන්ගේ සාක්කුවලිනි. යුරෝපීය කොමිසමේ ම යොජනාවන්ට අනුව, "රැකියාවලින් පොහොසත් ප්‍රකෘතියක්” සඳහා “කම්කරු ඉල්ලීම් වලට සහායවන පියවර” අවශ්‍ය කෙරෙන්නේය යන්නෙහි අර්ථය වැටුප් කප්පාදු, වැඩ වේගවත් කිරීම හා ව්‍යාපාර බදු කැපීම යන්නට නොඅඩු දෙයක් නොවේ.

යුරෝපයේ කම්කරුවන්ට, ඔවුන් යුරෝපයේ ධනපති දේශපාලනඥයින්ගේ හා ඔවුන් සේවය කරන ප්‍රධාන බැංකු හා ව්‍යාපාරයන්ගේ අතෙහි තම ඉරනම රඳවන තාක් දුරට කිසිදු සාධනීය ප්‍රතිපලයක් ලබාගත නොහැකිවනු ඇත. එය සිදුවනු ඇත්තේ, කම්කරු පන්තිය විසින් පාලනය කරන යුරෝපීය එක්සත් සමාජවාදී සමූහාන්ඩුවකට නොඅඩු තත්වයක් තුල පමනි. පැරිසියේ, බර්ලිනයේ, ලන්ඩනයේ හා බ්‍රසල්ස්හි යන සැම තැනකම ඇති සමපේක්ෂකයින්ගේ හා ඔවුන්ගේ ගැත්තරයන්ගේ ලේ උරාබොන වර්ගයේ ඉල්ලීම් වලින්, මහාද්වීපයේ ධනය හා නිෂ්පාදන සම්පත් විමුක්ත කර ගැනීම හා සමාජීය වශයෙන් ප්‍රයෝජනවත් පරිදි යෙදවීම, එනම් සියල්ලන්ටම අවශ්‍ය කෙරෙන රැකියා, අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් සලසාලීම සහතික කල හැක්කේ මේ මගින් පමනි.

Share this article: