චීනය සමග ආතතීන් උත්සන්න වීමත් සමග

එක්සත් ජනපද‍ය සිය නාවික හමුදා බල ඇනි බොහොමයක් ආසියා පැසිපික් කලාපයට හැරවීමට තීරනය කරයි

As tensions mount with China, US to shift bulk of Navy ships to Asia-Pacific

By Patrick Martin, 4 June 2012

ඉදිරි දශකය තුල එක්සත් ජනපදය, එහි නාවික හමුදාවන්ගෙන් වැඩි කොටස ආසියා- පැසිෆික් කලාපය දෙසට හරවනු ඇතැ යි ආරක්ෂක ලේකම් ලියොන් පැනෙටා සිංගප්පූරුවේ පැවති ආරක්ෂක සම්මේලනයක දී 02දා ප්‍රකාශ කලේ ය. මෙම පියවර, චීනය එක්සත් ජනපද ඉලක්ක ලැයිස්තුවේ මුදුනේ තබන ඇමරිකානු ගෝලීය මූලෝපාය තුල මූලික වෙනස්වීමක කොටසකි.

මෙසේ යුද නැව් බලමුලු ගැන්වීම, කලාපය තුල ගුවන්, මුහුදු හා ගොඩබිම් හමුදා යොදාගනිමින් පෙන්ටගනය මෙහෙයවන යුද අභ්‍යාස සංඛ්‍යාවේ වැඩිවීමක් සමග අත්වැල් බැඳගනු ඇත. ජපානය, දකුනු කොරියාව, ඕස්ට්‍රේලියාව හා පිලිපීනය ඇතුලුව චීනයට එරෙහිව විවෘතව හෝ නිහඬව ඇමරිකාව සමග පෙලගැසෙන රටවල් සමග හවුලේ, මෙම මෙහෙයුම්වලින් වැඩි කොටසක් ක්‍රියාත්මක කරනු ඇත.

සමුලුවට කල ඔහුගේ කතාවේ දී පැනෙටා, ගිය වසරේ දී ඔබාමා ප්‍රකාශ කල "භ්‍රමන කේන්ද්‍රය ආසියාවට” යන්න පදනම් කරගෙන, එක්සත් ජනපද හමුදා ඉරාකයෙන් ඉවත් කිරීම හා ඇෆ්ගනිස්තානයෙන් අඩුකිරීම ඇරඹීමත් සමග, ඈත පෙරදිගට වැඩි ප්‍රමානයක් සම්පත් විසුරුවා හැරීමට එක්සත් ජනපදයට ඉඩ සලසනු ඇතැ යි ප්‍රකාශ කලේ ය.

"ආසියා - ශාන්තිකර කලාපය ඉහල ප්‍රමුඛතාවයකට ගෙන ඒමේ ජනාධිපති උපදෙස් ක්‍රියාත්මක කිරීම අනුව, සියලු ම එක්සත් ජනපද හමුදා සේවාවන් යොමු කෙරෙන” බව පැනෙටා පැවසූවේය. "ආරක්ෂාව හා ස්ථාවරත්වය සඳහා ගෝලීය බලයක් ව සිටිමින් එක්සත් ජනපද මිලිටරිය, ආසියා - ශාන්තිකර කලාපය දෙසට නැවත බරවීමේ අවශ්‍යතාව හඳුනාගෙන සිටියි. ”

වර්තමාන එක්සත් ජනපද නාවික හමුදාව, අත්ලාන්තික් හා ශාන්තිකර සාගර අතර 50-50ක් ලෙස ස්ථානගත කර තිබේ. 2020දී මෙය ශාන්තිකරය දෙසට 60-40 වශයෙන් වෙනස් වන බව පැනෙටා පැවසීය. "එයට කලාපයේ ගුවන් යානා හාරක නැව් හයක්, අපගේ යුද නෞකා වැඩිහරියක්, ඩිස්ට්‍රෝයර්ස්, වෙරලබඩ සටන් නෞකා හා සබ්මැරීන අයත් ය. කලාපයට අපගේ කැපවීමේ හරය මෙම හමුදා” බව ද ඔහු සඳහන් කලේ ය.

එය එක්සත් ජනපද හමුදා ශක්තිමත් කිරීමේ "තීරනාත්මක සංරචකයක්” ලෙස නම් කරමින් පැනෙටා ප්‍රශංසාව සඳහා, උතුරු ඕස්ට්‍රේලියාවේ ඇමරිකානු හමුදා රැඳවීම සඳහා ඕස්ට්‍රේලියානු ආන්ඩුව සමග පසුගිය සරත් කාලයේ දී ඇති කර ගත් ගිවිසුම, තෝරා ගත්තේ ය.

මෙලෙස, චීනයේ ආනයන හා අපනයන වෙලඳාමට, විශේෂයෙන් ම මැද පෙරදිගින් හා අප්‍රිකාවෙන් තෙල් සපයා ගැනීමට වැදගත් වන මලක්කා සමූද්‍ර සන්ධිය වැනි ප්‍රධාන ස්ථානවලට මැදිහත්වීමට හැකිවනු ඇති බව තහවුරු කරමින්, "මෙම නාවික, ගුවන් හා ගොඩබිම් විශේෂ බලකාය, ආසියා-ශාන්තිකර කලාපය හරහා වේගයෙන් හමුදා මෙහෙයුම් සිදු කිරීමට සමත් වනු ඇතැයි ” ඔහු කීවේ ය.

මාරුවීමේ පදනම මත එක්සත් ජනපදය, පිලිපීනය තුල ගොඩබිම් හමුදාවක් ස්ථානගත කිරීම සඳහා ඒ ආකාරයේ ගිවිසුමක් ඇතිකර ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව හා ඒවා නම් නොකලත් ඔහු, කලාපයේ අනෙකුත් රටවලට ද එවැනි පියවර ගැනීමේ අවශ්‍යතාවය ඒත්තු ගන්වමින් සිටින බව කීවේ ය. 2011දී එක්සත් ජනපද හමුදා ආසියා-ශාන්තිකර කලාපය තුල හමුදා අභ්‍යාස 172ක් සිදුකර ඇති අතර මෙම වර්ෂයේ දී එම සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහල යා හැක.

එක්සත් ජනපද හමුදා ශක්තිමත් කිරීම චීනයට එරෙහිව එල්ල කර නොමැති බව පැනෙටා ප්‍රකාශ කලේ ය. එමෙන් ම "අනාගතය සඳහා අපගේ බෙදාහදාගත් ආරක්ෂාව හා සෞභාග්‍යය ඉදිරියට ගෙන යනවාත් සමග කලාපය තුල වැඩිකල එක්සත් ජනපද මැදිහත්වීම චීනයට ප්‍රතිලාභයක් වනු ඇතැ යි ” ඔහු පැවසී ය.

කෙසේ නමුත්, ඔහු ප්‍රකාශ කල පියවරයන්ගේ අර්ථය නොවරදින සුලුය. එක්සත් ජනපද නාවික හමුදාවෙන් අඩකට වඩා ආසියා-ශාන්තිකර කලාපයෙහි ස්ථනගත කිරීමට නියමිත ය. වෙන කුමන රට ද ඉලක්ක විය හැක්කේ?

උතුරු කොරියාවට ඇත්තේ වෙරලාසන්න නැව් අතලොස්සක් බැවින් ඒවා ඇමරිකාවට තබා දකුනු කොරියාවටවත් තර්ජනයක් නොවේ. ආසන්න වශයෙන් කලාපය තුල සියලු ම රටවල්, එක්කෝ ජපානය, දකුනු කොරියාව, පිලිපීනය හා ඕස්ට්‍රේලියාව මෙන් එක්සත් ජනපදයේ නිල මිතුරන් ය, තායිවානය හා සිංගප්පූරුව මෙන් සේවාදායක ආන්ඩු ය, නැතහොත් ඉන්දියාව මෙන්, චීනයට එරෙහිව මිලිටරි පියවරක දී විශ්වාසය තැබිය හැකි හවුල්කරුවෙකි.

"එක්සත් ජනපදයේ සිටින අපි අභියෝගයන් ගැන මනා ඇස් ඇත්තෝ වෙමු” යි පැනෙටා, චීනය සමග එක්සත් ජනපදයේ සම්බන්ධතාවන් සඳහන් කරන විට, සමුලුව‍ට සහභාගිවූ සියලු දෙනා මෙන්ම චීනය ද සැකයකින් තොර ව පනිවිඩය ධාරනය කර ගත්හ.

කිසියම් සැක සාංකා වෙත් නම් එයට පිලිතුරු වශයෙන් පැනෙටා, කලාපය තුල එක්සත් ජනපද යුද ඉතිහාසය පිලිබඳව සිහිකැඳවමින් තම කතාව අවසන් කලේ ය: "ඉතිහාසයේ ප්‍රගමනය මත, එක්සත් ජනපදය යුද්ධ කර ඇත. අපි ලේ වගුරවා ඇත්තෙමු. ආසියා -ශාන්තිකර කලාපය තුල අපගේ වැදගත් උත්සුකයන් රැකගැනීමට නැවත නැවතත් අපගේ හමුදා මෙහෙයවා ඇත්තෙමු” යි ඔහු ප්‍රකාශ කලේය.

සිංගප්පූරුවෙන් පසු පැනෙටා, පසුගිය පනස් වසර තුල දී චීනය සමග යුද්ධ කර ඇති රටවල් දෙකකට, එනම් වියට්නාමයට (මෙය 1979දී චීනය සමග යුද්ධ කලේ ය) හා ඉන්දියාවට (1962දී) ගියේ ය. ඉරිදා වියට්නාමයේ දී, වියට්නාම් යුද්ධය අතරතුර දී ඇමරිකාවේ විශාලත ම නාවික කඳවුර වූ කැම් රැන්හ් බොක්කේ නැංගුරම් ලූ හමුදා නැවක් මත දී ඔහු නාවිකයන්ට කතා කලේ ය.

ප්‍රසිද්ධ පෙනීසිටීම්වලට අමතරව පැනෙටා, ජපාන, දකුනු කොරියා, පිලිපීන, ඕස්ට්‍රේලියා, මැලේසියා හා සිංගප්පූරුවේ ආරක්ෂක ඇමතිවරු හා අනෙකුත් ඉහල නිලධාරීන් සමග සිංගප්පූරුවේ සම්මේලනය අතර තුර එහෙත් ඉන් පිටත රහස් සාකච්ඡා පවත්වා ඇත. තායිලන්තයේ හා කාම්බෝජයේ ආරක්ෂක ඇමතිවරු තම රටවලට පැමිනෙන ලෙස පැනෙටාට ආරාධනා කලහ.

උතුරු කොරියාවට එරෙහි ඒකාබද්ධ මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා දකුනු කොරියාවේ ජාතික ආරක්ෂක ඇමති කිම් ක්වාන් ජින් හා ජපාන පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨ උප ඇමති ෂූ වටනාබේ සමග පැනෙටා ත්‍රෛයිපාක්ෂික සාච්ඡාවක් පැවත්වී ය.

එක්සත් ජනපද හා දකුනු කොරියානු විශේෂ හමුදා, උතුරු කොරියාවේ පොලව යට රහසිගත මිලිටරි කඳවුරු ගැන ඔත්තු සෙවීම සඳහා එරට තුලට විනි විදින මෙහෙයුමක් පවත්වා ඇතැ යි රැස්වීමෙන් පසුව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කලේ ය.

දකුනු කොරියාවේ එක්සත් ජනපද විශේෂ හමුදා අනදෙන නිලධාරී, බ්‍රිගේඩියර් ජනරාල් නීල් ටොලේ, කොරියානු යුද්ධයෙන් පසු 60 වසර තුල උතුරු කොරියාව උමං දහස් ගනනක් කැන ඇත යි ෆ්ලොරිඩාහි මාධ්‍ය සාකච්ඡාවක දී පැවසී ය. "සම්පූර්න උමං පොදුකාර්ය පද්ධතියම අපගේ චන්ද්‍රිකාවලින් සැඟව තිබේ. එම නිසා අපි විශේෂ ඔත්තු බැලීම සඳහා දකුනු කොරියානු හා එක්සත් ජනපද සොල්දාදුවන් උතුරු කොරියාවට යවමු” යැයි ටොලේ කීය.

ටොලේගේ සහායකයෙක් තමා ජෙනරාල්ගේ ප්‍රකාශ "වැරදියට පවසා ඇති ” බව පසුව ප්‍රකාශ කල අතර, මාධ්‍ය විසින් වාර්තා කෙරුනු ආකාරයට ඒවා නිවැරදිය. ද හිල් වෙබ් අඩවියට අනුව, "පියොන්ග්යෑන්හි පොලොව යට දැවැන්ත හමුදා කඳවුරු ජාලයේ නිශ්චිත පිහිටීම සියුම් ලෙස නිරීක්ෂනය සඳහා උතුරු කොරියානු අගල්වලට පසු පසින් එක්සත් ජනපද වි‍ෙශ්ෂ හමුදා ගොඩබස්වා ඇතැ යි මැයි මාසයේ විශේෂ මෙහෙයුම් ක්ෂේත්‍ර සමුලුවක් අතරතුර දී ටොලේ සහභාගිවූවන්ට පවසා තිබුනි. ඇමරිකානු කොමාන්ඩෝ භටයෝ දහස් ගනනක් ගොඩබිම් කාලතුවක්කු ස්ථානගත කිරීම් සහ පොලොව යට සිය ගනනක් යුද්ධෝපකරන පිහිටුවීම් හඳුනාගෙන ඇත”.

සාමකාමී අභිලාෂයන් හා "නිදහස් ලෝකය” රැකීම පිලිබඳ සුපුරුදු රැවටිලි කතාවලට පිටුපසින්, කලාපය තුල එක්සත් ජනපද හමුදාවේ සැබෑ ස්වරූපය පිලිබඳ ක්ෂනික දර්ශනයක් වාර්තාව මගින් සපයා ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පෘතුවි ගෝලය මත වඩාත් ම ආක්‍රමනකාරී හමුදා බලවතා වේ.

සිංගප්පූරු ආරක්ෂක ඇමති න්ග් එන්ග් හෙන් සමග පැනෙටා පැවැත්වූ ද්විපාක්ෂික රැස්වීමේ දී, දූපත් රාජ්‍ය තුල එක්සත් ජනපද වෙරලාසන්න සටන් නෞකා හතරක් ස්ථානගත කිරීම සඳහා ඇතිකරගත් ගිවිසුමේ කටයුතු සම්පූර්න කලේ ය. වෙරලාසන්න කලාපය තුල මෙම නෞකා, විශේෂයෙන් ම බිම්බෝම්බ, සබ්මැරීන හා කුඩා සැහැල්ලු මතුපිට යානාවන්ට එරෙහිව යෙදවීමට සැලැසුම් කෙරේ.

ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානි, ජෙනරාල් මාර්ටින් ඊ. රැම්සේ, මෙම නෞකා එක වතාවක් තුල මාස හයේ සිට දහය දක්වා කාලයක් සිංගප්පූරුව තුලට හා ඉන් පිටතට මාරුවෙනු ඇතැ යි පැවසී ය. නාවිකයන් නැව් තුල ජීවත්වනවා මිස සිංගප්පූරුව තුල ස්ථානගත කිරීම හෝ වරායෙහි ලියාපදිංචි කිරීම හෝ නොකෙරේ. නමුත් ඕනෑ ම අවස්ථාවක, 300ක් තරම් එක්සත් ජනපද නාවුක භටයන් යාබද මලක්කා සමූද්‍ර සන්ධිය දෙස ඇස් ගසාගෙන සිංගප්පූරුව තුල සිටිනවා ඇත.

සිංගප්පූරු සම්මේලනයෙන් පසුව, ජනාධිපති බෙනිග්නෝ ඇකිනෝ හා පිලිපීනයේ සන්නද්ධ හමුදා මාන්ඩලික ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ජෙසී ඩෙලෝසා සමග රැස්වීමක් සඳහා ඩෙම්ප්සේ පිලිපීනයට ගමන් කලේය. දකුනු චීන මුහුදේ කුඩා දූපත් හා ගල් පර සමූහයක් සහිත ස්කාබරෝ ෂෝල් වෙත පිවිසුනු පිලිපීන නාවුක හමුදා මෑත දී චීන නෞකා සමග ගැටුනහ.

Share this article: