ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී: මේ ග්‍රීක කම්කරුවන් "ආපසු ගෙවිය යුතු කාලය” යි

IMF chief: It’s “payback time” for Greek workers

By Stefan Steinberg, 28 May 2012

බ්‍රිතාන්‍ය ගාර්ඩියන් පත්‍රය සමග සිකුරාදා පැවති සම්මුඛ සාකච්ඡාවක දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ප්‍රධානී ක්‍රිස්ටීන් ලැගාඩ්, ග්‍රීක කම්කරුවන් බදු පැහරහරින හා (රට විනාශයට හෙලා ඇති) කප්පාදු පියවරවලින් මොනයම් හෝ සහනයක් ප්‍රතික්ෂේප කරන කොටසක් ලෙස හෙලාදකිමින් ඔවුන් කෙරෙහි ඇගේ පන්ති වෛරය ප්‍රකාශ කලා ය.

සාකච්ඡාව තුල දී, පස් අවුරුදු ආර්ථික අර්බුදය හා ජාමූඅ ද යුරෝපා සංගමය ද නිර්දේශ කල කප්පාදු වැඩසටහන්වල ප්‍රතිඵල වශයෙන් නිර්මානය වී ඇති මහා විනාශය ගැන ලැගාඩ්ගෙන් ප්‍රශ්න කෙරුනි. විශේෂයෙන් ම, "දරුවන් ප්‍රසූත කරන විට පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සේවය ලබා ගත නොහැකි ” ගැබිනි කාන්තාවන්ගේ, "ජීවත සුරකුම් බෙහෙත් නොලබන” ලෙඩුන්ගේ හා "රැකවරනය මදකම නිසා මිය යා හැකි ” වැඩිහිටියන්ගේ දුර්දශාව ගැන කීමට ඇත්තේ කුමක්දැයි ඇගෙන් විමසන ලදී.

පැනවීමට ඇය විසින් උදව් කල ප්‍රතිපත්ති නිසා සිදුව තිබෙන දුක් වේදනා හා ජීවිත හානි අවඥාවෙන් බැහැර කල ඇය මෙසේ උත්තර දුන්නා ය: "නයිජීරියාවේ කුඩා ගමක, කුඩා පාසලක පැය දෙකක් පමනක් ඉගෙනුම ලබන ලමුන් ගැන මම වැඩියෙන් හිතනවා...ඇතැන්සයේ මිනිසුන්ට වඩා ඔවුන්ට උදව් අවශ්‍ය යයි මම සිතන නිසා ඔවුන් හැම විට ම මගේ සිතේ ඉන්නවා”.

අප්‍රිකාවේ දරිද්‍රතාවයට පත් ලමුන් පිලිබඳ කලින් ජනාධිපති නිකොලායි සාර්කෝසිගේ හිටපු මුදල් ඇමතිනියගේ කිඹුල් කඳුලු හෙලීම, බොහෝකොටම, අප්‍රිකාව තුල ප්‍රන්ස අධිරාජ්‍යවාදයේ ජනඝාතක වාර්තාවට හා සාර්කෝසි තන්ත්‍රය අයිවරි කෝස්ට්, ලිබියාව හා මහාද්වීපයේ අනෙකුත් ප්‍රදේශවල ගෙන ගිය නව යටත් විජිතවාදී මැදිහත්වීම් ගැන සලකන විට හැඟීම්බර නොවේ.

ජාමූඅ ප්‍රධානි මෙසේ ද පැවසුවා ය: "ඇතැන්සය ගැන උත්සුක වන තාක් දුරට, බදුවලින් පැන යාමට උත්සාහ කරන ග්‍රීසියේ සියලු මිනිසුන් ගැනත් මම සිතනවා”

"රක්ෂා හා මහජන සේවා නොමැතිව දිවි රැක ගැනීමට පොරබදන සියල්ලන්ට වඩා” බදු නොගෙවීම ගැන ඈ සිතුවා දැ යි විමසූ විට ලැගාඩ්ගේ පිලිතුර වූයේ, "මම ඔවුන් ගැන සමානව හිතනවා. ඒ වගේම මම හිතනවා සියල්ලන් ම තමන්ගේ බදු ගෙවීම මගින්, සාමූහිකව තම තමන්ට ම උදව් කරගත යුතු ය කියා” යන්නයි.

"එය හරියට, ඔබට හොඳ කාලයක් තිබුනා නමුත් දැන් ආපසු ගෙවන කාලය යයි ඇය ග්‍රීකයන්ට හා අනෙකුත් යුරෝපීයානුවන්ට, සාරාර්ථයෙන් කියා සිටීමක් නොවේ දැයි විමසූ කල, ‘ඒක හරි.’ යයි ඇය සන්සුන් ව හිස සැලුවා ය.” ගාර්ඩියන් පත්‍රය වැඩි දුරටත් පැවසී ය.

ජාමූඅ ප්‍රධානි වශයෙන්, බදු ගෙවීමෙන් පසු ඩොලර් මිලියන භාගයකට වඩා උපයන ලැගාර්ඩ්, යුරෝපය තුල හා ලෝකය පුරා ප්‍රතිපත්ති තීරනය කරන මූල්‍ය ප්‍රභූවේ දෘෂ්ටිය පිලිබිඹු කර යි. ඇදහිය නොහැකි දුක්වේදනාවන් හා දුර්දශාවන් පිලිබඳව ග්‍රීක ජනතාවට පරිභව කරමින් ඇය කතා කරන්නේ, සමස්ථ යුරෝපීය ධනේශ්වරය සහ එහි සියලු ජාතික ආන්ඩු හා යුරෝපා සංගම් ආයතන වෙනුවෙනි.

ඇගේ "පාන් නැත්නම් කේක් කාපල්ලා” ආකල්පය, යුරෝප‍යේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය කෙරෙහි ඇගේ පන්ති පිලිකුල හා බිය කැටිකර දක්ව යි. ඇගේ ප්‍රකාශය, පන්ති සම්බන්ධතාවන්ගේ අතිමූලික හා තිරසාර ප්‍රතිව්‍යුහනයක් ඇති කිරීම පිනිස, ධනේශ්වර අර්බුදය ගසාකෑමේ දැනුවත් ප්‍රතිපත්ති‍යෙහි අඩිතාලම ලෙස සේවය කිරීමට ග්‍රීසිය තෝරා ගෙන ඇත යන කරුන අවධාරනය කර යි. කම්කරු පන්තියේ සියලු අතීත ජයග්‍රහනයන් අතුගා දැමීමට සහ 19වැනි සියවසින් පසු නොදුටු දරිද්‍රතාව හා සූරාකෑම සඳහා කොන්දේසි පනවමින්, සමාජ ප්‍රතිවිප්ලවයක් සාර්ථක කර ගැනීමට ධනේශ්වරය අධිෂ්ඨාන සහගත ය.

මැයි 6 ප්‍රන්ස ජනාධිපතිවරනයේදී සාර්කෝසිගේ පරාජයෙන් හා සමාජවාදී පක්ෂ අපේක්ෂක ප්‍රන්සුවා ඔලොන්ද් තෝරා ගැනීමෙන් පසු, "යුරෝපය තුල ප්‍රවාහය කප්පාදුවලට එරෙහිව හැරෙමින් තිබේ” යයි "ප්‍රවර්ධනයේ” මූලෝපායට පක්ෂපාතී මාධ්‍ය විස්තර ප්‍රකාශකයින් තොගයක්ම අනාවැකි පල කලහ. බර්ලිනය නියම කල හා බ්‍රසල්ස්හි දී අනුමත කල කප්පාදු ප්‍රතිපත්ති මෘදු කිරීමට මග පාදමින් ඔලොන්ද්, ජර්මනියට ප්‍රතිප්‍රහාරයක් ලෙස සේවය කරනු ඇතැයි අදහන, විශේෂයෙන් ග්‍රීසිය තුල පෙරලිකාරී වාමාංශික සභාගයේ නායකයා වන ඇලෙක්සිස් ට්සිප්‍රාස් වැනි දේශපාලඥයෝ, නව ප්‍රන්ස ආන්ඩුව පිලිබඳ මිථ්‍යාවන් දිරිමත් කලහ.

මෑත සිදුවීම් එවැනි ප්‍රකාශවල වැදගැන්මකට නැතිකම ප්‍රදර්ශනය කර ඇත. ප්‍රන්ස ජනාධිපතිවරනයෙන් යන්තම් දින කීපයකට පසු, නව ප්‍රන්ස ආර්ථික කටයුතු ඇමති පියර් මොස්කෝවිසි, ඔලොන්ද් "බදු අඩු කරන පාර්ශ්වයේ” දේශපාලකයෙකු මිස කොහෙත් ම "කේනිසියානුවෙකු” නොවේ යැයි මූල්‍ය වෙලඳපොලට යලි තහවුරු කිරීම සඳහා ෆයිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයට සම්මුඛ සාකච්ඡාවක් දුන්නේ ය. ඒ අනුව බැංකු ඉල්ලා සිටින කප්පාදු පියවර සඳහා ඔහුගේ සහයෝගය ලබාගත හැකිවනු ඇත.

යුරෝපීය අර්බුදය සාකච්ඡා කිරීම සඳහා මැයි 23වැනිදා පැවති යුරෝ සංගම් සමුලුවට දවසකට පෙර ඔලොන්ද්, ජෝර්ජ් පපන්ද්‍රියෝගේ පැසොක් ආන්ඩුවේ මුදල් ඇමති හැටියට ජාමූඅ හා යුරෝපා සංගම් කප්පාදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකල, පැසොක් නායක එවන්ජෙලෝස් වෙනිෂෙලෝස් මුන ගැසුනි. මුනගැසීම උනුසුම් හා මිත්‍රශීලී එකක් වී යැයි පැවසේ.

"ප්‍රවර්ධනය” පිලිබඳ ඔලොන්ද් කඳවුරේ කතා, මූලිකව ම මැතිවරන දේශපාලනය උදෙසා බව යුරෝපා සංගම් සමුලුව දිනයේ ෆිනෑන්ෂල් ටයිම්ස් ඩොයිෂර්ලෑන්ඩ් පුවත්පත පැහැදිලි කලේ ය. එහි මෙසේ සඳහන් විය: "ප්‍රන්සයේ පාර්ලිමේන්තු මැතිවරන ජූනි මස මැදට නියම කිරීමේ තේරුම වනුයේ, ඔහුගේ ප්‍රචාරක ආස්ථානයන් කරා ආපසු යෑමට ජනාධිපතිට (ඔලොන්ද්ට) තවමත් වේලාසන වැඩිය යන්නයි.”

ඔලොන්ද් විසින් පොරොන්දු වුන, "ප්‍රවර්ධනය” පිටුපස ඇති ප්‍රමුඛතාවන් හෙලි කරමින් ප්‍රන්ස අගමැති ජින් මාක් අයිරෝල්ට් පසුගිය සතිඅන්තයේ පැවසුවේ, අර්බුදයට මුහුනපා ඇති රටවලට සෘජුව නය සැපයීම සඳහා යුරෝපීය මධ්‍යම බැංකුවට අවසර දිය යුතු බවය. මෙම යෝජනාවට ජර්මනිය දැඩි ලෙස විරුද්ධ වූ නමුත් මූල්‍ය වෙලඳපොලවල් හා තම රටේ රෝගී බැංකුවලට වහා ම අලුත් එන්නතක් ඉල්ලා ඇති ස්පාඤ්ඤ අගමැති, එයට සහාය පලකලේය. සිකුරාදා, ස්පාඤ්ඤ බැංකුව යුරෝ බිලියන 19ක (ඩොලර් බිලියන 23.8) මූල්‍ය සහායක් ආන්ඩුවෙන් ඉල්ලුවේ ය.

ප්‍රන්ස ආන්ඩුව තම මැතිවරන පොරොන්දුවලින් වේගයෙන් පසු බැසීමේ තත්වයක පසුවන අතර ජර්මානු ආන්ඩුව හා බැංකු, ග්‍රීසියට එරෙහි නව ප්‍රහාරයක් සූදානම් කරමින් සිටී.

සතියකට පෙර ජර්මනියේ විශාලත ම බැංකුව වන ඩොයිෂ් බැංකුව, ග්‍රීසිය සඳහා විශේෂ මුදලක් ලෙස ඊනියා "ජීයුරෝ” සඳහා සැලැසුම් සාකච්ඡා කරමින් සිටි බව ප්‍රකාශ කලේ ය. ඩොයිෂ් බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ තෝමස් මේයර්ට අනුව, "ජීයුරෝ” ග්‍රීසියට තමන්ගේ ම නව මුදල අවප්‍රමාන කිරීමට ඉඩ දෙනු ඇති අතර, ඒ මගින් එයට වහා ම මූර්ත වැටුප් කප්පාදුවට හා තවදුරටත් ආන්ඩුවේ "ප්‍රතිසංස්කරන“ සඳහා ඉඩ ලබා දෙනු ඇත. වෙනත් කතාවක දී, අලුතින් පත් වූ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජූගන් පිෂෙන් ග්‍රීසිය "අසාර්ථක රටක් ... දූෂිත රටක් ” ලෙස විස්තර කලේ ය.

ජර්මානු බුන්ඩෙස්බැංකුව ද ග්‍රීසියේ අනාගතය සඳහා යාඥා කිරීමට පටන්ගත් අතර ග්‍රීසිය යුරෝවෙන් වෙන්වීම "පාලනය කල හැකි” වනු ඇතැ යි වාර්තා කලේ ය. බුන්ඩෙස්බැංකුව හා යුරොපීය මධ්‍යම බැංකුව යන දෙක ම දැන්, ග්‍රීක-යුරෝ වෙන්වීමක් සඳහා හදිසි සැලැස්මක් සකස් කරමින් සිටින බව තහවුරු වී ඇත. මෙම පියවර ග්‍රීක ජනතාව සඳහා ක්ෂනික හා විනාශකාරී ප්‍රතිවිපාක සහිතව, බැංකු තැන්පතු දියවී යාමක් හා තදබල උද්ධමනයක් අවුලුවනු ඇත.

ජර්මානු ආන්ඩුව, ග්‍රීසියේ හා අනෙකුත් රෝගී යුරෝපීය ආර්ථිකයන්හි "ප්‍රතිව්‍යුහනය” සඳහා යෝජනා ඉදිරිපත් කොට ඇත. ඩර් ස්පීගල් වාර්තාවකට අනුව, සැලැස්ම, ස්ටැලින්වාදී නැගෙනහිර ජර්මනියේ (ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදී සමූහාන්ඩුව-ජීඩීආර්) බිඳවැටීමෙන් පසුව, බටහිර ජර්මානු ආන්ඩුව හඳුන්වාදුන් "කම්පන චිකිත්සාවේ” ප්‍රෙභේදයක් සඳහා කැඳවුම් කර යි.

කාරනා හයේ ජර්මානු සැලැස්මට, වඩා දුර යන පෞද්ගලිකකරනය, ව්‍යාපාර රෙගුලාසි තොග වශයෙන් ඉවත් කිරීම, කම්කරුවන් දොට්ට දැමීම පහසු කරනු පිනිස ශ්‍රම වෙලඳපොල "ප්‍රතිසංස්කරනය” හා පහල සංගත බදු අනුපාත ඇතුලත් ය. සැලැස්ම ආර්ථික කලාප පිහිටුවීම හා පෞද්ගලික කරනයේ ආයතන ඇතිකිරීම ද යෝජනා කර යි, මේවා පැරනි නැගෙනහිර ජර්මනියේ කර්මාන්ත විනාශ කල හා එහි බොහෝ ප්‍රදේශ ඉහල විරැකියාවට හා දරිද්‍රතාවට ඇදහෙලූ ඒවාට සමාන ය.

සැලැස්මේ ප්‍රධාන ඉලක්කය, දැන් ජර්මනියේ පවතින දැවැන්ත පහල වැටුප් අංශයක්, යුරෝපය පුරා ස්ථාපිත කිරීම ය. ජර්මනිය තුල ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, සැලැස්ම සඳහා සිය සහයෝගය ගැන ඉඟි කර ඇත.

බැංකු ඉතාමත් හොඳින් ආරක්ෂා කරන්නේ කෙසේ ද යන්න මත, අත්ලාන්තික් සාගරය හරහා සහ යුරෝපය තුල ප්‍රධාන ධනේශ්වර බලවතුන් අතර සැලැකිය යුතු වෙනස්කම් පවතින නමුත් අර්බුදයේ සම්පූර්න වියදම කම්කරු පන්තිය විසින් ගෙවිය යුතු ය යන්න මත ධනේශ්වර ප්‍රභූව තුල ඒකමතිකත්වයක් පවතී.

Share this article: