ඉන්දියාවේ ස්ටැලින්වාදීන් ශ‍්‍රී ලංකාවේ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ජාතිකවාදී ධනපති පන්තිය සමග පෙල ගැසෙති

Indian Stalinists line up with national bourgeoisie on Sri Lanka’s Tamil issue

By V. Sivagnanan , 10 May 2012

ශ‍්‍රී ලංකාවේ දෙමල සුලුතරයේ ප‍්‍රශ්නය පිලිබඳ ඉන්දියාවේ ප‍්‍රමුඛ ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂවල පිලිවෙත පදනම්ව ඇත්තේ ඉන්දියානු ධනපති පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කිරීම මත ය. මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හෙවත් සීපීඑම් හා ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) යන පක්ෂ නව දිල්ලිය හා දකුනු ඉන්දීය තමිල්නාඩු ප‍්‍රාන්තයේ ප‍්‍රජාගනවාදී පක්ෂ සමග පෙල ගැසී සිටිති.

පසුගිය අපේ‍්‍රල් මස මුලදී කොලිකොඩ්හි දී පැවැති සීපීඑම්හි 20 වෙනි ජාතික සම්මේලනය විසින් "ශ‍්‍රී ලංකාවේ දෙමල ප‍්‍රශ්නය” පිලිබඳ සම්මත කර ගත් යෝජනාවක් "ස්වයංපාලන අයිතිවාසිකම් මත පදනම් වූ දේශපාලන විසඳුමක් මෙන්ම දෙමල-කතාකරන ප‍්‍රදේශවලට බලය බෙදාහැරීමට,” එනම්, උතුර හා නැගෙනහිර වෙනුවෙන් දිවයිනේ සිංහල, දෙමල හා මුස්ලිම් ප‍්‍රභූව වෙත බලය බෙදා දීමේ වැඩසටහනක් ඇටවීම සඳහා කැඳවුම් කලේ ය.

එමෙන් ම, සීපීඑම් යෝජනාව, "දෙමල ජනයා සම්පූර්නයෙන්ම පුනරුත්ථාපනය කිරීමටත් යලි පදිංචි කිරීමටත් අවශ්‍ය සියලුම දේශපාලනික හා රාජ්‍යතාන්ත‍්‍රික පරිශ‍්‍රමයන් යොදන්නැයි ඉන්දියානු ආන්ඩුව උනන්දු කර සිටියි.” "මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ ස්වාධීන හා විස්වාසනීය විමර්ශනයක් කිරීමට හා වගවීමටත්” එය කොලඹ ආන්ඩුවට කැඳවුම් කලේය.

"දේශපාලන විසඳුමක්” පිලිබඳ මෙම පල්ල ගිය දෙඩවිල්ල දිවයිනේ දෙමල මහජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රික අයිතිවාසිකම් පිලිබඳ එකදු ප‍්‍රශ්නයක් විසඳීමෙහි ලා අරමුනු කෙරුනක් නොවේ. ඉන්දියානු පාලක ප‍්‍රභූව වෑයම් කරන්නේ ශ‍්‍රී ලංකාව තුල එහි බලපෑම ඉහල දමා ගැනීමට හැකිවන අයුරින් ශ‍්‍රී ලංකාවේ ධනපති-ගැති දෙමල පක්ෂ කොලඹ සංස්ථාපිතයට ගැට ගැසීමට ය. අනෙක් අතට, ශ‍්‍රී ලංකාව තුල තමන්ට වාර්ගිකව-සබඳතාවන් ඇති දෙමල ජනයාගේ දුක් ගැහැට පිලිබඳ සැලකිලිමත් වන තමිල්නාඩු මහජනතාවගේ වෛරය වෙනතකට හැරවීම ද එහි තවත් අරමුනකි.

අවතැන් ජනතාව "පුනරුත්තාපනය කිරීමට හා යලි පදිංචි කිරීමට” හා "මානව අයිතීන් උල්ලංඝනය කිරීම්” පිලිබඳ විමර්ශනය කිරීමට සීපීඑම් ඉල්ලා ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ අවශ්‍යතාවන් සමග පෙල ගස්සා ගැනීම සඳහා පීඩනය දැමීමේ ලීවරයක් ලෙස නව දිල්ලිය මානව හිමිකම් ප‍්‍රශ්නය යොදා ගන්නවා දැකීම සීපීඑම්ට උවමනා කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (යූඑන්එච්ආර්සී) වෙත යෝජනාවක් පසුගිය මාර්තු මාසයේ දී එක්සත් ජනපදය ඉදිරිපත් කල අවස්ථාවේ දී සීපීඑම් හා සීපීඅයි ආස්ථානයන් තියුනු ලෙස අවධානයට ලක් විය. සීපීඅයි යෝජනාවට සෘජුව ම සහය දුන් අතර සීපීඑම් එයට වටරවුමෙන් සහය දුන්නේ ය.

එක්සත් ජනපද යෝජනාව ඉල්ලා සිටියේ, කොලඹ ආන්ඩුව ම පත්කල උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ (එල්එල්ආර්සී) සීමිත යෝජනාවන් ක‍්‍රියාත්මක කරන ලෙස ය. 2009 වසරේදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි අවසාන ප‍්‍රහාරයේ දී ආන්ඩුව කල යුද අපරාධවලට සුදුහුන ගෑමට රාජපක්ෂ මෙම කොමිසම අටවා තිබිනි.

තමිල්නාඩුවේ දේශපාලන පක්ෂවල පීඩනය වෙනතකට හැරවීමටත් ශ‍්‍රී ලංකාව තුල චීනයේ වැඩෙන ආර්ථික හා මූලෝපායික බලපෑමට ඉන්දියාව විරුද්ධ බව කොලඹට ඉ`ගියක් දීමටත් නවදිල්ලිය යෝජනාවට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කලේ ය. චීනයට එරෙහිව එහි ආක‍්‍රමනශීලී පිලිවෙත අනවරතව ඉදිරියට ගෙන යමින් සිටින වොෂිංටනයට අවශ්‍යව ඇත්තේ රාජපක්ෂ ආන්ඩුව බීජිනයෙන් ඈත් කර ගැනීමට ය.

මාර්තු 30 දින අවසන් වූ සීපීඅයි සම්මේලනය යූඑන්එච්ආර්හි දී සම්මත වූ යෝජනාවට හුරේ දැමුවේ, එය මානුෂවාදී ක‍්‍රියාමාර්ග ගැනීමටත්, යුද අපරාධ පිලිබඳ විමර්ශනය කිරීමට හා දේශපාලන විසඳුමක් යෝජනා කිරීමටත් ශ‍්‍රී ලංකා ආන්ඩුව "තල්ලුකරවා ගැනීම” සඳහා ඉන්දියාවට "අවස්ථාවක්” සලසා දෙන්නක් වසයෙනි. ඇත්ත වසයෙන්ම, එක්සත් ජනපද යෝජනාවට මෙවැනි අරමුනු කිසිවක් තිබුනේ නැත. එයින් අරමුනු කෙරුනේ එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ අවශ්‍යතාවන් ආරක්ෂා කිරීම ය.

යූඑන්එච්ආර්සී ඡන්දයට පෙරාතු මාර්තු 13 වෙනි දින ශ‍්‍රී ලංකාව පිලිබඳ සීපීඑම් නිකුත් කල ප‍්‍රකාශය හෝ එහි සම්මේලන යෝජනාව එක්සත් ජනපද යෝජනාව පිලිබඳ මුනිවත රැකි අතර පක්ෂයේ ඊනියා එක්සත් ජනපද-විරෝධී ආස්ථානය පවත්වා ගැනීම එයින් අරමුනු කෙරුනි.

සීපීඅයි හා සීපීඑම් එක්සත් ජනපද යෝජනාවට සහය දීමේදී සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත‍්‍ර කසාගම් (ඒඅයිඒඩීඑම්කේ, තමිල්නාඩු පාලක පක්ෂය), ද්‍රවිඩ මුන්නේත‍්‍ර කසාගම් (ඩීඑම්කේ) හා මරුමලචි ද්‍රවිඩ මුන්නේත‍්‍ර කසාගම් (එම්ඩීඑම්කේ) යන පක්ෂවල වාර්ගවාදී මෙහෙයුම සමග පෙල ගැසුනි.

සීපීඑම් හා සීපීඅයි ඇතුලූ මෙකී සියලු පක්ෂ මාර්තු 13 වෙනි දින ඉන්දියානු පාර්ලිමේන්තුවේ සභා දෙකේ ම කටයුතු අවහිර කලේ ශ‍්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජනපද යෝජනාවට සහය දෙන ලෙස නව දිල්ලියට බලකරමිනි. යෝජනාවට ඔහුගේ ආන්ඩුව සහය දෙනු ඇතැයි සඳහන් කිරීමට ඉන්දීය අගමැති මන් මෝහන් සිංට බලකරනු ලැබූ කාරනාවන්ගෙන් එකක් වන්නේ මෙම පීඩනය යි.

අනෙකුත් ප‍්‍රමුඛ බලවතුන් මෙන්ම ඉන්දියාව ද මිලිටරි හා උපායාත්මක සහය සම්පාදනය කරමින් එල්ටීටීඊයට එරෙහි රාජපක්ෂ ආන්ඩුවේ මිලිටරි ආක‍්‍රමනයට පිටුබලය සැපයීය. මිලිටරි ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් ඇතුලු දෙමල වැසියන් දහස් ගනනක් ඝාතනය කරද්දී හා දස දහස් ගනනක් දෙමල වැසියන් සාගින්නට තල්ලු කරමින් හෝ ඔවුන් වෙත වෛද්‍ය ආධාර සපයනු ලැබීම ප‍්‍රතික්ෂේප කරමින් හිරිහැරයට පත් කරන අතරේ ඉන්දියාව ඒවා කෙරේ අන්ධව සිටියේ ය.

ගැටුමට මැදිවූ "දෙමල සිවිල් වැසියන්ගේ ඛේදවාචකය” පිලිබඳ ව්‍යාජ ලෙස සැලකිල්ල යොමු කරන අතරේ ඔවුන් එල්ටීටීඊයට සහය දෙන්නේ නැතැයි කියමින් සීපීඑම් හා සීපීඅයි මෙම ම්ලේච්ඡ ආක‍්‍රමනයට සහය දුන්නේය. එවැනි සංවේගයන් තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ පවා දක්වා ඇත.

2009 වසරේ පෙබරවාරි 02 දා තමිල්නාඩු ප‍්‍රාන්තයේ මදුරාසි හි දී මාධ්‍යය අමතා සීපීඑම් මහ ලේකම් කරට් ප‍්‍රකාශ කලේ, "ඉතා ඉක්මනින්ම විසඳිය යුතුව ඇති ප‍්‍රමුඛ කාරනාව වන්නේ දෙමල සිවිල් ජනයාගේ ඛේදවාචකය” බවයි. ස්වාධිපත්‍ය සහිත රටක් වසයෙන් "ශ‍්‍රී ලංකාව සමග යහපත් අසල්වැසි සබඳතාවක් අප විසින් පවත්වා ගන්නා අතරේ, යුද කලාපයේ සිරව ඇති සිවිල් ජනතාව ගලවා ගැනීමට ඉන්දියාව එහි රාජ්‍ය තාන්ත‍්‍රික හා දේශපාලන මැදිහත්වීම වේගවත් කල යුතු” යැයි ඔහු තවදුරටත් සඳහන් කලේ ය.

ශ‍්‍රී ලංකාවේ ස්වාධිපත්‍යය පිලිබඳ මතුරමින් ශ‍්‍රී ලංකාවට "රාජ්‍යය තාන්ත‍්‍රිකව හා දේශපාලනිකව” මැදිහත් වීමට එයට අයිතිය තිබේයැයි කියාපාන ඔවුහු ඉන්දියාවේ කලාපීය අධිකාරය ඉස්මුදුනින් පිලිගනිති.

ඉන්දියානු ධනපති ජාතික රාජ්‍යය ආරක්ෂා කිරීමේ ආස්ථානයෙන් සීපීඑම් හා සීපීඅයි පක්ෂ දෙකම බෙදුම්වාදී එල්ටීටීඊයට විරුද්ධ විය. ඔවුන් එල්ටීටීඊයේ බෙදුම්වාදී වැඩපිලිවෙලට විරුද්ධ වූයේ එය වාර්ගික රේඛාවන් ඔස්සේ කම්කරු පන්තිය බෙදාලන ජාතිකවාදී ධනපති වැඩපිලිවෙලක් නියෝජනය කලේය යන මූලධර්මාත්මක මාක්ස්වාදී ආස්ථානයෙන් නොවේ. සීපීඑම් හා සීපීඅයි පෙලගැසුනේ එල්ටීටීඊ බෙදුම්වාදය ඉන්දියානු රාජ්‍යය දුර්වල කරමින් ඉන්දියාව තුල සිටින එයට සමාන බෙදුම්වාදී ප‍්‍රවනතාවන්ට උඩගෙඩි දෙනු ඇතැයි යන ඉන්දියානු ජාතික ධනපති පන්තියේ අදහස සමග ය.

සීපීඅයි-සීපීඑම් යන පක්ෂ දෙක ශ‍්‍රී ලංකාවේ යුද්ධයට සහය දීම හා ඉන්දියානු ධනපති පන්තියේ අවශ්‍යතාවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දිගු ඉතිහාසයක් තිබේ.

එකල ඉන්දීය අගමැති රජීව් ගාන්ධි හා ශ‍්‍රී ලංකාවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1987 ජූලි මාසයේ අත්සන් කරන ලද ඉන්දු-ලංකා ගිවිසුමට මෙම පක්ෂ දෙකම සහය දුන්නෝ ය. මෙම ගිවිසුම යටතේ එල්ටීටීඊ සංවිධානය හා දිවයිනේ උතුරු හා නැගෙනහිර දෙමල ජනයාගේ විරුද්ධත්වය මර්දනය කිරීමට එම ප‍්‍රදේශවලට ඉන්දියානු සාමසාධක හමුදාවකට ආරාධනා කල අතර එයින් සිවිල් වැසියන් දහස් ගනනක් මරා දැමින. අනෙක් පැත්තට එය තරුනයින් 60,000ක් ඝාතනය කරමින් දකුනේ ගම්බද කැරලි මැඩපැවැත්වීමට කොලඹ ආන්ඩුවට හා ශ‍්‍රී ලංකා හමුදාවන්ට ඉඩ අවකාශ විවර කර දුනි.

"ගිවිසුම දීර්ඝ කාලීන වාර්ගික ගැටලුව විසඳීම කරා දිවෙන ධනාත්මක පියවරක්” වසයෙන් සීපීඅයි එය සාදරයෙන් පිලිගත්තේ ය. සියලු දෙනා විසින් නිසියාකාරව පිලිගෙන ක‍්‍රියාත්මක කලහොත් දෙමල ප‍්‍රශ්නය විසඳීමට ගිවිසුමට හැකියාව ඇති බව සීපීඑම් ප‍්‍රකාශ කලේ ය. දෙමල ජනයාගේ ආරක්ෂකයා වසයෙන් මවාපෙන්වීමට වෑයම් කරමින් සීපීඑම් ප‍්‍රකාශ කලේ, දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමටත් අධිරාජ්‍යවාදීන්ගේ ඉලක්ක පරාජය කිරීම සඳහාත් ඉන්දු-ලංකා ගිවිසුම අත්‍යවශ්‍ය වූ බවයි.

මෙම ස්ටැලින්වාදී පක්ෂ රට තුලත් ජාත්‍යන්තරවත් එහි අවශ්‍යතාවන් ආරක්ෂා කිරීමට ඉන්දියානු ධනපති පන්තිය සමග සමීපව කටයුතු කරති. ඔවුන්ට අනෙක් ධනේශ්වර පක්ෂ සමග විරසකයක් ඇත්නම් එය වනාහි එම අවශ්‍යතාවන් හොඳින් ම ආරක්ෂා කලහැක්කේ කුමන මාර්ගයෙන්දැ‘යි යන්න අරබයා ය. මධ්‍යම ආන්ඩු මෙන්ම ප‍්‍රාන්තීය ආන්ඩු ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් කුප‍්‍රකට වාර්තාවකට සීපීඑම් හා සීපීඅයි හිමිකම් කියති.

ශ‍්‍රී ලංකාවේ දෙමල ප‍්‍රශ්නය සම්බන්ධයෙන් මෙකී පක්ෂවල ස්ථාවරය පෙන්නුම් කරන්නේ ඉන්දියාවේ ජාතික අවශ්‍යතාවන් ආරක්ෂා කිරීමෙහිලා අධිරාජ්‍යවාදීන් සමග වුව ගාල්වීමට ඔවුන් සූදානම් බව යි.

Share this article: