ඇෆ්ගන් සංහාරය පිලිබඳ එක්සත් ජනපදයේ හේතු දැක්වීම් ගැන ප්‍රශ්න මතුවේ

Questions mount over US account of Afghanistan massacre

By Patrick Martin, 19 March 2012

ලමුන් නවදෙනෙකු ඇතුලුව ඇෆ්ගන් සිවිල් වැසියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු සොල්දාදුවාගේ අනන්‍යතාව පෙන්ටගනය විසින් තහවුරු කරනු ලැබීමෙන් පැය 48ක් ඇතුලත, මාර්තු 11දා ලේවැකි සංහාරය පිලිබඳ නිල හේතු දැක්වීමට අදාලව ප්‍රශ්න මතුවෙමින් තිබේ.

කාබුල්හි හා වොෂින්ටනයේ එක්සත් ජනපද නිලධාරීන් අවධාරනය කල සෑම කරුනක් ම පාහේ ඝාතනය සිදුකල ගමේ වැසියන් නැතිනම් ඇෆ්ගනිස්තානයේ කර්සායි ආන්ඩුව හෝ අත්අඩංඟුවට ගැනුන, 38 වියැති මාන්ඩලික සැරයන් රොබට් බේල්ස් ගැන දැන සිටි අයගේ අභියෝගයට ලක්වී ඇත.

ඉතාමත් වැදගත් ප්‍රශ්න මතු කර ඇත්තේ ඝාතනයෙන් දිවි ගලවාගත් ගම්මුන් විසිනි. ඇෆ්ගන් ආන්ඩුවේ හා ජාත්‍යන්තර මාධ්‍යවල පලවුන වාර්තා නැවත නැවතත් ඔවුන්ගේ ප්‍රකාශ උපුටා දක්වා ඇත. ඒ අනුව පෙන්ටගනය විස්තර කල පරිදි තනි තුවක්කුකරුවෙකු නොව නිල ඇඳුම් ලාගත් ඇමරිකානු සොල්දාදුවන් ගනනාවක් ලේ හැලීමට සහභාගී වී ඇත.

සිකුරාදා ඇෆ්ගන් ජනාධිපති හමීඩ් කර්සායි සමග පැවති හමුවක දී ඝාතනයට ලක් වූවන්ගේ ඥාතීන් තුවක්කු කරුවන් කීප දෙනෙකු පිලිබඳව ඔවුන් කලින් කී දේ යලිත් තහවුරු කලහ. කන්දහාර් පලාතේ යාබද ගම් දෙකක් තුල ඝාතන ගැන සඳහන් කරමින්, "එක පුද්ගලයෙකුට එය කල නොහැකි යයි ඔවුන් විශ්වාස කරයි.” කර්සායි වාර්තාකරුවන්ට පැවසී ය. "කාමර හතරක සිටි මිනිසුන් ඝාතනය කෙරුනි, කාන්තාවන් හා ලමුන් ඝාතනය කෙරුනි, ඔවුන් සියලු දෙනා එක කාමරයකට ගෙනවිත් ගිනි තබන ලදී. එය එක පුද්ගලයෙකුට කල නොහැක.”

එක්සත් ජනපද තානාපති කාර්යාලය හා හමුදා නිලධාරීන් මෙම චෝදනාවන්ට ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති අතර මෙම සංහාරය පිලිබඳව ඇෆ්ගන් ආන්ඩුව කරන පරීක්ෂනයට ඇමරිකානුවන් සහයෝගය නොදුන් බව ඇෆ්ගන් නිලධාරීහු පැවසූහ. ඇෆ්ගන් නිලධාරීන් බේල්ස්ගෙන් ප්‍රශ්න කිරීමට පෙරාතුව ඔහු රටින් පිටකල අතර වීඩියෝ සාක්ෂි මගින් හැරුන විට ඇෆ්ගන් සාක්ෂිකරුවන්ට පුද්ගලිකව ම සහභාගිවීමට නොහැකි වන පරිදි ඔහුගේ නඩුව ඇමරිකානු භූමිය තුල දී අසනු ඇතැ යි පෙන්ටගන් නිලධාරීහු ඇඟවුම් කලහ.

සංහාරයට තනි ප්‍රහාරකයෙකු වගකිවයුතු ය යන එක්සත් ජනපද ප්‍රකාශය නොතකා නිව් යෝක් ටයිම්ස් පුවත්පත, "නේටෝ හමුදා ඇෆ්ගන්වරුන් ඝාතනය කල දීර්ග සිද්ධීන් වැලක මෑතම සිදුවීම එය යයි විස්තර කල කර්සායි ද ඇතුලු බොහෝ ඇෆ්ගනිස්ථානුවන්, එය එක්සත් ජනපද විශේෂ හමුදාවන් විසින් සිදු කරන රාත්‍රී වැටලීම්වලට සමාන ලෙස දකින ” බව පිලිගත්තේ ය.

කර්සායි, ඇමරිකානු හමුදා "යක්ෂයින්” ලෙස ද, මෙම මස මුල දී කුරානය ගිනි තැබීම "කිසිදා සමාව නොලබන සාතන්ගේ ක්‍රියාවක්” ලෙස ද විස්තර කලේ ය. කන්දාහාර් සංහාරය “පලමු සිදුවීම නොවේ, සැබවින් ම එය 100වැනි, 200වැනි හා 500වැනි සිදුවීම” යි ඔහු කීවේ ය.

“මෙය බොහෝ දුර ගොස් ඇත. සෑම අර්ථයකින් ම එය කඹයේ අන්තිම කොනය” යනුවෙන් ඔහු මාධ්‍යයට පැවසී ය.

කිසි සැකයකින් තොරව “කඹයේ අන්තය” පිලිබඳ කර්සායිගේ ප්‍රකාශය, ඇමරිකානු හමුදාවන්ගේ කුරිරු ක්‍රියා ඔහුට ම විවේචනය කිරීමට බලකෙරුනු නමුත් ඔවුන් මත මුලුමනින් ම යැපෙන, ඔහුගේ වට ලනු ලැබූ හා අපකීර්තිමත් තන්ත්‍රයට විය හැකි ඉරනම පිලිබඳව ඔහුගේ ම චකිතයේ ප්‍රකාශනයකි.

එක්සත් ජනපද-නේටෝ වාඩිලෑම පිලිබඳ ඇෆ්ගන් ජනතාවගේ වෛරයේ තවත් ඇඟවුමක දී, පසුගිය මාසයේ හෙල්මාන්ඩ් පලාතේ දී ඝාතනය වුනු, 22 හැවිරිදි මැරීන් භටයාගේ හිසේ පසුපසට වෙඩි තැබූවේ ඇෆ්ගන් සොල්දාදුවෙකු බව එක්සත් ජනපද හමුදාව හෙලි කලහ. මෙය පසුගිය මාස හය තුල දී ඇෆ්ගන් “සහෝදරයෙකු ” අතින් ඇමරිකානු සොල්දාදුවෙකු මියගිය බව පිලිගත් හත්වෙනි වතාව යි.

එක්සත් ජනපද නිලධාරීන් විසින් නිකුත් කරන ලද චූදිත ප්‍රහාරකයා පිලිබඳ විස්තර, අඩු වශයෙන් මාර්තු 11දා සිදුවූයේ කුමක් ද යන්න පිලිබඳ ඔවුන්ගේ වාර්තා මෙන් ම සැක සහිත ය. දවස් හයක් යන තෙක් ම, පෙන්ටගනය සොල්දාදුවාගේ නම රහසක් ව තබා ගැනීමට උත්සාහ කලේ ය. මෙය එක්සත් ජනපද මාධ්‍ය තුලින් විවේචන පල නොවුන, අසාමාන්‍ය හා පෙර නො වූ විරූ දේශපාලන වාරනයකි. අවසානයේ දී ෆොක්ස් ප්‍රවෘත්ති සේවය සිකුරාදා බේල්ස්ගේ නම ප්‍රසිද්ධ කලේ ය, සෙසු මාධ්‍යය එය අනුගමනය කලහ.

හමුදා මූලාශ්‍රයන්ට සම්බන්ධ මුල් වාර්තා, බේල්ස්ට විවාහ දිවියේ ගැටලු තුබුන බව ප්‍රකාශ කලේ ය. මීට පෙර ඉරාකයේ සේවය කරන අතරතුර ඔහු ක්ෂතික (traumatic) මොලේ ආබාධයකින් පීඩා විඳ තිබුනි. එමෙන් ම ඔහු එහි දී බෝම්බ පිපිරීමකින් පාදයේ කොටසක් අහිමි කර ගෙන තිබුනි. ඉතා මෑතක දී ඔහුගේ නිවස පෙර තහනමකට ලක් කිරීම හේතුවෙන් ඔහු අමතර පීඩනයකට හසුව සිටියේ යයි ද විස්තර කෙරුනි.

මෙම විස්තර බොහොමයක් අසත්‍ය බව ඔප්පුවී තිබේ. බේල්ස්ගේ නීතිඥයා හා සියටල්-ටකෝමාහි මාධ්‍යය යන දෙගොල්ල ම ඔහුගේ විවාහය ප්‍රීතිමත් එකක් ලෙස පෙනී යන්නේයයි විස්තර කරති. මුල දී ප්‍රකාශ කල ආකාරයට ඔහුගේ බිරිඳ වන කැරලයින්ගෙන් "ආදරනීය ජෝන්” යනුවෙන් ලිපියක් තිබී නැත. පෙර තහනම එල්ල වී තිබුනේ බේල්ස් හා ඔහුගේ බිරිඳ කුලියට දී තිබුන නිවසට මිස ඈ පදිංචිව සිටි නිවසට නොවේ. ඝාතනයට සතියකට පෙර එම නිවස වෙන්දේසියට දමා තිබුනි.

බේල්ස් 2005 දී මෙම නිවස ඩොලර් 279,000ට මිල දී ගත් අතර එය වෙලඳ පොලේ "හදිසි අලෙවියට” දමා තිබුනි. එයින් ඔහුට හා ඔහුගේ බිරිඳට ඩොලර් 50,000ක නය බරක් පැටවෙන්නට ඉඩ තිබුනි. මෙය එක්සත් ජනපදයේ කම්කරු පන්තික හා මධ්‍යම පන්තික නිවාස හිමියන්ට සම්පූර්නයෙන් ම පොදු තත්වයකි.

සංහාරය පිලිබඳ රජයේ වාර්තාව නම් නොකල නිලධාරියෙකු විසින් සාරාංශ කෙරුන අතර, ඔහු නිව් යෝක් ටයිම්ස් පත්‍රයට මෙසේ කීවේ ය, "සියල්ල එලියට එන විට එය ආතතියේ, සුරාවේ හා ගෘහාශ්‍රිත කාරනාවල සංයෝගයක් වනු ඇත — ඔහු ඒවාට යටත් වූවා පමනි.” බේල්ස්ගේ නීතිඥ ජෝන් හෙන්රි බ්‍රවුන් ප්‍රතිචාර දැක් වූයේ, "යුද්ධය මත චෝදනා කරනු වෙනුවට පුද්ගලයෙකුට චෝදනා කිරීමට ආන්ඩුවට අවශ්‍ය ය.” යනුවෙන් පවසමිනි.

කන්දහාර් පලාතේ සංහාරය විනය උල්ලංගනය කිරීමක්, "සාහසික” සොල්දාදුවෙකුගේ, එනම් අවිවරනීය ලෙස ඇෆ්ගනිස්තානය තුල එක්සත් ජනපදයේ මෙහෙවර සමග ගැටෙන ක්‍රියාවන් සිදුකරන යමෙකුගේ ක්‍රියාවක් ලෙස ඉවත දැමීමට ඔබාමා පරිපාලනයට හා පෙන්ටගනයට අවශ්‍ය ය. සත්‍ය නම්, මාර්තු 11වැනිදා සංහාරය, ඇෆ්ගනිස්තානය තුල හා ඇමරිකන් අධිරාජ්‍යවාදීන් බෝම්බ දැමූ, ආක්‍රමනය කල හා වාඩිලාගත් සෑම රටක් තුල ම එක්සත් ජනපද හමුදා කාර්යභාරයේ සංකේන්ද්‍රිත ප්‍රකාශනයක්ය යන්න යි.

මාර්තු 11වැනිදා අපරාධයක් සිදුකල බවට චෝදනාව එල්ල වන ක්‍රියාව ඔහු කලා නම්, බේල්ස් නඩුවකට හා දඬුවමට මුහුන දිය යුතු යුද අපරාධකරුවෙකි. නමුත් ඉතා වැදගත් යුද අපරාධකරුවන් නම්, ඇෆ්ගනිස්තානය තුල අවුරුදු දහයකට වඩා යුද්ධයකට වගකිව යුතු හා සිරියාව, ඉරානය හා වෙන තැනක නව යුද කුමන්ත්‍රන කරමින් ධවල මන්දිරය, පෙන්ටගනය, සීඅයිඒ සංවිධානය හා එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය තුල ඉන්නා අය වෙති.

Share this article: