ඇෆ්ගනිස්තානයේ සංහාරය: එක්සත් ජනපද සෙබලා ලමුන් 9 ඇතුලු ගම්මුන් 16 ඝාතනය කරයි

Massacre in Afghanistan: US soldier kills 16 villagers, including 9 children

By Patrick Martin, 12 March 2012

සමස්ත ඇමරිකානු යුද්ධයේ ම්ලේච්ඡත්වය හා සන්ත්‍රාසය ප්‍රකාශ කෙරෙන ඇෆ්ගනිස්තාන සංහාරයේදී, හමුදා සැරයන් වරයෙක් 11දා උදෑසන කන්දාහාර් පලාතේ පිටිසර ගමකට ගොස් පුද්ගලයන් 16දෙනෙකු මරා දැමී ය, ඔවුන්ගෙන් නවදෙනෙක්ම ලමුන් ය.

එකම පවුලේ 11දෙනෙක් ඔවුන්ගේ නිවස තුල දී වෙඩිතබා මරා දැමීමෙන් පසුව ඔවුන්ගේ මෘතදේහ ගොඩ ගසා ගිනි තබන ලදී. මරනයට ගොදුරු වූවන් අතර අවුරුදු හය හෝ ඊට අඩු ගැහැනු ලමුන් සිව් දෙනෙක් ද විය. ඒ අවස්ථාවේ දී නිවසින් බැහරව සිටි සමීඩ් ඛාන් නමැති පියාගේ හා එක ලමයෙකුගේ පමනක් දිවි රැකු‍නේය.

ආපසු කඳවුරට පැමින භාරවීමට පෙර තුවක්කුකරු තවත් පැල්පත් ‍දෙකක පදිංචිකරුවන් මරා දැමී ය. අඩු වශ‍යෙන් ගම්මුන් පස්දෙනෙකු තුවාල ලද අතර, ඔවුන්ගෙන් සමහ‍රෙකුට අසාධ්‍ය ය, මරන සංඛ්‍යාව ද ඉහල නැඟිය හැක.

දුප්පත් ‍ගොවියකු වන සමීඩ් ඛාන් ආපසු ගමට පැමිනි විට ඔහුගේ මුලු පවුල ම මරා දමා තිබෙනු ද ඔවුන්ගේ සිරුරු නිවස තුල දැ‍වෙමින් තිබෙන බව ද දුටුවේය. “මෙය මනුෂ්‍යයින්ට හා ඉස්ලාම් ධර්මයට එරෙහි ක්‍රියාවක්” යයි ඔහු මාධ්‍යයට පැවසී ය. ලෝකයේ කිසි ම ආගමක් කිසි ම අ‍යෙකුට, ලමයි හා ගැහනුන් මරන්ට ඉඩ නොදෙයි.” ඔහු සහ අසැල්වැසි‍යෝ දඬුවම් දීම සඳහා ඝාතකයා ඇෆ්ගන් ආන්ඩුවට භාර දිය යුතු යයි උද්ඝෝෂනය කලහ.

එක් ප්‍රාදේශීය ඇෆ්ගන් නිලධාරියෙකුට අනුව ගම්මු, ඝාතනයට ලක්වූවන්ගේ මල සිරුරු වාහනවල පටවා ගෙන ආසන්නයේ පිහිටි ඇමරිකානු කඳවරේ දොරටුව ‍වෙත ගොස් යුක්තිය ඉල්ලා සිටියහ. “ ඔවුන් දැඩි ලෙස කෝපයට පත්ව සිටි අතර පලිගැනීම සඳහා යමක් කිරීමට ඔවුන්ට අවශ්‍ය වී” යයි ඔහු පැවසී ය.

එක්සත් ජනපද හා ඇෆ්ගන් බලධාරීන් සහ ඇමරිකානු මාධ්‍යය 11දා සවස් වන තෙක් ජනඝාතකයා‍ගේ වතගොත රහසක්ව තබා ගත් අතර, බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාව ඔහු මාන්ඩලික සැරයන් වර‍යෙකු හා ඇෆ්ගන් ‍පොලීසිය පුහුනු කිරී‍මේ නියලුන එක්සත් ජනපද වි‍ශේෂ ‍කාර්ය බලකායේ සාමාජික‍යෙකු යයි වාර්තා ක‍ලේ ය.

සංහාරයේ ‍බොහෝ විස්තර පිලිබඳව ප්‍රතිවිරුද්ධ වාර්තා ‍‍පවතී. බේරුන සමහරු සිද්ධියට එක් ඇමරිකානුවකුට වඩා සම්බන්ධ බව දැඩිව පවසති, ප්‍රහාරය එක්සත් ජනපද වාඩිලාගැනීම කෙරෙහි පවතින මහජන වි‍රෝධ‍යේ ‍කේන්ද්‍රීය ලක්ෂ්‍යය වී ඇති කුප්‍රකට රාත්‍රී වැටලීම්වලින් එකක් බව ත‍ලේබාන් ප්‍රකාශක‍යෙක් පැවසී ය.

සිය මුල් ප්‍රකාශයේදී ඇෆ්ගන් ජනාධිපති‍හමීඩ් කර්සායි “ඇමරිකානු හමුදාවන්” විසින් කරන ලද ක්‍රියාවක් ‍ලෙස සංහාරය ‍හෙලාදුටු‍වේ ය. එහෙත් කර්සායි හා එක්සත් ජනපද හමුදා අධිකාරීන් පසුව, එම ගම්මානයේ බලය ලත් කිසිදු හමුදා ‍මෙ‍හෙයුමක් ‍සිදු නොවූ බවත්, සිදුවූ මරන සංඛ්‍යාව ‍නොතකා එයට සම්බන්ධ වුනේ එක් තුවක්කු කරු‍වෙකු පමනක් බවත් කියා සිටියේ ය.

කන්දහාර් පලා‍තේ පන්ජ්වායි දිස්ත්‍රික්කයේ එක්සත් ජනපද කඳවුර පාලනය කලේ, වොෂින්ටනයේ ෆෝට් ලුවිස්-ම‍කෝඩ් හමුදා සෙබලුන්ය. ඇෆ්ගන් වැසියන් ති‍දෙනෙකු ඝාතනය කර, පසුව ජයග්‍රහනයේ සිහිවටන ලෙස ඔවුන්ගේ ඇඟිලි හා වෙනත් ශරීර කොටස් කපාගත් ‍බවට චෝදනා ලැබ දඬුවමට ලක්වූ ස්ට්‍රයිකර් බ්‍රිගේඩ් සාමාජිකයන් සිටියේ ද මෙහි ය.‍ මෙම ඝාතන සිදුවූයේ පන්ජ්වායි ප්‍රදේශයට කිට්ටු‍ව වයඹ දෙසින් පිහිටි මයිවාන්ඩ් දිස්ත්‍රික්ක‍යේ ය.

ඔබාමා පරිපාලනය හා ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු මිලිටරි ආඥාපතීන් මෙම ම්ලේච්ඡත්වයට ප්‍රතිචාර දැක්වූ‍යේ, මහජන සම්බන්ධීකරනයට හා පාලනයට හානි කිරීමක් ‍ලෙස ය. ඔබාමා හා ආරක්ෂක ‍ලේකම් ලියොන් පැ‍නේටා යන ‍දෙදෙනා ම කර්සායිට නිල ශෝක ප්‍රකාශ රැගත් දුරකතන ඇමතුම් දුන් අතර, ධවල මන්දිරය ‍ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් ක‍ලේ ය, "මෙම සිදුවීම ‍ඛේදනීය හා බියකරු වන අතර, එය අප‍ගේ හමුදාවේ සුවිශේෂී ගුනාංගය හා එක්සත් ජනපදය ඇෆ්ගනිස්තාන් ජනතාවට දක්වන ගෞරවය නියෝජනය නොකර යි”.

ඛේදනීය හා බියකරු යන්න ඉතාමත් ම නිවරදි ය, නමුත් මෙම ම්‍ලේච්ඡ ක්‍රියාව, පීලිපැනීමකට වඩා ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයට කර ඇත්තේ කුමක් ද ‍යන්න මෙන් ම පීඩිත ජනතාවකට එරෙහිව අවුරුදු 11ක යටත් විජිත යුද්ධ‍යේ අත්දැකීම ඇමරිකානු හමුදාවට අත්කරදී තිබෙන්නේ කුමක් ද යන්න පිලිබඳව වෙළුම් ගනනාවක් කතා කර යි.

වසරක් වසරක් පාසා ඇමරිකානු හා නේටෝ හමුදා එම ගම්මානවල, දිස්ත්‍රික්කවල හා පලාත්වල මුර සංචාරය කර ඇත. එහිදී ඔවුන්, පහසුවෙන් මුදල් ඉපැයිය හැකි එක්සත් ජනපද-නේටෝ ක්‍රියාවලිය තුලින් මඩි තරකරගත් ඇෆ්ගන් ප්‍රභූ‍ කොටස් හැරුන විට, තමන්ගේ ආර්ථිකය ක්‍රියාත්මකවීම සපල ලෙසම ඇනහිටුවා තිබීමෙන් ව්‍යසනයකට මුහුනපා සිටින දුගී ගම්බද ‍ගොවීන් හා නාගරික දුප්පතුන් අතරින් අලුතින් බඳවා ගත් අයගෙන් නොකඩවා ‍පෝෂනය වන කැරැල්ලක් හා සටන් කර තිබේ.

සෙබලු, ර‍ටේ මුලු ජනගහනය ම තම සතුරන් ‍‍ලෙස සැලකීමට පටන් ගෙන ඇත. සිය රට තුල වි‍දේශීය වාඩිලෑමටත්, ආධිපත්‍යයටත් වෛර කරන ‍ඇෆ්ගන් ජනතාවගේ අතිමහත් බහුතරය හමුවේ මෙම හැඟීමට යතාර්ථවාදීව බලගතු පදනමක් ඇත. දේශීය ජනතාව කෙරෙහි වර්ගවාදී හැඟීම්, ඕනෑම යටත් විජිත වාඩිලාගැනී‍මේ හමුදාවක සං‍කේතය වන අතර, වඩා පසුගාමී හා අස්ථිර හමුදා සාමාජිකයින් අතර මෙය පහසු‍වෙන් ජනඝාතක ප්‍රචන්ඩත්වයක් ලෙස වැඩී යා හැකිය.

එ‍හෙත් ‍මෙය කෙසේවත් පුද්ගල ප්‍රශ්නයක් නොවේ. ඔබාමා‍ සිය ප්‍රකාශය තුලින් 11දා සංහාරයට “වගකිව යුතු සියලු ‍දෙනාට ” දඬුවම් ‍ලබාදෙන බවට දිවිරීය. එම වචනවලට ‍මොනයම් ‍හෝ අර්ථයක් ඇත්නම්, ඔබාමා, පැනේටා, හිලරි ක්ලින්ටන්, හා සීඅයිඒ අධ්‍යක්ෂ ‍ඩේවිඩ් ‍පෙට්ට්‍රාස්, බුෂ් පරිපාලනය තුල තම සියලු පූර්වගාමීන් සමග එක‍ පෙලට යුද අපරාධ අධිකරනයක විත්ති කූඩුවක් තුල සිටිය යුතුය.

ඇමරිකානු හමුදා බලයන් ඇෆ්ගනිස්තානය තුල ගනන් නැති එවැනි ම්‍ලේච්ඡ ක්‍රියා සිදුකොට ඇත. එ‍සේ නමුත් මෑතක් වන තුරු ‍මේවා සිතාමතා ‍නොකල වැරදි ‍ලෙස කාන්ඩගත ‍කෙරුනි (සාරභූතව ඉවත දැමුනි): දුසිම් ගනනාවක් පුද්ගලයින්ගේ මුලු මංගල සාදයක් ම දවා අලුකිරීම, ඉදිරියට ඇදෙන ත‍ලේබාන් හමුදා කන්ඩායමක් ‍ලෙස "වරදවා වටහා ගැනුනි ” ; දර එකතු කරමින් සිටි ලමුන් නව‍ දෙ‍නෙකු ඩ්‍රෝන් මිසයිල ප්‍රහාරයකින් ඝාතනය කිරීම, පලා යන ගරිල්ලන් ‍‍ෙලස "වැරදියට හඳුනා ගැනුනි” ; සම්පූර්න පවුල් පිටින් මූ‍ලෝත්පාටනය කර ඇති ඇෆ්ගන් ගම් මත ‍දුසිම් ගනනාවක් බෝම්බ ප්‍රහාරයන්, "දුර්වල එල්ලයන් ” නිසා ය.

කන්දහාර් සංහාරයට දින ‍දෙකකට පමන ‍පෙර, එවැනි එක් සිදුවිමක දී, කැරලිකරුවන් දඩයම් කරමින් සිටියා යයි කියන ‍නේ‍ටෝ හෙලි‍කොප්ටර් යානා, හතර දෙ‍නෙකු ඝාතනය කරමින් හා ති‍දෙ‍නෙකුට තුවාල සිදු කරමින් නැ‍ගෙනහිර ඇෆ්ගනිස්තාන‍යේ කපීසා පලා‍තේ සිවිල් වැසියන් කන්ඩායමකට වෙඩි තැබූහ. ඊට එරෙහිව මිනිසුන් 1,200ක් පමන, ‍10දා කපීසාහි වි‍රෝධතා ‍පෙලපාලිවලට සහභාගී විය.

සංහාරය පිලිබඳ එක්සත් ජනපද මාධ්‍ය ආවරනය, මරන පිලිබඳ ප්‍රවෘත්තිය ඇෆ්ගනිස්තානය පුරා පැතිරීමත් සමග ඇමරිකානු විරෝධී ප්‍රචන්ඩත්වයේ රැල්ලක් පැන නගිනු ඇත යි යන නිල උත්සුකයන් පිලිබිඹු කලේ ය. "දශකයක් තිස්සේ ඇදී යන යුද්ධය තුල, ඇමරිකානු සොල්දාදුවෙකු සිදු කරන ලද, සමහර විට බියකරුම ක්‍රියාව මගින් තීරනාත්මක සටන් බිමක් තුල ඇමරිකානු විරෝධී ක්‍රෝධය ගිනි අවුලුවනවා නිසැක බව පෙනී යන බව” වොෂින්ටන් පෝස්ට් පත්‍රය විස්තර කලේ ය. " සමහර විට” යන්න සැලකිය යුතු ය - පෝස්ට් වාර්තාකරුවන් දන්නා, පරිමාවෙන් සංසන්දනය කල හැකි වෙනත් සංහාර තිබේ ද?

පසුගිය 11දා එක්සත් ජනපද හමුදා කඳවුරට පිටත මිනිසුන් 1,000ට වඩා සහභාගී වූ විරෝධතාවක් පැවැත්වීය. මේ අතර, මල සිරුරු මිහිදන් කිරීම සඳහා සූදානම් කෙරුනි. කාබුල්හි එක්සත් ජනපද තානාපති කාර්යාලය, "ඉදිරි දිනවල දී, විශේෂයෙන් ම නැගෙනහිර හා දකුනු පලාත්වල ඇමරිකානු විරෝධී හැඟීම් හා විරෝධතාවන්ගේ අවදානම” ගැන අනතුරු හැඟවූයේ ය.

කාබුල් නගරයට පිටත දැවැන්ත එක්සත් ජනපද ගුවන් කඳවුර හා සැපයුම් මධ්‍යස්ථානය පිහිටි බග්‍රම්හි සොල්දාදුවන් කුරානය ගිනි තැබීම පිලිබඳව විශාල ඇමරිකානු විරෝධී විරෝධතාවන් පිපිරීමෙන් යන්තම් සති දෙකකට පසු මෙම සංහාරය සිදුව තිබේ.

Share this article: